2021/04/28
මේ වතාවේ ගුලිත් එක්ක පරිස්සම වන්නට උපදෙස් ටිකක්
2021/04/09
දිය වෙන අමුතු ඇටේ
සාමුහික ක්‍රියාදාමයක් ලෙස කරවිය යුතු රට, "ඔක්කොම මමයි කොරේ" කියමින් "කටින බතල හිටවන", ප්‍රතිකාරක ගත යුතු මට්ටමේ, ස්වරූපරාග පෞරුෂයෙන්(Narcissistic personality disorder) පිරුණු ලොක්කන් මධ්‍ය ඉදිරියේ සියල්ල පාලනය කරමින් සිටී,
තම බලයෙන් හිස උදුම්මාගත්, දේශපාලනික බලය උරා ගත් ආයතනික ලොක්කෝ, පුරවැසියාට වන හානිය ගැන නොතකමින්, තම "රජ පුරපුර පිනවීමේ" කාර්යයේ යෙදෙමින් සිටී,
සමාජය පිළිගන්නා ලෙස "පවුලක් පාලනය" කරන්නට අත්දැකීම් නැති පූජකයන් රටක් පාලනය කරන හැටි, ජාත්‍යන්තරය සමග ගැටෙන හැටි ලොක්කන්ට උගන්වමින් සිටී,
සාක්ෂරතාව ඉහළ යැයි කියා ගන්නා පුරවැසියන්, ජනවාර්ගිකත්වයේ "ලේ රස" බෙදන ටියුෂන්කාරයන්ගෙන් "විද්‍යාව සහ දේශපාලනය" උගනිමින් සිටී. ආර්ථික විද්‍යාඥයින් හාල් කිලෝ දෙකන් සති දෙකක් කන හැටි "බතයි හොද්දයි" කෑම කරගත් රට වැසියන්ට කියාදෙමින් සිටී,
මේ සියල්ල අතරේ බහුතර පුරවැසියන් ලෝකයේ වැඩිම වස විස සහිත කෑම වේල බුදිමින්, රජාගේ හෝ කවටයාගේ කතා රසවිඳිමින්, ස්වයංවින්දනයේ යෙදෙමින් සිටී,
දේශපාලනිකව වඳ පීදුනු, අනාගතයක් තුල, රජ පවුලේ ඊළඟ කෙනා හෝ කවටයාගේ පවුලේ පුරුකක් මිස, සාර්ථක , පරිණත දේශපාලඥයෙක් බිහිවීම සිහිනයක් පමණක් වෙමින් පවතී.එයට මූලිකම හේතුව, සාර්ථක සහ පරිනත දේශපාලඥයයෙක් බිහිවීමට අවශ්‍ය අත්දැකීම් ලබා ගැනීමට පරිසරයක් රට තුල නොමැති වීම සහ "පවුල් පරම්පරාව හැර දෙවන පරම්පරාවක්" බිහිවීමට ඉන්නා ලොක්කන් අවස්ථාව ලබා නොදීමම මෙන්ම, රටේ අනාගතය ගැන නොව "රජ පුරපුර පිනවීමේ" වන්දිභට්ටකම කරමින් ප්‍රශස්ති ගායනය කරමින් "වින්දනයක්" ලබන පුරවැසියක් වැඩිවීමද ඊට හේතුවකි.
දේශපාලනිකව තාර්කික අදහස් දැක්වන පක්ෂ තිබුණද, එම 'සත්‍යය" පුරවැසියාගේ හදවතට "විශ්වාසවන්තව" දැනෙන්නට දෙන්නට අනෙක් පක්ෂයන්ට තවම හැකියාවක් නැත.ඒ මත තුල ප්‍රායෝගිත්වය පිළිගන්නට 3%කට වඩා පිරිසක් එකතු වීම , "ලෝකයම, ලංකාව තුල" යැයි සිතන පුරවැසියන් බහුතරයක් තුල, තවම සැක සහිතය.
මේ අස්සේ තවත් "දියසෙන් කුමාරයෙක්" මතුවනකම්, පරණ පොතේ පිට පෙරළමින් ගල්කණු සපමින් කාළය කමින් ජීවත්වේ.
සිදුවන අවාසනාවන්ත තත්ත්වය තුල ඊට (පවතින පක්ෂය පමණක් නොවේ, පසුගිය දශක කිහිපය පුරා) එදිරිව, නිවැරදි මාවතකට රට , දේශය ගෙනයන්නට කිසිවකු කටයුතු කරන්නේ නැත. සියල්ලන් තම පවුලේ සාමාජිකයන් සහ මිත්‍රයන්ගේ අපරාධ සඟවා ගනිමින්, තම සුඛවිහරණය සඳහා පමණක් රට කරවන බව "ඇස් හැර බලන්නන්ට" පෙනේ. එය නොපෙනේ නම් , එය නොදැනේ නම් ඔබද , රටේ විනාශයට හේතුවන "වහලෙකි". මෙය පසුගිය දශක කිහිපය තුල බලයේ සිටි සියළු පක්ෂවලට අදාලවය. ඒ ඔස්සේ කොළ, නිල් රතු “රජවරුන් වන්දනා කරන” වහලුන් පිරිවරා, "බැටළු සම ඔතා ගත් නරින්" කරවන දේශයකට අනාගතයක් නැත.
මේ යන ආකාරයන් සිදුවිය හැකි තත්ත්වයන් කිහිපයකි,
- ඉදිරි වසර කිහිපය තුල රටවැසියන්ට තම ජීවන වියදම දරා ගත නොහැකිව, අපරාධ, සියදිවි නසාගැනීම් සහ මානසික ගැටළු වැඩිවීම,තරුණ සහනය සමඟ රටේ සමස්ථ තත්ත්වය (Quality of life) තවත් පිරිහීමට ලක්වීම,
- පවතින ආර්ථික ගැටළුවට "ගත හැකි" ක්‍රියාමාර්ග ලෙස දේශපාලකයන් දකින, රට විකිණීමේ ක්‍රියාවලිය තුල ප්‍රතිපක්ෂ සහ සමාජ ක්‍රියාකාරිකයන් මගින් ක්‍රියාත්මකවන පෙරළි, තර්ජන ගර්ජන වැඩිවීම තුල රටේ ආර්ථිකය තවත් බිඳ වැටීම,
- රට තුල මතුවන විරෝධතාවන්ට "ගත හැකි ක්‍රියාමාර්ග" ලෙස "දුර නොදකින දේශපාලකයින් ගන්නා "උපක්‍රම" තුල ලෝකය තුල ලංකාව තවත් මානව හිමිකම් කඩකරන රටක් බව තහවුරු වීම,
- මේ සියල්ල ඔස්සේ, චීනය හැර වෙනත් ණය ලබා ගත හැකි ජාත්‍යන්තර බැංකු , මුල්‍ය ආයතන ණය ලබා දීම සීමා කිරීම සහ ණය සඳහා අය කෙරෙන පොළී අනුපාත ඉහළ නැංවීම සිදුවීම.(චීනය "ණයට" දෙන්නේ, ලංකාවට ඇති නොකැළැල් ආදරයට බව ලොවම දනී)
- රට තුල ව්‍යවසායකයින් මෙන්ම විදේශීය ව්‍යවසායකින් රට තුල ව්‍යාපාර පවත්වා ගැනීමට නැඹූරු නොවීම හෝ සංවර්ධනය නොකිරීම තුල රටේ විරැකියාව ඉහළයාම,
- රටේ ආර්ථිකය පවත්වා ගැනීමට කරන කෙටි කාළීන සැලසුම් වල ප්‍රතිපල ලෙස සිදුවන ජාත්‍යන්තර වෙළඳපල සමඟ කටයුතු කිරීමේ හැකියාව ගිලිහීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල "සෙල්ලම් කිරීම" පාලනය කිරීමට ආනයන තවත් සීමා කිරීම තුල , විවෘත ආර්ථික සංස්කෘතියකට හුරු වී සිටි පුරවැසියන්ට තමන් අපේක්ෂා කරන, පහසුකම්, අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීම,
ඔබට නොහැකි නම් ඔබේ දරුවාටවත්, අවම වශයෙන්, වෙනත් රටක රැකියාවක් කිරීමටවත් යොමු වීමට මග පෙන්වා දෙන්න. හැකියාවක් ඇත්නම් ඔබේ දරුවාට වෙනත් "සාපේක්ෂව හොඳ ජීවන තත්ත්වයක් ලබා ගත හැකි" රටක පුරවැසිබව ලබා දෙන්න.
ඔබට වාර්ගිකත්වයේ වල රස පොවමින්, "වීරයන් වන" මේ නායකයන්ගේ දරුවන් වැඩිපිරිසක් ඒ අවස්ථාව ලබා, ඔබ රවටමින් සිටින නිසා, අන්ධයන් නොවී, ඔබට කළ හැකි දේ ඔබේ දරුවා වෙනුවෙන් කරන්න. ඒ අතරින් දරුවාට ලෝකය විවෘත කරදීම, ලෝකයේ ඇති අවස්ථා පෙන්වා දීම ඔබ කළ කළ යුතුම යුතුකමයි.
උපන් බිමට ගරු කරන්න, නමුදු "උපන් බිම වූ පමණින්", මේ විනාශවන, අගාධයට යන දූපත, තුල ජීවත්ව, "විඳවමින් මියයා යුතු" නැත.
(මේ ලියන මම,විදෙස් රටක පුරවැසිබව හිමි, ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයකට බැඳීමක් නැති අයෙක් වන අතර, "උපන් බිමට" සිදුවන දේ ගැන දුරින් සිටියදී දකින පැහැදිලි බව සහිතව සටහන් කළෙමි. "වල,වලක්දැයි, විලක්දැයි" වටහා ගැනීමට ඉන් ඉහලට පැමිණ බැලිය යුතුමය, එසේ නොවන කළ වලද, විලද දැනෙන්නේ එකසේමය )
2021/03/29
කැනඩාවේ ලුසී එක්ක ලංකාවේ පුසී
හරි , දැන් කතාවට, මේ දවස් වල මෙන්න මේ වගේ පෝස්ට් එකක් ලංකාව පුරා සමාජ මාධ්‍ය වගේම "පිංවන්ත බව ප්‍රසිද්ධ කරන්න කැමති" පුද්ගලයින් විසින් පතුරවනවා. ඒ තමයි "කැනඩාවේ දුක් විදින ශ්‍රී ලංකාවේ " නමින් පැතිරෙන ප්‍රවෘත්තිය. මේ උපුටා ගන්‍නේ එම පෝස්ට් එක.උපුටා ගැනීම ආරම්භය.
"කැනඩාවේ දුක් විදින ශ්‍රී ලංකාවේ #ලුසී
දැඩි දේශගුණික තත්වයන් හමුවේද (හිම) දුක් විදින ලංකාවේ #Lucy .ලූසි 1975 ලංකාවේ උපන් ඇතින්නක්. වයස අවුරුදු 1දී ඇයව යම් පුද්ගලයෙක් මිළදී ගෙන 1977 Skank නමින් ඇයව EVZ නම් කැනඩාවේ එඩ්මන්ටන් නගරයේ සත්ව උද්‍යානයකට විකුණා ඇත. එවිට ඇයට වයස අවුරුදු 2යි. එතැන් පටන් ඇයගේ නම Lucy ලෙස වෙනස්කර ඇත.
ඉන් පසු එඩ්මන්ටන් සත්තු වත්තෙ කුඩා කුටියක සිරව සිට ඇති බව ඔබට දැකගත හැකිය. මෙලෙස අවුරුදු 44ක් ඇය එඩ්මන්ටන් සත්තු වත්තේ ඉතා තද සීතලේ දුක් විදිමින් ජීවත් වෙනවා.
Lucy ගේ දුකට සංවේදී වූ, සත්ව ක්‍රියාකාරින් වසර කීපයක සිට ඇයව මේ සිර කුටියෙන් නිදහස් කර ඇයට සුදුසු පරිසරයකට, අභයභූමියකට යවන්න ලොකු සටනක යෙදෙනවා.
2020 වසරේ පකිස්ථානේ හිටපු ලංකාවේ කාවන්ට නිදහස ලබා අලි අභයභූමියකට යන්න ලැබුනා වගේ 2021 වසරේ ලූසිටත් නිදහස ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.
ලුසීව නැවත ලංකා රජය භාරයට පත්කර අභය භූමියකට මුදා හැරීම සදහා ඔබේ හඩ අවශ්‍ය මොහොතකි.. ලුසීට හඩක් වන්න..
2021/03/16 3:15 pm කොල්ලුපිටිය වාලුකාරමයේ සිට කැනේඩියානු තානාපති කාර්‍යාලය දක්වා නිහඩ පා ගමනට ඔබත් එක්වන්න.."
උපුටා ගැනීම නිමාව.
එහි සාරාංශයක් ගත්තොත් ලුසී නම් ඇතින්නක් ලංකාවෙන් කැනඩාවට විකුණා , අද ඇය කැනඩාවේ සත්තු වත්තක සීතලේ දුක්විඳින බවත් ඇය "බේරා ගැනීමට" එක්වන ලෙසත්ය. මේ පෝස්ට් ඉතා අනකම්පාවෙන් බෙදා ගෙන ඇති ෆේස්බුක් "පිංවතුන්" ඒ සඳහා යොමු කර තිබු සමහර කොමෙන්ට් තුල එළියෙන් පිං වුනාට හිත කොයිතරම් "පවුකාර" දැයි මධ්‍යස්ථව සිතන්නෙකුට දැනෙනවා.
දැන් එහි සත්‍ය කතාව , ලුසී ලංකාවෙන් කැනඩාවට එන්නේ 1977දි , ඒ වෙත්දි අවුරුදු දෙකක "අනාථ අලි පැටික්කියෙක්" වෙන ලුසී, එතැන් සිට කැනඩාවේ එඩ්මන්ටන් නගරයෙන් සත්තු වත්තක ඇය වෙනුවෙන් වෙනම සැකසූ කුටියක , සහ එළිමහන් බිමකට එනවා. එතැන් සිට ඇය කැනඩාවේ වන සත්ව සංරක්ෂණ නිළධාරීන්, වනජීව විද්‍යාඥයින් , වන සත්ව චර්යාවේදීන් ගේ අධීක්ෂණය යටතේ සත්තු වත්ත තුල තවත් එක් "කැනඩාවේ නැති සතෙක්" ලෙස ප්‍රදර්ශණය වෙනවා. (මෙතැනදි මගේ පුද්ගලික අදහසක් කියන්නම ඕන, කුමන රටක වුවත්, සතෙක් කුඩූ කර ප්‍රදර්ශණය කිරීමට මම එකඟ නැහැ. එය ලංකාව ද කැනඩාවද අදාල නොවන මගේ පුද්ගලික අදහසක්. )ඒ සඳහා ඇයට ඇගේ දේහ බර , වයසට ගැලපෙන ලෙස සත්වවිද්‍යාඥයින් නිගමනය කරන කාමර ප්‍රමාණය, දවසේ ආහාර ප්‍රමාණය , දවසට ලැබිය යුතු ව්‍යායාම ප්‍රමාණය වැනි හැම දේම නිවැරදිව සොයා බලමින් රැක බලා ගන්නවා. කිසිදු අවස්ථාවක ලංකාවේ වගේ අපිරිසිදු කාමර වල සතුන් කොටු කරගෙන, දම්වැල් වලින් බැඳ පාද වලින් ලේගලන තත්ත්ව ඇති වන්නට ඉඩ සලසමින් , ප්‍රදර්ශණයේ තබා නැහැ.
එයට හේතුව නම් මේ රටවල හැම කටයුත්තකටම යම් "පිළිගත් ක්‍රම වේදයක් ඇති "අතර, එය දේශපාලනික බලපෑම් වලින් තොර අදාල විෂය පිළිබඳ ප්‍රවීණයන්ගේ නිගමන උපදෙස් මත ක්‍රියාත්මක වන නිසා. අදාල උපදෙස් ක්‍රියාත්මක නොවීමකදී වගකියන නිලධාරිනට අදාල වගකීමෙන් මිදීමට ලැබෙන්න් නැහැ. එවැනි අවස්ථාවක අදාල වගකියන නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරත්දි "ගමේ චණ්ඩින්" එම ක්‍රියාත්මක වීම වලට බලපැම් කරන්නේ නැහැ.
මේ හේතුව නිසා 1977 කැනඩාවට එන ලුසී අද වෙත්දි අවුරුදු 44ක් (වයස අවුරුදු 46) වන තුරු ස්වභාවික හේතු මත ඇති වන රෝග තත්ත්ව (වියපත්වීම) හැරෙන්නට වෙන කරදරයක් නැතිව "ජීවත් වෙනවා" .මේ පෝස්ට් එකේ කියන පරිදි හිමේ "දුක් විඳින්නට " අවස්ථාවක් ඇයට ලැබෙන්නේ නැහැ. නමුත් කැනඩාවට හිම වැටෙන නිසා, එම හිම වැටෙන කාළයටත් දවසට අවශ්‍ය ව්‍යායාම සඳහා ඇයට , ඇගේ "මිදුල" වෙත ගොස් ක්‍රියාකාරකම් වල යෙදෙන්නට , පිරිසිදු වාතය ලබා ගන්නට අවස්ථාවක් ලැබෙනවා. අනෙක, වයස අවුරුදු දෙකේදී කැනඩාවට එන ලුසීට සීතලට හුරු වෙන්න ලොකු කාළයක් යන්නේ නැහැ. මේ පෝසට් වල කියන පරිදි "සීතලේ දුක් විඳිනවා නම" ලුසී එළොව යන්නේ මීට අවුරුදු හතලිහකට ඉස්සර, හේතුව සමහර කාළ වලට එඩමන්ටන් ප්‍රදේශයේ උශ්නත්වය සෙල්සියල් -45-50 දක්වා අඩුවෙනවා. ලංකාවේ විදියට කිව්වොත් Deep freezer එකක උශ්නත්වය වගේ දෙගුණයක් පහළට. ඒ පරිසරයෙන් එළියේ නියමිත කාළයට වඩා හිටියොත් ලුසි නොවෙයි පුසීටවත් ජීවිතය රැක ගන්න බැහැ.
මේ විදියට කැනඩාවේ පරිසර තත්ත්ව විඳිමින්, ඇගේ දේහ උස බරට අනුකූල උශ්නත්වයක් සහිත ඇයට ප්‍රමාණවත් කාමරයක ජීවිතය ගෙවමින් කාළය ගත කරන ලුසීට, වියපත් වීමත් එක්ක ගැටළු දෙකක් මතු වෙනවා. එකක් හන්දිපත් රුදාව, තව විදියකින් කිව්වොත් ආත්‍රයිටිස්. විශේෂයෙන්ම මෙවැනි කූඩු කර සිටින සතුන්ට, සහ අලි ඇතුන් වැනි අධික බර සතුනට මේ තත්ත්වය වියපත් වීමත් එක්ක ඇති වෙනවා. දෙවැනි ගැටළුව, ඇයගේ නාස් කුහර තුල සිදුවන පටුවීමක්, එය "සීතල නිසා" සිදුවන්නක් නොවන, දේහයේ සිදුවන යම් වෙනස්වීම් එක්ක මතුවන්නක්. මෙම නාස් කුහරයේ ඇති පටු වීමත් එක්ක ඇයට යම් විදියක ශ්වසන අපහසුතාවක් ඇති වෙනවා. කෙසේ වෙතත්, ඇයගේ මේ අපහසුතාව වෙනුවෙන් , වෙනම විශේෂඥ පශු වෛද්‍යවරයෙක් කටයුතු කරනවා. මීට අමතරව පාදයේ නියපොතු ආශ්‍රිතව ඇති වන තුවාල පිළිබඳවද නිසි ප්‍රතිකාර කර තිබෙනවා.( එම තුවාල ඇති වන්නේ ලංකාවේ මෙන් දම්වැල් වලින් ගැට ගසා තැබීමක් නිසා නොව, වයස්ගත වීම සමඟ ඇති වන සම බිඳී යාමේ වෙනස්කම් නිසාවෙනි) මේ සියල්ල තුල වසරකට වරක් සහ ඇගේ සෞඛ්‍යයේ යම් වෙනසක් දකින හැම අවස්ථාවකදීම, පූර්ණ වෛද්‍ය පරික්ෂණයක් සඳහා විශේෂඥ පශු වෛද්‍යවරු සහ තාක්ෂණ ශිල්පීන් පිරිසක් සූදානමින් ඉන්නවා. මේ ලුසීට පමණක් නොවේ, සත්තු වත්තේ සිටින අනෙක් සතුන්ටද අදාල වුවත් ඔවුන්ට "ලුසී" විශේෂත අයෙක් වන්නේ අවුරදු 44ක වැනි කාළයක් "ලිඛිත සෞඛ්‍ය ඉතිහාසයක්" සහිත කැනඩාව් නොමැති සතෙක් වීම. ඒ නිසා ඇයට විශේෂ සොයා බැලීමක් ලැබෙනවා කිව්වොත් වැරද්දක් නැහැ.
දැන් අදාල ලිපියේ දක්වා ඇති කරුණූ වලට කෙටි පිළිතුරු .
1) "සත්තු වත්තෙ කුඩා කුටියක සිරව" - මෙය නිවැරදි නොවන අතර, ඇයට ඇගේ දේහ උස බර අනුව සත්ව විද්‍යාඥයින් සහ සත්වචර්යාවේදීන් නිර්දේශ කරන ප්‍රමාණයේ , ගැලපෙන පරිසර උශ්නත්වය සහිත කාමරයක් ඇත. (කාමර ගත කිරීම පිළීබදව මම එකඟනැතත්, සාමාන්‍ය සත්තු වත්තක මෙන්ම ඇයට ගැලපෙන නිවසක් ඇයට තිබෙනවා)
2) "ඉතා තද සීතලේ දුක් විදිමින්" - කැනඩාවේ මෙම ප්‍රදේශය තද සීතලට ලක්වන නගරයක්, එතැනදි සත්තු වත්තේ එළිමහන ඒ සීතලෙන් ආරක්ෂා කරන්නට ක්‍රමයක් නැහැ. එතැනදි හිම වැටෙන කාළයට වුවද ඇගේ දේහ ප්‍රමාණයට දරා ගත හැකි තත්ත්වය තුල , නියමිත කාළයක් ඇයට බාහිර පරිසිරයේ ගත කරන්නට වෙනවා. ඒ ඇගේ දවසේ ව්‍යායාම සහ බාහිර වාතය ලබා ගැනීම වෙනුවෙන්. එතැනදි කැනඩාව තුල ජීවත් වන අයෙක්ට එය ''දුක්විඳිමක්" වෙන්නේ නැහැ. ඒ අදාල පරිසරය තුල ජීවත් විය යුතු ආකාරය. ඒ වගේම ඒ විදියට දුක් වින්දානම් අවුරුදු 44කට වඩා ලුසී ජීවත් වෙන්නේ නැහැ. අනෙක කැනඩාවට එන සතෙක් හෝ මිනිසෙක් වුනත් වසර කීපයක් යත්දි මේ පරිසර තත්ත්ව වලට හුරු වෙන්නේ නිතැතින්ම.
දැන් අපි බලමු මේ සතාට "නිදහස" ලබා දීම ගැන කතා කරන්නේ මොන රටේ අයද කියල.
1) ලංකාවේ අද, ලෝකයේ වැඩිම අලි මරණ "වාර්තා වන" රට. 2020 දෙසැම්බරයේ ලංකාව විසින්ම නිකුත් කරන වාර්තාවක සඳහන් වෙන විදියට " Sri Lanka has recorded the highest annual elephant deaths and second-highest human deaths in the world due to the human-elephant conflict" .
2) අලින්ගේ ගම්මාන විනාස කරල , අලින්ගේ ගමන් මාර්ග වලට බාධා කරල හෝටල් හදන , ඒවාට උපකාර කරද දේශපාලුවන්, සහ වගකියන්නන් ඉන්න, ඊටම බැලමෙහෙවර කරන වහලුන් වැඩි පිරිසක් ඉන්න රටකින්. "හක්ක පටස්" වලින් , වෙඩි උණ්ඩවලින් අලින්ට සළකට රටකින්.
3) අටව ගත්ත පැල්කොටේ ආරක්ෂා කරගන්න, එළියට ගිය සැමියා අලි පහරදීමකින් මිය යාද බයේ ඉන්න බිරින්දෑවරුන්ට දහ දහස් ගණනක් ඉන්න රටක්.
4) අලි-මිනිස් ගැටුම් පාලනය ඉන්නා නිලධාරින් වැඩි පිරිසක් " කරත් නොකරත් පඩි ලැබෙන ආණ්ඩුවේ රස්සාව නිසා" අවශ්‍ය අවදානම් අවස්ථාවන් වලදී උපකාර නොවන රටක අය.
5) කැලෑ කැපීම , වන සතුන් විනාශය තම පක්ෂයේ/ජන වර්ගයේ නොව වෙන ජන වර්ගයක එකෙක් කළොත් පමණක් ප්‍රොෆයිල් වෙනස් කරගෙන "ජාතික වීරත්වය" මවා ගන්න ෆේස්බුක්කාර පිංවතුන් ඉන්න රටක අය.
ඒ නිසා ලුසී කැනඩාවේ ජීවත් වුනොත්, ඇගේ වයසට අනුව , ස්වභාවික රෝ්ග තත්ත්වයන් මත ජීවිතයට සමු දෙන තුල "හුරු පුරුදු " පරිසරයට තුල "පරිස්සමට" ඉඳීවි. එහෙම නැතිව මේ කිසිම හොයා බැලීමක් නැතිව, ෆෙස්බුක් එකේ යන හැම දේම බෙදා ගෙන "ජාතික වීරයක්" , අධ්‍යාත්මික නායකයින් වෙන්න දඟළන රෑකඩ කියන ආකාරයට ලුසී "නිදහස්'' කර ලංකාවට එවුවොත්, ඇගේ මරණය ඉක්මණ්වීම විශ්වාසයි. ඒ ලංකාවේ වාතයේ සංයුතිය, පිරිසිදු බව ( ඇයට දැනට ජීවත් වන ප්‍රදේශයේ වායු දූෂණයට වඩා ලංකාවේ වායු දූෂණ මට්මටම ඉතා ඉහළයිhttps://waqi.info.), ඝනත්වය අනුව අැගේ පවතින ශ්වසනාබාධය වැඩිවීමේ අවස්ථාව ඉහළයි. එතැනදි "ඒ වෙනුවෙන්ම කැපවී ප්‍රතිකාර" ලබා දිය හැකි පහසුකම් ලංකාව තුල සීමිතයි. ඒ තත්ත්වය අවදානමක්.
එහෙම නැත්නම් වසර හතලිස් හතරකට වැඩි කාළයක් සත්ව උද්‍යානයකට හුරු වූ චර්යාවක් ඇති සතෙක් , එකවර මේ කියන ආකාරයට "අලි අභයභූමියකට" මුදා හැරීම තුල ඇයට ඇතිවන මානසික පීඩනයන්, චර්යාවන් වෙනස් වීම තුල ඇගේ සම්ස්ථ සෞඛ්‍ය බිඳ වැටීමේ අවදානම ඉහළයි. එය හරියට කැනඩාවේ ජීවත් වූ පුරවැසියෙක් , ලංකාවේ පදිංචි කළා වගේ වැඩක් වේවි. එතැනදි මිනිසුන්ට හුරු වීමට හැකියාව තිබුණත්, මෙවන් සතෙක්ට එම පාරිසරික වෙනස්වීම දරා ගැනීමට අපහසුවීම පොදුවේ දකින්නට පුළුවන් දෙයක්. එවැනි තැනකදි එකම රට තුල වෙනත් නගරයකට සතෙක් මාරු කර යැව්වත් clinical animal behaviourist (සත්ව චර්යාවේදීන්) සහ animal psychologists(සත්ව මනෝවිද්‍යාඥයින්) ගේ නිබද අධීක්ෂණයට ලක්වෙනවා. නමුත් ලංකාව තුල මේ සඳහා ඇති පහසුකම් ප්‍රමාණවත් වේදැයි සැක සහිතයි.
මේ තත්ත්වය තුල සිදුවිය යුත්තේ "ලූසීට" ඉන්න ආකාරයෙන් ඉන්න දී , ලුසී වෙනුවෙන් "පිංවන්ත කුලප්පුවක්" හදා ගත් අය ,
1) ලංකාවේ අලින්ට සිදුවන හිරි හැර වලට විරුද්ධ වීමයි.
2) පන්සල් වල ගරුනාම රැක ගැනීමට ලොකු පන්සල් වල , ගරුතර ලොකු නායකයින්ගේ වතු වල දැම්වැල්වලින් බැඳ තුවාල වීම, ප්‍රමාණවත් ආහාර පාන තැනිව "ඇත්තටම දුක් විඳින" අලි ඇතුන් ගැන සොයා බැලීමයි.
3) බඩගින්නට කටේ දාගන්න දිවුල් ගෙඩිය "හක්ක පටස්" එකක් බවට පත්ව කට පුපුරා මිය යන අලින් වෙනුවෙන් කතා කළ යුතුය.
4) අලි මංකඩවල් හරස් කර හෝටල් තනන පුද්ගලයන්ට විරුද්ධ වියු යුතුයි
5) පොදුවේ ලංකාවේ පරිසරය විනාශ කරන මිනිසුන් සහ දේශපාලන තිරිසනුන්ට විරුද්ධ විය යුතුයි.
අවසානයේ මේ අලි පෝස්ට් එක තුල ලංකාවේ පොදු සමාජයේ හැසිරීම පිළිබිඹු වන බව මගේ හැඟීමයි.
සමාජ මාධ්‍ය තුල ඉතා ශ්‍රද්ධාවන්ත "පිංවතුන්" ලෙස පෙන්වන වැඩි පිරිසක්ගේ හදවතේ මානුෂීය ධර්මයවත් නැත. ආගමේ පොතේ ධර්ම පාඨ බෙදා ගන්නා , මධ්‍ය ඔස්සේ ගඬගා කියන සුදු රෙදි හැදි දේශපාලකයන්ගේ "නියම පාට" ඊඨ වඩා වෙනස්ය. කෙසේ වෙතත්, මේ "ශ්‍රද්ධාවට" අන්ධවන භක්තිමතුන් සහ වහලුන් වැඩි පිරිසක් මේ අමුතු දූපතේ ජීවත් වන බව ඈතින් සිට බලන්නෙකුට දැනේ.
අනෙක, ෆේස්බුක් මෙන්ම රටේ ප්‍රධාන මාධ්‍ය යැයි කියා ගන්නා ආයතන තුල ලියැවෙන කතාවෙන "ඕන දෙයක්" කිසිම සොයා බැලීමකින් තොරව බෙදා ගන්නේ "සෙක්ස්" ගැන අන්තර්ජාලය පීරා ලෝකයේ අංක එකවූ ජාතියක පුද්ගලයන්ය. පසුගිය දශකය තුල ලංකාව, ලෝකය තුල ලංකාව ගැන කතා බහට ලක්වුනු "වඳ කොත්තු, වඳපෙති" සිට "කොරෝනා ගැන පැණි මත මෙන්ම ලුසී දක්වාද ඒ හැකියාව ලෝකයට බෙදා හරිමින් සිටී. ලංකාවේ බහුතරයක්, අඩුම තරමේ "සොයා බලා, විමසා " කටයුතු කළා නම් අද මෙවන් "වඳපීදුනු" ජාතියක් බවට පත්වෙන්නේ නැත.
අද වෙත්දී ලංකාව දේශපාලනිකව, ආර්ථිකවමය මෙන්ම සමාජයීවයද "වඳ පීදී" හමාරය. සල්ලි මිටි පිටින් අච්චු ගසමින් "ස්වයංවින්දයනයක්" ලබන කතා ඇසුවද , චීනෙන් හිඟමණක් නොලැබුනොත් සැප්තැම්බරය වෙත්දි ලංකාව "ලෝක අමාරුවක" වැටෙන බව ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි. මේ කිසිවක් නොදැනුනාසේ වහල් බවින් අන්ධවී සිටින "පුරවැසියන්" මෙන්ම "කරන්නට දෙයක්" නොමැති නමුත් "කටක් අරින්නට නොහැකි" පුරවැසියන්ද ඇත. දැන් ඉතින් කටක් ඇරියන් , වෙන අරින්න දෙයක් ඉතිරිවී නැත්තේ , චීනය සහ ඉන්දියාව ලංකාවේ අරින්න තිබෙන හැම තැනට ඇර හමාර නිසාය.
මේ තත්ත්වය තුල ඔබෙන් එක ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමි. එනම්, ඔබේ දරුවන්ට ලෝකය දකින්න ඉඩ දෙන්න, ලෝකය යනු ලංකාව කියන දූපත නොවන බව වටහා ගන්නට දෙන්න. ඒ සඳහා ඉන්දියාවේ කොරියාවේ ටෙලි පමණක් නොව , ජාත්‍යන්තර ප්‍රවෘත්ති, වැඩසටහන් ගැන කියවන්නට , විමසන්නට දෙන්න. වේදිකාව වල , කොම්බු මාධ්‍ය වල කෑගසන "නූගත් , කපටි" දේශපාලකයන්ගේ නිල් රතු කොළ වචන වලට අන්ධ නොවී, ඔබේ දරුවාට විවෘත ලෙස හිතන්නට ඉඩ දෙන්න. මේ උත්සාහය හැර, බහුතරය මෙන් "අන්ධ වහල්බවින්" තවත් දශක කිහිපයක් ගිය තැන "ශ්‍රී ලාංකික" කියන වචනය පොතට පමණක් සීමා වීමට ඉඩ ඇත.
ඒ නිසා, "කාලෝ අයං තේ" කාළය එළැඹ ඇත. ඒ "කැනඩාවේ ලුසී" මුදා ගෙන මරා දැමීමට නොව, ඔබේ මනස වසාගෙන ඇති දේශපාලනික, ආගමික ජනවාර්ගික තිරපට බිඳ විවෘත මනසික ලෝකය දකින්නට.එය ආරම්භ කරන්නට, ඔබ ෆේස්බුක් එකේ දකින දේ "ඇත්තක් දැයි සොයා බලන්නට උත්සාහ කරන්නේ නම්, එයැම වාසනාවක පෙරනිමිත්තකි.
(මේ ලුසීට ආදරය පෙන්වීමට හේතුව කැනඩාව , ලංකාවේ මානව හිමිකම් පිළිබඳ යෝජනාවට විරුද්ධව ඡන්දය දීම නම් , ඒ ගැන කිව යුත්තේ, UNHRC ඡන්දය තුල ලංකාව පරදින්නේ ( අර ලංකාවේ කපටි දේශපාලකයන් කියන විදියට "දිනන්නේ") , සරම උස්සන ගමේ චන්ඩිකම් ජාත්‍යන්තරය තුලට පෙන්වූ නිසාවෙන් යැයි මට සිතේ. දේශපාලනය තුල පමණක් නොව ආයතනයක් පාළනය කිරීමේදී පවා වැදගත් "උපක්‍රමශිලී නම්‍යශීලීත්වය" Strategic flexibility ගැන අබැටක දැනුමක් නැති මෙවන් දේශපාලක, පරිපාලක නිලධාරින් පිරිසක් සමඟ ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරත්දී මීට වඩා "පැරදීම" නොවේ නම් ඒ චීනය සමඟ පමණි. එයද තවත් "ණය තොන්ඩුවක්" දීමට මිස අපට ආදරයට නොවන බව දන්නෝ දනිති)
මේ සමඟ ඇති වීඩියෝව ලුසීගේ 2019 වෛද්‍ය පරික්ෂණය පිළිබඳ වාර්තාවයි.
ලුසී නාන හැටි බලන්න මෙන්න වීඩියෝව https://www.youtube.com/watch?v=4s8jITBQPZk
මම මහේෂ් ,
කැනඩාවේ කැල්ගරි ප්‍රාන්තයේ සිට
( ලුසීට පැය දෙකක දුරින් සිට)
තව දුරටත් කියවීමට.( මේ ලිපියේ ඇති තොරතුරු වල නිවැරදි බව තහවුරු කිරීමට)
https://edmonton.ctvnews.ca/edmonton-zoo-responds-to-jane-goodall-plea-to-end-elephant-lucy-s-plight-1.5256704
https://economictimes.indiatimes.com/news/international/world-news/sri-lanka-faces-worst-decline-as-debt-crisis-looms/articleshow/79744383.cms?from=mdr
https://www.ohchr.org/EN/HRBodies/HRC/Pages/OISL.aspx
ලංකාවේ අලි පරිස්සම් කරගන්නට ලොක්කන් දරන වෙහෙස මේ අළුත්ම වීඩියෝවලින් බලාගත හැකි
https://www.facebook.com/hherath1/videos/4444868335542077
https://www.facebook.com/A5News.lk/videos/805431080386961
2021/02/10
248) රිදෙන සතුට ගැන

“දැන් ළමයි දෙන්නෙක් ඉන්නවනේ, තව ළමයි මොකටද ඒ. අනෙක ළමයි හදන වයසක්ද මේ? හස්බන්ඩ්ට ඇවිල්ල යන්න කියන්න, තමුන් වැඩට එනව හොඳයි” මැඩම් යැයි කියූ කාන්තාව තර්ජනය කරත්දි අනෙක් නිලධාරීන් දෙදෙනා සමච්චලයට මහ හඬින් හිනාවුනා.
මේ සමච්චල් හිනා සහ තරවටු සහිත කතාබහකට පස්සේ කඳුළු පිරි දෙනෙතින් බැගෑපත් වුනු අදාල කාන්තාව වෙත පැය කිහිපයකට පස්සේ ඇය ඉල්ලූ නිවාඩුව ලබා දුන්නත් අදලා බලධාරීන් ලබා දුන් වේදනාව තවමත් අවුරුදු ගණනක් ගියත් තවම අමතක වෙලා නැහැ.
මේ සිදුවීමෙන් අවුරුදු විස්සකට පස්සේ අදාල නිවාඩු ඉල්ලූ නිලධාරිනිය රාජකාරියෙන් විශ්‍රාම ගොස් තිබුණත්, මෑතකදි ඇයත් සමඟ කතා කරන විට මේ සිදුවීම නැවත මතක් කරන්නට තරම් ඒ “වේදනාව ඇගේ හිතේ පැලපදියම් වී” තිබුණා. “වැඩක් නෑ මල්ලි කතා කරලා එයාල පරපීඩක මානසිකත්වයේ හිටපු අය.” ඇය අදටත් හිත හදා ගත්තේ එහෙම.
ඇත්ත පරපීඩකත්වය Sadism , එහෙම නැත්නම් පරපීඩක මානසිකත්වය sadistic mentality , එහෙමත් නැත්නම් පරපීඩක පෞරුෂය Sadistic Personality කියල කියන්නේ එක්තරා විදියක පොදු ලක්ෂණයක් තිබෙන අවස්ථා කිහිපයක්. එහිම තවත් අවස්ථාවක් තමයි පරපීඩක කාමුකත්වය Sexual sadism කියල කියන්නෙත්. දැන් අපි බලමු මොකක්ද මේ “පරපීඩක” ප්‍රශ්නේ කියලා.
කෙටියෙන්ම මෙහෙමයි මේ “පරපීඩක නැත්නම් Sadism/ Sadomasochism” කියල කියන්නේ අනෙක් අයෙක්ම රිදවල, ඒ රිදවීම නිසා අදාල පුද්ගලයා වේදනාවට පත්වෙනවා දැකල මානසික තෘප්තියක් ලැබීම. කෙටියෙන්ම කිව්වොත් කාට හරි රිද්දලා සතුටක් ලැබීම. මේක සමහර විට ශාරීරිකව අනික් කෙනාට රිද්දල, පහර දීලා තෘප්තියක් ලැබීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිත රිදෙන විදියට බැනල කෑගහල , ඒ බැණුම් අහන කෙනා වේදනාවට පත්වෙත්දි එයින් සතුටක් ලබනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යම් ක්‍රමයක් මගින් අනෙක් කෙනා මානසිකව රිදවල, දුකට පත් කරල, ඒ තමන්ගේ උත්සාහය මගින් අනෙකා දුකට පත්වුනු බව දැනීම “සතුටක්” කරගත්තා වෙන්නත් පුළුවන්.
දැන් මෙහෙම කියත්දි ඔබට හිතෙන්න පුළුවන් , එදා ඔෆිස් එකේදි මගේ යාළුවත් එක්ක පොඩි කතාවක් වුනා , එයා ඒකෙන් දුක් වුනානේ , ඒ කියන්නේ මමත් sadistic ද කියල. කළබල වෙන්න එපා. පාසලේදී කාර්යාලයේදි යාළුවො එක්ක කතා බහ කරත්දි නොදැනුවත්ව අපි කියන දේකට කෙනෙක් කණගාටුවට පත්වුනොත් , නැත්නම් බස් එකේ යත්දි තෙරපීමකට ලක්වෙලා කවුරු හරි අපහසුතාවයට පත්වුනොත් ඒ සිදුවීම නිසා, ඔබ sadistic කෙනෙක් කියල කියන්න බැහැ.
පරිපීඩක මානසිකත්වය ඇති අය වැඩකටයුතු කරන්නේ ඊට ටිකක් වෙනස් විදියකට.
-ඒ අය අනෙකාව හිතාමතාම රිදවනවා
-රිදවීමෙන් අනික් කෙනාට “වේදනාවක් ලැබුණූ බව” දැනුනම එයින් සතුටක් ලබනවා.
-තමන් කළ “රිදවීම” වරදක් විදියට හිතන්න කැමති නෑ
-වැදගත්ම දේ, රිදවීම නිසා අනෙකා වේදනාවට පත්වුනා කියල කිසිම දුකක් මේ අයට නෑ.
දැන් මෙහෙම අය අපේ සමාජයේ ඉන්නවද? ඔව්, හුඟක් ඉන්නවා. පාසලේ , නැත්නම් කාර්යාලයේ , නැත්නම් මගතොටේ , බස් එකේ මේ ඕනම තැනක පරපීඩක මානසිකත්වය තියෙන අය ඉන්න පුළුවන්. එයින් තවත් බොහෝ අය පීඩාවට පත්වන්නට පුළුවන්. ඒ පීඩාව “පරපීඩකයන්” සතුටක් කරගනිමින් මේ වෙලාවෙත් ඉන්නවා.
Theodore Millon කියන මනෝ විද්‍යාඥයා මෙම පරපීඩකයන් වර්ග කරනවා. ඒ අදාල පුද්ගලයන්ගේ චර්යාවන් සහ අනෙක් කෙනා පීඩාවට පත්කරන ස්වභාවය අනුව.
දුර්වල පරපීඩකයෝ/Spineless sadism
මේ අය පරපීඩකයෝ වුනත්, හරිම බියගුළු, සමාජය ඉදිරියට එන්න අකමැති හැංගුණු චරිත. එළියට පෙන්නුවත් “මම හරිම නිර්භීත කෙනෙක්” කියන සමාජයට හරිම බයයි, තමන්ගේ වැරැද්දක් කවුරු හරි කියයිද කියල බයේ ඉන්නේ. ඒ නිසාම හුඟක් වෙලාවට වැඩිය සමාජය එක්ක, පිරිස එක්ක එකතු වෙන්න වැඩි කැමැත්තක් නෑ. ටිකක් හැංගිලා ඉඳගෙන තමයි මේ කරන “පර-පීඩක” කටයුත්ත කරල සතුටක් ලබන්නෙත්. හොඳම උදාහරණයක් ඔය බස් වල විවිධ ලිංගික ස්ඵර්ශ කිරීම් කරල, පීඩාවන් කරන “මං කළේ නෑ වගේ ඉඳළ” සතුටු වෙන අය. එහෙම නැත්නම් තමන් දන්න මිතුරෙක්ට නරක විදියේ විහිලුවක් කරල , එයින් යාළුව කණගාටුවට පත්කරල සතුටු වෙන්නෙත් මේ අය. බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය නැත්නම් ජංගම දුරකථන , අන්තර්ජාලය ඔස්සේ තව කෙනෙක් මේ විදියට පීඩා කරල සතුටු වෙන්න මෙයාල හරිම කැමතියි. මොකද කෙළින් මූණ බලාගෙන සමාජය ඉස්සරහ “පීඩාව” කරන්න හරිම බයක් මේ අයට තියෙන්නේ. සමහර පූජක පක්ෂයේ අය අතරත් මේ තත්තවයේ හැංගුණූ , අහිංසක වගේ පරපීඩකයෝ ඉන්නවා.
කෲර පරපීඩකයෝ/ Tyrannical sadism
මේ කණ්ඩායමට අයත් පරපීඩකයෝ හරිම “කෲරයි” , අමානුෂිකයි. ඒ අයත් “තමන්ගේ වැරද්දක්” පෙන්වා දුන්නොත් හොඳටම කෝප වෙනවා. ඒ නිසාම ටිකක් සමාජ විරෝධී විදියට තමයි කටයුතු කරන්නේ. මොකද අනෙක් සාමාන්‍ය සමාජය එක්ක එකට ගැටිලා ඉන්න අමාරුයි. හැම දේම , හැම කෙනාම සැකයි, තමන්ගේ දේ විතරමයි විශ්වාස කරන්නේ. ආයතනයක බලධාරී මට්ටමේ නම් ඉන්නේ “බලය” වෙන කාටවත් බෙදිල යනවට කිසිම කැමැත්තක් නෑ. ඔක්කොම බදාගෙන “ලොකුකම” තියාගෙන ඉන්න බලනවා. ඒ “හදා ගත් ලොකුකමින්” අනෙකාට වේදනාවක් දීල, පීඩාවක් කරල එයින් තමයි මෙයා සතුට ලබන්නේ. ඔය කාර්යාල වල වල කාමර වලට කොටු වෙලා ඉන්න මූණෙ හිනාවක් නැති ලොක්කෝ අතරේ මේවගේ අය ඉන්න ඉඩ හුඟක් වැඩියි. මේ අයගේ තවත් ලක්ෂණයක් තමයි හැම තිස්සේම ඉන්නේ ලොකු කණස්සල්ලකින්. ඒ වගේම ලිංගික ජීවිතයෙදි, නැත්නම් ලිංගික සතුට ලබා ගැනීමේදී තම අනෙක් පාර්ශවයට කෲර ලෙස පීඩා කරල එයින් ලිංගික ආශ්වාදයක් ලබා ගන්න Sexual Sadism Disorder තිබෙන අයත් මේ තැන ඉන්න පුළුවන්.
බලයන පරපීඩකයා/ Enforcing sadism
මේ අය සමාජය ඉදිරියේ බොහොම “පිළිවෙලට වැඩ කරන” , අකුරට වැඩේ කරන්න ඕන වගේ හිතන , ඒ ඔස්සේම අනෙකාව පීඩනයට පත් කරලා, වේදනාවට පත්කරලා සතුටු වන අය. මේ “පෙන්නන, අතිශ්‍ය පිළිවෙල බව, අකුරට වැඩ” තත්ත්වය ඔස්සේම විවිධ දඬුවම් වලින් , අනවශ්‍ය පීඩාවන් ඇති කරන “පාලනය” කිරීම් වලින් අනෙකාව රිදවල මෙයාල තම “සතුට” ලබා ගන්නවා. හුඟක් වෙලාවට මේ “සතුට ලබා ගැනීම” වෙනුවෙන් තමන්ගේ සීමාවෙන් පිට ගිහින් “පීඩාවට” පත් කිරීම් කරන අවස්ථා බහුලයි. හොඳ උදාහරණ විදියට සමහර නීති ක්‍රියාත්මක කරන අංශ වල ඉන්න “ලොක්කන්” දකින්න පුළුවන් මේ පරිපීඩක චර්යාවන් දක්වන බව.
Explosive sadism/පිපිරෙන පරපීඩකයා
මෙයාල නමේ හැටියටම “පිපිරි පිපිරි” ඉන්න අය. හරිම ඉක්මණට තරහ යනවා, හැබැයි හිතේ බයත් තියෙනවා. මෙයාලගේ මූඩ්ස් වෙනස් වෙන්නේ බලං ඉඳිත්දි, කිසිම හිතේ ස්ථාවර බවක් නෑ. හිතේ තදකරගෙන ඉන්න හැම දේම ඉතාම දරුණු විදියට එළියට දාන්න මේ අයට පුළුවන්. හුඟක් වෙලාවට අතින් පයින් පහර දීමට පවා පෙළඹෙන්නට ඉඩ තිබෙනවා. ඒ පහරදීම් වලට ලක්වුනු කෙනා දුක්වෙන හැටි බලල, වේදනාව දැකල මේ අයට සතුටු වෙන්න පුළුවන්. කිසිම වෙලාවට “තමන් වැරදියි” කියල පිළිගන්න කැමැති නෑ. ඔය හමුදාවේ ,පොලීසියේ රාජකාරි කළ අය නම් සමහර වෙලාවට මේවගේ ලොක්කන් එක්ක වැඩ කටයුතු කරල ඇති. ඒ විතරක් නොවෙයි සමහර වෙලාවට ඔබ ඉන්න කාර්යාල වලත් මෙහෙම පිපිරෙන අය ඉන්න පුළුවන්.
ඉතින් අප සමාජයේ දකින හුඟක් පරපීඩකයෝ මේ කාණ්ඩ හතරේ එකකට අයිති ඇති. ඉන් පිටත ඉන්න පුළුවන් අවස්ථාත් තිබෙනවා , ඒතවත් මානසික රෝග වල එකතුවක් විදියට. කොහොම වුනත්, මේ පරපීඩකත්වය නැත්නම් Sadistic Personality එක “ලෙඩක්” විදියට ඉස්සර නම් කළත් දැන් එය “ලෙඩක්” ලෙස නාමකරණය කෙරෙන්නේ නැහැ.( Sexual Sadism Disorder කියන තත්ත්වය නම් රෝගයක් ලෙස හඳුන්වා දෙනවා) නමුත් , මෙම තත්ත්වයෙන් ඉන්න කෙනෙකුට ප්‍රතිකාර ලෙස , උපදේශණය සහ තවත් ඖෂධීය ප්‍රතිකාර කළ යුතු අවස්ථා තිබෙනවා. මේ ලිපිය තුල ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ.
නමුත් මම කතා කරන්න උත්සාහ කරනවා ඔබ මේ කාණ්ඩයට කොපමණ සම්බන්ධකමක් තිබේදැයි හඳුන්වා දෙන්නට. හේතුව සමහර වෙලාවට මේ තත්ත්වය කොයිතරම් දරුනුවට තමන්ට ඇත්දැයි හිතන්නට , තීරණය කරන්නට මොවුන් පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම මෙම පීඩකයන් නිසා සමාජයේ , ඔබේ අපේ පවුලේ නැත්නම් බස් රථයේ පාසලේ තවත් අයෙක් පීඩාවට පත්වෙනවා වෙන්නත් පුළුවන්. මේ සරළ ප්‍රශ්න දහය ඔස්සේ යම් අදහසක් ලබා ගන්නට පුළුවන්, නමුත් කිසිම විටෙක මෙය “රෝග විනිශ්චයක්” ලෙස භාවිත කෙරෙන්නේ නැහැ. ඔබට කරන්න තිබෙන්නේ සරළ ප්‍රශ්න දහයකට (Short Sadistic Impulse Scale) හිතට අවංකව උත්තර දෙන එක විතරයි.
8. I enjoy seeing people hurt.-
7. I would enjoy hurting someone physically, sexually, or emotionally
2. Hurting people would be exciting
5. I have hurt people for my own enjoyment.
1. People would enjoy hurting others if they gave it a go
9. I have fantasies which involve hurting people
3. I have hurt people because I could.
4. I wouldn’t intentionally hurt anyone
6. I have humiliated others to keep them in line.
10. Sometimes I get so angry I want to hurt people.
දැන් මේ ප්‍රශ්නාවලියේ ඉලක්කම් මාරු වෙලා තිබෙන එක ගැන කළබල වෙන්න එපා. වැදගත් ඔබ ලබා දෙන පිළිතුරයි.දැන් Yes කියන පිළිතුර( හෝ ඊට සමානව අටවන ප්‍රශ්නයට No ) හැම එකකටම ලකුණූ එක ගානේ එකතු කරල බලන්න මුළු ලකුණු කීයක් ලැබුණද කියල. ලකුණූ 5ක් හෝ ඊට වැඩිනම්, ඔබ තුලත් මේ පරපීඩක මානසිකත්වයේ ලක්ෂණ අවධානය යොමු කළ යුතු මට්ටමක තිබෙනවා. මේ ගැන තවත් සරළ පරික්ෂණයක් තිබෙනවා. ඒ සඳහා මේ ලිංක් එකෙන් යන්න පුළුවන්(https://www.idrlabs.com/6-minute-sadism/test.php) මේ කුමන ආකාරයකින් හරි ඔබ තුල අදාල අවදානම් ලක්ෂණ තිබේ කියල හඳුනාගන්නවා නම් පළමුව ඔබටම පුළුවන් උත්සාහ කරන්න, මෙම තත්ත්වය, නැත්නම් මේ හැඟීම අවම කරගන්න. ඒ ඔස්සේ සමාජය තුල කාටවත් හිතාමතා පීඩා නොකරන තත්ත්වයකට පත්වන්නට. කෙසේ වෙතත් මේ තත්ත්වයේ එක්තරා අවස්ථාවකදි තමන්ටම මෙම හැගීම මතුවීම් පාළනය කරගන්න බැරි වෙන්න පුළුවන්. අන්න එතැනදි නිසි සෞඛ්‍ය වෘත්තිකයෙක්ගේ උදව් ගන්න එක ඔබටත් සමාජයටත් උපකාරයක් වේවි.
මෙම පරපීඩකත්වය ඇති වීමට ස්ථිරම හේතු නොවුනත්, හඳුනාගත් ප්‍රධාන සාධක ලෙස, අදාල පුද්ගලයන්ගේ බිඳවැටුනු පෞරුෂය , කුඩා කාළයේ සිදුවූ ලිංගික හෝ ගෘහස්ථ හිංසනයන්, වගේම දුප්පත් කම සහ සමාජය තුල අසාධාරණයට ලක්වීමක් පසු කාළීනව කෙනෙක් “පරපීඩකයෙක්” කරන්න පුළුවන් කියල සඳහන් වෙනවා.
මේ පරපීඩකයින් ඕනම සමාජයක අපට හමුවෙන්න පුළුවන්, නමුත් විවිධ ආර්ථික සමාජයීය සංස්කෘතික පීඩාවන්ට, බන්ධනයන්ට ලක්වන සමාජයක තවෙකෙක් රිදවලා සතුට ලැබීමේ කැමැත්ත වැඩිපුර දකින්නට ලැබෙනවා. එය සමහර විට අපට මග තොටේදි අත්දකින්න පුළුවන් ඇත්තක්.
දැන් මේ පීඩාවට පත්වන අපේ සමාජයේ ඉන්න හුඟක් අය , තමන් පීඩාවට පත් වුනත්, කරුමය, ලබා උපන් හැටි, දුප්පත්කම, ගෑණු ගතිය , එහෙම නැත්නම් රස්සාව බේර ගන්න , හිතවත්කම පවත්වා ගැනීම නැත්නම් විවාහය පවත්වා ගැනීමේ හේතු පෙන්වමින් "විඳ දරා ගැනීමට" උත්සාහ කරනවා. නමුත් මේ උත්සාහය තුල පීඩාවට ලක්වන්නා දිගින් දිගටම මානසික පීඩනයකට ලක්වනවා නම් එය අවදානමක්.
එහෙම නම් ටිකක් සංකීර්ණ මාතෘකාවක් , පුළුවන් තරමට සරළව ලියන්නයි උත්සාහ කළේ, මේ ගැන තව දුරටත් දැන ගන්න කැමති නම් ඉතාමත් විස්තරාත්මක පොතක් තිබෙනවා Stekel, W. (2010). Sadism and Masochism. එහෙම නැත්නම් අන්තර්ජාලය ඔස්සේ Mental Health America වැනි වෙබ් අඩවියකින් තොරතුරු ලබා ගන්නත් පුළුවන්.
එහෙම නම් අද ලිපිය නිමාව, තවත් දවසකදි වෙනත් ලිපියකින් හමුවෙමු.
References
Stekel, W. (2010). Sadism and Masochism: The Psychopathology of Sexual Cruelty (Solar Asylum) (Reprint ed.). Solar Books.
O'Meara, A., Davies, J., & Hammond, S. (2011). Short Sadistic Impulse Scale [Database record]. Retrieved from PsycTESTS. doi: http://dx.doi.org/10.1037/t05157-000
A STILL FROM THE MOVIE ADAPTATION OF FIFTY SHADES OF GREY. (2019). [Image]. Retrieved from http://trinitynews.ie/wp-content/uploads/2019/04/untitled.png
2021/01/31
247) ඇරුනු වැහුනු සිත් ඇත්තෝ
හැම තැනම යාළුවෝ, මිත්‍රයෝ හිතවතුන්. පාසලද , රැකියාවද , මග තොටේද එහෙම නැත්නම් ෆේස්බුක් එකේ හරි වට්ස්ඇප්/සිග්නල් ගෲප් එකක වෙන්නත් පුළුවන්. මේ කොතැන වුනත් අපට විවිධ ආකාරයේ මිතුරන් හමුවෙනවා. මේ විවිධ ආකාරය කිව්වම පැති ගණනාවක් දකින්න පුළුවන්. නමුත් මම අද මේ ලිපිය තුල කතා කරන්න උත්සාහ කරන්නේ සමාජය තුල ඔවුන් සම්බන්ධ වන විදිය අනුව ආකාර දෙකක් හඳුනගන්න පුළුවන්. ඒ සමහරු දැන ගන්න කැමතියි, තමන්ගේ මතය වගේම අනෙක් මතයත් ගරු කරනවා. ඒ අතරේ සමහර “තමන්ගේ එකම තමයි” හරි වෙන අය වැරදියි වගේ මතයක ඉන්නවා. අද කතා කරන්න හදන්නේ මෙන්න මේ වෙනස ඇති කරන විවෘත , හෝ සංවෘත මානසිකත්වය ගැන එහෙම නැත්නම් තේරෙන බාසාවෙන්ම කිව්වොත් open-mindedness ද closed-mindedness ද කියන එක.
දැන් මේක දැන ගත්තම තියෙන වාසි මොනවද? එකක්, තමන් මොන විදියට මානසිකත්වයක ඉන්නේ කියල වටහා ගන්න පුළුවන් නම් , තමන්ගේ අඩුපාඩුවක් ඇත්නම් හදා ගන්නත්, තමන්ගේ හිතුවිලි රටාව තුල යහපත් මට්ටමක ඉන්නවා නම් එය වැඩි දියුණු කරගන්නත් මේ ඔස්සේ ඔබට අපට පුළුවන්. ඒවගේම ඔබත් එක්ක කතා බහ කරන, සාකච්ඡා කරන මිතුරා , නැත්නම් රැකියාවේ සාමාජිකයා මොන ආකාරයට හිතන කෙනෙක් කියන දේ ගැන අදහසක් ඇත්නම් මතුවන ගැටළු අඩු කරගන්නත් හැකියාවක් ලැබේවි.
හරි දැන් බලමු මේ open/close කතාවේ ඔබ , මම කොතැනද කියලා.
මුලින්ම බලමු අප සංවෘතව හිතන අයෙක් closed-mindedness, ඔහු හෝ ඇය සමාජය තුල හැසිරෙන ආකාරය. මේ අය තමන් පිළිගන්නා අදහස,මතය , පිළිගැනීම අභියෝගයකට ලක්වෙනවාට කැමති නැහැ. එය වැරදි හෝ එහි වෙනත් පැත්තක් ඇති බව පිළිගන්න කැමති නැහැ. තමන්ගේ පිළිගැනීමේ “වැරැද්දක්” තිබෙන බව අනෙක් අය කිව්වොත් අමනාප වෙනවා, සමහර විට ආවේගශීලී වෙනවා. තමන්ගේ අදහස “වැරදි” යැයි අනෙක් කෙනා කියන්න හේතුව හොයන්නවත් මේ අය උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසාම නිතරම උත්සාහ කරන්නේ “තමන් නිවැරදි”යි කියන මතය ඇති කරන්න. ඒ නිසාම තමන්ගේ මතය අභියෝගයට ලක්වන ප්‍රශ්න අහන්නට අවස්ථාවක් දෙන්නට මේ අය අකමැතියි. මොකද තමන්ම තමයි නිවැරදි කියල හිතන්නේ.
මේ තත්ත්වය යටතේ ඔහු හෝ ඇය යම් මතයක් පිළිබඳව දකින්නේ එක් දිසාවක් පමණයි, එක් අදහසක් පමණයි. මොකද අනෙක් මතය හිතන්න වත් ඒ අය පෙළඹෙන්නේ නැහැ. දැන් යම් හේතුවක් නිසා ඒ අදහසේ වැරැද්දක් වුනා කියමු. ඒ වැරැද්ද “තමන්ගේ නොව” අනෙක් අයගේ වැරැද්දක් විදියට පෙන්වල හිත හදා ගන්න මේ ක්ලොස් මයින්ඩඩ් මිතුරන් උත්සාහ කරනවා.
එතකොට විවෘතව හිතන අයෙක් ගේ හැසිරීම මොනවගේද කියලා දැන් බලමු. open-mindedness අය තමන් පිළිගන්නා මතය , විශ්වාසය හෝ පිළිගැනීම පිළිබඳ පිරිසට ඉදිරිපත් කරන්නේම මොනවද ඔබේ අදහස් වැනි තැනක සිට. ඒ කියන්නේ මේ අය තමන්ගේ මතයට එකඟ නොවීම් වීමේදී අමනාප හෝ ආවේගශීලී වනවාට වඩා, ඒ එකඟ නොවීමට හේතුව කුමක්විය හැකිදැයි හොයාන්නට පෙළඹෙනවා. අනෙකාගේ අදහසත් සළකා බලන්නට අවස්ථාවක් දෙනවා.
ඒ නිසාම තමන්ගේ මතය පිළිබඳව ප්‍රශ්න අහන්නට අවස්ථාවක් ලබා දෙන්නේ තම මතයේ වැරැද්දක් ඇත්නම් එය නිවැරදි කරගැනීමේ අරමුණින්. ඒ නිසාම මේ අය කතා බහකදි උත්සාහ කරනවා අනෙකාගෙන් යමක් අරගන්න, ඉගෙන ගන්න. තමන්ගේ අදහස හරිද වැරදිද කියල හිතල බලන්න. මේ උත්සාහය නිසා විවෘත මානසිකත්වය ඇති පුද්ගලයා හැම විටම අළුතින් ඉගෙන ගන්නට අවස්ථාවක් ලැබෙනවා. දැනුවත් වෙනවා. එයින් සතුටු වෙනවා. ප්‍රතිපලය වන්නේ යම් තීරණයක් , අදහස් පිළිබඳ විවිධ පැති වලින් හිතන්නට , වටහා ගන්නටත් ඒ ඔස්සේ නිවැරදි දෙය හඳුනාගන්නට සහ විශේෂයෙන්ම පිළිගන්නටත් හැකියාව ලබනවා. යම් හේතුවකින් තීරණයේ හෝ අදහසේ වැරැද්දක් ඇතිවුනොත් ඒ වැරදීමට හේතුව හොයා ගන්නට පෙළඹෙනවා. අනෙක් අයගේ අදහස් ලබා ගන්නවා.
ඔබ , මම කොතැනද?
දැන් මේ ටික කියාගෙන යත්දිම ඔබ කුමන කාණ්ඩයට අයත්ද කියන එකත් ඔබේ මිතුරා කිනම් විදියට හිතන කෙනෙක්ද කියන එකත් ගැන යම් අවබෝධයක් ඇති වෙන්න ඇති. දැන් මේ දෙනෙක් වඩාත් වාසිදායක , සාර්ථක තත්ත්වය වෙන්නේ කුමක්ද කියල ඇහැව්වොත් එහි වැඩි වාසිය තිබෙන්නේ Open minded කියන තත්ත්වයට. ඒ අය දැනුවත් බවින් , අත්දැකීම් වලින් බහුල වෙනවා ,තීරණ ගැනීමේදී වඩාත් සාර්ථක තීරණ ගන්නට පෙළඹෙනවා. පොදුවේ ගත්තම හැම අතකින්ම සාර්ථකත්වයක් ලැබීමට අවස්ථාවක් ලබනවා. එය පාසල, රැකියාව හෝ විවාහය පවුල තුල වුනත් වෙන්න පුළුවන්.
වෙනස් වෙන්න පුළුවන්ද?
ඉතින් ඔබ හඳුනාගත්තා නම් තමන් closed-mindedness ලෙසින් හිතන කෙනෙක් කියලා, ඔබට පුළුවන්ද open minded තත්ත්වයට පත්වෙන්න. ඔව්, ඔබට පුළුවන් , ඒ සඳහා කරන්න ඕන දේ ඔබේ හිතුවිලි රටාව හඳුනාගෙන , හැකිතරම් ඔබ එකඟනොවන මාතෘකා සාකච්ඡා සමඟ එකතු වෙමින් අනෙක් අයගේ මත පිළිබඳව හිතා බලමින් , ඔබේ හිතට එන අදහස් open minded අයෙක් ගේ හිතුවිලි හැසිරෙන ආකාරයට පත්කරගන්නට උත්සාහ කරන එක. මෙය පුහුණවක්, කාළයක් යාවි, ඒ අතරේ තමන් ගේ සිදුවන සංවර්ධනය වගේම තවමත් තමන් තුල නිතැනින් මතුවන closed-mindedness සංකල්ප ගැන ඔබටම තේරුම් ගන්න වේවි. මේ උත්සාහ ටික කළක් කළොත් ඔබටත් පුළුවන් open-minded විදියට ලෝකය දකින්න. එතැනදි දැනුම වගේම පුළුල් සමාජ අත්දැකීම් ලබා තිබීමත් ඒ කටයුත්තට පහසුකරගන්නට උදව් වෙනවා.
එසේනම් දැන් ඔබේ අවස්ථාව, ඊට ඉඩ සලසා දී අදට මේ කතාව නිමා කරනවා.
Lear, J. (1999). Open Minded. Amsterdam University Press.
Authentic Happiness. (2021). University of Pennsylvania. https://www.authentichappiness.sas.upenn.edu/.../open...
2021/01/23
246) බර වැඩියි අනේ
දේහ බර වයසට
අදාල උසට ගැලපෙන සීමාවට වඩා වැඩිවීම කරදර ගණනාවකට මග පාදනවා. විශේෂයෙන්ම මැදිවියේ ඉන්න
අප වගේ අයට, අධීරුධිර පීඩනය , දියවැඩියාව, සන්ධි ආබාධ, මෙන්ම පිළිකා වැනි අවදානම්
තත්ත්ව වලටත් “බර වැඩිවීම” හේතුවක්.
දැන් ඉතින් “බර
වැඩිවීම” කියන්නේ මොකක්ද කියල හරියටම දැන ගන්න එපායැ.එහෙම නැතිව නිකං මහතයි වගේ පෙනුන
පමණින්ම බර වැඩියි කියල කියන්න බෑ. මෙන්න මෙහෙමයි වැඩේ කරගන්නේ. ඔබේ බර බලා ගන්න
කිලෝග්‍රෑම් වලින්, උස බලා ගන්න සෙන්ටිමීටර් වලින්. දැන් උස වැඩිකරන්න උසෙන්ම,(උස
වර්ග කරන්න) ඊළඟට බර බෙදන්න මේ උසේ වර්ගයෙන්. උත්තරේ 18-23 වගේ ගාණක් තියා ගන්න පුළුවන් නම් තමයි
පරිස්සම්. 23න් ඉහළ උත්තරයක් නම් ආවේ ඔබේ බර වැඩියි, පෙර කී අවදානම් ඇති වන්න පුළුවන්.
මේ උත්තරේ 27ට වැඩි නම් “ඉතාම අවදානම බර වැඩි වීමක” ඉන්නේ , ඉක්මණින්ම වෘත්තිය උපදේශයක්
ලබා ගන්න ඕන බර අඩු කරගන්නට.
හිතන්න ඔබේ බර,
වැඩියි කියල, අපි හිතමු 25ක විතර උත්තරයක් ආවේ කියල. එහෙම නම් දැන් සූදානම් වෙන්න ඕන
බර අඩු කරගන්නට. හොඳම දේ පෝෂණවේදියෙක් හමුවෙලා කෑම බීම ගැන උපදෙසක් ගන්න එක, නමුත්
අපටම සමහර සූදානම් වීම් වෙන්නට පුළුවන්. මේ කියන්න හදන්නේ අන්න ඒ වගේ අපට කරන්න
පුළුවන්, සාර්ථක උත්සාහයන් කිහිපයක්,
- සීනි කපන්න.( අපට අමතර සීනි බිව්වෙ නෑ කියල කිසිම අහිතක් වෙන්නේ නෑ. ඒ වගේම අපේ බර වැඩිවීම් වලට වැඩි හේතුවක් අමතරව එකතු කරන සීනි. කරන්න පුළුවන් දේ , සීනි, හකුරු වගේ දේ එක්ක තේ බොන එක අඩු කරන්න, වාර ගාණ අඩු කරන්න. එකවරකට බොන ප්‍රමාණය අඩු කරන්න. පුළුවන් නම් සම්පූර්ණයෙන්ම නවත්වල, නිකම් කිරි එකක් බොන්න රසට හුරු වෙන්න)
- පිටි හලන්න (බත් කන්දක් කියන්නේ දියවැඩියාව කැන්ද ගන්න මුල බව මතක් කරගන්න. බත් අඩු කෝප්පයක් එකහමාරක් වැඩිත් එක්ක ඇති. එළවලු පළා, මස් හෝ මාළු වලින් ඉතිරිය පුරවගන්න. රොටි, පිටි කෑම නවත්වන්න පුළුවන්ද බලන්න.
- වතුර බීල බත් කන්න. ( කෑමට පෙර පළතුරක් කන්න හැකිනම් එළවලු සැලඩ් එකක් කන්න,සීතල වතුර කෝප්ප දෙකක් බොන්න,ඊට පස්සේ ඉතිරි ඉඩට බත් එලවලු කන්න)
- ඇඹුල් කරගන්න ( එළවලු / සැලඩ් වගේ දේට විනාකිරි ටිකක් එකතු කරන්න)
- නොබලා කන්න. ( රූපවාහිනිය හෝ දුරකථය පරික්ෂා කරමින් කන්න එපා. කෑම කන ප්‍රමාණය ගැන අවධානයෙන් රස විඳිමින් කන්න)
- රාත්‍රී කෑම වේලට වඩා උදේ වේල වැඩි කැලරි ප්‍රමාණයක් ලැබෙන ආහාරයක් ගන්න.
- විනාඩි විස්සක්වත් කන්න. (කළබලේට ගිලිනවාට වඩා, කෑම හොඳින් විකීමට, ඇඹරීමට කටෙහි රඳවා ගැනීමට කාළය ගන්න)
- කෑම නින්දට පෙර නොව . ( රෑ කෑම ගත් සැණින් නිදා නොගන්න, රාත්‍රී ආහාරයෙන් පසුව පැය කිහිපයකින් නින්දට යන්න. රාත්‍රි 7ට ආහාරය ගැනීමට හැකිනම් රාත්‍රී නමයට නින්දට යන්නට පුළුවන්)
- රාත්‍රි කෑමෙන් පසු (7.00ට) නැවත ආහාර නොගෙන නින්දට පෙර වතුර කෝප්පයක් බොන්න.
- දවසකට විනාඩි 30-45ක් කිලෝමීටර 3ක්වත් දුර වේගය අඩුු වැඩි කරමින් දුවන්න, වේගයෙන් ඇවිදින්න.(දැනට හෘද රෝග හෝ අධිරුධීර පීඩනය ඇත්නම් ලැබී ඇති සෞඛ්‍ය උපෙදස් මත හෝ ඇවිදීම සහ අපහසුතා දැනෙන විට විවේක ගැනීම ආරක්ෂාකාරී වේ)
- සතියකට වරක් එකම වෙලාවකදී බර මැන සටහන් කරගන්න.
මේ පියවර ටික
හරියට අනුගමනය කළොත් මාසයක කිලෝග්‍රෑම් දෙකක් සෞඛ්‍යානුකූල බර අඩු කරගැනීමක්
කරන්නට පුළුවන්. ඒ විදියට තමන් නියමිත ආරක්ෂීත බර සීමාවට එන්නට පුළුවන් නම් පවතින සෞඛ්‍ය
ගැටළුවලට සහනයක් වගේම , ඉදිරියේදී ඇති වීමේ අවදානම ඇති තත්ත්ව වලින් ගැලපෙන්නට හෝ
පමා කරගන්නට ඔබට හැකිවේවි.
දැන් මේ තියෙන්නේ පහුගිය මාසය තුල මම පුද්ගලිකව මේ පියවර ඔස්සේ ලබා ගත් ප්‍රතිපල. ඒ කියන්නේ , හරියට උත්සාහ කළොත් තමන්ටම වාසිකයක් වන මේ දේ කරගන්න පුළුවන්. හැබැයි හිත හදා ගන්න බැරිවුනොත් හැමදාම කියන්න වෙන්නේ “අනේ බර අඩු කරගන්න බෑනේ “ කියලම විතරයි. එහෙම නම් උත්සාහ කරල බලන්න.
2021/01/01
245) කොට බෙල්ලයි ගෙරවිල්ලයි හරි අවදානම්
දෙසැම්බර් 31 කියන්නේ ඉතින් පාටිම තමා නේද? වැඩ කරන තැන පාටි, යාළුවන්ගේ පාටි .. පාටි පාටි පාටි …
කෙහෙන් කොහොම හරි ඔය පාටි වලට ඉඳළා ගෙදර ඇවිත් නිදාගනිත්ම , ළඟ ඉන්න කෙනාගේ කණ පැලෙන්න ගොරවන කෙනෙක් නම් මේ කෙටි විස්තරය ඔබට වැදගත් වේවි.
ඔබ, නින්දේදී අධීක හඬක් දෙමින් ගොරවනවා නම්, නින්දෙන් ඇහැරෙත්දි උගුර හොඳටම වේලිලා, රිදෙන බවක් දැනෙනවා නම්, නින්දෙදි හුස්ම හිර වෙලා , එහෙම නැත්නම් හේතුවක් නැතිව කැස්සක් වගේ ඇතිවෙමින් වරින් වර නින්දෙන් ඇහැරෙන බවක් දැනෙනවා නම් , නැත්නම් ඔබත් එක්ක සයනයේ ඉන්න කෙනා කියනවා නම්, නින්දෙන් අවදිවෙලා දවසේ වැඩ කරත්දි හැමදාම වගේ කියන්න බැරි , හේතුවක් නොදන්න ඇගේපතේ අමාරු, ඔළුවේ කැක්කුම් ,නිදිබර බවක් කෙටියෙන්ම කිව්වොත් දවස කිසි ෆීට් එකක් නෑ වගේ දැනෙනවා නම් , ටිකක් හොයල බලන්න ඔබත් Sleep Apnea තත්ත්වයෙන් පෙළෙනවා දැයි.
මේ අවදානම හුඟක් වැඩියි තරබාරු, වයස 40ට වැඩි , බෙල්ල ටිකක් වැඩිපුර මහත පිරිමි අයට. එහෙම කිව්වට ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්, හඳුනාගැනීම ප්‍රමාද වෙන , නැත්නම් නොසලකා හරින තත්ත්වයක් මේක.
නොසලකා හැරීම හෝ හඳුනානොගැනීම තුල වෙන්න පුළුවන් අවදානම් විදියට අධිරුධිර පීඩනය , දියවැඩියාව, විශාදය වගේ මානසික රෝග, ඒ විතරක් නොවෙයි, හෘදයාබාධ වගේම අංශබාගය වගේ අවදානමුත් තිබෙනවා. ඒ නිසා අර මුලින් කී ලක්ෂණ හෝ සැක කළ හැකි ලක්ෂණ තිබේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවෙලා උපදෙසක් ගන්න.
කෙහොම වුනත්, ඔබ තරබාරු නම් වෛද්‍යවරයා හෝ සෞඛ්‍ය වෘත්තිකයෙන් ඔබේ උස-බර මැනල හඳුනාගැනීමකින්, නැත්නම් BMI අනුව ඔබ “තරබාරු” යි හඳුනාගෙන ඇත්නම් බර අඩු කරගැනීමට තටයුතු කිරීමත්, නිදාගන්නා ස්ථාපිය වෙනස් කරමින් උත්සාහ කිරීමත් කරන්නට පුළුවන්. ඊට අමතරව නින්දට පෙර මත්පැන් හෝ දුම්වැටි ගන්නට පුරුදු වෙලා ඉන්නවා නම් එම වේලාවන් වෙනස් කර උත්සාහ කරන්නත් පුළුවන්. මේ උත්සාහයන් අතරේ, ඔබේ සෞඛ්‍ය වෘත්තිකයාගෙන් ලැබන උපදෙස් අනුගමනය කර මේ ගෙරවිල්ලෙන් බේරිලා මතුවිය හැකි කරදර වලින් බේරෙන්න බලන්න.