2019/10/06

230) ශිෂ්‍යත්වෙන් පස්සේ එන AjD ගැන දන්නවාද?


දින කිහිපයකට ඉස්සර වෙලා “ලෝක ළමා දිනය“සැමරූ අපේ පුංචි පැංචන් , පැංචියන්ට “තීරණාත්මක“ දවසක්. ඒ ශිෂ්‍යත්වේ ප්‍රතිපල පිට වෙලා. ඒ කියන්නේ අම්මයි තාත්තයි විතරක් නෙවේ , අල්ලපු ගෙදර ඉන්න අංකලුයි ආන්ටියිත් බලාගෙන ඉන්නෙ පැටියගේ රිසල්ට් එනකම්. මොකද ශිෂ්‍යත්වේ ප්‍රතිපලේ කියන්නේ අද බොහෝ වෙලාවට අම්මාගෙයි , තාත්තගෙයි ගෞරවය , ලොකුකම ඉහළ නංවන හෝ කඩා දමන තීරණාත්මක සාධකයක් වෙලා. 

ළදරු මනසට ප්‍රෙයා්ජනයක් , උත්තේජනයක් නැති මහා සිලබස් එකක්, ඉස්කෝලෙයි , ටියුෂන් වලයි කරල , ගතට විතරක් නෙවෙයි දරුවගේ මනසටත් දෙන්න පුළුවන් උපරිම පීඩනය දීල, ගත කොළත් එක්ක , සමනලයොත් එක්ක , පාට පැන්සල් එක්ක ඉන්න තිබෙන ළමා කාළයේ සුන්දරම අවධිය , අම්මගෙයි , තාත්තගෙයි “ආසාවන්“ වලට යට කරල “ලොකු කැපකිරීමක්“ කරපු මේ පුංචි පැංචගේ තීරණාත්මක දවස. 

කෙසේ වෙතත් අද මේ ලිපිය ඔස්සේ මම කතා කරන්න උත්සාහ කරන්නේ ලංකාවේ පහේ ශිෂ්‍යත්වය ගැන නොවෙයි , මේ ප්‍රතිපල ලැබුණට පස්සේ ඔබේ දරුවගේ මානසික සෞඛ්‍යය කෙරේ විය හැකි යම් බලපෑමක් පිළිබඳව. ඒ තමයි AjD , තව විදියකින් කිව්වොත් Adjustment disorder කෙසේ වෙතත්, සමහර අවස්ථාවල මේකටම Situational depression කියල කියන්නත් පුළුවන්. ඔය මොක කීවත් කෙටියෙන්ම කිව්වොත් , ශිෂ්‍යත්වේ ප්‍රතිපල අපේක්ෂා කළ මට්ටමට නොතිබීම නිසා , දෙමාපිය ඥාතීන්ගෙනේ ලැබෙන සෘණාත්මක ප්‍රතිචාර නිසාවෙන් දරුවාගේ මනසට ඇතිවන පීඩනය සහ වේදනාව තමයි මේ. 

දැන් ඔබ  අහන්න පුළුවන් , “ඕක ඉතිං ලෙඩක්“ යැ කියල, ඔව් , විවිධ හේතු නිසා දරුවගේ හිතට තද වේදනාවන් ඇති වෙන්න පුළුවන්. සමහර විට ලෙදර හිටි හුරතල් පූස් පැටියා ලෙඩ වෙලා මැරුණ වෙන්න පුළුවන් , නැත්නම් පංතියේ හිට “හොඳම යාළුව“ වෙන ඉස්කෝලෙකට ගියා වෙන්න පුළුවන්. ඔය වගේ හේතු ගණනාකවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ , යම් මානසික වේදනාවක් ඇතිවෙලා , ඒ බව වෙනත් ආකාර වලින් දෙමාපිය ඔබට හඟවනවා වෙන්න පුළුවන්. නමුත් , බොහෝ වෙලාවට මේ තත්ත්වයන් තාවකාළිකයි , දිනකින් දෙකකින් ආයෙත් දරුවා සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා . ගැටළුව එන්නේ අන්න ඒ විදියට දරුවට “තමන්ටම“ නැවතත් පෙර හිටි සාමාන්‍ය තත්ත්වයට එන්නට බැරිව , මේ දුකේ , වේදනාවේ ගිලිල දිගටම ඉන්න ගියොත්, අදාල සෘණ උත්තේජනය  නැවත නැවත තමා දෙසට යොමු වීම මේ විදියට “දුකේ ගිලිලම“ ඉන්න දරුවට හේතු වෙන්න පුළුවන්. හිතන්න ශිෂ්‍යත්වේ “ෆේල්“ වෙන දරුව කීවතාවක් මේ අතිශ්‍ය වේදනාකාරී අත්දැකීමට නැවත නැවත පත්වෙන්න පුළුවන්ද ? මුලින්ම රිසල්ට් ආ දවසේ , අම්මගෙයි තාත්තගෙයි මූණ හොඳ නෑ, ටිකක් බැණුම් ඇහුව , “බලන්න අර දුමිදු පාස්වෙලා, මෙයාට නේ බැරි“ දරුවගේ ලොකු අක්ක කියන මේ පුංචි වචන ටික , නැත්නම් “අපි කොච්චර මහන්සි වුනාද , වැඩක් නෑ තව ඩිංගක් පාඩං කරානම්“ අම්ම ටිකක් හයියෙන් කියන මේ වචන ටික දරුවගේ හිතට “පිහි ඇණුම්“ වගේ . ඊළඟට ගෙදරට එන් නෑදැයෝ , තාත්තගේ යාළුවෝ , ගමෙ අය , ඉස්කෝලේ වටේ ඉන්න අනෙක් නැන්දල මාමල ... මේ හැමෝම වරින් වරේ අහන, තමන් ෆේල් වීම ගැන කතා වෙන කතා කරන හැම අවස්ථාවකට දරුවගේ හිතට , මනසට ඇණෙන මේ තියුණූ ඇණුම් වේලෙන්න සමහර විට කළක් යාවි. සමහර විට නිසි ලෙස වටහා නොගත්තොත් කිසිදාක සුව නොවේවි. නැත්නම් ටික දවසක් යත්දි සුව වෙලා යාවි. කෙසේ වෙතත් , මෙ වේදනාව සුව වෙන්නට කල්ගත වීම ඒතරම් යහපත් නැහැ දරුවගෙ අනාගතයට. අන්න ඒ නිසා අප විමසා බලමු මොනවද මේ AjD වල ලක්ෂණ කියල. සමහර විට මේ ලක්ෂණ හඳුනගෙන දරුවට උදව් වුනොත් ජීවිතයක් බේරගත්ත වෙන්නත් පුළුවන්. 

මේ AjD වල අවස්ථා කිහිපයක් තිබෙනවා , නමුත් මම අද වැඩියෙන්ම යොමු වෙන්නේ AjD with depression mood කියන තත්ත්වය ගැන . මෙහිදි දරුවා පෙන්වන ලක්ෂණ විදියට ,
  • නිදා ගැනීමේ පැවති රටාව වෙනස්වීම ( වෙනදට වඩා වැඩි වෙලාවක් නිදා ගැනීම හෝ වෙනදා වගේ නින්ද නොයාම)
  • නොරිස්සුම් ස්වභාවයක් පෙන්වීම, 
  • ටිකක් ඉක්මණට තරහ යනව,
  • කවුරුත් එක්ක කතා කරන්න කැමති නෑ, 
  • හුඟක් වෙලාවට “කම්මැළි“ කම ගැන කතා කරනවා , පෙන්වනවා
  • වෙනද ආසාවෙන් බලපු කාටූන් යන වෙලාවටත් නිදාගන්න හදනව
  • මුහුණේ තිබුණු හිනාව , සතුට නැති වෙලා 
  • ඇඟපත රිදීම, වෙනදට වඩා බඩ රිදීම් වැඩිවිම
  • හැම තිස්සෙම මහන්සිය, නිදි මත 
  • ඉස්කෝලේ යන්න පරක්කු වෙන්න උත්සාහ කිරීම නැත්නම් අකමැත්ත ප්‍රකාශ කිරීම
  • පාසලේ විවේක කාළයේදි වෙනද කළ සෙල්ලමට නොගොස් පන්තිය තුල හෝ තනිව ගත කිරීම
  • පාසලෙන් පස්සේ ගෙදර ආවම වෙනද තිබුණූ පිළිවෙල තැතිව ඇඳටම යන්න උත්සාහ කිරීම 
ඔය වගේ ලක්ෂණ ගණනාවක් හෝ කිහිපයක් පෙන්වන්න පුළුවන්. දැන් මෙයින් කිහිපයක් අද , ඊයේ දැක්ක කියල කළබල වෙන්න එපා. එය සාමාන්‍යයි , නමුත් ඉදිරි සතිය දෙක තුලම දිගටම මේ ලක්ෂණ දකින්න ලැබෙනවා නම් , නැත්නම් “ජීවිතය ගැන කළ කිරීමක්“ පෙන්වන දෙබස් පැංචගෙන් පිටවුනා නම් , “මට එපා වෙලා , මං තවත් ඉස්කෝලේ යන්නේ නෑ, මං මැරෙනවා“ ( අද පුංචි දරුවන්ට අහන්න ලැබෙන දේ එක්ක මේවගේ වචන බලාපොරොත්තු වෙන්න බැරිකමක් නෑ) අන්න ඒ තමයි අවදානම් තත්ත්ව , ආයෙත් කිව්වොත් , පෙර කී ලක්ෂණ සියල්ල හෝ කිහිපයක් ඉදිරි සති දෙකකට පස්සෙත් දිගටම පැවතියොත් නැත්නම් “ඉතා අවදානම්“ වචන හෝ උත්සාහයන් දුටුවොත් , දැන් තවත් බලාගෙන ඉන්න සුදුසු තත්ත්වයක් නොවෙයි . ඉක්මණින්ම ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙසක්  ගන්න. දැන් “අපේ දරුවට ලොකු ලෙඩක්“ කියලවත් , නැත්නම් “ඕව ගනන් ගන්න දෙයක් නෙවි ඇරිල යාවි “ කියල හිත හදා ගන්නවත් නොවෙයි , සුදුසුකම් ලක් වෘත්තිකයෙන් ගෙන් උපදෙසක් ලබා ගන්න. 

මේ හැරෙන්නට දෙමාපියන් වශයෙන් ඔබට මොනවද කරන්න පුළුවන්?

  1. දරුවගේ ප්‍රතිපල පිළීබඳ , ධනාත්මකව දරුවත් එක්ක කතා කරන්න , මතක ලබා ගත යුතු දේ ශිෂ්‍යත්වේ කියන්නේ දරුවගේ සමස්ථ අනාගතය තීරණය කරන සාධකයක් නෙවි. ඒ වගේම දරුව ලබා ගත් ලකුණු ප්‍රමාණය අගය කරන්න , ඇත්ත කියන්න , ඒ පුංචි මොළයට දරා ගන්න වුනු ගැටළු , අපහසුකම් තුල මේ ළකුණූ ලබා ගැනීම අගය කරන්න. කඩඉම් මට්ටමට වඩා ලකුණූ අරන් නම් එය අගය කරන්න , නමුත් අනවශ්‍ය ලෙස දරුවා “ව්‍යාජ බුද්ධිමතෙක්“ විදියට හංවඩු ගහන්න එපා. එතැන සිදුවන වරද දරුවගේ අනාගතයම වරද්දන්න පුළුවන්. වඩා වැදගත්ම දේ ඔබේ වුවමනාවට “දරුවගෙන් උදුර ගත්තු සුන්දර කාළය , කෙළිදෙලෙන් ගත කරන්න තිබුණු කාළය“ දැන්වත් දරුවට දෙන්න , ඊළඟට හයේ පන්තියේ පළවැනියා කිරීමේ වන්දනාව පටන් ගන්න එපා.
  2. දරුවට කියන්න තිබෙන දේ අහන්න , පැංචගේ හෝ පැංචිගේ හිතේ තියෙන දුක , සතුට අම්ම තාත්ත එක්ක බෙදා ගන්න පුළුවන් බව දරුවට දැනෙන්න දෙන්න. හෙට අනිිද්ද ඉස්කෝලේ ගිහින් ආවම  වෙනදට වඩා අවදානයෙන් මේ “ඉඩ දරුවට“ ලබා දෙන්න. 
  3. ඔබේ මිතුරන් එක්ක කතා කරත්දි , දරුව ඇසෙන සීමාවේ ඉන්නවා නම් , දරුව ලබා ගත් “ජය“ ගැන කතා කරන්න , ළකූණූ අඩුවීම “පරාජයක්“ කර දරුවා රිදවීමෙන් වලකින්න. 
  4. අවස්ථාවක් ඇත්නම් පන්තියේ ගුරුවරයා සමඟ දරුවගේ තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳ කතා කරන්න. ඒ කතා බහට දරුවත් එකතු කරගන්න.
  5. මේ සියල්ලත් එක්කම පුළුවන් නම් දවසක් දෙකක් නිවාඩු දාල දරුවොත් එක්ක ටිකක් ඈතක සුන්දර පරිසරයකට ගිහින් එන්න , වෙරළට ඇවිත් සතුටු වෙන්න. නැත්නම් ගහ කොළ එක්ක , තණකොළ එක්ක ගත කරන්න පුළුවන් පරිසරයක දරුවත් එක්ක සතුට වෙන්න. (දැන් හඳුනගෙන තිබෙනවා , ගහකොළ සමඟ ගත කිරීම මඟින් මානසික පීඩනය සෑහෙන දුරට අඩු කළ හැකි බව, මේ රටවල නම් සමහර මනෝ වෛද්‍යවරු “බෙහෙත් ලියනව“ වෙනුවට දවසට පැය භාගයක් කැළයක ගත කරන්න කියල prescription  එක ලියනවා දැන්) 
මේ පෙර කී ලක්ෂණ “ගණන්“ නොගෙන “හරි යාවි“ සංකල්පයෙන් හිටියොත් මොකක්ද වෙන්න පුළුවන්?
  • කාළයක් යත්දි දරුවගේ මනස තුල නැවත සුව කළ නොහැකි “කැළැල්“ ඇති කරමින් ලක්ෂණ වල අඩුවීමක් පෙන්වන්නට පුළුවන්. නමුත් ඒ කැළැල් සුව නොවන නිසා , දරුවගේ පෞරුෂය සහ අනාගතය අපේක්ෂා නොකළ විදියට වෙනස් වෙන්නට පුළුවන්
  • බොහෝ විට , Depression ලෙස වෛද්‍ය විද්‍යාවේ හඳුන්වාදෙන තත්ත්වයට පත්වෙන්න ඉඩ තිබනවා.
  • අවාසනාවන්තම තත්ත්වය දරුවා සියදිවි නසා ගැනීමකට වුනත් පෙළඹෙන්න ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම නිවස සහ සමාජය දරුවා වෙත ඇති කරන පීඩනය මෙන්ම , දරුවාට මාධ්‍ය ඔස්සේ අසන්න , දකින්නට ලැබෙන දේ අනුව ( අද සමහර මාධ්‍ය සියදිවි නසා ගැනීම , animation මාර්ගයෙන් නැවත රඟ දක්වා පෙන්වන්නට තරම් පහත් තත්ත්වයකට වැටිලා තිබෙනවා) එවන් අවාසනාවන්ත තීරණයක් හෝ , මව පියාට තරවටුවක් ලෙස එවන් අවාසනාවන්ත උත්සාහයක් දරන්නට බැරිත් නැහැ. ( බොහෝ විට දරුවන්ගේ එවන් උත්සාහ අවසන් වන්නේ අවාසනාවන්ත සිදුවිමකින්) 
වැදගත්ම දේ දෙමාපියන් , පවුලේ අය  ගුරුවරු සහ පාසල් පරිසරය එකතු වුනොත් , දරුවට උපකාර කළොත් ලොකු ගැටළුවක් නැතිව දරුවටම නැගිටින්න පුළුවන් වේවි. නැත්නම් වෛද්‍ය වෘත්තිකයෙක් මගින් ලැබෙන පවුල් උපදේශනය , ඉතා කෙටි කාළීන චර්යාත්මක චිකිත්සාවකින් Cognitive behavioral therapy හෝ කෙටි කාළයකට ලබා දෙන ඖෂධ ප්‍රතිකාර කිහිපයකින් නිවැරදි කරගන්නට පුළුවන් මේ තත්ත්වය. ( බය වෙන්න එපා , දරුවට “පිස්සු“ කියල කවුරුවත් කීවේ නැහැ , මොළේ අවුල් වෙලත් නෙවි , දරුවට මනසට යම් උපකාරයක් අවශ්‍යයි මෙතැනදි , එච්චරයි දැන ගන්න ඕන. )

එහෙම නම් මේ කෙටියෙන් කියාගෙන ගියේ AjD ගැන අපේ රටේ , අපේ දෙමාපියන් අඩුම තරමේ මේ දින කිහිපයේ වත් වැඩි අවදානයක් යොමු කළ යුතු තත්ත්වයක් ගැන. අදට කතාව ඉවරයි. ඔබේ අදහස් ඇතොත් සටහන් කරන්න . ඒ වගේම ළමා මානසික රෝග/ගැටළු ගැන තවත් කියන්න කැමති නම් මෙහි දකුණුපස තීරුවෙන් අදාල මාතෘකාව තෝරල කියවන්න , නැත්නම් ඉහළ තීරුවෙන් ලිපිමල්ලට ගිහින් ඔබට අවශ්‍ය ලිපිය කියවන්න.

එහෙම නම්, සුව  සතුට පිරි දිනයක් ඔබට!