2019/02/23

එයා නැතිව තනිව බැරිද?

කැනඩාවට එන මග“ බ්ලොග් සටහන ලියන්න ගත්තදා පටන් (2012 ජුනි) මගෙන් හුඟ දෙනෙක් අහන ප්‍රශ්නයක් “කවුද හොඳ ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට ?“ කියන ප්‍රශ්නේ . ඒත් ඇත්තම කතාව , මම උත්තර දෙන්න අකමැතිම ප්‍රශ්නෙත් ඒක . හේතු කිහිපයක් ,

  • ඔබට සුදුසුකම් (අධ්‍යාපන සහ වෘත්තීයව) තිබේනම් , CRS scoring system එක ඔස්සේ ( හතරවෙනි ලිපියෙදි කතා කළ ) තමන්ට වඩාත් සුදුසු ක්‍රමය හඳුනාගන්නට පුළුවන් නම් , Express Entry හෝ PNP (හය වෙනි ලිපියෙදි කතා කළ ක්‍රමයට) ඔස්සේ කැනඩාවට එන ගමනට ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක්ගේ උදව්වක් අවශ්‍යම නැහැ. මොකද ඒ ඉල්ලුම් කිරිීමේ ක්‍රියාවලිය හරිම පහසුයි, පිළීවෙළයි. ඔබේ වරදින් වැරැද්දක් වුනොත් ( උදාහරණයක් , වැරදි අංකයක් , වැරදි දිනයක් ලබා දීම වැනි) හැරෙන්නට වැරදීමක් වෙන්නට තිබෙන ඉඩ බොහොම අඩුයි. මීට අවුරුදු හත අටකට ඉස්සර තිබුණූ ක්‍රමයට වඩා හරිම පහසුයි අද මේ සම්පුර්ණ process එකම. ඒ නිසා , ඔබට ඉංග්‍රීසි කියවන්න ලියන්නට හොඳ මට්ටමට පුළුවන් නම් ( මම මෙතැන කියන්නේ නැහැ ඉංග්‍රීසි වල මහ ගැඹුරු දැනුමක් ඕන කියල) මේ ක්‍රියාවලිය ගැන අධ්‍යයනය කරන්න , “කැමැත්ත“ සහ “කාළය“ තිබේනම් , වෙන කෙනෙකුට රුපියල් ලක්ෂ 7-8ක් දෙන්න අවශ්‍ය නැහැ (සමහර විට ඊටත් වඩා) . ඒ සල්ලි ටික ඉතිරි කරගන්න , කැනඩාවට එත්දි අරගෙන එන්න. මොකද මේ ඔක්කොම කරගත්තත් , කැනඩාවට එන්නට වීසා ලැබුණත් , ඔබට එත්දි යම් මුදල් ප්‍රමාණයක් අරගෙන එන්න ඕන ඔබේ සහ පවුලේ මුල් වියදම් වලට. ඉතින් අර ලක්ෂ 7-8 කියන්නේ කැනඩා ඩොලර් වලින් 6000ක් 7000ක් විතර. දැන් මේ ටික පරිස්සම කරගත්තනම් , කැනඩාවට ආවම අවශ්‍ය මූලික වියදම් වන නිවසකට කුළී මුදල් ගෙවීම , අවශ්‍ය කෑම බීම ටික , සීතල කාළෙ නම් ආවේ ඇඳුම් ටිකක් ,ඒ විතරක් නෙවි පොඩි වාහනයක් එහෙමත් අරගන්න පුළුවන් වේවි.
  • දෙවැන්න , අද දවසේ කැනඩාව , ඔස්ට්‍රේලියාව හොඳට විකිණෙන , මුදල් ගරා ගත හැකි මාවත් . ඉතින් මේ ලෝකේ කියන්න පුළුවන් ඔක්කොම “බොරැ කියල‘“ හීන මාලිගා මවල , වැඩේ පටන් ගන්න උපදෙසක් දෙන්නටත් පඬුරු ගරා ගන්න “උපදේශකවරු “ බොහෝමයි. මෙහෙම නැති හැකි තරමට උපකාර වන “උපදේශක මහත්වරුත්“ ටිකක් ඉන්න පුළුවන්. ඒත් හුඟක් ඉන්නේ “කැනඩාව කියන්නේ“ මොකක්දවත් කියල නොදන්න , ඒත් ආ ගමන් කැනඩාවේ “රස්සාවට“ දාල , කැනඩාවෙන් ණයක් අරගෙන දෙන්න උදව් වෙන, ...වගේ බොරු කන්දරාවක් කියන “හොරු“ .මේ හරි ලේසියි හඳුනගන්න ඔවුන් ඔබට දෙන “ෆැන්ටසියෙන්“ ,
  • ගිය ගමන් ‘රස්සාවක් හොයල දෙනවා“ ,
  • “ෆැක්ටරියක ජොබ් එකක් මාසෙකට $3000ක් ගන්න පුළුවන් “ ,
  • “ගිය ගමන් කැනඩාවෙන් ණයක් අරගෙන දෙනවා“ ,
  • “බය වෙන්න එපා , ඔයාට කැනඩාවේ රස්සාවක් හම්බවෙන තුරු කැනඩා රජයෙන් ඔයාට ගෙවනවා“ ,
  • “එක්පීරිසයන් ඕන නැහැ , ජොබ් හොයල දෙන්න පුළුවන්“ ...... ඔන්න ඔය වගේ “අතේ පැලවෙන බොරු “ කියනවනම් , පරිස්සම්වීම වටිනවා. මෙන්න මේ හේතු නිසා , පුද්ගලිකව මම , කිසිම “සංක්‍රමණික උපදේශකවරයෙක්“ පිළීබඳ තොරතුරු ලබා දෙන්න කැමති නැහැ. ඒ වගේම මේ සමූහය තුල එවැන්නනට ප්‍රචාරයක් ලබා දෙන්නටත් උත්සාහ කරන්නේ නැහැ.
  • කැනඩා රජයෙන් කියන පරිදිම , “ඔබ නියෝජිතයෙක් ,(සංක්‍රමණ උපදේශකවරයෙක්) හරහා ඉල්ලුම් කළා කියල , ඔබේ ඉල්ලුම්පත්‍රයට කිසිදු “විශේෂත්වයක්“ ලැබෙන්නේ නැහැ. ඔබ විසින්ම , ඉල්ලුම්පත යොමු කළත් , නියෝජිතයෙක් හරහා යොමු කළත් ඉල්ලුම්පත්‍රයට අදාලව සිදුවන ක්‍රියාවලියට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ( It's your choice. Using one will not draw special attention to your application and does not mean that we will approve it. www.cic.gc.ca)
  • කැනඩා රජය කියන විදියටම , මෙවන් සංක්‍රමණ උපදේශකවරයෙක්ගෙන් ඔබට බලාපොරාත්තු විය හැකි උදව් සහ ඒවායේ ප්‍රාෙයා්ගිකත්වය ගැන කතා කළොත්,explain and give advice on your immigration or citizenship options help you choose the best immigration program for you - මේ ටික ඔබට කරගන්න බැරිද ඔබටම කියල පරිගණකයක් , අන්තර්ජාල සබඳතාවයක් , සාමාන්‍ය මට්ටමෙ ඉංග්‍රිසි දැනුමක් සහ ටිකක් ප්‍රාෙයා්ගික දැනුමක් තිබේනම් , කැනඩාවට එන්න පුළුවන් හොඳම ක්‍රම විදියට තිබෙන Express Entry (Federal Skill Worker, Canadian Experience etc .) එහෙම නැත්නම් PNP හෝ මේ දෙකම එකතු කරගෙන. මේ ක්‍රම දෙක ගැනම අපි වරින්වර කතා කළා , ඉදිරියටත් කතා කරනවා. විශේෂයෙන්ම PNPවැඩසටහනට අදාල හැම පළාතක් ගැනම www.cic.gc.ca ඔස්සේ හෝ මෙහි 6වන ලිපිය ඔස්සේ හොයාගෙන කියවා ගත්ත නම් ඕන කරන සියළුම තොරතුරු දැන ගන්න පුළුවන්. ඒක අර පුංචි කාළෙ අත්තම්මගෙන් “රස කතා අහනව “ වගේ , ලක්ෂ ගානක් දීල කාගෙන්වත් අහගන්න අවශ්‍ය නැහැ. මොකද පෙර කී වෙබ් අඩවිය තිබෙන තොරතුරු වලට වඩා නිවැරදි සහ යාවත්කාළීන දෙයක් කාටවත් ලබා දෙන්න බැහැ. ( සමහර විට යම් අනාවැකි කියන්න පුළුවන් වුනත්) Student Permit එකකින් එන වැඩේ වුනත් තනිවම කර ගන්න පුළුවන් . බොහෝ වෙලාවට අදාල විශ්ව විද්‍යාලය එක්ක සම්බන්ධ වුනාම අවශ්‍ය සියළු උපදෙස් ඔවුන් ලබා දෙනවා.
  • fill out and submit your immigration or citizenship application - අද මේ සියල්ල online , හරිම පහසුයි අදාල තොරතුරු ලබා දීල මේ ඇප්ලිකේෂන් පුරවන එක. යම් වරදක් තිබේනම් එය පෙන්වා දෙන්නට තරම් අද තිබෙන ඔන්ලයින් ඇප්ලිකේෂන් එකේ හැකියාවක් තිබෙනවා. ඔබට පරිගණකයක් සහ අන්තර්ජාල සබඳතාව සහ ප්‍රින්ටරයක් , ස්කෑනරයක් තිබේ නම් මේ සියල්ල ඔබට කරගන්න පුළුවන්. එහෙම නොහැකි නම් ඔබම නැවතවරක් හිතල බලන්න “මේ සරළ කටයුත්ත කරගන්න බැරි මම , කොහොමද වෙන රටකට ගිහින් ඒ වෙනස්කම් වලට තනියම මුහුණ දෙන්නේ“ කියලා.
  • communicate with the Government of Canada on your behalf - මේ කියන්නේ මෙහෙම දෙයක් , ඔබ නියෝජනය කරන්න “සල්ලි දීල“ සංක්‍රමණ උපදේශකවරයෙක් ගත්තොත් මෙම ක්‍රියාවලිය අතරෙ කැනඩා සංක්‍රමණ බලධාරින් විසින් නිකුත් කරන විවිධ උපදෙස් , අමතර විස්තර ඉල්ලීම් වගේ දේවලට අදාල ලිපි යොමු වෙන්නේ පෙර කී උපදේශකවරයා අතට. ඔබේ අතට නොවෙයි. දැන් සමහර විට ඔබ වෙනුවෙන් පිළිතුර දෙන්නට හරි , එහෙම නැත්නම් බොහෝ වෙලාවට තව කීයක් හරි ගෙවල “තමන්ට ලැබියි යුතු ලිපි“ ගෙන්වා ගන්නට වෙනවා.
මෙන්න මේ හේතු නිසා ඔබට පෙර කී “සාමාන්‍ය දැනුම“ ඇත්නම් තමන්ම මේ වැඩේ කරගන්න එක තමා හොඳ , 
  • හැබැයි , ඔබට work permit එකක් ඔස්සේ නම් එන්න උත්සාහ කරන්නේ සංක්‍රමණ උපදේශකවරයෙක්ගේ සේවය උදව් වෙන්න පුළුවන් එක තැනක් තිබෙනවා. ඒ අර work permit එක අර ගැනීමෙදි. මොකද සමහර කැනඩා සංක්‍රමණ උපදේශකවරු සහ කැනඩාවේ කුඩා පරිමාණ වෙළඳ , හෝ කර්මාන්තශාල හිමිකරුවන් සමඟ “මුදල් මත“ තනාගත් සබඳතා තිබෙන්න පුළුවන් , ඔවුන් හරහා ඔබට , කැනඩාරජය පිළිගන්නා work permit එකක හදල දෙනවා නම් ඒ අවස්ථාව වෙනුවෙන් එම සේවාවන් භාවිත කරන්න පුළුවන්. නමුත් , පරිස්සම් වෙන්න තමන්ට වර්ක් පර්මිට් එක ලැබුණට පස්සේ , එය කැනඩා රජයෙන් තහවුරු වුනු එකක්ද කියන එක හඳුනගත්තට පස්සේ මුදල් ගෙවන්න. මේ සෙල්ලම හුඟක් ඉන්දියන් උපදේශකවරුන් කරනවා . නමුත් සමහර “වර්ක් පර්මිට්“ කැනඩාවට පිළිනොගන්නා ව්‍යාජ ඒවා වෙන්න පුළුවන් . ඒ නිසා හුඟක් පරිස්සම් වෙන්න මේ ක්‍රමයේදි. ඒ වගේම වැඩි විස්තර දෙන්න ඉස්සර වෙලා මෙන්න මේ ලිංක් ඔස්සේ ගිහින් බලන්න ඔබ ගන්න හදන ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් ඇත්තටම කැනඩාවේ සංක්‍රමණ උපදෙස් දෙන්න නීතිමය බැඳිමක් තිබෙන කෙනෙක්ද කියලා. 

https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigration-citizenship-representative/choose/authorized.html සුදුසුකම්ලත් සංක්‍රමණ උපදේශකවරු මේ ආයතනයේ ලියාපදිංචිය ලබා ගෙන තිබෙන්න ඕන , ටිකක් බලන්න https://iccrc-crcic.ca/find-a-professional-frame/ මේකෙනුත් තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්. https://www.bbb.org/

මෙන්න මේ හේතු නිසා තමයි මම නැවත නැවත කියන්නේ “හොඳම ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට‘‘ හොයන වෙලේ , www.cic.gc.ca වෙබ් අඩවියට ගිහින් එය අධ්‍යයනය කරන්න . තවත් හොඳ පෞද්ගලික ආයතන මගින් පවත්වාගෙන යන කැනඩා සංක්‍රමණය පිළිබඳ වෙබ් අඩවිත් තිබෙනවා. ඒවයිනුත් වැඩක් කරගන්න පුළුවන් , කිසිම මුදලක් නොගෙවාම. උදාහරණයක් විදියට , ඔවුන්ගේ වෙබ් අඩවි වල ඊමේල් වලට ලියාපදිංචි වුනාම “කැනඩා සංක්‍රමණය පිළිබඳ වෙනස්කම් , අළුත් තොරතුරු ඔබේ ඊමේලයටම නොමිලේ ලැබෙනවා. ඒ හරහා ඔබේ දැනුම යාවත්කාළීනව තබා ගන්න පුළුවන්. කෙසේ වෙතත් , එබඳු ආයතන වල වෙබ් අඩවි වලට මුදල් ගෙවීම් කරන එක නම් ඒ තරම්ම සුදුසු වේද දන්නේ නැහැ. මොකද සමහර විට එය ලංකාවේ කෙනෙකුට දෙන මුදලට වඩා වැඩි මුදලක් වෙන්න පුළුවන්. ඒ වගේම කැනඩා සංක්‍රමණයට අදාල ව්‍යාජ වෙබ් අඩවි සෑහෙන්න තිබෙනවා , facebook pages තිබෙනවා , ඒව හරිම භයානක වෙන්න පුළුවන් . සමහර විට කැනඩා ගමන නෙවි ඔබේ බැංකුවේ තියෙන මුදල් ටික ඔක්කොම “හූර ගන්න මේ සමහර “ වෙබ් අඩවි වලට පුළුවන්. ඒ නිසා පරිස්සමින්. හැබැයි ඔබ කැනඩාව පිළීබඳ තොරතුරු ලබා ගනිත්දි .gc.ca ලෙසින් හෝ .canada.ca ලෙස අවසන් වල වෙබ් අඩවි වලින් එය කරගන්නට උත්සාහ කරන්න . මොකද ඒවා තමයි කැනඩා රජය වගකියන තොරතුරු. උදාහරණ විදියට www.cic.gc.ca www.canada.ca https://settlement.org/ ටිකක් හොයල බැලුවොත් ඔබට හමුවේවි , මේ නම් වලට ආසන්නව යන නම්වලින් පවත්වාගෙන යන ව්‍යාජ වෙබ් අඩවි , ඒවට අහුනොවී , ඒවයින් වැඩක් කරගන්න .

එහෙම නම් අද කතාව මෙතැනින් නිමා කරනවා , ඉදිරියේදි Express Entry පිළිබඳ සියළු කරුණ , පියවරනේ පියවර ලියන්න සහ , එම Express entry profile එක හදන විදිය , එහිදි වන වැරදි සහ ඒවා මගහරවා ගෙන නිවැරදිව Express Entry Pool එකට ඇතුළු වෙන විදියට ගැන කතා කරන්නත් හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ එක් එක් ප්‍රොවින්ස් එකේ PNP වැඩසටහන් ගැනත් අපි කතා කරමු. ඇත්ත ටික දවසක් ගත වේවි. මොකද , මේව ලියන්නෙත් , අපේ මෙහෙයුම් මඩුල්ලේ ඉන්නා “ස්වෙච්ඡාවෙන්‘‘ , හිතේ කැමැත්තෙන්ම මැදිහත් වන ‘සම්පත්“ මේ සමූහය “පිරිසිදුව“ පවත්වා ගන්නට කාළය වැය කරන්නෙත් අපේ දෛනික රාජකාරි කරන අතරේ . ඒ නිසා පොඩිත්තක් ඉවසගෙන , ඒ අතරේ ඔබම අධ්‍යයනය කරන්න “ඔබේ සිහිනය“ ගැන . ඉංග්‍රීසි ටික හදා ගන්න, මුදල් ටිකක් එකතු කරගන්න. තවත් “මේ සිහිනය“ දකින අය එක් කරන්න මේ ගොමුවට , මොකද එහෙම එකතු වන , සක්‍රියව කතාබහේ යෙදෙන දෙබස් වැඩි වන තරමට අප හැමෝම “කැනඩාව පිළිබඳව“ යාවත්කාළීන දැනුමක් ලබා ගන්නවා. මට හිතෙන විදයට නම් එයම තමයි මේ සිහිනය සෑබෑ කරවන්නේ. 

එසේ නම් නැවත හමුවෙමු. “සිහිනය දකින්න , සැබෑ කරගන්නා සැළසුමත් සමඟින්ම“ .


(මේ ලිපිය ගත්තේ , “කැනඩාවට එන්නට මග“ ෆේස්බුක් ගෘෘප් එකෙන් , ඔබටත් මේ මාතෘකාව පිළිබඳව දැනුවත් වෙන්න , යාවත්කාළීන වෙන්න අවශ්‍ය නම් ඇවිත් එකතු වෙන්න)
කැනඩාවට එන්නට මග
Closed group · 67 members
Join Group
මෙම සමූහය , කැනඩාවට එන්නට සිහින දකින ඔබට මතුවන ගැටළු වලට හැකි තරමින් උපකාරයක් වන අරමුණින් තැනුනකි. ‍‍මෙහි කිසිඳු වාණීජ අරමුණු නොමැති බව පළමුවම දැනුම් ...

4 comments:

  1. ඇත්තටම යන්න ආසාවක් තියෙනවා නවතින්නම, ඒත් ලංකාව දාල යන්නත් බෑ බෑ කියලත් හිතෙනවා, මම දැනට වැඩ කරන්නේ ඕමාන් වල, මාස තුනකට වගේ සැරයක් ලංකාවට යන්න චාන්ස් එක තියෙන නිසා මෙහෙත් අවුලකුත් නෑ...

    අනේ මන්ද දෝලනය වෙනව මොකද කරන්නේ කියල....

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කතාවට අත්දැකීම් මටත් තිබුණා.කෙසේ වෙතත් , ටිකක් දුරට කල්පනා කරල බැලුවොත් , විශේෂයෙන්ම දරුවන්ගේ අනාගතේ ගැන , මේ පැත්තට පැන ගන්න පුළුවන් නම් හොඳවේවි. මොකද දරුවන්ට මෙ වගෙ රටක අධ්‍යාපනය ලබා දෙනවා කියන්නේම ඔවුන්ට ලෝකය විවෘත කරදීමක්, මම දන්නා කිහිප දෙනෙක් , ඕමාන් , ජෝර්ඩාන් වගේ රට වල ඉන්න ගමන් ඉල්ලුම් කරල මෙහේ ඇවිත් තිබුණා.
      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට

      Delete
  2. ඉතාම කාලෝචිත ලිපියක්. මේ ලිපියේ කියා තිබෙන දේවල් ඒ ආකාරයෙන්ම ඕස්ට්‍රේලියාවටත් වලංගුයි. ඉමිග්රේෂන් කන්සල්ටන්ට් ලා මේ කටයුත්ත ඒ ගොල්ලෝ නැතිව කරගන්න බැරි බවත්, තනියම ඇප්ලයි කරලා වැරදුන අයදුම්කරුවන් මෙච්චරක් ඉන්නවා, අපි ඇප්ලයි කරපු අය මෙච්චරක් සාර්ථක උනා කියලා මිනිසුන්ව බය කරලා සල්ලි ගරා ගන්නවා. සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන රටේ රජයෙන් ඉල්ලන සුදුසු කම් තියනවානම්, තනියම ඇප්ලයි කලත් ඒජන්ට් හරහා අයදුම් කලත්, සාර්ථක වෙනවා. සුදුසු කම් නැතිනම් රිජෙක්ට් වෙනවා. වෙනස තනියම අයදුම් කලොත් රජයේ ගාස්තු පමණක් ගෙවීමට සිදු වීමත්, කන්සල්ටන්ට් හරහා අයදුම් කලොත් ඔවුන් රජයේ ගාස්තු වලටත් වඩා ඉහල මුදලක් ඔවුන්ගේ සේවය (කොටින්ම අයදුම්පත විද්‍යුත් තැපෑලට දැමීම ) වෙනුවෙන් අය කිරීමත්ය. කොන්සල්ටන්ට්ලාට රජයේ නීති වෙනස් කල නොහැකි වනවා වාගේම අයදුම්කරුගේ සුදුසුකම් සාදා දිය නොහැකි නම් ඔවුන් කරන්නේ අයදුම්පත තැපැල් කිරීම පමණක් නේද ?? මේ ලියන මම 1988 දී ඔස්ට්‍රේලියාවට අයදුම් කිරීමට මහ කොමසාරිස් කාර්යාලයට ගොස් සුදුසු කම් සොයා බැලුවා. එවිට මගේ සේවා පළපුරුද්ද මදි බව සොයා ගත් බැවින් 1990 දී අයදුම් කර සංක්‍රමණය උනා. ෆිෂිං නෙට්, මොස්කිටෝ නෙට් මිසක් ඉන්ටනෙට් නොතිබුන ඒ යුගයේ සියලුම දේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයයට ගොස් කර ගැනීමට සිදු උනා. අද සියලුම දේවල් ඉන්ටනෙට් මගින් සිදු කර ගත හැකි වී තිබෙද්දීත් ඒ සඳහා ඒජන්ත වරුන්ට මුදල් ගෙවන අයදුම්කරුවන් තමන්ට තමන් ගැනම විශ්වාසයක් නැති උදවිය හෝ ඒජන්ත වරුන්ගේ කපටි බස් වලට රැවටුන උදවිය විය යුතුයි. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීම මෙ ලිපියේ අන්තර්ගතයට පුර්ණ බවක් එක් කළා. ඇත්තම කිව්වොත් , කැනඩාවට එත්දි මේ සිදුවීම ගැන දැන සිටියත් , ඔස්ටේලියාවට යත්දිත් මේ සෙල්ලමම වෙන බව දැන ගෙන හිටියේ නැහැ. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)