2019/02/18

228) සැපට උරල- හිත රිද්දන-තෙවෙනි “අත“



අද මාතෘකාවෙන්ම ඔබට වැටහෙන්නට ඇති අද කතාවේ ප්‍රධාන චරිතය “දරුවන්“ බව . කෙසේවෙතත් මේ ප්‍රධාන චරිතය මතුකරන්න හේතු වෙන්නේ  වැඩිහිටියන්. තව විදියකින් කීවොත් මේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ දැන උගත් වැඩිහිටියන්. සමහර විට තාත්තලා , අයියලා , මාමාල සීයල. ඔක්කොම පුරුෂ ලිංග පද වලින්ම ලීවේ ලංකාවේ කාන්තාවන් සිගරට් භාවිතය අඩුය කියන පදනම මත . ඒත් “කාළෙ වෙනස් තාළේ අළුත් නිසා “ ඒකත් වෙනස් වෙලාද දන්නෑ. එහෙම වුනොත් , ඔය දරු පැටියගේ ජීවිතේ බිඳන්න හදන කණ්ඩායමට ඒ අයත් එකතු කරගන්න.

වැඩි කතා නැතිව මාතෘකාවට බැස්සොත්, අද කතා කරන්න හදන්නේ “දුම්බීම ඔස්සේ“ සිදුවන විපාක කිහිපයක් ගැන. ඔන්න දැන් හිතයි මේක කියවන්න කාළය “නාස්ති කරන්න ඕන නැහැ“ කියල මොකද ,

“හපොයි අපි ඕව දන්නවා , ආයේ මොනවට කතා කරන්නද ?“
“අපිට නම් සිගරට් බීම ගැන ප්‍රශ්නයක් ඇත්තේම නැහැ , මොකද මහත්තය අකමැතියි ඒවට“ 
“අපි දන්නව සිගරට් දුමෙන් වෙන හානිය , ඒ නිසා ඒක අඩුවෙන විදියට තමයි අපිනම් බොන්නේ“ 

කළබලනොවී තව ටිකක් කියෙව්වොත් , ඔබට දැන ගන්නට ලැබේවි මේ “අර අපි දන්න යකා“ නෙවි , ඊට වඩා “භයානක හැංගිච්ච යකෙක්“ ගැනයි කතාව කියල.

දුම්බීමේ ආදීනව ගැන 57වන  ලිපියේ ( http://www.nursinglk.com/2011/09/57.html ) කතා කරල තිබෙන නිසා ආයෙත් ඒ දිග විස්තරේ කියන්න යන්නේ නැහැ. නමුත් අද දවස වෙත්දි හඳුනාගෙන තිබෙන අළුත් දත්ත එකතු කරන්නට හිතුවා කෙටියෙන් ,

ඔබ දන්නවද සිගරට් දුමේ රසායනික 7000ක් පමණ තිබෙනවා, ඉන් 69ක්ම “පිළිකාකාරක රසායනික“ බව  අද තහවුරු කරගෙන තිබෙනවා. අනෙක් රසායනත් අපේ ඇගේ විවිධ ඉන්ද්‍රියයන් වල අහිතකර ආකාරයෙන් බලපෑම් කරනවා. නමුත් අවාසනාව වෙන්නේ මේ ආපදාවට ගොදුරු වෙන්නේ “කැමැත්තෙන්“ සිගරට් එක උරන කෙනා විතරක් නොවීම. ඔව් ඔබ දන්නව මේ කතාව , ඒත් තව ටිකක් අපි මේ ගැන කතා කරමු. 

දුම්පානයේදී  අදාල පුද්ගලයා ක්‍රම කිහිපයකට මේ හානිය සිදුකරනවා , සිදු කරගන්නවා. ඒ ක්‍රම තමයි ,
  1. First-hand smoke - මේ සිගරට්ටුව හෝ  සුරුට්ටුව , තමාගේ පෙනහළු තුලට උරාගන්න දුම 
  2. Second-hand smoke 
මේ යටතේ  අවස්ථා දෙකකින් මේ පුද්ගලයා තමාට  , සහ අවට ඉන්නන්ට හානිය සිදුකරනවා. එක, mainstream smoke කියල හදුන්වන , තමන් උරා ගත්තු දුම , එළියට පිට කරත්දි කරන හානිය , අනෙක් sidestream smoke තව විදියකින් කිව්වොත් ,  සිගරට්ටුවේ දැල්වෙන කෙළවරින් , දුම්කොළ දැවීමත් එක්ක පරිසරයට එක්වන දුම . මේ දුම තුල mainstream smoke වලට වඩා වෙනස් රසායනික බොහොමයක් තිබෙනවා . හේතුව sidestream smoke එක හැදෙන්නේ ටිකක් අඩු උශ්නත්වයකදි ( මොකද දුම උරණ වෙලාවට ඒ කෙළවරේ උශ්නත්වය ඉහළ යනවා) ඒ වගේම 85%ක් second-hand smoke ඇති  කරන්නේ මේ ක්‍රමයට. 

දුම්බොන අයෙක් සමඟ ජීවත් වන දුම් නොබොන කෙනෙක්ට හෘද රෝගයක් ඇති කිරීමේ හැකියාව 25%කින් වැඩි කරන්නට මේ second-hand smoke එක දායක වෙනවා. ඒවගේම පෙනහළු පිළිකා හැදෙන්නත් , මේ second-hand smoke හේතුවක්. 

ඔන්න දැන් ටිකක් හිතල බලන්න , ගෙදර නෝන සිගරට් නොබොතත් , මහත්තය බොනව නම් , ඒකම ඇති නෝනට හාර්ට් ඇටෑක් එකක් හැදෙන්න . තවත් රෝග ගණනාවකට මේ සිගරට් නොබොන කෙනා ඇදගෙන යන්නේ වෙන කෙනෙක්. ලෙදර ඉන්න දරුවට ඇදුම , හතිය දිගින් දිගටම හැදෙනව නම් සමහර විට ගෙදර , නැත්නම් අවට සිගරට්ටුවක් දැල්වෙනව ඇති. හොඳට මතක තබා ගත යුතු දෙයක් , මේ කතා කළ second-hand smoke නිසා පොඩි දරුවන්ට කන්වල ආසාදන , හතිය/ඇදුම , ශ්වසන රෝග , වගේම දරුවට හෘද රෝග සහ අනාගතයේදි දියවැඩියාව වගේ කාළීන රෝග හදන්නත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් හිතන්න!

“අනේ අපේ මහත්තය නම් සිගරට් එකක් බොන්නේ වාහනේ යත්දි විතරයි , ඒ යත්දි හොඳට වීදුරු ඇරගෙන යන නිසා බබාලට හානියක් නැහැනේ“ කෙනෙක් මෙහෙම කියන්න පුළුවන්. 

ඒත් මතක තබා ගත යුතුම දේ වාහනයේ , නැත්නම් ගෙදර දොරවල් ඇරගෙන දුම් පානය කලා කියල , අනෙක් කෙනාට දෙන පිළීකාකාරක රසායනික ප්‍රමාණයේ අඩුවක් වෙන්නේ නැහැ .වෙන එකම දේ අර “සිගරට් ගඳ“ අඩුවෙන එක විතරයි. “සිගරට් ගඳ“ නැති වූවත් පිළිකාකාරක , හානිකර රසායනික ඒ අසළම ගැවසෙනවා , කාටවත් නොදැනී.

මෙතෙක් කියූ සමහර කාරණා ඔබ දැනටමත් දන්නව ඇති . හැබැයි ඊළඟට කියන්න යන්නේ Third-hand smoke ගැන. ඒ ගැන කතා කරාට පස්සේ ඔබ තවත් මේ ගැන හිතන්නට පෙළඹේවි කියල මට විශ්වාසයි. 
මොකක්ද මේ Third-hand smoke කියන්නේ. මේක ටිකක් අළුත් සොයා ගැනීමක් . මෙතැනදි වෙන්නේ , සිගරට් බොන්නා , දුම්බීලා පිටකරන දුම , රසායනික සහ එයින් ඉතිරිවන දෑ පරිසරයේ රැඳීමෙන් , තව දුරටත් විවිධ ප්‍රතික්‍රියා වලට භාජනය වී , නැවතත් දේහ ගත වීමේ තත්ත්වය . 

ඔබට අත්දැකීමක් ඇති නේ සිගරට් බොන කෙනෙක්ගේ ඇඳුම් වල ආවේණීක “ගඳ“ . (බොන කෙනාට නම් ඒක සුවඳක්) එහෙම නැත්නම් දුම්පානය කරන කෙනෙක් ඉන්න ගෙදරකට  ,වාහනයකට ඇතුළු වුනාම එන “වෙනස්කම“ . මේක වෙන්නේ මෙහෙමයි , සිගරට් එක බොත්දි , එයින් පිටවන දුමේ , නිකොටින් කියන රසායනිකය තිබෙනවා. දැන් මේ රසායනිකය දුමත් එක්ක පිට වෙලා , අවට තිබෙන ඇදුම් , බිත්ති , පොත්පත් , ගෙබිම , නැත්නම් මේසයේ මතුපිට තැන්පත් වෙනවා.දැන් මේ රසායනික , තවත් ඒවා සමඟ මිශ්‍රවෙලා , “ පිළිකාකාරක  වන “නයිට්‍රොෙසා්ඇමීන කාණ්ඩයේ“  රසායනික හදලා , පෙර කී මතුපිටවල තැන්පත් වෙනවා.  දැන් විෂ රසායනික තැනපත් වුනු , මේසය , පොත පත , ඇඳුම භාවිත කරන , නැත්නම් බිම පෙරළෙමින් සෙල්ලම් කරන පුංචි පැටියගේ ඇඟ ඇතුලට පෙර කී “පිළිකාකාරක “ ඇතුළු වෙනවා. දරුවා ඒව අතගාල , අතකටේ දැමීමෙන් , ඇඳුුමක් නම් පොතක් නම් ස්ඵර්ශයෙන් , නැත්නම් ඒ ආසන්නයේ සිටිත්දි නාසය හරහා පුංචි පැටියට මේ Tobacco-Specific-Nitrosoamines (TSNA) ඇතුළු වෙනවා. ඉතින් ඊළඟ වෙන්න පුළුවන් දේ කියන්න ඕන නැහැනේ. 

“ආ , අපි නම් ඇඳුම් හැමදාම වගේ හෝදනවා , පොළවෙත් මොප් කරන නිසා අපට කරදරයක් නෑ නේද“ 

අවාසනාවකට මේකට උත්තරේ “ඔව්“ කියල දෙන්න අමාරුයි. හේතුව , මේ Third-hand smoke ලෙස ඇඳුම් වල , වාහනයේ , ගෙදර බිම , පොත පතේ , තැන්පත් වන TSNA රසායනිකයන් බොහොමයක් සාමාන්‍ය සබන් වලට ඉවත් වෙලා යන්නේ නැහැ. අනෙක් එයාල සති මාස ගණනක් වුනත් (සමහර විට අවුරුදු ගණනක්) “තව විෂ එකතු කරමින්“ ඒ පරිසරයේ රැඳල ඉන්න පුළුවන්.  පේනවද අවදානමේ තත්ත්වය.

හිතන්න , මහත්තයගේ යාළුවෙක් ඇවිත් සිගරට් එකක් බිබි විනාඩි දහයක් කතා කරල ගියොත් , (මහත්තය සිගරට් නොබීවත්) දැන් මහත්තයගේ ඇඳුමේ තැන්පත් වන third-hand smoke ගලේ ගහලවත් යවන්න බැහැ. දැන් ගෙදර ඉන්න පුංචි පැටිය තාත්තව ඉඹිත්දි , ඇඳුමෙන් අදිත්දි මේ අහිංසක පුංචි එකාගෙ ඇඟට “පිළිකාකාරක ගණනාවක්“ ඇතුළු වෙලා. මෙන්න මේ නිසාමයි Third-hand smoke වල ප්‍රධාන ගොදුර පුංචි දරුවන් බව අද හඳුනාගෙන තිබෙන්නේ.  මේ විදියට ඇඳුම් වල , ගෙදර තිබෙන උපකරණ , දරුව සෙල්ලම් කරන බිම , ඇඳ ඇතිරිලි වල තැන්පත් වෙලා පදිංචි වෙන මෙම විෂ රසායන මඟින් පිළිකා විතරක් නොවෙයි , දරුවගේ ( සහ උපදින්න ඉන්න දරුවාගේ ) ජාන වල වෙනස්කම් වෙලා , අපි නොහිතන අවාසනාවන්ත තත්ත්ව වලට පත්වෙන්නත් පුළුවන්.

දැන් ප්‍රශ්නේ කොහොමද මේ අවදානමෙන් අපේ දරුව බේර ගන්නේ කියන එක නේ?

ලේසිම දේ සිගරට් / දුම් පානය නොකරන ගෙරදක් , පරිසරයක් හදාගන්නට උත්සාහ කරන්න. ඇත්ත මේක කියනව තරම් ලේසි නැහැ කියල හිතෙන්න පුළුවන්. මොකද යාළුවෙක් ආවොත් ඉතිං කියන්න බැහැනේ “එපා“ කියල , නේද ? ඒත් ඔබට ඔබේ දරුව ගැන , නැත්නම් දරැවෙක් ලැබෙන්න ඉන්න බිරිඳගැන වගකිමක් තිබෙනවා නම් , යාළුවට කියන්න පුළුවන් වෙන්න ඕන , “මචං අපේ ගෙදර ආවට කමක් නෑ , දුම නම් බෑ“ කියල . අනෙක් උපක්‍රමය , ඔබ දුම් නොබොතත් , කාර්යාලයේ සේවය කරල  , පොදු ප්‍රවාහණ සේවයේ “වවුල වගේ“ එල්ලිල ගෙදර ආගමන් දරුවව වඩා ගන්න එපා. යන්න , ගිහින් ඇඟපත හෝද ගෙන , පිරිසුදු ඇඳුමක් දාගෙන ඇවිත් පොඩි එකා වඩා ගන්න. ඔබ ගෙදරින් එළියට ඇවිත් “දුම බොන“ කෙනෙක් නම් , අන්තිම දුම උගුර පිට වෙලා විනාඩි පහක්වත් යනකම් , දරුවව හුරතල් කරන්න , වඩා ගන්න එපා . මොකද අර අන්තිමට ගත්ත “දුම් උගුරේ තිබුණු රසායනික“ තවමත් ඔබේ කටින් , නාසයෙන් පිට වෙනවා. ඒ කාළ සීමාවෙන්  පස්සේ වුනත් , අත සෝදල , වෙන ඇඳුමක් දාගෙන මිසක පැටියව අල්ලන්න එපා කියන කියන්න “නෝන මහත්තයට හයියක් “ තියෙන්නම ඕන.

එතකොට ගෙදර බඩු මුට්ටු! ඒක ප්‍රශ්නයක් , මොකද ලීබඩු , කුෂන් , රෙදි වගේ දේවල් වලට ඇතුළු වුනු මේ “විෂ රසායනික“ යවන එක ලේසි නැහැ. සේදීම , පිරිසිදු කිරීම මගින් යම් ප්‍රමාණයක් අඩු කරගත හැකි වුනත් , සම්පුර්ණ පිරිසිදු කරගැනීමට නම් කරන්න පුළුවන් එකම දේ , අළුතින්ම ඒ දේවල් ගෙදරට ගේන එක , ටිකක් මුදලක් වැය වුනත් , දරුවගේ අනාගතය නිරෝගී කරන්න නම් . 


පේනවනේ “දුම දානව  “වගේ පහසුනැහැ නෙවි , එයින් වන “හානිය ඉවත් කරන “ එක. ඒ නිසා ටිකක් හිතන්න “පත්තු කරන්න ඉස්සර වෙලා“ 

මේ සටහන ලියන්නට හිත දුන්නේ , අපේ මාසික වෘත්තීය සංවර්ධන වැඩසටහනට ලැබුණු විශේෂඥ දේශනයක්. මේ අවදානම පිළිබඳ ඉතා ගැඹූරින් අපව දැනුවත් කරන්නට අදාල කණ්ඩායම උනන්දු වුනා. ඒ දැනුමත් එක්ක ඔබට පැන නැගෙන , මේ අවදානම ආශ්‍රිත ගැටළුවකට පිළිතුර දෙන්නට පුළුවන්. දන්නා තරමින් දැනුවත් කරන්නම් .

මේ පිළිබඳව තවත් දැනගන්න කැමති නම් 
https://www.pnas.org/content/pnas/107/15/6576.full.pdf


පහත දැන්වීම මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක් නොවේ . ඔබට එයින් යමක් ගත හැකි නම් එන්න , අරගන්න.
 
කැනඩාවට එන්නට මග
සංවෘත සමූහය · සාමාජිකයන් 47
සමූහයට එක්වන්න
මෙම සමූහය , කැනඩාවට එන්නට සිහින දකින ඔබට මතුවන ගැටළු වලට හැකි තරමින් උපකාරයක් වන අරමුණින් තැනුනකි. ‍‍මෙහි කිසිඳු වාණීජ අරමුණු නොමැති බව පළමුවම දැනුම් ...
 

2019/02/16

එන්න ඔබට තවත් අවස්ථාවක් තිබේ!


ඔබ......
  • හෝටල් ක්ෂේත්‍රෙය්ද?
  • පූර්ව ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ගුරුවරයෙක්?
  • පරිගණක ක්ෂේත්‍රෙය් දක්ෂයෙක්ද?
  • කෘෂිකර්මය පිළිගත උගත්තෙක්ද? 
  • “කැනඩාවට එන්න ඕන , ඒත්.........“ කියල හිත හදාගන්න හදන කෙනෙක්ද ?
  • IELTS වලට  ළකුණු ටිකක් මදිද?

අතහරින්න එපා , ඔබට තවත් අවස්ථාවක් තිබෙනවා !

එන්න ඇවිත් දැනුවත් වෙන්න! 
බය වෙන්න එපා මේක තවත් මුදල් කඩාගන්න වැඩක් නොවෙයි.

2019/02/06

මිදෙන්න බැරි නම් කැනඩා එන්න එපා! Come to Canada


මේ දවස් වල ටිකක් විතර සීතලයි , "ටිකක්" කිව්වෙ සෙල්සියස් වලින් ගත්තොත් සෘණ හතලිහක් විතර. අමෙරිකාවෙත් සමහර ප්‍රෙද්ශත් “ටිකක් සීතල“වුනා. ( සාමාන්‍යෙයන් ශීත සෘතුවේ මාස කිහිපයක් සෘණ 20 විතර තියෙන එක ලොකු දෙයක් නොවුනත් , සෘණ 40-50 කියන්නෙ ප්‍රවෘත්ති වාර්තා මවන “සීතල ප්‍රවෘත්තියක්“)  මේ අද කතාවේ පුර්විකාව .
----------------------------------------------------


2019/02/02

227) ගිරවා වගේ කතා කරල තනිව විඳින පුතා! (Non-verbal Learning Disabilities)

“අනේ මන්ද , අපේ කොල්ල දැන් දැන් ඉස්කෝලේ යන්න හොරයි , හැමදාම ඉස්කෝලෙ මග හරින්න මොනවා හරි කියනවා, ගියත් පැත්තකට වෙලා තනියම වගේ ඉන්නේ , මට තේරෙන්නේ නෑ මොනව කරන්නද කියල“

“ඔයා පන්තියේ ටීචර් එක්ක කතා කළා ද කුමාරි“ 

“හ්ම් , එයානම් කියන්නේ , පුතූ හරිම දක්ෂයි , හුඟක් අහිංසකයි කිසිම කරදරයක් නෑ කියල , ඒ වුනාට මට වෙනසක් දැනෙනවා ලොකු දුවත් එක්ක බලත්දි ,  කතාවටනං දක්ෂයා , ගෙදර ආ වේලේ ඉඳන් කියවනවා , ගණන් වලට නම් ටිකක් දඟලනව වගේ  , ඒත් මට බය ඉස්කෝලෙදි ඇයි මෙහෙම තනි වෙලා ඉන්නේ කියල , කිසිම යාළුවෙක් නෑ වගේ මෙයාට“

එකෝමත් එක කාළෙක , එකෝමත් එක අම්ම කෙනෙක් , එයාගේ යාළුවෙක් එක්ක මෙහෙම කතා වෙන්න ඇති. තවත් දේ කතා වෙන්න ඇති . ඒ කතා මොනව වෙතත් , අද මගේ කතාවට මුළ පුරන්න මේ දෙබස ගත්තෙ මේ කියන්න හදන තත්ත්වය ඔබ් දරුවා තුල වුනත් තිබෙන්න පුළුවන් . නැත්නම් ඔබ දන්නා දරුවෙක් තුල , නැත්නම් ඔබේ පන්තියේ ඉන්න දරුවන් අතරේ මෙ කියන්න හදන ලක්ෂණ තිබෙන දරුවෙක් ඉන්න පුළුවන්. ඔව්! අන්න ඒ දරුවට උදව්වක් ඕන, නමුත් උදව්වක් ඉල්ලන්න නැති වෙන්න පුළුවන්. මේ ලිපිය කියවන ඔබට මේ කියන්න හදන ගැටළුව ගැන දැනුමක් අරගෙන , පෙර කී තත්ත්වයේ දරුවෙක් ගැන විමසිලිමත් වෙනවා නම් , නිසි තැනට යොමු කරන්නට “යහපත් සැකයක්“ ඇති කරගන්නට පුළුවන් වුනොත්  , බිඳෙන්නට ඉඩක් ඇති අනාගතයක් “වාසනාවන්ත“ කරගන්නට ඔබට උපකාර වුනා වෙන්න පුළුවන්.