2018/11/12

මේ දිනවල පැතිරෙන මාරාන්තික ගෙඹි උණ තත්ත්වයක්

ලෝකෙන් උතුම් රට ! 

මන්තිරිවරුන්ගේ “ඔළු ගෙඩි“ ගණනින්   , වාසි පතා පක්ෂ අතරේ පනින්නන් සහ තව වාසිය වෙනුවෙන් ආණඩු පෙරලන හැකියාව අනුව  ලෝකෙන් ඉහළින්ම ඉන්න , ‍“සිරි“ ලාංකිකයන් , අළුත උපන් දරුවා පවා ලක්ෂ හතර පහක ණය කාරයෙක්ව සිටියදීම , තමන් ගෙවන බදු මුදලින් අකාළයේ රුපියල් බිලියන හතරක් පහක් විසිකර , තවත් ස්වයං වින්දනීය ඡන්දයක “වින්දනීය සිහින“ දකින මොහොතක වෙනදට වඩා ටිකක් වෙනස් ලිපියන් ලියන්නට හිතුනා. ඒ තමන්ගේ ඡන්දය ලබා දීමට සුදුස්සෙක් තෝරා ගන්නෙ කෙසේද යන කාරණේ ගැන. මාතෘකාව කියවපු ගමන්ම පෝස්ට් එක කියවන එක අතෑර දාන්න හිතුන අයට සුබ ගමන් , රැඳෙන කෙනෙක් කියවා යමක් තේරුම් ගන්නට උත්සාහ කළොත් එයම ඇති. 


මුලින්ම , කොහොමද ඔබේ ඔබේ ඡන්දය ලබා දෙන අපේක්ෂකයා තෝරගන්නෙ?


  • අපි පරාම්පරාවෙන්ම ........ ඒ නිසා මේපාරත් අපේ රජා ...... ම තමයි 
  • අපෙ නංගිට රස්සාව හදාගන්න උදව් කළේ ..... නේ ඒ නිසා අපේ ඡන්දේ ......ටම තමයි.
  • අපේ කොල්ලො සෙට් එකට හොඳට සළකන .........ට ඇරෙන්න අපි වෙන කාටවත් දෙන්නෙ නෑ
  • උනුත් එකයි මුනුත් එකයි මං කාටවත් දෙන්නෙ නෑ.
මුල් ප්‍රශ්නය “සිරි ලාංකිකයෙක්“ ගෙන් ඇහැව්වොත් , ඔවුන් ලබා දිය හැකි උත්තර කියල මගේ මෝඩ මොළේට හිතුන උත්තර මේ , ඒ වුනාට අපේ අයට ඊට වඩා හරිම බුද්ධිමත් විදියට ඡන්දේ දෙන්නේ. 

කොහොම වුනත් මම මේ කතා කරන්න හදන්නේ , කිසිම දැනුමක් තේරුමක් නැති , දෙන්නං වාලෙට ඡන්දේ දීල උඩබලාගෙන ඉන්න සමහර බටහිර රටවල මිනිස්සු තමන්ගේ ඡන්ද අපේක්ෂකයා තෝරගන්න ආකාරය. ඒ නිසා “ලෝකමෙ තියෙන්නේ මේ පුංචි දූපත“ ඇතුළෙ කියල හිතං ඉන්න අයට මේ කරුණු කාරණා නිකං වහකදුරු වගේ වෙන්න පුළුවන්. 

ප්‍රධාන තීරක

ඡන්ද අපේක්ෂකයා තෝරා ගැනීමේදී ඔවුන් යොදා ගන්නා ප්‍රධාන තීරකය තමයි,
ඔහු හෝ ඇය ඡන්දදායකයා වෙත ඉදිරිපත් කරන යෝජනාවලිය. ඒ තුල ඉදිරිපත් වල ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ  ගැටළු සහ ඒවාට ඉදිරිපත් කරන ප්‍රාෙයා්ගික විසදුම් වල , පිළිගත හැකිබව තමයි මූලික සාධකය වන්නේ. උදහරණ විදියට , ප්‍රෙද්ශයේ පහසුකම් වල හදුනාගත් ගැටළු සහ ඒවාට ගෙනෙන ප්‍රාෙයා්ගික විසදුම්, ජාතික වශයෙන් , රැකියා උත්පාදනය , ලෝක ආර්ථික ගැටළු වලට මුහුණ දෙන ආකාරය ........ 

“හ්ම් ඇති ඇති ....මේව බර වැඩියි , ඊට වඩා හොඳ නැත්ද පාන් රාත්තල රැපියලකින් අඩු කරන, පෙළපාලියට ගියාම බුරියානි පැකට් එකක් දෙන මහත්තය තෝර ගන්න එක.“ වසර දෙදහස් පන්සීයක “අතීත  උරුමයක“  කයිවාරු ගහන “අනාගත උරුමයක් ගැන“ හීනයක්වත් නොදකින කෙනෙක් මෙහෙම අහන්නත් පුළුවන්.

 ඊළඟට මේ සාර්ථක රටවල මිනිසුන් , හොයන කරුණ තමයි , අදාල ඡන්ද අපේක්ෂකයාගේ ගතිගුණ ගුණාංග,
ඔහු හෝ ඇය උගත්කම , බුද්ධිමත්බව , නායකත්ව හැකියාවන් , මෙතෙක් පෙන්වා ඇති නායකත්ව සාර්ථකත්වයන් ,මෙතෙක් ප්‍රජාව වෙත කර ඇති යහපත් දේ,  අවංකබව , තමන් හදුනාගත් ගැටළු සහ ඒවාට පිළිතුරු ප්‍රජාවට තේරුම් ගත හැකි අයුරින් පැහැදිලි කරදීමේ සන්නිවේදන හැකියාව , ප්‍රජාවට තමන්ගේ ප්‍රශ්න තම නියෝජිතයාට යොමු කිරීමට ඇති පහසුකම්.... ඔන්න ඔය වගේ කාරණා තමයි දෙවැනි පියවර විදියට සොයා බලන්නේ. මේ ගැන තවත් ටිකක් දුරට කතා කළොත් , 


බුද්ධිමත් බව සහ උගත්කම

බුද්ධිමත් බව සහ උගත්කම, මේ යටත් තම අපේකෂ්කයා කෙතරම් දුරකට අධ්‍යාපනය ලැබූවෙක්ද , කිනම් විෂයක් පිළිබඳ ප්‍රවීණයෙක්ද කියන එක දැන ගන්න එක වැදගත්. එ් නිසාම හැම ඡන්ද අපේක්ෂකයෙක්ගේම තොරතුරු වෙබ්ගත කරනවා. බොහෝ දුරට මේ රටවල දී නම් අවම වශයෙන් මූලික උපාධියක්වත් තිබීම , තව පාක්ෂිකයන් අතරට යෑමේදී වැදගත්. නැතහොත් යම් පිළිගත්  විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ ප්‍රවීණයෙක් වීමවත් අවම වශයෙන් ඕන කරනවා. 

නායකත්ව හැකියාවන් සහ සාර්ථකත්වයන්

නායකත්ව හැකියාවන් සහ සාර්ථකත්වයන් , මේ යටතේ අදාල අපේක්ෂකයා වෘත්තීමය හෝ සමාජමය වශයෙන් දක්වා ඇති නායකත්ව හැකියාවන් පිළීබඳව සොයන්නට , සමාජය තුල යහපතු පුරවැසියෙක් ලෙස ජීවත් වුනාද , නීතියට පටහැනිදේට එක්වුනාද යන්න සොයන්නට  මාධ්‍ය සහ ප්‍රජාව උත්සුක වෙනවා. ඔවුන් දන්වා තෝරා ගත හොත් , ඉදිරියේදී තමන්ව “නියෝජනය“ කරන්නේ මේ පුද්ගලයා බව. ඒ සඳහා දක්ෂ , “නියම“ නායකයෙක් තෝරා ගන්න ඡන්ද දායකයන් පෙළඹෙන්නේ ඒ නිසයි.

අවංකබව ,  තමන් තෝරා ගන්නට යන නියෝජිතයාගේ අවංක බව හරිම වැදගත්. හේතුව ඒ අවංකබවේ තත්ත්වය , ප්‍රෙද්ශයේ රටේ සාර්ථකත්වයට සෘජුව බලපාන නිසා. මෙතැනදි අදාල ඡන්ද අපේක්ෂකයන්ගේ තත්ත්වට පිළිබඳව ඔවුන්ම කරන හෙළිදරව් වලට අමතරව , මාධ්‍ය ලොකු රාජකාරියක් කරනවා. ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය හෝ දේශපාලනික ජිවිතය තුල යම් “කළු තිතක්“ විමසා, පිළීගත හැකි සාක්ෂී සමඟින්ම පාඨයා ඉදිරියේ තබන්නට මේ මාධ්‍ය පසුබට වන්නෙ නැහැ.

ගැටළු සහ පිළිතුරු

ගැටළු සහ පිළීතුරු , ප්‍රෙද්ශයේ හෝ රටට වැදගත් වන , තම අපේකෂකයා හඳුනාගත් ගැටළු සහ ඒවාට ලබා දෙන ප්‍රාෙයා්ගික පිළිතුරු සෙවීමේ ක්‍රම පිළිබඳව ඡන්ද දායකයන් සංවේදීයී. , ඒ වගේම විවෘතයි. ඔවුන් ඒ පිළීතුරු වල ප්‍රාෙයා්ගික බව පිළිබඳව තම තමන් මෙන්ම , සමිති සමාගම් මට්ටමෙනුත් විමසා බලනවා. හුදෙක් අපේක්ෂකයා හෝ පක්ෂයේ මාධ්‍ය මඟින් කියන්නන්වාලේ පිළිගන්නට බහුතරය සූදානම් නැහැ. ඔවුන් අදාල ඡන්ද අපේක්ෂකයන් සමඟ මුහුණට මුහුණ සංවාද කරනවා, තර්ක කරනවා, මාධ්‍ය තුල පවත්වන ප්‍රති පක්ෂ අතරේ විවාද වලට සක්‍රියව සම්බන්ධ වනවා. 

මේ සොයා බැලීම් වලට අද දවසේ තාක්ෂණය බහුලව යොදා ගන්නට ඡන්ද දායකයන් මෙන්ම අපේක්ෂකයිනුත් පෙළඹීසිටිනවා. ඒ නිසා , තාප්ප බිත්ති පුරා , වැඳ ගෙන සිටින පෝස්ටර් මේ “සංස්කෘතික වයසින්“ අඩු රට වල දකින්නට නැහැ. 

ඊළඟ වැදගත්ම කාරණේ , අපේක්ෂකයා තම ඡන්ද වැඩසටහන සංවිධානය කරන ආකාරය. ඡන්ද අපේක්ෂකයා පිළීබඳව දැනුවත් කිරීම් කරන ආකාරය , තමන් අදාල ව්‍යාපෘතිය තුල ප්‍රජාව සමඟ කටයුතු කරන ආකාරය වගේම , ඡන්ද ව්‍යාපාරය සඳහා වියපැහැදම් කරන්නේ කවුරුන්ද කියන වගත් ප්‍රජාව වගේම මාධ්‍යත් සොයා බලනවා. ඒ අතරේ අදාල ඡන්ද ව්‍යාපාරය තුල විවිධ සමාජ කණ්ඩායම් , ස්වෙච්ඡා ව්‍යාපාර ඊට දක්වන දායකත්වයන් ගැනත් ඔවුන් විමසිලිමත් වෙනවා. ඡන්ද අපේක්ෂකයාගේ , ප්‍රවර්ධන ව්‍යාපාරය ඇතුලත ඔහු හේ ඇය අනෙක් පාක්ෂික අපේක්ෂකයන්ට පිළිතුරු දෙන ආකාරය , තවත් ඡන්දයක හිමිකම තීරණය කරනවා. විරුද්ධ පාක්ෂික නියෝජිතයන්ට අපහාස කිරීම් , ඔවුන්ගේ පෞද්ගලිකත්වයට පහර ගැසීම් , වැනි දේ මේ ඡන්ද දායකයන් එතරම් පිළීගන්නෙ නැහැ. ඒ නිසාම ඡන්ද ව්‍යාපාරය තුලදී අනෙක් පාක්ෂික නියෝජිතයන්ගේ දේශපාලනික මත සහ යෝජනා වලට මිස , අනෙක් අපේකෂකයාගේ පෞද්ගලික ජීවිත වලට , ඔහුගේ ඇයගේ ආගමික විශ්වාස වලට පහර  දීමක් නොකරන්නට උත්සුක වනවා ඔවුන්. 

මේ අතරේම , තමන් තෝරා ගන්නට යන අපේක්ෂකයා තමන්ගේන් වුනු අතපසුවීම් වලට පිළිතුරු දෙන ආකාරය සහ ඒ වරද ප්‍රති පාක්ෂික අපේක්ෂකයාට ලිස්සා යවන්නෙක් නොවීමත් ඔහුට හෝ ඇයට තවත් ඡන්දයක් එක් කරගන්නට හේතු වෙනවා. ඒ වගේම ප්‍රෙද්ශීය හෝ ජාතිකව පවතින සත්‍ය  ප්‍රශ්න වලට ලබා දෙන පිළිතුරු වල පිළිගත හැකි ස්වභාවය ඊටම දායක වන තවත් සාධකයක්. ඒ නිසා , ළංවිය නොහැකි “සිහින රාජ්‍යයක්“ මවා පා , තම ඡන්ද දායකයා රවටන්නට මේ අපේක්ෂකයන් උත්සාහ කරන්නෙ නැහැ. ඔවුන් ඒ වෙනුවට පැහැදිලි , සහ ප්‍රොයෝගික ප්‍රතිපත්ති පිළිබඳව , ජනයාට තේරුම් ගත හැකි අයුරින් කතා කරනවා, ලියනවා . (හැබැයි පෝස්ටර් අලවන්නෙ නැහැ මුළු රට පුරාම අපේ අය වගේ ,  ඒ වෙනුවට පරිසරයට හානිය අවම ක්‍රම යොදා ගන්නට ඔවුන් උත්සාහ කරන්නේ එයත් තමන්ගේ ඡන්දයට තවත් “හොඳ සළකුණක්“ එක්කරන ගමන්) 

ඔන්න ඔය සොයා බැළීම් වලින් පස්සෙ , සරළ ප්‍රශ්න තුනකට උත්තර හොයන්න ඡන්ද දායකයා උත්සාහ ගන්නවා, ඒ ප්‍රශ්න තුන තමයි ,
  1. ප්‍රෙද්ශයේ  / රටේ පවතින සත්‍ය ප්‍රශ්න  පිළිබඳව කිනම් අපේක්ෂකයා ලබා දෙන විසදුම් වලට  මා වඩාත් එකඟද ?
  2. වඩාත් සාධාරණ සහ පැහැදිලි ඡන්ද ව්‍යාපාරයක් මෙහෙයවූයේ කවුද?
  3. මගේ නියෝජිතබවට හිමිකම් කියන අපේක්ෂකයා සතුව , මා අපේක්ෂා කරන නායකත්ව හැකියාවන් තිබේද?
මේ තීරණයට පසුව , තමන් කාට ඡන්දය ලබා දෙන්නේ දැතී තිරණය කරන ඡන්ද දායකයා , අදාල දිනට නියමිත ක්‍රමවේදය අනුගමනය කරල , තමන්ගේ ඡන්දය ප්‍රකාශකරල , වෙනද වගේම තම තමන්ගේ රැකියා කටයුතු වල නියත වෙන්නේ , කවුරු දිනුවත් , නොදිනුවත් පුරවැසියෙක් ලෙස තමන්ගේ  වගකීම් නිසි ලෙස ඉටු කරමින් “රට දිනවිය යුතු බව“ දන්නා නිසාවෙනි. 

මෙන්න මේ ලෙසින් ඡන්ද දායකයන්ගේ විමසුම් නිසාවෙන් , බොහෝ විට තේරී පත්වන්නේ “සුදුසු නායකයෙක්“ . ඔහු හෝ ඇය තමන්ගේ රාජකාරිය නිසි ලෙස කළොත් , මහජනතාව එම “නායකයාට“ ගෞරව කරාවි , නමුත් ඔහු හෝ ඇය ,තමන්ගේ අප්පච්චි හෝ අම්ම“ බවට පත් කරගන්නෙ නැහැ.“දේවත්වයෙන් සළකන්නේ නැහැ“ .
“ඔවුන් කරන්නෙ , අපේ බදු මුදලින් යැපෙන තවත් එක් රැකියාවක්“ මේ රටවල ඉන්න ප්‍රජාව පිළිගන්න මතය ඒ. ඒ නිසාම , ජනතා බදු මුදලින් කරන ඕනෑම වියදමක් , කටයුත්තක් පිළිබඳව ජනතාව දැනුවත් කරන්නට දේශපාලයා බැඳිලා ඉන්නවා. එසේ නොවුන තැන මාධ්‍ය මැදිහත් වීමක් වුනොත් එය තමන්ට හුඟක් අහිතකර බව ඔවුන් දන්නව. තමන්ගේ රාජකාරි නිල කාළයට පස්සේ , නීත්‍යානුකූලව තනතුරෙන් ඉවත් වෙලා , තමන්ගේ  රැකියාවක් , ව්‍යාපාරයක් කරගෙන ඉදිරි කටයුතු කරගෙන යනවා. එසේ නොමැතිව “නීතියටත්“ උඩින් යමින් , “ගෙම්බන් පන්නමින්“ රට සංවර්ධනය කරනවා කියමින් “තම පරපුර සංවර්ධනය“ කරගන්නට පෙළහරි පාන්නට යන්නෙ නැහැ. රටේ පොදු ජනතාව , ඊළඟ ඡන්දයට යොමු වන්නා වෙත “නිරීක්ෂණය“ යොමු කරනවා , රටේ ප්‍රශ්න වල ස්වාභාවය පිළිබඳව විමසුම් ඇසින් සිටිනවා. 

ඔන්න ඔහොමයි , “සංස්කෘතික වයසින් අඩු “ රටවල් තමනගේ දේශපාලන අදහස් මත වාද බෙදා හදා ගන්නෙ. 

නමුත් සිරි ලන්කාවේ! 

මේ දින කිහිපය පුරා රට තුල සිදුවන දේම දේශපාලකයා සහ රට රැගෙන යන දිසාව පිළිබදව වටහා ගන්නට හොදටම ප්‍රමානවත්ය. නමුදු තවමත් කොටසක් “බයියන්ය” අනෙක් කොටස “ටොයියන්ය” . රට විනාශ කරමින් “බඩ වඩා ගන්නා මංකොල්ලකරුවන්” මේ දෙගොල්ලන්ටම දෙයියන්ය.සුලු කොටසක් “පෙරුම්පුරන්නෝය” අනෙක්වුන් “දේශපාලනිකව කුසීතව , අලසව” සිටී. මේ අස්සේ රට දිනෙන් දින හැම අතින්ම පහලට යමින් තිබේ.

රට අඝාදයට යන මේ ගමන වලක්වන්නට තරම් “ශක්තියක් ඇති සමාජ හෝ දේශපාලන බලවේගයක්” ඉදිරි වසර 10-20 තුල මතු වෙන පාටක් නැත.ඒ සදහා තරම් උගත් බුද්දිමත් රටට ලැදි පෞරුශයක් සහ රටේ පුරවැසියන් වැඩිපිරිසකගේ ආකර්ශණය දිනා ගත් චරිතයක් පෙනෙන්නට නැත. එවන්නක් ඇතිවීමට , ටොයියන් , බයියන් සහ අලසයන් ඉඩ දෙන පාටක් ද නැත. අඩුම තරමේ රටක(රව)න මේ කාලකන්නි දේශපාලුවන් එලවා දමන්නටවත් ප්‍රමාණ්වත් කතිකාවතක් දකින්නට නැත. 


විදේශ ණය උගුල



මේ යන ගමනේ ඉදිරි වසර 10-20 තුල සිරි ලංකාව විදේශ ණය උගුලේ හිරවී පණ අදින දිනය වැවි ඇතක නොවේ. මේ යන ගමනේ නුදුරේ රාජ්‍ය සම්පත් පෞද්ගලික අංශ හෝ විදේශයනට විකුනා දැමීම, ජනතාවට ලබා දෙන සහන කප්පාදු කිරීම , ජනතාව වෙත තවත් බදු පැණවීම අපෙක්ෂා කළ යුතුමය.

------------------------------------------------------------
මේ ලියන මට , සිරි ලංකාව තුල ඡන්දයකට කිසිදු හිමිකමක් නැති නිසා , කුමන දේශපාලන ව්‍යාපාරයකටවත් පක්ෂග්‍රාහීව ලියූ සටහනක් නොවේ මෙය. නමුත් , “සිරි ලංකාවේ“ උපන් අයෙකු ලෙස , රට තුල සිදුවන “දේශපාලන විනාශය“ දෙන ඇස් කන් පියා බලා සිටින පොදු ජනතාවගේ අලසකම පිළිබඳව අසන්නට දකින්නට ලැබෙන දේ නිසාම ලියන්නට සිත් දුන් ලිපියකි. 

 රටේ ජනතාව  දේශපාලනිකව අලස , අන්ධභක්තික බවක් නොදක්වන්නේ නම් , දෙසිය විසිපහක් එක්ව , ඔබේ බදු මුදල් උරා ගනිමින් රටට කරන විනාශය වෙනුවට , ඔබේ බදු මුදලින් “රටට  සෙතක් කළ හැකි “  , “උගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් විසි පස් දෙනෙකු “ පත්වනු ඇත. ඒ විසි පහ තුලට “ස්ත්‍රී දුෂකයන්,  මුල්‍ය වංචාකරුවන් ,  තැබෑරුම් කරුවන් “ පත්නොවේද  එයයි සිරි ලංකාවේ , “සිරිය“ ඇරඹෙන යුගයක ආරම්භය . එයයි  “අාසියාවේ ආශ්චර්යයක්“  ඇරඹෙන  දිනය! 
අනේ අප කවදාක දකින්ද ඒ මොහොත ! 

(ලිපිය ඔබේ අදහසට ගරු පෙර දැරිව විවෘතයි ,දේශපාලන පුද්ගල භක්තියෙන් තොරව පිළිතුරක් ලබා දෙන්නට ඔබේ හිත හදාගන්නට පුළුවන් නම් නම් එයම ඔබ ලැබූ ජයකි!) 

No comments:

Post a Comment

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)