2018/09/26

“මුතු ඇටේ චීන කටේ“



පරිසරය සහ දේශගුණය අතින් සිරි ලංකාව ඉහළ සුන්දර තැනක තිබෙන රටක දමා “පිටරටක පදිංචියකට“ මිනිසුන් එන එකම අරමුණ “සල්ලි ගොඩ ගසා ගැනීම“ යැයි සිතන්නේ නම් එයම විහිළුවකි. (නමුත් එය විහිළුවක් බව දැනෙන්නට වෙනත් රටකට පැමිණිය යුතුමය.) විදෙස් රටක පදිංචි වීමට හේතුවන කාරණා රැසකි. දේශපාලනමය, ආගමික, වෘත්තීය සමිතිමය අන්තවාදීත්වය නිසා දිනෙන් දින කඩා වැටෙන රටක, තම දරුවන් හදා වඩා ගැනීම සහ ඔවුන්ගේ අනාගත සුරක්ෂාව පිළිබඳ ඇති අනපේක්ෂිතභාවය මේ අතරින් ඉහළම තැන ගනී යන්න මගේ පුද්ගලික මතයයි.

දේශපාලන මතයට නොව තමන් අන්දවන දේශපාළුවාට වන්දනාකරන , දහමේ හරය ජීවිතයට ගැනීම පසෙක තබා ගල් බොල් පිළිම , සිමෙන්ති කුරුස හෝ පල්ලිය වටා ඇති තාප්පය ආරක්ෂා කිරීම , වන්දනා කිරීම ප්‍රවනතාවයක වන තැනෙක , තම වෘත්තීය ගරුත්වය රැක ගැනීම සඳහා වෘත්තීය සමිති වන්දනා කරවන රටක “අනාගතය“ පිළිබඳ විවෘත මනසකින් දකින අයෙක්ට හඳුනාගත හැකිය. ඒ හඳුනාගැනීම තුල තම දරුවන්ගේ අනාගතය සුරක්ෂාකර ගැනීමට “කළ හැකි යමක්“ කරන්නට දෙමාපියන් පෙළඹේ .

ඒ කළ හැකි දේ අතර , දරුවන්ට “සුද්ද සිංහල“ පමණක් නොව , ඉංග්‍රිසි ඇතුළුව හැකි නම් තවත් ජාත්‍යන්තරව වැදගත් වන භාෂාවක( පාළි , සංස්කෘත , ගුජරාටි නොවේ) ප්‍රවීණත්වය ලබා දීම , ජාත්‍යන්තර වාණිජ , වෘත්තීය , සමාජයීි ප්‍රවණතා පිළිබඳ යාවත්කාලීන දැනුමක් ලබා දීම සහ , “ලෝකෙන් උතුම් රට මේ “ යැයි කීවද , මෙයින් පිට “ලෝකයක් ‘‘ ඇති බව සහ ඒවායේ ඇති “අවස්ථාවන්“ පිළිබඳ දැනුමක් ලබා දී උනන්දුවක් ඇති කිරීම වැදගත් තැනක පවතී. එමෙන්ම සුදුසුකම් ඇති සිරි ලාංකිකයන්නට තම රට තුල පංදිචිය ලබා දීමට රිසි රටවල් අතර ඔස්ට්‍රේලියාව , කැනඩාව ඉහළ තැනක සිටියද තවත් දියුණු රටවල් රැසක දොරටු අප වෙත විවෘත බවද කිව යුතුමයි. ඒ දොරටු තුලින් ඇතුළුවීම , ඒජන්තකාරයෙකුට මුදල් ගෙවීමක් කිරීම අනවශ්‍ය බවත් , උනන්දුව සහ සුදුසුකම් ඇති ඔබට තනිව කරගත හැකි පියවරක් බවද මතක් කළ දිය යුතුමවේ.

යම් රටක උපන් පමණින් , අප ඒ රටේම “ජීවිත්ව මිය යායුතු“ නම් ලෝකයේ සිටින සියළුම මිනිසුන් ජීවත් විය යුත්තේ අප්‍රිකා මහාද්වීපයේ පමණි
.(මානව පරිනාමය අනුව නම් ඉතියෝපියාවටත් එහා තිබෙන මොරොක්කෝවේය) නමුදු අවස්ථානූකූලය , තම වර්ගයේ , පරපුරේ සුරක්ෂාව තකා මිනිසුන් පමණක් නොව සියළු ජීවින් වෙනස් වෙමින් පවතී. එය හඳුනාගෙන අද තරුණ පරපුරවත් “විවෘත හෙටක් ගැන හිතනවා නම්“ අඩුම තරමේ සිරි ලාංකික සම්භවයක් ඇති පිරිසක්වත් අනාගත ලොව තුල ඉතිරිවනු ඇත. මක්නිසාද මෙලෙසින් ගියොත් , “මුතු ඇටේ චීන කටේ“ වන දා “සිරි ලංකාව“ කිනම් නමකින් හඳුනවත්දැයි සැකයක් පවතින නිසා.

4 comments:

  1. ඔය කොයි රටෙත් හොඳ දේවල්, නරක දේවල් තියෙනවා. ලංකාවේ හැම තැනම කුණු කියන සමහරු ගෙදර කුණු මල්ල අල්ලපු ගෙදර වත්තට විසි කරනවා. පාරේ කෙළ ගහනවා. පාතාලය අරක මේක කියන එකා තමන්ගේ තරහ කාරයට ගහන්න මැර බලය හොයනවා. දේශපාලුවාට බනින එකා තමන්ගේ උත්සව වලට දේශපාලුවාටම ආරාධනා කරනවා. එක ම දේ තමන්ගේ රටේ ඔය වගේ ගේම් ගහන එකා වෙන රටකට ගියාම සුදනා. ඕක ලංකාවට විතරක් නෙවෙයි ආසියාවේ ගොඩක් රටවලට පොදුයි. ඉතින් තමන්ගේ රටේදි ඔලුවට ගහන පොරත්වය වෙන රටකට ගියාම නැති වෙනවා. ඊට පස්සේ ඒ රටේ ඉඳන් මේ රටේ දේශප්‍රේමය වපුරනවා.

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන්ම එකඟයි ඔබේ අදහස සමඟ , ඒ නිසාමයි මේ අදහස් , ලෝකයට විවෘත වන තරුණ පරම්පරාවට යොමුවිය යුත්තේ , නැතොත හැමදාම අපි එකට රවුමක් වටේ යමින් , ගිලා බහිනවා විතරයි.
      ස්තුතියි ඔබට

      Delete
  2. මේක මහා කාලකන්නි රටක්..

    මහා ලොකුවට පෙරදිග මුතු ඇටේ ලු. ලබ්බ තමයි...

    හැම රෙද්දටම දේශපාලනේ ගාවගෙන රට එකම අච්චාරුවක් කරගෙන.
    මේකට ගොඩ ඒමක් නෑ පුතෝ...

    ReplyDelete
    Replies
    1. “හැම රෙද්දටම දේශපාලනේ ගාවගෙන“ මෙන්න මේකත් එක්ක , අන්ධ භක්තියත් ( ආගම , දේශපාලනය සහ සංස්කෘතිය ගැන) එකතු වුනාම “රටක්“ , “වලක්“ වෙන්න වැඩි කළක් ගත වෙන්නේ නැහැ.
      ස්තුතියි ඔබට

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)