2018/08/06

225) පොත් පිරවූ ඔළුගෙඩි තරඟය

“දැන් අක්කී මේ ගානට අපාර්ට්මන්ට් එකක් හොයා ගන්න ඕන, නැත්නම් මගේ යාළුවත් එක්ක ෂෙයා කරගන්න යුනිට් එකක් ගන්න ඕන, එහෙම නැති උනොත් අමාරුයි මේක බැලන්ස් කරගන්න“
“මෙහෙමනේ , එය ගාන යන්නේ ඔයා කාර් එකටයි , ඉන්ෂුවරන්ස්තුයි , ගෑස් , මේනටෙනන්ස් එක්කනේ, මෙහෙම කලොත් , ඔයා ගන්න යුනිය කිට්ටුව අපාර්ට්මන්ට් එකක්, පයින් එන දුර , එතකොට ඔයාට කාර් එකට යන ඔක්කොම වියදම අඩු කරගන්න පුළුවන්.“
“හ්ම් , ඒකත් ඇත්ත, එහෙම වුනොත් මට ලොකු ගානක් ඉතිරි වෙනව , තව එක්ට්‍රා කෝස් එකක් ගන්නත් පුළුවන් වගේ“


මේ කතා බහ මට ඇහෙන්නේ අපේ ගෙදර ඉන්න ලොකු අක්කල දෙන්නගේ කාමරෙන්,මේ කතාව වෙත්දි  කෙනෙක් නමයේ පන්තියේ  , ලොකු අක්කා දහයේ. “ලොකු කතාවක්“ නිසා මාත් පොඩ්ඩක් එකතු වුනා දෙන්න එක්ක. 


හරියට රිසියුමියක් ලියා ගන්න ඕන
මේක පොඩ්ඩිගේ පන්තියේ ටීචර් දීපු ප්‍රොජෙක්ට් එකක්, මේ ව්‍යාපෘතියේද පොඩ්ඩි තමන්ගේ දොළහේ පත්නිය අවසන්  වෙත්දි ලබල තියෙන පුහුණු , වෘත්තීය සුදුසුකම් , අත්දැකීම් යොදාගෙන  රැකියාවක් ලබා ගන්නට ඉල්ලුම්පත් යොමු කරන්න ඕන . ඊට පස්සේ ඒ ඉල්ලුම්පත් අතරින් රැකියා සම්මුඛ පරික්ෂණ කිහිපයකට මුහුණ දෙන්න ඕන , එයින් සමත් වුනොත් තමයි ව්‍යාපෘතියේ ඉතිරි

කොටස ලැබෙන්නේ. සමත් නොවුනොත් රැකියා සම්මුඛ පරික්ෂණය සමත් වන තුරු පුහුණූ , ස්වෙච්ඡා අත්දැකීම් , සම්මුඛ පරික්ෂණ අත්දැකීම් ලබා ගන්න ඕන. 
රස්සාවක් හොයා ගැනීම තමන්ගේ අවශ්‍යතාවයක්
මේ වෙත්දි පොඩ්ඩි පළමු පියවර සමත් වෙලා, ඇය කැමතිම “රැකියාව සඳහා පත්වීම් ලිපිය “ ලැබිලා. දැන් එයා සැලසුම් කරන්න ඕන  , ඒ රැකියාව කරන ගමන්ම විශ්ව විද්‍යාලය තුල තමන්ගේ උපාධිය සම්පුර්ණ කරගන්න විදිය , ගෙදරින් පිට තමන්ගේ තැනක පදිංචි වෙලා , තමන්ගේ වියදමින්ම කෑම බීම අනෙකුත් වියදම් දරාගෙන, උපාධියටත් වියදම් කරගෙන , උපාධීය සඳහා වෙලාව ඉතිරිකරගෙන වසර හතරක් ගත කරන විදිය සැලසුම් කරල ව්‍යාපෘති වාර්තාව හදල දෙන්න ඕන. මේ කටයුත්තේදි වෙච්ච කතා බහක් තමයි අද ලිපියට මුල පිරුවේ.

කියවන ඔබට මේක පුංචි දෙයක් වෙන්නු පුළුවන් වුනත් , නමයේ  පන්තියේ දරුවෙක්ට ලොකු වැඩසටහනක් , ඔහු හෝ ඇය “හෙට දවසේ ජීවිත්වන විදිය“ පිළිබඳ ප්‍රාෙයා්ගික බවට ඉතා ආසන්න අත්දැකීමක් ලබා ගන්නට ඕන. මොකද මේ රටවල විශ්ව වද්‍යාල අධ්‍යාපනයට මුදල් ගෙවන්න ඕන, ඒත් ඒක අවසානයේ රැකියා දෙන්නට රජය බැඳිල නැහැ, රැකියාවක් සොයාගෙන තමන්ගේ අධ්‍යාපන ණය ගෙවා , “තමන්ගේ ජීවිතයක් පටන් ගන්න නම්“ අදාල සිසුවා උනන්දු වෙලා “කුමක් හෝ රැකියාවකින්“ ගමන් ආරම්භ කරන්න ඕන. “අපට රස්සාවල් දියවු කිය කිය පාරවල් වහල වැඩක් වෙන්නේ නැහැ මේ රටවල. එහෙම කරන්න ආකල්පයක් ඇත්තෙත් නැහැ ඔවුන් අතර. අනෙක් කුමන උපාධි/ අධ්‍යාපන මට්ටමක හිටියත් , කුමන රැකියාවක් කළත් එහි “උසස් පහත්“ බවක් මනින්නට මේ සමාජය පෙළඹෙන්නෙ නැහැ. 

කෙසේ වෙතත් මේ ලිපියෙන් මම උත්සාහ කරන්නේ  මෙම රටවල අධ්‍යාපන ක්‍රමය පිළිබඳ පුංචි කතාබහක් කරන්න, ඉතා ගැඹුරු පර්යේෂණයක් නොවෙයි , ප්‍රාෙයා්ගිකව දකින්නට , දැනෙන්නට ලැබෙන වෙනස්කම් කිහිපයක්.

මුල්ම දේ තමා , ගරු- ශිෂ්‍ය සබඳතාවය


ඔක්කොම එකවගේ වෙනස “දැනුමයි“
මේ රටවල සිසු දරුවන් සහ ගුරුවරු මිතුරන් වගේ , හරිම සුහදශීලී , විවෘත සබඳතාවක් පවත්වා ගන්නේ. කිසිම තැනක “සර්ලා මැඩම්ලා “ නැහැ , ඉන්නේ “මිසිස්, මිස් හෝ මිස්ටර්“ ලා විතරයි. අනෙක් ඔවුන් එක්ක සෘජුවම කතා කරන්න , ඔවුන්ගේ අදහස් වලට එකඟ නොවේ නම් ඊට එදිරිව අදහස් දක්වන්නට , තමන්ගේ අදහස විවෘතව ඉදිරිපත් කරන්නට මේ මිත්‍රශීලී සම්බන්ධතාව නිසා හැකි වෙනවා දරුවන්ට. මේ විවෘතභාවය නිසාම ගුරුවරු හැම දරුවෙක්ටම එක හා සමානව කටයුතු කරනවා, ප්‍රෙද්ශයේ මන්ත්‍රීගේ දරුවටත් , රැකියාවක් නැතිව සමාජ සහනාධාර වලින් ජීවත් වන පවුලක දරුවාටත් සළකන්නේ එක විදියට. මොකද යම් වෙනසක් දැක්කොත් සිසුවන්ට පුළුවන් ගුරුවරයාට විරුද්ධව වුනත් පැමිණිලි කරන්නට , ඒ වගේ වරදකදි , වැරදිකාරය වුනොත් “රස්සාව නැතිව “ ගෙදර යන්න වෙන බව ගුරුවරු දන්නවා. (වර්ජන , තර්ජන වලින් වැඩක් වෙන්නේ නැහැ.

අනේක වැදගත් දේ එක එක විෂයට ටියුෂන් දෙන්න මේ ගුරුවරු යන්නේ නැහැ.(ඉතාම කළාතුරකින් ආසියාතික රටවල සමහර දරුවන් “පුරුද්දට ටියුෂන්“ යවන අවස්ථා නැතිව නොවේ)  ඒත් ඕනම වෙලාවක සිසු දරුවන්ගෙන් ලැබෙන ටෙක්ස්ට් පණීවිඩයට , ඊමේලයට උත්තර දෙන්න ගුරුවරයා කැප වෙලා ඉන්නවා. ලොකු දුවගේ සමහර වැඩසටහන් පිළිබඳව රෑ මැදියමේ යවන ඊමේල් වලට පවා පිළිතුරු සපයමින් , උපදෙස් දෙන “ගුරුවරු“ පිළිබඳ අත්දැකීම් මට තිබෙනවා.

කටපාඩම් නොව තේරුම් ගැනීම පාදක කළ ක්‍රමයක්

මේ අධ්‍යාපන ක්‍රමය තුල සිසුවා සෘජු අත්දැකීම් ලබා ගනිමින් , තේරුම් ගැනීමට  පොළඹවන ක්‍රමවේදයක් ඇත්තේ. විද්‍යාව , භාෂාව හෝ තොරතුරු තාක්ෂණය වේවා , සියළුම විෂයයන්හි “සැබෑ ප්‍රාෙයා්ගික අත්දැකීම් ලබා ගන්නට අවස්ථාවක් දරුවාට ලැබෙනවා. උඩුකරු තෙරපුම පාඩමේදී , සැබෑ ප්‍රමාණයේම ඔරුවක් තනමින් විනෝද වෙමින් එහි බර , පීඩනය වර්ගපලය ගැන විමසන දරුවන් , සැලසුම් තාක්ෂණ විෂයයන් වලදි කුඩා නිවසක් තනා විදුලිය , සහ අනෙක් අවශ්‍යතා පවා ලබා දී ඒ නිවසේ අසිරිය විඳින්නට දරුවන්ට “විවේකයක්“ ලබා දෙනවා. 

මීට මාස කිහිපයකට පෙර මගේ පොඩි දුව සහභාගි වූ පරිසර අධ්‍යාපන වැඩසටහනකදි , නමය පන්තියේ සිටි සිසුන් විස්සක් පමණ පාසල් බසයෙන් ගෙන ගොස් අත හරින්නේ, මේ පළාතේ තිබෙන විශාල වනාන්තරයකට , ලෝකයේ වඩාත්ම සෞඛ්‍ය සම්පන්න ග්‍රිස්ලි වලසුන්
එම වනාන්තරයේ සිටින ග්‍රිස්ලි මවක සහ පැටවුන් මා දුටු අයුරින්ම
 පවා සිටින්නට ඉඩ ඇති මේ වනාත්තරයේ පාමුලට මේ දරුවන් යොමු කරන්නේ , වනාන්තරය පිළිබඳ සිතියමක් , මාලිමාවක් , සංඥා විදුලි පන්දමක් වැනි අත්‍යවශ්‍ය උපකරණ කිහිපයක් සහ වියලි කෑම බෑගයක් ලබා දෙමින්. ඔවුන්ගේ අරමුණ තමයි , පැය හතක් ඇතුලත වනාන්තරයේ මැද තිබෙන “මධ්‍යස්ථානයට වාර්තා කරන එක. ඒ අතරේ ඔවුන්ට දහවලේ , කූඩාරමක් තනාගෙන  , ගිණිමැලයක් සකසාගෙන , දිවා ආහාරය සහ පාන සකසා ගත යුතු වෙනවා. මේ සියල්ල කරගත යුතුතේ නමයේ පන්තියේ පැටවු දෙන්නේක්ගේ කණ්ඩායමක්. (ගුරුවරු කිහිප  දෙනෙක් සහ පරිසර විශේෂඥයින් කිහිප දෙනෙක් මෙ සියල්ල අධීක්ෂණය කරනවා , මුළු කැළය පුරා පීරමින්)  බොහොම වෙහෙසකාරී මේ වැඩසටහන අවසානයේ “මධ්‍යස්ථානයට ළඟා වන“ දරුවන්ට රසවත් සංග්‍රහයක් එක්ක නර්තනයක් යෙදෙන්න අවස්ථාව ලැබෙනවා. ඊට දින පහකක් ඇතුලත හඳුනාගත් ශාක , සතුන් පස් වර්ග සහ  අත්දැකීම් පිළිබඳ වාර්තාවක් ලබා දෙන්නට ඕන , එවිටයි ලකුණූ ලැබෙන්නේ. මේ පැය හතක වැඩසටහන තුදරු දරුවන් විවිධ ශාක පිළීබඳව , පස , සතුන් සහ ඔවුන්ගේ චර්යාවන් පිළිබඳව “කටපාඩම් නොව“ ප්‍රාෙයා්ගික දැනුමක් ලබා ගන්නවා. මේ වීඩියෝව එම වැඩසටහන ගැන https://www.youtube.com/watch?v=ffg30Z2P6us)

මේ එක් උදාහරණයක් පමණයි, රසායන විද්‍යාව , භෞතික විද්‍යාව වැනි ඕනම විශයක දේශණ වලට අමතරව ක්ෂේත්‍ර අධ්‍යයන ඔස්සේ අදාල විෂයයේ ප්‍රාෙයා්ගික භාවිතයන් පිළිබඳව හදාරන්නට දරුවන් පොළඹවනවා.

හිර නොවු විෂයයන් , 

මේ අධ්‍යාපන පද්ධතිය තුල නමය දහය ශ්‍රේණීවල ඉඳළ දරුවාගේ අනාගත සැළසුම් වලට අනුකූල වන විෂයයන් තෝරා ගන්නට සිසුවාට අවස්ථාව ලබා දෙනවා. මේ සඳහා පාසල් උපදේශකවරුන් උදව් වුනත් , මුල් වගකීම දරුවාගේ. මේ ඔස්සේ තමන්ට හැකියාව සහ උවමනාව ඇත්නම් අමතර විෂයන් හදාරමින් දැනුම වැඩි කරගන්නටත් , ක්‍රෙඩිට්ස් එකතු කරගන්නටත් දරුවාට පුළුවන්. මේ ක්‍රමය නිසාම මගේ පොඩි දුවට එක් ශ්‍රේණියක් පැන ඉහළ පන්තියකට යන්නට අවස්ථාවක් ලැබුණ වගේම දහයේ පන්තියේ සිටි ලොකු දුවට අවස්ථාවක් ලැබුණ ඇය රිසි විෂය-වෘත්තීය ක්‍ෂේත්‍රෙය් එකොළහ සහ දොළහ ‍පත්නි වල ඒකක පවා හදාර නිමා කරන්නට. ජීව විද්‍යාව ඔස්සේ ඉදිරියට යන්නට හදන දරුවාට කැමැත්ත ඇත්නම් ගණකාධිකරණය හෝ පරිගණක සැලසුම් ශිල්පය හෝ අධිකරණ වෛද්‍ය තාක්ෂණය වුනත් හදාරන්නට අවස්ථාව තිබෙනවා.

විභාගයට පමණක් නොව රැකියාවටත් තැනක් 

නමයේ පන්තිය සිටම දරුවන් “සවේච්ඡා සේවා“ සඳහා යොමු කරන්නට මෙම අධ්‍යපන ක්‍රමය කටයුතු කරනවා. ප්‍රෙද්ශයේ ආහාර බැංකුවේ , රෝහලේ , වැඩිහිටි ප්‍රජා ආයතන තුල මේ විදියට “ස්වෙච්ඡා සේවය“ කරන්නටත්  ඒ ඔස්සේ අනාගතයේ රැකියාවක අත්දැකීම් සහ වගකීම් පිළිබඳ පෙර පුහුණූවක් ලබා ගන්නට අවස්ථාවක් දෙනවා.  දහයේ පන්තියේදී හැම සිසුවෙක්ම අනිවාර්ය “ස්වෙච්ඡා සේවා“ පැය ගණනක් සම්පුර්ණ කළ යුතු වෙනවා. එය ඊළඟ පන්තියට යාමට වැදගත් සුදුසුකමක්. මේ ස්වේච්ඡා සේවා කාළය තුල දරුවන් “අධීක්ෂණය යටතේ“ නියම රැකියාවක යෙදෙනවා, නමුත් වැටුපක් නැතිව.

වයස දහ හතර වූ පසු දරුවාට “නියම රැකියාවක් “ කරන්නට අවස්ථාවක් ලැබෙනවා. එහිදි වෘත්තීය අත්දැකීම් වගේම හොඳ පඩියකුත් දරුවට ලැබෙනවා. මේ සමාජ අත්දැකීම මිල කරන්න බැහැ කියලයි මට හිතෙන්නේ , මොකද මගේ ලොකු දුව දැනට ප්‍රෙද්ශයේ පිහිණුම් මධ්‍යස්ථානයේ “සහතික ලත් පිහිණුම් උපදේශකවරියක්“ විදියට උගැන්වීම් වල යෙදෙනෙවා. ලංකාවෙ මුදලින් නම් පැයට රැපියල් දෙදහස් පන්සියයක ($20/hr) විතර වැටුපකුත් එක්ක. ඒ වැටුපට අමතරව “ලකුණූ“ත් ඇයට ලැබෙනවා. 

විශේෂයෙන්ම , විශ්ව විද්‍යාල වලට තෝරා ගැනීමේදී දරුවාගේ පාසල් අධ්‍යාපනික තත්ත්වය , ක්‍රීඩා සහ බාහිර ක්‍රියාකාරකම් වල මට්ටම, ස්වෙච්ඡා සේවා , සමජා සේවා වල යෙදී ඇති කාළය වැනි ප්‍රා යෝගික සාධක ගණනාවක් සොයා බලන නිසාම , පාසල් දරුවන් දැනුවත් මේ සියළු අවශ්‍යතා පිළිබඳව.

මේ සියළුම උපක්‍රම සහ සැලසුම් වල අරමුණ , පාසල් , විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කළ පසු “රැකියාවක් කිරීමට හැකියාවක් ඇති“ තරුණ පිරිසක් බිහි කිරීම. මෙතැන “ප්‍රාෙයා්ගික හැකියාව“ට ඉහළ තැනක් ලැබෙනවා.

කොටුවීමක් නැත

සිසුවන් එක පන්තියකට කොටුවී සිටින්නට අවශ්‍ය වන්නේ නැහැ, හැම සිසුවෙකුටම තමාගෙම Home Room Class එකක් තිබුණත් , එක් එක් විෂයට අදාල ගුරුවරයාගේ “විෂය පන්ති කාමරයට“ යන්නට වෙනවා. එතැනදි පාසලේ එම ශ්‍රේණියේ හැම පන්තියකම දරුවන් එකට එකතු වෙනවා. තව විදියකින් කිව්වොත් ලංකාවෙදි “පන්තියට ටීචර්“ එත්දි මේ රටවල “ටීචර්ගේ පන්තියට සිසුවන්ට යන්නට වෙනවා“ 

රාජ්‍ය පාසල් පද්ධතිය තුල සිසුදරුවන්ට ඇඳුම පිළිබඳ නීති රීති ඇතත් “නිළ ඇඳුමක්“ නැහැ, එ් නිසා දරුවා තමා සමාජයට පෙන්නුම් කිරීමට කැමති ආකාරයට රිසි ඇදුමකින් පාසලට , පන්තියට එන්නේ. මේ හැම පියවරකින්ම උත්සාහ කරන්නේ “ඉදිරියේ දී පරිණත පුරවැසියෙක්“ විදියට සමාජය තුල ජීවත් වන්නේ කොහොමද කියන පණිවිඩය දරුවා තුලට ඇතුළු කරන්නට. 

ජෝගුවෙන් කෝප්පයට අධ්‍යාපනය නොව , විමසාබලා දැන ගන්නට

මේ දරුවන්ට විෂයට අදාල සාකච්ඡා , දේශණ ලැබුණත් වැඩි ප්‍රමාණයක් ස්වයං අධ්‍යයන ව්‍යාපෘති ලෙස ලබා දෙනවා.  ඒ ඔස්සේ දරුවාට අදාල විෂය තුල සීමාව තුල , තමාටම විමසා , තොරතුරු එක් රැස් කර දැනුම ලබා ගන්නටත් , ඒ දැනුම අනෙක් සිසුවන්ට බෙදා දෙන්නටත් අවස්ථාවක ලබා දෙනවා.

“හොඳ-නරක පාසල් නැත“

මේ රටවල රාජ්‍ය පාසල් පද්ධතිය තුල හොද පාසල් , නරක පාසල් ජනප්‍රිය පාසල් කතාවක් නැහැ. තමන්ගේ ප්‍රෙදේශයේ තිබෙන පාසලට දරුවා යොමුවෙනවා, හැම පාසලකම බොහෝ දුරට සමාන පහසුකම් , විෂයයන් ක්‍රියාත්මක වෙනවා. එසේ නොවන තැනකදි දුරස්ථ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ අවශ්‍ය දැනුම , විෂයන් ඉගෙන ගැනීමට සිසුවාට අවස්ථාවක් ලැබෙනවා.මේ නිසාම පාසල් සඳහා පදිංචි මාරු කිරීම් , බොරු උප්පැන්න හැදීම්,  අල්ලස් ගෙවීම් කියන දේවල් අහන්නට ලැබෙන්නේ නැහැ.

සැර නැති නීති ඇති

මේ විතරක් නෙවි , වේවැල් , රැවුම් ගෙරවුම් බිය ගැන්වීම් දකින්නට අහන්නට ලැබෙන්නේ නැති තරම්,ගැටළු ඇති වුනාම ඉතා සුහදශීලීව කතාබහ කරල එය විසඳාගන්නට ගුරුවරු උත්සාහ කරනවා .මීට අමතරව හැම පාසලකම දරුවන්ගේ මානසික තත්ත්වය , ගැටළු පිළිබඳ සොයා බලන්නට උපදේශකවරුන් වරියන් ඉන්නවා, සමහර වෙලාවට ගුරුවරයා හඳුනාගන්නා සිසු චර්යාමය ගැටළු වලට මේ උපදේශයකවරුන් මැදිහත් වෙනවා. සමහර අවස්ථා වල විනය පිළිබඳ ගැටළු ඇතිවුනාම දෙමාපියන්ට උපදේශකවරු, සහ ගුරුවරු සහිත කණ්ඩායමක සමඟ අදහස් හුවමාරු කරගන්නටත්  , දිගින් දිගට විනය කඩවීමකදි විෂය තහනම් හෝ යම් කාළයකට පාසල් තහනමකට ලක්වෙන්නටත් ඉඩ තිබෙනවා.  



මේ ඇති දැනට , ඔබේ අදහසුත් එක් කළා නම් වටීවි තවත්.


මේ කියාගෙන ගියේ මේ රටවල රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය තුල ඉගෙනුම ලබන  දරුවන් ලබන අධ්‍යාපනය  පිළිබඳ පොඩි කතා ටිකක්, ලියන්න මතක් වුනේ මුලින් වුනු කතාබහ නිසා වුනත් , අද දවසේ ශිෂ්‍යත්වයට මුහුණ දෙන පහේ පන්තියේ පුංචි පැටවුන්ගේ හිත් වල කැකෑරෙන බය , කාංසාව ගැනත් හිතට දැනෙනවා. මේ අවාසනාවන්ත “තරඟය“ නවතන්නට හැකිනම් , ඒ දරුවන්ට ළමා කාළය “විඳින්නට“ අවස්ථාවක් දෙන්නට හැකි තීරණයක් ගත හැකි නායකයක් රටේ බිහිවෙනවා නම්! 

5 comments:

  1. very important. Please share such information continouesly with us. There can be a positive impact for SL as well.

    ReplyDelete
  2. This can be a constructed story. But there are children like this.

    https://m.facebook.com/story.php?story_fbid=260959158052066&id=100024139509744

    ReplyDelete
  3. ඔබතුමාට පුද්ගලික ගැටලුවක් ඉදිරිපත් කිරීම සඳහා email ලිපිනය සඳහන් කල හැකිද?

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)