2018/06/17

223) ලොවට හිනාවී හැංගී හඬනා PHDකාරයෝ (ඔබත් මේ අවදානමේද?)

ලිපි පෙළක අවසන් ලිපිය. ඇන්තනි බෝර්ඩේන්ගේ මරණයත් එක්ක ලියන්න ගත්තු මේ “විශාදය“ පිළිබඳ ලිපි පෙළක අවසාන ලිපිය.



මේ ඔස්සේ ඉදිරිපත් කළ ,“විශාදය පිළිබඳ ස්වයං පරීක්ෂණය“ මේ වන විට හැටකට ආසන්න පිරිසක් ප්‍රෙයා්ජනයට අරගෙන තිබෙනවා. ඒ ඔස්සෙ කිහිප දෙනෙක් වත් තමන්ගේ මානසික සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ නැවත හිතන්න උත්සාහ කරන්න ඇති. ලැබුණු පණිවිඩ දෙකකින් දැන ගන්නට ලැබුණා ඔවුන් කළක් තිස්සේ “ නොතේරෙන“ දුකකින් විඳිමින් සිටි බවත් , ස්වයං පරීක්ෂණය ඔස්සේ ප්‍රතිකාරයට යොමු වීමට අදහස කළ බවත්. එයම සතුටක්.


නිළියකගේ අඩනිරුවත් රැවක් හෝ වාසනාව සලසන  මවාගත් දේව රූප , මුහුණුපොත ඔස්සේ ලහි ලහියේ බෙදා ගත්තත් අපේ රටේ ඇත්තටම පවතින , සියදිවි නසා ගැනීමට පාර කියන මේ අවාසනාවන්ත තත්ත්වය ගැන ලිපිය , ස්වයං රීක්ෂණය පිළිබඳ පෝස්ට් බෙදා ගත්තේ බොහොම සුළු පිරිසක් වුනත් , ඒ ඔස්සේ සෑහෙන පිරිසක් පල ප්‍රෙයා්ජනයක් ගත්තා වෙන්න පුළුවන්. ඒ නිසා දැනුම බෙදාගත් ඒ හැමෝටම ස්තුතියි. 

පෙර කී විශාදය ස්වයං පරීක්ෂණය භාවිත කළ පිරිස ලබා දුන් දත්ත අනුව පහත දැක්වෙන ආකාරයේ දත්ත විමසුමක් සැකසෙනවා. ඒ ඔස්සේ පරිගණකය සමඟ ඉන්න පිරිසකගේ මානසික තත්ත්වය පිළිබඳ දළ අදහසක් ලබා ගන්න පුළුවන්. (ඒ සමහර අගයට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දත්ත සමඟ සෑහෙන දුරට ගැලපෙනවා) 
මේ අවස්ථාවේ එහි අගයන් බලාගන්න කැමති කෙනෙක්ට 
https://docs.google.com/spreadsheets/d/1gg0JtlonHBJ8zcDR3hRH2PU1GL4wDmtcUxkesusgG6g/edit#gid=2039960396
ඔස්සේ හෝ
මෙම ලිංක් එක මතින්  එය විමසන්නට පුළුවන්.

(මේ කිසිදු තැනක භාවිත කළ අයගේ නම් සඳහන් නැහැ , ඇත්තේ “ව්‍යාජ නාමයන්“ පමණයි)

මේ දත්ත අනුව හඳුනාගත හැකි සුවිශේෂ ලක්ෂණයක් තිබෙනවා. ඒ තමයි භාවිත කළ පිරිසෙන් 50%ක ප්‍රමාණයක් සාමාන්‍ය මානසික මට්ටමේ සිටියත් , අනෙක් 50% යම් මට්ටමක මානසික ගැටළුවකින් පෙළෙමින් සිටින වග. 30%කට ආසන්න ප්‍රමාණයක් වෘත්තීය මානසික චිකිත්සක ක්‍රමයක් ඔස්සේ යම් ආකාරයක ප්‍රතිකාරයකට යොමු වීමේ අවශ්‍යතාව තිබෙන පිරිසක්. (මෙයින් කීදෙනෙක් දැනට අදාල ප්‍රතිකාර ගන්නවා දැයි දැන ගන්නට මේ පරීක්ෂණය ඔස්සේ බැහැ) මොවුන් අප අතරේ “සාමාන්‍ය ලෙස“ හැසිරෙනවා. හිනාවෙනවා, අපිත් එක්ක වැඩ කරනවා , අපිත් එක්ක ට්‍රිප් යනවා , එකට කනවා බොනවා , නමුත්!....ඔබෙන් ඈත්වෙලා , තනිවුන ගමන් ආයෙත් “තනියම විඳවන්න“ පටන් ගන්නවා. මෙන්න මේ අය තමයි භයානකම , වෙන කාටවත් නොවේ ඔවුන්ගේම ජීවිත වලට.

මක් නිසාද , විශාදයේ රෝග ලක්ෂණ පිටතට පෙන්වන කෙනෙක්නම් ප්‍රතිකාරයට යොමු කරන්න ටිකක් හරි පහසුයි. නමුත් ඒ ලක්ෂණ හංගගෙන මතුපිටින් “සිනහ කවරයක් “ දාගෙන ඉන්න මේ කණ්ඩායම ‘‘විශාදයෙන් විඳවනව“ කියල වෙන කෙනෙක්ට  හඳුනගන්නත් අමාරුයි , සමහර විට වෛද්‍යවරයාට , මනෝ චිකිත්සකවරයාට පවා හඳුනාගන්න අමාරුයි. ඔවන් ඒ තරමටම දක්ෂයි , “තමන්ගේ කදුළු සඟවගෙන“ තනියම විඳෙව්වත් , එළියට පෙන්වන්න , “මම හරි සතුටින් ඉන්නෙ “ , “ මගේ රස්සාව නියමයි“ , “මම තමයි සතුටින්ම ඉන්න කෙනා “ වගේ. 

Dr.Margaret Rutherford
මේ “දුක සැඟවීමේ “ දක්ෂතාව තියෙන විශාදය රෝගයෙන් පෙළෙන කණ්ඩායමට , මනෝවිද්‍යාඥ ආචාර්ය මාගරට් රදර්ෆර්ඩ් ලස්සන නමක් ලබා දෙනවා. ඒ තමයි  “පරිපූර්ණ ලෙස සඟවා ගත් විශාදය“  ඉංගිරිසියෙන් කිවුවොත් Perfectly Hidden Depression කෙටියෙන් PHD. වසර විස්සකට වඩා මනෝ චිකිත්සාවේ නියැලෙන ඇය කළ පර්යේෂණ ඔස්සේ හඳුනාගත් තොරතුරු අනුව මෙම කාණ්ඩය වර්ග කළත් , ඔබට මට අපේ සාමාන්‍ය ජීවිතයේ මේ තත්ත්වයේ ඉන්න කීදෙනෙක් නම් හමුවෙලා ඇත්ද?
“ඒක මගේ කරුමේ“ , 
“ලබා උපන් හැටි“ 
“මං ඉපදිලා ඉන්නේම දුක් විඳින්නමනේ“  ඔය වගේ පැලැස්තර දමමින් විඳිවන කාන්තාවන් වගේම තැබෑරුමේ මත් පැන් වීදුරුවකින් තාවකාළිකව මේ “විඳවීම“ අමතක කර තවත් විඳවන තාත්තාලා ඔබට මට ඕන තරම් හමුවෙලා ඇති. මේ කියවන ඔබත් සමහර විට මේ වගෙ “දුක හංගගෙන“ හිනා වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නම් අපි දැන් බලමු මේ වගේ PHD තත්ත්වයෙන් පෙළෙන අය පෙන්වන පොදු ලක්ෂණ කිහිපයක්. Dr.Margaret Rutherford පර්යේෂණ ගණනාවක් ඔස්සේ හඳුනාගෙන ඉදිරිපත් කළ මේ ලක්ෂණ අපේ සමාජය තුල අපට ප්‍රාෙයා්ගියකව දකින්නට පුළුවන්. 

  • එයා හොඳම කෙනා , හැම දේම නූලට හරියට කරන කෙනා 
යම් අයෙක් යහපත් මානසික තත්ත්වයක ඉඳගෙන තමන්ගෙ කටයුතු සාමාන්‍ය පරිදි හොඳට  , පිළිවෙලට කරනවා නම් ඒක ගැන කළබල වෙන්න දෙයක් නැහැ. 


නමුත් , අයෙක් තමන්ගෙ හිතේ තිබෙන “දුක , විඳවීම“ නිසා , එය සමාජයට පෙනේවී කියන බයට , එය වහගන්න උපක්‍රමයක් විදියට , “හොඳම කෙනා‍“ වෙන්න උත්සාහ කරනවා නම් , ඒ “හොඳම කෙනා වීමෙන්“ ලැබෙන ප්‍රශංසා ඔස්සෙ “තමන් විඳවන දුක“ තාවකාළිකව වහගෙන , සමාජය ඉදිරියේ මවාගත් ප්‍රතිරූපයකින් පෙනී සිටින්නට උත්සාහ කරනවා නම් මෙයයි ගැටළුව.

දැන් ඔබ අහයි මොකක්ද ඒකේ තියෙන ප්‍රශනේ කියල ? මෙහෙමයි , මේ විදියට “මානසික වේදනාව , විශාදය“ පිටතට නොපෙනෙන්න හැංගුවත් මනසට හංගන්න බැහැ , එය “වේදනාවක් , පීඩාවක් “ විදියට මනසට වද දෙනවා , හුඟක් වෙලාවක් මේ අය සමාජයෙන් නිදහස් වෙලා “තනිවුනු වෙලාවට“ ඒ වේදනාව තදින් දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒ තත්ත්වයයි භයානක.

එබට මතක ඇති පහුගිය කාළෙ අපේ රටේ සියදිවි නසා ගත් සමහර ජනප්‍රිය පුද්ගලයෝ , නලු නිලියෝ ගැන. ඔවුන් පිටතින් “ලස්සන, දක්ෂ, සුන්දර “ මිනිසුන්  නමුත් ඇතුලතින් “ විශාදය රෝගයෙන් පෙළුන රෝගීන්. අවාසනාවනට කිසිවෙක් හෝ ඔවුන්වත් තමන් PHDකාරයෙක් කියල හඳුනගත්තේ නැහැ.

  • තමන්ගේ රාජකාරිය පිළිබඳ ඕනවටවත් වඩා ඉහළින් වගකිම් ගන්න කෙනා
මේ අය තමන් කරන රාජකාරිය , රැකියාව හෝ වෙනයම් කාර්යයක අතිශ්‍ය ඉහළ වගකීමක් ගන්නවා. බොහෝ විට ඊට අදාල වගකීමටත් එහා ගිය “ඉහළ වගකීමක්“ කැමැත්තෙන්ම දරනවා. මේ විදියට “කැමැත්තෙන් අනුන්ගෙ බරත්“ එක්ක අදින මේ අය , අදාල කටයුත්තේ “කාටවත් නොපෙනෙන තරමේ පොඩි ඇදයක් , වැරැද්දක් “ තිබුණත් ඒක දකිනවා, ඒක “නූලට හරිගස්සන තුරු“ එයාට හරියන්නෙ නැහැ ,පොඩි වැරැද්දක වුනත් , “ඒක මගේ වැරැද්ද ,මට මීට වඩා හොඳට හොයල බලන්න තිබුණා“ කියල තමන්ම වැරැද්ද බාරගන්නයි කැමැත්ත. මේ ලක්ෂණ නිසාට මෙ පුද්ගලයන් බොහා් වෙලාවට කණ්ඩායමක , රැකියාවක නායකත්වය ගන්නව , නැත්නම් ලැබෙනවා. ඒ වගේම ඊට ඉහළ ඉන්න පාලකයන් , මේ අයට බොහොම පහසුවෙන් තමන්ගේ “ඉත්තන්“ කරගෙන ඔවුන් ලබා වැඩි වැඩකොටසක් කරවා ගන්නට පෙළඹෙනවා. 

මෙතැනදිත් , මේ ලක්ෂණ දක්වන සාමාන්‍ය මානසික තත්ත්වයේ පුද්ගලයින් ඉන්න පුළුවන්. PHD තත්ත්වයේදි තමනුයි හිතන්න ඕන  තමන් මේ ඔක්කෝම “ලොකුකං, රඟපෑම්“ කරන්නෙ මේ සමාජය ඉදිරියේ තමන් “දුර්වලයෙක්“ කියන හැඟීම නැති කරගන්නද කියන එක . අන්න එහෙම අයෙක් මේ ලක්ෂණ පෙන්වනවා නම් ටිකක් හිතල බලන්න තමන්ගේ හෙට දවස ගැන.

  • “ හිතේ දුකා නැතී මිනිහා “ වගේ ඉන්නවා
PHD කෙනා හැම තිස්සේම සතුටින් , හිනාවක් මුහුණෙ පිරිලා. සමහර වෙලාවට , තමන්ට වුනු දුකක් , කණගාටුදායක දෙයක් වුනත් කියන්නේ සතුටින්.(වගේ).  ඇත්තම තත්ත්වේ හිත පිරිලා දුකින් , ඒත් “එහෙම දුකක් ගැන“ එළියට දාන්න බැහැ , එහෙම නැත්නම් බයයි , ඒ නිසා හැංගිච්ච දුක තවත් හංගගෙන , සමාජයට පේන විදියට සතුට , හිනාව එළියෙන් පුරව ගන්නවා. මුහුණු පොත පුරවනවා “හිනා පිරිච්ච“  තමන්ගේ පිංතූර වලින් (මේ නිසාම මෙම තත්ත්වයට “හිනාවෙන විශාදය“ කියලත් කියනවා)  , ඒත් ඇත්ත “ හිතේ ඇතුලේ ලොකු දුකක්“ බොහෝ වෙලාවට ප්‍රතිකාර ගත යුතු මට්ටමේ විශාදය තත්ත්වයනේ පෙළෙන්නෙක්. අවාසනාවනට “තමන් ගේ ඇත්ත තත්ත්වය තේරුම්  නොගැනීම“ එහෙම නැත්නම් තේරුම් ගත්තත් සමාජය එය දැන ගතත්තොත් ඇති වන “කැළල“ නිසා එය වසාගෙන දුක් විදි අය කොයි තරම්ද? (මානසික රෝග ගැන සමාජයේ වැරදි වැටහීමක් ඇති සිරි ලංකාව වගේ රටෙක මේ තත්ත්වය ඉහළයි මට හිතෙන විදියට, මොකද නිකං හරි මානසික සායනයට යනව දැක්කොත්  , මුළු ගමම ගිනි තියල ඇති “එයාට පිස්සුනේ“ කියල.)

  • තමාව ඕනවටත් වඩා “පාලනය“ කරගන්න හදන්නේ.
මෙම තත්ත්වයෙන් විඳවන කෙනා, හැම තිස්සේම “තමන්“ , “තමන් කරන දෙ“ ඕනවටත් වඩා පාලනය කරගන්න , උත්සාහ කරනවා. මේ නිසාම හැම තිස්සේම ඉන්නේ ටිකක් නොසන්සුන් බවකින් වගේ. මොකද වෙන අය මගේ “වැරැද්දක්“ දකීද දන්නේ නැහැ , මම දුර්වලයෙක් කියල හිතාද දන්නේ නැහැ කියන “හිතුවිල්ල“ ඔළුවෙ කැරකෙනව මොනව කළත්. මේ නිසාම මෙ අය පිරිසක් එක්ක “විනෝද වුනත්“ , ඇත්තටම හිතින් විනෝද වෙන්න වාසනාවක් නැහැ. මොකද තමන්ගේ “ඇත්ත තත්ත්වය“ පිටතට නොපෙනෙන්නට තියා ගන්නට දරන උත්සාහය නිසා.
හැබැයි සමහර වෙලාවට මේ අය අතිශ්‍ය සංවේදී වෙනවා, විශේෂයෙන්ම “දුක වේදනාව පිළිබඳ“ , ටිකක් දුක හිතෙන චිත්‍රපටයක් බලත්දි අනෙක් අය නැතත් මේ අය අඬන්නට පටන් ගන්න පුළුවන් . “එයා හරි සෙන්සිටිව් අනේ“ වගේ උත්තරයකින් තමාගේ “විඳවීම“ එහෙම නැත්නම් “තමාගේ හැංගුණූ විශාදය“ ආවරණය කරගන්න ඔවුන් සමත්.

  • වැඩ පෙන්නල , එක දාගන්න “වැඩකාරයා“ 
මුලින් කීව වගේ මේ අය තමන්ගේ  “හිතේ වේදනාව“ පිටතට නොපෙනෙන්න වහගන්න තමන් කරන වැඩේ ඉහලින්ම කරල ලැබෙන ප්‍රශංසාව යොදා ගන්නවා. බොස්ගේ හොඳම වැඩකාරයා , පන්තියේ හොඳම කෙනා , “හොඳ වැඩකාරයා“ , “මිනිහ ඕන දෙයක් දන්නවා“ වගේ බාහිරින් ලැබෙන ධන ලකුණු මතින් තමන්ගේ හිතේ විඳවීම වසා ගන්නටයි  උත්සාහ කරන්නේ.

සමහර වෙලාවට මේ කෙනා “හුඟක් හොඳ“ , “අතිශ්‍යය ධර්මානුකූල“ අයෙක් විදියට සමාජය දකින්නේ, යම් අවස්ථාවක ඒවායේ උපරිමයට ගිහින් එම සමාජය තුල පවතින ආගම් , දර්ශනයන් ගැන අසාමාන්‍ය ලෙස  ගැඹූරින් කතා කරන්න උත්සාහ කරනවා ,“ජීවිතයේ සතුට ලබා ගැනීම‘‘ , “යහපත් ජීවන මාර්ගය“ ගැන ගැඹූරින් කතා කරන්න , සමහර විට යම් අන්ධ විශ්වාස ඔස්සේ තමා “තමා සුවිශේෂි පුද්ගලයෙක්“ විදියට බාහිරට පෙන්වන්නට උත්සාහයෙන් හෝ නැතිව සිදුවෙනවා.

නැවත නැවතත් කියන්නේ මේ දක්ෂතා පෙන්වන ඔබ , නිරෝගී සාමාන්‍ය මානසික තත්ත්වයකින් නම් කිසිම කළබලයක් වෙන්න එපා , ඔබේ දක්ෂතා පෙන්වන්න. නමුත් මේ කියන විදියට “ඔබේ හිතේ තියෙන දුක පීඩාව වහගන්න“ රඟපෑමක් විදියට මේ “දක්ෂතා, කැපවිම් “ කරමින් ඔබ ඔබටම රවටා ගන්න හදනවා නම් දැන් හිතන්න කාළය.

  • ලෝකෙට පරකාසේ , ගෙදරට මරගාතේ
පරිපූර්ණව සඟවාගත් විශාදය තත්ත්වයෙන් පෙළෙන අය අනෙක් අය ගැන , අනෙක් අයගේ යහපත , සතුට ගැන හරිම සැළකිළිමත්. “අනේ එයාට මේ දවස් වල කරදරයි , ටිකක් උදව් වෙනවා “ , “ඒ මිස් අම්ම කෙනෙක් වගේ , මුළු ස්ටාෆ් එකේම අයට ආදරෙයි , ලෙඩක් දුකක් වුනත් හොයල බලනවා“ මේ වගෙ දෙබස් ඔබටත් , මටත් කොයිතරම් ඇහිල ඇත්ත. මේ අනෙක් අය ගැන “ඕනවටත් වඩා“ හොයල බලන , ඕනවටත් වඩා උදව් වෙන අය ගෙදර ඇවිත් “තනියම විඳවනවා“ නම් එය ඒ තරම්ම “හොඳ “ දෙයක් වන්නේ නැහැ. මොවුන් බොහෝ වෙලාවට “පිටත“ අයට තමන්ගේ ජීවිතේට “වැඩිය ලංවෙන්න“ දෙන්නෙ නැහැ , ඒ තමන්ගේ ඇත්ත තත්ත්වය ඔවුන් දැන ගනීවි කියන සැකය නිසා.

  • “මට වෙච්ච දේ මොකක්ද එයාලට වෙච්ච දේ එක්ක“
තමන්ට වුනු පාඩුව , වේදනාකාරී අත්දැකීම ගැන කතා කරන්නවත් PHD කෙනෙක් කැමැති නැති තරම් , එහෙම  නැත්නම් තමන්ගෙ පාඩුව , වේදනාව අනෙක් අයට සංසන්දනය කරල  “සුළුකොට“ හිතන්න කතා කරන්න තමයි කැමැත්ත. නමුත් ඇත්තටම හිත ඇතුලෙන් ඒ ගැන දුක් විඳනව, නැවත නැවතත්.

  • ඇබ්බැහියේ තාවකාළික සුව විඳන්නෝ
මෙම තත්ත්වයෙන් “විඳවන“ අය , ඒ විඳවිම නිසාම ඇතිවන කාන්සා තත්ත්වයෙන් මිදෙන්නට විවිධ ඇබ්බැහිවීම වලට ගොදුරු වෙනවා. මත්පැන් , සිගරට් , සමරහ ඖෂධ වලට , එහෙම නැත්නම් කෑමවර්ගයකට ,එහෙමත් නැත්නම් අසාමාන්‍ය නින්දකට ඇබ්බැහිවීම දකින්නට පුළුවන් බහුලවම.

  • “වාසනාවන්තයෝ“ වගේ ඉන්නෝ
PHD අය හිතන්න , පෙන්වන්නට උත්සාහ කරන්නේ තමන්ගේ හැම දෙයක්ම “වාසනාවන්ත“ විදියට සිදුවන බව , කිසිම දෙයක් දුක්බර අවාසනාවන්තව නොවූ ලෙසකින්. 
මේක සාමාන්‍ය ධනාත්මක චින්තනය එක්ක පටලවා ගන්න එපා , මොකද දෙයක් ගැන යහපත්ව , ධනාත්මකව සිතන එක හොඳයි , ඒත් තමන්ගේ ජීවිතයේ මුහුණදෙන සෘණාත්මක දේ ගැනත් වැටහීමක් ඇතිව. එසේ නොමැතිව , තමන්ගේ ජීවිතය තුල හිත තුල ඇති වේදනා, සෘණාත්මක දේ ආවරණය කරගන්න , මවාපෑමක් විදියට “වාසනාවන්තයෝ“ වෙන්න හදනව නම්  , පොඩි අවදානම් සංඥාවක් එය.

  • “බර ජීවිත කාරයා“ 
මේ අයගේ ජීවිත හරිම “බරයි“ , එළියට සැහැල්ලුවට පෙනුනාට. ඒ නිසාම තව කෙනෙක් එක්ක ඇති වන බැඳීම් හරිම “බර“ , “වගකීම් බර “ බැඳීම්. ඒවත් වගකීම් මතම පදනම් වුනු , ඇත්තටම තමන් කවුදැයි අනෙකාට හඳුනාගන්න බැරි බැඳීම්.

මේ කාරණා ටික කළබල නැතිව කියවාගෙන ගියා නම් , “මටත් තියෙනවනේ මේ වගේ ලක්ෂණ“ කියල හිතනේන පුළුවන්. පොඩ්ඩක් ඉන්න බය වෙන්න එපා, මේ එක ලක්ෂණයක් දෙක්ක දැක්ක පමණින් ඔබ  PHD කියල නම් කරන්න බැහැ. අනෙක් මෙ විස්තරය කෙරෙත්දි මමි කීවනේ මේ අය , තමන්ගේ දුක වහගන්නට මේ “සතුටු කවරය“ දාගන්නව කියල , සමහර විට එය අදාල පුද්ගලයා නොදැනම සිදුවන්නටත් පුළුවන්. ඒ කියන්නෙ , “හිතේ දුක තියෙනවා“ ඒත් “සතුටු කවරයකින්“ එයාව වැහෙනවා එයාටත් නොදැනම . මෙන්න මේ නිසාමයි PHD හඳුනාගැනීම ඉතාමත් සංකීර්ණ. ඒ සඳහා මනෝචිකිත්සකවරයෙක් , මනෝවිදාඥයෙක් සමඟ චිකිත්සීය සාකච්ඡාවකට යොමු වෙන්නම ඕන. එහෙම නැතිව එක ලක්ෂණයක් දෙකක් දැක්ක පමණින් “ලෙඩක්“ කියල නම් කරන්නට බැහැ.

දැන් වැදගත්ම දේ ‍, තමන්ටම දැනෙනවා නම් සතුටු කවරයකින් එළියට පේන්නට හිටියත් , ඔබෙ හිත ඇතුළෙ කළක් තිස්සේ වේදනාවක් , දුකක් විඳවන බව ,එයින් ඔබේ “ඇත්ත ජීවිතයට“ අවදානමක් ගෙන දෙන බව 
  1. කළබල වන්න එපා , මේ තත්ත්වය අද සමාජයේ බහුලව තිබෙන “මානසික හෙම්බිරිස්සාවක්“
  2. කළ යුතු දේ තත්ත්වය “මානසික නියුමෝනියාවක්“ වන තුරු නොසලකා නොහිට , මනෝචිකිත්සක ප්‍රතිකාරයකට , උපදේශනයකට යොමු වන්න.
  3. නිසි උපදේශනය , ප්‍රතිකාර ගත්තොත් “මේ විඳවිඳිල්ලෙන්“ මිදිලා , ඇත්ත විදියට ජීවිතේට මුහුණ දෙන්නට ඔබට පුළුවන් වේවි.
නමුත් , ඔබට හරියට තේරෙන්නෙ නැත්නම් කුමක් කළ යුතු ද කියල පහළ තියෙන  ප්‍රශ්නාවලියේ ප්‍රශ්න 25ට උත්තර දීල බලන්න . තමන් ඉන්නේ ප්‍රතිකාර ගත යුතු මට්ටමේ PHD තත්ත්වයකින්ද කියල.
මේ කිසිම  දේකට ඔබට මුදල් වැයවන්නේ නැහැ , අවශ්‍ය ඔබේ ඇත්ත තත්ත්වය පිළිබඳව සිතා බැළීමම විතරයි. (මීට පෙර ලිපියේ ලබා දුන්නු ප්‍රශ්න 21 ප්‍රශ්නාවලියට පවා මේ රෝග තත්ත්වය හඳුනාගැනීමට අපහසුයි, මක් නිසාද එයට පිළිතුරු දීමේදී පවා PHD කෙනෙක් ටිකක් අවංක නොවෙන්න පුළුවන් “මම ගැන කවුරු හරි දැන ගනීවිද“ කියල) 

ප්‍රශ්නාවලිය මෙන්න , ඔබෙ තොරතුරු කිසිවෙක් ඔබේ නමට අදාලව දැන ගන්නේ නැහැ. ඒ නිසාමයි අපි මේ පරික්ෂණ වලදි “ව්‍යාජ නාම“ භාවිත කරන්නේ. ඒ නිසා බය  වෙන්න එපා අවංකව උත්තර දෙන්න 

මෙන්න ලිංක් එක



ඔබේ තත්ත්වය පිළිබඳ වාර්තාව ඕන නම් , Score Card-PHD වෙතට යන්න ලිංක් එක මෙන්න. ( ඔබේ වාර්තාව මෙහි සටහන් වීමට උපරිම පැය 24ක කාළයක් ගත වීමට ඉඩ ඇත) 

මෙතැන ක්ලික් කරන්න 

https://docs.google.com/spreadsheets/d/180LBCQllIb9oMtOdi_A4Rt9r5CjL4ASso-1XLLigv2Q/edit?usp=sharing


මතක තබා ගත යුතුම දේ , ඩිප්‍රෙෂන් නැත්නම් මානසික අවපීඩනය/ විශාදය කියන තත්ත්වය අද හෙම්බරිස්සාව වගේ සමාජයේ පවතිනවා. පවතින ආර්ථික සමාජයීය සාධක වගේම ජානමය හේතුත් ඊට බලපාන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය සායනික විශාදය නැත්නම් ඩිප්‍රෙෂන් වගේ ලේසියෙන් “අල්ලගන්න“ පුළුවන් තත්ත්වයක් නොවෙයි  PHD . බොහෝ වෙලාව ඉතා සැලකිල්ලෙන් , කාළය වැය කරමින් විමර්ශණය නොකළොත් වෛද්‍යවරයාත් කියන්න පුළුවන් “ කිසි ප්‍රශ්නයක් නැහැ , ඔයාට ඩිප්‍රෙෂන් නැහැ“ කියල. ඒත් , සියදිවි නසා ගැනීම් වලින් අවසන් වන ජීවිත සෑහෙන ප්‍රමාණයකට මේ PHD වගකියනවා. 

“‘හිතාගන්න බැහැ අනේ , ඊයේ එාය අපිත් එක් සතුටින් හිටියේ , පාටිය ඉවර වෙලා ගෙදර ගිහින් තමයි මේ අපරාධෙ කරගෙන තියෙන්නෙ , හිතාගන්නවත් බැහැ මෙහෙම දෙයක් කරාවි කියල එයා හිටපු හැටියට“ මෙවැනි හෝ මීට සමාන දෙබස් සමහර විට ඔබටත් ඇහිල ඇති. හොඳට හිනාවෙලා , “සාමාන්‍ය“ විදියට හිටපු කෙනෙක් ඊළඟ දවසේ සියදිවි නසාගෙන , බොහෝ දුරට ඔහු හෝ ඇය PHD තත්ත්වයෙන් පෙළෙන්නට ඇති කාළයක් තිස්සේ අපට හොරෙන්.

අවසන , ඇන්තනි බෝර්ඩේන් කියන  නිර්මාණශීළී මිනිසාගේ අකල් වියෝවත් එක්ක ලියන්න පටන් ගත්තු මේ ලිපිපෙල මෙතැනින් අවසන් කරනවා. එතැනදි මගේ විශේෂ ස්තුතියි මනෝවිද්‍යාඥ , ආචාර්යය මාගරට් රදර්ෆර්ඩ් ඇය  නොවන්නට , මානසික අවපීඩනයේ වෙනස් දිශාවක් වන  Perfectly Hidden Depression ගැන කතා නොකරන්නට ඉඩ තිබුණා. (I want to thank Dr. Rutherford for sharing your knowledge with the world , without you,  we would not be aware of PHD) 

ඔබ මේ තත්ත්වය ගැන තව දුරටත් සොයා බලන්නට කැමැත්තේනම් පහත ලිංක් එක ඔස්සේ ඒ සඳහා යොමුවන්නට පුළුවන්. මෙතැන ක්ලික් කරල යන්නත් පුළුවනි.
https://drmargaretrutherford.com/

https://www.amazon.com/Marriage-Not-Chickens-Margaret-Rutherford/dp/0692843256/ref=sr_1_6?s=books&ie=UTF8&qid=1529258600&sr=1-6&keywords=Margaret+Rutherford

මේ කිසිවක් මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීම් නොවේ.


No comments:

Post a Comment

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)