2018/06/10

221) හිත රිදවන නොකී රහසක-2 (රහස දැන ගැනීම)



මේ ලිපි මාලාවක දෙවැනි ලිපිය. පළමු ලිපිය කියවන්නට වුනේ නැත්නම් 220 වන ලිපිය කියවලා එන්න. එතකොටයි මේ කතාවේ අගමුල තේරෙන්නෙ. 

පෙර ලිපියට යන්න මේ ලිංක් එක ක්ලික් කරලා.  http://www.nursinglk.com/2018/06/220-1.html


දැන් අද කතාව, ඔබට මෙන්න මේ වගේ දැනිල තියෙනවද ? 
  • හිතේ කියාගන්න බැරි දුකක් , 
  • නොතේරෙන වේදනාවක් , 
  • දවසම එපා වුනු කළකිරීමක් , 
  • ඇඟපතේ අමාරුවක් , කිසිම හේතුවක් නැතිව ,
  • යාළුවෙක් කියන පුංචි වචනයකින් හිත රිදෙන , කැගහල අඬන්න හිතෙන වෙලාවක්,
  • නිදාගන්න ගියත් ඔළුවේ ලොකු බරක් , දුකක් නින්ද අහලකට නොගෙන රැයක් , 
  • නැත්නම් ඔෆිස් යන්නෙත් නැතිව , කන්නෙත් නැතිව කිසි කෙනෙක් එක්ක කතා නොකර  දවසම ඇඳට වෙලා නිදාගන්න හිතෙන දවසක්...


බය වෙන්න එපා මේ කියාගෙන ගිය ලක්ෂණ අපි හැමෝටම යම් අවස්ථාවක ඇති වෙන්න පුළුවන්. රැකියාවේ ගැටළුවකදි , පවුලේ නැත්නම් හිතවන්තයෙක්ගේ වෙන්වීමකදි , වෙන ලෙඩකින් පෙළෙන වෙලාවක , මේ වගේ ලක්ෂණ ඔබටත් දැනෙන්න පුළුවන් . එයින් කියන්නේ නැහැ ඔබට විශාදය කියන මානසික රෝගය තිබෙනවා කියන එක ,ඒ වගේම එයින් කියැවෙන්නේ නැහැ ඔබට විශාදය මානසික රෝගය නැහැ කියන කතාවත්. මේකහරි ගැටළුකාරි තත්ත්වයක් , මේ සමහර ලක්ෂණ අපට නොදැනී අප ඇතුලේ කළක් තියෙන්න පුළුවන්. ඒකමයි අවදානම.

මොකක්ද එතකොට උත්තරේ?

මෙහෙමයි අප හැමෝටම ජීවිතේ යම් අවස්ථාවක Stress වලට මුහුණ දෙන්න වෙනවා , ඒකමනේ ජීවිතේ . අන්න ඒ වගේ අවස්ථා වල මේ ලක්ෂණ Stress Response Syndrome එකක් විදියට මතුවෙන්නට පුළුවන්. බොහෝ අවස්ථාවල මේ තත්ත්වය සතියකින් දෙකකින් නිමාවෙලා සාමාන්‍ය ජීවිතයට එන්නට පුළුවන්. එහෙම නොවී දිගින් දිගටම මේවගේ ලක්ෂණ පවතිනවා නම් සමහර විට එය මානසික උපදේශනයකට , චිකිත්සාවකට යොමු වෙන්නට අවස්ථාව වෙන්න පුළුවන්. ( මේ මනෝ උපදේශනය කියන දේ ලංකාවේ අපට ටිකක්ම නුහුරු වුනත්ත , මනෝ උපදේශනය කියන්නේ “පිස්සන්ට බෙහෙත් දීමකට“  වඩා , මානසික පීඩනයකට ලක්වූවෙක්ට සහනයක් ලබා දීමට කරන චිකිත්සීය ක්‍රමයක්. ඒ නිසා පෙර කී ලක්ෂණ කළක් තියෙනවා නම් පිළිගත් , ලියාපදිංචි උපදේශන සේවයක , චිකිත්සීය ප්‍රතිකාරයකට යොමු වීමෙන් නැවතත් ඔබට ඔබේ සාමාන්‍ය ජීවිතය ලබා ගන්න පුළුවන් වේවි.  
මේ රටවලදි නම් රියඅනතුරකට ලක්වුනත් අදාල නිලධාරින් අහන ප්‍රශ්නයක් තමයි ‘‘මේ පීඩනයෙන් සහනයකට එන්න  ඔබට උප‍දේශන සහයක් අවශ්‍යෙ වේද ?“ කියන ප්‍රශ්නය.)

දැන් ඔබට වැටහෙනවද විශාදයේ සමහර ලක්ෂණ අප හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. මේ නිසාම ඇත්තටම රෝගය තිබෙන කෙනෙක් වුනත් හිතන්නේ නැහැ තමා ඉන්නේ ප්‍රතිකාරයකට යොමු විය යුතු මට්ටමේ කියල ,

 “මට කිසි ප්‍රශ්නයක් නැහැ අනේ , දන්නැත්ද මේ දවස් වල ටිකක් වැඩි වැඩියිනේ එක්යි“ මේ වගේ උත්තරයකින් සමාජයෙන් ගැලවිලා , මගහැරලා යන්න අප හැමෝම සමත් . මේ “සීමාව“ හඳුනාගැනීමේ ගැටළුව නිසාම බොහෝ අවස්ථාවල ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ “රෝගයේ උත්සන්න“ අවස්ථාවලදි. එවිට සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමටත් වැඩි කළක් ගත වෙන්න , නැත්නම් ලැබෙන ප්‍රතිපල වල සාර්ථකත්වය අඩුවෙන්න හේතුවෙන්න  පුළුවන්. 

මේ නිසාම හොඳම දේ තමන්ට , පහත කියැවෙන ලක්ෂණ කිහිපයක් කළක් තිස්සේ තියෙනව නම් ඔබේ ජීවිතය ගැන තව පොඩ්ඩක් අවදානයෙන් බලන එක. තමන්ටත් ප්‍රතිකාරයකට යොමු විට යුතු මට්ටමේ විශාදය තත්ත්වයක් පවතීද කියන එක.  මෙන්න ඒවගේ පොදු ලක්ෂණ කිහිපයක් ,

  • කිසිම දෙයක් ගැන ආසාවක් , සතුටක් නැති කළකිරිණූ හැඟීමකින් දවසම හිත පිරිලා,
  • වෙනදට වඩා නින්දට යාමට ඇති අපහසුකම , නින්ද නොයෑම , නැත්නම් වෙනදට වඩා දිගු වෙලාවක් නින්දයාම 
  • තමන් කිසිම වටිනකමක් නැති , වැරදිකාරී අයෙක් වැනි හැඟීමක් හිතේ රැඳීම
  • ඉක්මණින් , පොඩි දේකිනුත් හිත රිදෙන , තරහ යන ඉවසිල්ලක නැති නුරුස්සන හැඟීමක් 
  • කෑම බීම ඇඳුම පැළදුම  ගැන සැළකිල්ල අඩු වීම ,
  • තමන්ගේ ජීවිතෙන් පළක් නැතැ ඒ නිසා ඉන් නිදහස් වෙන්නට “මැරෙන්නට“ හිතෙන හැඟිම ,
  • හේතුවක් නොමැතිව පවතින අතේ පයේ රැදාව , ඔළුවේ කැක්කම,  බර ගතිය 
  • මිතුරන්ගේ කතාබහට තරහායාම , ඔවුන්ගෙන් ඈත්වන්නට හිතීම ,
  • දවසේ වැඩ සැලසුම් කරගන්නට පවා අපහසු නොතේරෙන පටලැවිල්ලකින් හිත පිරීතිබීම 

මේ කියාගෙන ගියේ විශාදයේ පොදු ලක්ෂණ කිහිපයක් , නමුත් විශාදය කියන්න විශාල වපසරියක පැතිරුණූ මානසික ව්‍යාධියක් , ලක්ෂණ සහ ඒවායේ තීව්‍රබව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නට පුළුවන්. ඒත් එකක් නොවෙනස් , ඒ තමයි මේ කී ලක්ෂණ වලින් කිහිපයක් අදාල පුද්ගලයාට දැනෙනවා. සමහර විට නොසැලකිල්ල නිසා ඒ “දැනීම“ ගණන් නොගෙන ඉන්නවා වෙන්නට පුළුවන්. එයයි අවදානම.  

කෙසේ වෙතත් , විශාදය තත්ත්වයෙන් විය හැකි ආපදාවන්ගෙන් ගැලවීමට ඔබේ සෞඛ්‍ය කණ්ඩායමට වගේම ඔබටත් ලොකු වගකීමක් තිබෙනවා.  එතැනදි තමන්ගේ “තත්ත්වය“ පිළිබඳ ස්වයං අගැයීමකට යොමු වෙන්න පුළුවන් නම් අවාසනාවන්න විය හැකි අනාගතයක් , වාසනාවන්ත කරගන්න මුල්ම පියවර එය වෙන්න පුළුවන්.

විශාදය රෝග තත්ත්වයක් ලෙස විනිශ්චය කිරීමේ වගකීම සහ හැකියාව ඇත්තේ , වෘත්තීය දැනුමක් පුහුණුවක් සහ රට තුල ලියාපදිංචියක් ඇති විෂායනුබද්ධ සෞඛ්‍ය වෘත්තිකයෙක්ට පමණයි. එය ඔබේ පවුලේ වෛද්‍යවරයා , මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයා ,සායනික මනෝ විශේෂඥයාට අයත් කාර්යයක් , එයට ඔබේ සහය ලබා දීම ඔබේ ජීවිතයට වැදගත්. නමුත් මීළඟට කියන්න හදන උපක්‍රම ඔස්සේ , ඔබට යම් සැකයක් පවතී නම් , (තමන්ට යම් මානසික පීඩනයක් , ගැටළුවක් හෝ විශාදය වැනි තත්ත්වයක් ඇත්දැයි) එ් පිළිබඳව ස්වයං අගැයුමකට එන්නට ඔබටම පුළුවන් වේවි. ඒ ඔස්සේ ඔබේ ඊළඟ පියවර තීරණය කරන්නට හැකියාවක් ඔබ සතු බව මගේ විශ්වාසයයි. (මෙය විශාදය පිළිබඳ අගැයුම් කිරීමට යොද ගන්නා ලොව පිළිගත් ස්වයං පරික්ෂණයක් පමණි ,මෙමගින් රෝග විනිශ්චයක් ලබා දීමට හැකියාවක් නොමැති බව ඔබ වටහා ගනීවියැයි සිතමි) 


පහත පෝරමයට යන්න, ලබා දී ඇති උපදෙස් අනුම පිළිතුර ලබා දෙන්න. ඔබේ ස්වයං අගැයුමට අදාල පිළිතුර මෙම මීළඟ ලිපියෙන් (222) ලබා ගන්න.


2 comments:

  1. පසුගිය ලිපියත් මේකත් කියෙවුවා. හොඳ මාතෘකාවක්. ෆෝම් එක පුරෝල බලන්න ඕන මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර, හැමදාමත් ඔබ ලබා දෙන සහයෝගය අගය කරනවා.

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)