2018/06/04

219) වම්බොට්ට කපන්නට පෙර!

මාස කිහිපයකට පස්සෙ “සෞඛ්‍යයට“ සම්බන්ධ ලිපියක් ලියන්නයි උත්සාහය. ඒ අතරේ මුලින්ම අළුත් කෙනෙක් හඳුන්වලා දීලම මගේ සටහනට ඇතුළු වන්නට හිතුවා. ඒ “අහස් ගව්වෙන් එහා ලෝකය“  සිංහල බ්ලොග් අඩවිය ගැන. මේ ලියන අනුරුද්ධ කියන විදියටම කීවොත් “දේශපාලන සහ ආගමික මතවාදයන්ගෙන් තොර මගේ නිර්මාණ චාරිකාවේ ඉසව් ජනගත කිරීමයි මගේ අරමුණ . සතිපතා කවියක් /ගීතයක් , කෙටිකතාවක් , චාරිකාවක් , රේඩියෝ කෙටිකතාවක් සහ රුපවාහිනී වැඩසටහනක් බ්ලොග් ගත කරන්නයි හිතාගෙන ඉන්නේ“. ශ්‍රී ලංකාවේ වගේම කැනඩාවෙත් මාධ්‍ය නිර්මාණතුල නමක් දිනාගත්ත නිර්මාණශීලී “අනුරුද්ධ“ගේ අළුත් නිර්මාණය වෙනුවෙන් සුබ පතන ගමන් ,  “අහස් ගව්වෙන් එහා ලෝකය“  පැත්තටත් ගිහින් කතා බහට එක්වන්නට ආරාධනා කරනවා ඔබටත්.


එහෙම නම් .....අද කතාව...,

කතාව පටන් ගන්නේ ෆේ්ස්බුක් මැසෙන්ජරය හරහා එන ඇමතුමකින් ,

“ට්‍රීං ට්‍රීං ට්‍රීං “
“ආ.. ලොක්කා කොහොමද අද ගෙදර වගේ?“ ඇමතුමේ එහා කෙළවර ඉන්නේ  මගේ ප්‍රාථමික පාසලේ පටන් පවතින මිතුරුතුමෙක් , මැද පෙරදිග රටක් “තමන්ගේ රට වගේ“ කරගෙන ඉන්න මගේ මිත්‍රයා ඉඩක් ලැබුණූ හැම දවසකම පොඩි චැට් එකක් දාන්න එකතු වෙනවාමයි.
“හ්ම් .. අද ගෙදර , සෙනසුරාදනේ , මොකද කරන්නෙ? පාටියක්ද ? නැත්නම් සිකුරාදා පාටිය ගවම වැඩද ?“
“නෑ බං , මොන පාටිද මේදවස් වල , මම මේ කන්න මොනව හරි උයාගන්න හදනවා , වම්බොට්ටක් කපනවා බං , දැන් මේ උලව්ව සබන් දදා හෝදන්න එපායැ“ 
“මොකක් , බම්බොට්ටට සබන් දදා හෝදනවා?“
“ඔව් මචං ලංකාවේ කවුරු හරි බුවෙක් අපේ උන්දැට කියල , වම්බටු , මාළු මිරිස් වගෙ එළවළු ඩිෂ් සොප් ටිකක් දාල හෝදන්න ඕනලු ඒවයේ පොත්තෙ තියෙන විස යන්න , හැමදාම කෝල කළ ගමන් අහන්නේ , වම්බෝට්ට සබන් දාල හේදුවද කියල , ඒ නිසා දැන් මට හැම එකටම සබන් දාල හෝදල කන්නේ , නිකං ලෙඩ දාගන්න බෑනේ බං“
.
.
.

කතාව මෙතැනින් ඉවර වුනේ නෑ , හැමදාම වගේ පැයක් විතර පරණ කතා , ආදර කතා , ඉස්කෝල කතා... කරගෙන ගියා. හැබැයි අර එළවලු වලට සබන් දාල හෝදන කතාව ගැන ටිකක් කියල දෙන්න වුනා වැඩිපුර. 
ඒ ගැනයි අද සටහනේ සාරය.

අපේ අතට එන එළවලු , පළතුරු ධාන්‍ය හැම දෙයක්ම වවන්න පෙර ඉඳළම විවිධ රසායනික ද්‍රව්‍ය එක්ක ගැටනෙවා. වවන්නට පෙර බීජ සංරක්ෂණයට යොදන රසායනික , වගාවට පෙර වගාබිමට යොදන කෘෂී රාසයනික ද්‍රව්‍ය , රසායනික පොහොර සහ වර්ධක හෝමෝනයන් , වගාවට පස්සේ අස්වනු නෙලන්නට පෙර යොදන “කල්තබා ගැනීමට“ යොදන රසායනික ...ඔය වගේ නනාප්‍රකාර රසායනික වැස්සකට අහුවෙලා තමයි අපේ අගට එන පළතුරු  ගෙඩිය , එළවලු ටික ඉන්නේ. ඉතින් ඒ රසායනික ඒ ආකාරයෙන්ම දේහගත වීමතුල විවිධ ගැටළු මතු වෙන්නට පුළුවන් . එය සුළු අසාත්මිකතාවයක සිට , කාළීන පිළිකාතත්වයක් දක්වා පරාසයක තිබෙනවා. 
මේ පළාත්වල  වගාවට “බෙහෙත් ගහන හැටි‘‘


එහෙම නම් කොහොමද අපි මේ එළවළු , පළතුරු කෑමට පෙර පිරිසිදු කරගන්නේ ? 
සරළම උත්තරේ හෝදල ගන්න , ඔව් අපේ අම්මල , සීයලගේ කාළේ ඉඳළම කළ සරළ පිළිවෙත එලවලු , පළතුරු විතරක් නෙවි මස් මාළු වුනත් හෝදල තමයි උයන්න , නැත්නම් කන්න ගන්නේ. එය නිවැරදියි . නමුත් , දැන් විවිධ හේතු නිසා “මේ හේදිල්ල“ ගැන සැක ඇති වෙලා තිබෙනවා. ඒ නිසාම , “pre-washed" එළවලු පළතුරු ගැන සමහර හිතන අතරේ , තවත් සමහරු එළවලු උයන්නට පෙර , නැත්නම් පළතුරු කන්නට පෙර , එළවලු සේදුම් දියර , සබන් දියර , නැත්නම් භාජන සේදීමයට යොදා ගන්නා ඩිෂ් වෝෂ් දියර භාවිත කර ඒවා සෝදා “පිරිසිදු“ කරන ප්‍රවනතාවයක් ඇතිවෙලා තිබෙනවා. නමුත් මෙය නිවැරදිද ? 


ආහාර සුපරික්ෂාව පිළීබඳව විශේෂඥ මතය නම් මෙය අවශ්‍ය දෙයක් නොවෙයි , එළවලු , පළතුරු වලට සබන් හෝ වෙනත් දිරය යොදමින් සේදීම අවශ්‍ය නොවනවා වගේම , එක්තරා අවස්ථාවකදි එය “තමන් විසින්ම“ තමනගේ කෑමට විෂ එක් කරගැනීමක් බවටත් පත්වන්නට පුළුවන්. ඒ , ඔබ භාවිත කරන සමහර භාජන සේදුම්කාරක වල , දැනට හඳුනාගත් පිළිකාකාරක රසායනික තිබෙනවා . එය ඩිෂ් වෝෂින් දියරය නිසි ලෙස භාවිත කර භාජන පිරිසිදු කර හොදින් සොදා ගත්තාම ලොකුම අවදානමක් නැතත් ( නමුත් අවදානම සම්පුර්ණයෙන් නැති වන්නේ නැහැ) එම රසායනික සහිත දියරය එළවළු හෝ පළතුරු මතට වත්කිරීමේදි යම් ප්‍රමාණයක් එළවලුව හෝ පළතුර තුලට උරාගන්නට ඉඩක් තිබෙනවා , විශේෂයෙන් පිට පොත්ත තුවාල වුනු අවස්ථාවක එම ඉඩ වැඩියි. මෙතැනදි ඇතුළු වන රසායනික වතුරෙන් සේදුවාට ඉවත් වන්නේ නැහැ. ඒ කියන්නෙ එවන් සේදුම්කාරක යොදාගනිමින් එළවලු-පළතුරු සේදීමේදී ඇත්තටම වෙන්නේ අපි අළුතින් විෂ ද්‍රව්‍යයක් එයට අැතුළු කිරීම . ඊට අමතරව ඔවුන් පර්යේෂණය තුලදි හඳුනාගන්නවා එවන් සේදුම්කාරක භාවිත කළ කියල , පිරිසිදුවීමේ ක්‍රියාවේ වෙනසක් නොවන වග. ඒ නිසා එළවලු-පළතුරු භාවිතව පෙර පිරිසිදු කරගන්නා ආකාරය මෙන්න මේ පියවර ඔස්සේ කියන්න පුළුවන්,

හෝදන හැටි! 

  1. මුලින්ම ඔබේ දෙඅත් , අඩුම තරමේ තත්පර 20ක්වත් සෝදාගන්න , සබන් යොදා නිසි ලෙස සොදාගන්න ( දැන් මේ කීවේ වතුරට අල්ලල කුණු පොඟවගන්න කියල නෙවි)
  2. සේදු එළවලු-පළතුරු තැන්පත් කිරීමට පිරිසිදු වියලි භාජනයක් සූදානම් කරගන්න.
  3. සේදිය යුතු එළවලු-පළතුරු ගලායන සාමාන්‍ය ජලය තුල ( ජල කරාමයේ ගලා යන දිය පහරට) සෝදන්න  , ඒ අතරේ මෘදුව අතුල්ලමින් සෝදා හරින්න. අවශ්‍ය නම් මෘදු බුරුසුවක්  භාවිත කළාට ගැටළුවක් නැහැ
  4. ( සුදුසුම ක්‍රමය ගලා යන ජලය වුනත් අපි පුරුදු වෙලා තියෙන්නේ බේසමකට හරි හට්ටියකට හරි දාල සෝදන්න නම් මෙලෙස අතුල්ලමින් සෝදල , ඒ වතුර ඉවත් කරල නැවත වාර කිහිපයක් හොඳින් සෝදගෙන අර අනෙක් පිරිසිදු භාජනය තුලට “පිරිසිදු කළ“ එළවලුව හරි පළතුර හරි දාන්න.)
  5. මතක තියාගන්න , පොතු ඉවත් කරන්නට වන එළවලුවක්-පළතුරක් නම් අනිවාර්යයෙන්ම පොතු හරින්නට පෙර , සෝදාගන්න. 
  6. රළු මතුපිට සහිත බතල, අල ,  වගේ එළවලු මෘදු බුරුසුවකින් අතුල්ලමින් ගලායන ජලයෙන් සෝදා හරින්න. 
  7. ගෝවා , සළාද කොළ වගේ එළවලු වලදි ඒවායේ බාහිරම “කොළය“ ඉවත් කරල , මිනිත්තුවක් දෙකක් සාමාන්‍ය ජලයේ ගිල්වල තියන ඊට පස්සෙ පෙර පරිදි ගලා යන වතුරෙන්  සෝදාගත්තාම හරි. මේවා අතුල්ලන්න අමාරු නිසා ගලා යන ජලය තුල සොළවමින් හෝදාගැනීම වඩාත් පිරිසිදු බවක් හිතනවා නම් ගැළපේවි. 
  8. පළා කොළ සෝදා ගැනීමේදීත් මේ ක්‍රමයම අනුගමනය කරන්නට පුළුවන්. එතැනදිත් “කපල හෝදන එක නොවෙයි , හෝදල කපන එකයි නිවැරදි“
ඒත් මතක තියාගන්න , මේ මොන ක්‍රමයට හේදුවත් , එළවලුව පළතුර ඇතුලට උරා ගත් රසායන ඉවත් කරන්න බැහැ, හැබැයි එලෙස ඇතුළු වන ප්‍රමාණය අඩුයි කියලයි පර්යේෂකයෝ කියන්නේ , අනෙක හැකියාවක් ඇත්නම් පලදාව නෙලු ඉක්මණින්ම , නැත්නම් වෙළද පලෙන් ගෙනා ගමන්ම මේ කියන විදියට සෝදල , අවශ්‍ය ආකාරයට ගබඩා කරල තියා ගන්න එකයි ආරක්ෂිතම. අපට අපේ රටේ එළවලු වලට එහෙම කළත් රටෙන් එන දේවල් වලට නම් ඒ ක්‍රියාව ඒතරම්ම සාර්ථක නොවෙන්න පුළුවන්. නමුත් , හැකි ඉක්මණින් පිරිසිදු කරලා තියා ගන්න එකයි වැදගත්.

හරි දැන් එතකොට ඇපල් ? ..

ඒකත් එහෙමයි , ඇපලුත් ගලා යන සාමාන්‍ය ජලයේ ( උණුසුම් ජලයේ නෙවි) අතුල්ලමින් සොදා ගත්තාම , ඕනම නම් මෘදු බුරුසුවකින් අතුල්ලල , සොදා ගත්තාම හොඳටම ඇති එහි බාහිර තිබිය හැකි විෂ රාසායනික යන්නට. නමුත් ඒ එළියේ තියෙන වැක්ස් ගැන කළබල වෙන්න දෙයක් නැති තරම්. එය හූරන්න අවශ්‍ය නැහැ. පොතු ගහන්න නම් එපා කොහෙත්ම , මොකද වටිනම පෝෂ්‍ය සංඝටක පොත්තේ තියෙන්නේ (රසායනික යම් ප්‍රමාණයණයක් පොත්තට උරා ගෙන තිබෙන්න පුළුවන් වුනත් , පොත්තෙන් ලැබෙන පෝෂණ ප්‍රමාණයත් එක්ක සංසන්දනය කළාම , මේ විදියට පිරිසිදු කරලා පොත්ත එක්ක කෑමට ගැනීම සුදුසුයි කියන එකයි පිළිගත් මතය. මොකද මේ විෂ රසායන වලින් 100%ක් ගැලවෙන්න අපට බැහැ, ඇඳුම් වල , කෑම පිසින භාජන වල , වතුරේ මේ හැම තැනම යම් ප්‍රමාණයකට විෂ රසායනික තිබෙනවා , ඉන් වන හානිය සහ අදාල ක්‍රියාවෙන් ලැබෙන වාසිය සැසඳුවාම , වාසිය වැඩිනම් , පොඩි අවාසිය අමතක කරන්න වෙනවා. ඒකයි ප්‍රාෙයා්ගික ඇත්ත.)  ඒ තිබෙන සුදුපාට “ඉටි ගතිය“ පළතුරේ ආරක්ෂාවට තිබෙන්නෙ, අනෙක ඒ “ඉටි “ අපේ ආහාර මාර්ගය තුල ජීරණය වෙන්නෙ අවශෝෂණය වෙන්නේ නැහැ. ඒනිසා ඒව “කැමට ගත හැකි ඉටි“ විශේෂයන් විදියටයි සළකන්නේ. ඒ නිසා ඇපල් ගෙඩියක් පෙර කී විදියට සෝදා ගෙන කෑමට ගන්න පුළුවන්.
මේ ඇපල් ගෙඩියේ “පේන ඉටි“ වලට කළබල වුනාට , ඒ ඉටිම ඔය බොහොමයක් චොකලට් වල , ටොෆී වල “ නොපෙනෙන්න තියෙනවා“ , හැඩය පවත්වා ගන්න වගේම අනෙක් රසකාරක රඳවගන්නත් මේ “කැමට ගත හැකි ඉටි“ භාවිත කරනවා. ඒ නිසා ඇපල් ගෙඩියේ ඉටි ගෙඩිය“ ගැන හරියට දැනුවත් වෙන්න.(කෙනෙක්ට මළබද්ධය තදින්ම ඇතිවෙලා රෝහල් ගත කළාම මළ බුරුල් වීම සඳහා මේ වගේම “ඉටි“ විශේෂයක් බොන්න දෙනවා, Liquid paraffin oral emulsion BP කියන්නේ ඒ “බෙහෙත“ . )



අර නොම්මර ස්ටිකරේ කතාව 

එතකොට අර පළතුරු වල ගහල තියෙන ස්ටිකර් එකේ නොම්මරෙන් හොඳ නරක පළතුරු කියන්න පුළුවන්ද?

මුලින්ම කියන්න ඕන ඔය PLU අංක ක්‍රමය හඳුන්වා දෙන්නේ සුපර්මාර්කට් වලදි ඒ පළතුරු විකිණීමේ සහ ගබඩා පාළනය කිරීමේ කටයුත්ත පහසු කරගන්නට . එහෙම නැතිව “කන්න හොඳ නරක කියන්න නෙවි“.  අනෙක මෙ සංකේත ක්‍රමය කිසිම රටක නීතියක් නෙවි , එය සමහර සමාගම් ස්වෙච්චාවෙන් අනුගමනය කරන පිළිවෙතක් පමණයි. ඒ අංක තුල භාවිත කළ රසායනික ප්‍රමාණය , විෂ ප්‍රමාණය වැනි කිසිම සාධකයන් නැහැ. හුදෙක් එක් පළතුරකට යොදන අහඹු අංක කේතයක් පමණයි. 

අදාල කේතය 3000-4000 අතරේ නම් එයින් කියැවෙන්නෙ අදාල පළතුර හෝ එළවලුව අද දවසේ පිළිගන්නා සාමාන්‍ය ක්‍රම වේදය අනුව වගාකළ බව . එ් කියන්නේ කෘතිම රසායනික පොහොර , කෘතිම කෘෂී රසායනික , කෘතිම කෘමිනාශක ආදිය   භාවිත කරමින් වගා කර ඇති බව. ලොව පුරා බොහොමයක් කෘෂී නිශ්පාදන මේ තත්ත්වයෙන් තමයි එන්නෙ. ඒ අංකය ඉදිරියට 9 ඉලක්කම ඇවිත් අංක පහක කේතයක් පෙන්වනව නම් එහි තේරුම Organic ක්‍රමයට අදාල කෘෂි නිශ්පාදනය වගා කළ බව . ඒකියන්නේ බොහෝ දුරට ස්වභාවික පොහොර , ස්වභාවිකමය කෘමිනාශක ආදිය පමණක් භාවිත කරමින් අදාල නිශ්පාදනය කළ බව. 

අටේ කතාව 

දැන් හුඟක් අය කළබල වුනු අංක 8න් පටන් ගන්න කේතය. මෙම අංක පහක කේතය කළකට පෙර ජාන වෙනස් කළ (Genetically Modified) කෘෂී නිශ්පාදන  (GMO)  සඳහා වෙන් කර තිබුණත් දැන් එය තනි “වර්ගයක්‘‘ හදුන්වා දෙන්නට භාවිත කරන්නේ නැහැ. හේතුව වන්නේ අද අපේ ආහාරයට එන පාන් ගෙඩියේ , පාන් පිටි ඉදළ ඇට නැති දොඩම් ගෙඩිය දක්වාම බොහොමයක් නිශ්පාදන GMO  තාක්ෂණය උදව්වෙන් ආවත් ඒවා අදාල කේත යටතේ නම් කරන්නට ප්‍රාෙයා්ගික ක්‍රමයක් නැති බව , විශේෂයෙන්ම නිශ්පාදකයන් ඒ සඳහා යොමු නොවන න බව. ඒ නිසා 8xxxx දැක්ක පමණින්ම එය මාරාන්තික විෂ පළතුරක් කියල කළබල වෙන්න එපා. එයින් 100% ක්ම කියවෙන්නේ ජාන වෙනස් කළ ආහාරයක් කියන එකම නොවෙන්න පුළුවන්. (කෙසේ වෙතත් තව ටික කළකදි මේ කේත ක්‍රමය නැවත වෙනස් වන බවයි අදාල සංවිධානය පවසන්නේ.)  

එහෙම නම් මේ එක දිගට කියාගෙන ගියේ අර මගේ පාසල් මිත්‍රයගේ කතාවේ සාරාංශයක් , ඔහුට මේ ප්‍රශ්න ඇතිවෙලා තිබුනේ ලංකාවේ යම් මාධ්‍යයක ප්‍රචාරය වුනු වීඩියෝවක් බවයි කියැවුනේ. යහපත් අරමුණකින් ලබා දෙන සෞඛ්‍ය අවවාදයක් වුනත් , ප්‍රජාවට තේරුම් ගත හැකි ආකාරයට සහ නිවැරදි ආකාරයට ලබා නොදුන්නොත් එයම මහා කළබලයකට මුල වෙන්න පුළුවන්. මතක නේ අර ෆෝන් කුරුමිණියා (http://www.nursinglk.com/2012/05/104.html) ගැන කතාව කළකට පෙර රූපවාහිනියක පළ වුනු. 

කෙසේ වෙතත් දිග කතාව නිමා කරන්නට සූදානම , දැන් මගේ මිත්‍රය දන්නව “වම්බොට්ටට“ සබන් නොදා හොඳට අතුල්ලල හෝදල ගත්තම ඇති වග. සොඳුරු සුව අසපුවේ ලිපි ඔබට සැමට විවෘතයි , සාරවත් සංවාදයකට , අදහසකට , ඒ වෙනුවෙන් ඔබට ආරාධනා කරමින් සමුගන්නම් සුව සතුට පිරි දිනයක්! 



6 comments:

  1. එතකොට සෝඩියම් බයිකාබනේට් දාල හෝදන්න කියන කතාවෙත් තේරුමක් නැද්ද? මම ඉන්න රටේ විශේෂයෙන්ම ගර්භනී කාන්තාවන්ට හා ළදරුවන් ට ආහාර පිලියෙල කරනකොට එළවළු පළතුරු බයිකාබනේට් දියකරපු වතුර එකක ගිල්ලලා තියල අරන් හෝදල පාවිව්කරන්න කියලයි උපදෙස් දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබ පෙන්වන ක්‍රමය , එනම් සෝඩියම් බයිකාබනේට් වල ගිල්වා තබා සෝදා ගැනීම පිළිබඳව දිගු කාළයක් තිස්සේ කතා බහ වුනා , පර්යේෂ කෙරුණා , විශේෂයෙන්ම ඇපල් සඳහා එය සාර්ථක බවත් යම් පර්යේණෂණ වලදි හදුනාගත්තා, ඒ වගේම සාමාන්‍ය ලුනු සෝඩියම් ක්ලෝරයිඩ් තුල ගිල්වා තබා සේදීම වගේම විනාකිරි මිශ්‍රණයකින් සේදීමත් සාර්ථක බව කියැවෙනවා , ඒ වගේම එම ක්‍රම අනුගමනය කරනවා.
      නමුත් , එම අතිරේකව එක් කරන රසායනික සමඟ ආහාර වල මතු පිට ඇති රසායනික මිශ්‍රවීම , අදාල රසායනික ද්‍රාවණ තුල ගිල්වා තැබීමේදී එම පළතුර හෝ එළවලුව නැවත නැවත අදාල රසායනික මිශ්‍රණය සමඟ එක්වීමේ හැකියාව වගේම , වෙළඳ පලේ ඇති බයිකාබනේට හෝ විනාකිරි වැනි සංයෝග වල පිරිසිදුබව ( එනම් වෙනත් රසායනික සංයෝග අන්තර්ගත බව) පිළිබඳ ගැටළු නිසා ලෝකයේ ආහාර සංරක්ෂණය පිළිබඳව ප්‍රධානතම ආයතනයක් වන US Food & Drug Administration (FDA) අනුමත කරන්නේ වෙනත් කිසිදු රසායනිකයත් භාවිත නොකර වෙළඳපලෙන් ගෙන ආ විගස පළතුර එළවලු ගලායන ජලයෙන් සෝදා ගන්න කියන එක.,Wash all produce thoroughly under running water before preparing and/or eating, including produce grown at home or bought from a grocery store or farmers’ market. Washing fruits and vegetables with soap, detergent, or commercial produce wash is not recommended.“

      ස්තුතියි ඔබේ සරු අදහසට

      Delete
  2. https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_40.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට මිතුර , මේ කතාබහ “අපේ මිනිසුන්“ අතරට ගෙන යන්නට උපකාර වූවාට.

      Delete
  3. කමෙන්ට් නොකලට හැමදාම වගේ ඔබේ ලිපි බලනවා, ගොඩක් වැදගත් කරුණු ඒ තුළින් ලබා ගන්නවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , කොමෙන්ට් නොකලත් අයෙක් මේ ලියූ දේ කියවල යමක් ලබා ගන්නවා නම් එයමයි සතුට.

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)