2017/10/15

214) අපි කතා නොකර ඉමු ටික දවසක්

දවසේ වැඩ රජකාරිි අවසන් කරල ගෙදර එන්න කියල එළියට ආවත් , අහම්බෙන් ආ හිම කුණාටුවකින් මුළුූ පළාතම වැහිල ගිහින් . හුළඟත් එක්ක , පළාතම සුදුපාට තිරයක් වගේ විතරයි පෙන්නේ. 
 “මයික් , අද නම් ගෙදර යන එක ඒ තරම් හොඳ නැහැ වගේ , මම එනකොට හයිවේ එක වැහුවා. “ දොරෙන් එළියට එන්නදෝ , නැත්දෝ හිතමින් ඉන්න මා ගාවට ආව ෆලොරන්ස් නෝන ඇස් ලොකු කරගෙන අවවාදයක් දෙනවා. “ස්නෝ එක්ක වින්ඩ් ගස්ට් එක , විසිබිලිටිනම් බිංදුවයි , හරිම අවදානම් , පැයක ඩ්‍රයිව් එකක් නේ ඔයාට “ ඇය  එක් කළා. 
මේ එදා ...
“ඔයාට ඕන නම් මම අපේ ලොකු පුතාට කියන්නම් , රූම් එකක් ලෙහෙස්ති කරන්න කියලා “ ප්‍රෙද්ශයේ ප්‍රධාන පෙලේ හෝටල් සමුහයක හිමිකාරිත්වය දරන ඇයගේ පුතා , අපේ රෝහල සමඟ දැඩි බැඳීමක් තිබෙනවා. “බොහොම ස්තුතියි ෆ්ලොරන්ස් නෝනා , 511 එක් හැටියට , නෝර්ත් එක වැහුවට , වෙස්ට් එකෙන් යන්න පුළුවන් වගේ , මම ටිකක් ට්‍රයි කරලා බැරි වුනොත් , ජේට කෝල් කරන්නම්“ 
 “කැමැත්තක් , ඔයත් හරියට අපේ ලොකු පුතා වගේම තමා ,  “ ටිකක් නුරුස්සන ගතියකින් උත්තර ලැබුණේ. “ඒකනෙවි මයික් , ඔයාට හිතෙනවද මගේ පොඩි පුතාට ඉක්මණට කතා කරන්න පුළුවන් වේවි කියල ? , දැන් මාස දෙකකට වැඩියිනේ තවම එක වචනයක් හරියට කීවේ නැහැ“ අම්ම කෙනෙක්ට දරන්න වෙන ලොකුම වේදනාවක් හිතේ තදකරගෙන ඇය මගෙන් අහන්නේ , කිසියම්ම සුවදායි පිළීතුරක් අපේකෂාවෙන් බව මම දන්නව .ඒත් .. 
“මම ටිකක් මේ හුළං සැර අඩු වෙනකම් ඉන්නව , අපි යමු පුතාගේ කාමරේට ෆ්ලොරන්ස් නෝන“ ඇය අපේක්ෂා කරන්නෙ  , නිකම්ම උත්තරයක් නොවන නිසා තව ටික වෙලාවක් ඔවුන් සමඟ ගත කරලම ගෙදරයන “අවදානම් ගමන “ පටන් ගන්න හිතුව. “අ අ අ අ...අඅ...ආ. ..අ බ්ග්...ආ“ අප , ස්ටීව්ගේ කාමරේට ඇතුළු වෙත්දි ඔහු තම පෙම්වතිය සමඟ මොනවදෝ කියනව , දෙදෙනාගෙම ඇස්වල කඳුළු , ඒ දිහා බලාන ඉන්න ෆ්ලොරන්ස් නෝනගේ ඇස්වල කඳුළු වලට වඩා හිත අඬන බව මට දැනෙනවා. 
“හෙලෝ ස්ටීව් , ඔයාට කොහොමද ? අද මට ඔයාගේ බැච්මේට් කෙනෙක් කතා කළා , ඔයාට විශ් කරන්න . බලන්න ඔයාගේ ඊමේල් එකේ , වීඩියෝ කොල් එක ඇති “ කඳුළු වලට තව කඳුළක් එකතු කරනවාට වඩා , පුංචි සතුටක් දැනෙන පණිවිඩ දෙකක් හෙමීට කිව්ව. “යෙ යෙ යේ් ..අම් ම් ම් ....ලින් ...“ මගේ අත තදින් අල්ල ගන්න ගමන් ස්ටීව් උත්තර දෙන්න දැඩි උත්සාහයක් ගන්නවා. “මේ බලන්න ෆලොරන්ස් නෝනා , ස්ටීව්ට දැන් ගිය සතියෙට වඩා හොඳයි ,ඔළුවෙ තුවාලේ සෑහෙන්න සුවයි, මේ ඇඟිළීත් වැඩ,   බලන්න දැන් අපි කියන දේට උත්තර දෙන්නත් පුළුවන් වෙනදට වඩා ඉක්මණට . “ ..ස්ටීව් ඊමෙල් බලන්න තමන්ගේ අයිපෑඩයට යොමුවුනා. “කොහෙම වුනත් හරියට වචන උච්ඡාරණය කරන තැනට එන්න , තව ටික කළක් යාවි , අන්තිමට ලැබිල තිබුණු , නෝට්ස් වල හැටියට අඩුම තරමේ මාස පහක්වත් තෙරපි කරන්න වේවි . එහෙම කළොත් සෑහෙන යහපත් ප්‍රතිපලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක තමයි අපෙ ටීම් එකේ මතය “ ෆ්ලොරන්ස් නෝනගේ මුහුණේ පුංචි සතුටක් මතුවුනා. “මයි මයි මයික ........“ ස්ටීව් එයාගේ අයිපෑඩය දිගු කළා , “feeling better , Thank you" ස්ටීව් ඔහුගේ TherapyApp එක යොදාගෙන තමන් වෙනදාට වඩා සුවදායක බවත් ඒ වෙනුවෙන් කෘතඥතාවත් පුද කළා. 


බ්‍රොකා ලා වර්නිකී ලා ඉන්න තැන්
පැයකට වැඩි කාළයක් ස්ටීව් සමඟ ගත කරලා ගෙදර එන්නට එළියට එත්දි හිම කුණාටුව නම් පහවෙලා , ඒත් පාරවල් අයිස් වෙලා , අර Disaster movie වල වගේ . රෝහල දිසාවෙන් එන ඇම්බියුලන්ස් හඬ අනුව තව රෑවෙන්න ගමන් මීටත් වඩා අවදානම් නිසා , වෙනද යන මාර්ගය මග හැරලා වෙනත් මාර්ගයකින් ගෙදර බලා යන්නට තීරණය කළා. කිලෝමීටර එකසිය තිහක ගමනේ බාගයක් ගනකම් කිසිම වාහනයක් නැහැ පොලිස් නිලධාරින් හැරෙන්නට , අඳුරුයි , කම්මැළියි . දාගන්න ඕන සිංදුවක් . ලිපියක් ලියවන්නට හිත යොමු කරවන්නදෝ මන්ද පළමු ගීතය වුනේ ජානක වික්‍රමසිංහ ගායනා කරන “අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්අපි දෑසින් දෑසට ලන්ව බලන් ඉමු එක මොහොතක් කල්පයක් සේ දැනේවී..“ මට මතක් වුනේ ස්ටීවන් සහ ඔහුගේ පෙම්වතිය දෑසින් දෑසට ලන්ව බලන් හිටි හැටි. මේ අහඹූ සිදුවීම ඔස්සේ තවත් ලිපියක් ලියන්නටයි මේ උත්සාහය . අද ලිපිය Aphasia හෙවත් අභාෂ්‍යතාවය පිළිබඳවයි.

කතා කරනවා කියන එක අපට හරිම සරළ දෙයක් විදියට දැනුනට , ඒ තුල හරිම සංකීර්ණ ජීව විද්‍යාත්මක ක්‍රියවලියක් තිබෙනවා. අපි පුළුවන් තරම් සරළව මේ “කතාවේ“ පියවර ගැන කතා කරමු.

මේ කියවන ඔබ දන්නව අපේ දේහයේ සියළුම සංවේදන , චලන හඳුනාගන්නට , පාලනය කරන්නට මොළය සහ ස්නායු පද්ධතිය මුලික වන බව. මම ස්ටීව් ගෙන් “ඔයාට කොහොමද “ කියල ඇහුවම , ඔහුගේ කණ ඔස්සේ එකතු කරගන්න මගේ “හඬ“ , විදුලිමය පණිවිඩයක් බවට පත්කරලා ශ්‍රවණ ස්නායුව දිගේ මොළයට අරගෙන යනවා. ඒ පණිවිඩය , මොළයේ ශ්‍රවණ කේන්ද්‍රය කියන ප්‍රෙද්ශයේ තිබෙන ස්නායු සෛල වලින් “හඬ පණිවිඩයක්“ බවට පත්කරලා , එය යොමු කරනවා මොළයේ වම් පැත්තට , පසුපසට වන්නට තිබෙන “වර්නිකී ප්‍රෙද්ශයට“ . එතැනදි තමයි අර “හඬ පණිවිඩයේ“ තේරුම පැහැදිලි කරගැනීම ආරම්භ වන්නේ, මේ තේරුම් ගැනීමේ කටයුත්තට මොළයේ තවත් ප්‍රදේශ කිහිපයක් එක් වෙනවා. දැන් සටීව්ගේ මොළයට  තේරෙනවා මම එයාගේ තත්ත්වය පිළිබඳවම විමසූ වග. දැන් ඔහුගේ උත්සාහය ඊට පිළිතුරු දෙන්නට  , මොළයේ බුද්ධිමය ඒකක මගින් පිළිතුර සකසල යොමු කරනවා අර වර්නකී ප්‍රෙද්ශයට , පිළිතුරේ රටාව , සංයුතිය ගැලපුම් කරන්නට. දැන් සැකසුම් කළ  “පිළිතුර “ ඊළඟ මධ්‍යස්ථානය වන “බ්‍රොකා ප්‍රෙද්ශයට“ සම්ප්‍රේශණය  කරනවා. මෙය තිබෙන්නෙ මොළයේ වම් පැත්තේ  ටිකක් ඉස්සරහට වෙන්නට. එයා කරන දේ තමයි අදාල උත්තරේ ශබ්දයක් විදියට පිටවෙන්න අවශ්‍ය කරන උච්ඡාරණය සැළසුම් කරල , මොළයේ “චාලක ප්‍රෙද්ශයට“ යවනවා. දැන් එමඟින් තොල් , දිව , හුස්ම අවශ්‍ය ලෙස පාලනය කරමින් පිළිතුර , අපට තේරුම් ගත හැකි “වාචික හඬක්“ ලෙසින් එළියට එනවා.  මේ කිව්වේ බොහොම සංකීර්ණ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රියාවලියක් , තේරුම් ගන්න පුළුවන් තරමට සරළව.


දැන් අපි මෙහෙම හිතමු , රිය අනතුරක් නිසා කෙනෙක්ගේ මොළයේ බ්‍රොකා ප්‍රෙද්ශය තුවාල වෙලා දුර්වල වෙනවා. මතකයිනේ එයා තමයි කටහඬ “ශබ්ද“ විදියට නිපදවන්න මුලික වන  කෙනා. ඉතින් එයා අක්‍රිය වුනොත් , මොළයෙන් යම් පිළිතුරක් ආවත් ඒක “හරියට පිටකරගන්නට“ බැරිව යනවා. කියන්න ඕන දේ ආවත් ඒක එළියට දාගන්න බැරිව යනවා. මෙන්න මේ තත්ත්වයට අපි වෛද්‍ය විද්‍යාෙවදි කියන්නේ Aphasia අෆේසියා/ඒෆේසියා කියල. 

Aphasia ආකාර කිහිපයකින් දකින්නට පුළුවන් ,අපි ඉන් කිහිපයක් ගැන කතා කරමු , මක් නිසාද සමහර විට ඔබ අතරෙත් මේ තත්ත්වය ඇති කෙනෙක් , සමජායේ උපාහාසයන්ට ලක්වෙමින් , ලෙඩක් බව නොදැන ප්‍රතිකාර නොලබමින් ජීවිතය විඳවනවා වෙන්නට පුළුවන්. මේ කතාබහ ඔස්සේ ඔබට යම දැනුමක් ඒද , එම දැනුම ඔස්සෙ මෙවන් රෝගී තත්ත්වයක් දැයි “සැක කළ හැකි“ අවස්ථාවක , නිසි ප්‍රතිකාරයන්ට යොමු කිරීමෙන් , ජීවිතයක් රැක ගන්නට උපකාර කරන්නට හැකි වේවි.

Anomic Aphasia : දිව අග ඇති , වචන නොමැති 

මේ තත්ත්වයෙන් පෙළෙන්නෙකුට පොත පත කියවන්න , තේරුම් ගන්න පුළුවන් . නමුත් කතා කරන්න ගියාම “වචන එන්නේ“ නෑ . මේ දිව අග තියෙනවා , ඒත් මතක් වෙන්නෙ නෑ.කියාගෙන යන වාක්‍යය නවතිනවා , ටික වෙලාවක් ගන්නවා , ආයෙත් කියන්න හදනවා , ඒත් කියන්න අවශ්‍ය දේ හරියට කියාගන්න බැහැ. ඕන කරන වචනේ එන්නේ නැති නිසා අතින් පයින් මුහුණින් අදාල චවනය ගැන ඉඟි ලබා දෙමින් කියන්නට අවශ්‍ය දේ එළීයට දාගන්න උත්සාහ කරනවා.නමුත් ඒ වෙනුවෙන් සෑහෙන වෙහෙසක් ගන්නට වෙනවා මේ තත්ත්වයෙන් පෙළෙන අයෙක්ට.
 බය වෙන්න එපා ඔබට කළාතුරකින්  මෙහෙම දැනුනානම්. නමුත් ළඟදි ඉඳන්ද වසේ වැඩි අවස්ථාවකම , නැත්නම් කතා කරන හැම වෙලේම සාමාන්‍ය ගෙදර දොරේ දේ ගැන පවා “වචන අමතක“ වෙනවා නම් , මේ ගැන ටිකක් හොයල බලන එක වටීවි. මේ එක්කම ලියන්න ගියාම වෙනදට වඩා , අකුරු / චවන මතක් කරගන්න මහන්සිවෙන්න ඕන වගේ නම් ඒ තවත් ලක්ෂණයක් බව කියන්න ඕන. 
මේ තත්ත්වයේ පෙළන කෙනාට කියන්න හිතෙනවා “මට කඩේට යන්න ඕන “ කියල , ඒත් චවන විදියට එළියට යත්දි “ මට .....යන්න ඕන“ , “කඩේට“ කියන වචනය එළියට එන්නෙ නැහැ.

Broca's Aphasia  “කියාගන්න බෑ“

මේ තත්ත්වයේදි රෝගියාට කියාගන්නට අවශ්‍ය දේ තේරෙනවා, ඕන කරන වචනත් දන්නවා , ඒත් ඒ වචන හරි විදියට එළියට දා ගන්නට බැහැ. උච්ඡාරණය නිසි ලෙස වෙන්නේ නැහැ. මතකයිනේ ස්ටීවිට කියන්න ඕන වුනා I'm feeling better , thank you  කියල , ඒත් එයාගෙ කටින් එළියට ආවේ “යෙ යෙ යේ් ..අම් ම් ම් ....ලින් ...“ . මේ තත්ත්වයේදි රෝගියා මානසිකව හුඟක් බිඳ වැටෙනවා. හඬනවා. ඇයි , කියන්න ඕන දේ නිවැරදිව එළියට නොයන නිසා. ඒ වගේම කියන්න ඕන දේ ව්‍යායාකණානුකූලව හිතුනත් එළියට එත්දි ඒ පිළිවෙල නැහැ ( වචන පිටවුනත්) . මේ අය කතා කරන්නෙ හරියට කෙනෙක් අළුත් භාෂාවක් කතා කරන්න පටන් ගන්නවා වගේ.
මේ තත්ත්වයේ පෙළන කෙනාට කියන්න හිතෙනවා නම්  “මට කඩේට යන්න ඕන “ කියල  , ඒක චවන විදියට එළියට යත්දි “ ම ම මට  කක .....යාාාාාාාාන් ඕන“ වගේ තමයි උච්ඡාරණය වෙන්නේ.

Werniche's Aphasia “මොනවදෝ කියවන්නා“

මේ අයට වචන එළියට දාන්න පුළුවන් , ඒ කියන්නේ කතා කරන්න පුළුවන් . ඒත් කිසිම ගැලපීමක් නැති , පිළීවෙලක් නැති , සම්බන්ධයක් නැති ඔහේ කියවගෙන යනවා. සමහර විට හරිම කටකාර විදියට කියවාගෙන යාවි , ඒත් අහගෙන ඉන්න කෙනාට කිසිම දෙයක් තේරුම් ගන්න , ගලපා ගන්නට බැහැ. මතකයි නේ වර්නිකි ප්‍රෙද්ශය තමයි වචන ටික ගලපල හරිගස්සල දෙන්නෙ , දැන් ප්‍රශ්නේ එතන නිසා “ගැලපිලි නැතිව“ වචන එළියට දානවා විතරයි. 
වර්නිකිස් ඒෆේසියාවේ පෙලෙන කෙනාට පෙර වාක්‍යයම කියන්න අවශ්‍ය අවස්ථාවේ , ඒ කිව්වේ  “මට කඩේට යන්න ඕන “ කියල කියන්න ඕන අවස්ථාවේ ඔහු කියාවි , “මං එංගලන්තේ බටයක් දාල පොකට් එකේ“ වගේ කිසිම ගැලපීමක් නැති වාක්‍යයක්.

Global Aphasia: වචන නැත

මේ තත්තවයේදි රෝගියාට “කතා කරන්නට“ බැරි වෙනවා , කතා කරන්නට මෙන්ම කියන දේ තේරුම් ගන්නට පවා නොහැකි වන්නට පුළුවන්. ඒක හරියට මොළයේ ඇතුළෙ තිබුණු “ශබ්දකෝෂය “ විනාශ වුනා වගේ තත්ත්වයක්.

මේ වගේ තවත් ආකාර කිහිපයක් ඇතත් , මේ කියවන ඔබට දැනටමත් හොඳටම ඇති බව මට වැටහෙනවා. ඒ නිසා තවත් සංකීර්ණ කතාවලට නොගොස් බලමු මේ තත්ත්වය සඳහා හේතු සහ අවදානම් තත්තව මොනවාදැයි .

ප්‍රධානවම මේ තත්ත්වය දකින්න ලැබෙන්නේ මොළයේ ලේ නහර වල සිදුවන අවහිරතා නිසා . මේ තත්ත්වයේදි ඇති වන අංශභාගය (Cerebra Vascular Accident) - Stroke  හෝ එහි තාවකාළික තත්ත්වය වන  TIA (Transient Ischemic Attack) හිදී. පොඩ්ඩක් මතක් කරගන්න අංශභාගය නිසා දකුණු පැත්තේ අත , පය පණ නැතිව ගිය කෙනෙක් , බොහෝ විට ඒ අයගේ මෙම Aphasia ලක්ෂණ දකින්නට පුළුවන්.
මේ  අවස්ථාවන්ට අමතරව , මොළයට වන  අනතුරු (රිය අනතුරු/ක්‍රීඩා අනතුරු) වගේම , මොළයේ ඇති වන සැරව බිබිළි , ගෙඩි , පිළිකා තත්ත්ව නිසාත් ඒෆේ්සියාව ඇති වන්නට පුළුවන්. එයට අමතරව ඩිමෙන්ෂියා නම් මොළයේ ඇතිවන සංකීර්ණ රෝග තත්ත්වයේදිත් මෙම රෝගය ඇතිවන්නට පුළුවන්. 

කළ යුත්තේ කුමක්ද ? 

මේ ලක්ෂණ ඔබට හඳුනගන්නට පුළුවන් වුනා නම් , නැත්නම් මීට ටික කළකට වඩා කතා කිරීමේ රටාවල පෙර කී වෙනස්කම් ඇතිවෙමින් යනවා යැයි දැනනෙවානම් , ඉක්මණින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු වීමත් , හඳුනාගත් ලක්ෂණ , කතා කිරීමේදී තමන්ට දැනෙන අපහසුතා පිළිබඳව දැනුවත් කිරීමත් හුඟක් වටිනවා.
ඒ වගේම  TIA හෝ  Stroke තත්ත්වයකට ප්‍රතිකාර ලබා ටික දිනකට පසුව වුවත් මෙම තත්ත්වය මතුවිය හැකි නිසා ඒ අවදානම ගැන දැනුවත්ව සහ අවදානයෙන් සිටීම වැදගත් වේවි.


මේ එවන් ඉලෙක්ට්‍රොනික වැඩසටහනක්
රෝගයට සහ ඒ සඳහා හේතුවන තත්ත්ව සඳහා ප්‍රතිකාර ලබා , භාෂණ චිකිත්සක ප්‍රතිකාර ඔස්සේ  කතා කරන , උච්ඡාරණය කරන ආකාරය නැවත හුරු කිරීමටත් යම් කළක් ගතවේවි. මේ තත්ත්වය අර උණ හෙම්බරිසාව වගේ දවස් පහෙන් හයෙන් හොඳ වෙන තත්ත්ව නොවේ. ඒ නිසා ප්‍රතිකාර ලබා ගැනීමේදි ඒ ඉවසීම , තේරුම් ගැනීම හරිම වැදගත්.  අද තාක්ෂණයේ දියුණූවත් සමඟ නොමිලේ සහ  ඉතා අඩු වියදමකින් ලබා ගත හැකි ඉලෙක්ට්‍රොනික උපාංග ,උපයෝගී කරගනිමින් , සන්නිවේදන සබඳතාව පවත්වා ගැනීමටත් හැකියාව තිබෙනවා. ඒ ඔස්සේ ඔහුට/ඇයට කියාගත නොහැකි වචන උපදෙස් පිංතූර මගින් හෝ උපකරණය මගින් කියවාගෙන අදහස් හුවමාරු කරගන්නට පුළුවන්. 
මෙවන් රෝගියෙක් සමඟ කටයුතු කිරීමේදී මෙන්න මේ උපදෙස් ටික ඔස්සෙ කටයුත කළොත් ඔහු/ඇය තවත් පීඩාවට ලක්වෙන එක වලක්වා ගන්නට පුළුවන් වේවි.

  • ඔහුට/ඇයට ඔබේ මුහුණ පෙනෙන අයුරින් සිටින්න
  • පසුබිමෙන් ඇති වෙනත් ඝෝෂාවන් , බාධක අවම කරදෙන්න
  • සෙමෙන් කතා කරන්න (අඩු වේගයෙන්)
  • ඉවසීමෙන් , ප්‍රසන්නව කතා කරන්න
  • උපදෙස් කෙටියෙන් ලබා දෙන්න.
  • කෙටි පිළිතුරු ලබා ගත හැකි ලෙස ප්‍රශ්න යොමු කරන්න
  • පිළිතුර ලබා දෙන්නට අවශ්‍ය තරම් කාළය ලබා දෙන්න
  • එක් උපදෙසක් එක් වරකට දෙන්න
  • පෑනක් කඩදාසියක් භාවිත කරමින් , අකුරු රූප ලබා දෙමින් කතා බහට දායක කරගන්න
  • ඉඟි , අංගචලන කතා බහට එක් කරගන්න
  • අපහසුතා මැද්දේ ඔහු/ඇය කතා කරන්නට දරන උත්සාහය අගය කරමින් දිරිගන්වන්න.

එහෙම නම් ලොකු කතාවක් පුළුවන් තරමට කෙටියෙන් ලියාගෙන ගියා. අප හැමකෙනෙක් ළඟම තිබිය යුතු මේ සෞඛ්‍ය දැනුම පිළිබඳ මේ අයුරින් සිංහල බ්ලොග් අවකාශයට එක් කළත් , ඒවා කියවන පිරිස ඉතා සීමිතයි. නමුත් එක් අයෙක් හරි මේ කියවීමෙන් දැනුමක් ලබත්ද , තවත් මේ ගැන සොයන්නට පෙළඹෙත්ද එයයි සතුට. 

එහෙම නම් සමුගන්නම් , වෙනද පැයෙන් ගෙදර එන ගමන , පැය තුනක් ගත කරල රෑ හත වෙත්දි ගෙදරට ආව . ආයෙත් හෙට උදේ යන එක තමයි වැඩේ , මොකද පාරවල අයිස් වලින් වැහුනම හරියට කෙහෙල් ලෙල්ලෙ නැගල ගියා වගේ තමා.

සුවෙන් සතුටින් පිරේවා ඔබ ගත සිත! 
(මේ ලිපි තුල සියළු චරිත මගේ වෘත්තීය ජීවිතය තුල හමුවන සත්‍ය චරිත වුවත් , නාමිකව වෙනස් කරන්නේ ඔවුනගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනු පිණිසයි) 

තවදුරටත් දැනගන්නට - https://www.aphasia.org/
 ගීතයට පාර https://www.youtube.com/watch?v=j4Eb0O_EH4U


6 comments:

  1. බලාගෙන ගියාම කතා කරන එකත් සෙල්ලං වැඩක් නෙමෙයි.
    අගේ ඇති ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර !

      Delete
  2. හරි අපූරු ලිපියක් හිම ලස්සන වගේම බොහොම ප්‍රචණ්ඩතාවයත් එකක්රන බව පේනවා. ඔබේ ලිපියෙන් මට මගේ පුංචි කාලය මතක් වුණා. කථා කිරීමට හැකි වයසේදී මම කතා කලේ නැහැ. තරමක් පහුවී තමයි මම කතාකලේ ඒ සඳහා මගේ පියා ගොඩක් මහන්සි වී තිබුණා. ඒ වගේම ,ඔබේ ලිපිය හරහා දැනගැන කැමතියි ගොතගහනවා කියන්නේ කුමක්ද ? එය මීට සමාන දෙයක්ද ?
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , ඔබේ පියාණන්ගේ කොමෙන්ටුවක් වගේ හිතට දැනුනේ. සතුටක් ඔබේ පැමිණීම.
      ඔබ ගෙන ආ මාතෘකාව පිළීබඳව ලිපියක් ලියන්නම් ඉක්මණින්ම.

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)