2017/02/26

209) බිඳෙන සිහින ගෙනෙන “රහස“

මුලින්ම සොඳුරු සුව අසපුව මාස කිහිපයක් තිස්සේම යාවත්කාළීන නොවීම වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා. හේතු ගණනාවක් නිසා ලියන්න තියා මේ පැත්තට , සිංහල බ්ලොග් වල ගැවසෙන්නට ලැබුණෙ නැහැ. කොයි දේත් “පහු පහු වෙන කොට කොහු කොහු“ වෙනව කියනව වගේ වෙන්ට නොදි ඉඳළ හිටල හරි කාටහරි වැදගත්වේවි කියල හිතෙන යමක් ලියන්නට ඇති උත්සාහය අතහරින්නේ නැහැ. ඊට හේතුව 2011 ඉඳළ මේ දක්වා ලියපු දේ දිහා නැවත හැරිල බලත්දි එන සතුට. පූර්විකාව අවසන් කරල අද කතා කරන්න තියෙන දේට එමු. මේ ලියන මම කවුදැයි නොදන්නවා නම් , මෙන්න මේ පිටුවට ගිහින් ඒ ගැනත් දැන ගත්තාට කමක් නැහැ , මුලින්ම සොඳුරු සුව අසපුවට පැමිණියානම් ඔබ‍.

එදත්  අදත් බයිසිකලේ 
කාළය මතක විදියට අසූ නමයේ අනූවේ විතර , දීපය නම් සිරි ලංකාවේ , අහංගම කියන සුන්දර ගම්මානේ. ගිනිමද්දහනට ලංවෙලා , “නිල්පාට රොන්සන් “ බයිසිකලයක් පැදගෙන , කළු උස හීනදෑරි කොළුවෙක් බොහොම වේගෙන් ටවුමෙ පත්තර කඩේට ආව . 
“ ආ මල්ලී , කොහොමද  ? අද ඉස්කොලේ නැතයෙි ? “ පත්තර ලෑල්ලේ අයියගේ පළමු ප්‍රශ්නය 
GL 56 නැතත් 58 නම් හම්බවුනා http://sltbbus.blogspot.ca
(පිංතූරය එකතු කරගන්නට අවසර දුන්නාට ස්තුතියි උත්පල දිල්හාන්)
“ නෑ අයියා , අද  GL 56  ආවේ නෑනේ , සමාධි ආවේ , නැවත්තුවේ නැහැනේ , ඒ පාර ගෙදර ගියා , මේ දවස් වල ඉස්කොලේත් වැඩක් කෙරන්නේ නැහැනේ ?“ කොළු ගැටයා විස්තරාත්මක උත්තරයක් දුන්නා.


එදා සතිය රස කළ “විදුසර“
( පිංතූරය ගත්තේ නාලක ගුණවර්ධනගේ Open Minds අඩවියෙන්)

පත්තර ලෑල්ල පුරා තියෙන නානාප්‍රකාර පත්තර අතරේ , “විදුසර“ පත්තරේ හොයගන්න එක අමාරු නැහැ. ඒ පත්තර කඩදාසිය වගේම , අකුරු වලත් , මුල් පිටුවෙත් අමුතුම වෙනසක් තිබෙන නිසා.  “විදුසර“ හොයන්න ඇස් යොමත්දි  , අළුත් අමුතු පොඩි පත්තරයක් , ටිකක් වෙනස් පිංතූර කවරයක් එක්ක තිබුණු ඒ පොඩි පත්තරේ අස්සක හංගල තිබුණ නිසාද මන්ද ටිකක් වැඩි පුර ඇහැ ගියේ. “සීදේවී “ පත්තරේ නම. “විදුසර“ අතට අරගෙන නිකමට වගේ “සීදේවී“ පොඩ්ඩක් එහාට මෙහාට පෙරලල බැලුව. ටිකක් කුතුහලය දනවන පිංතූර , එක්ක “අමුතු කතා“ ටිකකුත් උඩින් පල්ලෙන් දකින්න ලැබුණ. 
කොහොම හරි සතියකට පස්සේ , විදුසර පත්තරේ ගන්න ගමන් , අර කියපු “සීදේවි“ පත්තරේත් හංගෙන ගිහින් කියවපු මේ කොළු ගැටය වෙන කවුරුවත් නෙවි මේ ලියන මම මයි. ( මේවිදියට ආපු “සීදේවි“ , “සුරත“ වගේ පත්තර ගැන දන්නෝ දනිතැයි හිතනවා“) මේ අවුරුදු තිහක් විතර පරණ කතාවක් .


මේ ඊට අවුරුදු තිහකට විතර පස්සෙ

“මචං , උඹ නිදිද ? දැන් දවල් ද?“ මුහුණු පොතේ මැසෙන්ජර් තුලට මගේ පාසල් කාළයේ මිතුරෙක්ගේ නමින් පණිඩයක් ආවේ , දිවා අහර ගනිමින් සිටිත්දි .
“නෑ , දැන් දවල් , ලන්ච් එක , මොකද තත්වේ“ මගේ පිළිතුර .
“නෑ මචං , හිතට අවුල් මේ කොල්ලගේ වැඩ , මං දන්නෑ මොකක් කරන්නද කියල , වයිෆ් එක්ක කතා කරන්නත් බෑ බං මේ අවුල“ සිංග්ලිශ් වලින් ආපු දිග පණිවිඩය කියවල තේරුම් ගන්නට මොහොතක් ගියා. 

“පොඩ්ඩක් ඉන්න , මං කොල් එකක් ගන්නං “ කතාවේ හැටියට මොකක්හෝ දෙයක් බව දැනෙන නිසාත් , දවල් විවේකයේ සෑහෙන වෙලාවක් ඉතිරිව ඇති නිසාත් , මැසේනජරය ඔස්සේ ඇමතුක් ගත්තා.
“බලපං බං මේ අපේ කොල්ල , අරව බලනව බං ,ඉස්කෝලේ වැඩ කරන්නේ තැනිව , හැමදාම ගණන් හදනව කියල කාමරේමයි , අද මං නිකමට කොල්ලගේ  ෆෝන් එකයි , කොම්පියුටරෙයි චෙක් කළා, xxxxx.... මූ කරල තියෙන්නේ මේව බලන එකයි , බාන එකයිනේ , වයිෆ් දැන ගත්තොත් විසුමක් නෑ , මගේ ඔළුව කාවි, මොකක්ද මචං මං කරන්නේ , මූ තව මොනවා කරගෙනද දන්නේ නෑ“ මිත්‍රය කියාගෙන ගියේ ටිකක් හිමිහිට වගේ , සිග්නල් අඩු නිසාද මන්ද කැඩි කැඩි ඇහෙන කතාව ඔය වගේ . 
“කොල්ල මේ පාර ඒ ඕලෙවල් නේද? මොනවද ඉතින් කොල්ල බලල තියෙන්නේ ? “
“මොනවද අහන්නේ , පෝර්න් බං පෝර්න් , අමු ජරාව  , යකෝ අපිත් ඔය වයසේ හිටියනේ , දැන් හැදෙන වුන් ! , මට හිතෙන විදියට මූ ඒවට ඇඩික්ට් වෙලා , කෑමක් බීමක් නැතිව මෙච්චර කළක් “පාඩම් කරල“ තියෙන්නේ මේව“ , මම ගෙදර නෑනේ බං , වයිෆ්තුත් අතට පයට කෑම බීම දීල , මොකද කොල්ල පාඩම් කරනවනේ“ ......... මේ කතාබහ පැය බාගෙට වඩා ගියා , මිත්‍රයගේ හිතේ තියෙන වේදනාව , ආවේගය , ඔක්කොම ඩිජිටල් වෙලා මගේ කං පසාරු කරගෙන ගියා . තැනේ හැටියට , ඇනෙ ගහන්නට ගත යුතු , ගත හැකි දේ සහ අද දවසේ ලෝකය ගැන පොඩි මතක් කිරිමක් කරල දෙන්නත් වුනා.


මෙන්න මේ සිදුවීම තමයි අද ලිපියට පාදක වෙන්නේ?

පෝර්න් හොඳයි !පොර්න් නරකයි ! 
පෝර්න් වලට ඇබ්බැහි වෙනවා ! 
පාසල් ළමුන් අතර පැතිරෙමින් යන “වසංගතයක්“ 

මෙ වගේ අදහස් උදහස් රැසක් එක්ක එන “පෝර්න්“ හෙවත් “කාමෝද්දීපන වීඩියෝ , පිංතූර ,පොත් පත් වගේම පෝර්න් චැට් අපේ රටේ සමාජය තුලත් කතාබහට ලක්වෙනවා.

කෙසේ වෙතත් මේ මාතෘකාව අප කතා කළ යුත්තක්ද ? නොඒසේ නම් “අනේ ඔය නරක දේවල් අපේ රටේ නැහැ , අපේ ළමයි ඕවට නැහැ “ කියමින් බලෙන් සඟවා තැබිය යුතු මාතෘකාවක් ද කියන එක තීරණය කරන්නට කාළය මේ. ඉතාම පුළුල් මාතෘකාවක් වන පෝර්නෝග්‍රෆි මාධ්‍ය වල බලපෑම , මේ සටහනේ පහසුවට සහ අද දවසේ වඩාත් සංවේදී විය යුතු මාතෘකාවක් විදිහට , පෝර්නෝග්‍රෆි මාධ්‍ය පාසල් දරුවන් වෙත කරන බලපෑම ගැන වැඩිපුර කතා කරන්නට හිතුවා.

මොනවද මේ Pornography ? තවමත් මේ වචනය ගැන පවා නිශ්චිතම අර්ථදැක්වීමක් නැති තරම් , මේ එක වචනයට නිතියට අනුකූලව තේරුමක් දෙන්නට කොයිතරම් වෙහෙසුනාද  , වෙහෙසෙනවද කියන එකට හොඳ උදාහරණයක් ,පෙනිසෙල්විනියානු විශ්ව විද්‍යාලය 1993 දි ඉදිරිපත් කරන Defining  Pornography කියන පිටු 124ක පොත. තවමත් මේ චවනය ගැන වාද විවාද පවතිනවා . කෙසේ වෙතත් , දැනට පොදුවේ
පිංතුරය ගත්තෙ http://amazingseegiriya.blogspot.ca/
පිළිගන්නා ආකාරයට පෝර්නෝග්‍රෆි කියන්නේ ,  නිරුවත් ලිංගික අවයව මූලිකව යොමුවන සේ , සෞන්රාදර්ගායාමක හෝ භාවාත්මක හැඟීම් නොව , රාගික හැඟිම් උද්දීපනය කිරීමම පදනම කරගත් , මුද්‍රිත , විද්‍යුත් , වීඩියෝ , ඡායාරූප , රෑප , සටහන් හෝ වීඩියෝ ක්‍රීඩා ආදියයි“ කියල කියන්න පුළුවන්. කෙසේ වෙතත් මේ සඳහා සුද්ධ සිංහල වචනයක් නම් මතක් වෙන්නෙ නැහැ , දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.

Erotica ද පෝර්නෝ ද ? මේ පෝර්න් ගැන කතා කරන එක්තරා ලිපියක දකින්නට ලැබුණ “ එහෙම නම් සීගිරි ලඳුන්ගේ පිංතූර ටිකත් පොර්න් නිසා වහල දාමුද? “ කියන වැකිය . මේක ප්‍රශ්නයක් අපි පෝර්න් කියත්දි , ඔය මහා කළානිර්මාණ වල නිරුවත් දේ තිබෙන්නේ , එතකොට ඒවත් පෝර්න්ද ? කතාව මේකයි , කෙනෙක්ට ඉරෝටික් දෙ කෙනෙක්ට පෝර්න් කියල දකින්න විඳින්න පුළුවන්, ඒත් ඉරෝටික් (ශෘංගාරාත්මක) දේක කළාත්මක බවක් , තවත් හැඟීම් ගණනාවක මිශ්‍රණයක් පැවතුනත් , පොර්න් වලදි එය හුදෙක් කායික තෘප්තිය පමණක්ම හුවා දක්වන බවයි බොහෝ දෙනා පිළිගන්නා මතය. 

දැන් එමු අද  මාතෘකාවේ වැදගත්ම තැනට, මේ කියන පෝර්න් , පාසල් වියේ දරුවන්ට යම් බලපෑමක් කරනවාද ?  කෙනෙක් අහන්න පුළුවන් ඇයි පාසල් වියේ දරුවන්ට පමණක් කියල , යෞව්වනයන්ට , වැඩිහිටියන්ට කාටත් මේ බලපෑම් ( හොඳ සහ නරක දෙආකාරයෙන්ම) තියෙනව නමුත් , පාසල් වයසේ දරුවන්,
  1. කායිකව , ලිංගිකව පරිණතව වන සමයක සිටින නිසා ඔවුන්ගේ හෝමෝනමය බලපැම මත සිදුවන කායික-මානසික පෙරලීම් බහුලයි ,
  2. ඒ ඔස්සේම එන “කුතුහලය “ , “විරුද්ධ ලිංගිකයන්“ පිළිබඳ ඇල්ම/ආකර්ශණය වැඩිවීම දැනෙන කාළයයි,
  3. ලිංගික අත්දැකීම් පිළිබඳ “සිහින“ දැකීම ආරම්භ වන්නේද මේ අවධියේදීමයි ,
  4. ලිංගිකත්වය , ලිංගික අත්දැකීම් , හැඟීම් පිළිබඳව විවිධ මත , අදහස් , කතාබහ හමුවේ “නොසන්සුන්වන“ සමයද මෙයයි.
  5. මේ සියල්ලටම වඩා , දරුවාගේ මොළයේ ව්‍යුහමය වශයෙන් සීග්‍ර වෙනස්කම් සිදුවන සංවේදීම අවධියයි.
මේ වයසේ මනස හරියට කුඹල් කරුවෙක් අතේ තැනෙන මැටි බඳුනක් වගේ
මෙන්න මේ හේතු නිසා තමයි අද මාතෘකාව “දරුවන්“ තුල පමණක් රඳවා ගන්නට උත්සාහ කරන්නේ.මොකද මේ වයස තුලදි පොර්න් වල දෙන ෆැන්ටසිය තුල තම මනස හිර කරන දරුවාගේ කායික , මානසික වගේම සමාජයීය තත්ත්වය පවා බිඳ වැටෙන්නට පුළුවන්. මේ වයසේ මනස හරියට කුඹල් කරුවෙක් අතේ තැනෙන මැටි බඳුනක් වගේ , නියම තෙතෙමනය , පදම , වේගය සහ නිර්මාණශීලීත්වය මත අලංකාර බඳුනක් තැනුනත් , මොළය බිඳුනු කුඹල් කරුවෙක් අතින් එවන් නිර්මාණයක් වෙන්න ඇති ඉඩ අඩුයි , තැනුවක් බඳුනක් එය හැඩයක් නැති , ශක්තියක් නැති , සමබරතාවයක් නැති , ඒ නිසාම වටිනාකමක් නැති “වැඩකට නැති“ දෙයක්ම වේවි.


එක එක රසට පැණි බීම 
මේ කුමක් කීවත් ලීවත් අප වටහාගත යුතු වැදගත්ම කාරණය නම් අද සමාජය රුපියලට , ඩොලරයට මූලික තැන දෙමින් ඉදිවෙන්නක් බව. මේ පරිසරය තුල පෝර්නෝග්‍රෆි කියන්නේ විශාල වශයෙන් ආදායම උපදවන “ව්‍යාපාරයක්“ (දැන් නම් ටිකක් ආදායම අඩු වෙලාලු , නොමිලේ සැපයුම් කරන වෙබ් අඩවි බහුල නිසා ) . හරියට “පැණි බිමට“ එක් කරන පැණි රසකාරක වල “පැණි රස නොවන , දිව මොළය රවට්ටවන රසයට“ අපි ආසා කරනව වගේ , පොර්න් වල මතුකරන නිරුවතට , මෙතෙකේ කල් අත්නොවිඳි නමුත් “සිහිනයක් ලෙස විඳි“ පුදුමාකාර ලිංගික රසය“ට එක් වරක් නතුවන දරුවා , තවත් වරක් ඒ රස බලන්නට තැත් නොකරතොත් එයම ආශ්චර්යයක්. මොකද මේ වෙත්දි හිත “ලිංගික කුතුහලයෙන් “ පිරිලා. ප්‍රතිපලේ නැවත නැවත මේ “මිරිඟු රස“ විඳින්නට දරුවා පෙළඹෙන එක. 
මේ සිදුවීම අසාමාන්‍ය දෙයක්වත් , මහා අපරාධයක්වත් විදියට මම දකින්නේ නැහැ. යහපත් කායික මානසික සංවර්ධනයක් ඇති දරුවෙක් තුල ඇති වන “ලිංගික කුතුහලය “ , “ලිංගක අවයව ඔස්සේ ලැබෙන වින්දනය“ ලබන්නට ඇති කැමැත්ත සාමාන්‍යයි.  නමුත් වරදක් වන්නේ පොර්නෝග්‍රෆි මඟින් ඒ කැමැත්ත “අස්වාභාවික ෆැන්ටසියකට“ තුලට ගෙනයමින් , එහි හිරකරයෙක් කරගැනීමයි. මෙන්න මේ තත්ත්තවය තුල මෙතෙක් “සාමාන්‍ය‘‘ ලෙස සාර්ථක වූ දරුවා , “අසාර්ථක ජීවියෙක්“ බවට පත්වෙන්නට වැඩි ඉඩක් ලැබෙනවා. එ කොහොමද කිව්වොත් ,


වැඩ නොදන්න කඩු කාරයා
නිසි කායික , මානසික සහ විශේෂයෙන්ම සමාජයීය පරිණත බවක් නැති දරුවා හරියට “කඩු හරඹ පුහුණුව නැති කළබලකාර සෙබලෙක් “ වගේ . කොයිතරම් හැඩකාර වැඩකාර වුනත් මො “නුපුහුණ සෙබලට “ කඩුවක් දුන්නොත් මොනවා කරයිද ? “කඩුවේ “ දිස්නයට , මුවහතට ලොබ බඳින කොළුවා වනන්න පටන් ගනීවි “මම වැඩකාරයා“ කියල හිතාගෙන  , ප්‍රතිපලේ හිතාගන්න පුළුවන්නේ ? ඔන්න ඕකම තමයි පෝර්න් වල හිර වෙන දරුවාට වෙන්නේ. ලිංගිකත්වය , ලිංගික ජීවිතය කියන්නේ “මෙයයි“ කියා වැරදියට වටහා ගන්නා දරුවා ඒ වැරදි වැටහිම යථාර්ථයක් කරගන්නට උත්සාහ කරනවා. ප්‍රතිපලය, මානසිකව බැළුවොත් , නිරත්නතරව ඇසට ඇතුළු වන මේ ආශ්වාදාත්මක හැඟීම් නිසා , මොළය තුල සමහර රසායනික වල සමබරතාව බිඳ වැටෙන්නට පටන් ගන්නවා, ඒ ඔස්සේ කළකදි මොළයේ ව්‍යුහය තුල “වෙනස් කළ නොහැකි“ ප්‍රධාන වෙනස්කම් රැසක් වෙන්නට පවා පුළුවන් බව අද පර්යේෂකයන් පෙන්වා දෙනවා. එම වෙනසකම් බලපෑම මත Sexual Anorexia , Porn-Induced Erectile Dysfunction වැනි කායික ගැටළු ඇතිවීමටත් මෙවන් හේතුකාරණා සියල්ල නිසාවෙන් , පරිපූර්ණ මිනිසෙක් ලෙස අනාගතය විඳින්නට සිටි තරුණයා/තරුණිය ජීවිතය විඳවන / බිඳවැටෙන , සමාජීය වශයෙන් තනිවන පුද්ගලයෙක් බවට පත්වන්නට අවදානමක් ඇති කරගන්නවා.

තර්කය , බුද්ධිය , මතකය සමඟ කෙළදෙළින් ගත කළ යුතු මෙ සමයේ , පොර්න් වල ගිලෙන දරුවාගේ ඒ හැකියාවන් බිඳවැටෙමින් , තාවකාළික ආශ්වාදයෙන් පිරීයනවා, දිගින් දිගටම ඒ අවශ්‍යතා ගැටය ඔස්සේ තව ගැට ගසමින් යන්න පටන් ගන්නවා , මුලින් අවශ්‍යතාව පිරුණු පසු “සෑහීමට “ පත්වන දරුවා , කළක් යත්දි මෙතෙක් සෑහිමට පත් වූ දෙයින් සෑහීමට පත්නොවන්නට “ පටන් ගන්නවා , දැන් අවශ්‍යතාව තව්ත වැඩි වෙනවා. සෑහීම මදි වෙනවා , මෙන්න මේ “සෑහීමට පත්වීම සහ අවශ්‍යතාව ලබා ගැනීම“ කියන දාමය දිගේ වැරදි පැත්තට යොමු වන දරුවා , පාසල් අධ්‍යාපනය කටයුතු අතපසු කරනවා , විභාග වලදි පෙන්වන දක්ෂතාව අඩු වෙනවා , හිතේ හැම තිස්සේම “නොපිරිනු ආසාවකින්“ , සහ වරදකාර හැගීමකින් පුරවගෙන ඉන්න වෙනවා. ඒ විතරද ඒ නොපිරෙන ආසාව තව වටපිටාව  , සමාජය තුලදි ලබා ගන්නට උත්සාහ දරනවා, ප්‍රතිපලය මෙතෙක් ලොවට වටිනා මිනිසෙක් ලෙස සිටි “දරුවා“ කායික මානසික මෙන්ම සමාජයීය වශයෙනුත් තනිවෙන්නට පටන් ගන්නවා. යථාර්ත ලෝකෙයෙන් ඈත්ව “තමන්ගේම ෆැන්ටසියක“ රැඳෙන්නට උත්සාහ දරනවා. 

මේ සිදුවීම් දාමය හේතුවෙන්, පාසල තුල , සමාජය තුලට තමාගේ ෆැන්ටසිය සපුරා ගන්නට පෙළඹෙන දරුවා වෙතින්  “සේකස්ටින්“  (මේ ගැන පෙර ලිපියක කතා කළා) විතරක් නොවේ ඊට වඩා හානි ලබා දෙන්නට පුළුවන්. තම යෙහෙළෙිය/යහළුවා  , පෙම්වතිය/පෙම්වතා  තුලින් “පෝර්න් චිත්‍රපටයේ නිළියගේ නැත්නම් නළුවාගේ“ වික්‍රමය විඳින්නට පෙළඹෙන දරුවා / තරුණයා ඉන් සෑහීමට පත්නොවී , ඊට වඩා සමාජවිරෝධී කටයුතු වලට යොමුවන්නට පුළුවන්. ළමා අපචාර , ලිංගික අපචාර ගණිකා සේවනය, සමාජ රෝග වලට ලක්වීම ,මත්ද්‍රව්‍ය වලට හුරු වීම  ඔස්සෙ ඉදිරි අවස්ථාවකදි තම පවුල් සබඳතා බිඳදමා ගන්නා , මානසිකව අවපීඩනයට පත්වසමාජයට වෛරකරන්නෙක් බවට පත්වන්නට ලොකු ඉඩක් තිබෙනවා. 

මෙවන් ආපදාවක් ඇත්නම් කුමක් කරන්නද ? 

මුලින්ම යමක් වැදගත් යමක් කියන්න ඕන , මේ ලිපිය කියවන ඔබේ යොවුන් දරුවාගේ පොතක් අස්සේ නිරුවත් ඡායාරූපයක් , නැත්නම් ජංගම දුරකථනයේ නිරුවත් වීඩියෝවක් දුටු පමණින් , “දරුවා මරුවා සේ “ දකින්නට එපා. තේරුම් ගත යුතුයි , යෙවුන් වයස , ලිංගික කුතුහලය උණුසුම් කාළයක් , ඊටත් වඩා ඔබ අප සැවොම ගිලී ඉන්නේ මෙවන් දේ වලින් පවා මුදල් සොයන සමාජයක. ඒ පසුබිම තුල ඔබේ දරුවාට පෙර කී දෑ නොලැබුනා නම් එයයි විටෙක පුදුමය. ඒ නිසා කළ යුත්තේ “කුලප්පු වී“ “අම්ම-අප්ප ඩෙගා නාටකය“ රඟදක්වන එක නොවෙයි. ඒසේ වුවහොත්දැ එයමයි ආරම්භය “බිඳුනු මිනිසෙකුගේ“ දැනුයි වෙලාව විවේකව  , සාවධානව මේ ගැන විමසිය යුතු.


  • ඔබේ දරුවා වෙතට මේ මාධ්‍යයන් පැමිණී අයුරු විමසා බලන්න , ජංගම දුරකථනය , අන්තර්ජාලය නැත්නම් මිතුරෙක් ලබා දුන් සීඩී පටයක් හෝ වෙනත් ක්‍රමයක් වුවත් , ඒ ආරම්භය හඳුනාගැනීම දරුවාගේ හෙට දවසේ සාර්ථකත්වයට හේතුවක් වෙනවා. 

  • එය හඳුනාගත් විගසින් “ඇඳිරි නීති“ “තහනම් පනවන්න“ යන්න එපා. දරුවත් එක්ක තවත් සාකච්ඡා කරන්න , මේ පොර්න් මාධ්‍ය තුල කොතරම් දුර දරුවා ගොස් ඇත්ද , එයට කෙතරම් ගිජුවී ඇත්ද යන්න වටහා ගැනීම ඉදිරි ක්‍රියාමාර්ග සැළසුම් කරගන්නට වැදගත්.

  • තව දුරටත් වටහා දීමේදි දරුවා මේ ගිජු බවින් මිදෙන්නට රිසි නම් , ඊට උපකාරයක් ලෙස මෙවන් මාධ්‍ය දරුවා වෙත ළඟා වන ප්‍රෙව්ශයන් පිළිබඳ සොයා බලන්න , සීමාවන් සැලසුම් කරන්න. මේතැනදි “අපේ පුතාට ලොකු කොම්පියුටරයක් අරන් දුන්නා“ කියල කයිවාරු ගහන අම්මල තාත්තල අඩුම ගණනනේ දරුවා කොම්පියුටරේ තුල කරන්නේ මොනවා දැයි , විමසාබලන්නට තරම්වත් තාක්ෂණ දැනුමක් ලබා තිබීම “අද දවසේ මව්පියන්“ ලෙස වැදගත්. අන්තර්ජාලය පරිහරණය කරන විදිය , සෙවුම් කරන ආකරය , ජංගම දුරකථනය “කෝල් කරන්නට පමණක්“ ඇති උපාංගයක් ලෙසම නොව එමගින් ඊට වඩා යමක් කළ හැකි බව වත් දැන සිටීම වටිනවා.බොහෝ වෙලාවට දරුවන් මේ පොර්න් නරඹන්නට මුලින්ම යොමු වන්නේ අන්තර්ජාලය ඔස්සෙ එන අනපේකෂිත “වෙළඳ දැන්වීම්“ , සෙවුම් වලදි ලැබෙන “ආශ්වාදාත්මක වැකි , ඡායාරූප“ වැනි දේ ඔස්සෙ. මගේ මිත්‍රයා කී පරිදි දරුවා විද්‍යාව විෂයේ යම් කරුණක් පිළිබඳව ( ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය ) සෙවුමක් කරත්දී නොමිලේ ලැබුණු “වීඩියෝවක්“ ඔස්සේ මෙ ගමන ගොස් ඇති බව දැන ගන්න ලැබුණා. මෙවන් දේ අද බහුලයි , ඒ නිසා මෙබඳු තාක්ෂණ ක්‍රම ඔස්සෙ  දරුවා වෙත අනවශ්‍ය ලෙස පොර්න් මාධ්‍ය ලඟා වේ නම් ඊට යොදා ගත හැකි තාක්ෂණ ක්‍රම බොහෝයි. උදහරණ ලෙස K9 Web Protection නොමිලේ ලබා ගත හැකි පහසුකමක් . තවත් මෙවන් වැඩසටහන් බොහෝමයි. ඒ පිළිබඳව දැනුවත්ව සිටීමත් වැදගත් වේවි.

  • මේ තත්ත්වය , එය ඇති යථා තත්ත්වය , අවදානම පිළිබඳව දරුවා දැනුවත් කරන්න , මඟපෙන්වීම කරන්න.
    • පෝර්න් වල “රසට“ යොමු වීමේ හැකියාව , එයට ඇළීමේ හේතුව පෙන්වා දෙන්න.
    • එය තවත් වෙළඳ ව්‍යාපාරයක් විනා , යථාර්ථය නොවනබව තේරුම් කරදෙන්න . මෙම රඟපෑම් වල යෙදෙන නිළියන් , නළුවන් මුදල් උපයා ගන්නා අතරේ අදාල මාධ්‍ය ආයතන ඩොලර් බිලියන ගණනත වත්කම් ලබා ගන්නා බව මෙන්ම , මේ නළු-නිළියන් එම මාධ්‍ය තුල පෙන්වන “සතුට“ නොවිඳින , නමුත් විඳවන , බොහෝ අවස්ථාවලදි ප්‍රබල මත්ද්‍රව්‍ය , වේදනා නාශක භාවිත කර එම රංගනයන් කරන බව ප්‍රසිද්ධ රහසක්. 
    • පොර්න් මාධ්‍ය වල ඇති “නැවත නැවත“ බැළීමේ විඳීමේ අවශ්‍යතාව ඉහළ නිසා , සහ ඒ ඔස්සෙ සෑහීමට පත්වන හැකියාව අඩුවන නිසා අනාගතයේ තම ජීවිතයට විය හැකි අවදානම තේරුම් කරදෙන්නට උත්සාහ කරන්න.

  • දැන් , මෙ ආපදාවෙන් මිදෙන්නට කැමති ඔබේ දරුවාට ඊට නිසි පරිදි උපකාරය , මග පෙන්වීම ලබා දෙන්න . පොර්න් කොහොල්ලෑවල ඇලෙන්නට හදන හිත , ගත ඉන් මිදෙන්නට පහසුකම්  පෙන්වන්න. ක්‍රීඩාවට , පරිසරයට , පොතට පතට ආශාව මතුකරවන්න ඔබට පුළුවන්. මිතුරු මිතුරියන් ඇසුරේදි ඒ වටපිටාව පිළිබඳ අවධානය යොමු කරමින් රැකවරණය ඇති මිතුරු පරිසරයක් ඇති කරගන්නට ඔහුට/ඇයට උපකාරවන්නටත් දෙමාපියන් විදියට ඔබට හැකියාවක් තිබෙනවා.

  • වඩාත්ම වැදගත් මෙවන් ගැටළුවකදි පවා දෙමාපියන් එක්ක තමන්ගේ සිතට එන දේ කතා කරන්නට පුළුවන් බව දරුවාට වැටහෙන්නට ඉඩ දීම , ආපදා ගණනාවකින් දරුවා මුදවාගන්න හේතුවන “මහා පොදු සාධකයක්“ වේවී

දැන් යමෙක් අහන්න පුළුවන් , ඔය කිව්වට ඕව කරන්න පුළුවන්ද අපේ රටේ ? කියල . අන්න එතැනින් තමයි පටන් ගන්න ඕන. දෙදහස් පන්සියක සංස්කෘතියක් තිබුණූ පමණින්ම අද දවසේ ඇති සමාජයෙ ගැටළු වලට පිළිතුරු සොයන්නට බැහැ. ඒ සඳහා දෙදහස් පන්සිය වසක සංස්කෘතිය රඳවා ගනිමින් අපේ දැනුම , ආකල්ප යාවත්කාලීන විය යුතු වෙනවා. නොඑසේ නම් අද දවසේ ඔබේ දරුවා ආරක්ෂා කරගැනිම අතිශ්‍යය සංකීර්ණයි. ඒ නිසාම , අාදරය , ප්‍රේමය , ලිංගිකත්වය පිළිබඳ මුහුණට මුහුණලා ඔබේ දරුවා සමඟ කතා කළ හැකි පරිසරයක් , දැනුමක් සහ විශ්වාසයක් ඔබ පවුල තුල තනා ගත යුතු වෙනවා. මෙය කරන්න පුළුවන්ද? ඔව් කරන්න පුළුවන් , පෞද්ගලිකව මේ පරිසරය අපේ පවුල තුල අප තනා ගත්තේ දරුවන් පෙර පාසල් යන වියේදිම . අද මගේ දරුවන් උසස් පාසල් වයසේ හිටියත් , මෙබඳු දේ ගැන අප සමඟ විවෘතව කතා කරන්නට හැකියාවක් , පරිසරයක් අපේ පවුල තුල තිබෙනවා.( හැම සති අන්තයකම යෙදෙන අපේ “චාරිකාවන්“ යත්දි රිය තුලදී බොහොම පහසුවෙන් මේ කතා බහ අදටත් කෙරෙනවා. වරින් වර අපෙ පැටවුන් දැනුවත් කළ යුතු , නැවත නැවත මතක් කළ යුතු දේ ගැන සාකච්ඡා කරන සරළම උපක්‍රමය වන්නේ මේ සති අන්ත චාරිකාවන්.)

ඊළඟ කතා ටිික ,
  • “අනේ අපේ ළමයිනම් ඕව කරන්නෙ නෑ“
    • ඇත්ත ළමයා ඔබේ වුනත්  , ඔහුට ඇයට ඇත්තේ “තමාගේ මනසක්“ , ජීවත්වන්නේ ඔබේ “පවිත්‍ර පාරිශුද්ධ සමාජ යේ“ නොවෙයි . පිරිිසිදු-අපිරිසිදු මිශ්‍රවූ හැම මොහොතකම වෙනස්වන  සමාජයක . ඒ නිසා මේ ගැන නැවත හිතා බලන එක පසුකළෙක පසුතැවීමක් නොවිමට වටීවි. 
  • “අපේ  කොල්ල , කෙල්ල වගේ අනේ හරි ලැජ්ජයි,ඇහැක් ඇරළ බලන්නේ නෑ“
    • මෙතැන පොඩි ගැටළුවක් තියෙන්න පුළුවන්. එකක් දරුවෙක් තමන්ගේ වයසට ගැළපෙන කායික , මානසික සහ සමාජයීය ක්‍රියාශීලීත්වයක් නැත්නම් එය සොයා බැළීය යුත්තක් , දෙවැන්න සමහර අවස්ථාවල මෙවන් “සමාජය පිළිනොගන්නා“ දේට මුසුවූ දරුවන් , තමන් කරන දේ පිළිබඳව ඇති වන “වැරදිකාර හැගීම“ නිසාම සමාජයෙන් වෙන්න තනිවන්නට උත්සාහ කරන්නට පුළුවන්. එය අවදානමක පෙර සෙයාවක්.
  • “අපේ කෙල්ලනේ , ඕවට ආසාවක් නෑ“
    • ලොකු වැරැද්දක් , කෙල්ල වුනත් කොල්ල වුනත්  ඔය වයසට එන “ලිංගික කුතුහලය“ පොදුයි , ආසාව සහ අවදානම පොදුයි. ඒ වගේම පොර්න් වලට ගිජුවූ දරුවන් පිළිබඳ දත්ත වලදි 70%ක් පිරිමි දරුවන් මෙන්ම 30% ගැහැණු දරුවන් මේ තත්ත්වයට ගොදුරුවී සිටින බව හඳුනාගෙන තිබුණා.ඒ මීට වසර ගණනාවකට පෙර , ජංගම දුරකථන ඔස්සේ පොර්න් මාධ්‍ය පැතිරෙන්නට පෙර. අද මේ සංඛ්‍යා වෙනස්වෙලා ඇති.
  • “අපේ මහත්තයා සැරයි , අපේ ළමයි ඕවට යන්නේ නෑ“
    • මතක ලබා ගත යුතු වැදගත් දෙයක් තිබෙනවා ,අද දරුවා ඔබට වඩා තාක්ෂණික දැනුම අතින් ඉදිරියෙන් , තාක්ෂණික ක්‍රම ඔබේ “සැරට“ වඩා දියුණුයි. පෙර කී දත්ත වලදිම හඳුනාගන්නනවා පාසල් දරුවන් අතරින් 70%ක් තම පරිගණක , දුරකථන භාවිතය පිළිබඳ දෙමාපියන්ගෙන් සඟවනබව. ඉතින් “සැර“ නොවෙයි වැදගත් “ආදරය“
මේ වගේ තවත් “හිත හැදෙන කතා“ ඕන තරම් කියන්න , ඒ ඔස්සෙ  තාවකාළික “ස්වයංවින්දනයක“ යෙදෙන්න දෙමාපියන්ට පුළුවන්. ඒ එය අවසානයේ දරුවාගේ ජීවිතය “පුපුරා යන්නට“ ඉඩ සලසන්න එපා.

ඔක්කොම හරි මේ සියල්ල කරලත් හරියන්නෙම නැත්නම් , 

දරුවා පොර්න් මාධ්‍ය වලට දක්වන ගිජු කම ඉතා ප්‍රබල වුවනත් , තවමත් ඔහු/ඇයට Porn Addicted කියන පදය යොදා ගන්නට බැහැ. මොකද මේ වන තුරු වෛද්‍ය විද්‍යාත්මකව පොර්න් ඇඩික්ෂන් කියන රෝග තත්තත්වයක්/ සෞඛළු ගැටළුවක් හඳුන්වා දීල නැහැ. ඒ කීවේ Pornography Addiction කියන පදය නිවැරදි නැහැ. මේ තත්ත්වය රෝග විනිශ්චයේදි හඳුන්වන්නේ කොහොමද කියන එක තවමත් සාකච්ඡාවේ පවතින කරුණක්. පෙර කී ආකරයෙන් පොර්න් මාධ්‍ය සඳහා පාළනය කළ නොහැකි ගිජු බවක් දක්වමින් , පුද්ගලයාගේ සාමාන්‍ය කායික , මානසික , සමාජයීය සෞඛ්‍යය බිඳ වැටෙන තත්ත්වයකදි එය හඳුන්වන්නට Compulsive Sexual Disorder හෝ Hyper-sexual Behavior  Disorder කියන නම තමයි යොදන්නට වෙලා තිබෙන්නෙ . (කාටවත් කියන්න බැහැ එයා Porn addicted කියලා :) ) . නම කෙසේ වෙතත් , මෙම තත්ත්වය දරුවාගේ සාමාන්‍ය එදිනෙදා කටයුතු ‍, සෞඛ්‍යයට බාධා අැති කරන තරම දරුණූ නම් , පෙර කී උපදෙස් , අවවාද , ආදරය සහ උපකාර ප්‍රමාණවත් නොවේ යැයි හැගේ නම් කළ යුතු යමක් තිබෙනවා. ඒ දරුවා සුදුසුකම්ලත් මානසික චිකිත්සකවරයෙක් වෙත යොමු කිරීමයි. බොහෝ විට එය පවුල් උපදේශනයක් ලෙස මුළු පවුලටම ලැබෙන්නත් පුළුවන් , වැදගත්ම දේ තත්ත්ත්වය පිළිබඳ පසුවිපරමයි. එහිදි දරුවා මානසිකව පීඩිවකට ලක් නොකර විමසුම ඇසින් දරුවාට මග පෙන්වන ආකාරය වෘත්තීය චිකිත්සකවරයා ඔබට පහදා දේවි.  ( මතක තියා ගන්න ඔය  ටීවී වල පත්තර වල දැක්ක පමණින්ම “හොඳ වෙදා“ තෝරගන්න ගන්න එපා , අදාල විෂ්‍යට අදාල රජය පිළිගන්නා වෘත්තීය සභාවක ලියාපදිංචිය ඇති චිකිත්සකවරයකේ තෝරාගන්න. ඕව හොයන්න අමාරුනම් , රජයෙ රෝහලේ මානසික සායනයෙන් විස්තර දැන ගන්න පුළුවන්.මොකද දැන් ඉන්නවනේ අරුම පුදුම ටීවි වෙද්දු අපේ රටේ

මෙතෙක් වෙලා කතා කළේ “පොර්න් මාධ්‍යයන්ට ගිජු වීම“ කියන වචන කීපය ගැන. ඒ කිව්වේ කෙනෙක් අහම්බෙන් පෝර්න් වීඩියෝවක් නැරඹුව කියල ඔහු හෝ ඇය “ලෙඩෙක් වෙනවා“ කියන එක නොවෙයි. එය නැතිවම බැරි , දවසේ සාමාන්‍ය කටයුතු ‍අධ්‍යාපන කටයුතු වලට පවා බාධාවන තරමට පොර්න් විඳීමේ පාළනය කළ නොහැකි ආශාව ඔස්සෙ ඇති වන ගැටළු ගැනයි අපි ප්‍රධානව කතාබහ කළේ. එවන් අසීමාන්තික තත්ත්වයකට පත්නොවී මේ Porn media වලට ආසන්න දර්ශන , Erotic media චිකිත්සීයව යොදාගන්නා වෘත්තීය පරිසකුත් ඉන්නවා , ඒ Sexologist , Sex-therapists වගේ කණ්ඩායම්. නමුත් ඔවුන් ඒ සඳහා යොදාගන්නේ නිසි පාළනයක් , සීමාවක් ඇති Pornography සහ  Erotic වීඩියෝ සහ ඡායාරූප. ඒ නිසා දැන් පොර්න් වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් මේක කියවනවනම් , “මමත් කවද හරි Sex-Therapist කෙනෙක්  වෙනව කියල “ අධීෂ්ඨාන පූජා කරන්න එපා . ඔක්කොටම ඉස්සර වෙලා , සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න බලන්න ඒකයි වැදගත්.


දැන් මට ආයෙමත් අවුරුදු තිහක එහා අතීතයට යන්න හිතෙනවා . එද අර මුලින් කී පත්තර ඔස්සෙ ලැබුනේ පොර්න් කියන දේට වඩා Porn-Erotic අතරේ තත්ත්වයක් කියල මට හිතුනේ . ඊට කාළෙකට පස්සේ කොළඹ රැකියාවක් කරපු මගේ පාසල් මිත්‍රෙයක්ගෙන් 5 1/4" ඩිස්ක් එකක දාල අම්මලට හොරෙන් ගෙනත් දීපූ , බලපු පිංතූර බලන්න තිබුණු කුතුහලය  , ඊට පස්සේ අන්තර්ජාලය , විෂයානුබද්ධ කරුණූ එක්ක අහන්න දකින්න ලැබුණු මෙබඳු මාධ්‍ය වලට අපේ ජීවිත ගොදුරු කරගන්නට නොදී , අපේ ගමන අපට යන්නට හැකි වුනා නම් , එදා අපේ දැනුමට වඩා පරිණත අද දවසේ දරුවන්ට මේ ආපදාවන්ගෙන් මිදී තම  මග ජය ගන්න හැකි බවයි මගේ අදහස. නමුත් එහිදී දෙමාපිය-ගුරු ඔබ මෙම අභියෝගය , වගකීම කෙසේ දරා ගනීද යන්නයි මගේ කුතුහලය.

( දැන් මේ කතාවට සම්බන්ධ වුනු මගේ මිත්‍රයන් දෙදෙනාම මුහුණුපොත ඔස්සේ මේ ලිපිය කියවන බව දන්නව , කළබල වෙන්න එපා කාගෙවත් නම් හෙළිකරල නැහැ මෙහි. )

ලිපියේ අවසානය , සිංහල බ්ලොග් තුල අවුරුදු හයකට ආසන්න කාළයක් රැඳුනත් , සොඳුරු සුව  අසපුව ප්‍රමාණාත්මක ලෙස සිංහල බ්ලොග් මාධ්‍යයට දායකවූවාද කියන ගැටළුව මා සතුයි.කෙසේ වෙතත්  , සිංහල බ්ලොග් මාධ්‍ය තුල රැඳී සිටින බ්ලොග්කරුවන් , හිත මිතුරන් සැමට ගෞරවය පුදකරනවා , අන්තර්ජාලය තුල සිංහල බස රඳවන්නට දරන උත්සාහය වෙනුවෙන්. ඉතින් , සමුගන්නට අවසරයි විවේකයක් සහ මාතෘකාවක් ලද විටෙක නැවතත් ලිපියකින් හමුවන තුරු.

සැමට සුව සතුට පිරි දිනයක් වේවා! 

12 comments:

  1. අදටත් අනාගතයටත් වැදගත් ලිපියක් පුරුදු විදිහටම.ඉක්මනින්ම තවත් ලිපියකින්ම හමුවන්න බලාපොරොත්තුවෙනුයි පාඨක අපි ඉන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , මේ දිරි ගැන්වීම් තවත් ලිපියකට පාර කියාවි.

      Delete
  2. ඉතාම වැදගත් ලිපියක්!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් !

      Delete
  3. මේකත් මාර අහඹු සිදුවීමක්නෙ. ඊයෙ රෑ මගේ හොඳම යෙහෙලියක් මගෙන් මේ වගේම ප්‍රශ්නයක් ඇහුව ඒත් ලමය ගැන නෙමෙයි හස්බන්ඩා ගැන. ඒ ගැන මහේෂ් මොනාහරි ලියල ඇති කියල ඔයැයිගෙ බ්ලොග් එක පීරන්න ආවම මෙන්න උඩින්ම මේක තියෙනව. පික්ශු හැදිල ආයිත් හැදෙනව. මගෙ යාලුවගෙ හබියට අවුරුදු 43 විතර ඇති. පොර chef කෙනෙක්. ගෙදර එන්නෙ දවස් පහ හයකට සැරයක්. ඒ ආවත් පොර යාලුවට නිදාගන්න කියල ලැප් එකට එබීගෙන ඉන්නවලු රෑ දෙක තුන වෙනකං. මෙයා දවසක් history එක search කරල. අම්බානක porn videos තියෙනවලු. බුවා ඉඳල හිටල මෙයත් එක්ක හිටියත් අසාමාන්‍ය විදිහටලු ඉන්නෙ. මගේ යාලුව සෑහෙන්න අවුල් වෙලා ඉන්නෙ. මොකෝ කරන්නෙ කියල ඇහුව.

    ReplyDelete
    Replies
    1. අසාමාන්‍ය අය සාමාන්‍ය කරගන්න පුලුවන් තම පාර්ට්නර්ට. සාමාන්‍ය අය අසාමාන්‍ය කරගන්නත් පුලුවන්.. මම හිතන්නේ ඒ සඳහා වෙනත් උපදෙස් වෛද්‍ය විද්‍යාත්මකවත් ඇති. ඒ ඔක්කොටම වඩා වටින්නේ ඒ සිරුරු දෙක පවත්වාගෙන යන ජීවන අන්‍යෝන්යතාවය සහ බොඩි කෙමිස්ට්‍රිය. මේක මරු සබ්ජෙක්ට් එකක්. අතිශය පෞද්ගලිකත්වය නිසා ලිංගික ආශාවන් වෙනතක යන්නත් පුලුවන්, අතිශය ශෘංගාත්මක සහ කින්කි කරගන්නත් පුලුවන් විතරක් නෙමේ ඒ වෙනුවට සුරාව, සූදුව හෝ ඕනම විශයක් ආදේශ කරගන්නත් පුලුවන්. විද්‍යාත්මක දත්ත නෙමේ මේවා...මා දුටු සමාජ සත්‍යයන්.

      Delete
    2. සමාවන්න පිළීතුරු දෙන්නට පමාවූවාට.

      නමුත් මේ ගැටළුවට ගැළපෙන උත්තරයක් දැනටමත් අනුර මහත්මයාගෙන් ලැබිල තියෙන නිසා වැඩි දුර ලියන්න අවශ්‍ය වෙන එකක් නැහැ. නමුත් කිව යුතු කරුණු කිහිපයක් කෙටියෙන් ,
      1) තිබෙන තත්ත්වය මත සුදුසුම දේ විවේක වෙලාවක ඒ දෙදෙනා එක්ව මේ ගැන කතා කිරීම ,
      2) මෙය “මහා අපරාධයක් “ ලෙස නෝනා මහත්තයා දෙස නොබැලීමත් , “මේක ගණන් ගත යුතු තරම් දෙයක් නොවේ“ ආකල්පයෙන් මහත්තයා නොනා දෙස නොලැබීමත් එතැනදි වැදගත්
      3) නෝනා සහ මහත්තයාගේ එක්ව කතා බහෙන්ම මෙය ගැටළුවක් වීමට පෙර විසඳා ගක හැකි බව ඔවුන් දෙදෙනාම දැනුවත්ව සිටීම වැදගත්.
      4) විවාහකයදී දෙදෙනාගේ අවශ්‍යතා , රැචි අරුචි කම් පිළීබඳව අවධානය යොමු වීමේ වැදගත් කම පිළිබඳ සංවේදී වීම.
      5) කායික / මානසිකව පීඩා නොදෙනේ නම් , ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමේදී “වෙනසක“ අත්දැකීම් ලැබුවාට වරදක් නැති බව.
      6) මහත්තයා හෝ නෝනා “කඩෙන් කෑමට“ පුරුදු වීමක අවදානමක් ඇත්නම් ගෙදරදීම හානියක් නැති “වෙනස් රසට“ කෑම දීමේ අවශ්‍යතාව වැදගත් බව දෙදෙනාම හඳුනාගැනීමේවැදගත් කම.

      මෙන්න මේ කියූ දේ ඔස්සේ උත්සාහයක් දරන එක මුල්ම පියවර වේවි , සාර්ථක නම් සතුටින් “ජීවිතේ“ විඳින්නට උත්සාහ කරන්න , අසාර්ථකනම් සුදුසුකම් ගත් පවුල් උපදේශන සේවයක සහය ලබා ගන්න. කිසිම විටෙක මේ සිදුවීම නොසලකා හරින බව පෙන්වමින් , සිතින් විඳවමින් , ජීවිතේ “විඳවීමකට“ ලක් නොකරගන්නට උපදෙන් දෙන්න ඔබේ මිතුරියට.
      ස්තුතියි ඔබට මෙන්ම අනුර මහත්මයාටත් !

      Delete
  4. වටිනා ලිපියක් නිෂාන්ත මහත්මයා.මේ වගේ දේවල් දේශන වශයෙන් පවත්වා දෙමාපියන් දැනුවත් කරන්න පුළුවන්නම් ගොඩාක් හොඳයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහසට මිතුර, ඇත්තෙන්ම මේ සිදුවීම් ගැන අද “එළිමහනේ“ කතා කළ යුතුමයි .

      Delete
  5. ස්තුතියි ඔබේ ලිපියට...

    ReplyDelete
    Replies
    1. ඔබේ වදනත් මට දිරියක්!

      Delete
  6. ගොඩක් වැදගත් ලිපි පලකරනවට ගොඩක් ස්තුතියි.

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)