2016/12/07

207) ආදර මුහුණු හලන්නා

කළකට පස්සේ ... මේ දවස් වල මේ පැත්තට “ටිකක්“ විතර සීතලයි , සෙල්සියස් වලින් කිව්වොත් සෘණ විස්සක් විතර ! (ඒක හොඳ ටික නේද ?) හුළඟත් එක්ක ඒ සීතල තව වැඩි වෙලා ඇඟට දැනෙන්නෙ සෘණ තිහක  වගේ තිීව්‍ර සීතළක් . සීතල කියල රාජකාරියට නොයන්නයැ. ( නිදා ගන්න නම් නියම කාළෙ , දවසේ වැඩි වෙලාවක්ම අඳුරුයි , සීතලයි)

සීතල හුළඟ එක්ක එන හිම පොද පීරගෙන රාජකාරි ස්ථානයට එත්දි (මේ ගමන ගැන පොඩි ගණිත ගැටළුක්  අහන්නම් අන්තිමට)  උදේ නවය වුනත් , තවමත් කළුවරයි. උදාසන මූලික කටයුතු අවසන් කරල , ගියා පොඩි වටයක් හැමදාමත් වගේම අපේ සේවාලාභීන් ටික එක්ක පොඩි කතාබහකට. මුලින්ම ගියේ  “එඩී“ හමුවෙන්න . වයසින් නම් මට වඩා අවුරුදු කිහිපයක් බාල  , උස මහතින් නම් “යෝදයෙක්“ සිහිගන්වන මේ තරුණයා අපේ ආයතනයට පැමිණියේ සති කිහිපයකට ඉස්සර වෙලා.අවාසනාවන්ත රිය අනතුරකින් හිස සහ සුෂූම්නාවට වුනු හානි එක්ක “ ජීවිතයත් මරණයත්“ එක්ක සටහන් කළ ඔහු දැන් “ජීවිතය එක්ක තරඟ වදින්නට සුදානම්“ වෙනදවගේම පරිගණක ගත රෝද  පුටුවෙ වාඩි වෙලා , වීදුරුවෙන් එළියේ තියෙන හිම , සුළඟට විසිරෙන ලස්සන බලාගෙන පුරුද්ද අදත් එහෙමමයි.



“සුබ උදෑසනක් එඩ් , කොහොමද සති අන්තේ ? අද නම් හරිම සීතලයි “  හිනාවක් එක්ක ඔහු මගේ මුහුණූ දිහා බැලුවත් , මම දන්නව මාව හඳුනගන්න හැකියාවක් එඩ්ට නැති බව. තව ටිකක් ළං වෙලා මගේ රාජකාරි හැදුනුම්පතට ඔහුගේ ඇස යොමුවන විදියට අසලින් මමත් අසුන් ගත්තා.

මුහුණදිහා කිහිපවරක් බැලූ “එඩ්“ ඊළඟට ඇස යොමු කළේ , මගේ හැදුනුම්පතට .....

“හේයි මයික්  , කොහාමද ? මට නම් හොඳයි ‍ , සති අන්තේ මගේ පෙම්වතිය ආව , සතුටුයි මට  , ඒක නෙවි කොහොමද ඩ්‍රයිව් එක් , අයිස් ද , ස්නෝද ? , මාත් බලං ඉන්නෙ ඉක්මණට මගේ වාහනේ දෙනකං , ලබන වින්ටර් එකේ නම් කොහොම හරි ඩ්‍රයිව් කරනවා“ එක අතකින් මගෙ අත අල්ලගෙන කියවගෙන යනවා. කොයිතරම් හයියක් තියෙන හිතක්ද ? කශේරුවෙන් පහළ නිසි ලෙස ක්‍රියාත්මක නොවනුනත් , අත්පා වල සැත්කම් තුවාල තවම තිබුණත් , කොල්ලගේ හිත නම් වින්ටර් ඩ්‍රයිවිංමයි.
කතාව ටිකක් දුර ගියා  , බොහෝ සුන්දර වගේ ත්‍රාසජනක දෙ ගැනත් .කතා බහෙන් පස්සේ අනෙක් කටයුතු ආරම්භ කරන්නට පෙර මගේ සටහන් පොතේ පොඩි සටහනක් තබාගත්තා .
“එඩ් ගැන පොස්ට් එකක්“

මේ ඊයේ තබා ගත් ඒ සටහනට අදාලව සොදුරු සුව අසපුවට ලියැවෙන ලිපිය.

අද කතා නායකයා “එඩ්‘‘ අාදරේට කියන්නෙ “එඩී“  කියල , ඔහුට සිදුවුනු රිය අනතුරින් පස්සේ එක්තරා විශේෂ රෝග තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවුනා. ඒ තත්ත්වයේදි සිදුවන්නේ “මුහුණු හඳුනගන්නට නොහැකි වීම“ . තවත් කිව්වොත් , අපිට දන්න කෙනෙක්ගේ මුහුණ දැක්ක ගමන්  , ඒ කෙනාගේ නම , අපට තියෙන සම්න්ධකම , එයාගේ චර්යාව , කතාබහ කළ දේ මතක් වෙනවානේ . නමුත් මේ රෝගයට ගොදුරුවූවන්ට ඒ හැකියාව නැහැ. ඒ කිව්වේ අනෙත් කෙනාගේ මුහුණ හොඳින් පෙණුනත් , එය “මුහුණක් විදියට “ හදුනගන්නට  “මුහුණට ඇති සමබන්ධතා “ මතක් කරගන්නට මොළයට බැහැ. “එඩී“ත් තමන්ගේ පෙම්වතියගේ “කඳුළු ගලන මුහුණ“ දිහා බලාගෙන , කිසිම හැඟීමක් නැතිව හිටි මුල්ම දවස මට මතක් වෙනවා දැන් වගේ.

මේ තත්ත්වයේදි “මුහුණ“ හදුනාගන්නට බැරි වුනත් , ඇඳුම , වරිණය , අකුරු , ගමන් බිමන් රටාව , කතාබහ හොඳට හඳුනගන්නට , තේරුම් ගන්නට පුළුවන්. “එඩ්‘‘ වුනත් තමන්ගේ පෙම්වතිය මුලින්ම හඳුනගන්නේ   “මුහුණෙන්“ නොවෙයි , ඇඟේ හිනාවයි  , හාදුවයි මගින්. තමන්ගේ රෝග තත්ත්වය ගැන “එඩ්‘‘ දන්න නිසාත් , ඊට අදාල ප්‍රතිකාරමය උපක්‍රම පිළිබඳ දැනුමක් ඔහුට ලැබුණු නිසාත් , දැන් දැන් වැඩි ගැටළුවක් නැතිව හැමෝඑක්කම කතා බහ  කළත් , මුල් සති කිහිපය තුල ඔහු තුල තිබුනේ හරිම නොරිස්සුම්බවක්.

අද කතා කරන තත්ත්වයට වෛද්‍ය විද්‍යාෙවෙදි කියන්නෙ Prosopagnosia ප්‍රොෙසාපැග්නෝසියා කියල . මෙ තත්ත්වයට හේතු වෙන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් වුනත් ( සමහර දේ පිළිබඳව තවමත් පර්යේෂණ කෙරෙනවා) සරළව කිව්වොත් , ඇසෙන පෙනෙන “මුහුණක රූපය“ හඳුනාගැනීමට උපකාර වන මොළයේ කොටසකට වන අනතුරක් නිසා එම “මුහුණ හඳුනාගැනීමේ ක්‍රියාවලිය“ බිඳ වැටීමයි. ඔහු අපේ මුහුණු දකිනවා , නමුත් ඒ මුහුණට ඇති අපේ සම්බන්ධය හඳුනගන්නට බැහැ .එය තවත් නාසයක් , ඇසක් , කම්මුලක් විතරයි. එය ඇගේ මුහුණබව , එය ඔහුගේ මවගේ මුහුණබව “වටහා දෙන “ ශක්තිය දැන් නැහැ.

මේ ප්‍රොස්පැග්නොසියා තත්ත්වය ක්‍රම දෙකකින් ඇති වන්නට පුළුවන් ,  එකක් “එඩ්‘‘ ට වුනා වගේ “හිසට සිදුවන අනතුරක් “ නිසා වන්නට පුළුවන් . අනෙක් උපතින්ම මොළයේ සිදුවන වෙනසකම් , නැත්නම් ආජන්මජ රෝග තත්ත්ව නිසා මෙය ඇති වන්නට පුළුවන්. මේ දෙවන අවස්ථාවේ රෝගය පර්ම්පරාවෙන් යන්නට ඇති අවදානම වැඩි බවත් දැනට හඳුනගෙන තිබෙනවා. ඒ වගේම එක දරුවෙක්ට “මුහුණු හඳුනානොගැනීමේ රෝගය“ ඇත්නම්  , අනෙක් සහෝදර සහෝදරියන් ද රෝගය පිළිබඳව පරික්ෂාවකට යොමු කිරීම හරිම වැදගත්. විශේෂයෙන්ම Autism Spectrum Disorders (ඔටිසම් තතත්වයන්)  හෝ Special Learning Disabilities  ( ඉගෙන ගැනීමේ විවිධ  දුර්වලතා ඇති දරුවන්)  ඇති දරුවන් මෙ තත්ත්වයෙන් පෙළෙන්නේදැයි පෙර හඳුනාගැනීම දරුවාගේ ඉදිරි කටයුතු වලදි වැදගත්. මේ තත්ත්වයේන පෙළන දරුවෙක් මෙන්න මේ වගේ ලක්ෂන පෙන්වන්න පුළුවන් ,

  • හුඟක් ලැජ්ජාශීලී , සමාජයෙන් , පිරිසක් ඉන්න තැනකින් වෙන්වෙලා , තනිව ඉන්නට උත්සාහ කරනවා
  • ටීවි එකේ කතා බලනවා නම් , එය තේරුම් ගන්නට බැහැ. කාටූන් නම් තේරුම් ගන්නට පුළුවන් ( මොකද ඒ කාටූන් චරිත වල පාට ඇඳුම් හැම වෙලාවෙම එක වගේ නිසා)
  • පවුලේ ළඟම අය පවා “හඳුනගන්නට , නම් කියන්නට “ නොහැකියි ( සාමාන්‍ය එම වයසේ දරුවෙක්ට හැකියාව ඇතත්)
  • දරුවා පාසල නිමාවෙලා , පන්තියෙන් පිටවෙලා ආවත් අනේක දරුවන් වගේ ඔබ ළඟට දුවල එන එකක් නැහැ , අතවනන තුරු , නැත්නම් නම කියල  කෑගහන තුරු “ඔබව හඳුනගන්නේ නැහැ“ ( අනෙක් පැටවු නම් අම්ම තාත්ත දැක්ක ගමන් එක පිම්මෙ දුවල එනවා නේ) 


කෙසේ ඇති වුනත් බෙහෙත් දීලා මේ රෝගය සුව කරන්නට තවම හැකියාවක් නැහැ. කළ හැකි වැදගත්ම දේ ඉක්මණින් හඳුනගෙන “චර්යාත්මක සහ වෘත්තීය චිකිත්සකීය“ උපක්‍රම සහ ප්‍රතිකාර ලබා දෙමින් පවතින ගැටළුව තිබිය දීම “මුහුණු නොහඳුනා , පුද්ගලයා හඳුනා ගන්නට“ හුරු කරවීම.

ඉතින් අද මේ   “අපුරු රෝග“ තත්ත්වය ගැන කිව්වෙ බය කරන්න නොවෙයි, අපි කාටත් සමහර වෙලාවට අමතක වෙනවා ,විශේෂයෙන්ම කළාතුරකින් මුණගැහුණූ කෙනෙක් , මුණගැහුණත් “ විශේෂත්වයක්“ නොදැනනු කෙනෙක්ගේ නම මතකයට නොඑන්න පුළුවන්. නමුත් ඔබේ අම්මගේ පිංතූරයක් දැක්කම ඒක කාගෙද කියල මතක් කරගන්න බැරි නම් , පසුම්බියේ තියෙන “පෙම්වතියගේ“ ඡායාරූපය “ කාගෙද මන්ද“ කියල හඳුනගන්න බැරිනම් ටිකක් හොයල බලන එක වටීවි.

කතාව එච්චරයි , දැන් අර මුලින්කී “ගණිත ගැටළුව“ .
මෙන්න මෙහෙමයි , මම සේවය කරන ආයතනය තියෙන්නෙ ගෙදර ඉඳළ කිලෝමීටර් 135ක් ඈතින්. දවසේ වැඩ අවසානයේ සේවය නිමා වන්නෙ හවස පහට , ගෙදර යත්දි රිය පැදවෙන උපරිම වේගය පැ.කි.මි 130 විතරයි ( ඊට වඩා යන්න බැහැ , මුවන් , ගෝන්නු පාර පනින නිසා , වැදුනොත් ඔක්කොම ඉවරයි) හැබැයි හවස 5:20 වෙත්දි මම ගෙදර . කොහොමද මම පහට වැඩ නිමා කරල ,කිලෝමීටර් 135ක් දුර , පැයට කිලෝමීටර් 120ක වේගයෙන් ගිහින් , පහයි විස්ස වෙත්දි ගෙදරට එන්නේ ? “ ගණන්කාරයන්ට පමණයි ( පුංචි රුකුළක් දෙන්නම් , ගණන් විතරක්ම දැන ගෙන මදි )

තවත් පණිවිඩයන් , මෙතෙක් ලියූ ලිපි සියල්ලටම පහසුවෙන් යන්න පුළුවන් “ලිපි මල්ල“ ටැබ් එකට ( පිටුවට) ගියාම , එය යාවතකාළීන කළා පසුගිය දිනෙක.

එහෙම නම් ආයේ කාළෙකින් හමුවෙමු , එතෙක් සමුගන්නම් , සුව සතුට පිරි දිනයක් !

9 comments:

  1. You live in a different time zone. That is why you can go 135km in 20 min. BTW is your car is GM branded.

    ReplyDelete
    Replies
    1. මුල් පැහැදිලි කිරීම නම් නිවැරදියි , දෙවැන්නට පිළිතුර GM නොවේ , Nissan :)
      ස්තුතියි

      Delete
  2. ඔය වගේ රටක ඔය තත්වෙට පත්වෙච්ච මිනිස්සුන්ට ඔහොම ජීවත් වෙන්න පුලුවන් උනාට ලංකාව ‍වගේ රටකනං තත්වෙ බොහොම සෝචනීය වෙන්න පුලුවන්.

    ගණං නං ඕන නෑ. මගේ මොළේ ඒ කෑල්ල වැඩකරන් නැද්ද කොහෙද. හැක්..
    මටත් හිතෙන්නෙ අර ඇනෝ කියල තියෙනව වගේ ටයිම් සෝන් එක මාරු වෙන කේස් එකක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර ,

      Delete
  3. ලෝකයේ තියන භයානක ලෙඩේ තමයි මට හිතෙන විදියට මතක ශක්තිය නැතිවීම.හොද විස්තරයක් .

    ReplyDelete
    Replies
    1. //ලෝකයේ තියන භයානක ලෙඩේ තමයි මට හිතෙන විදියට මතක ශක්තිය නැතිවීම//

      ඊටත් වඩා නරක එකක් කියන්නද? ඒ තමයි 'Locked-in Syndrome'. ඒ ගැන ටිකක් හොයලා බලන්නකෝ.

      Delete
    2. ස්තුතියි ගිම්හානි ,

      Anonymous - ස්තුතියි ඔබේ අදහස වෙනුවෙන්. එදිනෙදා දකින දේ එක්ක මේ ලියැවිල්ල සිදුවන නිසා , සමහර විටෙක ඉදිරි දිනෙක මේ ගැනත් ලියන්නට අවස්ථාව ලැබේවි.

      Delete
  4. අපිට හමුවන හුඟක් අය මේ විදියට බැලුවම කුමක් හෝ ලෙඩකින් පෙලෙන අය.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි මිතුර  ,ප්‍රශ්නය සමහර දේ නොසළකාහැරියි හැකි දේ , අවදානම නොසලකානොහැරිය හැකිදේ ගැන අවදානය යොමු නොවීම.
      ස්තුතියි ඔබට

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)