2016/09/25

204) බිඳෙන බබාලා නොබිඳින්නට


අද කතා කරන්නට හදන්නේ වැඩි දෙනෙක් කතා කරන්නට අකමැති , නැත්නම් අඩුවෙන් කතා කෙරෙන මාතෘකාවක් ගැන.  ඒ මානසික රෝග/නැත්නම් මානසික සොඛ්‍ය ගැටළු. දැන් මේ මාතෘකාව කිව්ව ගමන් හිතට එන්නෙ කිළිටි ඇඳගෙන පාර පුරා ඇවිදිමින් ඉන්න “පිස්සෙක්“ කියන අදහසනේ . නමුත් හොඳින් දැනගත යතු දේ තමයි , මේ කියන “පිස්සන්“ ට වඩා දරුණූ , අවදානම් “මානසික රෝගීන්“ අපේ සමාජය තුල සිටිනවා . සමහරෙක් ප්‍රතිකාර මත රෝග තත්ත්වයන් හොඳින් පාලනය කරනෙ සාමාන්‍ය ජීවන රටාව ගතකරනවා වෙන්න පුළුවන්, ඔවුන් ගැන ගැටළුවන් නැති තරම්. නමුත් “තමන්ට මානසික ගැටළුවන් ඇතැයි“ හඳුනානොගෙන , තමන්ගේ මිතුරට , හිතවන්තයාට “මානසික රෝගී තත්ත්වයක් , අවදානමක්“ යැයි හඳුනා ගත නොහැකිවීම නිසා , නිිසා ප්‍රතිකාරයන්ට යොමු නොවී , තමන්ගෙත් , අනෙකෙකුගේත් ජීවිත වලට , සමාජයට අවදානමක් ඇති කරන කොයි තරම් අප අතරම ඇත්ද ? මේ නිසා මානසික සෞඛ්‍ය ගැටළු ගැන අපෙ රටේ සමාජය මීට වඩා දැනුවත් විය යුතු සහ ඊට අවශ්‍ය සහායක පහසුකම් වඩාත් ඉක්මණින් සහ පහසුවෙන් ලබා ගත හැකි පරිසරයක් ඇතිවීම හුඟක් වැදගත් කියල මට හිතෙනවා.



මෙතැනදි අද මම මූලිකවම කතා කරන්න උත්සාහ කරන්නේ ,“ළමා මානසික සෞඛළු ගැටළු“ ගැන. මොකද ළමා මානසික ගැටළු පෙර හඳුනා ගන්නේ නම් ඔවුන් සමාජයේ ප්‍රධාන වගකීම් දරන්නට පෙර , මව්පිය රැකවරණය තුලදීම නිසි ප්‍රතිකාර , උපදේශනයන් යොමු කිරීමෙන් “පලදායී පුරවැසියෙක්“ ලොවට දායක කරන්නට හැකියාව ලැබෙනවා.

මේ ගැන ලියන්නට හිතට ආවේ , පොඩි දුවගේ පාසලේ “ළමා මානසික සොඛ්‍ය විශෙෂඥවරිය “ හමුවුනු වෙලාවේ. ( පහේ පන්තියේ හිටිය පොඩ්ඩි , ඉස්කෝළෙ හයේ පන්තියට නොගොස් එකපාරටම හතේ පන්තියට යන්නට අවස්ථාවක් දීල තිබුණ . නමුත් ඊට අවශ්‍ය මානසික සුදුසුකම් පරික්ෂා කිරීමෙදි , පන්තිභාර ගුරුතුමියත් , පාසලේ  ,“ළමා මානසික සොඛ්‍ය විශෙෂඥවරිය“ වරියත් සමඟ කතා බහක යෙදෙන්නට වෙනවා. දැන් පොඩ්ඩි “හයි ස්කූල්“ :) ) . එතෙක් මා ඇය හඳුනාගෙන තිබුණේ පාසලේ තවත් ගුරු සහායිකාවක් ලෙසින් , දරුවන් සමඟම ඉන්න මේ නිිළධාරිනියගෙන් කෙතරම් සේවයක සහ කාර්යභාරය හුඟක් පුළුල්. ඒ අතරේ මෙවන් හමුවීම් වගේම , මානසික ගැටළු ඇති දරුවන් පෙර හඳුනාගැනීම , හඳුනාගත් දරුවන් අවශ්‍ය උපදේශණ සහ ප්‍රතිකාර වලට යොමු කිරීම , පාසල් කාළ සීමාව අවසන් වන තුරුම ඔවුන් පිළිබඳ පසුඅගැයුම් පවත්වා ගැනීම වගේ කටයුතු ගණනාවක් සිදුවනවා. මේ කතාබහ අතරේ ඇගේ කාර්යාලයේ තිබුණූ “සෞඛ්‍ය අධ්‍යාපන පත්‍රිකාවක“ තිබුණූ කරුණූ ඔස්සේ මේ ලිපිය  ලියන්නටයි උත්සාහය. ( දැන් මේ ලිපිය කියවන්නට අකමැත්තෝ “ ඕව තියෙන්නෙ පිටරට විතරයි , අපේ රටේ ඔහොම නැහැ“ කියල හිත හදාගෙන යන්න , නමුත් අපේ රටේ තිබෙන “අධ්‍යාපන රටාව“ සහ සමාජයීය පීඩනය තුලින් ඇති කරන බලපෑම නිසාම දරුවන් මානසික පීඩනයට ලක්වෙලාද , ඒ ඔස්සේ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය බිඳ වැටීමේ අවදානමක් ඇතිද කියල හිතල බැලුවොත් වටීවි) 

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට ළමුන් සහ ගැටවරවියේ දරුවන් අතරින් 10-20% අතරේ ප්‍රමාණයකට මානසික සෞඛ්‍ය ගැටළු (ප්‍රතිකාර ගත යුතු) තිබෙනවා. මේ සීමාව රටින් රටට , පළාතෙන් පළාතට අඩු වැඩි වන්නට පුළුවන් . නමුත් දැන ගත යුතුදේ  ඔබෙ දරුවාගේ පන්තියෙත් මෙවන් “උපකාර අවශ්‍ය , නමුත් නොලබන“ දරුවෙක් ඉන්නට පුළුවන්. සමහර විට ඒ දරුවා ඔබේ දරුවා වන්නටත් පුළුවන්. (ඔන්න දැන් කියයි , “අපේ ළමයින්ට එහෙම ලෙඩ නැහැ , අපේ පරාම්පරාවෙවත් නැහැ “ කියල) . වෙන්න පුළුවන් , ඒත් කෝකටත් හොඳයි නේද මෙ අවදානම් ලක්ෂණ ගැන පොඩ්ඩක් දැන ගන්න එක. අඩුම ගණනේ එහා ගෙදර ළමය ගැන හරි දැන ගන්නට .

මෙන්න මේ ලක්ෂණ ගැන පොඩ්ඩක් හිත යොමන්න ,
  • පාසල් යන්නට , සෙල්ලම් කරන්නට නැත්නම් යාළුවන් සමඟ එක්වන්නට , වෙනද තිබුණූ කමැත්ත  , උනන්දුව ටිකෙන් ටික අඩුවෙනවා වගේ දැනෙනවනම් ,
  • දිගින් දිගටම කණගාටුවෙන් ( හේතුවක් හඳුනාගන්නට නැතිව) ඉන්නවා නම් ,
  • වෙනද අසා කළ කෑම බීම , ගමන් බිමන් ගැන පවා කැමැත්කත් නැත්නම් ,
  • දවසේ වැඩි වෙලාවක්ම තනිවෙලා , වෙන්ව ඉන්නට උත්සාහ කරනවා නම් ,
  • පාසලේ විභාග වලදි ලබාගන්නා ළකුණූ මට්ටම පහත වැටෙනවා නම් ,
  • වෙනත් දරුවන්ට කරදර කරන බවට දිගින් දිගටම පාසලෙන් ඔබට පණිවිඩ එනවා නම් ,
  • හේතුවක් නැතිව ක්ෂණිකව කෝපයට පත්වනවා නම් ,
  • දරුවගේ රෑ මැදියම වෙනකම්ම නොනිදා ඉන්නවා නම් ,
  • සෙල්ලම් කිරීමේදී හෝ වෙනත් අනතුරකදි ඇතිවුනු තුවාල හැර , අසාමාන්‍ය තුවාල කැළැල් ,කැපුම් තුවාල අත් පා වල දකින්නට ඇත්නම් ,
  • තමන්ගේ පවිත්‍රතාව , ඇඳුම් පැළදුම් ගැන කිසිම  අවදානයක් නැත්නම් ,
  • පන්තිය තුල අසාමාන්‍ය  මුරණ්ඩුවක් , කළහකාරී බවක් පෙන්වනවා නම් ,
  • ඔබට නොඇහෙන , නොදකිනදේ දරුවාට  ඇහෙන , දකින බව කියනවා නම් ,
  •  දරුවා , පන්තියේ අනේක මිතුරන්ව අසීමිතව සැක කරනවා නම් 
  • මත්ද්‍රව්‍ය හෝ වෙනත් ඇබ්බැහිවීමක ලක්ෂණ / අවදානමක් දකින්නට ඇත්නම් 
හැමදාමත් කියනවා වගේ මේ එක ලක්ෂණයක් දවසක් දෙකක් දැක්ක කියල කළබල වෙන්න එපා , නමුත් මීට පෙර සාමාන්‍ය ලෙසත් පසුගිය සති දෙක තුන පුරා මේ කියන යම් ලක්ෂණයක් හෝ කිහිපයක් දකින්නට ඇත්නම් , එහෙම නැත්නම් දරුවගේ වයසේ වෙනත් දරුවන්ට බහුතරයකට වඩා මේ දරුව තුල යම් ලක්ෂණ කිහිපයක් දකින්නට ඇත්නම් ,හොඳම දේ ,
  • දරුවත් එක්ක ටිකක් කතා කරන්න , (ලෙඩක් හිතේ තියාගෙන නොවයි , වෙනසට හේතුවක් ඇත්දැයි හොයාගන්නට) , පාසල , පන්තිය , යාළුවෝ පන්තියේ ගුරුතුමිය ගැන , පාඩම් වල තත්ත්වයන් ගැන ඔය වගේ විස්තර ටිකක් දැනගන්න එක , ඔබට වගේම යම් හේතුවක් නිසා ප්‍රතිකාරයන්ට යොමු වන්නට වුවොත් අදාල වෘත්තිකයන්ටත් වැදගත් වන්නට පුළුවන්.
  • ඊළඟට පාසලේ ගුරුතුමිය/තුමා එක්ක දරුවගේ තත්ත්වය පිළිබඳ කතා කරන්න , ඉගෙනීමේ රටාව , චර්යාව පාසල් කාළය තුල දකින වෙනස් කම් ගැන.
  • එකතු කරගත් තොරතුරු ඔක්කොම ටික , ඔබේ පවුලේ වෛද්‍යවරයා එක්ක කතා කරන්න .( මෙතැනදි වැදගත් යමක් කියන්න තිබෙනවා , ඔය පත්තර වල , ටීවි එකේ දකින හැමෝම “දොස්තරලාවත්“ “මනෝවෛද්‍යවරුන්වත්“ , මනෝ උපදේශකයන්නොවත්ව“ නොවන බව මෙවන් දේ පිළිබඳ මුල්ම උපදෙස ගන්නට පුළුවන්  හොඳම තැන ඔබේ පවුලේ වෛද්‍යවරයා (වෛද්‍යසභාවේ ලියාපදිංචි , සුදුසුකම් ඇති) , එසේත් නැත්නම් ළඟම තියෙන රජයේ රෝහලේ බාහිර රෝගී අංශයේ නිලධාරියෙකුගෙන් හෝ , රෝහලේ මානසික සෞඛ්‍ය හෝ ළමා මානසික සෞඛ්‍ය සායනයේ ඉන්න වෘත්තීය නිලධාරියෙකුගේ උපදෙසක් ගන්න .
  • වැදගත්ම දේ , මේ අවදානම “මහ භයානක “ දෙයක් විදියට හංගගෙන නිසි ප්‍රතිකාර / උපදේශන නොලබා දී දරුවා අවදානමකට හෙලන්න එපා . මෙවන් ගැටළු අප කාටත් , ඕනම වෙලාවක ඇති විය හැකි තවත් එක් “සෞඛ්‍ය ගැටළුවක්“ බව පමණක් හඳුනාගන්න. හෙම්බිරිස්සාවටත් , පොළිමෙ ගිහින් අත පිරෙන්න “ඇන්ටිබයොටික් ඉල්ලන අම්මලා“ , දරුවගේ මානසික සෞඛ්‍ය ගැටළුවක් ගැන කතා කරන්න සායනයට නොයනවානම් ! 

ඔන්න ඔච්චරයි අද කතාව , කළකට පස්සේ ලියන්නවුනේ , පොඩි එවුන් පුංචි කාළේ හිතාගෙන හිටියා , දෙන්න  ලොකු වුනාම විවේකයක් ලැබෙයි එතකොට වැඩියෙන් ලියනවා කියලා , දැන් දෙන්න ලොකුයි , විවේකය තවත් අඩුයි . වෙනදටත් වැඩිය කෙල්ලො දෙන්න එක්ක ඉන්න ඕන කාළේ. ඒත් ඉඩක් ලැබෙන විදියට ලියන්නම් .

පසුව ලියමි,

මෙම ලිපි වලට ලැබෙන ප්‍රතිචාර වලට පිළිතුරු ලබා දෙන්නට මම හැම විටම උත්සාහ කරමි. නමුත් එකම පිළිතුරු නැවත නැවත ලබා දෙමින් හෝ අදාල නැති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නට කාළය වැය කරන්නට නොහැකි බව කරුණාවෙන් මතක් කරමි. මෙය කියන්න හේතු වුනේ “උපන්පාලන ක්‍රම , ලිංගික ගැටළු “ ගැන ලියූ ලිපිවලට ලැබෙන ප්‍රශ්න රැස දැකීමෙනි. ඒ සමහර ප්‍රශ්න අසා ඇති “පාසල් දරුවන්ගේ“ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට Sex Therapist කෙනෙකුටවත් හැකි දැයි නොදනිමි. ඒ ඔස්සේ ලිංගික දැනුම පිළිබඳ අපේ රටේ දරුවන්ගේ දැනුම කෙතරම්ද යන්නත් , එම දැනුම සමාජගත වීම කෙතරම්ම පහළ මට්ටමක ඇත්ද හඳුනාගත හැක.

නැවත හමුවෙමු!

11 comments:

  1. ඉතාම වටිනා ලිපියක් මහේෂ්. ගෙදර අය, පවුලේ අය, යාලුවෝ හැමෝම එක්ක මේ ලිපියේ කරුනු ගැන කතා කරන්න ඕන.
    ස්තූතියි ආයෙමත්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර !

      Delete
  2. ඇත්තටම වෙන රටවල් වල මානසික ගැටලු ගැන (ළමා හෝ වැඩිහිටී) තියන අවධානය අපේ රටේ නැති එක හරිම කනගාටුදායක දෙයක්.. ගොඩක් වෙලාවට දෙමාපියන් උනත් බලන්නේ එදිනෙදා වැඩ කොහොමහරි ඉවර කරන්න විතරයිනේ.. ඊලඟ දවසත් කලින් දවස වගේම රේස් එකක්.. අනිත් එක "ඕවා ඔහොම තමා" " පස්සේ හරි යනවා" " අපි පොඩි කාලෙත් ඔහොම තමා" කියලා ප්‍රශ්නයක් දැක්කත් මඟ ඇරලා පැලැස්තර දාන එක තමා වැඩි...

    මට නම් හිතා ගන්න බැ මහේෂ් අපි මෙහෙම ලිව්වට කී දෙනෙක් මේ රේස් එක පැත්තකට දාලා මේ දේවල් ගැන ඇහැක් ඇරලා කවදා බලයි ද කියලා දුක් විඳලා තම ගොඩ යන්නේ කියලා බහුතරයක් හිතන සමාජෙක..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඔබේ අදහස, නමුත් ඒක අයෙක් හරි තේරුම් ගත්තොත් මෙවන් තත්ත්වයන් තම දරුවාටත් විය හැකි බව , එයම ප්‍රමාණවත් . ස්තුතියි

      Delete
  3. Replies
    1. ස්තුතියි මිතුර !

      Delete
  4. සුපුරුදු පරිදි හරබර ලිපියක්.
    කියන්න සතුටුයි ලංකාවෙත් පාසල් පාදක කරගෙන වයිද්‍ය සායන පවත්වලා අවශ්‍ය ප්‍රතිකාර කරා ළමුන් යොමු කරන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙනවා.ලොකු ඉස්කෝල කොහොම වෙතත් කුඩා පාසල් මේ සඳහා හොඳින් හුරු වෙලා යහපත් ප්‍රතිපල ලබාගන්නවා.වයිද්‍යවරයා සහ දරුවාගේ ගුරුවරයා අතර සිදුවන අදහස් හුවමාරුව මඟින් දරුවන්ගේ මානසික තත්වය නිවරදිව වටහාගන්නට අවස්ථාව ලැබී තියෙනවා.
    හැමතැනම මෙය ක්‍රියාත්මක වනවා නම් හරිම අගෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සතුටුයි එවැන්නක් අසන්නට ලැබීමත් , එය රට පුරාම ක්‍රියාත්මක වනවා නම් අගෙයි.
      ස්තුතියි තොරතුරට සහ අදහස් දැක්වීම වෙනුවෙන්

      Delete
  5. පාසල් දරුවන්ගේ මානසික ගැටළු පිළිබඳ අවධානය හා සොයාබැලීම නම් ඉතා පහත් අඩියකයි මාදන්නා පමණින් පවතින්නේ (ලංකාවේ)
    කාලය කැපකර ලීවාට තුති.

    තව දෙයක්. ඔබට පුළුවන් නම් අර පාසලේන් ලබාගත් පත්‍රිකාවේ පිටපතක් ස්කැන් කර හෝ චායාරෑප ගතකර අප වෙත ලැබීමට සලස්වන්නේනම් ඉතා අගේකොට සලකමි. ( vimukthikd@gmail.com)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්වාමීන් වහන්ස , ඒ පත්‍රිකාවේ තිබුණ කරුණු වලටත් වඩා විස්තරාත්මක කරුණු රැගත් පත්‍රිකාවක් ඔබ වහන්සේ වෙත ලැබෙන්නට සලස්වන්නම්.

      Delete
  6. වැදගත් ලිපියක්.
    වැඩිදුර: මානසික තත්වයන් මනාව හදුනා ගැනීම අපට (දරුවන්ට සහ වැඩිහිටියන්ට) ඉතාම වැදගත් ඇත.

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)