2016/03/30

200) කෙල්ලන්ට රිදවන ජීවිතේ බිඳවන PID

සෙනසුරාදාට දවස ගෙවන්නට 
“අය්යා වයිබරේට එන්න පුළුවන්ද ?“  ගම්  පළාතේ  “මල්ලී“ කෙනෙක්ගෙන් පණිවිඩයක්. සෙනසුරාදා දවසින් වැඩිවෙලාවක් , මගේ අතිජාත මිත්‍රයත් සහ තවත් මිතුරියක් එක්ක පාසල් කාළේ ගැන කතා කරල පරිගණකයෙන් මෑත් වුනා විතරයි.
කමක් නැහැ ,  ජපානේ පැත්තට වෙන්න තිබෙන රටක රැකියාව කරන්න මේ “මල්ලි“ එක්ක කාළෙකින් කතා කරන්න ලැබුණෙත් නැහැනේ.
ගියා වයිබරේට , ඒ වෙනකොටත් ඇමතුම එනවා. 
“හලෝ මහේෂ් අයියා , කොහොමද ? දැන් සීතලද ඔහෙට , මෙහේ නම් ගිණි රස්නෙයි අයියා“ කතාව පටන් ගත්තා ඔහුම.
“වරදක් නැහැ මල්ලි, පහුගිය දවස් වල නම් සීතලයි දැන් නම් ටිකක් සීතල අඩුයි , අද නමයක්ද කොහෙද ? ඔය පැත්තට ගිණී රස්නෙයි කිව්වේ? , මං හිතුවේ ඔය රටවලටත් දැන් සීතලඇති කියල “ 
“මොන රටද අයියා , මං දැන් ලංකාවේ මාස  දෙකක් වෙනව ඇවිත් , මෙහේ ඉන්න බෑ අයිය , ගිණිගන්න වගේ “

2016/03/28

ස්තුතියි ඔබ සැමට !

සිංහල බ්ලොග් අවකාශය කියන්නෙ දැන් නම් සිරි ලංකාවේ අපට ඒ තරම්ම අළුත් දෙයක් නොවෙයි. මීට අවුරුදු පහකට විතර ඉස්සර “සොඳුරු සුව  අසපුව“ ආරම්භ කළ කාළේ , එය “ටිකක්“ අළුත් දෙයක් වුනා. ඇත්තම  කිව්වොත් , මේ බ්ලොග් පිටුව ආරම්භ කරන්නට පවා සිත් දුන්නේ, තවත් සිංහල බ්ලොග් සටහනක් , අහම්බෙන් කියවීමෙන් ලද සතුට සහ උනන්දුව නිසා. ඒ අහම්බෙන් මුලින්ම කියවන්න ලැබුණු සිංහල බ්ලොග්  සටහන වුනේ “හැක්ක්‍රිශ් “ නමින් ලියවුනු  සටහන , අද ඒ බ්ලොග් අඩවිය ටිකක් වෙනස් වෙලා. එතැනින් සිට ආ ,“සිංහල බ්ලොග් සටහනක්“ ලිවීමේ  අවශ්‍යතාවට උල්පන්දම් දෙමින්ම , මා සේවය කළ පුහුණු ආයතනයෙන් සමුගන්නා කාළයත් ඇවිත් තිබුණා. මේ සිදුවීම් දෙක නිසාවෙන් , Nursing School යන නමින් මේ පිටුව ආරම්භ වෙන්නේ දෙදහස් එකොළහේ මැයි මාසේ. 

2016/03/26

199) බෙල්ල වනල අත හොල්ලන Ticකා

පහුගිය සති  දෙක තුනම ටිකක් කළබලකාරී වගේම , සෞඛ්‍ය පැත්තෙන් ගත්තත් කරදරකාරී දින කිහිපයක් වුනා. ශිත සෘතුවේ අවසානය සහ වස්සානය ආරම්භය අතර කාළ සීමාව තුල හැමදාමත් මතුවන වෛරස් ආසාදන , ශ්වනස ආසාදන මෙවරත් මතුවුනා  මේ ප්‍රෙද්ශ වල . මෙවර කාළගුණයේ ඇති වෙනස්කම් නිසා දෝ ( ඒ කීවේ මේ සීත සෘතුව , වෙනද තරම් සීතල නැති , ටිකක් උණුසුම් සමයක් වුනා  . වෙනද උශ්නත්වය සෙල්සියස් සෘණ තිහ , හතලිහ වගේ සීමාවේ දින ගණනක් රැඳිල තිබුණත් , මේ වසරේ සෘණ තිහෙන් පහලට ගියේ දින දෙකක් විතරමයි. වැටන හිම ප්‍රමාණය පවා වෙනදට වඩා අඩු බවයි වැඩිහිටියන්ගේ අදහස)  වයිරස් ආසාදන වල ප්‍රබලතාවත් හුඟක් වැඩි වෙලා . මේ ගම් පළාත තුල පමණක්ම , හතර පස් දෙනෙක් මිය ගියා H1N1 ආසාදනය නිසා. තවමත් බොහෝ දෙනෙක් රෝගී තත්ත්වයෙන් පීඩා විදිනව. මෙ අතරේ ඔබ දන්න හඳුනන කෙනෙකුත් අප අතරින් වෙන් වුනා. මතකද මීට පෙර ලිපියක ( “ උත්තර දෙන මුත්තරා“- ලිපි අංක  186) තුල කතා කළා ‘ලිලි ආච්චි“ ගැන . ඇය  අපෙන් වෙන්වුනා මීට සති දෙකකට පෙර , ඒ H1N1 වයිරසයේ බලපෑම නිසාවෙන්. අපේ පවුලෙත් ලොකු කෙළී හැරෙන්නට අනෙක් හැමෝම සති දෙකක් පුරා වයිරසයත් එක්ක සටන් කළා. දැන් නම් සුවයි. නමුත් වයිරසය ඇති කළ බලපෑමේ “සැර“ තවම දැනෙනව ඇඟට.

2016/03/07

තවත් එක් නිමාවකි ...පතමි සුබ උදාවක්.

 (මේ මීට හරියටම වසර පහකට පෙර ලියූ සටහනක් වන අතර , වසර පහකට පසු නැවත එම ලිපිය කියවීමේදී , දැනුනු සතුට මෙන්ම , මේ ලියූ , මේ කියූ දේ ඔස්සේ යමින් , අද ලොවට වැඩ ඇති දරුවන් පිරිසකගේ දියුණුව දකිමින් ලබන “අමිල සතුට“ නිසාවෙන්ම නැවත පළ කළත් , කියවන අයෙකුට යමක් ගන්නටත් හැකිවේවා යන්න මගේ පැතුමයි . )

උපුටා ගැනීම ආරම්භය -   සොඳුරු සුව අසපුවේ 29 වන ලිපිය

මෙම ලිපිය මගේ බ්ලොග් සටහනේ මූලික අරමුණු බිඳ නොදමනු ඇතියි විශ්වාස කරමි .. මෙම සටහනේ මූලික ඉලක්කය වනුයේ හෙට දිනයේ මගෙන්/අපෙන් වෙන්වන සිසු දරු පිරිසකි....නමුත් බ්ලොග් අවකාශයේ ඔබ සැමට මෙම සටහන විවෘතයි ..වෙසෙසින්ම මේ දරුවන්ට යම් උපදෙසක් දෙන්නට ඔබත් රිසිනම් ...

2016/03/05

වචන දහසකට වඩා වටිනාකමක් ඇති තත්පර 43ක්


චවන දහසකින් , දේශන සිය ගණනකින්, සෞඛ්‍ය අධ්‍යාපන පත්‍රිකා දහස්  ගණනකින්  “දැනෙන්නට“ ලබා දිය නොහැකි “යමක්“ දැනෙන්නට ලබා දුන් මේ තත්ත්පර 43 සොඳුරු සුව අසපුව තුලට  එක් කරන්නෙ , යම් සුන්දර දසුනක් ලෙසම පමණි. කිසිදු දේශපාලනික මතවාද පිළිබඳව මට අගයක් නැතත්, කොන් වෙමින් තිබු “සුන්දර ළමාවියක“ , එලෙස කොන්කළ යුතු දැයි නැවත විමසා , සිතන්නට මේ තත්ත්පර 43ම ප්‍රමාණවත්යැයි සිතමි , මනසක් , මිනිසත්බවක් පමණක්ම ඇත්නම්. 

නොදැනුවත්කමේ අඳුරින් වැසුනු , තවත් අහිංසකයන් පිරිසක් , තම දරුවන් රැක ගන්නටයැ කියමින් , වරදක් නොකළ , වරදක් නැති මේ අහිංසක දරුවා පෙළන්නට තවත් උත්සාහ නොකරනු ඇතැයි අපේකෂා කළත් , මිනිසත්බව ලත් , අවස්ථාවාදීන්ගේ සිත් කෙසේ හැසිරෙත්දැයි කාට කිව හැකිවේද ? 

මේ දරුවා වෙත සහ එම මව වෙත මිනිසුන් ලෙස ලොවට මුසුවිය හැකි , ආර්ථික , මානසික  උපදේශනමය සහ සමාජීය උපකාරයන් නිසි සංවිධානය වූ ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරි දිනෙක ඇරඹෙනු ඇතැයි බලාපොරොත්තු වන්නේ, එවන් අවස්ථාවක් වෙනුවන් කළහැකි උපකාරයක් කරන්නට සිත් දරාගෙනයි.

මගේ දරුවන් සමඟ සිටිනා , අනෙක් දරුවන් කිනම් රෝග වලින් පෙළේදැයි මම නොදනිමි , ඒඩ්ස් , හෙපටයිටිස් බී හෝ ඊටත් වඩා දරුණු අවස්ථාවක් වුව ද මිතුරා , මිතුරාමය. එය පැතිරෙන ආකාරය , එයින් ආරක්ෂා විය යුතු ආකාරයන් පිළිබඳ දැනුවත් කරන්නට නිබඳ උත්සාහ කරමි ,එමඟින් “මිතුර දම පළුදු නොකර“ , තම සෞඛ්‍ය තත්ත්වයත් රැක ගෙන ළමාවිය සුන්දරත්වය විඳින්නට අවස්ථාව ලබා දීම , මා සතුටයි.

පසුගිය දින කිහිපය පුරා ,මේ දරුවා මුහුණ දෙන , මේ මව මුහුණ දෙන “දැරිය හැකි යැයි හිතාගන්නටත්“ නොහැකි වේදනාවන් පිළිබඳ පුවත් , ලිපි වලින් හිත පුරවා සිටි අවස්ථාවක ,  අමාත්‍ය රංජන රාමනායක මහතා මේ සඳහා මැදිහත්වූ ආකාරය පිළිබඳ වීඩියෝවේ , මා සිත් රැඳුනු තත්ත්පර හතලිස් තුන සොඳුරු සුව අසපුවට එක්කළේ කිසිදු දේශපාලන මතයක් නිසා නොව එය මට සංවේදීව දැනුනු නිසාවෙන් පමණි. ( වීඩියෝව ලබා ගත්තේ අන්තර්ජාලය ඔස්සේ , ස්තුතියි අදාල කැමරා ශිල්පියාටත් අදාල කණ්ඩායමටත්) 

ස්තුතියි ඔබට , වෙනදා මෙන් තවත් ලිපියකින් ඉක්මණින්ම හමුවෙමු.