2016/02/28

197) මුහුණුපොතෙන් ආ “ගල්කාරයා“

ෆේස්බුක් හෙවත් මුහුණූපොත පිළිබඳව විවිධ මතවාද තිබුණත් , මම නම් මගේ මුහුණූපොත යොදා ගන්නේ අවශ්‍යතා කිහිපයකට , එකක් මගේ මිතුරන් , සහ මගේ සිසුදරුවන්  සමඟින් හැකි විටෙක සුහද කතාබහක යෙදෙන්නට , දෙවැන්න විවධ අවස්ථාවන් වල ලබන අත්දැකීම් ඡායාරූප විදියට අමුණල තියාගන්නට , ඒ තව ටිකක් වයසට ඒ ඒ කාළෙට සිදුවුනු දේ ගැන සුන්දර මතක සටහනක් විදියට දිග හරින්නට. ඒ හැරෙන්නට , තෙවැන්න ලොව පුරා සිදුවන ප්‍රවෘත්ති දැන ගන්නට. ඒ හැර දේශපාලනය , ආගම නැත්නම් වෙනත් මතවාද බෙදා හරින කටයුතු ඒ ඔස්සෙ සිදුවන්නේ නැහැ. ඒ නිසාම මගේ මිතුරු පිරිස ඉතාම සීමිතයි හැබැයි ඒ හැමකෙනෙක්ම “හොඳින්ම දන්නා අය“ .

කෙසේ වෙතත් විවිධ අවස්ථාවන් වල ඒ  මිතුර ගොනුවෙන් කිසිවෙක් ඉවත් කරන්නට වුනා වෙන්නත් , ඉදිරියේදි වෙන්නත් පුළුවන් ,නැත්නම් එවූ request එක අනුමත නොකළා වෙන්නත් පුළුවන්.   නමුත් ඒ unfriend කිරීම හෝ request එක  accept නොකිරීම , ජීවිතයේ පවතින මිතුරු දම් බිඳ දැමීමක් නොවන වග කියන්නටම ඕන. මක්නිසාද මුහුණූපොත යනු “ජීවිතය නොවන නිසා“ .  


අද කතාවටත් මේ මුහුණූපොත සම්බන්ධ නිසාමයි ඒ ගැනත් ටිකක් ලියැවුනේ . අද කතාවේ ප්‍රධාන චරිතය මා වෙත අද මාතෘකාව යොමු කරන්නේත් මුහුණූපොත හරහාමයි . 

වෙනද වගේම දවසේ විවෙක වෙලාවේ මුහුණු පොතේ සැරිසරත්දි , ආ පණිවිඩයක් !

“මහේෂ්  ,free ද දැන් ?“
“ හ්ම්..... :D “
“මචං , මං ආයේ හොස්පිටල් එකේ , කරාපිටියේ , උඹ නැහැනේ මේ පාර , මේ පාර නම් ඔපරේෂන් කරලම “ගල්“  අයින් කරන්න ඕනලු බං , මේ ඒක නෙවි , කවුරුත් නැත්ද බං උබලගේ බැච් එකේ එකෙක්වත් , පොඩි සපෝට් එක්ක ගන්න , තාත්තට මේ ඉඳළ හැමදාම එන්න බැහැනේ මචං , දැන් වයසයි  . තාත්ත ට්‍රයි කරන්නෙ මෙහෙමම මා ගාව නවතින්න , වාට්ටුටවේ කවුද ඇවිත් අද කෑගහල , එළීයට යවල “ . මේ , මීට  අවුරුදු විස්සකට විතර ඉස්සර හඳුනගත්ත මිතුරකම තවමත් පවත්වාගෙන එන මගේ මිතුරෙක්ගේ ඉල්ලීමක් . මතක විදියට අපේ ගම් පැත්තට ආවේ “ගල්කැටිය“ වගේ නමක් තියෙන ගමක ඉඳළ නිසා , අපි කවුරුත් ඔහු සහ ඔහුගේ සහෝදරයාට ආදරේට කිව්වේ “ගලා “ කියල. ඒ පාසල් කාළේ “ගලා“ කිව්වම විවිධ තේරුම් දෙන කාළයක් වුනත් , මේ මිත්‍රය කවදාවත් අපත් එක්ක අමනාප වුනේ නැහැ. දැන් දරුවන් ඉන්න  පියෙක් වෙලක් , තවමත් “ගලා“ම තමයි.

කතාවේ අවසානයේ දැන ගත්තේ ඔහු රෝහල් ගත  කරඇති බව , මුත්‍රාමාර්ගය ආශ්‍රිතව තිබෙන “අශ්ම“ ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සඳහා. මට මතක විදියට  , මා අවසන් කරාපිටිය රෝහලේ  සේවයක කළ අවසන් මාස කිහිපයේ , ඔහුට පරික්ෂණ ගණනාවකට මුහුණ දෙන්න වුනා .කොහාම හරි පැය දෙක තුනකට පස්සේ තවත් මිතුරෙක්ගෙ උදව්වෙන් ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු කරල දෙන්නටත්  පුළුවන් වුනා. ඒ සියලු කාරණා වලින් පස්සේ , අද රාජකාරි නිමාවේ  , ලැබුණු විවේකයේ යමක් ලියන්නට මතක් කරත්දි මේ සිදුවීමත් , මීට පෙර අවස්ථාවක “විභිෂණ “ බ්ලොග් අඩවිය ලියන අපේ සිංහල බ්ලොග් මිතුරා  “විභීෂණ“ කළ  ඉල්ලීමකුත් සිහියට ආ නිසා , අද ලියන්න හදන්නේ රැධීර කැල්සියම් ප්‍රමාණය අධීක වීමේ ගැටළුව , එහෙම නැත්නම් Hypercalcemia තත්ත්වය පිළිබඳව‍.

මුලින්ම අපි මේ “නමේ “ ඉඳළම යමු. Hyper+Calc+emia වචනයේ තේරුම මෙන්න මේ විදියට කඩන්න පුළුවන්. ( මේ වෛද්‍ය විද්‍යාත්මක පද කැඩිල්ල , විෂයක් විදියට නම් කෙරෙන්නේ Medical Terminology කියන නමින් ) “වැඩි+කැල්සියම්+ලේ“.  ඔය මේ දවස් වල යන සිංහ ලේ , මරක්ක ලේ , දෙම ලේ වගේ මේක “වැඩි කැල්සියම් ලේ“  :D

මේ නමෙන් ම ලෙඩේ ගැන සරළ දැනුමක් ලබා ගන්නට පුළුවන් , ඔව් “ලේ වල කැල්සියම් වැඩිවෙනවා“ මෙ විදියට කෙටියේන කීවට ටිකක් ලොකු කතාවක් ඒක. අපි ඒ ලොකු කතාව තේරුම් ගන්න පුළුවන් විදියට සරළව විස්තර කරන්න බලමු.

ඔබ දන්නවා ඇති අපෙ දේහය ඇතුලේ විවිධ දේ සඳහා ගබඩාවන් තිබෙනවා , ඒ කීවේ සීනි වලට අක්මාව , වගේ  කැල්සියම් වලට අස්ථි තමයි ගබඩාව වෙන්නේ . ඒ කියන්නෙ අපේ ලේ වල කැල්සියම් ඕනවට වඩා වැඩි නම් , ඒ වැඩි ටික අස්ථි වලට ඇතුල කරල ලේ වල “ඕන තරමට තියා ගන්නත් , අඩු වුනොත්  , අස්ථී ගබඩාවෙන් “ කැල්සියම් ඉල්ලා ගන්නත් පුළුවන්.  හැබැයි මේ හැම ගබඩාවක් ම වගේ පාළනය කරන්නට වෙන වෙනම “ගබඩා පාළකවරුත් “ ඉන්නවා. “වරු“ කිව්වේ "Shift ක්‍රෙම්ට වගේ “ ලේ වල වැඩි වුනාම වැඩිපුරා දේ ගබඩාවට දාන්න , එක් ගබඩා පාළකවරයෙකුත් , ලේ වල අඩු වුනාම ගබඩාවෙන් අරන් ලේවලට ඇතුළු කරන්නට තවත් පාළකවරයෙකුත් ඉන්නවා.

සාමාන්‍ය තත්ත්වය යටතේ අපේ ලේ වල ඩෙසිලීටරයක් ගත්තොත්, ඒ තුල කැල්සියම් මිලිග්‍රෑම් 8.5-10.3ක සීමාව තුල තිබෙන්නට ඕන . නමුත් මේ තත්ත්වය වයස , ස්ත්‍රි පුරුෂ භාවය වගේ සාධක  එක්ක වෙනස් වෙනවා.

දැන් මෙහෙම හිතමු , මොකක් හෝ හේතුවක් නිසා , අපෙ ලේවල කැල්සියම් ප්‍රමාණය අර කිව්ව තරමට වඩා හුඟක් වැඩි වුනා කියල . මේක ලොකු අවදානමක් බව හඳුනගන්න “මොළය“ , අපේ තයිරෝඩ් ග්‍රන්ථියට පණිවිඩයක් යවලා , “කැල්සිටොනින් කියන ගබඩාපාලකයා නැගිට්ටවල ලේ වලට යවනවා. දැන් “කැල්සිටොනින් ඉක්මණට , ලේ  වල තියෙන වැඩි පුර කැල්සියම් ටික තල්ලු කරගෙන ගිහින් “අස්ථි“ ගබඩාවට දානවා. ඔය වැඩේ කරත්දිම බඩවැල් වලට පණිවිඩයක් දෙනවා ,“දැන් අපට කැල්සියම් වැඩියි , ඔය කෑම වල තියන කැල්සියම් උරන එක අඩු කරන්නෝ“ කියල , තව ඊමේල් එකක් යනවා , වකුගඩුවලට , “මට සපෝර්ට් එකක් ඕනෙ , පුළුවන් නම් මුත්‍රා එක්ක එළියට යනව කැල්සියම් ප්‍රමාණය වැඩිකරන්න “ කියල . දැන් මේ සංකීර්ණ ක්‍රිියාදාමය වෙත්දි , ක්‍රමයෙන් ලේවල කැල්සියම් නැවතත් “ඕන කරන level එකට“ එනවා . දැන් මොළය  ආයෙත් කෝල් එකක් දෙනවා තයිරොයිඩයට , “හා දැන් ඔක්කොම හරි වගේ , කැල්සිටොනින්ට වැඩ අඩු කරන්න “ කියලා. ඊට පස්සෙ කැල්සිටොනින් “ටිකක් “ Relax“ වෙලා ඉන්නවා .

සමනලා පිටේ යන Parathyroid ග්‍රන්ථි 
ලේ වල කැල්සියම් ප්‍රමාණය “ඕනවට වඩා අඩු වුනොත්“ මොකද වෙන්නේ ?  එතාකෙට පණිවිඩයක් එනවා , තයිරොයිඩ්ගේ කරේ නැගල ඉන්න , පැරතයිරොයිඩ්ලා හතර දෙනාට , එයාල Parathyroid Hormone (PTH) එක හදලා ලේ වලට දාන එක වැඩි කරනවා . දැන් මේ PTH අර මුලින් , කැල්සිටොනි්න කළ වැඩි වල විරුද්ධ පැත්ත කරනවා . අස්ථි වල ඉන්න ඇට දියකරන්නන්ට කියලා , අස්ථී දිය කරමින් ලේ වලට කැලසියම් ගෙන්වා ගන්න අතරේ , බඩවැල් වලට කියනවා “පුළුවන් තරම් කෑම වල කැල්සියම් උරාගෙන ලේවලට එවන්න“ කියලා එයා විටමන් ඩීත් උදව් කරගෙන එය කරන  අතරේ වකුගඩුත් මුත්‍රාවලට පෙරිලා යන කැල්සියම් ප්‍රමාණය අඩු කරනවා . දැන් මේ සියල්ල අතරේ ක්‍රමයේන ලේවල කැල්සියම් ප්‍රමාණය ක්‍රමයෙන් නැවත යථාතත්වයට පත්වෙනවා. මෙන්න මේ විදියට  “නියමිත ප්‍රමාණයේ“ පවත්වා ගන්නට දේහය දරන උත්සාහය තමයි සමස්ථිතිය , නැත්නම් Homeostasis කියල කියන්නනේ .

දැන් වැඩේ කෙරෙන හැටි දන්න නිසා “ලෙඩේට බහිමු“ ,
අද කතා කරන හයිපර්කැල්සිමියා තත්ත්වය සඳහා ප්‍රධාන හේතුවක් වනේනේ , තයිරොයිඩ් ග්‍රන්ථිය උඩ නැගල ඉන්න “පැරාතයිරොයිඩ් ග්‍රන්ථියෙ“ සිදුවන අසාමාන්‍ය අධික්‍රියාකාරීතවය Hyperparathyroidism . වෛද්‍ය විද්‍යාෙවදි කියන්නේ Hyperparathyroidism හයපර්පැරාකයිරොයිඩිස්ම් නමින් . එවිට , PTH  හෝමෝන ස්‍රාවය වීම වැඩිවීමෙන් , දෙවැනි අවස්ථාවේ කී විදියට ලේ වල කැල්සියම් ප්‍රමාණය වැඩි කරනවා , සාමාන්‍ය මට්ටමට වඩා ඉහළට වැඩි කරනවා . එතැනදි තමයි මෙය “රෝග තත්ත්වයක් “ විදියට විවිධ ලක්ෂණ පෙන්වන්නට පටන් ගන්නේ.

මේ කී හේතුවට අමතරව විවිධ තයිරෝඩයිඩ් ග්‍රන්ථීයේ රෝග තත්ත්ව සහ පිළිකාවල බලපෑම් නිසා ( උදාහරණයක් විදියට මල්ටිපල් මයලෝමා - මේ ගැන දැන ගන්නට 55 වන ලිපිය කියවන්න http://www.nursinglk.com/2011/09/55.html) වගේම , වකුගඩු වල ඇති වන අසාමාන්‍යතාත් හේතු වන්නට පුළුවන්. තව දුරටත් කීවොත් , අප ගන්නා සමහර ඖෂධ වල බලපෑම නිසාත් , හයපර් කැල්සීමියා තත්ත්වය ඇති වන්නට පුළුවන් වුනත් , එය පාලනය කළ හැකි මට්ටමෙ නම් ලොකු කරදරයක් නැහැ. නමුත් දිගු කාළීනව එකතැන් වීම , නැත්නම් චලනයන් හුඟක්ම සීමා වන තත්ත්ව වලදීත්  අස්ථි වල තියෙන කැල්සියම් , ලේ වලට වැඩි පුර එකතු  වෙන්නට පටන් ගන්නවා . තවත් හේතු ගණනාවක් තිබෙන (උදාහරණයක් විදියට ආවේණිකය එන තත්ත්ව) නමුත් අපෙ කතාවේ හැටියට මේ ප්‍රමාණවත් මට හිතෙන්නෙ .

කොහොම හරි ලේ වල කැල්සියම් වැඩි වෙලා , මේ තත්ත්වයට පත්වුනොත් දකින්නට , දැනෙන්නට ලැබෙන ලක්ෂණ මොනවද කියල දැන බලමු,

බොහො දෙනෙක්ට මතු වන ප්‍රධාන ලක්ෂණ තමයි , හේතුවක් කියා ගන්න බැරිව කලක් තිස්සේ  ඇඟ පත රැදාව , වෙනද වගේ වැඩ කරන්න බැරි  මහන්සි අතපය රිදෙන තත්ත්වයන් , ඒ එක්කම කන්න බොන්න වෙනද වගේ පිරියක් නැහැ , හැමි තිස්සෙම නිකං වමනෙට එන්න වගේ ඔය  එක්කම ඔළුව කැක්කුමයි  හිතටත් හරිම නොතේරෙන කළකිරීමක් , එපා වෙලා වගේ දැනෙනවා කළක් තිස්සෙම . හැම තිස්සේම හරිම පිපාසයයි , වතුර නම් බොන්න පුළුවන් ඕන තරම් . හැබැයි ඉතින් ඒ එක්ක මුත්‍රා කරන වාර ගනන වෙනදට වඩා වැඩිවෙනවා , රෑටත් වරින් වර මුත්‍රා කරන්නට යන්න ඕන ( හරියට දියවැඩියාව හැදිල වගේ) . ටිකක් වියපත් කෙනෙක්නම් දැන් ටිකක් “මිටිවෙනවා ,නැත්නම් කුදු ගැහෙනව වගේ“ දැනෙන්නත් පුළුවන් . මෙ කවුරුත් පොඩි අනතුරකදි වුනත් අස්ථී පහසුවෙන්ම බිඳිල යන්න තියෙන අවදානමත් හුඟක් වැඩියි. මේ කියාගෙන ගියේ හුඟක්ම පොදු ලක්ෂණ ටිකක්.

ඇත්තම ප්‍රශ්නේ තියෙන්නෙ මේ රෝග ලක්ෂණ වලට වඩා , පසුව ඇති වන සංකූල වල , ඒ කියන්නේ මෙම තත්ත්වයට නිසා ප්‍රතිකාර නොකොට , රෝග තත්ත්වය පාළනය නොකර කාළයක් හිටියොත් මීට වඩා වේදනාකාරී ගැටළු රැසකට මුහුණ දෙන්න පුළුවන්. ඒ අතරේ කාළීනව පවතින ආමාශයික / ග්‍රහණීයේ ඇති වන වණ , තුවාල Peptic ulcers , ඉතාමත් වේදනාකාරී අග්න්‍යාශ ප්‍රදාහය , ඔස්ටියොපොරෝසිස් , වකුගඩු වල ,වරින් වර ගල් ඇති වීම වගේම අධීරුධීර පීඩනයත් වෙනවා.

මෙන්න මේ නිසා  , පවුලේ අයෙකුට මෙම රෝග තත්ත්වය පවතිනවානම් , ඔබටත් පොඩි අවදානමක් තිබෙන නිසා ( බෝවන්නෙ නැහැ බය වෙන්න එපා ,ඒත් ජානමය වශයෙන් , ලේ නෑකම ඔස්සේ එන්න පුළුවන්_) ඔබෙ වෛද්‍යවරයා හමුව මේ ගැන කතා කරන එක ,අවශ්‍ය පරික්ෂණ කරගන්න එක වැදගත්. ඔබට මේ ලක්ෂණ කිහිපයක් ඇත්නම් , ඒ වගේම වෙනත් අවදානම් සාධක ඇත්නම් ( ආවේණිකව ඇති වීමේ අවදානම සහ විශේෂයෙන්ම කාන්තාවක් නම්  අවුරුදු 50ට වැඩි , ආර්තවාභාවයට පසුව) කල්පහුනොකර ඔෆ්බ වෛද්‍යවරයා හමුවීම ඉතා වැදගත් . මේ රෝග ලක්ෂණ බොහොමයක් ,අපි වැඩිය ගනන් නොගන්න ඒවා වුනත් , නොසලකාහරින එක තවත් කරදරයකට මුල වෙන්නට පුළුවන්. ඒ නිසා සරළ රුධීර පරික්ෂණ කිහිපයකින් මේ සැකය හැර ගන්නට පුළුවන් වේවි ඔබට .

බොහෝ අවස්ථාවකදි ඔබෙ රෝග ලක්ෂණ , සාමාන්‍ය දේහ පරික්ෂාව සහ රැධීර පරික්ෂණ කිහිපයකින් තත්ත්වය හදුනාගන්නට පුළුවන් වුනත් , X-Ray , CT /MRI , Bone Scan වගේම වෙනත් පරික්ෂණ කිහිපයකට මුහුණ දෙන්නට වුනත් ඉඩක් තිබෙනවා. ඒ මෙ රෝග තත්ත්වයට හේතුවන සාධකය හරියටම හඳුනගන්නට.

නිවැරදිව රෝග තත්තවය හඳුනාගත්තට පස්සේ ගැටළුවට අනුව ඖෂධීය හෝ ශල්‍යකර්මයක් මඟින් කරදරකාර පැරතයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමක් කර රෝග තත්ත්වය සුව කරන්න හෝ තව දුරටත් ගැටළු අවම වන විදියට පාළනය කරන්නට පුළුවන් වේවි.

මේ සියල්ල කෙසේ වුනත් රැධිර පරික්ෂණ වල  එක තැනක සැලකිල්ලෙන් විමසා බලන්නට අවශ්‍ය තැනක් තිබෙනවා ,ඒ තමයි මෙ රැධීර සාමාන්‍ය කැල්සියම් ප්‍රමාණය වයසත් එක්ක අඩු විැඩි වන නිසා , තරුණ වියේ පවතින “සාමාන්‍ය මට්ටම“ , අවුරුදු 60-70ක කෙනෙක්ට “ආසාමාන්‍ය “ වෙනවා. නමුත් සමහර වෛද්‍ය පර්යේෂණාගාර වල   රිපෝට් එක තුල , සැසැඳීම කරන්නෙ “පොදු අගයකට“ නිසා , Normal කියල තිබුණත් , එය වයසට අදාලව නැවත විමසීම වැදගත් , වෛද්‍යවරයා මෙ පිළීබඳව දැනුවත් වුනත් , පරිකෂණ වාර්තා මතම රැඳී සිටින කෙනෙකුට මේ වෙනසත් Normal ලෙසින් දැකිම නිසා නිවැරදිව “පවතින රෝග තත්ත්වය “ නොහදුනාගන්නටත් පුළුවන්. මේ සිදුවීම අපෙ රටේ විතරක් නොවෙයි ලොව පුරාම විය හැකි දෙයක් නිසා දැන සිටීම වැදගත්.

මට හිතෙන විදියට හයපර්කැල්සීමියා තත්ත්වය පිළිබඳව දැන ගත යුතු මූලික කරුණු කාරණා අප කතා කළා. ඒ නිසා අදට මේ විදියට ලිපිය නිමා කරන්නයි උත්සාහය.

දින කිහිපයකට පසුව , මගේ මිත්‍රයා ගැන දැන ගන්න ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුවත් ප්‍රතිචාරයක් ලැබෙුණ් නැහැ , රෝහල ඇමතුවාම දැන ගන්නට ලැබුණ් ශල්‍යකර්මයට පසුව ඔහු නිවසට ගිය බව . මම හිතන්නෙ තවම ඔහු විවේක සුවයෙන් ඇති කියල . ඔහුට ඉක්මණ් සුව පතන අතරේ නැවතත් ඉක්මණීන් මුහුණූ පොත හරහා ‘‘ගලා‘‘ ව ආයෙත් මුණ ගැහෙන්නට අපේක්ෂාවෙන ඉන්නවා.විවේකයෙන් ඉන්න මොහොතේ මේ ලිපිය කියෙව්වා නම් මා සමඟ අමනාප නොවන වග දන්නවා මාතෘකාවට අනුව , මක් නිසාද ඔබ අද ලොවට , දරුවන් දහස් ගණනකට අනාගතය පාදා දෙන තවත් “මා දන්නා සුන්දර මිනිසෙක් නිසා“

පහුගිය සතිය තුල ටිකක් කාර්ය බහුල වුන නිසා අළුත් පෝස්ට්  එක් කරන්න වුනේ නැහැ , ඒ පිළිබඳව සමාවන්න . උත්සාහ කරනවා හැම විටෙකම අළුත් ලිපියකින් “සොඳුරු සුව  අසපුව“ පුරවන්නට.

ඔබ  එන්න ...ඔබ ඇවිත් යන්න එන්න !
සුව සතුට පිරි දිනයක් ඔබට !

10 comments:

  1. ආකර්ශනීය හෙඩිම . මේ වගේ ට්‍රික්ස් සුව අධ්‍යාපනයේදී අවශ්යයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීමේදි ඇති අපහසුතා ඔබත් වෘත්තීය අත්දැකීමෙන්ම දන්නවා නොවැ . සතුටක් ඔබේ පැමිණීම .

      Delete
  2. අනේ අප්පේ මේ අපේ සරීර කූඩුව මොන තරම් ලෙඩ ගොඩක්ද කියලා හිතුනා.

    හොඳ දැනුමක් ලබාගත්තා. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි විචාරක මහත්මයා ,

      Delete
  3. හොද පැහැදිලි කිරීමක් .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි !

      Delete
  4. හෝමෝන වලින් යමක් වෙනවත් එක්කම ශරීරයේ අනෙක් පද්ධතිත් ඒ සමගම ක්‍රියාත්මක වෙනවයි කියල දැනගෙන හිටියෙ නෑ.
    ලෙඩේ ගැන හොඳ විස්තරයක් තියෙනව.
    ස්තුතියි දැනුවත් කිරීමට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න හැමදාමත් වගේ මේ පැත්තට ඇවිත් දිරි ගැන්වීමක් කරනවාට .

      Delete
  5. මහේෂ්..වෙරි සූරී වෙන්නොනේ. මට මේක මිස් වෙලානේ ..
    ----------------------------------

    ලෙඩේ තත්වේ බොහොම පැහැදිලිව තේරෙන විදියට ලියලා තියෙන එක බොහොම අගය කරනවා..
    මට මෙතන ප්‍රශ්නෙකට තියෙන්නේ රාගම රෝහලේ වෛද්යවරු කිව්වේ කැල්සියම් ප්‍රතිශතය ටිකක් වැඩියි. එක අගේ ලේ වල ස්වභාවය. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එත් කැල්සියම් බහුල ආහාර( හාල්මැස්සන් වගේ) ගන්න එක ඉස්සරහට අඩුකරන්න කියලා.
    එත් ඔබේ ලිපියට අනුව මට තෙර්න්නේ මේක ඉවත්කර ගන්න ඕනා සුව කර ගන්න ඕනා රෝග තත්ත්වයක් කියලයි.
    කෑමෙන් ඔය කියන විදියට තත්ත්වේ පාලනය කරන්න පුල්වුඅන් කමක් තියෙනවා ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , මෙහෙමයි සාමාන්‍යෙයන් සිදුවන්නෙ , ආහාරයේ කැල්සියම් වැඩි වෙලා ලේ වලට කැල්සියම් වැඩි පුර එන්න ගත්තොත් , ඒ වැඩි පුර ආ ටික ලේ වලින් ඉවත් කරල නැවත සාමාන්‍ය මට්ටමට ගන්න එකත්  , අඩු වීමෙදි ඊට පරස්පර ආකාරයෙක් ක්‍රියාත්මක වී නැවත ලේ වල කැල්සියම් මට්ටම නියමිත ප්‍රමාණයට ගන්න එකත් . වඩාත් වැදගත් වන්නේ මෙලෙස ලේ වල කැල්සියම් වැඩිවන්නට හේතුවන සාධකය සොයා ඊට නිසි පිළියම් යෙදීමයි. නමුත් විස්තර කර ඇති ආකාරයට , කැල්සියම් ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමකට වැඩි වීමක් නැතිව ඇති. ඒ වගේම ලබා දී ඇති වෛද්‍ය උපදෙසට පෙර තවත් සාධක ගණනාවක් සළකා බලන නිසා මේ උපදෙස පිළීබඳ ගැටළුවක් ඇත්නම් , තත්ත්වය දිගින් දිගටම පවතිනවා නම් වඩාත් සුදුසු විශේෂඥ වෛද්‍ය උපදෙසකට යොමු වීම ( Second opinion) වඩාත් සුදුසුයි කියල කියන්නට පුළුවන් .
      ස්තුතියි නැවතත් ඔබට

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)