2015/11/17

179) කොන අල්ලා ඇදටම යන - කටට මිසක අතට නොරිසි අකුරු අමුත්තෝ

මාතෘකාව කියවපු ගමන් නිකං අන්දමන්ද වෙලා වගේ මේ බ්ලොග් එකට ඇතුළු වුනා නම් , මේ ටික කියන්නම එපායැ තව දුර යන්න ඉස්සෙල්ලා.

මේ ‍‘‘සොඳුරු සුව අසපුව“ , තවත්  එක් සිංහල බ්ලොග් සටහනක් , මාතෘකාවේ මොනවා තිබුණත් කතා කරන්නෙ ප්‍රධානවම ලෙඩ රෝග , හඳුනගන්න විදිය , වලක්ව ගන්න විදිය , තව ...බොහොම හදිසියෙන් මෙ දවස් වල සමාජයේ කතාබහ වල මාතෘකා ගැන වගේම ජීවිතේට වැදගත් සමහර වෙනත් දේවලු මේ පිටුව ඇතුළෙ කතා කරනවා . හැබැයි ඉතින් කෙනෙකුට මේ ලිපි “ෆන්“ නැති වෙන්න පුළුවන් . ඒත් සුවෙන් සතුටින් ඉඳිත්දි වැඩිය කතා කරන්න අකමැති “තිත්ත“ දේවල් ගැන තමයි මේ අයිසිං , සීනි , පැණි එක් කරමින් කතා කරන්නට උත්සාහ කරන්නෙ ( ඒ නිසාම මේ ලිපි ටිකක් දිගයි , මොකද දැන ගත යුතු දේ තේරුම් ගන්නට පුළුවන් තරමට විස්තර කරන්නට වන නිසා)  . ඒ උත්සාහය  කොතරම් සාර්ථකද කියන එක දැනෙන්නේ ඔබෙන් ලැබෙන අදහස් ,යෝජනා සහ චෝදනා ඔස්සේමයි.



එහෙම නම් අද කතාව , ඔබ සොඳුරු සුව අසපුවත් එක්ක දිගටම රැඳනු කෙනෙක් නම් දන්නවා අප පසු ගිය ලිපි කිහිපයක් ඔස්සෙ “විශේෂ අධ්‍යාපන නොහැකියාවන් “ පිළිබඳව ( තේරෙන “සිංහලෙන් “ කිව්වොත් පොඩි එකෙකුට ඉගෙන ගන්න එක අමාරු කරන විවිධ ලෙඩ රෝග  ගැන)  කතා කරමින් ඉන්න බව.

ඒ ඔස්සේ කතා කළ යුතු D 4ක් ගැන ඔබට මතක ඇති ,

  1. ඩිස්ලෙක්සියා (74 වන ලිපිය) 
  2. ඩිස්ප්‍රැක්සියා (175 වන ලිපිය) 
  3. ඩිස්කැල්ක්‍යුලියා (177 වන ලිපිය)
  4. ඩිස්ග්‍රැෆියා 
මුල් අවස්ථා තුන ගැනම කතා කරල ඉවර නිසා අද කතා කරන්නේ අන්තිම “ඩී“ ගැන , ඩිස්ග්‍රැෆියාව Dysgraphia .

මේ අහංගම , ඔය කඳු වැටිය එහා පුදුම සුන්දර ලෝකයක් එදා 
ඔබට මතකද ඔබ පුංචි කාළේ අකුරු ලියන්න පටන් ගත් හැටි, මටනම් මතකයි , මගේ ප්‍රාථමික පාසල වුනේ අහංගම ශ්‍රී ධර්මාරාම කණීෂ්ඨ පාසල , ඒ දවස් වල තිබුණේ මූහුද අද්දරම , එයිනුත් අපේ හෝඩියේ පන්තිය තිබුණේ කෙළවරේම , වාරකං කාළෙට මුහුදෙ රැල වල සැර වැඩි වුනාම ගොඩට එන රැළිති අපේ හෝඩියේ පන්ති කාමරේටත් එබිකම් කළා තාම මතකයි , (අවාසනාවට 2004 සුනාමිියෙදි අපේ පාසල මුළු මනින්ම සමතලා වෙලා ගියා තිබුණු තැනක් පවා නොදකින විදියට ) . 

ඔය පන්තියේ කෙළවරක තිබුණූ “වැලි පිහිල්ලෙ“ ගුණවතී මිස් බොහොම ආදරෙන් ලියන අකුරු දිහා බලාගෙන ඒ උඩම ලියමින් හැඩ කරමින් තමයි මගේ මේ ගමන ඇරඹෙන්නෙ , ඊට පස්සෙ “සතියකට සැරයක්“ කඩා ගන්න “ගල් ලෑල්ලේ කිරි කිරි ගාමින් “ අකුරු ලියන්නටත් අපට වාසනාව ලැබුණා. මේ විදියට අකුරු ලියන්න පටන් ගන්න අපට ඊළඟට කියා දුන්නේ කොලේක වමේ ඉඳන් දකුණට ලියන හැටි , ඊළඟට වචන අතර හිදැස් තියන හැටි , තව ටිකක් ලොකු වුනාම ඡේද වෙන් කරලා ලියන හැටි , ඔය වගේ පියවරෙන් පියවර තමයි මෙ අකුරු රටාවන් අපට හුරුවන්නෙ . 

නමුත් අද මේ කතා කරන්න හදන ගැටළු වෙන් පෙළෙන දරුවාට මේ කිව්ව විදියට අකුරු ලියන්න අමාරුයි , ඒ කියන්නෙ අකුරු වල හැඩය  ගැන කිසිම හැඟීමක් නැහැ , වමේ ඉඳල දකුණට ලියන්න ඕන එක මේ දරුව යට ඉඳන් උඩට ලියාවි , අකුරක් ලොකුයි , අනෙක කූඹීයෙක් වගේ කිසි පිළිවෙලක් නැහැ , පැන්සල අල්ලන්නෙත් හරියට මහ බර යකඩ කූරක් අල්ලන තරමේ මහන්සියෙන් , ඒ අල්ලන්නෙත් “කොනෙන්“ , පැන්සලේ කොණෙන් අල්ලගෙන අත විතරක් නොවෙයි මුළු ඇඟම එහේ මෙහේ හරිවමින් තමයි ලියන දෙයක් ලියන්නේ , පුටුවේ හිටියත් පස්ස උඩ . මේ කොයි තරම් මහන්සි වුනත් ලියල ඉවර වුනාම වචන අතර පරතරයන් කිසිම පිළීවෙලක් නැහැ.  ලොකු පන්තියට ගියත් තවමත් අකුරු හෝඩියේ පන්තියේ වගේ . පාඩම කියල දෙත්දි බොහොම උනන්දුවෙන් ඉන්න , ප්‍රශ්න අහන  දක්ෂ දරුවා , පාඩම ගැන ගියන්න කීව ගමන් සම්පුර්ණයෙන් වෙනස් , ටිකක් තරහත් යනවා , මොකද දරුවට ලියා ගන්න බැහැ , පන්තියේ මිස් කළුලෑල්ලේ ලිව්වට පොඩි එකාට ඒ ටික පොතේ ලියා ගන්න එක “ලොකු යුද්දයක් වගේ“ . ගෙදර වැඩ කරගෙන එන්න කියල පන්තියේ මිස් බෝඩ් එකේ ලියපු සටහන පොඩි එකා පොතට අරගෙන තියෙන්නේ වැරදියට , ඉතින් ගෙදර ආ වෙලාවේ ඉඳළ හෙට ඉස්කෝලෙට කරගෙන එන්න කීව වැඩ මොනවද කියන තවත් යාළු අම්මලගෙන් අහන එක තමයි බබලයි අම්මගේ වැඩේ  , මොකද හැමදාම බබා ලියා ගෙන එන්නෙ වැරදියට .

මේ කියාගෙන ගියේ ‘‘ඩිස්ග්‍රැෆියා“ තත්ත්වයෙන් පෙළෙන පාසල් වයසේ දරුවෙක් ප්‍රධානව පෙන්වන ලක්ෂණ අතරින් කිහිපයක් . කෙසේ වෙතත් මේ ගැටළුවට නිසි ලෙස හඳුනගන්නට ටිකක් කල් ගත වෙනවා , සාමාන්‍යෙයන් දරුවා ප්‍රාථමික පාසල් වයසේ , දෙකේ තුනේ පන්තියට යනතුරු (සමහර විට පහ හය වගේ පන්තිවලට යනතුරුම) හරියටම මෙය “අසාමාන්‍යතාවයක්“ කියල හඳුනගන්න අමාරු වුනත් , නිසි විශේෂඥ දැනුම ඇත්තන් සහ අවශ්‍ය තාක්ෂණික උපකරණ ඇත්නම් අවුරුදු පහ , හය වගේ කාළයේදිම හඳුනාගෙන නිසි “නිවැරදි කිරීමේ  පිළිවෙත්“ වලට යොමු කරවන්නට පුළුවන්. මේ හඳුනාගැනීමට අදාලව මූලික සැකය මතු කරගන්නට සුදුස්සා දරුවගේ පන්තියේ ගුරුතුමිය හෝ ගුරුතුමා හෝ දැනුවත් දෙමාපියන් . එතැනින් පසුව තමයි එය Dysgraphia තත්ත්වයමදැයි තහවුරු කරගන්නට Child Psychologist  හෝ Educational Psychologist (මේ දෙවන කණ්ඩායම ලංකාවේ සිටිනවාදැයි නොදනිතත් , ළමා මනෝ විද්‍යාඥයින් රෝහල් වල සිටින බව දන්නවා) . ඊට පස්සේ සිදුවිය යුතු නිවැරදි දේ තමයි “විශේෂ අධ්‍යාපන විශේෂඥ ගුරුවරයෙක් “ මඟින් දරුවාගේ ගැටළුට අදාලව ගත යුතු ඊළඟ පියවරයන් පිළීබඳව සාක්ච්ඡා කිරීම. ඒ විදියට නිසි ප්‍රතිකාර , වෙනස්කිරීම් කළොත් කළක් යත්දි දරුවගේ “ලිවීමේ අපහසුතාව“ සෑහෙන දුරකට මගහරවා ගන්නට පුළුවන් වේවි.

“මුහුදුබඩ දුම්රිය“ වගේ එක දිගට කියාගෙන ගියාට මේ ඩිස්ග්‍රැෆියා දරුවන් පෙන්වන තවත් වැදගත් ලක්ෂණ රැසක් තිබෙනවා , අපි එයින් තවත් කිහිපයක් කෙටියෙන් කතා කරමු , මොකද ගැටළුව හඳුනාගැනීමට මේ ලක්ෂණ හුඟක්ම උපකාර වන නිසා.
  1. මුලින් කීව වගේම අකුරු වල හැඩය , රවුම් කරන්න ඕන තැන්, ගැට දාන්න ඕන තැන් ගැන කිසිම සැලකීමක් නැහැ , පේලියකට ලියන්න නම් කොහෙත්ම බැහැ , පේලියක් ලිව්වොත් ඒක දෙවුන්දරින් පටන් අරන් පේදුරුතුඩුවෙන් ඉවර වෙන්න තමයි ලියන්නෙ .
  2. අකුරු අතර , වචන අතර තියෙන පරතරයන් ගැන අදහසක් නැහැ  , මඩුවේ පොල් අඩුක්කරල වගේ එක ගොඩේ අකුරු ලියන්නෙ .
  3. ටිකක් ලොකු පන්ති වලදි කියල දෙන ඇල පිළි පාපිළි , කොමාවන් , තිත් මේව ගැන කිසිම සැළකිල්ලක් නැහැ වගේ.
  4. පැන්සල අල්ලන්නෙ මහ බර යකඩ කූරක් අල්ලනව වගේ ඇඟීළි හුඟක් තද කරලා , ඒ නිසාම දරුවට ටික වෙලාවක් යත්දි හරිම මහන්සියි , 
  5. මෙහෙම පැන්සල අල්ලන මේ දරුව යමක් ලියත්දි පුටුවක වාඩිවෙලා නම් ඉන්නේ නැහැ , නැගිටල මේසෙට පපුව තියාගෙන , නැත්නම් ඔළුව ඇද කරමින් කඩදාසිය උඩ කරකැවෙමින් තමයි අකුරු ටික ලියන්නෙත්
  6. ඔය ලියන අතරෙත් සැරින් සැරේට පැන්සල , පෑන බිම වැටෙනවා , සමහර වෙලාවට ඇඟිලිතුඩු වේවලනව වගේ ,  කතුරකින් මලක් , රවුමක් කපන්න ගියොත් කැපෙන්නෙ වෙන දෙයක් .
  7. ලේසි මාතෘකාවක් ගැන වුනත් රචනාවක් ලියන්න ගියොත් , හරිම අමාරුයි වචන ගලපගන්න , හැබැයි ඒ මාතෘකාව ගැනම පැය ගණනක් කතා කරන්න නම් පුළුවන් . ලියන්න ඕන දේ අකුරට හරව ගන්න වැඩි වෙලාවක් යනවා.
  8. ලියන්න ගත්තත් ඒ වෙලාවෙ පටන් මකන එකමයි වැඩේ , ටික  වෙලාවක් ගියාම ලිව්වට වැඩිය මකලම මහන්සියි , ඒ වගේම දුකයි , තරහයි , අන්තිමට හරිම කළකිරීමකින් තමයි ඉන්නෙ.
මේ තත්ත්වය ඇති වන්නට හේතුවන්නෙ මොළයේ වචන-අකුරු බවට හරවන සංකීරිණ ක්‍රියාවලියේ සිදුවන යම් බිඳවැටීමක් කියලයි මේ පිළිබඳ පර්යේෂණ කරන්නන් පවසන්නෙ. මෙහෙම වෙන්න හේතුව මේකමයි කියල “ටක්කෙටම“ කියන්න බැරි වුනත් තවම ජානමය වශයෙන් පරම්පරාවෙන් එන්නට පුළුවන් කියන එකයි දැනට පිළීගැනීම.

අත පොතේ හිත නැතේ 
මෙවන් තත්ත්වයේන පෙළෙන දරුවෙක් නැවත යථා තත්ත්වයට ( හැකිතරමින්) ගන්නට දෙමාපියන්ට ගුරුවරුන්ට ලොකු වගකීමක් තිබෙනවා . මෙ දරුවගේ ඇගිළි තුඩු වලින් කෙරෙන සියුම් චාලක හැකියාවන් වර්ධනය කරන ක්‍රීඩා ඔස්සේ( මේ ගැන පෙර ලිපියක කතා කළා)  , ක්‍රමයෙන් අතට ,පැන්සල පෑන නිවැරදිව හුරු කරමින් , ඒ සඳහා දරුවාට කල් දෙමින් ටිකෙන් ටික අකුරු රටාව , ලියන ආකාරය නිවැරදි කරගන්නට උත්සාහ කරන්නට පුළුවන් . ලොකු රූල් තිබෙන කඩදාසි  , ප්‍රස්තාර කොළ , ටිකක් කඳ මහත පැන්සල් හෝ පෑන් එහෙම නැත්නම් කෙළවර අතට අසුවන රබර්මය ආවරණයක්  සහිත පෑන් පැන්සල් වලට මේ දරුවන් ප්‍රියයි  , මොකද එය රඳවා ගන්නට පහසු නිසා , එවන් පහසුකම් සළසා දෙමින් ක්‍රමක්‍රමයෙන් දරුවාගේ අකුරු සහ රටාව නිවැරදි කරගන්නට පුළුව්න වේවි.

නමුත් , හිතේ තිබෙන දේ අකුරින් ලියාගන්නට අවශ්‍ය මානසික ක්‍රියාවලිය නිවැරදි කරගන්න ඊට වඩා කළක් යාවි , එතැනදි දරුවා රිසි මාතෘකා ඔස්සේ කියවීමත් ලියවීමත් හරිම වැදගත් , ඒ වගේම ලියන්නට පෙළඹවීමෙදි සාමාන්‍ය දරුවෙක්ට වඩා වැඩි කාළයක් මේ දරුවට ලබා දීම විශේෂයෙන්ම ගුරුවරුන් වගබලා ගන්නට ඕන . 
හැබැයි වැඩිහිටි දරුවෙක්ට ( ඒකිව්වෙ හයේ හතේ විතර ඉන්න )  POWER කියන වචනය ඔස්සෙ එන උපදෙස් මාලාව මඟින් තමන්ගෙ ගැටළුවට සෑහෙන විසඳුමක් සොයා ගන්නට උදව් ඇතිව එයාටම පුළුවන් වේවි. 

මොකක්ද මේ පවර් ? 
  • Plan your paper  ඔබ ලියන්නට හදන කඩදාසිය , එහි පිහිටීම , එය සමඟ ඔබේ අත  දේහය පැන්සල පිහිටන විදිය ටිකක් හිතල සැලසුම් කරගන්න
  • Oraganize your thought and ideas ඔබේ හිතේ තිබෙන අදහස්  සංවිධානය කරගන්න , පොඩි රූප ටිකකින් , පිංතුරයකින් , පුළුවන් නම් කෙටි වචන කිහිපයකින් 
  • Write your draft  දැන් ඔබේ අදහස් කටු සටහනක් ලෙස ලියා ගන්න
  • Edit it . ඔබ සටහන ලියල ඉවරයිනේ දැන් එහි අඩුපාඩු ටික නිවැරදි කරන්න , අළුතින් එක් කළයුතු දේ එකතු කරන්න .
  • Revise your draft  සියල්ල අවසානයේ නැවත කියවා අඩුපාඩු ඇත්දැයි සොයා බලා , සම්පුර්ණ කළ ලිපිය , රචනය  අවශ්‍ය ස්ථානයට යොමු කරන්න 

අද නවීන තාක්ෂණය එක්ක අළුත් පරිගණක උපාංග මෘදුකාංග මෙවන් දරුවන්ට උපකාර කරගන්නට පුළුවන් . එවන් මෙවලන් කිහිපයක් ගැන මෙතැනින් දැන ගන්නට පුළුවන් . අපේ සිංහල අකුරු ලියවීමට අදාලව මේ උපාංග කෙතර්ම උපකාර වේද මම නොදනිතත්  , ඉංගිරිසියෙන් ලියන්න පුළුවන් දරුවෙක් නම් එයාට “වැල් අකුරු“ පුරුදු කළොත් මෙම තත්ත්වයෙන් ඉක්මණින් ගැලවෙන්න (යම් තරමකටවත්) පුළුවන් බව හඳුනාගෙන තිබෙනවා. මක් නිසාද එහිදි දරුවට නැවත නැවත පැන්සල කඩදාසිය මත තබන්නටත් , පරතර ගැන හිතන්නටත් මනස වෙහෙස කරවන්නට ඕනෑ නැති නිසා.

ගැහුව නේද ?
මෙවන් දරුවෙක් කොයිතරම් විඳවීමක් සිතින් විඳිනවද කියල කියන්න පුංචි උදාහරණයන් දෙනවා මෙන්න මෙහෙම , ඔබ රිය පදවනවා නම් ඔබට මතකද මුලින්ම රිය පදවන්නට පුරුදු වුනු දවස් , අර කෙළින්ම ඈත බලාගෙන , හැරෙන්නෙවත් නැතිව , මතක තියාගෙන පිළීවෙලට සිග්නල් දාල , දුර බලල හිමීට බ්‍රේක් පාගල යන්න පටන්ගත්තු දවස් , හැබැයි සති දෙක තුනක් ගියාට පස්සෙ අපි බොහොම නිදහසේ රියපදවගෙන යනවා , අපි අර තරම් ගැඹූරට හිතන්නෙ නැහැ නේද බ්‍රේක් ගහන්න ඕන , දුර , ගියර් මාරු කරන්න ඕන වෙලාවට , සිග්නල් දාන හැටි වංගුවක් ගනිත්දි වේගය අඩු කරන හැටි , හේතුව අර මුල් දවස් වල වන පුහුණුව අපේ මොළයට ඇතුළු වුනාට පස්සෙ පුරුද්දක් විදියට “ඉබේම“ අවශ්‍ය දේ සිදුවෙනවා. සාමාන්‍ය දරුවන් අන්න ඒ වගේ , පොඩි කාළේ අකුරු පුරුදු කළාට , හිතට එනදේ නිදහසේ ලියාගෙන යන්න පුළුවන්. නමුත් මෙ ඩිස්ග්‍රැෆියා දරුවන් හරියට හැමදාමත් අර ඩ්‍රයිවින් පුරුදු වෙන කාළේ වගේ , ලියන්න පටන් ගත්ත වෙලේ ඉඳළ ගොඩක් හිතන්න ඕන , පැන්සල අල්ලන තැන , කඩදාසිය උඩ තියන තැන , ලියන්න ඕන කරන අකුරේ හැඩය (එකපාරට මතකෙට එන්නෙ නැහැ) , ලියපු අකුරට පස්සෙ ඊළඟට එන අකුර , හිස් තැන් ...... මේ වගේ සියළුම සේ එකින් එක මතක් කරමින් ලොකු ආයාසයකින් තමයි වාක්‍යයක් සම්පුර්ණ කරගන්නෙ .

දැන් මෙ එක ලක්ෂණයක් ඔබේ දරුවට තිබෙනව දැක්ක පමණින් කළබල වෙලා ලොකු යුද්දයක් කරන්න එපා , වෙනස්කම් කීපයක් දැක්කොත් ටිකක් සැලකිල්ලෙන් බලන්න , දරුවට වෙන ප්‍රශ්නයක් නිසා වෙන්නත් පුළුවන් නේ . පොත් ටික බලන්න , එයා ලියන කියන දේ දිහා වෙනදට වඩා සැළකිල්ලෙන් ඉන්න , ඊළඟට පාසලේ අදාල ගුරුවරුන් සමඟ කතාබහ කරල බලන්න . ඊට පස්සේ ඔබට පුළුවන් කළ යුතු දේ කුමක් දැයි තීරණය කරන්නට.

එහෙම නම් මෙ ලිපියෙන් අද අවසාන කරන්නෙ “විශේෂ අධ්‍යාපන නොහැකියාවන්“ පිළිබඳ කතා කළ ලිපි මාලාව . එසේනම් අදට සමුගන්නම් නැවත හමුවන අපේක්ෂාවෙන් , සුව සතුට පිරි දිනයක් ඔබට !

තවත් දැන ගන්නට 
http://research.haifa.ac.il/~rosens/1.HandwritingEvaluationReading.pdf
http://www.naesp.org/resources/2/Principal/2004/N-D-Web.pdf
http://www.ladyslexia.com/LaBIDA/Fact_Sheet_files/UnderstandingDysgraphia.pdf



17 comments:

  1. Replies
    1. මේ තියෙන්නේ දැං අකුරු , ඔය පයන්නේ උඩ කෑලි දෙක ලියුවේ පස්සේ නැත්තං සිමිපල් වයි වාගේ http://4.bp.blogspot.com/-Ze3L8CPDSXs/VksXyuBYQzI/AAAAAAAADk4/RyDkwK2K-IE/s320/20151117_173037.jpg

      Delete
    2. මේ වගේ අකුරු ප්‍රශ්න අපි හුඟ දෙනෙක්ට තිබෙනවා , තිබුණා , නමුත් එය මේ තත්ත්වයම නෙවෙන්නට ඉඩ බොහොමයි , කෙසේ වුනත් මෙම “විශේෂ අධ්‍යාපන දුබලතා“ , වැනි තත්ත්වයන් පිළිබඳව වැඩිපුර කතා කෙරෙන්නට පටන් ගන්නෙ පසුගිය දශකයේ වගේ සිට , ඊට පෙර මෙවන් දේ “අසාමාන්‍යතා “ ලෙසින් හඳුන්වන්නට යොමුවුනේ නැති තරම් ,
      මේ අකුරු හොඳයි මගේ අකුරු එක්ක බලත්දි :D , ස්තුතියි මිතුර ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන් , ඒ වගේම කළකට පස්සෙ මේ පැත්තේ පැමිණීම වෙනුවෙනුත් .

      Delete
    3. දැ දාන හැම එකම කියවනවා ක‍ෙමෙන්ටි නැති උනාට ,හරිය

      Delete
    4. :D :D හරි හරි :D බොහොම ස්තුතියි මේ පැත්තෙ එනවාට .

      Delete
    5. අටං අයියෙ & මහේෂ් අයියෙ!
      අවංකවම, මගෙ අකුරු නං, දන්න කාලෙ ඉඳලම මීට එහා නෙ!

      Delete
    6. මගෙත් එහෙම තමා ,තවමත් මගේ අකුරු කියවන්න පුළුවන් මටම විතරයි :D ස්තුතියි ඔබට

      Delete
  2. මම අකුරු බෝල කර ගත්තෙ හෙන ගේමක් දීලා. ඊට පස්සෙ මගෙ අකුරු ලස්සනම වුණා යුනිකෝඩ් වලින්..

    ස්තුතියි ලිපියට !

    ReplyDelete
    Replies
    1. මට තාමත් බෝල අකුරු ලියා ගන්න බැරිවුනා😄 කාළයක් තිස්සෙ කළුලෑලි වල වයිට්බෝඩ් වල ලියත්දි අතට පහසුවට හදාගත්ත ක්‍රමයට හුරු වෙලා , අදටත් මම ලියන සිංහල අකරු “මගේම ස්ටයිල් එකක“ 😄
      ස්තුතියි ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන් .

      Delete
  3. මේන් මමත් අත ඉස්සුවා. දැන් මගේ පොඩි හාදයත්, අකුරු ලියනවට වඩා කපනවා, ලියන පොත බ්‍රේල් කරලා වගේ. මේ ගැන වැඩිපුර දැණුවත් වෙන්න උපදෙසක් දෙන්න පුළුවනිද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි පුංචි පැටවු හුඟක් වෙලාවට ලියන දේ මකනවා , ඒක සාමාන්‍යයි , නමුත් දරුවට (වයස අනුව) ලියන අකුරු දිගින් දිගටම වැරදිනම් , අකුරු වල හැඩයන් අමතක වෙනවා නම් , යමක් ලියන්න කිව්වම ටිකක් කළබලවෙනවා නම් , විශේෂයෙන්ම මේ අකුරු ප්‍රශ්නේ නිසා දරුවගේ සාමාන්‍ය පාසල් කටයුතු බිඳවැටෙන තරමේ නම් ටිකක් හොයල බලන එක හොඳයි ,
      අද මෙ පිළිබඳව අළුත්ම දැනුම ගන්නට පුළුවන් පොත පත බොහොමයි , උදාහරණයක් විදියට Dysgraphia: A Parent's Guide to Understanding Dysgraphia and Helping a Dysgraphic ChildOct 30, 2014 | Kindle eBook by Nathan G. Brant මෙය නොමිලේම ගන්නත් පුළුවන් එක්තරා ක්‍රමයකින් . නැතොත් අන්තර්ජාලය පුරා මේ පිළිබඳ විස්තර තිබෙනවා ( නමුත් ඉන් සමහරක ඇත්තේ නියම තොරතුරු නොවේ මක් නිසාද මෙම D4 වෙන් වෙනව නැතිව එක් කාණ්ඩයක් ලෙස විස්තර කරන නිසා)
      එසේ නැතොත් , ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් තවත් තොරතුරු දැන ගන්නට පුළුවන් .
      කෙසේ වෙතත් දරුව ගැන ඇති “අති ආදරය“ නිසා මෙවන් වෙනසක් දුටු පමණින්ම අප කළබල වුවත් , එය සාමාන්‍ය තත්ත්වයක් වන්නට ඇති ඉඩ බොහොමයි . ස්තුතියි ඔබට , ඒ වගේම මතක විදියට ඔබේ පළමු පැමිණිම .

      Delete
  4. මටත් රූල් නැති කොලේක කෙලින් ලියන්නබෑ. ඒත් මගේ අකුරු නම් ගොඩක් ලස්සනයි. මම ගොඩක් උත්සාහ කරලා තියනවා කෙලින් ලියන්න​. ඒත් හරිගියේ නම් නෑ. මගේ පුතාටත් (7 years) ඒ ප්‍රශ්නෙම තියනවා. එයාගෙත් අකුරු ලස්සනයි ඒත් කෙලින් ලියන්න කෙලින් ඉරි ගහන්න එයාටත් බෑ.

    ReplyDelete
    Replies
    1. “රූල් නැති කොලේක කෙලින් ලියන්නබෑ“ කියන කරුණින්ම මෙම තත්ත්වයේ යැයි සිතන්නට බැහැ , විශේෂයෙන්ම දරුවා අකුරු ලස්සනට ලියනවා කියන එකේම තේරුම දරුවට අකුරු වල හැඩතල , පරතර ගැන හොඳ අවබෝධයක් තිබෙනව බව . කෙසේ වෙතත් ලිපියේ කියන තිබෙන ලක්ෂණ වැඩි ප්‍රමාණයක් දකින්නට ඇත්න්ම් , විශේෂ යෙන්ම වෙනස්කම් නිසා දරුවට අධ්‍යාපන කටයුතු පිළිබඳ නොකැමැත්තක් ඇති වන බවක් පෙනෙනවා නම් ටිකක් අවධානයෙන් සිටින එක වටිනවා .

      ස්තුතියි ඔබට

      Delete
  5. honda lipiyak, meka vena paththakin ahanne dimentia arunama vachana amathaka venna barida?

    ReplyDelete
    Replies
    1. ඩිමෙන්ෂීයා හැරෙන්නට , ඇල්සයිමර් තත්ත්වයේදිත් , ඇම්නීසියා අවස්ථාවෙදිත් චවන කතා කරන්නට බැරිව යන්නට පුළුවන් , එයට අමතරව මොළයේ කථන ප්‍රෙද්ශයට සිදුවන විවිධ බලපෑම් නීසා (අනතුරු, අර්බුධ) නිසා කතා කරන්නට බැරි වෙන්නට පුළුවන් . ඒ දරුවන්ට නම් විවිධ මානසික පීඩනයන් නිසාවෙන් Selective Mutism තත්ත්වය නිසාත් කතා කරන්නට බැරිවන්නට පුළුවන් . සමහර මානසික රෝගී අවස්ථා ( සික්සොෆීනියා ඩිප්‍රෙෂන්) දීත් චවන අමතක වීම හෝ වෙනත් හේතුවක් නිසා කතා කරන එක සීමා වන්නට පුළුවන් . ස්තුතිියි ඔබේ විමසුමට

      Delete
  6. මටත් මේ කීපයක් ම දැනටත් තියෙනවා!
    රූල් නැතිව කෙලිං ලියන්න බෑ, එක ලඟ අකුරු එක එක සයිස්, එකම වචනෙක එකම අකුර දෙපාරක් ලිව්වොත් ඒ දෙක එකිනෙකට වෙනස්!!
    රචනා ලියන්න බෑ, විභාග වලදි විස්තරාත්මක පිළිතුරු සපයන්න ඕනි ප්‍රශ්න වලට පවා මගෙ උත්තර බොහොම කෙටියි!
    හැබැයි ඒවා ගැන රස කර කර කියන්න නං පුළුවං ඕනි තරං! (කොටින් ම, මං ලියලා අසමත් වුණු සමහර විභාග, ඒවාට ලියන්න කලිං දවසේ, යාලුවන්ට Revision පවා දීලා තියෙනවා!)

    පැන්සල පෑන අල්ලන්නෙ තුඩ කිට්ටුවෙන්මයි, තදින් අල්ලන නිසා ඇඟිලි වෙහෙසෙනවා. ඇඟිලි 4කින් තමයි මෙච්චර කල් පැන්සල පෑන් ඇල්ලුවෙ, ලඟකදි ඉඳලා තමයි, මතක් වෙන වෙලාවට වත්, හරියට ඇඟිලි 3කින් සැහැල්ලුවට අල්ලන්න පුරුදු වුණේ!

    වචන අතර පරතරය, විරාම ලකුණු, ඉස්පිලි පාපිලි අනං මනං නං එහෙමට වරදින්නෙ නෑ හැබැයි!! යුනිකෝඩ් පිහිටෙං දැං නං ටිකක් ලස්සනට ලියනවා!!

    බලං යනකොට, මං මහ අමුතු එකෙක් නොවැ ආයිබොවං!! නැද්ද මං අහන්නෙ, ඈ!!

    ReplyDelete
    Replies
    1. අපි හුඟක් අයට ටමවන් සමහර ලක්ෂණ තිබෙන්න පුළුවන් වුනත් , ලොකු කරදරයක් ඇති කරන ලක්ෂන නැති එකයි වෙනස.
      ස්තුතියි ඔබට

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)