2015/11/08

177) අට පහ නොදැන කාසියට බය වන පුංචි පැටවු

ඔබ සොඳුරු සුව අසපුවට ගොඩ වදින අයෙක් නම් ඔබට මතක ඇති මීට පෙර ලිපියකින් අප ආරම්භ කළා පෙර පාසල් / පාසල් වයසේ සිටින දරුවෙකු තුලින් හඳුනාගත හැකි , විශේෂිත  අධ්‍යාපන දුබලතා පිළිබඳව. එයින් මූලික අවස්ථා දෙකක් වන ඩිස්ලෙක්සියා සහ ඩිස්ප්‍රැක්සියා කියන තත්ත්ව දෙක ගැන මේ  වන විට කතා බහ කරල අවසානයි. ඔබ අළුතින් මේ  පිටුවට පැමිණියා නම් , ලිපි අංක 74න් ඩිස්ලෙක්සියා ගැනත් , ළඟදි එක්කළ ලිපි අංක 175න් ඩිස්ප්‍රැක්සියා තතත්වය පිළිබඳවත් කියවන්නට , කතා බහේ යෙදෙන්නට හැකි වේවි.

එසේ නම් අද කතාවට මාතෘකාව වෙන්නේ ඊළඟ D එක , එනම් ඩිස්කැල්ක්‍යුලියා Dyscalculia තත්ත්වය පිළිබඳවයි.

පොඩ්ඩ්ක් ඉන්න , දැන් වෙලාව කීයද ? ......

ටිං ටි ට්‍රිං .....වෙලාව දහවල් දොළහයි හතලිස් පහයි , මේ......... ගුවන් විදුලි ....යි . මෙන්න ප්‍රවෘත්ති , ප්‍රකාශය .... විසින්  .
අසූ ගණන් වල මුල ප්‍රවෘත්ති අහපු ,
මුවන්පැලැස්ස , සුගන්ධිකා වැනි නාට්‍ය මනසින් දකින්නට හැකියාව දුන් රේඩියෝව




  • පසුගිය කාළයේ ..... ප්‍රෙද්ශය  පුරා සිදුවූ “පුංචි හොරකම්“ රැසකට වගකිව යුත්තෙ  , ප්‍රෙද්ශයෙ වෙසෙන ඉතා ධනවත් පවුලක දරුවෙක් බව  හඳුනාගනී . සොරකම් කිරීමට කිසිදු හේතුවක් නැති වයස අවුරුදු පහලොවක මෙම දරුවා මෙවන් වරදකට පෙළඹීමට හේතුව සොයා බලන බව ප්‍රෙද්ශයෙ ළමා රක්ෂක බලධාරින් පවසයි .
  • තම බැංකු කාඩ් පත දිගින් දිගටම අක්‍රිය වන බවත් .... බැංකුවේ අකාර්යක්ෂමතාව පිළිබඳව කරුණූ විමසිය යුතු බවත් දක්වමින් රාජ්‍ය බැංකු මධ්‍යස්ථානය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ වයස අවුරුදු දහ අටක තරුණයෙක්ගේ  බැංකු ක්‍රියාකාරකම් අධ්‍යයනය කළ අදාල මුල්‍ය ආයතනය පවසා සිටියේ එම සිදුවීමට අදාලව මුල්‍ය ආයතනයට වගකීමක් නොගත හැකි බවත් , ඔහු එම කාඩ් පත භාවිත කිරීමේ දී ලබා දිය යුතු රහස්‍ය අංකය නිරන්තරයෙන් වැරදි ලෙස භාවිත කිරීමෙන් එම කාඩ් පත තාවකාලිකව අක්‍රිය වන බවත්ය
  • පසුගිය වසරේ රජයේ සිවිල් සේවා සඳහා බඳවා ගැනීමෙ තරඟ විභාගය සඳහා පෙනී සිට  ඉන් අසමත් වූ .......මහත්මිය අප පුවත් සේවයට කියා සිටියේ විභාගයට ඉල්ලුම්පත් යොමු කිරීමේදී “ඉලක්කම් කියවීම සහ ගණනය ‘‘ පිළිබඳව ඇති “ආබාධිත“ තත්ත්වයට අදාලව ප්‍රශ්න පත්‍රේය අකුරු සාමාන්‍යයට වඩා විශාලව මුද්‍රණය කරදෙන ලෙස සහ තවත් අතිරේක කඩදාසිි තමන්ට ලබා දෙන ලෙස ඉල්ලුවද එසේ ලබා නොදීම නිසා තමන් අදාල විභාගයෙන් අසමත් වූ බවත් එම වරදට විරුද්ධව අදාල අමාත්‍යංශයට විරුද්ධව නඩු පවරන බවත්ය.
  • පසුගිය වසර කිහිපය තුල සුළු වරද සඳහා බන්ධනාගාර ගත වූ රැඳවියන් පිරිසකගේ ගණිත හැකියාව පිළිබඳ කළ අධ්‍යයනයකදී ඔවුන් බොහොමයකට ගණිත හැකියාව ඉතා දුර්වල බව හඳුනාගැනේ . ඉන් වැඩි පිරිසකට ඉලක්කම් , එකතු කිරීම වැනි දේ කළ නොහැකි “හඳුනා නොගත්“ රෝග තත්ත්වයක් ඇත්දැයි බන්ධනාගාර වෛද්‍යනිරධාරි වරයා සැක කරයි.
අද ප්‍රවෘත්ති සමාප්තයි -------------------------------------------------------------
පිංතූරය ගත්තේ speldnsw.org.au
මේ කළක් තිස්සෙ විවිධ රටවල ප්‍රවෘත්ති වල විකාශය වුනු ප්‍රවෘත්ති කිහිපයක් . ඉන් සමහරක් නම් ලොව පුරා ප්‍රසිද්ධ වුනු “නීති පොත් වලට  පවා එක්වුනු සිදුවීම් . කෙසේ වෙතත් , මේ සියල්ල පසු පස්සේ ඉන්නෙ අර මුලීන් කී ගැටළුව , එනම් Dyscalculia තත්ත්වය .
මේ තත්ත්වය අවස්ථා දෙකක් හඳුනාගන්නට පුළුවන් , 
  1. Developmental dyscalculia සංවර්ධනාත්මක ඩිස්කැල්ක්‍යුලියාව 
  2. Aquired Dyscalculia - නතුකර ගත් ඩිස්කැල්ක්‍යුලියාව 
මෙයින් දෙවැන්න ජීවිතයේ ඕනම අවස්ථාවක ඇති වන්නට පුළුවන් , රිය  අනතුරකින් , නැත්නම් වෙනත් අනතුරකින් හෝ මොළයෙ  කරන ශල්‍යකර්මයක පසු ප්‍රතිපලයක් විදියට එය ඇති වන්නට පුළුවන් . නමුත් අපේ මෙම සාකච්ඡාව තුල ප්‍රධානව කතා කරන්නට උත්සාහ කරන්නේ පළමු අවස්ථාව එනම් දරුවා උපතේ  සිටම අරගෙන එන Developmental Dyscalculia තත්ත්වය ගැන .

මුලින්ම කියන්න ඕන මේ තත්ත්වය “අපේ රටේ නැහැ“ කියල මඟ නොහැරිය යුතු අවස්ථාවක් . ලොව පුරා ජනගහනයෙන් 100කින් හයදෙනෙක්ට (20:1)මෙම අසාමාන්‍යතාව තිබෙනවා . ඒ නිසා ඔබේ දරුවගේ පන්තියේ අඩුම තරමෙ එක් දරුවෙක් වත් මේ තත්ත්වයෙන් “විඳිවනවා“ ඇති අප කිසි කෙනෙක්ට හඳුනගන්න්ට බැරිව . සමහර විට ඒ දරුව 
“මෝඩයෙක්“ , 
“කියන දෙයක් තේරෙන්නෙ නැති ළමයෙක් “ , 
“කරදරකාර ළමයෙක් “ 
“කොච්චර කීවත් හැමදාම වරද්දල මාව තරහ ගස්සන ලමයෙක්“ 
විදියට දැනටමත් හංවඩු ගහලා ඇති . 

ඒ අතරෙ 
“ඇයි මට මේ කියන දේ තේරෙන්නෙ නැත්තේ “ 
“මොකක්ද මේ ඔරලෝසුවේ කටු වලින් ඇතිවැඩේ , මොකක්ද මේක පෙන්නලා මගෙන් අහන්නේ “ 
“මොක්කද එකතු කරනවා කියන්නෙ “ 
“23 කියල ලිව්වත් 32 කියල ලිව්වත් එකම නේද ? ඇයි මේක ටීචර්ට තේරෙන්නෙ නැත්තෙ“ 
 “මේ ඉල්ලකම් හොයන සෙල්ලම හැර වෙන සෙල්ලමක් නැත්ද කරන්න , පාට කරනවා වගේ , මේක හරි කරදර සෙල්ලමක්නේ “ 
 “මොකක්ද ඊට වඩා ලොකුයි , වැඩියි කියන එකේ තේරුම “ වගේ ප්‍රශ්න ගනනාවක පටලැවිලා ඒවට උත්තර නැතිව ඒ නිසාම ටිකක් විතර තරහ යන පුංචි පැටවූ කීදෙනෙක් ඇත්ද ? 

මෙන්න මේ කතා හැම දේකම කථානායකයා වන්නේ බොහෝ විට “ ඩිස්කැල්ක්‍යුලියා“ තත්ත්වයෙන් පෙළෙන දරුවෙක්.  දැන් ඔබට වැටහෙනවාද මෙ තත්ත්වය  අප සිතන තරම්ම නොසලකා හැරිය යුතු ගැටළුවක් නොවන බව , සමහර විට මේවන් දෙබස් කතාබහ ඔබට මේ වන විටත් අසන්නට ලැබිලා ඇති ,වෙන දරුවෙක් , වෙනත් වැඩිහිටියෙක් වෙතින් හෝ තමන්ගේම දරුවෙක් වෙතින් . 
පිංතූරය ldaamerica.org පිටුවෙන්
මේ “ගණිතය පිළිබඳව අසාමාන්‍ය දුර්වලතාවය “ අදාල පුද්ගලයාට හෝ දරුවාට කෙතරම්ම වේදනාකාරීද යන්න පිළිබඳ උදහරණයක් දෙන අමෙරිකාවේ වින්කොසින් සරසවියේ ඥාණාත්මක ස්නායූ විශේෂඥවරයෙක් (cognitive neuroscientist) වන එඩ්වඩ් හබර්ඩ් පවසන පරිදි 
ඩිස්කැල්ක්‍යුලියාවෙන් පෙළෙන්නෙක් , හත කියන වටිනාකම පහට වඩා විශාල බව පවසන්නට , පෙන්වන්නට මහත් වෙහෙසෙක් ගන්නවා“ 

හිතා ගන්නට පුළුවන් ද “ගණන් බැරි “ නිසා වෙන් දඬුවම් විදින දරුවෙක් මෙවන් තත්ත්වයකින් පෙළෙනවා නම් , ඔහු හෝ ඇය කෙතරම්ම වේදනාවක් හිතේ දරාගෙන ඇත්ද කියල .

දැන් අපි ටිකක් ගැඹූරට යමු , මේ ඩිස්කැල්ක්‍යුලියා තත්ත්වය ඇති වන්නට හේතු කාරණා මොනවද ? 
මේ ප්‍රශ්නය අපට පමණක් නොවේ මේ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ටත් තිබෙනවා , නමුත් මෙ වන විට ඔවුන් “හේතුවිය හැකි“ සාධක ලෙස ,
  • ජානමය සහ ආරය ඔස්සෙ පැමිණිය හැකි බව ( එනම් දෙමාපියන් මෙම තත්ත්වයෙන් පෙළුනා නම් දරුවාට ඇතිවීමෙ අවදානම)
  • කළල අවධියේදී දරුවාගේ මොළයෙ සිදුවන වර්ධනාත්මක වෙනස්කම් , (ගර්භණී මවගේ පෝෂණ ඌණතා හේතු විය හැක) 
  • දරුවා ගැබෙහි සිටින අවධියේ මවගේ වැරදි චර්යාවන් , (මත්පැන් ,මත්ද්‍රව්‍ය භාවිත කිරීම වැනි ) 
  • අඩු බර  දරු උපත් ( හැම විටම එසේ නොවෙතත් මෙයත් එක්තරා අවදානමක් බවයි හඳුනාගෙන ඇත්තෙ ) 
මෙවන් සාධක හෝ තවමත් හඳුනා නොගත් වෙනත් සාධකයක් නිසා ඩිස්කැල්ක්‍යුලියා තත්ත්වය පත්වූ දරුවෙක් ( වැඩිහිටියෙක් වුනත් ) පෙන්වන ලක්ෂණ මොනවද කියල දැන් බලමු , ඔව් , දැනටමත් ඔබ දන්නව “ගණන් බැරි “ බව , නමුත් ටිකක් සංකීර්ණව ඒ ගැන කතා කළොත් ,
  • දරුවා මුලින්ම ඉල්ක්කම් හඳුනා ගැනීම , සාමාන්‍ය දරුවෙක්ට වඩා හුඟක් ප්‍රමාද වෙනවා 
    • සාමාන්‍ය දරුවෙක් මාස 18-20ක් විතර වෙත්දි “එක දෙක තුන හතර පහ“ වගේ වචන කියන්නත් බෝනික්කිට  “ඇස් දෙකක් “ , කාර් එකේ “රෝද  හතරක්“ තියෙන බව කියන්න වටහා ගන්න පුළුවන් .
    • මාස 20 -24 වෙත්දි අතේ ඇඟිලි පෙන්වල කීයද මේ කියල ඇහැව්වම “පහයි“ කියල කියන්න පුළුවන් තරමට , එක දිගටම එකේ ඉඳන් දහයට කිසි අමාරුවක් නැතිව  ගනන් කරගෙන යන්නට පුළුවන් ,
    • මාස 36-40ක් වෙත්දි පොඩි එකතු කිරීම් , “බබාගෙ බෝතලෙ කිරි හැන්දි එකයි , තව එකක් දැම්ම .....“ අම්ම  අහත්දි  , ...“ දෙකයි “ කියල උත්තර දෙන්න පුළුවන් තරමට හැකියාවක් එනවා ,
    • මාස 48ක් වෙත්දි පහට පහක් එකතු කරාම දහයයි කියල කියාගන්න වගේම “ටික වෙලාවක්“ ගොඩාක් වෙලා “ , ඈතට  වගේ වචන වල ප්‍රමාණාත්මක වටිනාකම හඳුනගන්නට පුළුවන්.
  • ඉල්ලකම් හඳුනගත්තත් එහි ප්‍රමාණාත්මක වටිනාකම නොවැටහීම හෝ ප්‍රමාද වීම 
    • “8“ රූපයක් විදියට දැන ගත්තත් එම රූපයේ වටිනාකම  8 ද 6 ද කියන පැහැදිලි අවබෝධයක් නොමැති වීම 
  • ලබා දෙන උපදෙසක තිබෙන “සංඛ්‍යාත්මක වටිනාකම් “ , “ප්‍රමාණාත්මක වටිනාකම්“ නොහඳුනා ගැනීම 
    • “බබා ගිහින් පැන්සල්  දෙකක් අර ගෙන එන්න “ කියල අම්ම කිව්වොත් , දරුවා එක පැන්සලක් අරගෙන ඒවි මොකද දරුවා “දෙක“ කියන එක වචනයක් විතරයි එහි ප්‍රමාණය ගැන වැටහීමක් නැහැ.
  • පෙර පාසලේ දි කරන ලොකු පොඩි හැඩ තල පෙළගැස්වීමේ සෙල්ලම් වලදි හැම අවස්ථාවකම වැරදීම ඒ වගේම එම සෙල්ලම් පටන් ගන්න අවස්ථාවේ දරුවා “බඩේ කැක්කුම් “ , “කක්කි බරයි“ , “බබාට දොයි මතයි “ වගේ විවිධ හේතු දක්වමින් එයින් මඟ හැරීමට  උත්සාහ කිරීම
  • පාසල් වියේ දරුවකු නම් ගණිතය විෂයට දිගින් දිගටම පංතිය තුල ඉතා දුර්වල මට්ටමේ ළකුණු ලබා ගැනීම
  •  දරුවාට එකතු කිරීම , වැඩි කිරීම වැනි ගණිතමය සංකල්ප පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති කම  හෝ වටහා දුන්නත් එය කෙටි කළකින් අමතක වීම 
  • ගණන් කිරීමේ ද වෙනත් දරුවන් නොකළත් මෙම දරුවා දිගින් දිගටම  ඇඟිලි  “එකින් එක ගනන් කරමින් “ ගනන හැදීමට උත්සාහ කිරීම ( වෙනත් දරුවන් “ඇඟිළි පහක් ගෙන , “පහ“ ලෙස දක්වත්දි මෙම දරුවා ඇඟිල්ලෙන් ඇඟිල්ල ගනන් කරමින් “පහ“ දක්වා යන්නට උත්සාහ කරනවා ) 
  • සංඛ්‍යාත්මකව “ඊට වඩා විශාල“ , “ඊට වඩා කුඩා“ යන සංකල්ප පිළිබඳ කිසිදු හැඟිමක් නැතිවීම
    • "5 < 8" හෝ , " 5+2=7" වැනි අකුරු  , ඉල්ලකම් ලකුණූ වල  කිසිම තේරුමක් නැති ලෙසින් දැනීම
  • කටු ඔරලෝසුවකින් වෙලාව කියා ගන්නට , දිගින් දිගටම නොහැකි වීම 
  • වම දකුණ , දුර ළඟ , වේගෙන් හෙමින් කියන වචන වල පවතින ප්‍රමාණාත්මක හෝ දිශාමය වටිනාකමක් දරුවාට නොවැටහීම 
    • “ඔය පෑන උඩින් අරන් තියන්න “ කිව්වොත් , දරුව පෑනත් අරගෙන ඔබ ළඟට ඒවි මොකද “උඩ“ තියෙන්නේ කොහෙද කියල නොදන්න නිසා .
    • මොන්ටිසෝරියේ සෙල්ලම් වලදි “පුතේ ඊට වඩා ටිකක් ඈතට පනින්න “ කීවත් කිසි වෙනසක් නොපන්වාවි ( දරුවාගේ කායික හැකියාව අනුව පැනිය හැකි දුරකට පවා ) 
  • තමන්ගේ දුරකථන අංකය  , ක්‍රෙඩිට් කාඩ් එකේ පින් අංකය වැනි දේ මතක තබා ගන්නට නොහැකි කම (බය වෙන්න එපා , මේක ගැන විතරක්ම හිතල කළබල වෙන්න එපා) 
  • කඩෙන් ගත්තු බඩු වල ප්‍රමාණය , ගෙවිය යුුතු මුදල් ගනන් ගැන වැටහීමක් නැති නිසා , මුදල් ගෙවීමේ කවුන්ටරයෙදි අම්මගේ හරි තාත්තගේ හරි උදව් ඉල්ලන් උත්සාහ කරන එක (තරමක වැඩි වියේ දරුවකේ) හෝ මුදල් ගෙවන කවුන්ටරයේදි සිදුවන “ගණන් නොදැනීමේ ලැජ්ජාවෙන්“ බේරෙන්නට කවුන්ටරය මඟ හැර යන්නට උත්සාහ කිරීම
පිංතූරය  theabsolutevalueofmike.weebly.com වෙතින් 
ඔය වගේ ලක්ෂණ තවත් ගණනාවක් කියන්නට පුළුවන් වුනත් මේ ලක්ෂණ ටික පිළිබඳව විමසීමේදි ඔබට යම් අදහසක් ගන්නට පුළුවන් වේවි , ඒ අනුව ඔබෙ දරුවා ගැන සොයා බලන්නට හැකියි ඔබට.

මෙම තත්තවයේ ඉන්න දරුවෙක් ( වැඩිහිටියෙක්) තම කාළය කළමණාකරණය පිළිබඳ සැලකීමක් නැහැ , පන්තියේ වැඩක් දුන්නොත් මේ වෙලාව ඇතුලත ඉවර කරන්න කියල මේ දරුවන්ට “මේ වෙලාව“ ගැන අදහසක් නැති නිසා කරදර ගොඩයි , මෙය හුඟක් බලපාන්නේ විභාග වලදි , මේ දරුවා විභාගය නිමා වන්නට මොහොතක් තිබුණත් , ඔහු හිතාගෙන ඉන්නේ තව වෙලාව තියෙනවා කියන එක , මොකද “තව මිනිත්තු පහයි “ කියල ටීචර් කීවට ඒවයේ මොන ගානක්ද මේ දරුවට.

ඔය නිසාම පන්තියේ “මෝඩයෙක්“ ලෙසින් හංවඩු ගැහෙන දරුවා , තමන් තුලින්ම වේදනාවත්මක විමසීමක් කරනවා “ මොකක්ද මේ කියන විනාඩි පහ , ඇයි හත පහට වඩා ලොකු , කොහොමද ඈත කියන තැනට පනින්නේ , ඇයි මට මේක නොතේරෙන්නෙ ?“ ප්‍රශ්න ගොඩයි හිතේ , ඒ නිසා මෙම දරුවන් මානසිකව බිඳි වැටුනු ස්වභාවයක් පෙන්වනවා , ඒහෙයින්ම යහළුවන් අඩු  ,ටිකක් තනිව ඉන්නට කැමති , ඉක්මණින්ම කළබල වන තරහ යන ගතියක් පෙන්වන්නට පුළුවන්. ඒ විතරක් නොවෙයි පන්තියේදි , ක්‍රිඩා පිටියෙදි පාරෙදි අනතුරු වලට ලක්වන අවස්ථාවනුත් වැඩියි , ඇයි වේගය , දිශාව , පරතරයන් ගැන හැඟීමක් නැති නිසා.

මෙවන් ලක්ෂණ දරුවා තුල පෙන්වනවාදැයි සැකයක් ඇත්නම් කළ යුත්තේ කුමක්ද ?
පළමු දේ මෙම ලක්ෂණ නිරන්තයෙන් ඇත්ද , කොයිතරම් දරුවාට එය බලපානවා දැයි සොයා බැලීම , ඒ සඳහා දරුවාගේ පෙර පාසලේ ගුරුතුමිය , පාසලේ ගුරුතුමා හෝ තුමිය එක්ක කතා කරන එක හුඟක් වැදගත් , එතැනදි “අපේ දරුවට එහෙම නෑ , එයා දක්ෂයි , මෙ ටීචර්ගේ වැරදි“ කියන සංකල්පයෙම නොහිඳ ටිකක් සමබරව තොරතුරු ලබා ගන්න , 

ඊළඟට දවස යන්න ඔබේ දරුවා පෙන්වන පවුලේ වෛද්‍යවරයා හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා ළඟට , ඒ යත්දි මතක ඇතිව දරුවගේ ගණන් පොත් , එහෙම  නැත්නම් දරුවාගේ පිළිබඳ ලබා දුන්නු විභාග ලකුණූ , ප්‍රගති වාර්තා පොත් වගේ ලේඛණ රැගෙන යාම වැදගත් වේවි . මෙ තොරුතුරු ගන්නා වෛද්‍යවරයා සමහර විට ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥවරයෙක්ට යොමු කරවන්නත් ඉඩ තිබෙනවා , බය වෙන්න එපා , දරුවාට “පිස්සු නොවෙයි“ , මෙවන් අසාමාන්‍යතා සෘජුවම මොළය හා සම්බන්ධ නිසා ඒ පිළිබඳ විශේෂඥ අගැයුමක් කරන්නටයි මේ යොමු කිරීම .

ගැටළුව පිළිබඳව හඳුනාගත්තට පස්සේ වෛද්‍යවරයා මඟින් හෝ පාසල මඟින් දරුවා “පාසල් විශේෂ අධ්‍යාපන ඒකකයකට“ යොමු කරන්නට පුළුවන් , එහි සිටින “විශේෂ අධ්‍යාපනය පිළිබඳ පුහුණුවක් ලත් ගුරුවරුන්“ මෙම දරුවා පිළිබඳ අගැයුමක් කර ඔහුට හෝ ඇයට ගැලපෙන “ගණිතය ඉගැන්වීමේ ‘‘ ක්‍රමවේදයක් හඳුන්වා දීමයි කෙරෙන්නේ , සහ විය යුත්තේ.

එසේ නොකලොත් , අධ්‍යාපන කටයුතු වල සිදුවන බිඳිවැටීම් සහ මානසිකව සිදුවන බිඳවැටීම් නිසා පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වීම සහ සමඟින් සමාජයට වෛර කරන්නෙක් ලෙස සමාජ ගතවීමේ අවධානමක් වගේම නිවැරදි මග පෙන්වාදුන්නොත් , “ගණිතයට යම් තරමක්“ දුර්වල වුනත් වෙනත් දක්ෂතා ඔස්සෙ ලොවට වැඩදායක පුද්ගලයෙක් ලෙස සමාජගත වන්නට පුළුවන් . ( විශේෂයෙන්ම මෙවන් දුර්වලතා ඇති දරුවන් තුල වෙනත් දක්ෂතා සැඟව පවතින බව පර්යේෂකයන් පවසනවා ) 

කෙසේ වෙතත් , මෙම තත්ත්වය නිට්ටාවට හොඳ  කරන්න පුළුවන් ද ? 
තවම බැහැ , නමුත් දැනට පර්යේෂණ මට්ටමේ පවතින Neuroplasty  , Parietal Lobe Stimulation වැනි සොයා බැලීම් සාර්ථක වුනොත් එදාට අපට කියන්න පුළුවන් “ඩිස්ලෙක්සියා තත්ත්වය සුව කළ හැකිය“ කියන සුන්දර වචන වැල . එතෙක් ,
  • මෙම තත්ත්වයන් පිළිබඳ දැනුවත් වන්න , දැනුම යාවත් කාළින වන්න ( විශේෂයෙන්ම  දෙමාපියන් , ගුරුවරුන්) 
  • පාසල් පද්ධති තුල මෙවන් දරුවන්ට ලබා දිය හැකි පහසුකම් සංවර්ධනය කරන්න , රජය ඊට මැදිහත් විය යුතු අවස්ථා මඟ නොහරින්න,
  • මෙවන් දරුවන් සඳහා නිපදවෙන නව තාක්ෂණික උපාංග , ක්‍රීඩා ,පරිගණක වැඩසටහන් දරුවාට හඳුන්වා දීමට දෙමාපියන් , ගුරුවරුන් , රජය කටයුතු කරන්න.
  • ඩිස්කැල්ක්‍යුලියා වැනි “විශේෂ අධ්‍යාපන නොහැකියාවන් Special Learning Disabilities) “  ඇති දරුවන්ගේ වෙනත් දක්ෂතා හඳුනාගනිමින් ඒවා උපකාර කරමින් සමාජයට වැඩදායි පුරවැසියෙක් බිහි කිරීමේ කාර්යයට දායක වන්න.
එසේ නම් D4 වලින් D3 ඉවරයි ,
ඩිස්ලෙක්සියා  , ඩිස්ප්‍රැක්සියා , අද ඩිස්කැල්ක්‍යුලියා , ඊළඟ ඩී එක ගැන පස්සේ කතා කරමු . අදට සමු ගන්නම් නැවත හමුවන අපේක්ෂාවෙන්. 
තව දුරටත් මේ ගැන දැන ගන්නට ,
Dyscalculia and Mathematics: A Practical Guide. 2nd ed.London: Routledge සහ 
Developmental Disabilities . Ivan Brown & Maire Percy  පොත් ද 
http://www.dyscalculia.org/ වැනි වෙබ් අඩවිද භාවිත කළ හැක.
----------------------------------------------------------------------------------------------------------
පින් අනුමෝදනාව , 

දේශපාලනය සහ ආගම යන මාතෘකා පිළිබඳව කතා කරන්නට මා නොරිසි වුවත් , අද මේ දෙකම පිළිබඳ සටහනකින් මෙම ලිපිය නිමා කරන්නට උත්සාහ කරමි. 

අපෙ  රටේ (පමණක් නොව) දේශපාලන ඉතිහාසයේ රජ කාළයෙ පටන්ම දේශපාලන තීන්දු තීරණ වලදි රාජරාජ මහාමාත්‍යාදීන් පවා ආගමික පුජකවරුනගේ උපදේශ ලබා ගැනීම් සිදු කළ බව පොත පතේ සඳහන් වෙනවා. ඒවගේම  රට රටවල දේශපාලනමය , පෙරළි ඇති කිරීමටත් එම ආගමික පූජකවරුන් සහභාගී වුනා. එය  අදටත් සිදු වෙනවා . එලෙසම යමින් ශ්‍රී ලාංකීය දේශපාලනයේ විවිධ අවස්ථා වන් වලදි දැඩි බලපෑමක් කළ , සමාජය වෙත සෘජු පැහැදිලි කීරීම් කරමින් රටේ නායකයන් වෙත බලපෑම් කළ දක්ෂ ධර්ම දේශක ස්වාමීන් වහන්සේ නමක් වුනු “මාදුළුවාවේ සෝභිත හිමි“ අපවත් වූ බව පුවත්පත් මඟන් දැනගන්නට ලැබුණි. 

අපට මතක් අසූ ගණන් වල සිට රට පාලනය කළ විවිධ පක්ෂවල නායකයන්ට අභීයෝග කරමින් , රටට වන්නට ගිය ව්‍යසන වලින් රට බේරා ගන්නට (සමහර තීරණ විවිධ දේශපාලකයන්ගේ තීරණ වලින් යටවී ගියත්)  , බලලෝභයෙන් අන්ධව සිටි  නායකයන්ට බලපෑම් කළ උන්වහන්සේ ගේ අපවත් වීම සමඟ මුහුණු පොත ඔස්සෙ “සිංහලෙන්“ අකුරු කොටන , දේශපාලමය දැනුම සහ රටේ ඉතිහාසය පිළිබඳ දැනුම අතින් දුබල , “අන්ධයින්“ පළ කරන , බෙදා හරින “පහත්“ අදහස් දුටු විට උපදින්නෙ “අපේ රට ගැනම ලැජ්ජාවකි“ . අපෙ තරහකාරයෙන් වුවද මිය ගිය විටෙක “අනේ අපොයි කී රටක“ මේ කියන ලියන පහත් වැකි “කෘෘර ශ්‍රී ලාංකීයත්වයකට “ පාර  පෙන්වනවා දැයි සිතේ .

කිනම් පක්ෂයක ආධාරකරුවෙක් වේවා , ඉන් අන්ධව යහපත, අයහපත නොහඳුනයි නම් එයත් මේ “අට පහ නොදන්නා ඩිස්කැල්ක්‍යුලියා “ දරුවන් මෙනි. ඔවුන් අන්ධයින් කළ “රජවරුන්“ පින්කම් කරත්දි , අන්ධවූ අනුගාමිකයින් මෙලෙසින් “පවු පුරවා “ ගන්නෙ කිමදැයි මට නොවැටහේ. අපෙ රට සංවර්ධනය කරා යන ගමනක් ඇත්නම් එම ගමනේ වේගය පමා වන්නේ මෙවන් “අන්ධයන්“ රටකරවන තැනත් ‍, නීතිය කරවන තැන මෙන්ම , පාසල , කළාවේ  මෙන්ම ගමේ කඩ පිලේද ලැග සිටීමි නිසාවෙනැයි මට සිතේ  .

(මා සිරි ලංකාවේ හෝ මේ මෙම රටේ කිසිදු පක්ෂක “අන්ධභක්තිකයෙක් නොවන බවද,  එමෙන්ම මෙම හිමියන්ගේ පුද්ගලික ජීවිතය හෝ වෙනත් මති මතාන්තර පිළිබඳ දැනුමක් හෝ දැනගැනීමක් මට අවශ්‍ය නොමැති බවද පවසන්නේ සිත සතුටිනි , මෙය මාගේ පෞද්ගලික මතය වන අතර ඔබේ මතය ඊට එරෙහි වුවත් , එයට ගරු කරමි , නමුදු මා දරන මතයේ මම සිටිමි) 

කෙසේ වෙතත් , මෙ ලිපිය කියවීමෙන් ඔබ යම් දැනුමක් සතුටක් ලබත්ද ඒ සතුට , “පිනක් වී“ , මාදුළුවාවේ සෝභිත හිමියනි ඔබ වහන්සේට ලැබේවායි පතමි .

9 comments:

  1. පසුගිය ලිපිය වගේම ඉතා අගනා ලිපියක්.

    මුලින්ම කියන්නම් අර සෝනි රේඩියෝව ගැන. ඔය රේඩියෝව ඒ කාලයේ ලංකාවේ අතිශයෙන් ජනප්‍රිය මෝස්තරයක්. සීඩ්ල්ස් සමාගම විසින්, ලංකාවේදී තමයි එකලස් කළේ. නියමම ජපන් උපකරණ සවිකර තිබුණේ. ඒ කාලේ FM විකාශන තිබුණේ නැහැ. මධ්‍යම තරංග සහ කෙටි තරංග ඔස්සේ තමයි වැඩසටහන් විකාශනය කෙරුනේ. ගුවන්විදුලි සංස්ථාව පමණයි තිබුණේ. මම ගුවන්විදුලි කාර්මික ශිල්පය ඉගෙනගත් කාලේ, මේ වර්ගයේ යන්ත්‍ර සෑහෙන්න අලුත්වැඩියා කර තිබෙනවා. මේ ගුවන්විදුලි යන්ත්‍රයෙන්, ඒ කාලේ, ලංකාවේ ඕනෑම තැනක ඉඳලා, මධ්‍යම තරංග විකාශන වලට, පහසුවෙන් සවන් දෙන්න හැකි විදිහට හදලා තිබුණේ.

    ඔබ අද ඉදිරිපත් කර තිබෙන මාතෘකාව, මෙවැනි දරුවන් සිටින සහ සිටියත් ඒ බව තවම අවබෝධ කරගෙන නැති, දෙමව්පියන්ට කදිම ආදර්ශයක්. අවාසනාවකට මෙන්, එවැනි දෙමව්පියන් තබා, බොහොමයක් දෙමව්පියන්, අන්තර්ජාලය පරිහරණය කරන්නේ නැති නිසාත්, පරිහරණය කළත්, බලන්නේ සමාජ ජාල වෙබ් අඩවි පමණක් නිසාත්, මෙවැනි වටිනා වැදගත් ලිපි ඔවුන්ගේ නෙත ගැටෙන්නේ නැතිවීම, ඔවුන්ගේම අවාසනාවක්. එවැනි ළමයෙකුට, 'යන්තරයක් දැම්මොත් හොඳවෙනවා' කියා කවුරුහරි හොර 'තක්කඩි කට්ටියෙක්' කිව්වොත්, නැට්ට කරේ තියාගෙන් උන්ගේ පස්සේ ගිහින්, අර ළමයටත් වද දෙනවා, තමන්ගේ සල්ලිත් නැති කරගන්නවා.

    මේ ලිපියේ සඳහන් කරුණු, තම දරුවන්, පාසල නිමවා එනතුරු, ළදරු පාසල්, කණිෂ්ඨ පාසල්, අසල සිටින දෙමව්පියන්ට දේශනයක් ලෙස, මේ ලිපියේ සඳහන් ආකාරයටම සරලව කියාදෙන්න පුළුවන්නම්, කොපමණ අගනේද කියා මට කීපවිටක් හිතුනා. කොහොමටත්, මම මේ ලිපිය මුද්‍රණය කර තබාගන්නවා එවැනි අවස්ථාවක් ලැබුනොත්, ප්‍රයෝජනයට ගන්න. ඒ සඳහා ඔබේ විරුද්ධත්වයක් නැතැයි කියා සිතනවා.

    සෝභිත හාමුදුරුවන්ගේ අපවත්වීම ගැන, සමහර පුද්ගලයන්, අන්තර්ජාලයේ දක්වා ඇති අදහස් ගැන, කියන්න තිබෙන්නේ මෙයයි.

    දිගත පතළ සුවඳැති සොඳ සඳුන් ගස - සිඳිත මඩිත දස අත පැතිරෙයි සුවඳ

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීම:- සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ

      Delete
    2. හරිම සතුටුයි අර සෝනි රේඩියෝවේ අතීතය ගැන මතකයට තවත් දැනුමක් එක් කළාට , මගේ තාත්ත ඔය රේඩියෝවෙන් බොහොම සාවධානව ප්‍රවෘත්ති අහපු හැටි මට තවම මැවිල පේනවා,

      ,'යන්තරයක් දැම්මොත් හොඳවෙනවා' කියා කවුරුහරි හොර 'තක්කඩි කට්ටියෙක්' කිව්වොත්, නැට්ට කරේ තියාගෙන් උන්ගේ පස්සේ ගිහින්,“ අද දවසේ සිදුවන නියම තත්ත්වය ඔය තමා , ඒකටම මාධ්‍යයත් එවන් පුද්ගලයන්ට ප්‍රසිද්ධිය දෙන්නෙ කිසිම දෙයක් සොයා නොබලා ,

      කිසිම විරුද්ධත්වයක් නැහැ විචාරක මහත්මයා , අප කළ යුත්තෙ දැනගත් දේ ( විශේෂයෙන්ම අපෙ රටේ මිනිස්සු ගෙවපු බදු මුදල් වලින් නිදහස් අධ්‍යාපනයේ පිනෙන් ලබා ගත් දැනුමින්) පුළුවන් තරම් අපේ මිනිසුන්ට බෙදා දීම , එතැනදි ඔබතුමා ලබා දෙන සහයෝගයට “පින්“ මිසක කුමක් දෙන්නද ?
      ස්තුතියි ඔබට

      Delete
  2. කමෙන්ට් නොකලත් හැමදාම වගේ ඔබගේ පෝස්ට් බලනවා. වැදගත් පෝස්ට් එකක්. මෙවැනි දේ ගැන අපේ ගුරුවරුන්ව දැනුවත් කරන්න පුලුවන්නම් අසරණ ළමයි කී දෙනෙක් හිතින් විඳවන එක නතර වෙයිද...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , ඒ වගේම සතුටක් “මේ සටහන් කියවනවා යන්න“ ඇසීමත් , මා දන්නා තරමින් ගුරු පුහුණුව තුලදී මෙවන් තත්ත්ව ගැන යම් අවබෝධයක් අස අදාල මනෝ විද්‍යාත්මක ක්‍රම වේදයන් පිළිබඳව දැනුවත් කරනවා , නමුත් ගැටළුව ඇත්තෙ එය ප්‍රාෙයෝගිකව ක්‍රියාත්මක වන ආකාරයයි , කෙසේ වෙතත් මෙවන් තත්ත්ව පිළිබඳව ගුරුවරුන් නිරන්තරයෙන් දැනුවත් කිරීම සහ තිබෙන දැනුම යථාවත් කිරීම කළ යුතුම යැයි මම ද විශ්වාස කරමි. එමඟින් මෙලෙම විඳවමින් සිට පාසලින් පැන ගෙන සමාජයට වෛර කරන මිනිසුන් බිහිවීම යම් තරමකින් හෝ අඩු කරගන්නට හැකි වේවි .
      ස්තුතිය ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන්

      Delete
  3. පෙර ලිපි වගේම මේ රෝගය ගැන හොඳ විස්තරයක්.
    විචා කියල තියෙනව වගේ මේ තත්වයෙන් පෙළෙන ළමයි ඉන්න බොහෝ දෙනෙක් අන්තර් ජාලයෙනුත් බොහෝ ඈතක ඉන්න නිසා මේ ලිපිය කියවන කෙනෙක් එවන් දරුවෙක් ඉන්න කෙනෙක් දන්නවනං දැනුවත් කරන එක වටිනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න , ඇත්තෙන්ම මෙවන් තත්ත්ව ගැන දැනුවත් කිරීම තමයි හුඟක්ම වැදගත් , මොකද මුල් අවස්ථාවෙම ගැටළු හඳුනාගෙන ඊට උපකාර වුවොත් “සිදුවන්නට ඉඩඇති “ අවදානම අඩු වනවා ,

      මේ ඕනම ලිපියක කරුණු තවත් කෙනෙක්ට බෙදා දෙන්නට පුළුවන් නම් එය මටත් සතුටක් , ඒ වගේම ඒ බෙදා දීම කරන්නාටත් සතුටක් , ඒ සතුටමයි “පිනක් “ වී සිත සනසන්නේ .
      ස්තුතියි ඔබට

      Delete
  4. ඉලක්කම් සහ වටිනාකම් පටල ගන්න වැඩිහිටියොත් අපට මුණගැහෙනවා.ඒත් වැඩේ කියන්නෙ මුදල්මය අගයන්/වටිනාකම් නම් බොහොම අවධානයෙන් තේරුම් ගන්නවා.ඒ මදැයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මටත් හමු වෙලා තිබෙනවා ඔය වැනි “විශිෂ්ඨයින්“ විශේෂයෙන්ම වෙනත් වටිනාකම් නොහදුනිතත් , කාසි සහ නෝට්ටු වල වටිනාකම් ඉතා හොඳින් හඳුනන,

      ස්තුතියි ඔබට ඔබේ පැමිණීම වෙනුවෙන් , ඔබෙ අදහස වෙනුවෙන්

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)