2015/10/31

175) අනාගතේ බොඳ කරනා ඩී හතරේ වැරදිකාරයෝ

පිංතූරය www.freehdw.com පිටුවෙන් 
තවත් සීතල දවසක් ,යාන්තමට වැටෙන ඉර එළිය අස්සෙන් හොල්මන් රෑනක්  පේනවා, වස්සානයේ නිමාවත් සමඟ කොළ දළු හැළුනු ගස් දැන් හරියට “හොල්මන් වගේ “ . හැබැයි බිම පුරාම වැටුනු පාට පාට කොළ වලින් ලස්සන බිම් ඇතිරිල්ලක් හැදිල. ඒ ඇතිරිල්ල උඩ මිදුනු හිම කැට  යාන්තමට වැටෙන ඉර එළියෙන් දිලිසෙන්නේ පුංචි මැණික් කැට වගේ .

අක්කව ඉස්කෝලෙට දාල , පොඩ්ඩිගේ පාසල ගාව ටික වෙලාවක් නැවතිල ඉන්න මොහොතේ , මගේ හිතේ ඇඳුනු මේ සිතුවම ඉරාගෙන පුංචි පැටවු රෑනක් එනව පේනවා . අර බිම වැටුනු , සීතල කොළ අහුලමින් , විසි කරමින් , වැටෙමින් නටමින් එන දඟයෝ ටික දැක්කම මෙච්චර වෙලා තිබුණු නිස්කංලක බව නැතිවෙලා අමුතුම සුන්දර හැඟිමක් එනවා . අවුරුදු තුනේ හතරේ විතර පැටවු රෑනක් .


“කවුද පොඩී මේ පැංචෝ ටික , “ 
“ ආ ඒ අපේ ඉස්කෝලේ Pre-K එකේ කට්ටිය , හරි ෂෝක් එයාලා , හැම බදාදාම උදේ එයාල ගම වටේම ඇවිදල තමයි පන්තියට එන්නේ , අර ,අර අයිනේ කොළ අහුලන මල්ලි දැක්කද ? එයා ටිකක් ඕටිස්ටික්  උදව් ඕන ගොඩක් එයාට , දුවන්න , බෝල ගහන්න බැහැ , හැම තිස්සේම වැටෙනවා , ඔහොම හිටියට තරහ යනව හරියට , මාත් එක්ක නං හරිම යාළුයි , මං free වෙලාවට ගිහින් volunteer කරනවා එයාලට “ ඔටිසම් තත්ත්වයේ දරුවන්ට උදව් කරන්න පුදුම අාසාවක් තියෙන ‍, හැකියාවකුත් තියෙන පොඩ්ඩි බොහොම ආඩම්බරෙන් විස්තරේ කියනවා. 

තව මොහොතකින් අපව පහුකරගෙන යන , ඇඟ පුරා මඩ ,තවර ගත්තු , ඔළුවේ ඇඳුම් වල කොළ අලවගත්තු මේ පැටවු ටික  දැක්කම මගේ පාසල් කාළයත් හිතට එනව නොදැනුවත්වම . 
“හරි තාත්තේ වෙලාව හරි , මම යනවා බාාායි “ පන්තියේ ඇතුලට යනකම්ම “බායි“ කියන්න ඕන නිසා මාත් මේ ඉන්නවා ‘‘පොඩ්ඩි ‘‘ පන්තියට ඇතුළු වෙනකම්ම.

කෙල්ලො දෙන්නම ඉස්කෝලවලට දාල රාජකාරියට ගියේ අද නම් කොහොම හරි ඉඩක් ලැබුණොත් අළුත් පෝස්ට් එකක් පටන් ගන්න ඕන කියල හිතාගෙන (හේතුව පෝස්ට් එක් පටන් ගත්තොත් කොහොම හරි ලියවෙනවා ,නැත්නං ඉතිං හැමදාමත් බාලගිරි දෝසේ වගේ තමා)  ,  උදේ දැකපු දේත් එක්ක ලියන්න වටින දෙයක් හිතේ පැලපදියම් වුන නිසා ලියන්නම ඕන අද . ඒත් හැමදාම වගේ රාජකාරි වෙලාව අතරේ නම් පෝස්ට් එකක් ලියන්න වුනේ නැහැ , හැබැයි මාතෘකාව විතරක් වත් ටයිප් කරගත්ත එක ලොකු දෙයක් . 

එහෙම නම් කළකට පස්සේ තවත් ලිපියකට අකුරු අමුනන්නයි සූදානම .

අද ලියන්න පටන් ගන්නේ තවත් “වැල් ලිපියක්“  සමහර විට ලිපි තුනක් විතර ඈතට ඇදෙන්න පුළුවන් සංකීර්ණ ගැටළු කිහිපයක් ගැන. විශේෂයෙන්ම අප හුඟ  දෙනෙක් අතින් මඟ හැරෙන , එහෙම නැත්නම් එය “ වෙනසක් “ ලෙස  හඳුනා නොගැනීම නිසා දරුවාගේ අනාගතය අඳුරු වෙන්නට ඉඩක් ලැබෙන “සුවිශේෂී වෙනස්කම් කිහිපයක්“ .

විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ කටයුත්තට බාධා කරන මෙම අසාමාන්‍යතාවයන් ( Special Learning Disabilities ) අතුරින් ප්‍රධානව හතරක් ගැන වැඩි අවධානයක් යොමු වෙනවා. ඒ හතරම පටන් ගන්නෙ "D" අකුරින් නිසා මතක තියා ගන්න නම් හරිම ලේසියි. 
  1. Dyslexia
  2. Dyspraxia
  3. Dyscalculia
  4. Dysgraphia
මේ අතුරින් පලමු වැන්න , එ් කීවේ ඩිස්ලෙක්සියා ගැන මීට පෙර කතා කරන තිබෙන නිසා ආයේ ඒ ගැන ලියන්න යන්නේ නැහැ . ඔබ කැමති නම් ඒ ගැන කියවන්න , සොඳුරු සුව අසපුවේ 74 වන ලිපියට යන්න . ක්‍රම කිහිපයක් තියෙනවා එක්කෝ “ලිපි මල්ල“ පිටුවට ගිහින් 74 වන පෝස්ට් එක මත ක්ලික් කරන්න. නැත්නම් මෙන්න මේ ලිංක් එක උඩ ක්ලික් කරන්න. http://www.nursinglk.com/2011/12/74.html
( බය වෙන්න එපා කිසිම වෙළඳ දැන්වීමක් මතු වෙන්නේ නෑ ) 

අද ලිපිය තුල කතා කරන්නට උත්සාහ කරන්නෙ Dyspraxia තත්ත්වය පිළිබඳව . මේ ඩිස්ප්‍රැක්සියා තත්ත්වය ගැන කෙටියෙන්ම කීවොත් දරුවගේ චලනයන් , පේෂි මෙහෙයවීම් නිසි ලෙසින් , එහෙම නැත්නම් දරුවගේ මොළයට ඕන විදියට සිදු නොවීම නිසා ඇති වන  අසාමාන්‍යතාවයක් .

අපි ටිකක් මේ ගැන සරළව කතා කළොත් ,

මට පාට පැන්සලක් අරගෙන  ලස්සන  ගහක් අඳින්න හිතෙනවා , මුලින්ම මගේ හිතේ අර අඳින්න හඳන ගහ ගැන රූපයක් , පාට , රටා මැවෙනවා . ඊට පස්සේ මොළයෙන් අතේ පේෂි වලට යවන පණිවිඩයන් උදව්වෙන් , ඇඟිලි මෙහෙයවල පැන්සල අල්ල , හිතේ තිබුණූ ගසේ රූපය අඳිනවා . සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ඇති දරුවෙක් කරන්නේ මෙය , නමුත්...,

 ඩිස්ප්‍රැක්සියා දරුවෙක්ට සිදු වන්නේ වෙනත් අකරතැබ්බයක් . ඒ දරුවගේ හිතෙත් , අර විදියටම “ලස්සන ගහක රූපයක්“ හිතේ මැවනෙවා, දැන් පුංචි දරුවගේ මොළයෙන් පණිවිඩයක් යනවා අතේ පේෂී වලට පැන්සල අල්ලගන්න කියල , ඒත් පැන්සල අල්ලන්නට ඕන ඔක්කෝම පේෂි වලට මේ පණිවිඩය නිසි පරිදි , නිසි වෙලාවට ලැබෙන්නෙ නැහැ . මොකද වෙන්නේ ? දරුවට පැන්සල හරියට මෙහෙයවල අර හිතේ තිබුණු ලස්සන ගසේ පිංතූරය කඩදාසිය මත අඳින්න අපහසුවෙනවා , පැන්සල ඇද වෙනවා , පැන්සල නැටවෙනවා , අන්තිමට පැටියගේ හිතේ තිබුණු දේ නෙවෙයි ඇඳිල තියෙන්නේ .
කතා කරන්න ගියත් ඔය ටිකමයි . දරුවට තමන්ගේ යාළුවත් එක්ක ලොකු කතාවත් කියන්නට හිතේ මැවුනත් , ඒක කටින් පිටවෙන්නෙ වෙනස්ම විදියකට , හිතුවත් මම හරියට කිව්ව කියල , අහගෙන ඉන්න යාළුවට මේ කියන දේ තේරුම් ගන්න බැහැ . දැන් හිතාගන්න පුළුවන්ද මේ දරුවගේ හිතට ඇතිවන වේදනාව , බිඳිම. මෙන්න මේ බිඳිම නිසාමයි මෙය ඉගෙනුම ලැබීමේදී ලොකු බාධකයක් බවට පත්වෙන්නෙ.

මේ අවාසනාවන්ත තත්ත්වයේ වැඩිම ගොදුර වන්නේ කොළු පැටවුන් , අනුපාතයක් විදියට ගත්තොත් අසාමාන්‍යතාවම හඳුනාගත හැකි කොල්ලන් 4ට කෙල්ලන් 1ක් වගේ ප්‍රමාණයක් . ඔබේ දරුවා ගැනත් පොඩිත්තක් අවධානයෙන් බලන්න , කළබල වෙන්න එපා නමුත් “අපේ ළමයට ඔය කියන කිසි ප්‍රශ්නයක් නැහැ“ කියල අතහැරල දාල ඉන්නවාට වඩා , දෙමාපියන් ටිකක් අවධානයෙන් තමන්ගේ දරුවා , සම වයසේ දරුවන් අතර දි වෙනස්කමක් , දකිනවා නම් වැඩි දුර සොයා බැලීමක් කරන එක දරුවගේ අනාගතය වෙනුවෙන් වටිනවා .

අපි මෙ තත්ත්වයේ දරුවෙක් පෙන්වන ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ගැන කතා කරල ඉන්න එක වැදගත්  .
අදාල වෙනස්කම් මුලින්ම හඳුගන්නට පහසු පෙර පාසල් මුල් කාළයේදි , හේතු කිහිපයක් , එකක් දරුවාගේ චලන ,කථන ක්‍රියාකාරකම් වැඩි වන කාළය , අනෙක් තවත් දරුවන් එක්ක ගැවසෙන නිසා යම් වෙනසක් හඳුගන්නට වඩාත් පහසු සමය.

පෙර පාසල සමයේ ඉන්න  දරුවා තුල මෙවන් ගැටළු “දිගින් දිගටම“ මතු වනවා දැයි හොයන එක හැම දෙමාපියෙකුගේම වගකීමක් ,

  1. දරුවගේ විශේෂීත වර්ධන අවස්ථා , ඒ කීවේ මුලින්ම නැඟිටින එක  , ඇවිදිනපටන් ගන්න එක , කතා කිරීම වැනි අවස්ථා , සාමාන්‍යට වඩා පමා වීමක් වුනාද කියන කරුණ , 
  2. හොඳින් ඇවිදිය යුතු වයසේ වුනත් නිසි ලෙසින් ඇවිදින්නට නොහැකි නම් , පොඩි දුරක් ඇවිදිත්දි කිසිම හේතුවක් නැතිව පය පැකිළිලා වැටෙනවා නම් , සමබර බව තබා ගන්න බැරි නම් , 
  3. පෙර පාසලේ කරන හැඩතල හඳුනාගැනීමේ සෙල්ලම් වලදි දිගින් දිගටම නොතේරෙන බවක් අඟවනවා නම් ,
  4. පැන්සලෙන් , පාට පැන්සලෙන් කරන ක්‍රියාකාරකම් වලදි , අදාල වයසේ දරුවෙක්ගේ තරමට වඩා හුඟක් අඩු හැකියාවක් පෙන්වනවා නම් ,
  5. බෝලයක් විසි කරත්දි එහෙම නැත්නම් පයින් ගසත්දි , විසි කරන්නට පෙන්වන දිසාවට එය යොමු කරන්නට (දිගින් දිගටම ) බැරි වෙනවා නම් ,
  6. බිම වැටනු දෙයක් , පැන්සලක් , මකනයක් , ටික් බෝලයක් අහුල ගන්නට වෙනත් දරුවෙක් වෙහෙසෙන තරමට වඩා හුඟක් වෙහෙසෙන්නට ඕන නම් , 
  7. උඩ , යට , ඉස්සරහ , හිමින් , වේගෙන් වගේ වචන ගැන , දරුවට කිසිම හැඟීමක් නැති බවක් පෙන්වනවා නම් ,
  8. දරුවා කතා කරත්දි සමහර ශබ්ද නිසි ලෙසින් පිට නොවනවා නම් , ඒ කියන දේ පවුලේ අයට හැරෙන්නට වෙනත් කෙනෙකුට තේරුම් ගන්නට බැරි තරම් අපහසුනම් , ( Verbal dispraxia තත්ත්වය නිසා දරුවට කියන්නට අවශ්‍ය දේ හිතට ආවත් , කටහඬ පාලනයට අවශ්‍ය පේෂී නිසි ලෙසින් ක්‍රියාත්මක නොවීම නිසා වදන හරියට පිට වන්නේ නැහැ) 
  9. දරුවාව ස්පර්ශ  කරත්දි හුඟක් කළබල වෙනවා නම් , 
  10. යාළුවන් එක්ක මිතුරු නොවී , වෙන්ව ඉන්නට දිගින් දිගටම උත්සාහ කරනවා නම් , 
  11. පුංචි දේකටත් , එහෙම නැත්නම් කිසිම හේතුවක් නැතිවත් ඉක්මණට කේන්ති යනවා නම් ,
  12. පෙර පාසල නිම වෙලා ගෙදර එත්දි ,අසාමන්‍ය විදියට වෙහෙසකර බවක් පෙන්වා නම් ,
  13. මාස කිහිපයක් පෙර පාසල් ගියත් , නැත්නම් සිංදුවක් , චිත්‍රයක් අඳින හැටි කියල දුන්නත් එය  “තේරුම් ගැනීම හුඟක්ම  දුර්වලයි“  නම් , 
  14. හැම වැඩකම  අසාමාන්‍ය විදියට ප්‍රමාද බවක් දක්වනවා නම් ,
...... පොඩ්ඩක් ඉන්න , හිතන්න ... කළබල නොවී . අනෙක මේ එක් ලක්ෂණයක් එක වරක් දෙවරක් දැක්ක පමණින්ම අනවශ්‍ය බයක් ඇති කරගන්නට එපා , වෙනසක් දුටුවා නම් ,ටික දිනක් ඒ ගැන අවධානයෙන් ඉන්න , දරුවාට ඒ ගැන නැවත නැවත කියමින් රිදවන්න එපා. ඔව අවධානයෙන් සිටිමින් මුලින් කී ලක්ෂණ වැඩි ගණනක් මතුවනවා දැයි බලන්න . කළ යුත්තේ එයයි. මේ හඳුනාගැනීම “අවධානයෙන් ඉන්න දෙමාපියන්ට පහසුවෙන් කරන්න පුළුවන් ‘‘ . නමුත් පෙර පාසල් ගුරුවරියකට , පාසල් ගුරුවරුනට වඩාත් අවබෝධයෙන් කරන්නට පුළුවන් . ( නමුත් එක පංති කාමරයක පැටවුන් 30-40ක් ගුලි කරන , ජනප්‍රිය පාසල් රටාව තුල මෙය ප්‍රාෙයා්ගිකද කියන එක නම් ගැටළුවක්) 

මෙලෙසින් “යම් වෙනසක් හඳුනාගත්තා නම් “ ඊළඟට කළ යුතු දේ ඔබෙ පවුලේ වෛද්‍යවරයා හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා සමඟින් “හඳුනාගත් වෙනස“ පිළිබඳ සාකච්ඡා කරන එක , මක් නිසාද මෙය අදාල තත්ත්වයම නම් එය නිගමනය කිරීමේ හැකියාව පවතින්නේ ඔවුන්මත , අනෙක් එය එසේ වූවානම් දරුවාට කළ යුතු ප්‍රතිකාරත්මය පියවර සඳහා යොමු කළ යුත්තේත් ඔවුන් . 

ප්‍රතිකාර කීවාට මෙ සඳහා ඖෂධීයමය ප්‍රතිකාර භාවිත නොකෙරෙන තරම් , ප්‍රධානව කෙරෙන්නේ විවිධ චිකිත්සීය ක්‍රම ( කථන චිකිත්සාව , චර්යාමය චිකිත්සාව , සහ තවත් වෘත්තීය චිකිත්සක ක්‍රම) මඟින් දරුවාට ඇතිවන අපහසුතා අවම කිරීම . තවමත් මෙම තත්ත්වය සම්පුර්ණයෙන් සුව කිරීමට ඖෂධයක් සොයාගෙන නැහැ.නමුත් පෙර කී චිකිත්සීය ක්‍රම සහ මේ තත්ත්වය ඇති දරුවන් වෙනුවෙන්ම් සැකසු “ආධාරක උපකරණ“ (උදාහරණයක් විදියට මෙවන් දරුවන්ට වෙනමම සැකසූ පැන්සල් , සහ පැන්සල් ඇඟිළ අතරේ රඳවන උපකරණ)  යොදා ගනිමින් , දරුවාගේ හැකියාවන් මතු කරගන්නට කටයුතු කෙරෙනවා . 

දැන් කවුරු හරි ඇහැවුවොත් ඇයි මෙහෙම  වෙන්නේ කියලා , ඔය  ප්‍රශ්නයට උත්තර තවමත් සොයනවා කියන එක විතරයි මට කියන්නට පුළුවන්. නමුත් අඩු බර දරු උපත් , නිසි කළට පෙර සිදුවන දරු උපත් , කෘතිම සංසේචන ක්‍රම භාවිත කරමින් පිළීසිඳුවා ගන්නා දරුවන් අතර මෙම තත්ත්වය බහුලව හඳුනාගෙන තිබෙනවා . ඒ වගේම අපේ රටේ අඩුවුනත් , දරුවා ගැබ තුල සිටින කාළයේ මව මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිත කළා නම් එය දරුවාට අවදානමක් ගෙන එන බව පර්යේෂණ මඟින් හඳුනාගෙන තිබෙනවා. නමුත් ...... තවමත් මෙයට හරිම හේතුව නම් සොයා ගෙන නැහැ.

යම් හෙයකින් දරුවා Dyspraxia තත්ත්වයෙන් පෙළෙන බව හඳුනාගත්තා නම් , දැන් සියල්ල දොස්තර මහත්තයට හෝ වෘත්තීය චිකිත්සක මහත්මයාට හෝ මහත්මියටම බාර දීල ඉන්න බැහැ .  දෙමාපියන්  ටිකක් වැඩි අවධානයක් මේ දරුව පිළිබඳව කරන්නටම ඕන . මෙ දෙපාර්ශවයේම් උපකාර ලැබුණොත් , කළක් යත්දි දරුවගේ අධ්‍යාපන , චර්යාත්මක සංවර්ධනයක් දකින්නට පුළුවන් වේවි , නැතොත් පංතියේ තවත් කරදරකාර , මෝඩ ළමයෙක් විදියට පන්තියෙදිත් , සෙල්ලම් කරන්න බැරි ,හරියට තරහ වන යාළුවො නැති “තනියෙක්“ ලෙසින් දරුවා තනිවේවි . එය වියපත් වීමෙදි මානසිකව ලොකු බලපෑමක් කරන්නට පුළුවන් තත්ත්වයක් ,

ඒ නිසාම , මෙවන් තත්ත්වයක් හඳුනාගත්තු දරුවෙක් ඉන්න ගෙදරක , දරුවා වෙනුවෙන් කළ හැකි දේ “සෙල්ලම්“ ගැන  ටිකක් කතා කරමු . 

පෙර පාසල් වියේ ඉන්න මේ දරුවගේ ලොකුම ගැටළුව වෙච්ච , පේෂි චලනයන් සහ සමබරතාවය සම්බන්ධ ගැටළුවට යම් විසඳුමක් ඇති කරන මෙන්න මේ වගේ සෙල්ලම් දරුව එක්ක කරන්න පුළුවන් ,
මතකද අපි පුංචි කාළේ කළ ‘‘ කොටු පැනිල්ල“ ( ඔය ලොකු අය කරන එක නෙවි) , විවිධ පළාත් වල වෙනස් නම් යොදා ගත්තත් , බිම හුණූ කූරකින් , නැත්නම් කෝටුවකින් අඳින කොටු අතර පනිමින් කරන සෙල්ලම දරුවාට ලොකු උපකාරයක් වේවි. 

ඔන්චිල්ලාවක් තියේ නම් , එය පදින එකෙතනුත් දරුවට වේගය , ඉහළ පහල වගේ සංකල්ප තේරුම් ගැනීමට ඇති අපහසුතා , සෙමෙන් විසඳ ගන්නට පුළුවන් වේවි , ඒ වගේම දරුවගේ මානසිකව ඇති පීඩනය අඩු කරගන්නත් ඔන්චිල්ලාව හුඟක් වැදගත්.

බැලුන් බෝල පුම්බන  , පුපුරවන සෙල්ලම් , සබන් බෝල අල්ලන සෙල්ලම් , ටිකක් කල් ගත වෙත්දි “ටික් බෝල වලින් කරන “ සෙල්ලම් දරුවට බෙහෙතේ වගේ , ඒ කීවේ ලොකු උදව්වක් කරාවි .

මේ විතරක් නොවෙයි , කිරි මැටි නැත්නම් ක්ලේ වලින් කරන නිර්මාණ , දිය සායම් , බුරුසු යොදා ගනිමින් අඳින චිත්‍ර වගේම රබර් පටි කැටපෝල සෙල්ලමත් දරුවගේ සියුම් චාලක හැකියානන් වර්ධනය කරනවා .

මේ සඳහා අද නව තාක්ෂණය සමඟි නිපැදවුනු පරිගණක උපාංග වගේම මෘදුකාංගත් තිබෙනවා , ඉන් සමහර මෘදුකාංග නොමිලේම බාගත කරගන්නටත් පුළුවන් .

මේ ලිංක් එකට ගියොත් ඔබට ලබා ගන්න පුළුවන් මෙවන් දරුවෙකුගේ ක්‍රියාකාරකම් සංවර්ධනය සඳහා පාසලක් තුල ගන්න උපක්‍රම , නමුත් ඉන් සමහර ක්‍රම ඔබට ගෙදරදිම යොදා ගන්නත් පුළුවන්.
මෙන්න ලිංක් එක http://www.dyspraxia.ie/documents/classroomguidelines.pdf

මේ සියල්ල සමඟින්ම දෙමාපියන් මේ දරුවට වඩාත් හොඳින් කන් දෙන්නට ඕන , සමහර විට දරුව කියන දේ නොවැටහෙන්න පුළුවන් , නැත්නම් කිසිම තේරුම්ක් නැහැ වගේ දැනෙන්න පුළුවන් . නමුත් අවස්ථාව අනුව නිවැරදි චවන සහිතව ප්‍රශ්නය නැවත දරුවගෙන් අහමින් ඔහු හෝ ඇය කියන්නට උත්සාහ කළ දේ හදුනාගැනීම හරිම වැදගත් , එසේ නොවුනොත් දරුවාගේ මානසික පීඩනය වැඩි වනවා වගේම , තම දෙමාපියන් “තමන් නොසලකා හැරිය“ කියන හැඟීම නිසා තරමක දරදඬු චර්යාවන් පෙන්වමින් “කරදරකාර ළමයෙක්“ කියන තත්ත්වය ඇති කරගන්නට උත්සාහ කරාවි. එය දරුවගේ අනාගත සංවර්ධනයට යන මග , අවහිර කරන බාධකයක් . 

මෙන්න මේ නිසා Dyspraxia තත්ත්වයේ ඉන්න දරුවෙක් ඉන්න දෙමාපියන් , මෙම අසාමාන්‍යතාව ගැන දැනුවත් වීම සහ එම දැනුම යාවත්කාළීන කර ගැනීම හරිම වැදගත් . එලෙසින්ම පෙර පාසල් ගුරුවරුන් , පාසල් ගුරුවරුන් මේ තත්ත්වය පිළිබඳව තමන් ලබා ඇති දැනුම ප්‍රාෙයා්ගික ලෙස යොදා ගනිමින්  මෙවන් දරුවන් “කරදරකාරයන් ලෙස නොසලකා “  තමන්ගේ දරුවන්ට උපකාර කරන්නේ නම් එය මිනිසත්කමේ සුන්දර සලකුණක් කියලයි මට හිතෙන්නේ . 

මේ ලිිපිය කියවන අයෙක්ට හිතන්න පුළුවන් “ලංකාවේ මේ ලෙඩේ තිියේද ? එහෙම නම් ඒකට ප්‍රතිකාරත් ලංකාවේ තිබෙනවාද “ කියන ප්‍රශ්නය , මේ ප්‍රශ්න දෙකටම උත්තරේ ඔව් , නමුත් වඩා වැදගත් වන්නේ මෙම වෙනස ඉක්මණින් හඳුනා ගැනීම සහ නිසි  ප්‍රතිකාරයන් වෙත ඉක්මණින්ම යොමු වීම . එමඟින් මේ දරුවා ලොවට වැඩි ඇති මිනිසෙක් බවට පත් කරන්නට ඇති හැකියාව ඉහළයි.

එසේ නම් අද ලිපිය මෙතැකින් නිමා කරන්නයි සූදානම්, නමුත් මේ ඊළඟ ලිපියත් මේ ආශ්‍රිතව වේවි ,නමුත් මේ තරම්ම දිගු ලිපියක් නොවේවි .

සුව සතුට පිරි දිනයක් ඔබ සැමට !

8 comments:

  1. ඔබ සිටින රටේ අධ්‍යාපනයඅනුව ඔබේ දුවට උනත් මේ වගේ රෝගී තත්වයන් අඳුනාගත හැකි මට්ටමක සිටියත් ලංකාවෙ දෙමාපියෙකුට උනත් ඒ දැනුම තිබේද කියන එක සැක සහිතයි. මෙවැනි ලිපියක් උනත් ඇස ‍ගැසෙන්නෙ කීදෙනෙක්ගෙද.

    ඒ උනත් මේ දේ ගැන යම් දැනුවත් වීමක් උනොත් අහිංසක දරුවෙකුගෙ ජීවිතය සැපවත් කරන්න පුලුවන් වෙයි.

    වටින ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම , මෙවන් තත්ත්ව ගැන අපේ ප්‍රජාව තුල දැනුම ප්‍රමාණවත් නැහැ කියන එකයි මගේත් මතය, ඩවුන්ස් සින්ඩ්‍රෝම් වගේ තත්ත්වයක දරුවෙක් හඳුනගත්තත් මෙවන් ඉතා සුක්ෂම ගැටළු සහිත දරුවන්ගේ චර්යාමය වෙනස්කම් “වෙනසක්“ ලෙස හඳුනාගන්නට නම් දැනුම් අවශ්‍යමයි. ඒ වගේම වෙනස හඳුනගත්තත් එය සඟවමින් දරුවා වෙත පීඩනයක් ඇති කරන්නට ගන්නා උත්සාහයන් නම් දකින්නට , අසන්නට ලැබෙනවා.

      ස්තුතියි ඔබේ අදහසට !

      Delete
  2. ඇත්තටම ලිපිය ඉතාම වැදගත්! (මෙය පමණක් නෙවෙයි ඔබ ලියා ඇති අනෙක්වාත් ඉතාම වැදගත්) අපේ රටේ දෙමාපියන්ව දැනුවත් කිරීමෙදි තබා ගරුවරුන් පුහුණ කිරීමදෙී හෝ මෙවැනි තත්ත්වයන් ගැන දැඩිව අවධානය දෙන බවක් මටනම් පෙනුනෙ නෑ. විභාග පස්සේ දක්කන්න වෙලා තියන හින්ද ගුරුවරුන්වත් දරුවන්ගේ මෙවැනි තත්.්ව ගැන කොහොමවත් සැලකිලිමත් නෑ. ඒ තත්වය වෙනස් විය යුතුයි වහාම වෙනස් විය යුතුයි. මේ ලිපිය අධ්‍යාපන සැලසුම් කරනයේ යෙදෙන ගරු පුහුණුව සැලසුම් කරන බලධාරීන්ගේ ඇස ගැටේවා ! ඔබට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. දියවැඩියාව , හෘදයාබාධ වගේම දරුවන්ට අදාලව ඇති වන මෙවන් සංකීර්ණ අසාමාන්‍යතා පිළීබඳවත් යම් දැනුමක් දෙමාපියන් තුල යම් තරමක හෝ දැනුමක් තිබීම හුඟක් වටිනවා. මා දන්නා තරමින් නම් අධ්‍යාපන පීඨ යන් තුල සිදු කෙරුණූ ගුරුපුහුණු වලදි “ගුරුවරුන්ට“ මේ තත්ත්වයන් පිළිබඳව යම් දැනුමක් ලබා දෙනවා . නමුත් ඔබ කියන ලෙසින්ම “දරුවන් තරඟයට දක්කන“ ගුරුවරුන් මේ වෙනස්කම් දකීද යන එක තමයි ගැටළුව .
      ස්තුතියි

      Delete
  3. අද අපේ රටේ ඉන්න විශේෂ අධ්‍යාපන පුහුණු ගුරුවරුන්ට මෙවැනි ළමයින් පිළිබඳව ඉතා සතුටුදායක දැනුමක් තියනවා. ඔවුන් සඳහා විශේෂ ඉගැන්වීම් ක්‍රම සාර්ථකව භාවිත කරන්නට ඒ ගුරුවරුන් දන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක මහත්මයා , අපේ රටේ “විශේෂ අධ්‍යාපන ගුරුවරුන්“ මෙ තත්ත්ව පිළිබඳ හොඳ දැනුමක් වගේම , එබඳු දරුවන්ට සහය වීම සහ ඒ සඳහා අවශ්‍ය ඉගෙනුම් උපකාරක “උපකරණ“ නිර්මාණය කිරීමට පවා දක්ෂයින් බව මා පුද්ගලිකවම දන්නා කරුණක්. නමුත් ගැටළුව එන්නෙ , සාමාන්‍ය පෙර පාසල් අවධීයේ හෝ සාමාන්‍ය පාසලක පළමු වසර කිහිපය තුල ඉන්නා දරුවෙක්ගෙ මේ “වෙනස“ හඳුනාගන්නට“ තරම් නිදහසක් අපෙ ප්‍රාථමික ශ්‍රේණි වල ගුරුවරුනට තිබේද යන්නයි , පවතින තරඟය සහ පන්තියක සිටින ළමුන් ප්‍රමාණය නිසා එය දුෂ්කර කටයුත්තක් වනවා මෙන්ම , හඳුනාගත්තත් නිසි “විශේෂ අධ්‍යාපන ගුරුවරුනට“ යොමු කිරීමෙ ක්‍රියාවලිය සම්පුර්ණ වීම දක්වා විවිධ අපහසුතා පවතින බව දකින්නට , අසන්නට ලැබෙනවා. කෙසේ වෙතත් මේ පිළීබඳව දැනුවත් අධ්‍යාපන වෘත්තිකයන් සිටීමම සතුටක් .
      ස්තුතියි ඔබට

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)