2015/09/21

174) මරණ දඩුවම කෝකටත් තෛලයක්ද ?


වේදනාවෙන් නැගි “ජනප්‍රිය රැල්ල“ 

මේ දවස් වල අපේ රටේ වැඩියෙන්ම කතාවන මාතෘකාව “මරණ දන්ඩණය“ , එයින් මේ අපරාධ සියල්ල මැඩ පවත්වා , ස්ත්‍රී දුෂණ , ළමා අපචාර , මිනී මැරුම් නැති “සුන්දර රටක් “ බිහි කරන්නට මේ “දන්ඩණයට“ හැකි බවත් එය ඉක්මණින් ලබා දෙන ලෙසත් කරන බලපෑම් , ඉල්ලීම් , වාද විවාද බෝමයි . මේ සියල්ල දෙස අසා බලා සිටින වෙලාවෙ මේ මරණ දණ්ඩනය සහ එහි පල-අපල , අැත්තෙන්ම එය මේ කියන තරම්ම බලගතු  අපරාධ නාශකයක්“ දැයි විමසා බලන්නට හිතුනා . 



මරණ දණ්ඩනේ 

අපි මුලින්ම පොඩ්ඩක් කතා කරමු ඇත්තටම මේ “මරණ දණ්ඩනය“ කියන්නෙ කියලා . නීතියේ විදියට දිග විස්තර කිරීමකට ගියත් එහි සාරාංශය “ රටක පිළිගත් නීතිය පද්ධතියට අනුව අපරාධකරුවකු යැයි  තීන්දු කරන අයෙකුට , නීතියට අනුකූල අයුරකින් මරණය අත්පත් කරදෙන  දඩුවම් ලබා දීමයි“ කියල  කියන්න පුළුවන් . 

රජකාලේ අළින් ලවා පාගා ලබා දුන්නේත් අද අතිශ්‍ය ප්‍රබල විෂ ඔෟෂධ දේහ ගත කර ලබා දෙන්නේත් , විලංගුලා පුටුවක වාඩි කර , දේහය තුලින් අධිබල විදුලිය යවා කරන්නේත් තවත් ක්‍රම ගණනාවක් ඔස්සෙ කරන්නෙත් මේ දඬුවමමයි. අපරාධකරුවකුට ලබා දිය හැකි උපරිම දඬුවම ලෙසත් , විටෙක සමාජයේ අනෙක් අය වෙත “ලබා දෙන පාඩමක්“ ලෙසත් , විවිධ අයුරින මේ ගැන සිතන්නට පුළුවන්. 


තෛලය කෝකටත්ද ? 

දැන් ගැටළුව පැන නඟින්නේ මේ “මරණ දඬුවම“ දුන් පමණින්ම රටක අපරාධ හෝ අපරාධවල කෘරතර බව  අඩුවේද යන්නයි . මොහොතක් නවතින්න , හුස්මක් ගන්න , ටිකක් සැහැල්ලු වෙන්න . මෙහෙම කිව්වෙ මේ දවස් වල “මරණ දණ්ඩණය එපා “ කියල කිව්වොත් රාජද්‍රෝහී වූ තරමට හිතන , කළබල වන රැල්ලක් තිබෙන නිසා . මොකද ලිපිය කියවන්නේම නැතිව කළබලේම මටත් ඒ ලේබල් එකම ගහන්න පුළුවන් . ඒ නිසා පොඩිත්තක් කළබල නොවී ලිපිය කියවලම ඉන්න .


යන පාර හරි පාරද ?

අපි මරණ දඬුවමේ පල අපල කියවන්න ඉස්සර වෙලා පොඩ්ඩක් බලමු , මේ දණ්ඩනයට යන පාර මොකක්ද කියලා , අපි පටන් ගනිමු මෙතැනින් , 
  • මුලින්ම යම් අපරාධයක් සිදුවන්නට ඕන , එය අදාල රටේ පිළිගත් නීතියට අනුව “අපරාධයක්“ වන්නට ඕන (මෙහෙම කියන්න හේතුව සමහර අපට හිතෙන අපරාධ අදල රටේ , නැත්නම් කුළයේ , හෝ ආගමික පරිසරය තුල “අපරාධයක්“ නොවීමට ඉඩ තිබෙනවා , පසුගිය දිනෙක තම ස්වාමියාට හොරෙන් තවත් පිරිමියෙකු ඇසුරු කළ වරදට අදාල “කුළයේ නායකයා “ ලබා දී තිබූ දඬුවම අදාල කාන්තාව , තවත් පිරිමින් පස් දෙනෙක් ලවා ප්‍රසිද්ධීයේ දුෂණයට ලක් කිරීමයි . )
  •  දෙවැන්න , අදාල අපරාධය පිළිබඳව රටේ පිළිගත් නීති පද්ධතිය නිසි අයුරින් හඳුනාගත යුතු වීම. මෙය පැමිණිල්ලක් , ලෙස මූලිකව හෝ නීතිය /පොලිීසිය විසින් කරන විමර්ශණයක ප්‍රතිපලයක් ලෙස සිදුවූ හඳුනාගැනීමක් වේවි ( මෙතැනදි දෙවැනි පියවරට එනම් නීති පද්ධතියට  නොඇවිත් , පළමු පියවර තුල නවතින “අපරාධ“ නැතැයි කියන්නට පුළුවන්ද? තවමත් නීතියේ ඇස නොගැටුනු , අපරාධ අපේ රට තුලම කෙතරම් වන්නට සහ සිදුවෙමින් පවතිනවා ඇත්ද ? ) 
  • තෙවැන්න , අදාල  අපරාධය , රටේ පිළිගත් නීති පද්ධතිය තුල “නීත්‍යානූකූලව විමර්ශණය“ කෙරෙනමින් , සාක්ෂි , දත්ත සහ රටේ පවත්නා නිීතියේ “වචන  සහ වාක්‍යකරණයන්ට“ අනූකූලව අවසන් තීන්දුවක් ලැබීමයි.
  • සිවුවැන්න , අදාල තීන්දු ප්‍රකාරව “වැරදිකාරයා“ වන අයට , වෙනත් රටේ නීතිය පිළිගත් ක්‍රමවේදයකින්  ලැබෙන සමාවක් නොලැබෙන අවස්ථාවේ  අවසන අදාල දණ්ඩනය හෙවත් මරණය හිමි කරදීමයි . 
මම මේ කිව්වේ මරණ දන්ඩණයට යන පාර ගැන බොහොම කෙටියෙන් , නමුත් මේ පියවර හතර තුල තවත් සංකීරණ පියවර ගණනාවක් තිබෙන්නට පුළුවන් . ඒ නිසා රත් වෙච්ච තාච්චියෙන් ආප්ප පුච්චන සමහර “වීරයන් “ කියනව වගේ , මරණ දණ්ඩණය ලබා දීම සරළ කටයුත්තක් වෙන එකක් නැහැ . ( මම මේ කියන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට බැහැ කියන තැන ඉඳන් නොවේ , ක්‍රියාත්මක කරන්නට බොහොම පහසුවෙන් පුළුවන් වේවි , පාර්ලිමේන්තුව තුල  එය පිළිගන්නවා නම් ජනපතිවරායා  කියන විදියට ලබන අවුරුද්දේ එය ක්‍රියාත්මක වේවි , නමුත් “ක්‍රියාත්මක කිරීම“ සහ “ දඬුවම ලබා දීම“ කියන්නේ අවස්ථා දෙකක්.) 


දැන් අපි තව ටිකක් ගැඹුරට  , සරළව මේ ගැන කතා කරමු , 

නොවේවා කියල පැතුවත් , යම් අපරාධයක් සිදුවනා කියමු , ඉතාමත් කෘෘර අමානුෂික අපරාධයක් ( මම කියන්නේ මිනී මැරීමක් ගැන විතරක්ම  නොවේ ) . නමුත් එය රටේ නීතියට දැන ගන්නට නොලැබුණා නම් ,කතාව එතැනින්ම අවසන් වන්නට ඉඩ බොහොමයි .

එහෙම නැත්නම් නීතියට දැන ගත්තත් ,
  • ලැබුණු සාක්ෂි ප්‍රමාණවත් නොවීම , 
  • අපරාධකරුගේ  පාර්ශවයේ නීතිඥ මහතුන් ගෙනෙන කෙස් පැලෙන තර්ක බිඳගන්නට නොලැබුනොත් , 
  • වෙනත් බලපෑම් මත කිසිදු සාක්ෂියක් නොලැබී ගියොත් , 
අදාල අපරාධකරුට දඬුවම ලැබේවිද ?  එහෙම ලැබෙනවා නම් අද මේ වෙන කොට අපායේ ලෝ දිය හිමි අය , කීදෙනෙක් සුරසැප විඳිමින් “නායකයන් “ ලෙස රටේ ඉහළ තැන්වල ඉන්නවාදැයි සාධාරණ ලෙස සිතන ඕනම කෙනෙක්ට දැනෙන දෙයක් . 

DNA හොරු අල්ලන්නමද ?

දැන් කෙනෙක් කියන්නට පුළුවන් අද තාක්ෂනේ එක්ක අපරාධකාරයා තීරණය කරන්න පහසුයි කියලා.ඔව් , ඒක ඇත්ත විශේෂයෙන්ම අද පවතින අධිකරණ තාක්ෂණවේදය ඉතාමත් දියුණු එකක් , උදහරණ ඩී එන් ඒ මඟින් පුද්ගලයන් තහවුරු කර ගැනිම ඉතාමත් සාර්ථකයි , 

ඒ නිසාම අපි ටිකක් වැඩිපුර මේ ගැන කතා කරමු .  දරුවක්ගේ පීතෘත්වය  තහවුරු කරගැනීම සඳහා , අදාල පියායැයි සැක කරන පුද්ගලයාගේ කැමැත්ත මත ලබා ගන්නා සෛල හෝ පටක සාම්පලයක් යොදා ගනිමින් DNA  දාමයේ ඇති රටාව ගැලපීමෙන් අදාල දරුවාට පීතෘභාවය තහවුරු කිරීම සාර්ථක සහ බහුලව සිදු වුනත් , අපරාධ පරික්ෂණයේදි එය එක් තාක්ෂණීක සාක්ෂියක් පමණයි , 

ඒ වගේම එම DNA පරික්ෂණයේ ප්‍රතිපල වල තත්ත්වය තවත් සාධක ගණනාවක් මත රඳා පවතිනවා , 
  1. ලබා ගත් සාම්පලයේ තත්ත්වය සහ ප්‍රමාණය , 
  2. අදාල පරික්ෂණය කරන ජෛවතාක්ෂණ පරියේෂණායතනයේ , තාක්ෂනික උපකරණ වල සහ අදාල පරියේෂකයන්ගේ ක්‍රියාකාරීත්වය 
  3. අදාල පටක සාම්පලය ආයතනය වෙත යොමු කරන තෙක් සහ එතුලදී පරිහරණය කරන විදිය , ලේබල් කිරීම  , ගබඩා කිරීම සහ ආරක්ෂාව , (මෙහිදි අදටත් සිදුවන  “සාක්ෂී නැතිකර “ , අපරාධකරුවන් නිදහස් වන  ප්‍රවණතාවයන් ගැන හිතුවොත්  DNA පරික්ෂණය කෙතරම් සාර්ථක වුනත් ටිකක් හිතන්න වෙනවා නේද? ) 
  4. තාක්ෂණිකව සහ පරිහණණය සහ නිරීක්ෂණ කරන්නන් අතින් විය හැකි වැරදි 
මේ තත්ත්වය මත DNA පරික්ෂණය මතම “මරණ දඬුවම“ ලබා දුන් පමණිනි , දඬුවමින් මරණයට පත්වූයේ “ නියම අපරාධකරුම“ දැයි සැකයක් මතු වන්නට පුළුවන් . එයම නීතියේ දි අපරාධකරුට වාසිදායක  තත්ත්වයකට හරවා ගන්නටත් හැකියාවක් නැත්දැයි මධ්‍යස්ථව බැළුවොත් හිතේ්වි. අදත් පත්තරේ තිබුණ කතාවක හැටියට , මේ දවස් වල කෙරෙන  මිනි මැරිමක් යැයි සැක කෙරෙන ප්‍රසිද්ධ නඩුවකට අදාලව අදාල මිය ගිය තැනැත්තාගෙන් ලබා ගත් දේහ පටක (අධිකරණ විද්‍යාත්මක සාක්ෂි )  සොයාගැනීමට නැතැයි  අධිකරණයට වාර්තා කර තිබුණා (http://www.lankadeepa.lk/index.php/articles/349935) , ඉතින් මෙවන් වැදගත් සාක්ෂී නැතිවීමේ අවදානම්  තත්ත්වයක අනේක සාක්ෂිමය වටිනාකමක් ඇති DNA සාම්පල ගැන කවර කතාද ?


එසේ නම් විය යුත්තේ කුමක්ද ? 

මට දැනෙන ආකාරයට නම් විය යුත්තේ  අපෙ රටේ පවතින අධිකරණ සහ නීති පද්ධතිය පිරිසිදු සහ නවීකරණය වීමයි , ඒ ඔස්සේ සාධාරණ කාළ සීමාවක් තුල “නියම අපරාධකරු “ හඳුනා දඬුවම ලැබෙන පද්ධතියක සැකසීමයි . ඉන් පසුව හැකිවේවි ලබා දෙන දඬුවමේ ස්වභාවය තීරණයට ගන්නට

එමෙන්ම රටේ නීතිය පිළිබඳව ප්‍රජාව තුල ඇති “සාධාරණ සැකය“ දුරහැරෙන්නට ප්‍රජාව දැනුවත් කිරීමටද කාළය මෙයැයි සිතේ . දෙනෝදාහක් දෙනා ඉදිරියේ ‘‘ගිණි අවි යොදා “ තවෙකෙක් මැරූ , නමුත් “අමතකවීම“ හෝ සාක්ෂී නොමැති වීම නිසා දඩුවම නොලබා “රජ සැප විඳින්නන්“ මෙන්ම , එහා වත්තේ පොල්ගෙඩියක් කැඩූ “වරදට“ නීතියේ හැටියට දඬුවම් ලබා දුන් අවස්ථාද අසන්නට ලැබුණි . 

එමෙන්ම , “ගිණි අවි පෙන්වීමට යාම“ ඔස්සේ පිළිගත් නීතිමය ක්‍රමවේදයන්ට පටහැනිව “මරණ දණ්ඩණය “ ක්‍රියාත්මක වූ වගක්ද මතකය. මේ සියල්ල ඔස්සෙ අපේ රටේ අධිකරණ පද්ධතිය , අදට ගැලපෙන , අද තාක්ෂණයට , අද පවතින අපරාධ ප්‍රමාණයන්ට ගැලපෙන පරිදි සැකසිය  යුතුව පවතී . එමෙන්ම දැමූ නඩුව අවසන් වීමට පෙර පැමිණිලිකාරයෝ මෙන්ම විත්තිකරුවේා්ද වියපත්ව මිය යන තරමට “ ඇදෙන නඩු“ , ඊට වඩා සාධාරණ කාළ සීමාවක් තුල  නිමා කරන්නට කටයුතු ද කළ යුතුව පවතින බව අසන , දකින දේ අනුව සිතේ . 

කෙටියෙන්ම කිව්වොත් “කළබලේට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට“ පෙර රට තුල විශ්වාසදායක සහ කාර්යක්ෂම නීති පද්ධතියක් පිහිටුවාලීම කළ යුතුව ඇතැයි මම පුද්ගලිකව සිතමි.  මක් නිසාද පවතින තත්ත්වයන් මත “දඬුවම ලැබ“ සුදු ඇඳුමින් මරණයට පත්වන්නේ “නියම අපරාධකරුමද?“ යන්නත්  , මාංචු දම්වැල් වලින් මිදි සුදු ඇඳුමින් සිනා සෙමින් , උද්යෝගයෙන් උසාවියෙන් පිටවන්නේ “ නියම නිවැරදිකරුමදැයි“ සැකයක් ඇති කරන වටපිටාවක් පැවතුනු සහ පවතින හෙයිනි.


වෙන පාරක් නැත්ද ? 

එලෙස තියුණු කාර්යක්ෂම නීති පද්ධතියක් සැකසු කළ “මරණ දණ්ඩනයම “ අවශ්‍ය වේදැයි සිතන්නට කල් තිබේවි , මක් නිසාද අද ලොව පුරා “මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන සහ නොකර රට වල අපරාධ පිළිබඳව සංඛ්‍යාත්මක විමසුමක් කළ විට , එම අවස්ථා දෙක අතර පැහැදැලි කැපී පෙනෙන වෙනසක් හඳුනාගන්නට නොහැකි බව මේ පිළිබඳව  පර්යේෂණ කරන විද්වතුන් පහදා දීමයි . ඒ ඔස්සේ විස්මයට හේතු වන ලෙසින් සමහර “මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකරණ රටවල (ප්‍රාදේශවල) මිනී මරුම් වැනි අපරාධ මට්ටම , “මරණ දන්ඩනය ක්‍රියාත්මක කරන රටවලට ( ප්‍රදේශවලට) සාපේකෂව අඩු අවස්ථාද දකින්නට හැකි වීමයි. 


මෙවන් පසුබිමක් මත අපරාධයක් සඳහා “මරණ දඩුවම“ දෙනවාට වඩා , අදාල පුද්ගලයාට කිසිදු අවස්ථාවක හෝ කිසිදු බලපෑමක් මත සමාවක් නොලැබෙන , Parole පැරෝල් තත්ත්වම මත තාවකාලිව හෝ නිදහසක් නොලබමින් , මරණය දක්වාම බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා ලබා දෙන සිර දඬුවම වඩාත් ඵලදායක බල මේ කරුණ පිළිබඳ කෙරන විමර්ශණ වල දී අදාල විෂයන් පිළිබඳව විද්වතුන් ලබා දුන් අදහසයි . මක් නිසාද , 

  • මරණයට පත්වීම සුළු මොහොතක වේදනාවක් වුවත් මෙවන් තත්ත්වයක් යටතේ , ආහාර ජලය සහ ඉතා සුළු මානුෂීය අවශ්‍යතාමය පහසුකම් ලබා දුන්නත් , ජීවිත කාළය පුරාවටම ලොවෙන් වෙන්ව “බරපතල වේදනාකාරී “ පරිසරයක විඳවමින් ජීවත් වීමට සිදු වීමයි , විටෙක එය ක්ෂණීක මරණයකට වඩා දඬුවමක් බව මටද හැඟේ .
  • එමෙන්ම එවන් අපරාධකරුවන් ගේ ශ්‍රමය රටට ආර්ථිකමය වැඩදායක කාර්යකට යොදා ගැනීමට පුළුවන . (සිරකරුවෙකු ලෙසින්ම විවිධ වෘත්තීය සහ තාක්ෂණ කටයුතු වලට ඔහු යොදාවා ගැනීම මඟින් ) 

මේ අාකාරයට වඩා තරමක සරළ යැයි සිතිය හැකි දඩුවමක් විඳින  දකුණු මධ්‍ය නිව්යෝක් බන්ධනාගාරයේ සිටින විලියම් බ්ලේක් ඔහුගේ ලිපියක කළ සටහනකින් මම මේ ලිපිය නිමා කරන්නට උත්සාහ කරමි . “ I’ve experienced times so difficult and felt boredom and loneliness to such a degree that it seemed to be a physical thing inside so thick it felt like it was choking me, trying to squeeze the sanity from my mind, the spirit from my soul, and the life from my body ,I have served a sentence worse than death. “

නිමා කරන්නට මත්තෙන් මතක් කරමි , මෙය මගේ පුද්ගලික සහ මධ්‍යස්ථ මතයක් ඔස්සේ මේ විෂය පිළිබඳ කළ විෂයානුබද්ධ අධ්‍යයනයන් සහ අමතරව කළ අධ්‍යයනයන් අනුසාරයෙන් කළ ලිපියකි පමණි , කියවන ඔබ මෙන්ම නොකියවූ ඔබත් තීරණ ගන්නෙ ආවේගශීලී බවේ පෙළඹවීමෙන් නොව බුද්ධියේ මෙහෙයවීමෙන් බව මම විශ්වාස කරමි.
තවත් කියවන්න කැමති නම් ,
http://www.alrc.gov.au/publications/44-criminal-proceedings/reliability-dna-evidence

http://www.deathpenaltyinfo.org/deterrence-states-without-death-penalty-have-had-consistently-lower-murder-rates

http://www.abc.net.au/news/2015-02-26/fact-check3a-does-the-death-penalty-deter3f/6116030

http://www.capitalpunishmentuk.org/thoughtsUS.html

20 comments:

  1. ස්තුතියි වැදගත් කාරනයක් වැදගත් විදිහට විචාරය කළාට. ස්මහරු ආවේගශීලීව කියනේ මරණ දඬුවම ක්‍රියාත්මක කර දඬුවමට බයේ මිනිසුන් වැරදි නොකර තබා ගත හැකි බවයි. මේව අමනකම් මිස වීරකම් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. රටක නීතියක් කියන්නේ කෙතරම් ඉහළ සහ වැදගත් දෙයක් ද කියන එක ගැන වැටහීමක් නැති තැන මෙවන් හැඟීම් වලට බැඳිගිය ආවේගශීලී මතවාද මතුවුනත් , රටේ උගතුන් ඉන්නෙ , නායකයින් ඉන්නේ එය නිසි මගට හරවා ගන්නටයි , ඒත් අපේ රටේ !
      ස්තුතියි ඔබට

      Delete
  2. අන් පණක් නසනවාට කිසිසේතම් මම අකමැතිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහසට මිතුර !

      Delete
  3. ස්තුතියි. මගේ මතයත් මෙයමයි.දුක නම් බහුතරයකට මෙය නොවැටහීම හා වගකිවයුතු දේශපාලන චරිත පහත් තත්වයට ඇද වැටී තිබීම

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඔබේ පැමිණීමම , එක එක කාළෙට රැළී ඇති වුනත් , එ්වා තෝරා බේරා ගෙන ඉදිරියට ගෙන යන්නයි රටේ උගතුන් නායකයින් , දේශපාලන බළධාරින් ඉන්නෙ , නමුත් අද තෝරා බේරා ගන්නෙ , තමන්ට “වීරත්වය“ ලබා දෙන රැල්ල විතරයි , එහි පල විපාක හඳුනාගන්නට තරම් හැකියාවක් ඔවුනටත් නැත්දැයි සැකයක් මතු වෙනවා .
      ස්තුතිය ඔබට !

      Delete
  4. මරණ දඩුවම ගැන අහල සිර කරුවන් අසනීප වූ බවක් අද අසන්න ලැබුනා. පාචන තත්වයක් ඇති වෙලාලු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහසට .

      Delete
  5. මරණ දුඬවම දීම කියන්නෙ කල් යල් බලල හොඳට හිතා මතා සැලසුම් කරල සමූහයක්ම එකතු වෙලා කරන තවත් මිනී මැරීමක් විතරයි කියන එකයි මට හිතෙන විදිහ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහසත් එක් කළාට

      Delete
  6. meka kiyavannata nohakiyi. akuru venas kalada?

    ReplyDelete
    Replies
    1. Wenasak kale nam naha , me kama mama facebook group ekata copy karannam ,
      sthuthiyi

      Delete
  7. හොද අධ්‍යයනයකින් පස්සේ ලියපු වටිනා ලිපියක්..... අගෙයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , ඔබේ පැමිණිමට , අදහසට

      Delete
  8. කාලීනව ඉතාම වැදගත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබ් අදහස් දැක්වීම වෙනුවෙන්

      Delete
  9. මල් තවානක වල් ඇත්නම ගලවා දැමීම සාමාන්‍ය ගතිලක්ෂණයක් උනත් මල් වලට හානි නොවනසේ වල් භාවිතා කළහැකිනම් ඊට මගෙත් යම් එකඟ තාවයක් තිබේ. එහෙත් වල් පිළිලයක් ලෙස මල් වසාගන්නේනම් වල් උදුරා දැමිය යුතු යැයිද හැඟේ. කෙසේ වෙතත් මෙය දෙවරක් දෙක හතරයි වගේ ප්‍රශ්නයක් වත් උත්තරයක් වත් නම් නෙවෙයි.

    නීතිය යනු යුක්තිය නොවනවා මෙන්ම මේ මජර පාලන ක්‍රමය පවත්වාගෙන යන අතකොළු යාන්ත්‍රණයක් මිස වඩා යහපත් සමාජයක් අපේක්‍ෂා කරන හර පද්ධතියක් නොවන බවයි මගේ හැඟීම. කනගාටුවනම් කොන්ඩයින්ට එරෙහිව පෙළගැහෙන වීර සමාජය දේශපාලන තක්කඩින්ට එරෙහිව අඳ ගොළු බිහිරි අමන වීමයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස සමගින් මාද එකඟයි ,‍නමුත් අපේ රටේ පවතින තත්ත්වය තුල මල් වලට වඩා උඩින් ඉන්න “වල්“ නොවැ, එනෙක මල් රැක ගත යුතු උයන් පල්ලා අද නිදි , ඉතින් හරි “වල‘ පැල“ හොයාගෙන උදුරා දමන්නට කෙනෙක් නැති තරමි එයයි ගැටළුව , ඒ නිසා මුල්ම කළ යුතු යැයි මම සිතන්නෙ හරි වල් පැල සොයාගත හැකි වන සේ උයන් පල්ලා සෞඛ්‍යමත් කිරීමයි , ඊට පස්සේ වල් පැල ගලවා දැමීම පහසුයි , නැතොත් , වල් පැල යැයි සිතා මල් වගේම වටින ඔසු පැල වුනත් ගැලවෙන්නට බැරි නැහැ .
      ඒ වගේම ඔබෙ දෙවන අදසහට මා ඉහළින්ම එකඟයි ,‍විය යුත්තේ එයයි , කොන්ඩයාට එරෙහි වල “වීරයන්“ම තමයි කොන්ඩයන් බිහිකරන “රටේ නායකයින් “ රට කරවන තැනට යවන්නේ , එතැන ඉන්නේ ලොකුම හොරුන් සහ දූෂකයන් වන විට අනෙක් වුන් ගැන කවර කතාද ?
      ස්තුතියි මිතුර , ඔබ් පැමිණිම සතුටක්

      Delete
  10. ජීවිත කාළය පුරාවටම ලොවෙන් වෙන්ව “බරපතල වේදනාකාරී “ පරිසරයක විඳවමින් ජීවත් වීමට සිදු වීමයි , විටෙක එය ක්ෂණීක මරණයකට වඩා දඬුවමක් බව මටද හැඟේ
    ඔබ හරි ...... වරදට පිළිතුර දඩුවම නොව.... ස්වභාව ධර්මය යම් විටක මේ සියල්ල විසදනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන්

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)