2015/08/30

172) කටකාර කෙල්ලන් සමඟ කොල්ලන්ගේ “පමාව“

“මුහුදු හුළඟෙන්“ පිබිදුනු , අහංගම 
අතීතය කියන්නේ හරිම සුන්දර මතකයන් වලින් කළ ගෙත්තමක් වගේ , දුක , සතුට , අවිවේකී තරඟය , සිනා , කඳුළු හැම දෙයින්ම “සුන්දර වුනු“ ඒ අතීතයට ඉඩක් ලැබෙන හැම මොහොතකම ගිහින් එන්න හරි අාසයි .



ගත සිත පුරවා යන අමුතුම පුසුඹක් තියෙන “මුහුදු හුළඟෙන්“ පිබිදුනු , අහංගම , කතළුව ගම්මාන ඔස්සේ ඇඳී ගිය මගේ පාසල් කාළය වගේම , ඉන් පසුව “හොස්පිටල්  සුවඳින් “ මුසපත් වුනු ගාල්ල , කරාපිටිය ඔස්සේ අද සිටින ගම් පලාතට ගලා ආ කාළය ඔස්සෙ ආයෙත් අතීතයට වරින් වර ගිහින් මෙහොතක් හෝ ඒ සුන්දරත්වය විඳින එක පුරුද්දක් වෙලා , සතියේ දවස් පහේම රාජකාරි යුද්දෙන් පස්සෙ ලැබෙන සති අන්තයේ මේ චාරිකාවට පවුලේ හැමෝම එකතු වෙනව . 
අපේ ජීවිත සුන්දර කළ ජෝඩුව 

“තාත්තේ මේ .. මතකද චූටි ඒ දවස් වල අර රතු පාට පනාවත් කපුටු කොන්ඩෙ ගහගෙන පස්ස වන වන යන හැටි ..මේ මේ පොටෝ එක ... “  ලොකූ මහ හයියෙන් හිනාවෙන ගමන් ,

“ඉන්න මං පෙන්නන්න අරක ... “ පොඩ්ඩි කළබලේට පිංතූර ගොඩ පෙරලනව ,
“මේ , මතකද අම්මගේ සාරියක් ඇන්දුවෙ නෑ කියල හොටු පෙර පෙර අඬන හැටි “  පොඩ්ඩිත් එකට එක , 
“මේ .. අර වීඩියෝ එක “ ... දෙදහස් හයේ විතර ඒ දවස් වල තිබුණූ ජංගම දුරකථකනයකින් ගත්තු ගත්තු වීඩියෝවක් ,  ඒ තරම් පැහැදිලි නැතත් ඇඬිල්ල නම් නියමෙට රෙකෝඩ් වෙලා  ,

“ඒ චාචූ චාචූ ....ඔයා නානෝදෝ  නානෝදෝ ....  , “   , වැඩ ඇරිල ගෙදර ආ ගමන් නිදහසේ නාගන්නවත් නොදී දොරට ගහ ගහ අඬ අඬ කියවන පොඩි එකීගේ ඒ වීඩියෝවට කවුරුවත් අද නම් තරහ ගන්නේ නැහැ , හැබැයි හිනා වෙලා කඳුළුත් එනවා , ඒ තරම් ලස්සනයි ඒ “නැවැත්වූ තත්ත්පර කිහිපය“ 
චාචූ කිව්වේ මට ,  නංගි ගැන කිව්වට දෙන්නම කතා කරන්න පටන් ගත්තෙ “චා චා“ කියාගෙන තමයි ඊට පස්සේ “චාච්චා“ , “තාත්ත“ උනේ  Smiley - big grin 

මේ පරණ කතාව කියාගෙන යත්දි ඊටම ඈඳිය යුතු කතාබහක් පහුගිය දවසක මට අහන්නට ලැබුණ , ඒ ලංකාවේ ඉන්න මිතුරියක් , මගේ බිරිඳත්  එක්ක කෙරෙන දුරකථන සංවාදයකදි ,පහසුවට සහ  ආරක්ෂාවටත් එක්ක  දුරකථනේ Speakermode දාගත්තම ගෙදර කාටත් ඇහෙන එකනේ , 

“ ඔව් අක්ක දැන් නං හරිම යුද්දේ , කොල්ලටත් අවුරුදු දෙකක් නේ අක්ක , දෙන්න එක්ක රංඩුව , ලොකු දුව නං ඉවසගෙන ඉන්නවා , ඒ වුනාට පොඩ්ඩට හරියට කේන්ති යනවා , ගහනවා ...අනේ මන්ද අක්කේ තවම පොඩ්ඩ හරියට කතා කරන්නේ නැහැනේ , මොනවද සද්ද කරනවා මිසක් වචනයක් වත් හරියට කියන්නේ නැහැ , ඒකට කෙල්ල , ඒකි කියවන්න පටන් ගත්තෙ අවුරුද්දටත් ඉස්සර වෙලාද  කොහෙද , හස්බන්ඩ්ගේ අම්මනං කියන්නේ කොල්ලො පරක්කු වෙලාලු කතා කරන්නෙ , තව ටිකක් බලමුලු , ඒ වුනාට අනේ මගේ හිතට මොකක්ද වගේ අක්ක , මං හිතං ඉන්නේ මේ සතියේ වොඩ් එකට ගිහින් පොඩ්ඩක් පෙන්න ගන්න , එහෙම හොඳයි නේද අක්ක , “ ඇමතුමේ අනෙක් කෙළවරේ හිටියේ ලංකාවේ ප්‍රධාන රෝහලක ඉහල තනතුරක ඉන්න මිතුරියක් , සමහර විට ඇයත් මේ ලිපිය බලනවා ඇති  , ඇයටත් අපේ සමහර මවුපියවරුන්ට ඇති වෙන , ඒ වගේම සමහර විට නොදැනුවත්කම නිසා දරුවෙක්ගෙ මුළු අනාගතයම දුෂ්කරතාවන්ට යොමු කරවන එක්තරා ගැටළුවක් පිළිබඳව කතා කරන්නට මේ අතීත කතාවන් උපකාර වේවි කියල මට හිතෙනවා .

මොකක්ද මේ කතාව , Speech and Language Delay හෙවත් කථණ හා භාෂණය පමාව තවත් විදියකින් කිව්වොත් late bloomers පමා වී පුබුදින්නන් ගැන .ඒත් පමා වී පුබුදින්නන් එහෙම නැත්නම් Late bloomers ලා කියන්නේ ටිකක් සංකීර්ණ අවස්ථා කිහිපයක එකතුවක් , ඒ අවස්ථා අතරේ මූලික එක් ප්‍රධාන හඳුනාගැනීමක් තමයි කථණය සහ භාෂණයේ පමාව (Speech and Language Delay)  කියන්නේ .  එහෙම නම් අද ලිපිය මේ “පමාව“ ගැනයි .

විවාපත් යුවලකගේ මූලිකම බලාපෙරොත්තු ගොන්නෙන් වැදගත්ම එක “දරු පැටියෙක්“ හදා ගන්න  එක් කීවොත් ඔබ බොහෝ දෙනෙක් ඊට එකඟ වේවි, එහෙම හැදෙන දරු පැටියගෙ දවසින් දවස වෙන වෙනස් කම් දිහා බලාගෙන “ජීවිතේ රස විඳින“ අම්මල තාත්තල , පවුල් බොහොමයි . ඔය දවසින් දවස වෙන වෙනස් කම් වලදි පුංචි පැටියගේ කටින් “හුරතල් වදනක්“ පිටවන දවස හරිම සුන්දරයි , මුලින් පොඩි පොඩි “සද්ද දාන“ පැංච , ඊට පස්සෙ ඇස් , කට , තොල් එයාට ඕන විදියට හැඩ ගන්වමින් , නලවමින් “අළුත් හඟවල් “ නිපදවනව , විශේෂයෙන්ම පැංචට කැම කවන මුල් දවස් වල , දාන සද්ද නිසා , කැඳ , තම්බපු අල වගේ කෑම ජාති වලින් “ස්නානය කරපු“ අම්මලා , තාත්තලත් මේ ලිපිය දැන් කියවනව ඇති .

ඔය විදියට මාස 3-4 පටන් ගන්න “ අමුතු සද්ද දැමිල්ල“  , මාස 5-6ක් විතර වෙත්දි තනියම ඉන්න වෙලාවට , “කුක්කු බීල“ බංඩි ගෙඩිය පිරිල අම්ම එක්ක “දොයියන්න “ හදත්දි “එයාගෙම සිංදු “ කියන්න පටන් ගන්නවා , ‘ආ...ආ....ආ...“ වෙලාවකට මේ සිංදුව කියාගෙනම පැටිය දොයිය ගන්නව ඔබට මතක ඇති , මේ කාළෙ වෙත්දි චූටි පැටියට අපි කියන ඒව ටිකක් තේරෙනව වගේ , අම්මගේ , තාත්තගේ නැත්තං අක්කගේ මූණ බලාගෙන “හිනාවට හිනාවක් දෙන්න“ පැටියට තේරෙනවා , “මොට්ටු මොට්ටු මොට්ටූ “ කිව්වම නළලට නළල තියල හිනාවෙන්න , බබාගේ නම කිව්වම අපේ මුහුණ බලල හිනාවෙන්න තරමට ප්‍රමාණවත් භාෂණය පිළිබඳ සංවේදි බවක් තිබෙනවා.

 මාස 7ක් විතර  වෙත්දි පැංචි “චා..චා , මා...මා , බ...බා , චූ “ තනි අකුරු , හඬ තියෙන “වචන “ කතා කරනවා , දැන් පැංචගේ භාෂණ හැකියාව වැඩෙන කාළේ , දැන් ගෙදර අය පැටිය එක්ක හොඳට කතා කරනවා නම් , පුංචි පුංචි කතා කියනවා නම් , විශේෂයෙන්ම පැටියගේ මුහුණ බලාගෙන කතා කියනවා නම් , එයා හරි ඉක්මණට කට , තොල් හුස්ම පාලනය කරමින් අළුත් වචන කියන්න උත්සාහ කරනවා,

දරු පැටියට මාස 9ක් විතර වෙත්දි තෙරුමක් ඇති (අපට වඩා එයාට තේරුමක් ඇති) පුංචි වචන කියන්න පටන් ගන්නවා , “ කුක්කු , චාචා , (අ) ම්මා , චූ , බබා “ වගේ හුරතල් “තනි වචන‘‘ වලින් පවුලේ හැමෝගෙන වෙහෙස නිවනවා . මාස 10- 12ක් වෙත්දි තේරුමක් ඇතිව වචන දෙකක් විතර එකතු කරල කියන්න පුළුවන් , “බබාට තූ“ ...“බයි ඕනේ“ ,“(අ)ම්ම කෝ“ ,“ තාතු ඕනේ“ , “බබා මේ“ ඔය කාළෙට බහුලව ඇහෙන වාක්‍ය කීපයක්. මේ වෙත්දි දරුවට යමක් දිහාවට ඇඟල්ල දික් කරල පෙන්නුවම එය හඳුනගන්න , පොඩි පොඩි උපදෙස් වලට වැඩ කරන්න ඉගෙන ගන්නවා. දැන් හරි ආසයි අපේ අස්සටම වෙලා කතා අහන්න , “ලොකු ලොකු වැඩ කරන්න“

මේ කියගෙන ගියේ මාස දොළහක් විතර වෙත්දි පැටියෙක්ගෙ භාෂණ සහ කථණ හැකියාව වර්ධනය වෙන හැටි , හැබැයි මේක “හරියටම ටක්කෙටම“ හරි නොයන්න පුළුවන්, පොඩ්ඩක් එහා මෙහා  වෙන්න පූළුවන් , කෙල්ලන් , කොල්ලන්ට වඩා ටිකක් ඉස්සර වෙලා කතා කරන එක පොදු දෙයක් , අනෙක පැටිය ඉපදුනේ අඩුබර සහ අඩුවයස් දරු උපතක් විදියට නම් මේ විදියට පොඩ්ඩක් පරක්කු වෙන්න ඉඩක් තිබෙනවා , අනෙක් පැටිය එක්කම තවත් නිවුන් පැටියෙක් උපන්නනා නම් අන්න ඒ අවස්ථාවෙත් මේ පමාවට ඉඩක් තිබෙනව බව හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම මුල් මාස වල දරුවගේ කණ පැසවීම වගේ කණ ආශ්‍රිත ගැටළු මතු වුනානම් , දරුවගේ වට පිටාවේ දරුවත් එක්ක  කතා කරන්නට , සුරතල් කරන්නට “හුරු පුරුදු“ අයෙක් , අම්ම තාත්ත ,පවුලේ කෙනෙක් නැත්නම් , හිටියත් දරුව එක්ක රැඳෙන කාළය අඩු නම් , මේ පමාව සුළු වශයෙන් වන්නට පුළුවන් .

නමුත් , .....



  • දරුවට මාස 9-12ක් වෙත්දි (අවුරුද්දක් වෙත්දි කියමුකෝ) මේ වගේ පුංචි වචනයක්වත් කතා කරන්නේ නැත්නම් ඔබ කතා කරත්දි , ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් නැත්නම් ,
  • මාස 14-18 විතර වෙත්දිත් , එකම වචනයක් වත් “පැහැදිලිව“ කියන්නේ නැත්නම් , කතාවට වඩා අතින් ඉඟිබිඟි වලින් කතා කරන්න හදනවා නම් ,
  • අවුරුදු දෙක වෙත්දිත් වචන දෙක තුනකට වඩා කතා කරන්නේ  නැත්නම් , කතාවට වඩා අතින් පයින් , මුහුණෙ ඉඟි වලින් ප්‍රතිචාර දක්වන්න උත්සාහ කරනවා නම් ඒ එක්කම “ටිකක් විතර තරහ යනවා වැඩිනම්“ 
  • අවරුදු දෙක හමාර වෙලත් , තවමත් හරියට වචන දෙක තුනක වාක්‍යයක් ගැට ගසා ගන්නට බැරි නම් , විශේෂයෙන්ම කියන වචන වලත් අන්තිම හරි හරියට කියවෙන්නේ නැත්නම් , පැටිය දන්න ඕක්කොම චවන ගණන 50-60කට අඩුනම් , ඒ ටික වත් කතා කරන්න එච්චර උනන්දුවක් පෙන්වන්නේ නැත්නම් 
  • අවුරුදු තුනක් වෙලත් “සාමාන්‍ය සරළ වාක්‍යයක්“ කියන්නේ නැත්නම්  , කතා කරත් ඒ කියන දේවල් අම්මට තාත්තට තේරුනත් , පවුලෙන් පිට අයෙක්ට ඒ වාක්‍යය තේරෙන්නේ නැත්නම් 



LCD ස්ක්‍රීන් එක්ක නෙවි අම්මත් එක්ක හිනාවෙන්න දෙන්න
බලා ඉන්නට එපා තවත් , හැබැයි කළබල වෙන්නට එපා එහෙමත් , විශේෂයෙන්ම අවුරුද දෙකහමාර විතර වෙනකොට මේ කියන ලක්ෂණ පෙන්වනවා නම් පුංචි සැකයක් තියාගන්න වෙනවා මේ Speech  and Language Delay “ අවස්ථාවක්ද කියන එක , ඒ සැකය පිළිබඳව සොයා බලා මූලික හඳුනාගැනීම් කරන්න ඔබේ “ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාට“ පුළුවන් . එහිදි දරුවාට මේ තත්ත්වයට හේතු වන වෙනත් ආබාධ උදහරණයක් කණ ආශ්‍රිත රෝග තත්ත්ව , ඇස , හෝ මොළය ආශ්‍රිත තත්ත්ව පවතී දැයි සොයා බලාවි , ඒ සියල්ල පිළිබඳව අගැයීමකින් පස්සේ තත්ත්වම මෙය යැයි හඳුනාගත්තොත් දරු පැටියාව “භාෂා සහ කථණ ව්‍යාධිවේදඥවරයෙක්ට හෝ චික්ත්සකවරයෙක්ට Speech Therapist , එහෙම නැත්නම් Speech and Language Pathalogist “ යොමු කරාවි , දැන් බය වෙන්න එපා මෙහෙ අය ලංකාවේ ඉන්නවද කියල , ඔව් ලංකාවේ රජයේ ප්‍රධාන රෝහල් වලත් ‍, පෞද්ගලික රෝහල් කිිහිපයකත් මේ විශේෂඥ පුහුණුව ලත් අය ඉන්නවා . ඔවුන් මේ ගැටළුව වගේම කථණය පිළිබඳ තවත් ගැටළු ගණනාවකදි උපකාර වේවි .

මේ විදියට නිසි හඳුනාගැනීම සහ ප්‍රතිකාර නොගත්තොත් දරු පැටියගේ ඉදිරි ජීවිතේට ලොකු බලපෑමක්  , විශේෂයෙන්ම Learning disability  එකක් විදියට දරුවගේ අධ්‍යාපනයට ලොකු සහ නරක බලපෑමක් කරන්නට පුළුවන් . සමස්ථයක් විදියට දරුවගේ අනාගතයම අඳුරුවන්නටත් ,සොඳුරුවන්නටත් මේ අවස්ථාවේ ඔබ ගන්නා තීරණය වැදගත් .

දැන් පොඩ්ඩක් බලමු මේ තත්ත්වය ඇති වන්නට හේතු මොනවා වෙන්න පුළුවන්ද කියන එක ,

හේතු අතරින් ප්‍රධානම හේතුවක් දරුවගේ කණ් නොඇසීම වගේම කණ ආශ්‍රිත ගැටළු , නිතර කන් පැසවීමත් එක්ක ඔබට පෙන්වන මේ අනතුර පැටියගේ ශ්‍රවණ තත්ත්වය  අඩාල කරන්නටත් , හඬ තේරුම් ගැනිීමේ හැකියාව බිඳින්නටත් හේතු වන්නට පුළුවන් . මීට අමතරව මොළය ආශ්‍රිතව ඇතිවන විවිධ වෙනස්කම් නිසා හඬ හඳුනා නොගැනීම , හඬ තේරුම් නොගැනීම වගේ සාධකත් බලපාන්න පුළුවන් . විශේෂයෙන්ම උපතේදී හෝ ඊට පෙර දරුවාගේ මොළටය වන ආබාධ නිසා මේය සිදුවන්නට ඉඩක් තිබෙනවා .

තවත් බහුල සාධයක් “නියමිත කළට පෙර  දරුවා බිහි වීම“ Premature babies  වගේට අඩු බර දරු උපතුත් .

ඔටිස්ම් තත්ත්වය  , මොළයේ සිදුවන ඌණ වර්ධනය වගේම “වර්ණීය ගොළු වීම“ නමින් හඳුන්වන තත්ත්වය නිසාත් දරුවගේ කතා බහ අඩුවන්නට , පමා වන්නට පුළුවන්. ඒ වගේම දරුවගේ කට , උගුර ආශ්‍රිත ගැටළුවක් , වර්ධනයේ අසාමාන්‍යතාවක් ඇත්නම් එයත් බලපාන්නට පුළුවන්.

ඒ වගේම විශේෂයෙන්ම , දරුවා චූටි පැටියා කාළෙ ඉඳළ “හුදකළා වෙලා නම් “ , නිසි ආදරය උණුසුම ලැබුණේ නැත්නම් , දැඩි වේදනවා , පහරකෑම් වලට ලක්වුනා නම් , තවත් පිරිස සමඟ එකතු වන්නට අවස්ථාවක් නොලැබුණා නම් ........ මෙන්න මේ දරුවන්ට මේ භාෂණ සහ කථණ පමාව ඇති වන්නට පුළුවන් . අද දවසෙ පවතින තත්ත්වයත් එක්ක මෙන්න මේ අවස්ථාව බහුළව දකින්නට පුළුවන් බවයි මේ පිළිබඳව පර්යේෂණ කරන පිරිස පවසන්නේ , විශේෂයෙන්ම ආර්ථීක සහ විවිධ සමාජයීය හේතු නිසා දරුවන් ළඳරු අවධීයෙ දෙමාපියන්ගෙන් වෙන්වීම , සහ දෙමාපියන්ගේ තරඟකාරී ජීවන රටාව නිසා දරුවන් සමඟ ගත කරන්නට ඇති කාළ සීමාව අවම වීම සහ දෙමාපියන් විසින් “දරුවා ,ළදරු වියේදීම පරිගණක ගේම් තුල හිරකාරයෙක් කර නිදහස් වීමට “ උත්සාහ දැරීම තවත් අළුත් හේතුවක් විය හැකි බව ඔවුන් පවසනවා , මන්දයත්ද දරුවා වචන හසුරවන්නට ඉගෙන ගන්නේ තමන් ළඟ ඉන්නා අම්මා , තාත්තා හෝ තමන්ට “ආදරය කරන“ කෙනා කට , තොල් , හුස්ම පාළනය කරන ආකාරය අනුකරණය කිරීම මගින් වුවත් , තිරයක් මත සිදුවන සාමාන්‍ය කාටුනයකින් ,ක්‍රීඩාවකින් එය නිසි ලෙස සිදුනොවන බවයි ඔවුන් වැඩි දුර පවසන්නේ ,

නමුත් භාෂණය සහ කථණය වර්ධණය කරගැනීම සඳහා චිකිත්සීයම සැකසූ පරිගණක වැඩසටහන් , ක්‍රීඩා අද දවසේ තිබෙන අතර මෙවන් අසාමාන්‍යතා සහිත දරුවන් සඳහා එවන් වැඩසටහන් වලින් ලැබෙන ප්‍රෙයා්ජනය ඉතා ඉහළයි.

මේ තත්ත්වය වලක්වාගන්නට දෙමාපියන් , පවුලේ අය කළ යුත්තේ කුමක්දැයි ඔබ ඇසුවොත් , ටිකක් දිග  උත්තරයක් තමයි දෙන්නට වන්නේ , ඒ විස්තරය මෙන්න මෙහෙම කෙටියෙන් කියන්නට පුළුවන් .


  • දරුවා සමඟ නිතර කතා කරන්න , මෙතැනදි දරුවා කීවෙ උපදින්නට පෙර , දරු ගැබේ ඉන්න පැටියටත් එක්කම , ගැබට සති විසි තුනක් විතර වෙත්දි , චූටි පැටිය අම්මාගේ හදවතේ “ලබ් ඩබ්“ රිද්මය , අම්මට බඩගිණි වුනාම බංඩිගෙඩියෙන් එන “ගෙරවිල්ල“ අහගෙන ඉන්න බව පරි්යේෂණ මඟින් සොයාගෙනෙ තිබෙනවා , එ් විතරක් නොවෙයි අම්ම කතාකරන මෘදු , හඬට , ගයන රිද්මයට මේ සති විසි තුනේ පැටිය හරිම ආස බවත් ඔවුන් හඳුනාගන්නවා. ඒ නිසා “පැටියත් එක්ක කතා කරන එක“ , “සිංදු කියන“ එක හුඟක් වැදගත්. දරුපැටිය ඉපදෙන්නට පෙර පටන් ගත්ත කතාව දරු පැටිය ඉපදුනා පස්සෙත් දිගටම කරගෙන යන්න , පැටියගේ මුහුණට මුහුණ බලාගෙන හුරතලේට කතා කරන්න, ඒ ඇස වලට දැනෙන්න හිනාවක් පුරෝගෙන නැළවිලි ගීයක් කියන්න . එයා උත්තර නොදුන්නට කමක් නැහැ , පැටිය එක්ක කතා කරන්න , අහන්න , ඒ සුන්දරත්වය විඳින්නට , එය ඔබට සතුටක්  වගේම දරුවාගේ අනාගතයට ආයෝජනයක් 
  • පැටියා කතා කරන්න බල කරන්න එපා , මාස 8 විතර වෙත්දි , එහා ගෙදර පොඩි එකා කතා කරා කියලා ඔබේ පැටියට බල කරන්න , බනින්න සැර කරන්න එපා එහෙම වුනොත් , “වරණීය ගොළුවීම“ කියන දරුණූ ගැටළුවට ඔබේ දරුවට මුහුණ දෙන්න වේවි. කතා කරවන්න නොවෙයි , ඔබ කතා කරන්න , 
  • දරුවගේ ප්‍රතිචාරයන් පිළිබඳව අවාධානයෙන් ඉන්න , පැටියගේ ප්‍රතිචාර වලට ඉහළ ප්‍රතිචාරයක් ඔබ දෙන්න , හිනාවක් , සුමුදු මුදු හාදුවක් පැටියට “ලෝකයක් වටීවි“ .
  • පැටිය මාස 8-9ක් වෙත්දි පුංචි කතා කියන්න පටන් ගන්න , පිංතූර පොතක් අරගෙන ඇඟිල්ලෙන් පෙන්වමින් කතා කියන්න , සෙල්ලම් කරන්න .
  • දරුවගේ හුරතල් කතා විලාසයට උසුළු විසුළු කරන්නට එපා , විශේෂයෙන්ම මුල් අවුරුදු දෙක ඇතුලත සමහර වචන හරි හුරතල් , සමහර විට එයාලගේම භාෂාවක් , ඒත් ඒ කතාව විසුළු නොකර උනන්දු කරන්න , හැබැයි වයස දෙක හමාර , තුන විතර වෙත්දි දරුවගේ හුරතල් වචන වලට පිළිතුරු දෙත්දි ,පුංචි පුංචි “සාමාන්‍ය වචනයෙන්“ අම්ම , තාත්ත උත්තර දෙන්න , එතකොට ටිකෙන් ටික දරුව , එයාගේ  ශබ්දකෝශයට අළුත් වචන එකතු කරගන්නවා. උදාරහණයක් පැටිය එයාගේ චූටි කළිසම් පොඩිය තද කරගෙන “තූ“ කියල අම්ම දිහා බලනව නම් , අම්මට පුළුවන් “බබාට චූ බරයිද?“  වගේ , සුරතල් , බබත් දන්න ඒත් ටිකක් සරළ වාක්‍යයකින් උත්තර දෙන්නට , ඒතකොට  දරුව ටිකෙන් ටික ඉගෙන ගනීවී , ඊළඟ දවසේ “චූ බර වුනාම“ නිකම්ම “තූ“ කියල කියන එකක් නැහැ , දැන් දන්නට “බබාට චූ බරයි “ කියල කියන්නට.
  • පැටියත් එක්ක කතා කරත්දි , “ඇත්තට කතා කරන්න“ ඔබේ ඇස් , කම්මුල් , තොල් ,අත පය සෙළවෙන හැටි  , මුහුණේ ඇති වන හැඟිම් දරුවට යමක් උගන්වනවා.
මේ කිව්වේ අර කී කෙටි විස්තරය , කෙසේ වෙතත් අද මේ ලිපිය තුල මම කතා කරන්න උත්සාහ කළේ , Speech and Language Delay  කියන ගැටළු පිළිබඳව . හැමදාම වගේ ලිපිය ටිකක් දිග ලිපියක් වුනා සමාවන්නට ඒ පිළිබඳව , මක් නිසාම යමක් පිළිබඳ කතා කරත්දි පුළුවන් තරම් පැහැදිළි , විස්තරයක් දෙන එක මගේ පුරුද්දක් , ඒ පුරුද්ද බ්ලොග් වලදිත් ඒ විදියටම මතු වෙනවා , ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසාම.

එහෙම නම් මාස දෙකක විතර නිහඬතාවයකට පස්සේ ආයෙත් ලිපියක් ලියන්නට හැකිවීම ගැන මගේ සිතට නම් ඇත්තේ සතුටක් , නමුත් ඒ සතුට වැඩි වන්නේ වැය කළ කාළය , යතුරු පුවරුද ඔස්සේ අන්තරජාලයට එක් කළ මේ අකුරු වලින් යමේක් ප්‍රයෝජනයක් ලබනවා නම් පමණි , 

සොඳුරු සුව අසපුව මඟින් කිසිදු විටක තමන් විසින්ම රෝග විනිශ්චය කර ගැනීමකට උනන්දු කිරීමක් , සඳහා ඖෂධ නාම , අදාල වෛද්‍යවරුන් , වෙදුන් පිළිබඳ ප්‍රචාරය ලබා දීමක් හෝ අත්බෙහෙත් පිළිබඳ උපදෙස් ලබා දීමක් කිසිදු විටෙක නොකරන අතර , කරන එකම දෙය නම් ඔබේ සුව සෙත පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මූලික සෞඛ්‍ය විද්‍යානුකූල දැනුමක් , “සුද්ධ සිංහලෙන්“ ලබා දීමට උත්සාහ කිරීමක් පමණි. 

මෙය මුදල් නොගෙවා මා විසින්ම පල කළ දැන්වීමකි Smiley - big grin
ඔබ මෙම ලිපි ඔස්සේ යමක් ලබා ගත්තා නම් එය බෙදා දෙන්නට ඔබේ මිතුරන් සොඳුරු සුව අසපුව පිටුව වෙත හෝ මෙහි ෆෙස්බුක් ගොමුව තුලට එක් කරන්නට ඔබට පුළුවන් අතර එය දැනුම බෙදා දීමේ කාර්යයට මහත් උපකාරයක් වනු ඇත. මන්ද යත් අද අන්තර්ජාලය පුරා විශේෂයෙන්ම ෆේසබුක් පිටුපුරා , වැරදි සෞඛ්‍ය උපදෙස් , ඉතා අන්තරායකාරී අත්බෙහෙත් මෙන්ම ඉතා අහිතකර පල විපාක දිය හැකි ඖෂධ නාම සහ වෛද්‍යවරුන් යැයි කියා ගන්නා “හොරුන්“ගේ නම් ගම් දුරකථන අංකා පවා ප්‍රචාරය කරමින් සේවයක් ලෙස සිතුවත් , හානියක් සිදු කරන අවස්ථා බොහෝ දකින්නට ඇත.


එවන් රැළි තුල “සොඳුර සුව අසපුව“ කරන්නේ ඉතා සුළු කර්තව්‍යයක් වුවත් , මෙහි අන්තර්ගත සියළු ලිපි අද දවසට අදාල වෛද්‍ය විද්‍යානූකූල පර්යේෂණ සහ දත්ත මත පදනම්ව ලියැවුනු ඒවා වන අතර , ප්‍රචාරණය හෝ වාණිජ අරමුණූ මත ලියැවුනු කිසිදු ලිපියක් නොමැති බව සටහන් තබන්නේ සතුටිනි.

එසේ නම් සමුගන්නම් අදට , සුව සතුට පිරි දිනයක් පතමින් . 

මෙම ලිපියේ සඳහන් තවත් අවස්ථා පිළිබඳ ලිපි වලට පාර මෙන්න ,
ගර්භණී තත්ත්වය සහ ළදරු වර්ධනය  

තවත් වැදගත් විය හැකි මගක් http://www.ta-lk.com/speech-therapy.html

8 comments:

  1. අදමයි මේ පැත්තට ආවේ
    වැදගත්ම දේ හරිම සරල තේරෙන භාෂාවෙන් ලියලා තියන එක.

    ReplyDelete
    Replies
    1. ගෞරවයෙන් පිළිගන්නවා , ස්තුතියි අගය කිරීමට . ඉඩක් ලැබුණු විට අනෙක් ලිපි වලිනුත් යමක් ගත හැකිදැයි බලන්න .

      Delete
  2. වටිනා ලිපියක් ... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර !

      Delete
  3. ඔය ප්‍රශ්නෙ කාලකෙට කලින් අපිටත් තිබ්බ.
    හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඔව් , අපි හුඟ දෙනෙක්ට මේ වගේ ප්‍රශ්න දැනෙනවා පොඩි එකා ලොකු වෙනකම්ම , ස්තුතියි මිතුර “සොඳුරු සුව අසපුව“ අමතක නොකළාට !

      Delete
  4. වැදගත් ලිපියක්, ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් සම්බන්ධව අපිව දැනුවත් කරන එක...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ වගේ “මාගලක්“ කියවන්නට ඔබේ කාළය යෙදෙව්වාට :D

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)