2014/11/09

169) ඇගෙ හද පුරවන රිද්මය බිඳවන PPCM

කාළය  වසර දෙදහස් හතේ විතර , ස්ථානය හෘද දැඩිසත්කාර එ්කකය , වෙලාව උදේ හයයි පනහට විතර , ...

“අයියේ .....මේ , සුනන්දනී , වයස  තිස් දෙකයි , ඊයේ මහමෝදරින් ට්‍රන්සෆර් කළේ, ඊෆ් අඩුයි , පීපීසීඑම් වගේ කියල තමයි ඩොක්ටර් කීවේ , අද තවම මෙහෙදි සර් බැලුවේ නැහැ , බ්ලඩ් රිපෝර්ට්ස් දෙකක් එන්න තියෙනවා , මෙන්න ඔබ්සර්වේෂන්  චාර්ට් කළා , ලැසික්ස් යනවා තවම .  “
   

 “  උදේ සේවා මුරය බාර දෙන්න රෝගියාගෙන් රෝගියාට යන ගමනේ එක් ඇඳක් ළඟදි මගේ හෙද මිතුරිය එක දිගටම කියාගෙන ගිය විස්තරේ හැමදාම ඇහෙන එක වගේම වුනත් , මොකක්දෝ පොඩි හුරු පුරුදු බවක් දැනුන  ,

සුනන්දනී “ මගේ පාසල් කාළේ එකම පාසලේ හිටිය මගේ මිතුරියකගේ නමක් . පෙනුමත් ඇය වගේමයි .


“කොහොමද සුනන්දනී ? .“


ඇය මගේ මුහුණ දිහා බලල හිනාවෙන්න උත්සාහ කළා ,


“බය වෙන්න එපා සුනන්දනි , පුරුදු වාට්ටුව වගේ නෙවි ඇති මේක , ඒ වුනාට ඔයාට ඕන කරන බහෙත් පරික්ෂණ , වගේම ඔයාව බොහොම පරිස්සමින් බලාගන්නත් ඕන  නිසා තමයි මේ වාට්ටුවට එවල තියෙන්නේ , 

විවේක ගන්න , මොනම හරි ඕනකමක් තියේනම් , නැගිටින්න මහන්සි වෙන්න එපා , අපට කියන්න , නැත්නම් ඔය අතගාව තියෙන කොළපාට බොත්තම තද කරන්න . එහෙම නම් අපි අනිත් අයත් එක්කත් කතා කරල එන්නම් , “ 


ඇගේ ඇඳෙන් ඈත් වෙලා ඊළඟ ඇඳට යන්න ගියත් ඇය මොකක්දෝ කියන්න හදනවා


“අැයි සුනන්දනී , ?“ ඔක්සිජන් ලබා දෙන මුව වැස්ම පොඩ්ඩක් එහා මෙහා කළේ ඇය කියන්නට තනන දේ හරියට අහගන්න


‘‘අපේ මහත්තයට කියන්න ..එනකොට ....ගේ පිංතූරයක් ......අරගෙන ....එන්න ...කියල“ අමාරුවෙන් වදන එකතු කරනවා ඇය .


“අයියේ ඔය කියන්න හදන්නේ , මෙයාගේ මහත්තයට කියන්නලු , බබාගේ පිංතූරයක් අරගෙන එන්න කියල , ඊයේ ගෙනා වෙලාවේ ඉඳළ කියනවා , අපි ඊයේ රෑම එක‍්ස්චේන්ජ් එකෙන් කොල් එකක් දුන්න , ......අපි ඊයෙම කීව ගෙදරට , අද දවල්ට එනකොට අරගෙන ඒවි සුනන්දනී “ මගේ මිතුරු හෙද නිලධාරිනිය කතාවේ අගමුල පැහැදිලි කළා .

ඊළඟ රෝගීන් ටිකත් බාර දීම් , බාර ගැනීම් ඉවර වුනාට පස්සෙ අපි උදේ සේවා මුරය ආරම්භ කළා . මූලික වැඩ කටයුතු නිමා කරල අළුත් රෝගීන්ගෙ ඇඳ ඉහපත් ( ඒකියන්නේ ටිකට් එක Bed Head Ticket - BHT) ගන්නේ ඔවුන් පිළිබඳ සෞඛ්‍ය තොරතුරු , රෝග තත්ත්ව ගැන දැන ගන්න . මුලින්ම ගත්තෙ “සුනන්දනී“ ගේ  විස්තර ටික බලන්න ගත්තා .


අවුරුදු තිස් දෙකයි, එක් දරු මවක් , දරුවට සති දෙකයි  , ගර්භනී කාළයේ කිසිම විශේෂ රෝග තත්ත්වයක් තිබිල නැහැ . සෞඛ්‍ය පුරුදු , රෝග ඉතිහාසය , පවුලේ අයගේ රෝගී තත්ත්ව .. කිසිම තැනක විශේෂත්වයක් දකින්න නැහැ,  ඒත් අද තත්ත්වය , පෙහළුවල තරළය පිරිලා , හුස්ම ගන්න අමාරු, හෘදයේ ක්‍රියාකාරීත්වය අඩුයි , රුධීර පීඩනය අසාමාන්‍යයි ...  කළ පරික්ෂණ අනුව අපේ විශේෂඥ වෛද්‍යවරයා රෝග විනිශ්චය ලබා දීල තිබෙන්නේ PPCM එහෙම නැත්නම් Peripartum Cardiomyopathy කියන තත්ත්වය විදියට .


.

.
.
දින කිහිපයක් ගත වුනා , ඇය දැඩි සත්කාර ඒකකය තුල හැමෝම හඳුනන කෙනෙක් බවට පත්වුනා. අළුත් උපන් දරුවගේ පිංතූර පොතක් අපි හැම කෙනෙක්ගෙම අතේ රැඳවු ඇය , ඒ පිංතූර තුලින්  සුන්දර කිරි සිනහවේ සතුටු අප ද විඳිනු දැකීමට මහත් රැචියක් දැක්වූවා. තවත් දින කිහිපයක් ගලා ගියා , 

මතකයේ හැටියට ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර පස්වන දිනය . උදා සේවා මුරය අරඹන්නට තිබුණේ හෘද සත්කාර ඒකකයේම වෙනත් කොටසක වුවත් , නිකකමට වගේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු වුනා .

හැමෝම අපෙ ඒකකයෙ මැද තිබෙන “නිරීක්ෂණ ඒකකයට Observation center “ එකතු වෙලා , හෙද වෙද කම්කරු සියළුම දෙනා සෝ බරිතව ..., 

ඇගේ ඇඳ තවත් සම්පුර්ණයෙන් වැසෙන්නට තිරයක්.... , 
ඇඳ අසල හදිසි ප්‍රතිකාර ඖෂධ... , 
හෘද කම්පන උපකරණ , ස්කෑනින් යන්ත්‍රය ...සිතා ගත හැකියි සිදුවීම ....


“ඔව් අය්යේ , දැන් පොඩ්ඩකට ඉස්සර වෙලා සුනන්දනි නැති වුනා , ඊයේ රෑ දෙපාරක් ඇරෙස්ට් වුනා, අපේ සර් රෑම ඇවිත් බලල ඩ්‍රග්ස් වෙනස් කළා , ආයෙත් උදේ හයට විතර . හරිම දුකයි අයියේ , මට මතක් වෙන්නෙම අර පුංචි කෙල්ලව , “ මගේ මිතුරියක සිදුවීම විස්තර කළා .


“අනේ මිස් මේ බලන්න .....“ සුනන්දනීගේ මිය ගිය සිරුර , පිළීයෙල කරමින් සිටි අපේ කණිෂ්ඨ සේවා සොයුරියකගේ කෑගැසීම , දඩි සත්කාර ඒකකය දෙවනත් කළා වගේ . අපි හැමෝම එතැනට දිව ගියේ සිතන්නට මොහොතක්වත් නොවී . 


“මේ බලන්න , .....“ ඇය මෘත සිරුරේ ඇඳුමක් එහා මෙහා කරමින් යමක් පෙන්වනවා .ඇගේ උඩුකය ඇඳුමට ඇතුළින් , පුංචි පැටියෙක්ගේ පිංතූරයක් , දහදියෙන් හෝ එරුණු කිරි වලින් පෙඟීගිය ඒ කිරි කැටියාගේ පිංතූරය දුටු අපි අතරේ සිටි කිසිවෙක් නොහැඬුවා මට මතක නැහැ. 


මේ දවස් කිහිපය පුරා “සුනන්දනී , පුංචි පැටිය මේ විදියට තුරුළු කරගෙන හිටි බවක්  දන්නේ දැන්“ මේ සිදුවීම වෙලා අදට අවුරුදු ගණනක් ගියත් , එහි සේවය කළ අපි හැමෝටම කිසිම දවසක එය අමතක නොවන බව මට විශ්වාසයි.

(සුනන්දනී යන නම හැරෙන්නට මේ සිදුවීම , කතා පුවත මා සේවය කළ කාළය තුල මා දුටු සත්‍ය සිදුවීමක් බව කියන්න ඕන) 

සුනන්දනීගේ ජීවිතයට අසුන්දර නිමාවක් එක් කළ එම රෝග තත්ත්වය පිළිබඳව යම් තරමකින් දැනුවත් කිරීම තමයි මේ ලිපියේ මීළඟ අරමුණ, ඒ “සොඳුරු සුව අසපුවේ “ ආකෘතිය . 

එහෙම නම් අද මාතෘකාව Peripartum Cardiomyopathy , මුලින්ම කියන්නට ඕන මේ රෝගයට යෙදෙන සිංහල නම පිළිබඳ මම දැනුවත් නැහැ , කියවන ඔබ අතරේ ඒ පිළිබඳව දැනුවත් අයෙක් සිටී නම් සටහන් තබනු ඇතැයි සිතනවා . 

රෝගයේ සිංහල නම නොදනිතත් , රෝගයේ නම සිංහලෙන් මෙන්න මෙහෙම විස්තර කරන්න පුළුවන්. Peripartum කියන්නෙ ගර්භනීත්වයේ අවසාන මාසය සිට උපත සිදුවීම සහ දරු උපතින් මුල් සති කිහිපය කියන කාළ සීමාව , එතකොට Cardio කියන්නේ හෘදය සම්බන්ධ කියන එක , myo කියන්නේ පේෂිමය කියන අදහස  pathy කියන්නේ රෝගී / අසාමාන්‍යතාව වගේ අරුතක් . 

මේ විදියට කෙටියෙන් කීවත් PPCM කියන්නෙ හරිම සංකීර්ණ රෝග තත්ත්වයක් , කොයි තරම්ම සංකීර්ණදැයි කීවොත්  , රෝගය ඇති වන්නට හරිම හේතුව මෙය යැයි තවමත් සොයාගෙන නැහැ. අවදානම් සාධක හඳුනාගත්තත් ප්‍රධාන සාධකය තවමත් සැඟවී ඇත්තෙ. එතෙක් අපි අවදානම් සාධක වලින් ආරම්භ කරමු , මොකද නොදන්නා දේට පෙර දන්නා දේ කියන න්‍යාය වැදගත් නිසා. 

මොනවද මේ අවදානම් සාධක , 

  • වියපත්ව ගර්භණීත්වයට පත්වීම ( සමාවන්න “වියපත්ව“ යනුවෙන් හැදින්වීම පීළිබඳව , නමුත් මවට වයස අවුරුදු 30 හෝ ඊට වැඩි වීම PPCM සඳහා අවදානම් සාධකයක් බව 2013 දී නිකුත් කළ වෛද්‍ය පර්යේෂණ වාර්තා පෙන්වා දෙනවා
  • දරුවන් එක් අයෙකුට වඩා පිළිසිඳ තිබීම( ඒක අවස්ථාවකදි) , තව විදියකින් කිව්වොත් නිවුන් , සිව්නිවුන් වැනි අවස්ථා වල යම් අවදානමක් තිබෙනවා. නමුත් විශේෂයෙන්ම මතක තබා ගත යුතු දේ මේ රෝග තත්ත්වය අතිශ්‍යයින්ම , අතිශ්‍යයින්ම දුර්ලබ රෝග තත්ත්වයක් බව .
  • පෝෂණ ඌනතා / නිරක්තිය සහිත ගර්භනී මවුවරුන්
  • ස්වයං ප්‍රතිශක්තික රෝග සහ කාළීන රෝග තත්ත්ව සහිත මව්වරුන් (සරළව කිව්වොත් , කාළිනව පවතින පාළනය නොකළ හතිය හෝ අධිරුධීර පීඩනය තත්ත්වය වුනත් මීට දායක වෙන්න පුළුවන් ,)
  • වෙනත් හෘද රෝග සහිත වූනන්.
  • අධික දුම්පානය හෝ අධීක ද්විතීක දුම් ආග්‍රාණයට පත්වූ මව්වරුන්
  • පවුලේ ළඟම අයෙක් (මව , සොයුරියක) මෙවන් තත්ත්වයට පෙර පත්ව ඇත්නම් 

ඔය වගේ ලිස්ට් එකක් ලියාගෙන යන්නට හැකි වුනත් , මේ තමයි හඳුනාගත් ප්‍රධාන අවදානම් සාධක . හොඳට මතක තබා ගත යුතු දේ අවදානම් සාධක යනු , මේ ලක්ෂණය ඇත්නම් අනිවාර්යයෙන්ම රෝගයට ඇතිවේ කියන එක නොවේ , යම් අවදානමක් ඇති බව සහ ඒ අවදානමට අදාල පූර්ව සූදානම් ගැනීමේ වැදගත් කම හඳුනාගැනීමයි .ඒ හරියට , “පරිස්සමින් පාරේ යන්න “ කියන උපදෙස දුන් පමණින් , පාරෙ යන සියල්ලන් රිය අනතුරු වලට පත්වෙනවා යයි නොහඟවනමුත් , අවදානමක් ඇති බව සහ ආරක්ෂාකාරීව ගමන් කළ යුතු බව පෙන්වා දීමක් වැනිමය.

දරු ප්‍රසූතියට සුදානම් වන අවසන් මාසය තුල හෝ දරු උපතින් මුල් සති කිහිපය තුල මතුවන්නට පුළුවන් මේ රෝගයේ මුලික ලක්ෂණ ආරම්භ වන්නේ , මද උණ ගතියක් , ඇඟ පතේ තෙහෙට්ටුවක් , දැඩි වඩාපත් බවක් එක්ක , නමුත් මේ කාළ සීමාව තුල ගර්භණී මව මුහුණ දෙන වෙනස් වීම් එක්ක මම ලක්ෂණ වෙන් කර හඳුනා ගැනීමට හුඟක් අපහසුයි. (නමුත් අවදානම් සාධක තුල ඇති මව් වරුන් , නිසි වෛද්‍ය පරික්ෂණකයට යොමු වෙනවා නම් මෙය මුලික ලක්ෂණයක් ලෙස හඳුනාගන්නට ඉඩ වැඩියි) 

මේ ලක්ෂණ සමඟින්ම හුස්ම ගැනීමේ අපහසුවක් , විශේෂයෙන්ම හාන්සි වෙලා ඉඳිත්දි හුස්ම ගන්නට අපහසුබවක්,හුස්ම ගැනීමෙදි සෙම පිරුණු බවක්  , අසාමාන්‍ය මහන්සි ගතියක් , බඩ පුරවා දැමූ වැනි ස්වභාවයක් දැනෙන්නට පුළුවන් , විටින්න විට ඇති වන ගැඹූරු කැස්සක් එක්ක පපුවේ , උදරයේ තව වේදනාවක් මතුව  නැතිව යන්නට පුළුවන්. ඒ ඒකකම පපුව ගැහෙන ගතියක් , ඒ කිව්වෙ “තමන්ට දැනෙන ගැස්මක් “ මතුවන්නට පුළුවන් , පාදයේ විළුඹ ප්‍රෙද්ශය වෙනදාට වඩා ඉදිමුණු , තඩිස්සි වුනු බවක් මේ එක්කම පෙන්වන්නට ඉඩ තිබෙනවා . 

පිංතූරය http://www.fightppcm.org පිටුවෙන් 
මේ ලක්ෂණ කිහිපයක් මතු වීමේදිම “වෛද්‍යවරයා “ වෙත යොමු වුනොත්  , ඔහු මුලික පරික්ෂණයකට පස්සෙ සරළ රැධීර පරික්ෂ කිහිපයක් කරන්නට ඉඩ තිබෙනවා , විය හැකි වෙනත් සාධක හඳුනාගනිමින් නියම රෝග ලකෂණයට එන්නට එය වැදගත් , 

ඉන් අනතුරුව පපුවේ එක්සේ එකක් ගනීවි, බොහෝ දුරට මේ සමඟින් රෝගය PPCM  ද කියන මූලික සැකය වෛද්‍යවරයාට ඇතිවන්නට පුළුවන් , මක් නිසාද රෝගයෙදි අසාමාන්‍ය ලෙස සිදුවන හෘදයේ පේෂි දුර්වල වීම නිසා , හෘදය තුලට  එන ලේ ඉන් ඉවතට තදින් පොම්ප කිරීමේ හැකියාව අඩුවෙනවා , ප්‍රතිපලය හෘදයේ කෝෂිකා තුල ලේ එක් රැස්වෙන්නට පටන් ගන්න එක , ඊළඟට ප්‍රධාන රුධිරවාහිනි තුල , මේ ලේ එක් රැස්වීම් නිසා රැධීර සංසරණ පද්ධතිය තුල අසාමාන්‍ය පීඩනයක් ඇතිවෙන්නට පටන් ගන්නවා , ප්‍රතිපලට ලේ නහර තුලින් දියරමට කොටස් කාන්දු වීම , එහි ඊළඟ ප්‍රතිපලය පෙනහලු තුල එය දියරමය කොටස් එක් රැස් වී හුස්ම ගැනීම අපහසු කිරීම , මේ ලබා ගත් එක්රේ ඡායාරූපය තුල හෘදයේ , ප්‍රධාන ධමණියේ සහ පෙනහළුව තුල සිදුවන මේ වෙනස්කම් සටහන් වෙනවා. 

මෙතැනින් පසු බොහෝ දුරට රෝගියාව හෘද විශේෂඥ ඒකකයකට මාරු කරන්නට ඉඩ වැඩියි , නැත්නම් හෘද විශේෂඥ උපදෙස් ලබා ගන්නට වෛද්‍යවරයා කටයුතු කරනවා. එහිදි කරන හෘද ස්කෑනින් පරික්ෂණ , හෘදය තුලට කැතීටරයක් යවා කරන (මේ පිළිබඳ පෙර ලිපියක කතා කළා) ඇනිජියෝග්‍රෑම් පරික්ෂණ වැනි පරිකෂණ දාමයක ප්‍රතිපල ඔස්සේ රෝග තත්ත්වය තහවුරු කරගන්නට පුළුවන්.

මේ රෝගයටම යැයි විශේෂිත වූ ඖෂධයක් නැති වුවත් , සාමාන්‍ය හෘද රෝග තත්ත්ව වලදි යොදා ගන්නා ඖෂධ කාණ්ඩ කිහිපයක් මඟින් ක්‍රමාණූකූලව ප්‍රතිකාර ලබා දෙමින් , හෘද පේෂියට ඇති වී තිබෙන පීඩනය අඩු කරමින් දැඩි නිරික්ෂණ තත්ත්වයේ රෝගියාව තබා ගන්වන්නවා . සාමාන්‍යෙයන් දින 5-8 තුල රෝගයේ උච්ච අවස්ථාව අඩුවුවත් , බොහෝ අවස්ථාවල අවම වශයෙන් සති කිහිපයක් දකවා වූ ප්‍රතිකාර මාලාවකට , යොමු වන්නට සිදුවනවා. නිසි ප්‍රතිකාර ලබා ගත්හොත් රෝග තත්ත්වය සුව වීමේ ප්‍රතිශතය 90-95%ක් තරම් ඉහළයි , නමුත් යම්  පිරිසකට දිගු කාළීන ප්‍රතිකාර මත තම ජීවිතය ගත කරන්නට වන්නටත් පුළුවන් . කෙසේ වුවත් නැවතත් මතක් කර දිය යුත්තේ මෙම රෝගය වැළඳුනත් , සුව කරගැනීමේ හැකියාව ඉහළයි , ඒ නිසි ප්‍රතිකාරයට යොමු වුවොත් .

නමුත් වැදගත්ම දේ නැවත වතාවක් PPCM තත්ත්වයට පත් නොවීම , ඒ සඳහා රෝග තත්ත්වය සහ වයසට අනුකූලව ලබා දෙන ආහාර , ව්‍යායාම , ඖෂධ උපදෙස් පිළිපැදීම ප්‍රධානම අවශ්‍යතාවයක් , ඒ වගේම අතිශ්‍යය සංවේදී නමුත් වැදගත්ම පරිස්සම් වීම , ඒ තමයි තවත් දරු පිළිසිඳ ගැනීමක් ඇති කරගන්නට පෙර ඊට සුදුසු තත්වයක් මව සිටීදැයි තහවුරු කරගැනීම , ඒ සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් , පරික්ෂණ ගණනාවක් කෙරුණත් , මවගේ හෘද පේෂියට වූ ආපදා තත්ත්වය ඉහළ නම් බොහෝ අවස්ථාවල ලබා දෙන උපදෙස වීම ඉඩ ඇත්තෙ , “තවත් දරුවන් පිළිසිඳ නොගන්නවා නම් වඩා ආරක්ෂාකාරීයී “ කියන පිළිතුර වන්නට පුළුවන්.

නමුත් , ඒ උපදෙස ලබා ගන්නට සුනන්දනි රැඳුනේ නැහැ අප අතර , ඇය යන්න ගියා , ආදරණිය සැමියාගේ , කිසිවක් නොදන්නා දරු පැටියගේ , අප හැමෝගෙම හිත වලට දුකක් එක් කරමින් ඇය යන්න ගියා , 

ඒත් වෙනද වගේම උදෙ පාන්දර කෑම බීම , පිරිසිදු කරගත් ඇදුම් පැළදුම් අරගෙන කඩිමුඩියේ දැඩිසත්කාරයේ ඇඟළුම් දමාගෙන දුව ගෙන ආ ඇගේ ආදර සැමියාට සිදුවීම විස්තර කරන්නට අපේ වෛද්‍ය නිලධාරිවරයා ගත් උත්සාහය , ඒ සියල්ලට පසු සුනන්දනීගේ දරු සෙනෙහෙසින් ගලා ගිය කිරි වලින් තෙමුණු , කිරි කැටියාගේ පිංතූරය සිප ගනිමින් ඔහු වැලපුනු අයුරු මේ ලියන මොහොතේ පවා ඇසට කඳුලක් එක් කරන තවත් එක් සුවිශේෂී සංවේදී මතකයක් විය මට . 

ඉතින් අදට මේ ලිපිය මෙතැනින් නිමා කරන්නටයි සුදානම , ලැබෙන විවේකයේ අගහඟකම් නිසා “සොඳුරු සුව අසපුවට“ ලිපි එක් වීම ප්‍රමාද වුවත් , ඉඩක් ලද විටෙක මීළඟ ලිපිය එක් කරන්නට සිත දරාගෙන සමුගනිමි, ඔබ සැමට සුව සතුට පිරි දිනයක් පතමින්.

තවත් කියවන්න 
http://www.fightppcm.org/#!about-ppcm/cjg9

7 comments:

  1. ලිපිය කියවද්දී මා දැඩි කම්පනයකට පත්වුණ බව නොසඟවාම කියන ඕනෙ. විවාහ වියයුතු වයසේ දියණියන් දෙදෙනෙක් මටත් ඉන්නවා. මා හිතනවා මා මීට පෙර ඔබට ඊ මේල් එකක් ඒවා ඇති. අපි අතර සංවාදයක් සඳහා ඔබ ඇමතුමක් දුන්නත් එය ඉදිරියට ගෙනියන්න බැරිවුනා.

    මෙයට කෙලින්ම සම්බන්ධ නැතත් මගේම එක අක්කා කෙනෙක් මේ දිනවල බයිපාස් සැත්කමකට ලක්ව සිටිනවා. අධික ස්ථුල භාවය නිසා සැත්කමින් පසු ඇය සුවය ලබන්නේ ඉතා සෙමෙන්. එමෙන්ම මගේ මිත්‍රයකු මයිට්‍රල් වෑල්ව් සැත්කමකට භාජනයවී මේ දිනවල රෝහලේ ඉන්නවා. ඔහුත් සුවය ලබන්නේ ඉතා සෙමෙන්. ඔවුන් විඳින දුක දැක්කම සසර කලකිරෙනවා.

    ජීවිතය මෙතරම් බලාපොරොත්තු රහිත වන්නේ අද කාලයේ අපි පින් කරනවා මදි නිසාද? ආහාර රටාව, චර්යා රටාව, සමාජ හරයන් වෙනස්වී ඇති ආකාරය නිසා, මිනිසුන් විවාහයට පෙරත් පසුවත් හිතන්නේ සල්ලි ගොඩගැහීම ගැන විතරක් වීම, මෙවැනි දේ කෙරෙහි සෑහෙන බලපෑමක් ඇතිකරන බව බොරුවක් නෙවෙයි.

    අපි කලයුත්තේ කුමක්ද කියා කියන කිසිවෙකුටත් මිනිසුන් ඇහුම්කන් නොදෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන් . ඇත්තෙන්ම ඔබ කියන පරිදිම අද දවසේ බොහොමයක් රෝග පීඩා , ස්වභාවිකව ඇති වනවාට වඩා අපගේ විවිධ ක්‍රියාකාරකරම් , පුරුදු , ආහාර රටා සහ විවිධ රසායනික ද්‍රව්‍යය භාවිතයන් නිසා සිදුවන බව පැහැදිලියි.
      විශේෂයෙන් , Heart failure හෝ Cardiomyopathy හි උග්‍ර අවස්ථාවට පත්වුනාමත් මේ රෝගීන් සෑහෙන වේදනාවක් , අපහසුතාවයන් විඳිනවා , ඖෂධ මඟින් කළ හැකි දේ සමහර විට සිමිතයි ,
      නැවතත් ස්තුතියි ඔබට සරු අදහසක් එක් කළාට.

      Delete
  2. මේ වගේ දෙයක් ලිවීම ගැන බොහොම ස්තුති වන්ත වෙනවා වගේම ලිපිය බොහොම අගේ කොට සලකනවා...

    ReplyDelete
    Replies
    1. ඔබේ අගය කිරීම මෙන්ම , ඔබේ “මහවාසල“ තුලින් ඉටු වන සේවයත් අගය කරමි.
      ස්තුතියි ඔබට

      Delete
    2. තැනක් යූ මහේෂ්.

      මහවාසළ ට ගොඩ වුනා කියල අහන්න ලැබිච්ච එකත් සන්තෝසයි. ඒක මම තියන් ඉන්නේ මගේම සින්ඩියක් හැටියට.

      Delete
  3. මම ගොඩක් ලිපි කියවලා බැලුවා. ඇත්තටම ගොඩක් වටිනවා.
    මට ඔබතුමාගෙන් අහන්න දෙයක් තියෙනවා.
    මම විවාහ වු‍ණේ ළඟදි. මගේ බිරිඳයි මමයි ලිංගිකව එකතු වෙනකොට ඇයට වේදනාවක් ඇති වෙනවා. මෙය අවම කර ගන්න ආලේපන තිබෙනවා ද? ඒ මොනවා ද? ඒවායේ අතුරුඵල තිබෙනවා ද?
    ඔබේ පිළිතුර අපේක්ෂාවෙන් සිටිමි.
    තව තවත් දැනුම දෙන්න ඔබතුමාට ජය!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතිය ඔබේ අගය කිරීම වෙනුවෙන් , ඔබ සඳහන් කරන ගැටළුවට සමාන තත්ත්වයක් ගැන http://www.nursinglk.com/2011/09/56.html ගිලිලයේ කතා කරල තිබෙන නිසා හැතියාවක් ඇතොත් එම පිටුවට ඔබේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි ඔබට

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)