2014/08/27

168) එබී බලන “එබෝලා“

මෙන්න බලන් අපි අස්සෙ අම්ම ඉන්නෙ පිටිපස්සෙ
දවස ... සෙනසුරාදාවක් 
ප්‍රදේශය .... ගාල්ල , වක්වැල්ල පාර ..
හීරෝ හොන්ඩා යතුරු පැදියේ , හුළං පාර කපා ගෙන යන  “ පුංචි පවුලක් “ 
ගමනාන්තය , ගාලු කොටුවේ , පරණ ලයිට් හවුස් එක ගාව “බිත්තර රොටි කඩේ “ 

“ අද ටිකක් සීතලයි වගේ , වැස්සට අහුවේද දන්නෙ නෑ  .... එන ගමන් මට හිරිඹුරේ මෝළට යන්නත් ඕන තුනපහ ගන්න  , අපි වැඩි වෙලා ඉන්නේ නැතුව එමු අද ...“ 


සීතල හුලං පාරට හිර වෙලා තිබුණු කණ ගාවටම කරල යෝජනාවක් මනෝජගෙන් .. 

“අනේ , අපි වහිනක්ම ඉඳළ , වැස්සේ තෙමි තෙමි එමුකෝ “ ....යෝජනාව මට වුනත් , යෝජනාවට උත්තර දෙන්නෙ   , හීරෝ හෝන්ඩ එකේ , පෙට්‍රල් ටැංකිය බදු අරගෙන ඉන්න “චූටි නෝන කෙනෙක්“ ...

එන්න කන්න උණු උණූ බිත්තර රොටි
‘‘ඔව් අම්මේ , අම්ම හෙට නිවාඩුත් එක්කනෙ , අපි ටිකක් ඉඳළ එමු“ , දී කිරට සාක්කි දෙන තවත් කෙනෙක් නංගිටයි , තාත්තටයි මැදි වෙලා .

‘‘හ්ම්  .. බලමු එ්ක පස්සෙ , ඉස්සර වෙලා අපි යමුකෝ .....අද බිත්තර රොටි දැනටමත් ඉවරද දන්නෙත් නෑනේ .. සීතල දවස නේ....“

“ට්‍රීං ට්‍රීං .....ට්‍රීං ට්‍රීං “ 
නිවාඩු වෙලාවට අහන්න අකමැතිම නාදේ ...

ගහගන්තා ෆෝන් එක හෙල්මට් එක  අස්සට ....

“හෙලෝඕ ...“

“මිස්ටර් මහේෂ් , මම ලොකු මිස් , අනේ අද පුළුවන් නම් නයිට් එකක කරල දෙන්න , මේ දැං  යුනිට් එකට ගෙනාව “රේබීස්  පේෂන්ට් කෙනෙක් , ටිකක් ඇග්‍රසිව් වගේ , අද නයිට් එකට ඉන්නේ මේ පොඩි කෙල්ලො දෙන්නනෙ , දෙන්න ටිකක් බයේ ඉන්නෙ , පුළුවන් නම් ලොකු උදව්වක් “  යතුරු පැදිය යන වේගෙට වඩා වැඩි වේගයකින් ලොකු මිස් කියවගෙන යනවා .

“අනේ ලොකු මිස් , අද නයිට් එකක් නං කරන්න බැහැ ‍හෙට උදෙත් ඩියුටිනෙ , මෙහෙම කරන්නං , මට ඩියුටි දාන්න එපා , මම පේෂන්ට් සෙඩේට් වෙනකම් දහය විතර වෙනකම් ඉඳළ ගෙදර එන්නං “ වාට්ටු පරිසරය තුල අපි හැමෝටම “අම්ම කෙනෙක් වගෙ ආදරය කරන “ලොකු මිස්ගේ මූණට බැහැ කියන්නත් බැහැ“ , නයිට් එකක් කරන්නත් බැහැ . 

කරාපිටිය  රෝහලේ සේවය කළ අන්තිම ඒකකය වූ ඒකළන ප්‍රතිකාර ඒකකයේ සේවය කරන කාළේ , හුඟක් දවසට සිදුවන කතාවක්මේ . 

මේ අපේ ඒකළන ප්‍රතිකාර ඒකකය 
ඒකළණ ප්‍රතිකාර ඒකකය කියන්නේ , දරුණුම බෝවන රෝග තත්ත්ව ඇති රෝගීන් , සහ ප්‍රතිශත්කිය ඉතාමත් දුර්වල වූ රෝගීන් ( ඔව් මේ දෙගොල්ල පරිස්පර කණ්ඩායම් දෙකක්) වෙන කර ප්‍රතිකාර කරන , විශේෂීත ඒකකයක් . දෙදහස් දහයේ අන්තිම කාළෙ පැතිරී ගිය  , H1N1 තත්ත්වයට මුහුණ දීම සඳහා විවෘත කළ මෙම ඒකකයේ සේවට කරන්නට කැමති වූ “හෙද නිලධාරින්“ කිහිප දෙනාගෙන් , එක් අයෙක් වීමේ භාග්‍යය ලැබූවෙක් මම . 

මේ ඒකකය තුල අපෙ අතින් ප්‍රතිකාර ලැබූ , සාත්තුව ලැබූ රෝගීන් කණ්ඩායම් අතරේ , H1N1 රෝගීන් , ජලභීතිකා රෝගීන් , HIV සැක සහිත රෝගීන් , හෙපටයිටිස් බී වැළඳුන අය , ඒ වගේම බහුලවම , ප්‍රතිජීවක ප්‍රතිරෝධී වූ රෝගීන් (Multi  Drug Resistant) වැනි අවදානම් කාණ්ඩ ප්‍රධාන වුනා.  ඊට අමතරව පිළීකා සහ රුධීරය ආශ්‍රිත රෝග නිසා තම ප්‍රතිශක්තිකරණ හැකියාව ඉතාමත් පහළට වැටුනු කණ්ඩායම් ද වුනා . කාමර හතරක , ඇඳන් අටක , ආසාදන පාළන සහ ඒකළණ වශයෙන් සුවිශේෂී පහසුකම් තිබුණු වාට්ටු අංක 58 පුංචි වුනත් එයින් රෝගී්න සිය ගණනකට සේවය ලැබුණා. 

“සොඳුරු අතීතය ගැන “ කතා බහක් කරන්නට සිතුනෙ , ආයෙත් මෙබඳු “ඒකළන එ්කක “ වල අපේ සගයන් මේ  දවස් වල ටිකක් කළබල ඇති , විශේෂ පුහුණූ ඇති , අඩුපාඩු උපකරණ ගෙන්වනවා ඇති , ටික ටික සූදානම් වනවා ඇති ......කුමකටද මේ සූදානම් වනවා ඇත්තෙ ?  ඒ එබෝලා උණ රෝගීන් වෙනුවෙන් .

සමහර විට මේ රෝග තත්ත්වය තවමත් ලංකාව තුල අවදානමක් නොපෙන්වුවත් , මෙබඳු අවස්ථාවක පෙර සූදානම් වීම , විශේෂ පුහුණු ලබා දීම සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ සියළුම අංශ වල සිදු වුනත් මෙවන් විශේෂිත එකක් වල එම කටයුත්ත අනිවාර්යයි. 

එහෙම නම් පරණ කයිවාරුවෙන් පස්සේ දැනුයි පටන් ගන්නේ අද මාතෘකාව . ඒ අද දවස වන විට ලෝකයටම තර්ජනයක් එල්ල කළ හැකි “එබෝලා රක්තපාතික උණ රෝගය “ ගැන .

අඟර දඟර එබෝලා 
අද දවස වනවිටත් මේ රෝග තත්ත්වය පිළිබඳව ඔබ යම් පමණකට දැනුවත් ඇති. මෙයත් තවත් උණ රෝගයක් . සාමාන්‍ය උණක් නොවේ රක්තපාතික උණ තත්ත්වයක් .

ඔව් අපි අහල පුරුදු ඩෙංගු වලත් රක්තපාතික උණ අවස්ථාවක් තිබෙනවා . අන්න ඒ වගේ , අසාමාන්‍ය ආකාරයෙන් දේහයෙන් ලේ පිටවන්නට පුළුවන් , ඒ සමඟින් දේහ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දුර්වල කර අකර්මන්‍ය කර රෝගියාව මරණය කරා කැඳවාගෙන යන්නට පුළුවන් බොහොම දරුණු වයිසර පවුලක් තමයි මේ එබෝලා වයිරස කියන්නෙ. මේ දරුණූ වයිරස පවුලේ චණ්ඩි පස් දෙනෙක් හිටියත් , මේ වතාවේ එයින් දරුණූම එක්කෙනා තමයි වැඩ පෙන්නනත් පටන් අරන් තිබෙන්නෙ . 

අප්‍රිකාවේ දි රෝගී වුනු වඳුරන් , වවුලන් වැඩි සතුනේගේ දේහ වලින් පිටතට ඇවිත් මිනිසාට ඇතුළු වුනු බව කියන ( නමුත් මේ පිළිබඳ විවිධ මත පළවෙනවා ) එබෝලා දැන් මිනිසාගෙන් තවත් මිනිසෙක්ට  බෝවන රෝගයක් බවට පත්වෙලා . ඒ විතරක් නොවෙි  ඉදිරියෙදි ලෝකයටම බලපෑමක් කළ හැකිබව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියනවා. ඒ මේ රෝග තත්ත්වය වැළදුනාම ඇති අවාසනාවන්ත තත්ත්ව නිසා පමණක් නොවෙයි , මේ රෝගයේ පැතිරීමෙ ස්වභාවයත් ඉතාම අවදානම් .

සියයට සියයක්ම නිවැරදි යැයි නොකීවත් දැනට පර්යේෂණ මඟින් හඳුනාගෙන ඇති ආකාරයට එබෝලා මිනිස් දේහයට ඇතුළු වුනාම , අපේ සුදු රුධීරාණූ (ප්‍රතිශක්තියට උදව් වන) වලට පහර ගහමින් ඒවා බලහත්කාරයෙන් තම ග්‍රහණයට ගනිමින් , එබෝලා පැටවු හදන ෆැක්ටරි බවට පත්කරනවා . එතකොට සුදු රුධීරාණුවට තමන්ගෙ නියමිත රාජකාරි කරගන්නට බැහැ . තව ටිකක් ගියාම මේ ෆැක්ටරිය පිපිරෙන්නට පැටවු , දැන් මේ සුදු රුධීරාණූ ෆැක්ටරි පුපුරවා ගනිමින් “එබෝලා බබලා“ ලේ වලට එකතු වෙනවා (ඇත්තෙන්ම පැටවු නොවේ වයිරස ග්ලයිකෝප්‍රෝටින් අණූ , ඒත් බබාල කිව්වම ලේසියිනේ )


එබෝලා බබාල හද හැටි
මේ පිපිරුම් එක්ක ලේ වලට එකතු වන රසායනික ද්‍රව්‍ය නිසා (සයිටොකයනීස්) රෝගියාට තද උණක්  සම මතුපිට දදයක් වැනි ලප (rash) තත්ත්වයක් ඇති වෙනවා . මේ වන විට ඔහුගෙ ප්‍රතිශක්තිමය හැකියාව දුර්වල වී ඇති නිසා තත්ත්වය ටිකෙන් ටික දුර්වල වෙනවා . තව ටිකක් වෙලා යත්දි මේ වයිරස් අපෙ කුඩා රැධීර වාහිනී “හපා කමින් “ කඩා බිඳ දමන්නට පටන් ගන්නවා ,


ඔන්න දැන් රක්තපාතය , රැධීරවහනය වන්නට පටන් ගන්නවා ,වයිසරයේ බලපෑමෙන්  රැධීරයේ ඇති “ස්වභාවික ලේ කැටි ගැසීමේ ක්‍රියාවලියත්“  අඩපණ වී ඇති නිසා මේ රුධීර වහනයන් පාළනය කරන්නට අපහසුයි , මෙ සමඟින්ම දේහය තුල තිබෙන ප්‍රධාන ඉන්ද්‍රියයන් , මොළය , අක්මාව , ආහාර ජීරණ පද්ධතිය වැනි ඉන්ද්‍රියන්ට ලැබෙන රුධිර සැපයුම අඩාල වෙනවා. මේ නිසා සහ තවත් සාධක කිහිපයක බලපෑම නිසා එම ඉන්ද්‍රියයන් “මිය යන්නට“ පටන් ගන්නවා . මේ රෝගියාගේ ජීවිතය ඉතාමත්  අවදානම් අවස්ථාවක් , රෝගින් මෙම රෝග තත්ත්වයෙන් මිය යන ප්‍රධාන හේතු වන්නේ රක්තපාතය සහ ඒ මඟින් ඇතිවන කම්පන තත්ත්වය Hypovolimic shock සහ බහු ඉන්ද්‍රිය  පද්ධති බිඳවැටීම් (Multi organ failure) කියන සිදුවීම් නිසා.


මේ තරම් දරුණූ එබොලා පැතිරෙන්නේ කොහොමද ? දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන අකාරයට , රෝගියෙක්ගෙ දේහ තරල , කෙළ , රැධිරය , ලිංගික තරල  ,  කැඩුනු සම හෝ මුඛයේ , නාසයේ , නැත්නම් ඇසේ වැනි ස්ථාන වල තිබෙන තුනී පටල ( ශලේශ්මල පටල) ඔස්සේ . නිරෝගී අයෙක්ගේ ඇඟට ඇතුළු වන්නට පුළුවන්, විශේෂයෙන්ම සෘජු ස්පර්ශය Direct contact, ඒ කීවේ කෙළින්ම රෝගියාගේ තරළ ඇඟේ ගෑවීමෙන් , නැත්නම් වක්‍රකාරයෙන් , ඒ කීවේ රෝගී තරළ ගෑවුනු උපකරණ , ඇඳ ඇතිරිළි ස්පර්ශ කිරීමෙන් . 

නමුත් සාමාන්‍ය උණ හෙම්බිරිසාව  , නැත්නම් පැපොල සරම්ප වගේ , සුළඟ ඔස්සේ වයිරස ඇවිත් එබෝලා ඇති කරන්නට ඇති අවදානම (Airborne) ඉතාමත් අඩු , නැත්නම් එවන් අවදානමක් නැති බවයි මේ පිළිබඳ පර්යේෂකයන් පවසන්නේ ( අගෝස්තු 27 වන අද දින වනවිට) . 

මේ යම්  ආකාරයකින් වයිරසය ශරීර ගත වුනොත් , ඉන් දින 2ක් 21 අතර කාළයේදි රෝග ලක්ෂණ ඇති වෙන්නට පටන් ගන්නවා . එතැන් ඉඳළ මාස තුනක් විතර යනකම් වුනත් රෝගයාගේ ඇඟ ඇතුලට වෙලා ඉන්න මෙයාට පුළුවන් . යම් හෙයකින් රෝගියා සනිීප වුනත් , තවත් මාස දෙකක් විතර යනකම් ඇඟ ඇතුලට වෙලා හැංගිලා ඉන්න එබෝලාට පුළුවන් . රෝගය පැතිරීමේ අවදානම වැඩි කරන්නට මේ හැංගි හොරා සෙල්ලමත් ලොකු දායකත්වයක් දරනවා.


ලෙඩේ හැදුනොත් සාමාන්‍ය උණක් වගේම තද උණක් , ඇඟ පත වේදනාව , තදබල හිසේ කැක්කුමක් ,අප්‍රාණික බව , බඩේ අමාරු ගතියක් වගේ පොදු ලක්ෂණ ගණනාවක් එන්න පුළුවන් .  ඉන් පස්සේ ඇඟපුරා මතුවන රතුපාට ලප එක්ක දදයක් වගෙ දකින්නට පුළුවන් . සමහර විට මේ එක්කම වමනය , මල පහ එක්ක ලේ පිටවීම් ආරම්භ වන්නටත් ඉඩ තිබෙනවා . ඒ කියන්නෙ දැන් ඉන්නේ රක්තපාතික අවස්ථාවේ . 


මෙතෙක් ඉන්නේ තැනිව අවදානම පිළිබඳ සැකයක් ඇත්නම් සහ මුල් රෝග ලක්ෂණ පෙන්වා නම් ඉක්මණින් රෝහල් ගත වීම , තමාටත් අනේක් අයටත් යහපතක් , 
රෝහලේ දී රෝග ලක්ෂණ , රෝග ඉතිහාසය (විශේෂයෙන්ම රෝගය ඇති ප්‍රෙද්ශ වල සංචාරය කිරීම වැනි සාධක)  වගේ කරුණු විමසා බලත්දි මෙය එබෝලා විය හැකිද කියන සැකය ඇති කරන්නට වෛද්‍යවරයාට පුළුවන්. ඉන් පසුව වයිසර රෝග තත්ත්වයකට අදාලව කෙරෙන බොහොම සුක්ෂම රැධිර පරික්ෂා කිහිපයක් ඔස්සෙ , හරියටම මෙය එබෝලා දැයි කියන්නට අද පුළුවන්.


ප්‍රතිකාරයේ දී පළමු පියවර ආරම්භ වන්නේ “රෝගියා ඒකළනය කිරීමෙන් “ , ඒ කිව්වෙ “රෝගියා අනෙක් අයගෙන් සෞඛ්‍යාරක්ෂක ක්‍රම මගින් වෙන් කිරීමෙන් . බොහෝ දුරට මෙහිදි කෙරෙන්නෙ ,රෝගියා අපි මුලින් කතා කළ ඒකකය වැනි Isolation unit , නැත්නම් ඒකළන ප්‍රතිකාර ඒකකයකට යොමු කරන එක. එතැනදි දේහයේ රැධීර පරිමාව අඩුවීමට අදාලව , අනෙක් ඉන්ද්‍රියයන් අඩපණවීම වලක්වා ගැනීමට සහ පවතින  රෝග ලක්ෂණ වලට අදාල ප්‍රතිකාර ලබා දේවි. නමුත් මේ වන විට රෝගයට සෘජුව ප්‍රහාර එල්ල කළ හැකි කිසිම ඖෂධයක් සොයාගෙන නැහැ. ( කැනඩාවේ එක්තරා වෛද්‍ය පර්යේෂණ ආයතනයක මැදිහත් වීමෙන් තැනූ ඖෂධයක් මගින් මෙම රෝගයට පත්වූ අයෙක් සුව වූ බව පැවසුනත් , පිළිගන්නා ආකාරයේ ඖෂධයක තබව නැහැ) 


යම් හෙයකින් රෝග තත්ත්වය අපේ රටට ආවොත් , මෙන්න මේ අය වඩාත් පරිස්සම් වෙන්න ඕන . ඒ තමයි 


  • සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 
  • මෘත ශරීර වල කටයුතු කරන පුද්ගලයින්
  • පොදු ප්‍රවාහන පද්ධතිය බහුලව භාවිත කරන පුද්ගලයින් 
  • ප්‍රතිශක්තිය අඩු විය හැකි ( දියවැඩියාව , කාළීන රෝග) රෝග ඇති 
  • ස්ටීරොයිඩ ඖෂධ කාළීනව ගන්නා අය 
  • සහ පොදුවේ රෝගීන් සමඟ සම්බන්ධ වන පිරිස (රෝගියාගේ පවුලේ , ප්‍රජාවේ අය)
දැනට ලංකාව තුල ලොකු අවදානමක් නැති නිසා , නොසළකා නොහැර එබෝලා ගැන දැනුවත් වීම එක්තරා විදිය පෙර සූදානමක් වන්නට පුළුවන් . ඒ වගේම රෝගය පිළිබඳ සැක සහිත මූලික අවස්ථාවේම වෛද්‍ය උපදෙසකට යොමු වීම , අත් සේදීම , ශාරීරික පවිත්‍රතාව නිිසි ලෙස පවත්වා ගැනීම , රෝගය පිළිබඳ සැක සහිත පුද්ගලයන් සිප වැළඳ ගැනීම් හෝ ලිංගික එක්වීම්  වලින් වැලකීම ( වයිරසය ශරීරයේ තැනැයි තහවුරු කරන තෙක්)  , දැනෙන තුවාල අනතුරු ඇත්න්ම ඒවා ආරක්ෂිතව ආවරණය කර ගැනීම , විශේෂයෙන්ම සෞඛ්‍ය කණ්ඩායමේ සාමාජිකයන් රෝගය පිළිබඳව දැනුවත්ව සහ සැළකිළිමත්ව කටයුතු කිරීම තමයි මෙම අවස්ථාව වන විට “පරිස්සම් වන්නට “ කළ හැකි දේ .


මෙ පිළිබඳ පර්යේෂණ කරන ආයතන කිහිපයක් ප්‍රකාශ කරන විදියට තවත් මාස හත අටක් යත්දි එබෝලා වෙනුවෙන් යම් ප්‍රතිකාරයක් සොයා  ගන්නට ලැබේයැයි අපේකෂා කරන්නට පුළුවන් . නමුත් ...!
දැනුවත් වීම සහ පරිස්සම් වීමට කල් ගත කරන්නට අවශ්‍ය නැහැ.
“ලොකු මිස් , දැන් නම් පේෂන්ට් නිදි , ඩxxxම් ඉන්ෆියුෂන් එක යනවා , හිටපු ගමන් ස්පැස්ම් ආවට ,සෙඩේට් වෙලා  ....එහෙම නම් මම යන්නද ලොකු මිස් , ...... නංගි ඩියුටි ඉන්නවා , අපෙ ජයන්තත් ඉන්නවනේ , බය වෙන්න දෙයක් නැහැ“  යක්කු ගස් නගින යාමේ ලොකු මිස්ට කෝල් කළා , එහෙම නොකළොත් හෙට එළිවෙන කම්ම හිතේ කළබලෙන් ඉඳීවි.  තමන්ගේ රෝගීන් ගැන වගේම තමන්ගේ ඒකකය ගැනත් පුදුම කැපවිමකින් කටයුතු කළ අපේ ඒකකය භාරව සිටි හෙද නිලධාරිනිය  අද විශ්‍රාම සුවයෙන් කල් ගෙව්වත් ,එදා කළ සත්කාරයන් ගැන මතක් වෙත්දි තවමත් හිතේ සතුට පිරිල ඉතිරෙනවා ඇති.

“ නඟා , ...එහෙම නම් ජයන්තට කියන්න දොරවල් වහන්න කියලා , මම ගියා ...“ .... ඒකකයේ අයිනක නතර කරල තිබුණු හීරෝ හොන්ඩා බයිසිකලේ ස්ටාර්ට් කරගෙන මෝචරිය අස්සෙන් පාරට එත්දි  වෙලාව රෑ දොළහයි . ප්‍රශ්නයක් හිතේ , හෙට උදේට එත්දි මේ ජලභීතිකාවෙන් පෙළෙන අහිංසකයා ජීවත් වේවි ?

එදා එහෙම වුනත් අද දැන් වෙලාවට උදේ දෙකයි . නිදාගන්නට වෙලාව.  එසේ නම් සමුගන්නවා ඔබ සැමට සුව සතුට පිරි දිනයක් පතමින්.

21 comments:

  1. හොඳ දැනුවත් කිරීමක් මහේෂ්.
    කොයි දේටත් පෙර සූදානම හොඳයිනෙ.

    ඉතිං එදා වැස්සෙ තෙමීගෙන එන්න උනේ නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න , විශේෂයෙන්ම සෞඛ්‍යය පිළිබඳ කරුණු වලින් දැනුවත් වීම හැම අවස්ථාවකම “අවදානමට පෙර සූදානම් වීමක්“ .

      එදා නම් මතක නෑ , හැබැයි ඉතින් ඒ දවස් වල විනෝදාංශය වුනේ , ඇහැට වැලි වැටෙනවා වගේ දැනෙන මහ වැස්සේ ඔය අශ්වයගේ පිටේ යන එක තමයි :)
      ස්තුතියි ඔබට

      Delete
  2. එබොලා අපේ රටටත් එබෙයිද?

    ReplyDelete
    Replies
    1. නො එබේවි කියල කියන්න අමාරුයි, මොකද දැන් අපේ රට විවිධ රටවල සංක්‍රමණිකයන්ගේ අතරමැදි රටක් නේ.
      ස්තුතියි නලින්

      Delete
  3. ස්තූතියි ඔබේ දැනුවත් කිරීමට (හැම දාම වගේ..).

    එබෝලා ඉතාම නොදියුනු දුප්පත් අප්‍රිකානු රටවල්වල බඩට කන්නවත් නැති දුප්පත් මිනිස්සුන්ගෙ ලෙඩක් නිසාද දන්නෑ අයිස් බකට් වගේ දේවල් වලින් fund raising නැත්තෙ නේ... ආ... අප්‍රිකාවෙ අයිස් නෑනෙ..මඩ බකට් තමයි. නැත්තං පැරා කිවුව වගේ ගූ බකට්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතිිය ඔබේ අදහසට , ඇත්ත මේ හැම දෙයක් තුලින්ම යන දේශපාලනික අරමුණූ ඇති ඒත් එකකින් හරි යහපතක් වෙනව නම් එයයි අගය කළ යුතු .

      Delete
  4. Indiawata awith da??

    ReplyDelete
    Replies
    1. අද වන විට සමාජ ජාලා අඩවි ඔස්සෙ පැතිර යන කතාව නම් වැරදි බවයි ඉන්දියානු මාධ්‍ය පවසන්නේ , අදාල තරුණයි පෙනහළු ආසාදනයකින් මිය ගිය බවත් එය එබෝලා නොවන බවත් පැවසෙනවා . නමුත් ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල ගුවන් තොටුපල වල ගිලන්රථ සූදානමින් තිබෙන්නෙ “සැක සහිත අය“ රෝහල් වෙත යොමු කිරීමට . මෙවන් වට පිටාවක ඉන්දියාව තුල “ලොකු සූදානමක් දකින්නට පුළුවන්“ ( මාධ්‍ය ඔස්සෙ) . නමුත් යම් හෙයකින් ඉන්දියානු කළාපයට රෝගය පැතිරුණොත් එය අපෙ රටට සෘජුව බලපාන්නට පුළුවන් .
      ස්තුතියි ඔබට

      Delete
  5. බටහිර රටවල් කීපයකින් ගිය ස්වෙච්ජා දොස්තරවරුන් කීප දෙනෙක්ට රෝගී සලකුනු තිබිලා දැඩි රැකවරන මැද්දෙ එයාලව මව් රටවලට ගේන තොරතුරු කීපයක් දැක්කා..ඇත්තටම අප්‍රිකානු රටවල මේක පැතිරෙන්න හේතුවක් වගේ වෙද හෙද සේවයට කට්ටිය අඩු වීමත්

    ReplyDelete
    Replies
    1. ඔව් මිත්‍රයා , අන්න ඒ වගේ ගිය අමෙරිකානු වෛද්‍යවරයෙක් “ප්‍රසිද්ධ නොකළ ඖෂධයක් මඟින“ සුවය ලැබූ බව තමයි ඉහත සටහනේ එක්තැනක ලියැවුනේ .

      අප්‍රිකා රටවල මෙවන් රෝග මතුවන්නට , පැතිරෙන්නට හේතු ගනනාවක් තිබෙනවා , ඔවුන්ගේ සමාජ පුරුදු , ආහාර රටා , දැනුම මට්ටම සහ සෞඛ්‍ය පහසුකම් අඩුවීම වැනි සාධක ගණනාවක් ඊට හේතු.

      ස්තුතියි ඔබට සරු කරුණක් එක් කළාට

      Delete
  6. මෙවැනි ඉතා වැදගත් කරුණු පිළිබඳව කෙරෙන දැනුම්වත් කිරීම් පවා අපේ බොහොමයක් දෙනා නොසලකා හරින්නේ ඇයිද කියන එක මටනම් කෝපය ඇතිකරවනසුළුයි. අන්තිමට මරණ මංචකයට වැටුනමත් තව කාගෙහරි පිට වරද පටවන්නයි බලන්නේ. අද රාත්‍රී රූපවාහිණී පුවත් විකාශයක මම දැක්කා යුරෝපීය රටවල් දෙකකින් (මතක හැටියට ජර්මනිය සහ නෙදර්ලන්තය) මේ රෝගීන් හමුවී ඇති බවත්, ඔවුන් අප්‍රිකාවේ සිට පැමිණ ඇති අයවලුන් බවත්. මා හිතනවා අපේ රටත් ඉතා අනතුරුදායක තත්වයක තිබෙන්නේ කියා.

    බොහොම ස්තුතියි මේ ලිපියට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට , ඒ වගේම ඔබෙ කතාව “මසුරන්“ . ඔව් , අපිත් අවදානම් , විශේෂයෙන්ම ගුවන් ගමන් ඔස්සෙ අපේ රටටත් නොඒවියැයි කියන්නට බැහැ , වඩාත් සුදුසු දැනුවත්ව සූදානම්ව සිටිම තමා.

      ස්තුතියි ඔබට නැවතත්

      Delete
  7. ඉබෝලා මොකක් ද කියල තරමක් තේරුනේ මෙතැනින්..

    ස්තුති

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිණීම සතුටක් සෑම් !

      Delete
  8. Replies
    1. බොහොම ස්තුතියි ඔබට සොඳුරු සුව අසපුව වෙත පැමිණීම වෙනුවෙන්

      Delete
  9. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  10. Please explain about Bunion

    ReplyDelete
  11. can I have your email address ??? I've to ask a personal problem. please help

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/nursinglk තුලට යොමු කරන පණිවිඩයක් තුලින් ඔබට මා අමතන්නට පුළුවන් පහසුවෙන්ම.
      ස්තුතියි

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)