2014/07/13

164) ඇගෙ හදවත බිඳ රිදවන බූවල්ලා

සෙනසුරාදා ... සතියේ හොදම දවස ! පොඩ්ඩන්ට “සමර් බ්‍රේක්“ එක නිසා දැන් ඉතින් හැමදාම සෙනසුරාදා වගේ . මොකද දවසේම පොඩි පොඩි යුද්ධ . ඒත් දැන් නම් සෙනසුරාදා විශේෂයි . 


“ආ පොඩ්ඩි නැගිට්ටද ? එන්න ...එහෙම නම් තේ එක බීලා ඉන්න “ අම්ම සුපුරුදු පිළිගැනීමේ ප්‍රකාශය 
“හ්ම් . තාත්තේ , අරක පබ්ලිෂ් කරලද ?“ තේ එකේ උගුරු දෙකක් විතර බීපු පොඩ්ඩි ආව කාමරේට 
“නැහැ  තව ටික වෙලාවක් යාවි ..එතකම් කෑම කාළ , අම්මට ටිකක් උදව් කරන්න උදේ කෑම හදන්න .“


උදේ දහයයි වෙලාව ...ගියා දෙරණ එෆ්එම් වෙබ් අඩවියට ...
“පොඩී හරි ,වීඩියෝ එක දාල .. එන්න අක්කත් නැගිට්ටවන්න “
“නැගිට්ටවන්න ඕන නැහැ මේ ඒන්නේ “ 
ඔක්කෝම ටික දැන් පරිගණකේ ඉස්සරහ .  “ශ්‍රී සම්බුද්ධ“ ටෙලි නාට්‍ය මාලාවේ ඊළඟ කොටසට සමවැදිලා ..


සිදුහත් චරිතය ගැන හරිම නිර්මාණාත්මක ටෙලි නාට්‍යයක් කියල හිතෙනවා , ඒ නිසාම හැම සෙනසුරාදා , ඉරිදාවක්ම මඟ හරින්නේ නැතිව මෙය නම් නරඹනවාමයි . 
“අක්කේ , කන්ථක අශ්වයා හරිම ලස්සනයි නේ ? ... දුවන්නේ ලස්සන රිදම් එකකට .“
“හ්ම් .ඒ වුනාම කන්ථක අශ්වයා මැරෙනවා පපුව පැළිලා  තව ටික දවසකින් .., සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතඇරල යන දවසේ .“ අක්ක ටිකක් දැනුමුත්තෙක් වගේ කියනවා ..
“එහෙම වෙන්නෙ නැහැ , .එහෙම වෙන්නෙ නැහැනේ තාත්තේ .?“ පොඩ්ඩිගේ මුණ හොඳනැහැ ..
“ඉස්සර වෙලා මේක බලල ඉන්නකෝ , අපි ඉගෙන ගත්තු සිදුහත් චරිතකතාවල නම් එහෙම කියනව , අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා “ .
“එහෙම වෙන්න පුළුවන්ද  ?   “ , දැන් ඉතින් කතාව බලල ඉවරයි :) 
කොහොම හරි ටෙලි නාටකය නරඹලා අවසන් වුනත් , ඒ අතරේ වුනු කන්ථක අශ්වයගේ ප්‍රශ්නේ...

ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද ? 


කන්ථක අශ්වයගේ කතාව කුමක් වුවත් , හදවත බිඳීම හේතුවෙන් මිය යන්න වුනත් පුළුවන්.  ඒ කියන්නේ “බිඳුනු හදවත“ කියන තත්ත්වයත් එක්ක මරණය වුනත් ළඟා වෙන්නට හැකි බව වෛද්‍ය මතය. එහෙම නම් දැන් අපි කතා කරන්න හදන්නේ , ඒතරම්ම ප්‍රසිද්ධ නැති නමුත් , අද සිදුවන දේ එක්ක ක්‍රමයෙන් වැඩිවේද කියල හිතෙන තවත් හදවත් රෝගයක් ගැන . ලෙඩේ නම "Broken Heart Syndrome"  , බිඳුනු හදවත සංධාවය“ ( සිංහලෙන් යෙදුනු නම වැරදි නම් සමාවන්න , සහ නිවැරදි කරන්න) . වැඩිය කතා නොකළාට මේ රෝග තත්ත්වයට තවත් නම් කිහිපයක් තිබෙනවා. Takostubo Cardiomyopathy , Stress-induced Cardiomyopathy වගේ නම් කිහිපයකින් හඳුන්වන මේ හදවත් රෝගය හැම විටම මාරාන්තික වන්නේ නැහැ , එමෙන්ම , මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර ගත හොත් අනතුර සෑහෙන දුරට අඩු කරගත හැකි  තත්ත්වයක් , ඒ නිසාම රෝග තත්ත්වය ගැන ටිකක් දැන ගන්න එක වැදගත්.

ඔක්කෝටම ඉස්සර වෙලා


...සාමාන්‍ය නිරෝගී හදවතක ක්‍රියාකාරීත්වය ගැන කෙටියෙන් කතා කරමු. 
මිනිස් හදවත වම් දකුණු ලෙස කොටස් දෙකකටත්  , එක් පාර්ශවයක් , ඉහළ සහ පහළ කුටීර වලටත් බෙදී තබෙන බව අප දන්නවා. මෙයින් දකුණු පැත්තේ ඇති ඉහළ කුටීර (දකුණු කර්ණිකා) දේහයේ සියළුම ප්‍රෙද්ශ වලින් එන , ඔක්සිජන් අඩු , අපද්‍රව්‍ය වැඩි රැධිරය ගෙන්වා ගෙන පහලට යොමු කරන අතරේ , පහළ ඇති දකුණු කෝෂිකා , එම රැධීරය , පිරිසිදු කිරීමේ කාර්යය සඳහා, පවිත්‍රාගාරය වන පෙනහළු වෙතට තෙරපා යවනවා. පිරිසිදු වන රැධිරය , වම් කර්ණිකාව (වම් ඉහළ කුටීරය) වෙත යොමු වුනාට පස්සේ , ඒ පිරිසිදු රැධිරය දේහය පුරා බෙදා දීමේ කාර්යය වෙනුවෙන් , වම් කෝෂිකාව වෙත තෙරපා හරිනවා.  දැන් තමා වැඩිම මහන්සියක් වන  කටයුත්ත. ඒ තමයි , පැමිණි , පිරිසුදු වූ රැධීරය , දේහය පුරා තෙරපා හරින්න එක . එය කරන්නේ , වම් කෝෂිකාවේ බිත්තිය . ඒ සඳහා වම් කෝෂීකාවේ බිත්තිය අනේක් කුටීර වල බිත්ති වලට සාපේකෂව ශක්තිමත් බවින් වැඩි වෙන විදියට හදන්නට සොබා දහම කටයුතු කරලා තිබෙනවා.

මේ සියළු තෙරපීම් , කම්පනයන් සිදු වන්නට හෘද පේෂිවලට අවශ්‍ය රැධිරය ලබා දීමෙ අතිශ්‍යය වැදගත්ම  කාර්යය කරන්නේ කිරීටක ධමනි Coronary Arteries නම් සිහින් නාල පද්ධතියකින්. බොහෝ අවස්ථා වල හදවත් රෝග ඇති වන්නේ , යම් හේතුවක් නිසා මේ කිරීටක ධමනි අවහිර වීම  නිසා , එයින් පෝෂණය වන හදවත පටක මිය යාම හෝ දුර්වල වීම. අපි හුඟක් බියට පත්වන Heart Attack කියන්නේ මෙවන් අවස්ථාවක් . 


නමුත් මෙයා ටිකක් වෙනස් .


නමුත් , අද මේ කතා කරන රෝග තත්ත්වයේදි මෙවන්ම රෝග ලක්ෂණ ඇති වුනත් , ඒ කීවේ නියම  හෘදයාබාධයක ලක්ෂණ පෙන්වුවත් , පෙර  කී ධමනි වල කිසිදු අවහිර වීමක් දැක ගන්නට වෛද්‍යවරයාට ලැබෙන්නේ නැහැ. නමුත් , ලක්ෂණ අතින් ගත්තම , මෙය “හෘදයාබාධයක්“ .

රිද්දන්නේ කොහොමද ? .


 දැනට පරියේෂකයින් සොයාගෙන ඇති අන්දමට , Broken Heart Syndrome තත්ත්වය ඇති කරවන්නට , මානසිකව ඇතිවන ක්ෂණික කම්පනයන් ප්‍රධාන හේතුව වෙනවා. ක්ෂිණික බියක් , තදබල වේදනාවක් , දුකක්  , ආතතියක් වැනි තත්ත්වයකදි , සිදුවන හෝමෝන වෙනස්වීම් වල බලපෑම හේතුවක් බව හඳුනාගෙන තිබෙනවා. , පිරිසක් ඉදිරියේ කතා කරන්නට බියක් දක්වන අයෙක්ට , එකවර විශාල පිරිසක් ඉදිරියේ කතාවක් පවත්වන්නට වන අවස්ථාවක , නැත්නම් , කෙනෙක් පුදුම කරවන්නට කරන Surprise party එකක්දි ,හිතවන්තයෙක් හදිසියේ වෙන්වී යාමකදි වගේ , අප ඒ තරම් නොහිතන අවස්ථාවක වුනත් මේ තත්ත්වය ආරම්භ වෙන්න පුළුවන්.

හේතුව අහේතුව 



මෙය සිදුවන හේතු කාරකයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව තවමත් පර්යේෂණ සිදුවුනත් දැනට හඳුනාගෙන ඇති අන්දමට , ඉහත කී ආකාරයේ හදිසි තිගැස්මක් ඇති වන අවස්ථාවක අපේ හෝමෝන පද්ධතියෙන් නිකුත්වන , සමහර හෝමෝන ( ඇඩ්‍රිනලින් වැනි) මඟින් හෘද පේෂිය මතට සිදුවන ,ක්ෂණීක සහ ප්‍රබල බලපැම් නිසා , හෘදයේ වම් කෝෂීකාව සිදු කරන , දේහය පුරා පිරිසිදු රැධිරය තෙරපා හැරීමේ බලය දුර්වල කරනවා , ප්‍රතිපලය වම් කෝෂීකාව වෙත රැධිරය ගලා ආවත් , එය නිසි ලෙස  දේහයේ අනෙක් පටක (හෘද පේෂි ඇතුළුව) වලට යොමු වන්නේ නැහැ. 

ප්‍රතිපල දෙකක් , එක , කෝෂීකාව තුල ක්‍රමයෙන් රැධිරය එක් රැස් වනවා , ඒක හරියට , සෙනඟ පිරිල ඉන්න බස් එකකට , “එන්න එන්න ෂිට් තියෙනවා කියල තව ටික දෙන්ක නග්ග ගන්නවා වගෙ , දැන් බස් එක ඇතුලේ තෙරපීම වැඩියි , බස් එක ඉස්සරහට යත්දි , බස් එකෙන් බහින ගණනට වඩා වැඩි පුර නග්ග ගත්තෝත් දැනෙන දේ , හෘදයේ කෝෂිකාවටත් වෙන්නෙ , එය ක්‍රමයෙන් දුර්වල වෙනවා . දෙවැන්න , ප්‍රමාණවත් රැධිරය නොලැබීම නිසා “රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා“ 

මොනවද රෝග ලක්ෂණ ? 


මුලින්ම කීව නේ මේක හාර්ට් ඇටෑක් එකක් වගේමයි කියල , ඒ කියන්නේ හෘදයාබාධයක ලක්ෂණ සියල්ල මෙහි තිබෙනවා. 


  • පපුවේ මැද හරියේ ඇති වන ක්ෂණික සහ තව බල වේදනාවක් 
    • මේ වේදනාව පපුව මිරිකනවා වැනි , කටුවකින් අනිනවා වැනි , නැත්නම් පිළිස්සෙන බවක් , හෝ පපුව දෙපසින් අඬුවකින් තදකරන්නාක් වැනි වේදනාවක් / අපහසුවක් වෙන්න පුළුවන්.
  • හුස්ම ගැනීමේ අපහසුව 
  • අත ඔස්සේ හෝ පිට පැත්තෙන් විහිද යන වේදනාවක් 
  • අධික ලෙස දහදිය දැමීම සහ වමනය 
  • පෙනීම  දුර්වල වීමක් සහ කල්පනාව වෙනස්වීමක් 
රෝග ලක්ෂණ අතින් සමාන කම් තිබුනත් , මේ ලක්ෂණ ආරම්භ වීම අතින් තමයි වෙනස්කම් තිබෙන්නේ . ඒ කීවේ සාමාන්‍යයෙන්  හෘදයාබාධයක් මතුවෙන්නේ , යම් තරමක වෙහෙසවීමකට පස්සේ ( පොදු ලක්ෂණයක් ලෙස මෙය ගන්නට පුළුවන් වුනත් , දැනෙන වෙහෙසවීමක් රහිත අවස්ථාවෙත් හෘදයාබාධයක් එන්නට පුළුවන් ) , නමුත් මේ අද කතා කරන හෘදයාබාධය ඇතිවෙන්නේ “වෙහස වීමකට වඩා ‘‘ දැඩි තිගැස්මකට, කම්පනයකට  ලක්වුනු අවස්ථාවක . ඒ වගේ අවස්ථා වලට උදාහරණ කිහිපයක් මීට පෙර කතා කළා. 

අනෙක් වෙනස් කම තමයි , මුලින් කී සාමාන්‍ය හෘදයාබාධයකට පස්සේ , පරික්ෂණ කරත්දි , හෘද පේෂියට ලේ ගේන කිරීටක ධමනි අවහිර වීමක් , පටු වීමක් හඳුනගන්නට පුළුවන් , නමුත් Broken Heart Syndrome දි , එවන් ධමනි වල පැහැදිලි වෙනසක් හඳුනාගන්නට බැහැ . 

මේ වෙනස්කම් තිබුණත්  ,

 මේ අවස්ථා දෙකම ඉක්මණ් වෛද්‍ය ප්‍රතිකාරයකට යොමු විය යුතු අවස්ථා බව අමතක කරන්න එපා . ආ ඒක , Broken Heart Syndrome  එකක් කියල  ගණන් නොගෙන හිටියොත් ලොකු අනතුරක් අතළඟ. ඒ නිසා මේ ඉහත  කී පොදු ලක්ෂණ දැන ගත් වහාම , කළබල නොකර , නොවී , සුදුසුකම් ලත් , පහසුකම් ඇති වෛද්‍ය ආයතනයකට යොමු වීම , යොමු කරවිම තමයි මුුලිකම දේ

මේ තත්ත්වයට පත්වුනොත් , මුලික වෛද්‍ය පරික්ණයකින් පස්සේ , හෘදය ආශ්‍රිතව කෙරෙන විශේෂිත පරික්ෂණ කෙරේවි , E.C.G. , XRay , විතරක් නොවෙයි , ඇනිජියෝග්‍රැම් පරික්ෂණයකුත් කරන්නට ඉඩ තිබෙනවා . ඒ සියළු පරික්ෂණ වලින් පස්සේ මෙය Broken Heart Syndrome යැයි තහවුරු වේවි. මේ වෙත්දි , අදාල රෝගියා වෙනුවෙන් , හෘදයාබාධයකට කෙරෙන සමහර ඖෂධ ආරම්භ කරල වෙන්න පුළුවන් . 
රෝග තත්ත්වය මේ යැයි නිගමනය වීමත් සමඟ , තවත් අතිරේක ඖෂධ කිහිපයක් එකතු කරන්නට පුළුවන් , ඒ මානසිකව ඇති වන පීඩනය , ආතතිය තත්ත්වය අඩු කරන්නට , ඊට අමතරව , චිකිත්සකීය උපදේශනයකට යොමු කරන්නත් පුළුවන් . මේ සියළු දේ නිසි ලෙස සැලසුනා නම් , සාමාන්‍යයෙන්  මාස දෙකක් වගේ සීමාවකදි , මේ “හෘදයාබාධය“ සුව තත්ත්වයට පත්වෙලා. නමුත් නිසි ප්‍රතිකාර නොගත්තොත් , කෝෂීකාවේ මතුවුනු වෙනස දිගුකාළීන වෙනසක් බවට පත්වෙලා , කාළයක් තිස්සේ ප්‍රතිකාර ගත යුතු හෘද රෝගියෙක් බවට පත් කරන්නට හෝ , ඊට වඩා අවාසනාවන්ත අවස්ථාවකට පත්වන්නටත් ඉඩ තිබෙනවා.
මේ තමයි කෝෂිකාවේ වෙනස


මේ තමයි බූවලු උගුල 







ලෙඩේ ගැන කතාව නම් ඉවරයි , දැන් ඔබ බලනව ඇති මොකක්ද මේ මාතෘකාවේ තිබෙන බූවල්ලා ගැන කතාව කියල , මෙහෙමයි , මේ කියපු රෝගී අවස්ථාවට පත්වුනු හෘදයේ කෝෂීකාව ලේ පිරිලා , ඉදිමුණාට පස්සේ , ඒක හරියට “කළ ගෙඩියක් වගේ“ , අපට එහෙම පෙනුනට ඒක ජපන් ජාතිකයන් “බූවල්ලන් අල්ලන්නට “ යොදා ගන්න කළ ගෙඩි උගුළක් විදියටයි , ඒ උගුලට ඔවුන් පාවිච්චි කළ නම tako-tsubo ඒ නිසා තමයි මේ රෝගයට Takostubo Cardiomyopathy නම යෙදුවේ. 

ඔන්න එහෙම නම් අද  කතාව ඉවරයි , සමුගන්නම් , නැවත හමුවන අපේක්ෂාවෙන්. සුව සතුට පිරි දිනයක් ඔබට !

14 comments:

  1. වටිනා ලිපියක්. හෘද රෝග වලට මානසික ආතතියේ ලොකු බලපෑමක් තියනවා කියන එක බොහොම ප්‍රසිද්ධ දෙයක්. මෙවැනි සිද්ධීන් පිලිබඳ දැනුවත් කිරීම මගින් කාටහරි තමන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ ජීවිතය බේරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. සුබපැතුම් අයියේ. ජය...! (Syndrome - සහලක්ෂණය කියලත් කියනවා නේද?)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රදීප් මල්ලී , ඇත්තටම සංධාවයට වඩා සහ ලක්ෂණය නිවැරදියි / ගැලපෙනවා කියල මටත් හිතනෙවා.

      Delete
  2. බොහොම වටිනා ලිපියක්. මගේ ජීවිතයේදී ඇත්තටම එක වරක් මෙහෙම දෙයක් දැනිලා තියනවා. මට ඇතිවූ තදබල දුකක් නිසා. ඒ වෙලාවේ මම තනිවමයි හිටියේ. මොකක්දෝ පෙර පිනකින් මම ඇඳට වැටුනා. රැයක් එළිවනතුරු ඒ වේදනාව වින්දා. නමුත් පහුවදා ඇඳෙන් නැගිටගන්න බැරිවුනා. දවස ගෙවෙද්දී ක්‍රමයෙන් මා පියවි තත්වයට ආවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත , කායික සෞඛ්‍යය වෙත මානසික බලපෑම ගැන අප හිතන ප්‍රමාණය හුඟක් අඩුයි මට හිතෙන විදියට , ඔබ කියන ආකාරයේ තත්ත්ව වලට මෙවන් මානසික බලපෑම් සෘජු හේතුවක් වෙන්න පුළුවන්.
      ස්තුතියි ඔබට ඔබේ අදහස් එක් කළාට

      Delete
  3. ඉතාම වටිනා ලියවිල්ලක්. හදවත්ට දෙන වේදනා වෙලාවකට දරා ගන්න අමාරුවෙන්නෙ මේ හේතුව නිසා නෙ. එකම එක වතාවකදි මාත් ඔය තත්වෙට මූණපෑවා. මගෙ නංගි නැති උන වේලාවෙ. බොහෝම පින්! ඔබට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට ඔබේ අදහස එක් කළාට අප බොහෝ දෙනෙක් මෙවන් අවස්ථාවට පත්වෙනවා නමුත් එහි වෛද්‍ය විද්‍යාමත්මක පසුබිම තරමක් හෝ දුරට දැන ගැනීම වටිනවා ,

      Delete
  4. බෙහෙවින්ම ස්තූතියි සමහර වෙලාවට අපේ ශරීරවල් ක්ෂනිකව ඇතිව හදවත හෝ ඒ ආහ්‍රිතව හීනි ඉඳිකටුවක්නි අනිනව වගේ දැනිම් මෙවන් රෝගලක්ෂන වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , ඔබ කියන ලක්ෂණ මේ නිසා වන්නටත් පුළුවන් ,
      නමුත් එම ලක්ෂණ කීරීටක ධමණි ආශ්‍රිත ගැටළුවකදි පවා සහ තවත් තත්ත්ව කිහිපයක පොදු ලක්ෂණයක් වන නිසා , නොසලකා නොහැර ටිකක් සොයාබලන එක වැදගත් වේවි.
      ස්තුතියි ඔබට

      Delete
  5. කතන්දර පොත්වල ලය පැලී මිය ගියා කියලා කියවලා තිබුනට ඒක අතිශෝක්තියක් කියලහි හිතාගෙන හිටියේ..ස්තුතියි මහේෂ්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ , ඔබේ පැමීණීම සතුටක් !

      Delete
  6. ඒ කියන්නෙ පපුව පැලිලා මැරෙනවා කියන්නෙ බොරුවක් නෙවෙයි නේද.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ පැමිණීම වෙනුවෙන් , ඇත්තටම ඒක ඇත්තක් !

      Delete
  7. Thanks for the lettr... Wish u all the best

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)