2014/06/23

163) සුපර් ග්ලූ වලින් වහනා මොලේ ලෙඩේ

කතාව ගෙනාව “පින්කි“ ලෙඩ හොඳ වුනා පස්සේ :D
“අක්කේ , මගේ බෝනික්කිගේ කොන්ඩේ ගැලවිලා මේක අලවල දෙන්කෝ “
“මට බෑ , මම දැන් වැඩක්“
“අනේ ....ඔයා මගේ හොඳ අක්කිනේ .....අනෙක ග්ලු ගන්  එක ඔයාගෙනේ , අනේ මෙයාව හදල දෙන්නකෝ ....“
“කෝ ගේන්න  , ඔයාගේ බෝනික්කිගේ සපත්තුවත් ගැලවිලා තියෙනව දැක්කා , ඒකත් අලවන්න බලමු‘‘
දෙන්නගේ කුටු කුටුව අහගෙන මමත් මගේ වැඩේ කරගෙන ගියා .

“තාත්තේ මේ , මේ පින්කි දැන් ලස්සනයි නේ “ පොඩ්ඩි බොනික්කේකුයි තව මොන මොනවදෝ අඩුම කුඩුම වගයක් ගෙනත් තිබ්බා මෙසේ උඩ .

දැන් ඉතින් මගේ වැඩේ කරල ඉවරයි ....
ජීවිතේම රස කතාවක් කළ
මගේ කතාකාරියෝ දෙන්
නා

“හ්ම් , කවුද කොන්ඩේ කරල් ගෙතුවේ අක්කද? ..“
“ඔව් , එයාගේ කොණ්ඩේ ගැලවිලා තිබුණේ , අපි දෙන්න සර්ජරි එකක් කළා “
“සර්ජරි එකක් ! මොකක්ද කළේ දෙන්න එක්ක‘‘
‘‘අපි දෙන්න මෙයාගේ කොණ්ඩේ තියෙන ලේයර් එක උස්සල , ඇතුලට ග්ලු ගන් එකෙන් , ග්ලූ ඇතුල කරල , ටිකෙන් ටික ඇලෙව්ව , දැන් මේ ....ඇද්දත් ගැලවෙන්නේ නෑ  ,  “
පොඩ්ඩි බෝනික්කිගේ කොන්ඩ කරලකින් ඇදලම පෙන්නනව .
“හ්ම් වැඩේ නම් හොඳයි , දැන් අර ගත්තු බඩු ටික අස් කරලද අාවේ “
“අක්කි අස් කළා , මං උදව් කළා ....“ ...ආයෙත් බඩු මට්ටු ටික කරගහගෙන පොඩ්ඩි යන්න ගියා .


පොඩ්ඩි යන්න ගියත් , එයාල “සර්ජරිය“ කළ විදිය විස්තර කළ ආකාරය මට තවත් ලිපියකට ලියන්න දෙයක් මතක් කළා , ඒකත් ඔළුවේ ප්‍රශ්නයක් , බොහොමයක් අවස්ථා වල නොසැලකිල්ල , නැත්නම් හඳුනා ගන්නට ප්‍රමාද වීම නිසා ජීවිත අවදානමකට පවා ලක්වෙන මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවෙදි නම් කරන්නේ ArterioVenous malformation of the Brain නැත්නම් කෙටියෙන් Brain AVM කියල. අද මේ පුංචි කතාවෙන් පටන් ගන්න හදන්නේ අන්න ඒ අසාමාන්‍යතාවය ගැන .


ලෙඩේ ගැන දැන ගන්න ඉස්සර වෙලා , මේ ආශ්‍රිත ජීව විද්‍යාත්මක කරුණූ ටිකක් මතක් කරගෙන ඉන්න එක වටිනවා. ඒ නිසා අපි ඒ ගැන පොඩ්ඩක් විතර කතා කරමු .



ඔබ දන්නවා අපේ රුධීර සංසරණ පද්ධතිය හැදිල තියෙන්නේ හෘදය කියන “පොම්පයෙන් සහ  රුධිරවාහිනි කියන බට පද්ධතියෙන් කියල මූලිකවම. පොම්පෙ ගැන වැඩි කතාවක් නැති වුනත් , බට පද්ධතිය ගැන තමයි ටිකක් වැඩිපුර කතා කරන්න වෙන්නේ මේ රෝග තත්ත්වයේදි.  ඔබට මතකද “රුධිරවාහිනී “ගැන කතා කරත්ච එහි වර්ග කිහිපයක් තිබෙන බව . ධමනි (Artery) කියන සාපේක්ෂව ඝණකම වැඩි බිත්තියක් තිබෙන , වැඩි පීඩනයක් දරා ගන්නට පුළුවන් , හෘදයේ සිට දේහයේ අනෙක් ප්‍රෙද්ශ වලට ලේ අරගෙන එන නාල වර්ගය සහ ශිරා ලෙසින් නම් කෙරෙන සාපේෂව බිත්තිවල ඝණකම අඩු , අඩු පීඩනයක් ඇති රුධිරය හෘදය වෙතට රැගෙන එන නාලවලට .


ඔය දෙන්න විතරද ? ...නැහැ , මේ දෙන්න අතරේ තවත් වර්ග ගණනාවක් ඉන්නව ? අපි ධමණිය(Artery)  පැත්තෙන් පටන් ගත්තොත් , එය ධමනිකා (Arterioles)  කියන තරමක කුඩා නාල වලට අතුබෙදෙනවා , ඊළඟට මේ කුඩා අතු , නැවතත් කේශ නාලිකා ලෙසින් නම් කරන ඉතාම සිහින් බට වලට බෙදී යනවා , මෙන්න මේ සිහින්ම බටතුලින් ලේ ගමන් කරත්දි තමා ලේ වලින් අරගෙන එන කෑම බීම එළියට යවල සෛල වලට කන්න බොන්න දෙන්නෙත් ඒ වේගම සෛල වලින් පාවිච්චි කරල ඉවත දාපු අපද්‍රව්‍ය ටික ඇතුලට ඇතුලට දාගෙන ඒ සියල්ල හෘදය දිසාවට ගෙන යන ගමන ආරම්භ කරන්නෙත්.  

මේ බෙදා දීමේ කටයුත්ත සම්පුර්ණ කරන කේශනාලිකා තව ටිකක් දුරට යත්දි , තමන්ට වඩා ටිකක් විතර මහත , නාල බවට පත්වෙනවා , මෙයාලට කියන්නේ අනුශීරා කියල , ලොකු පීඩනයක් දරා ගන්න අවශ්‍ය නැති නිසා මෙයාගේ බිත්ති ධමනි වල තරම් ඝණකම් නැහැ. ශක්තිමත් නැහැ , දැන් කේශ නාලිකා වලින් එකතු වුනු ලේ ටිකත් අරගෙන ඉස්සරහට එන අනුශීරා , තවත්  ඉදිරියට එත්දි තව ටිකක් විතර ලොකු ශිරා බවට පත්වෙනවා. මෙන්න මේ පිළිවෙල ජීවය පවත්වා ගන්නට හරිම වැදගත්. ටිකෙන් ටික ප්‍රමාණයෙන් කුඩා වෙමින් , ඇතුලේ තිබෙන ලේ වල පීඩනය අඩුවෙමින් , සෛල ළඟටම ගිහින් ආයෙත් ටිකෙන් ටික එකතු වෙලා , ලේ පරිමාව වැඩිවෙමින් , හදවත කරා නැවත එන මේ ගමන , මේ රිද්මය තම ජීවයේ පැවැත්ම. නමුත් ...... අපි මේ කතා කරන්න හදන රෝග තත්ත්වයේදි මේ පිළිවෙල , රිද්මය බිඳ වැටෙනවා.


ඒ කීවේ ...? මෙහෙමයි , අපි කීවනේ අර ධමනියේ ඉඳන් ක්‍රමයෙන් ප්‍රමාණය පීඩනය අඩුවෙමින් ධමනිකා ඔස්සේ  , කේශ නාලිකා වලින් පස්සෙයි අනුශීරාවට එකතු වන්නේ කියලා . ඒත් AVM තත්ත්වයේදි ධමනිකාවක්(Arterioles) එකවරම අසාමාන්‍ය ආකාරයෙන් අනුශිරාවකට බැඳෙනවා. 


දැන් මොකක්ද ප්‍රශ්නේ ? ...


මේකයි ප්‍රශ්නේ , ශිරාවන් නැත්නම් අනුශීරාවන් සැකසී තිබෙන්නේ “දැඩි පීඩනයන්“ දරා ගන්නට නොවෙයි , නිවීහැනහිල්ලෙ “ලේ ටික එකතු කරගෙන“ කළබල නැතිව හෘදය වෙතට අරගෙන යන එක. නමුත් ........


දැන් මොකද වෙන්නේ , අර අනුශීරාව තුලින් අධීපීඩනය යටතේ එන ලේ දහරාව කිහිම පීඩනය අඩාල වීමක් නැතිව එකපාරටම අනුශිරාවට රිංගන එක . ඒක හරියට හයිවේ එකක එන වාහන සියල්ල හදිසියේම , පොඩි අතුරු පාරකට හරවනවා වගෙ ..දැන් මේ තෙරපීම පීඩනය දරා ගන්නට ශිරාවට පුළුවන් ද ? .... ටිකක් පුළුවන් වේවි , නමුත් ඒ දරා ගත හැති සීමාව ඉක්මවා ගිය තැන , ශීරාව පුපුරා යනවා , දැන් මේ පිපිරුම තුලින් ලේ ඉවතට වැගිරෙන එක අහන්න දෙයක්ද ? . ප්‍රශ්නේ වෙන්නේ මේ තත්වය මොළය තුල සිදු වෙත්දි ,



මෙම රෝග තත්ත්වය (පිංතූරය www.aboutcancer.com වෙතින්) 
පිපිරී ගිය ශීරාවෙන් වෑහෙන ලේ නිසා , මොළයේ අනෙක් ප්‍රෙද්ශ වලට රැධීරය ගෙන යන ලේ නාල අවහිර වෙනවා වගේම , මේ වැගිරෙන ලේ , කැටි ගැසෙමින් හැදෙන ලේ කැටිය නිසා , මොළයේ පටක ටිකෙන් ටික තෙරපෙමින් විනාශ වෙන්න පටන් ගන්නවා . මේ සිදුවීම ක්ෂණිකව හෝ කලක් තිස්සේ ටිකෙන් ටික වැඩි වෙමින් සිදුවන්නට බඩ තිබෙනවා.

කෙසේ සිදුවුනත් , මොළයේ සෛල වලට යම් හානියක් , මියයාමක් වුනොත් , එය ස්ථීරයි , නැවත ඒ මිය ගිය පටක වලට පණ දෙන්නට බැහැ , නැත්නම් සමේ සිදුවෙනව වගේ මිය ගිය සෛල වෙනුවෙන් අළුත් සෛල ඇවිත් ඒ අඩුව පුරවන්නේ නැහැ . අන්න ඒ නිසා මේ තත්ත්වයේ භයානක බව වැඩි.


කෙසේ වෙතත් , මේ විදියට නහරය පුපුරා යාම සහ එහි ප්‍රමාණය , ලේ ඉවත් වන ප්‍රමාණය , වගේ තවත් සාධක ගණනාවක් මත මේ සිදුවීම , හිස් කැක්කුමක සිට , තාවකාළික අංශභාගය තත්ත්වයක් , අංශභාග තත්ත්වයක් හෝ මරණය වුනත් සිදුවන්නට පුළුවන් . ඒ තරම්ම දරුණූයි මේ අවදානම.


ඉතින් කොහොමද  මේක හැදෙන්නෙ ? ...


තවමත් හරියටම ස්ථීර හේතුවක් සොය ගන්නට බැරි වුනත් ‍, දරුවා බිහිවීමටම පෙර කළල අවධියේ මොළයේ සිදුවන වර්ධනයේ යම් අසාමාන්‍යතාවක් මීට හේතු වන්නට පුළුවන් බව විශ්වාස කරනවා. ඊට අමතරව එකතරා ආවේණික රෝග තත්ත්වයක් සමඟ ( Hereditary Haemorrhagic Telangiectasia - උපතේ සිටම පැවතිය හැකි , අසාමාන්‍ය ලෙස වරින් වර රැධීරය පිට වීමේ රෝග තත්ත්වයක් )  මෙය ඇති වන්නටත් පුළුවන් .  නමුත් වැදගත්ම දේ හිසට සිදුවන දරුණූ අනතුරකට පස්සේ , රෝගියා සුව වුනත් , මේ අවාසනාවන්ත තත්ත්වය හිස තුල ඇති වන්නට පුළුවන් බව අද හඳුනාගෙන තිබෙනවා.


රෝග ලක්ෂණ මොනවද ? 



  1. තීව්‍ර මට්ටමේ හිසේ කැක්කුමක් , ක්ෂණිකව උපරිම වේදනාවක මතුවී , ක්‍රමයෙන් දැඩි වේදනාවක් පවතින මේ හිසේ කැක්කුමත් එක්කම , 
      1. වමනය යාමක් (ඈතට විදිනව වගේ -projectile vomiting ) 
      2. පෙනීම වෙනස් වීමක් , අවට අඳුරු වීමක් , පෙනෙන සීමාව , ක්‍රමයෙන් අඩුවන බවක් , නැත්නම් එක දෙක වෙලා වගේ පේන්නත් පුළුවන් 
      3. මේ එන වේදනාව ,ළඟ ඉන්න කෙනාට කියා ගන්න බැරි ගතියක් , එක්කෝ වචන මතකයට එන්නෙ නැති බවක් , නැත්නම් කියා ගන්න වචන එළියට දාගන්න බැරි වගේ ගතියක් දැනෙන්න පුළුවන් 
  2. ඇඟ අප්‍රාණික බවක් , අසමතුලිත බවක් , හිටගෙන ඉන්නවා නම් කරකැවිල්ලක් සමඟින් කෙළින් ඇවිදින්නට බැරි බවක් දැනෙන්න පුළුවන් . හුඟක් වෙලාවට මේ එක්කම අතක් පයක් නැත්නම් පැත්තක් හිරි වැටිලා වගෙ  , නැත්නම් ඒ පැත්ත නැහැ වගේ දැනෙන්නත් පුළුවන් . සමහර විට කටු ඇනෙනව වගේ දිගින් දිගටම දැනෙන්න පුළුවන්.මේ කටු ඇනෙන , හිරි වැටෙන බව මුහුණේ පැත්තක ඇති වෙන එක බහුලව දකින්න පුළුවන්.
  3. චර්යාත්මක වෙනස්කම්
    • මතකය අඩුවීම , කතා කරන්නට අපහසුවිම , අසාමාන්‍ය ලෙස පෞරුෂත්වයේ දුර්වලවීම දැනෙන වෙනස්කම් , 
  4. කිසිම ලක්ෂණයක නැතිව හැංගිලා ඉන්නත් පුළුවන් 
Spot a Stroke FAST - Stroke Warning Signs and Symptoms
මේ ගැනත් දැන ගන්න (පිංතූරය http://www.strokeassociation.org/ වෙතින්) 

මේ මුලින් කී ලක්ෂණ කිහිපය දැනුනොත්  ,

 එයම ඇති ඉක්මණින් , අනවශ්‍ය විදියට රෝගියා කළබල නොකර  ළඟම තිබෙන ප්‍රමාණවත් පහසුකම් ඇති රජයේ රෝහලකට රැගෙන යන එක. මේ අවස්ථාවේ නම් අත්බෙහෙත් කරන්න වත් , ළඟ තියෙන ඩිස්පැන්සරි එකට ගිහින් කාළෙ නාස්ති කරන්නවත් හොඳ මදි , මොකද පහු පහු වෙන්න මොළයේ සෛල මිය යාමේ අවදානම වැඩි වෙන නිසා.


මේ  ලක්ෂණ විතරක් නොවෙයි ,
ඊළඟට  අපස්මාරය වගේ තත්ත්වයක් පවා ඇති වෙන්න පුළුවන් . රෝගියා රෝහලට ගෙන යන අතරතුර මෙ  අපස්මාරය තත්ත්වය ඇති වන්නට පුළුව්න නිසා ඒ පිළිබඳව අවදානයෙන් ඉන්න  එක , හදිසියේ හරි අප්සමාරය තත්ත්වය ආවොත් , කටට , දත් අස්සට කිසිම දෙයක් නොදා , කිසිම දෙයක් පොවන්නේ නැතිව  , එන සෙම ටික බේරිලා යන විදියට ලෙඩාව පැත්තට හරවගෙන , වැටෙන්න නොදි ආරක්ෂිතව රෝහල ගෙන යන එක තමයි කරන්න ඕන . 
තව වැදගත් දෙයක්

මේ රෝග ලක්ෂණ මතුවුනු අවස්ථාව  , වෙලාව කොළ කෑල්ලක ලියාගෙන යන එක වටිනවා , මොකද ප්‍රතිකාරය වෙනස් කරන්නට වෙනව ගත වූ කාළය මත සමහර අවස්ථා වල. මේ රෝග තත්ත්වයට පත්වෙලා ඉන්නේ ගර්භණී මවක නම් මේ ලක්ෂණ  ටිකක් තදබල මට්ටමින්ම ඇති වන්නට පුළුවන් . 

ඔය කියල සමහර ලක්ෂණ ඉරුවාරදේ තියෙන අයටත් තියෙනව නේ ? 

ඔව් මේ සමහර ලක්ෂණ මිග්‍රෙන් වලදිත් එන්න පුළුවන් , ඒ නිසා තමයි මීට පෙර ලියූ එ් ලිපියෙදි කීවේ , මිග්‍රේන් තත්ත්වයේදි , නිසි වෛද්‍ය පරික්ෂණයකට ලක්වෙලා තත්ත්වය පිළිබඳ තහවුරු කරගෙන ප්‍රතිකාර ගන්න කියන එක . මොකද මේ තත්ත්වයත් මිග්‍රේන් විදියට නොසලකා හැරෙන්නට  ඉඩ වැඩියි. 
මේ ලෙඩේ හරියටම හඳුනගන්නේ ?

මේක ටිකක් විතර සංකීර්ණ ක්‍රියාවලියක් ,මුලික පරික්ෂණ , තොරතුරු , අතීත සෞඛ්‍ය ගැටළු ඔක්කොම හොයල බලල , තත්ත්වය තහවුරු කරගන්නට රෝගියා M.R.I. පරික්ෂණයකට භාජනය කරන එක තමා සිදුවෙන්නේ . 

සමහර විට C.T ස්කෑනින් එකකුත් කෙරෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකේ දිම මොළයේ ව්‍යුහමය වශයෙන් ඇති වී ඇති වෙනස් කම් පිළිබඳ ත්‍රිමාණ , පැහැදිලි සටහනක් ලබා ගන්නට පුළුවන්. 


මේ පරික්ෂණ වලින් පස්සේ , Angiogram පරික්ෂණයක් කරන්නට හුඟක් ඉඩ තිබෙනවා. මේ පරික්ෂණයෙදි සිදුවන්නේ , කකුළේ ඉකිළියි ප්‍රෙද්ශයෙන් ප්‍රධාන ධමණියකට ඇතුළු කරන පුංචි නලයක් , ඒ ධමනිය දිගේ මොළයට යවලා , හරියටම මේ AVM එක තියෙන තැනදි , මේ ප්‍රශ්නය ඇතිවෙලා තිබෙන ධමනිකාව තුලට යම් ඩයි වර්ගයක් ඇතුළු කරනවා . දැන් මේ ඩයි වර්ගය විසිරී යන ආකාරය , එක්ස් රේ ආධාරය සහිත පරිගණක පද්ධතියකින් බලාගෙන ඉන්න පුළුවන්.( ඊට පස්සේ අර ඇතුළු කළ නලය පිටතට ගන්නවා ). එමඟින් හරියටම ගැටළු සහිත ලේ නාල මොනවද කියන එක නිවැරදිවම හඳුනගන්නට හැකියාව ලැබෙනවා .
මේ එලෙස ලබා ගත් ඇන්ජියෝග්‍රෑම් ඡායා සටහනක්
පිංතූරය neuroangio.org 

( දැන් හිතන්න එපා  මහ භයානක පරික්ෂණයක් නේද , මේව කොහෙද අපේ රටේ , මෙ වෙන රටක කරන පරික්ෂන කියල , නැහැ , ඇන්ජියෝග්‍රෑම් පරික්ෂණ අපේ රටේ සිදු වෙනවා , මගේ සේවා කාළයේ වසර කිහිපයක්ම මේ ඇනිජියෝග්‍රැම් ඒකකය එක්ක කටයුතු කළ නිසා , පරික්ෂණය විස්තර කරත්දි හිතෙන තරමේ අනතුරක් පරික්ෂණය සාර්ථකව කරන විට ඇති වන්නේ නැති බව කියන්න පුළුවන් අත්දැකීම් මත.)

දැන් මෙහෙම හඳුනගත්ත කියමුකෝ ඊළඟට ?

ඊළඟට කෙරෙන දේ තමා රෝගියා , මේ තත්ත්වය පිළිබඳව , සහ ඊට අදාල ප්‍රතිකාර ඒ වගේම ප්‍රතිකාරයේ සුබ අසුබ ගැන දැනුම් දෙන එක . ඒ සියල්ලෙන් අනතුරුව ප්‍රතිකාරය . 
ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම තුනක් අද ලෝකය පුරා මෙයට යොදා ගන්නව ,ඒ තමයි ශල්‍ය ප්‍රතිකාරය , මෙතැනදි සිදුවන්නේ හිසේ සිදු කරන විවෘත ශල්‍ය කර්මයක් මඟින් ගැටළු ඇති කරන ලේ නහර ඉවත් කර සැකසීම .  ඊට අමතරව විකිරණ ප්‍රතිකාර මඟින් මේ AVM ප්‍රෙද්ශය හකුළුවා ( මේ නිසාම සමහර AVM කියන්නේ පිළිකාවක් කියල බය වෙන අවස්ථාත් නැතිවාම නොවේ ) , විනාශ කරදමන්නත් පුළුවන් . හැබැයි මේ ක්‍රමේ හුඟක්ම සාර්ථක කුඩා ප්‍රමාණයේ AVM වලදි.

සුපර් ග්ලූ කතාව ...

දැන් තමා මේ කතාවේ මාතෘකාවේ චවන වලට එන්නෙ , ඒ කියන්නේ අර සුපර් ග්ලු කතාව , තුන් වන ප්‍රතිකාර ක්‍රමයෙදි සිදුවන්නෙ (Embolization)  , මීට පෙර ඇන්ජියෝග්‍රෑම් පරික්ෂණයෙදි වගේම , ඉකිළිය ප්‍රෙද්ශයෙන් ප්‍රධාන ධමනියකට ඇතුළු කරන පුංචි නාලයක් , ක්‍රමයෙන් ඉහළට ගමන් කරවල , මොළයේ AVM එක තියෙන තැනටම ගිහින් ( මේ සියල්ල පරිගණක තිරයකින් බලාගෙන කරන නිසා ඉතා සියුම්ව මේ යොමු කිරීම කරන්න හැකියාවක් තිබෙනවා)  මීට ඉස්සර විද්ද ඩයි වර්ගය වෙනුවට දැන් “සුපර් ග්ලූ“ වගේ ගම් විශේෂයක් , ගැටළුව ඇති කරන නාල පද්ධතියට ඇතුළු කරනවා . දේහයට අනතුරක් ඇති නොකරන , වෙනත් රසායනික සමඟ ප්‍රතික්‍රියා නොකරන මේ ග්ලූ වර්ගය අදාල නහර ඇතුලට ගිහින් අවහිර කරන නිසා , ඊට පස්සේ ඒ ධමණිකා තුලින් ලේ ගලා යන්නේ නැහැ . ඒ කියන්නේ මුලින් කී විදියට නහරට පිපිරීමේ අවදානම අඩුවෙනවා. මේ ප්‍රතිකාරය මීට පෙර කී ප්‍රතිකාර දෙක සමඟින් එක්ව ලබා දෙන්නත් ඉඩ තිබෙනවා. 

කෙසේ වෙතත් නිසි ලෙසින් ප්‍රතිකාර ලබා ගත්තා නම් , ඒ වගේම රෝගයේ තත්ත්වයට අනුකූලව ලබා දෙන වෛද්‍ය උපදෙස් පිළිපදිනවා නම් , නිවැරදි ලෙසින් පසු අගැයුම් කෙරෙනවා නම් , AVM නිසා මොළයේ රැධිර වහනයක් වීමේ අවදානම සෑහනෙ ප්‍රමාණයකින් අඩු කරගන්නට පුළුවන්. නමුත් වියපත් වීමත් එක්ක මොළයේ රුධිර වහනයක් වීමේ අවදානම යම් තරමක හෝ පවතින්නට පුළුවන් නිසා , මෙවන් ප්‍රතිකාර ලබා ගත් අයෙක් නිරන්තරයෙන් තමන් ළඟ රෝග විනිශ්ච කාඩ් පත , කළ ප්‍රතිකාරයේ තොරතුරු අඩංගු සටහනේ පිටපතක් තබා ගැනීම ඒ වගේම වෙනත් රෝග තත්ත්වයකට වුවත් ප්‍රතිකාර ගනිත්දි , තමන්ගේ AVMතත්ත්වය සහ එයට ලද ප්‍රතිකාර පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන එක හුඟක්ම වැදගත් .

තව දෙයක් අපි මේ කතා කළේ Brain AVM  ගැන විතරයි , නමුත් දේහයේ වෙනත් තැන්වලත් AVM ඇති වෙන්න පුළුවන් . එතැනදි සිදුවන සිදුවීම මෙයම වුනත් ( නහර පුපුරා යාම ) මතු වන රෝග ලක්ෂණ ස්ථානය අනුව වෙනස් වන්නට පුළුවන්.

එහෙම නම් Brain AVM ගැන සාමාන්‍ය මට්ටමේ පැහැදිලි කිරීමක අවසානය මේ . මේ ලිපිය ලියන මොහොතේම , සොඳුරු සුව අසපුවේ මිතුරෙක් T.I.A සහ Stroke ගැන ලියන්න කියන යෝජනාව ගෙනාවා. ඉදිරි දිනකදි ඒ ගැන සටහනක් එක් කරන්නම් , නමුත් ඊට පෙර මේ රෝගයේ තොරතුරු දැන ගන්න , හේතුව මේ රෝග කිහිපයකම එක පවුලේ සහෝදරයන් වගේ සම්බන්ධකම් තිබෙනවා.

නැවත , තවත් ලිපියකින් හමුවන තුරු සමුගනිමි , ඔබ සැමට සුව සතුට පිරි දිනයක් පතමින් .


10 comments:

  1. බ්ලොග් එක සුපිරි සහෝ...සුභ පතනවා

    එන්න එකතුවත් එක්ක එකතු වෙන්න http://ekathuwa.org/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , ඔබේ පැමිණිමට මෙන්නම යොමු කිරීම වෙනුවෙන් .

      Delete
  2. වැදගත් ලිපියක්.ස්ට්‍රොක් ගැන දැනුවත් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි , ඔව් ඉදිරි ලිපියකදි ඒ ගැන ලියන්නට උත්සාහ ගන්නවා ,

      Delete
  3. මගේ දයාබර සෙනෙහෙවන්තියටත් මේ වගේ රෝග ලක්ෂන තිබුනා. ඒත් සීටී ස්කෑන් එකකින් ප්‍රශ්නයක් නොමැති බව වෛද්‍ය වරු කිව්වා. ඒත් තාමත් මේ වගේ ලිපි දකිනකොට පුදුම බයක් දැනෙනවා. අපිට සීටී ස්කෑන රිපෝට් එක විස්වාස කරන්න පුලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. මේ රෝග තත්ත්වය අති වන්නෙ සමස්ථ ජනගහනයෙන් 1%ක් වගේ අඩු පිරිසකට , නමුත් මේ ගැන ලියන්න හිතුනේ අපි අතින් සිදුවන නොසැලකිල්ල නිසාවෙන් හඳුනාගන්නට බැරි වන මෙවන් රෝග තිබෙන බව මතක් කර දෙන්න විතරයි .
      සුදුසුකම් ලත් තාක්ෂණවේදියෙක් යටතේ , කෙරෙන නිවැරදි මට්ටමේ සීටි ස්කෑනි්න් පරීක්ෂණයක් සහ එයට සුදුසුකම්ලත් විශේෂ: වෛද්‍යවරයෙක් සහ ස්නායු විශේෂ: වෛද්‍යවරයෙක්ගේ නිරීක්ෂණයකින් , ගැටළුවක් නැති බව දැනගත්තා නම් බිය වීමට කාරණයක් නැහැ  , වැදගත් දේ අනතුරක් නැති බව තහවුරු කරගැනීම .
      ස්තුතියි ඔබෙ පැමිණීමට , කෙසේ වෙතත් මෙ වැනි තත්ත්ව පිළීබඳව දැනුවත් ව සිටීම ප්‍රෙයා්ජනවත් වන්නට පුළුවන් අපි හැමෝටම.

      Delete
  4. හැමදාම මෙවරත් ඔබගේ ලිපිය අති විශිෂ්ඨයි!ප්‍ර‍යෝජනවත්!ලේඛන ශෛලිය මන බඳනා සුළුයි! ත‍ව තවත් ලියනු දැකීම අපේ පැතුමයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ පැමිණීම වගේම අගය කිරිමත් , එය මට දිරියක් .

      Delete
  5. මොළේට යවන නාලය ඉකිළියෙන් ඇතුල් කරන්නේ ඇයි
    මොළේට ළඟ තැනකින් ඇතුල් නොකර?? ගොඩක් දුර යවන්න වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. මෙකට ප්‍රධානම හේතුව , හෘදය , මොළය වගේ ඕනම තැනකට පහසුවෙන් ‘කැතීටරයක් , “ යවන්න පුළුවන් හොඳම , ලොකුම රුධිර නාලය වන සංස්ථානික ධමනිය හසු කරගන්න පුළුවන් හොඳම තැන තමයි , ඉකිළිය ප්‍රෙද්ශය ආසන්නයෙන් ගමන් කරන Femoral Artery කියන ධමනිය , ඒ නිසයි මේ ප්‍රෙද්ශය වඩාත් බහුලව තෝරගන්නේ , ඒ වගේම මේ සඳහා යොදා ගන්නා බොහොමක් කැතීටර් තනා ඇත්තේ එම දිගට සහ ධමනි වල ඇති නැමුම් වලට ගැලපෙන ආකාරවලට . නමුත් , සමහර අවස්ථාවල වෙනත් ස්ථානත් තෝරගන්නට සිදුවෙනවා .
      ස්තුතියි සටහන කියෙව්වාට , පැනයක් යොමු කළාට

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)