2014/05/17

161) හැමදාමත් ලෙඩවෙන මේ සෞඛ්‍යය

දොස්තර මහත්වරු 
හැමදාමත් ලෙඩ ගැනම කතා කර මේ පිටුව පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්නයි අද හදන්නේ . ඒකත් හැබැයි ලෙඩක් ගැන , නිකං ලෙඩක් නොවෙයි , ඔඩු දුවපු , කුණූ කරවපු , පැතිරිලා ගඳ ගස්වන , සැරින් සැරේ වේදනාව දෙන ලෙඩක් .

 කොහොම වුනත් මේ ලෙඩේ ගැන කතා කරත්දි ටිකක් දේශපාලනමය මත වගේම , ජාතිමාමක , දේශප්‍රේමී නොවන , ඒත් යථාර්ථයේ පවතින කරුණු කිහිපයකුත් මුසු කරන්නට වෙනවාමයි . නමුත් මේ ලියන මමත් මේ තුවාලය තුලම කළක් සිටි අයෙක් නිසා , මේ ලියැවිල්ල සර්ව සාධාරණ එකක්ම වේයැයි මම කියන්න යන්නේ නැහැ , ඒත් අද මේ ඔඩුදුවපු තුවාලයෙන් බැහැරව සිටින නිසා , තරමක් දුරට හෝ සමබරව කතා කරන්න ලොකු උත්සාහයක් දරනවා , වැරදි ඇතොත් සමාවන්න , සමා වී පමණකින් නොනැවති , වැරදුනු තැනට ඔබේ අදහසින් නිවැරදි කරමින් යම් කතා බහක් ඇති වේ  නම් එයය සතුට .


එහෙම නම් අටුවා ටීකා නිමා කරලා මාතෘකාවට බහිමු .

අද කතා කරන ලෙඩේ තමයි .... සිරි ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගැටළු සහ වර්ජන  , මේ නම අහපු ගමන් ඉතින් කවුරුත් චිත්තරපටියේ අඟ කොටහ කොහොමද කියල හිතාගනිවි, කමක් නැහැ , එන්න අපි ටිකක් කතා කරමු .

මේ කතා සාගරේ ඇතුලේ මෙන්න මේ ප්‍රධාන කාරණා  ගැන , මගේ නැණ පමණ අකුරු ටිකක් කරන්නේ , කියවන ඔබ , තම තම ණැන පමණ තෙරුම් ගනිවි කියල හිතනව.


 “මගේ පණ “ .. ඇයි මේ තරං ගනං  !

මේක ඉතින් අහන්නත් දෙයක්ද නේ ? මේ ලෝකෙ බිහිවන හැම කෙනෙක්ගේම වඩාත්ම වටින දේ මොකක්ද කියල හිතුවොත් , ඒ මිල මුදල් රත්තරං නොවෙයි , තමන්ගේ ජීවිතේ , තමන්ගේ සෞඛ්‍යය . කෙටියෙන්ම කීවොත් වැඩියෙන්ම වටින්නෙ “මගේ පණ“ , ඉතින් මගේ පණ රැක ගන්න උදව්වෙන ළඟම සේවාව තමයි සෞඛ්‍යය , ඉතින් ආයෙත් ඕකේ වැදගත්කම ගැන කතා කරන්න ඕනද ?

ලෙඩා මැදි කළ  දැළ 

මේ තරම් වටින පණ රැක දෙන සෞඛ්‍යය සේවය සැකසෙන්නෙ වෘත්තීකයන් , සේවාවන් ගණනාවක එක් විමක් වෙලා , ඇත්තටම කීවොත් නිකංම එක් වෙලා නොවෙයි , එකිනෙකට බැඳිලා හරියට දැළක් වගේ . ඒ දැලේ උපදේශන සේවාවන් , සනීපාරක්ෂණ පහසුකම් සපයන  සේවාවවන් , වෛද්‍ය ඉංජිනේරු සහ වෛද්‍ය තාක්ෂණික සේවාවන් , වෛද්‍ය සේවාව , හෙද සේවාව , ඖෂධවේදී සේවාවන් , භෞත චිකිත්සක , වෘත්තීය චිකිත්සක සෙවාවන් , මේ හැම තැනකම ඉන්න සහායක සේවාවන් , ප්‍රජා සෞඛ්‍ය සේවාවන් , පරිපාලනමය සේවාවන් ...... 

ඔය වගේ පුරුක් ගණනාවක් එකිනෙක අතරේ බැඳුනට පස්සෙ , ඔය දැලට මැදි වෙලා මැදි වෙලා ඉන්නේ කවුද ? ... අන්න එයා තමා ,සේවාව ලබන්නා , අපි දැනට රෝගියා කියල කියමු , හැබැයි මේ සේවාව ලබන්නා හැම තිස්සේම රෝගියෙක් වෙන්නේ නැහැ , සරළම උදාහරණයක් මාතෘ සායනයට යන සෞඛ්‍ය සම්පන්න ගැබිණි මවක් රෝගියෙක් නොවෙයි , ඇයි යන්නේ , විය හැකි අවදානමක් වලක්වා ගන්න , එහෙම නැත්නම් සාමාන්‍ය අගැයුමකට වෙන්න පුළුවන් .

කෙසේ වෙතත් මෙතන වැදගත්ම දේ මේ කියන පුරුක් වලින් හැදෙන  “සෞඛ්‍යය සේවාව කියන දැල“ ඇයි මේ විදියට ලෙඩාව වට කරගෙන ඉන්නේ ? .
.. පඩි වැඩි කරගන්න , 
...ඉල්ලීම් දිනා ගන්න , 
...රට පෙරලන්න , 
...ළකුණු දාගන්න , 
....ඡන්දේ දිනා ගන්න .
                                    ........... නැහැ , මෙහෙම මැදි කරගෙන ඉන්න ඔහු හෝ ඇය මේ සෞඛ්‍යය සේවාවේ “වැදගත්ම පුද්ගලයා නිසා“ , වටින දේ පරිස්සම් කරගන්නනේ මැදි කරගෙන ඉන්නේ .ඔය නිසාම අද සෞඛ්‍යය සේවාව ගැන කතා කරත්දි භාවිත වන පදයක් තමයි " Patient centered Heath System" කියන අදහස . 


කවුද... කවුද.... දැන් ලොක්කෝ ?  

මේක මහ අණ්ඩර දෙමළ කතාවක්නේ කියල දැන් ඔබ කියාවි , ලෙඩා කොහොමද වැදගත්ම පුද්ගලයා වෙන්නේ , “ලෙඩා කියන්නේ මේකේ අන්තිමයා , එයාට බැරි නිසානේ මෙතැනට යන්නේ “ ...කියලා . ඒත් සමස්ථ සෞඛ්‍ය සේවාවම වැටුප් ගන්නෙ , ජීවත් වෙන්නේ , ඔය  යාන වාහන වල යන්නේ , කෙටියෙන්ම කීවෝත නොමැරි ජීවත්  වෙන්නේ , රෝගියාට සේවාව ලබා දීමෙන් ලැබෙන වැටුපෙන් , දීමනාවෙන් . කවද හරි දවසක රටේ සියල්ලන්ම කිසිම රෝගයක් නොහැදෙන නිරෝගීම පිරිසක් වුනොත් ඔය හැමෝටම රස්සාවල් ටික දාල යන්න වෙනවා . මොකද එදාට සෞඛ්‍ය සේවයක් ඕන නැහැ . මේ කිව්වේ රෝගියාගේ වැදගත්කම  පෙන්වන්න ගත්ත උදාහරණයක් මිසක කවදාවත් සිදුවන දෙයක් නොවෙයි . 

දෙයියෝ දේවාලේද , ඉස්පිරිතාලෙද ? 

මේක හරිම ප්‍රශ්නයක් නේ ?  අපේ තියෙන මනුස්සකම , භක්තිමත් බව එක්ක කියැවෙන මේ “මගේ දෙයියෝ“  ගැන පොඩ්ඩක් කතා කරමු මෙන්න මේ විදියට .



ක්ලිනින් මහත්වරු 
“බබා  හම්බනවෙන්න ගිහිල්ල මම මැරෙන්න ගිය වෙලාවේ මාව  බේරගත්ත මහ ඉස්පිරිතාලේ ලොකු දොස්තර මහත්තයා දෙයියෙක් ! “  ,  අවදානම් ගර්භණිත්වයකින් පස්සේ නිරෝගි දරුවෙක් බිිහි කරපු අම්ම කෙනෙක් මෙහෙම කියනවා මට ඇහුණ . හැබැයි මේ දරු පැටිය  සහ අම්ම බේර ගත්ත කර්තව්‍යයේ ඉන්නේ  එක දෙයියෙක් විතරද ? .. මෙහෙම හිතමු ? 


ඇති කතාව

මේ අම්ම ගැබිණී බව දැන ගත්තට පස්සේ ළඟම තියෙන පවුල් සෞඛ්‍යය සායනේට යන්න ඇති , එතැනදි පවුල් සෞඛ්‍ය නිලධාරිනිය සහ පවුල් සෞඛ්‍ය හෙද සොයුරිය මව පිළිබඳ තොරතුරු විමසීම් , දත්ත රැස් කිරීම් මඟින් හඳුනගන්න ඇති අැය “අවදානම් තත්ත්වයේ ඇති මවක්“ බවට . කාඩ් එකේ රතු ලේබල් එක එහෙම ගහල යොමු කරන්න ඇති ගමේ රෝහලට . 

ඊට පස්සෙන්ම මහත්තයා ත්‍රීවීල් එකක්වත් හයර් කරගෙන ඇවිත් බොහොම පරිස්සමට ගමේ ඉස්පිරිතාලෙට මේ අම්මව කැන්දගෙන යන්න ඇති . ඕපීඩි කාමරේදි ලෙඩා බලපු දොස්තර මහත්තයා   “ළමයා , මේ ලෙඩාව ට්‍රොලියෙන් එක්කරගෙන යන්න පහේ වාට්ටුවට “ කියල ලියන්න ඇති . රෝහලේ කණිෂ්ඨ සේවක මහත්තයා , අම්මව ට්‍රොලියට දාගන පරිස්සමට වාට්ටුවට එක් කරගෙන ගියා.

 වාට්ටුවේ හෙද නිලධාරිනිය  , ලෙඩාව වාට්ටුවට අරගෙන , ලියාපදිංචි කරල , ඕන කියන ලියකියැවිලි ලේස්ති කරලා , රැධිර පීඩනේ නාඩි වේගේ , උණ , වෙනත් හදිසි අවදානම් ලක්ෂණ ඇත්ද කියල බලල දොස්තර මහත්තයට දාන්න ඇති , දොස්තර මහත්තයා අම්මව බලල , අවදානම හඳුනගෙන, රෝග විනිශ්චය  , “අනිවාර්ය ඇඳ විවේකය“ නියම කරල , බෙහෙතක් නියම කරල යන්න ඇති . 

ඊට පස්සේ වාට්ටුවේ හෙද නිලධාරිනිය , ඉස්පිරිතාලේ ෆාමසි එකේ ඖෂධවේදිනියගේ මැදිහත් වීමෙන්  වෙලාවට හම්බවුනු බෙහෙත් වලින් අවශ්‍ය බෙහෙත , නියමිත මාත්‍රාව දීල අම්මට විවේක ගන්න දෙන්න ඇති , පැය බාගෙන බාගෙට , පැයෙන පැයට අම්මගේ ප්‍රෙෂර් බල බල සටහන් තියෙන්න මේ  හෙද නිලධාරිනියයි , රෑ වුනා , වාටුටුවේ පැය විසි හතර පුරාම රැඳෙන හෙද සේවය , මේ අම්මව තනි නොකර ඉන්නවා . 

අම්මගේ තත්ත්වේ හොඳ නැහැ වගේ හදිසියක් ! හෙද නිලධාරිනිය  ඉස්පිරිතාලේ එක්ස්චේන්ජ් එකට කෝල් එකක්  අරන් ඩොක්ටර්ට කතා කරන්න ඇති , එක්සිචේන්ජ් එකේ අද නයිට් ෂිෆ්ට් එක කරන දුරකථන මෙහෙයුමේ මහත්තයා කොහොම හරි දොස්තර මහත්තයට පණිවිඩේ දෙන්න ඇති , අම්මට ටිකක් අමාරුයි ‍, ඇඳ පුරාම අපවිත්‍ර වෙන්න ඇති , වාට්ටුවේ ඉන්න කණ්ෂ්ඨ සේවිකාව , ඒ සියල්ල පිරිසිදු කරගන්න ඇයට උදව් වෙන්න ඇති . 

සැරින් සැරේ ලෙඩ දෙන ස්කෑනිං මැෂිම ,  ජෛව ඉංජිනේරු එකේ මහත්තය හදල දීල ඇති.  මහ රෑම ආපු දොස්තර මහත්තයා අර ඉංජිනේරු මහත්තරු හදපු ස්කෑනිං මැෂීමෙන් අම්මගේ “බඩ බලන්න “ ඇති , තත්ත්වේ හොඳනැති බව පැහැදිලිවම පේන්න ඇති .  “ මිස් ඉක්මනට , ඇම්බියුලන්ස් එකකට කොල් කරන්න , සෙලයින් දාන්න , ඊ සී ජී එකකුත් දාගෙන , මහ ඉස්පිරිතාලෙට යමු “ දොස්තර මහත්තය හෙද නිලධාරිනියට කියන්න ඇති ,  ඊ.සී.ජී එකේ නෝනා “පපුවේ පටිය “ ගන්න කම් මිසී “කටුවක් දාල , සේලයින් පටන් ගන්න ඇති “ , දොස්තර මහත්තයා මහ ඉස්පිරිතාලෙට කතා කරන අතරෙම වෙලාවට ඇම්බියුලන්ස් එක ආව නිසා , කම්කරු සේවක මහත්තයගේ උදව්වත් ඇති ව අම්මව ඇම්බියුලන්ස් එකට දා ගන්න ඇති , තත්තවේ හොඳ නැහැ නිසාම දොස්තර මහත්තයත් , නර්ස් නෝනත් ලෙඩා ගාව . 
ඇම්බියුලන්ස් එකනේ රියදුරු මහත්තයා ‍, නලාව පිඹගෙන   පුළුවන් තරම් ඉක්මණට  , පරිස්සමින් , ලෙඩාව මහ ඉස්පිරිතාලෙට ගෙනියන්න ඇති , 

මහ ඉස්පිරිතාලෙ ඔපරේෂන් කාමරේ භාර හෙද සොයුරිය , “හදිසි සැත්කමට“ අවශ්‍ය සියල්ල සූදානම් කරල ඇති , ලොකු දොස්තර මහත්තය , නිර්වින්දන වෛද්‍යවරයා , ශල්‍යාගාර හෙදියන් , උපස්ථායක , සනිපාරක්ෂක කම්කරුවන් සීරුවෙන් , ලෙඩා ගෙනාව , ලොකු දොස්තර මහත්තයා ඔපරේෂන් එක කරනවා , කණ්ෂ්ඨ සේවක මහත්තරු දොස්තර මහත්තයට වැඩේ හොඳට  කරගන්න ලයිට් එක සකසල  දෙනවා , හෙදිය , කැපෙන හැම පටකයයකට අනුව ඊළඟට දොස්තර මහත්තයාට ඕන කරන විෂබීජ මරපු  , උපකරණ , විශේෂීත ලෙස සූදානම් කරගෙන ඉන්නවා , 

පැටිය ගත්ත එළියට , පැටිය අතට ගත්ත  මිසී ,  කළින් ලැබිල තිබුණ උපදේස් අනුවම පැටියව යොමු කළා “ළදරු දැඩි සාත්කර එකකේට “ , ඔපරේෂන් එක ඉවරයි , අම්මව යැව්ව වාට්ටුවට ,  පැටියා ළදරු දැඩි සත්කාර් , කරදරයක් නැහැ , සනීපෙට ඉන්නව , “චුට්ටක් විතර බර අඩු නිසා දවසක් දෙකක් එහේ ඉන්න අරිමු , “ දොස්තර මහත්තය අම්මට කිව්ව . 

උදෙ පාන්දරම අම්මව බලනන්න පවුලේ කට්ටියම ආව ... අම්ම කියනවා “බබා  හම්බනවෙන්න ගිහිල්ල මම මැරෙන්න ගිය වෙලාවේ මාව  බේරගත්ත මහ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා දෙයියෙක් ! “
මම කියන්නේ නැහැ මේ අම්ම වැරදිකාරියක් කියල , මේ අපේ මනුස්සකම , ඒත් අද අම්මයි දරුවයි මෙහෙම ඉන්නේ එකම එක සේවාවක් නිසාද ?  , මේ “ඇති කතාවේ“ දෙව්වරු කීදෙනක් ඉන්නවාද කියල ගනන් කරල බලමුද ?  මේ අය දෙවිවරු නම් , මේ අම්ම දරුව බේර ගත්ත දේව කාර්යයේදි , සමස්ථ දේව සභාවම ඊට මැදිහත් වුනා , මෙ එක තැනක හරි අඩුවක් , ප්‍රමාදයක් , වැරදි තීරණයක් වුනා නම් , දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ එහෙනම් !


ලොකුකම සහ වගකීම 

මේ “ඇති කතාව “ කියන්න ඕන වුනේ අපි හුඟක් දෙනෙක් සංවේදී නොවන කාර්යභාරයක් රෝහල් පසුබිම තුල සිදුවෙන බව කියන්න . සෞඛ්‍ය සේවාව කියන පද්ධතිය හැදිල තියෙන්නේ ක්ෂේත්‍ර ගණනාවක එක්වීමකින් , සනීපාරක්ෂණ කම්කරුවාගේ ඉඳළ , විශේෂඥ වෛද්‍යවරයා දක්වා ඒ බැඳීම පැවතිය යුතු වෙනව. මේ හැම කණ්ඩායමකටම නිශ්චිත වුනු කාර්ය භාරයක් තිබෙනවා , ඒ කාර්යාවලිය ඔස්සේ ඒ හැම කෙනෙක්ම වැදගත් පුරුකක් මේ සේවාව තුල. උදාහරණයක් , සනීපාරක්ෂණ කම්කරුවන් , රෝහල , වාට්ටු වල පවිත්‍රතාව පිළිබඳ කාර්යමය වගකීමක් දරනවා , එය නිසි ලෙස ඉටු නොවුනොත් මුළු පද්ධතියම අඩාලයි , අනෙක් කෙළවර විශේෂඥ වෛද්‍යවරයා , රෝග නීර්ණය , ප්‍රතිකාර පිළිබඳ තීරණ ගැනීමේදි ඔහුට ඉහළ වගකීමක් තිබෙනවා , ඒ අතර ඉන්න අනෙක් සෑම නිලධාරියෙක්ම , තමන්ට අදාල වූ නිශ්චිත කාර්ය මාලාවක් තුල වගකීමක් දරනවා. 

හෙද සේවාව රෝගීන්ගේ සාත්තුව , හෙද විනිශ්චයන් , සහ වාට්ටු පරිපාලනය , කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පරිපාලනමය කටයුතු කරත්දි , ඖෂධවේදීන් රෝගීන්ට ලබා දෙන ඖෂධ ලබා දීම , ඒ පිළිබඳ උපදෙස් ලබා දීම, රෝහලට අවශ්‍ය ඖෂධ , රසායනික ද්‍රව්‍ය ආදිය පිළීබඳව කටයුතු කරනවා . පවුල් සෞඛ්‍ය සේවිකාවන් මාතෘ සහ ළඳරු උපත් ආශ්‍රිතව සායන , උපදෙස් ලබා දීම වගේ ,  ඔය විදියට මේ හැම අතුරු සේවාවක්ම සෞඛ්‍ය සේවයේ වැදගත් කර්තව්‍යයක් ඉටු කරමින් තිබෙනවා. මේ එක් කණ්ඩායමක හෝ බිඳ වැටීම රෝගියාට විඳවන්නනට වන සිදුවීමක් , මේ ගැන අපේ රටේ ජනතාවට කියන්න ඕන නැති තරම් .




අපිමයි අපිමයි දැන් ලොක්කෝ

ලෙඩාටමයි අපි හැමෝම 
 රෝග විනිශ්චය කිරීම , ප්‍රතිකාර තීරණය කිරීම අතින් වෛද්‍ය කණ්ඩායමේ වගකීම ඉහළයි  , 

 රෝහලේ පැය විසි හතර පුරාම පවත්වා ගත යුතු හෙද සේවාව පරිපාලනය කිරීම , සේවා පහසුකම් අගැයුම් කිරීම වගේ කටයුත්තෙදි රෝහලේ ප්‍රධාන හෙද නිලධාරියාගේ වගකීම ඉහළයි .

 වාට්ටුවේ රෝගීනගෙ සියළුම සෞඛ්‍යය සේවාවන් නිසි ලෙස  සම්බන්ධ කිරීම  , පැය විසි හතර පුරාම රෝගීන් සමඟ සිටිමින් ඔවුන් රැක බලාගැනීම  කියන වගකීමෙදි වාට්ටුවේ හෙදියගේ වගකීම ඉහළයි.

  ප්‍රජාවේ ඉන්න ගර්භනී මව්වරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම , සෞඛ්‍ය තොරතුරු රැස් කිරීම කියන තත්ත්වයෙදි පවුල් සෞඛ්‍ය නිළධාරිනියගේ වගකීම ඉහළයි . 

මේ විදියට ඒ ඒ සේවාවට අනුකූලවු , රෝගියාට අදාල වූ වගකීම් පවතිනවා , මේ නිසා එක සේවාවක් අනෙක් සේවාවට වඩා ඉහළයි කියන “පරපීඩක මතය“  කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් . දොස්තර හෙදියට ලොක්කෙක් වීම හෝ හෙදිය මිඩ්වයිෆ්ට ලොක්කියෙක් වීම නොවෙයි විය යුතු දේ , විය යුතු දේ මේ හැමෝගෙම ලොකු කම්  ලෙඩාගේ දිසාවට යොමු වීම ....ඕක කියන්න දෙයක්ද ? දැන් වෙන්නෙත් ඕකමනේ ? ... නැහැ නැහැ , මම මෙතන “ලොකු කම්“ කියල අදහස් කළේ , ඒ ඒ කණ්ඩායම් වල ඇති වෘත්තීය වගකීම් , දක්ෂකම් හැකියාවන් කියන එක. මොකද මේක කණ්ඩායම් වැඩක් . 

එසේ නැතිව   වසර පහක් වෛද්‍ය විද්‍යාල දැනුමක් ලැබූ පමණින් ඔහු හෝ ඇය  “සියළු තීරණ ගත යුතු ලොක්කෙක්“ බවට පත්  කරන මානසිකත්වය ගැලපෙනවාද කියන එක ප්‍රශ්නයක් . නමුත් අද දවසේ වාට්ටුවේ බිත්තිටය ගාන පාට වර්ගය තීරණය කිරීම  , ඉඳළ අනෙක් පාර්ශවයේ උපාධීයේ කාළ සීමාව තීරණය කිරීම දක්වා වගකීම ගන්නේ / ගන්න වෙලා තිබෙන්නේ / ගන්නට පොළඹවන්නේ එකම කණ්ඩායමකට. මේ එක් එක් විෂය සඳහා විශේෂ පුහුණුවක් අධ්‍යාපනයක් ලැබූ කණ්ඩායම් හිටියත් ඔවුන්ට අදාල තිරණ ගැනීම සඳහා ඉඩක් ලැබෙනවාද කියන එක ප්‍රශ්නයක් . 

එහෙම නම් කළ යුත්තේ කුමක්ද ? උත්තරේ සියල්ලන්ම “ලොක්කන් කිරීම“  නැත්නම් එසේ වීමට ඉඩකඩ ලබා දිීම, ඒ කිවේ අදාල වෘත්තියට අනුකූල අධ්‍යාපනය , පුහුණුව ,අත්දැකීම් අතින් ඔවුන් ඉහළ තත්ත්වයකට නැංවීම . එසේ ලොක්කන් වූ සෞඛ්‍ය සේවයකදි “රෝගියා“ ඉහළම පුද්ගලයා බවට පත්වෙන එක , යහපත් සෞඛ්‍ය සේවයක් රටට ලැබෙන අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්.

නොකැපිය යුතු දීමනාව

එසේ නම් කළ යුත්තේ ඒ ඒ වෘත්තීන් වල අධ්‍යාපන අවස්ථා , උපාධි මට්ටම් කප්පාදු කරන එක නොවෙයි අවුරුදු හතරේ උපාධිය , තුනක් විය යුතු බවට බල කරන එක නොවෙයි , වගකීම් වල ස්වභාවය අනුව ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම් ඉහළ නංවා ගන්නට අවස්ථාව ලබා දීම . 

මේ කතාව හෙද උපාධි සඳහා පමණක් නොවෙයි , සමසෞඛ්‍ය , පෝෂණවේදී උපාධි , ඖෂධවේදී වැනි උපාධි මෙන්න අනෙක් චිකිත්සකීය වගකීම් දරන සියළු වෘත්තීන්ට අදාලයි . තමන්ගේ පෝෂණ ගැටළුවට අදාල පිළිතුරක් , පෝෂණය පිළිබඳවම උපාධියක් ඇති පෝෂණවේදියෙකුගෙන් ලබා ගන්නට පුළුවන් නම් එහි වටිනාකම , ඵලදායි බව වැඩියි . විය යුත්තේ මෙයයි , එසේ නැතිව සියල්ලගේම රාජකාරි කවලම් කරගෙන , තනියම කරන්නට ගොස් කැඳ හැලියක් හදාගන්නවාට වඩා. 

ලොව පුරා සෞඛ්‍ය සේවාවන් බැලුවොත් , ඉහළ සෞඛ්‍ය දර්ශක ඇති රටවල වෛද්‍ය සේවාවට අමතරව , මෙන්න මේ වගේ  වෘත්තීන් සඳහා ඇතුළු විමේ මුලික සුදුසුකම විෂයට අදාල උපාධියක් තිබිම . අනෙක මේ බොහෝ උපාධි මුලික උපාධීයකින් නතර නොවී  Msc , PhD දක්වා ගමන් කළ හැකි පියවරයන් සහිත සංකීර්ණ විෂයයන් .  නමුත් අපේ රටේ මේ කාටවත් අවුරුදු හතරක  උපාධීයක් , Msc  උපාධියක් කරන්නට , එහෙම කෙනෙක් වෘත්තියට බඳවා ගන්නට ගියොත් , ටිකක් කරදරයි  , හොඳම උදාහරණය අද ලංකාවේ පෝෂණවේදී උපාධීධාරින්ට සිදුවී ඇති දේ .    ඒ විතරද සම සෞඛ්‍ය උපාධිධාරින්

  • හෙද සේවාව (අවුරුදු 4-6) 
  • වින්නඹු සේවාව (අවුරුදු 4-6) 
  • ඖෂධවේදී සේවාව‍ (අවුරුදු 4-5) 
  • පෝෂණවේදී (අවුරුදු 4) 
  • වෘත්තීය චිකිත්සක (අවුරුදු 4) 
  • භෞත චිකිත්සක (අවුරුදු 4) 
  • ජෛව තොරතුරු තාක්ෂණවේදය (අවුරුදු 4) 
  • (තවත් ගණනාවක් ඇත)


අපේ රටේදි වසර පහක වෛද්‍ය විද්‍යාල උපාධියක් ලැබු පමණින්ම ඔහු හෝ ඇය මැරෙන තුරාවටම දොස්තර කෙනෙක් බවට පත්වෙනවා , ඒ හෙදියක් වසර තුනක ඩිප්ලෝමාව කළ පමණින්ම අවුරුදු හැට පහවෙනකම්ම රැකියාව කළ හැකි කෙනෙක් බවට පත්වෙනවා (ඒ කීවේ තව දුරටත් දැනුම වැඩි කරගත්තත්  යාවත්කාළීන කරගත්තත් නැතත් ) , 

 නමුත් සෞඛ්‍ය දර්ශක ඉහළ මට්ටමේ පවතින රටවල මේ තත්ත්වය නැහැ , මේ රටවල වෛද්‍යවරයෙක් ලෙස සේවයට බැඳෙන්න අවම වශයෙන් වසර අටක , නමයක විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් හදාරන්නට වෙනවා , ලියාපදිංචි හෙදියක වන්නට නම් අවම වශයෙන් වසර හතරක හෙද උපාධිය සම්පුර්ණ කළ යුතු වෙනවා , ලියාපදිංචි වින්නඹූ නිලධාරිනියක් වන්නට වසර හතරක උපාධියක් අවශ්‍යමයි , ඖෂධවේදියෙක් විදියට රැකියාවට බැඳෙන්න වසර හතරක ඖෂධවේදි උපාධිය අනිවාර්යයි . 

කෙටියෙන්ම කීවොත් මේ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ , රෝගියා සමඟ සෘජුවම ගැටෙන , තීරණ ගැනීමේ වගකීම ඉහළ හැම වෘත්තිකයෙක්ම අදාල වෘත්තිය පිළිබඳව උපාධිධාරියෙක් . සහායක සේවාවලදි අවම වශයෙන් අවුරුද්දකවත් අදාල සේවාව පිළිබඳ ඩිප්ලෝමාවක් වත් තිබිය යුුතු වෙනවා.   ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය මට්ටමේ ගත් තීරණ අභීබවා යන්නට අනෙක් කණ්ඩායම මාන බලන්නේ නැහැ. ඒ වෙනුවෙනට ඔවුන් කරන්නෙ ඊළඟ අවුරුද්දේ තමන්ගේ රස්සාව කරගෙන යන්න ඕන කරන අමතර දැනුම එකතු කරගැනීම  , නැත්නම් තමන්ගේ වෘත්තිය බලපත්‍රය අළුත් කිරීමේ විභාගයට සූදානම් වීම , මොකද ඊළඟ අවුරුද්දේ බලපත්‍රය අළුත් නොකරගත්තොත් රස්සාවට දෙවි පිහිටයි . ඒකයි තත්ත්වේ.

ඒ වගේම අවුරුද්දේ  ඩිප්ලෝමාවක අරන් රෝහල් සේවයට ඇතුළු වන කෙනාට ,  රැකියාව කරන ගමන්ම , තමන් කැමති නම් වෛද්‍ය උපාධීය හදාරලා , වෛද්‍යවරයෙක් වෙන්නට , නැත්නම් හෙද උපාධිය හදාරලා ලියාපදිංචි හෙදියක වන්නට අවස්ථාව තිබෙනවා කිසිම කණ්ඩායමක් මේ ඉහළ යාමේ ගමන් මගට බාධා කරන්නේ නැහැ. 

මේ තත්ත්වයන් නිසාම රෝගියාට ලැබිය යුතු උපරිම සේවාව ලැබෙන වගෙම , එසේ ලැබිය යුතු සේවාව නිසි මට්ටිමන් නොලැබුණොත් තරතිරම නොබලා අදාල නිලධාරියාට එරෙහිව නීතිය ඉදිරියට ගිහින් තමන්ට වුනු අසාධාරණයට වන්දි ලබා ගන්නත් හැකියාව තිබෙනවා. 
මේ නීතිමය දැනුම , හැකියාව නිසාම , සේවාව ලබා දෙන වෘත්තිකයනුත් තම සේවාව , අඩුවක් නැතිව ලබා දෙන්නට පෙළඹෙනවා , මොකද ඔවුන් දන්නවා අඩුවක් වුනොත් ඩොලර් දහස් ගණනක වන්දියක් ගෙවන්නට වන බව .


Registered Nurse සහ  Nurse Practitioner රෝගී පරික්ෂාවක  
අපි මේ රටවල (කැනඩාව සහ අමෙරිකානු  )  හෙද සේවාව ගත්තොත් , ඇය ඉතා ඉහළ වගකීමක් ඇති කාර්යයක කරන්නේ , රෝගියා සම්බන්ධ , සියළුම මුලික පරික්ෂණ , හෙද විනිශ්චයන් ලබා දීම ,සම්පුර්ණ හෙද සාත්තුව , ඖෂධ , නික්ෂේපන ලබා දීම , උපදේශන කටයුතු , ඒ විතරක් නොවෙයි ඖෂධ වර්ග නියම කිරීම , පරික්ෂණ නියම කිරීම , වගේ තීරණ ගැනීමත් කෙරෙනවා.  ඒ සඳහා හෙද නිලධාරියාට මුලික උපාධියෙන් පසුව PhD දක්වා තම දැනුම ඉහළට ගෙන යාමට Nurse Practitioner බවට  පත්වීමට අවස්ථාව ලබා දී තිබෙනවා . මේ දවස් වල හෙදියට Prescribe කළ හැකි ඖෂධ වල ප්‍රමාණයන් තවත් වැඩි කිරීමටත් ,  රෝගීන්ගේ මුලික රෝග විනිශ්චයන් පිළිබඳ ගත හැකි තීරණ වල ස්වාභවය වැඩි කිරිමටත් කටයුතු කෙරෙමින් යනවා . හැබැයි ඒ තීරණ වලට කිසිම කෙනෙක් ස්ට්‍රයික් කරන්නටවත් , බාධා කරන්නටවත් ගියේ නැහැ , සියල්ලෝම සතුටින් තමන්ගේ කාර්යයන් කරගෙන යනවා පමණයි .



මේව මෙහෙම වෙත්දි , අපේ රටෙත් මේ අන්තිම ඡේදය තුල කීව වගේ යහපත් මට්ටමේ සෞඛ්‍ය සේවාවක ලබා ගන්නට නම් මොනවද කරන්නට  පුළුවන් කියල බලමු . නමුත් මේ ටික කරන්නට විය යුතු ආකල්පමය වෙනස සිදුවේද කියන එකනම් ප්‍රශ්නයක් තමයි.

  • ප්‍රජාව , තම සෞඛ්‍ය කණ්ඩායම සහ ඔවුන්ගෙන් ඉටු විය යුතු  සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම , ඒ වගේම තමන්ට ලැබිය යුතු සේවාව නොලැබුණානම් ගත හැකි නීතිමය පිළිසරණ , දැනුවත් කිරීම කළ යුතුමයි . අයාලේ යන තත්ත්වයකට පත්වෙමින් තිබෙන දේ නැවතත් හරි මගට ගන්නට මේ පියවර අත්‍යවශ්‍යම බවයි මගේ හැඟිම. මේ තැනදි , සියළු සෞඛ්‍ය වෘත්තික / සහායක සේවා වලට අදාල අධ්‍යාපන සුදුසුකම් , වගකීම් , බැඳීම් සහ වැටුප්  / දීමනා පිළිබඳව තොරතුරු සාමාන්‍ය ජනතාවට පවා ලබා ගත හැකි ලෙස ප්‍රජාව/ මහජනතාව දැනුවත් කරන්න පුළුවන් නම් , වෙබ් පිටුවකට (සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේම) එක් කරන්නට පුළුවන් නම් උපකාරයක් වේවි සියල්ලන්ටම. 


  • සැරින් සැරේ පාට වෙනස් නොකරන , රාජ්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය වීම , එය නිර්මාණය කිරීමේදි එක් සෞඛ්‍ය වෘත්තික කණ්ඩායමක අදහස් ගන්නවාට වඩා , රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම පිළිබඳව විද්වත් මණ්ඩලයක මූලිකත්වයට  සියළු සෞඛ්‍ය වෘත්තිකයන් / සේවාවන් සහ ප්‍රජාව නියෝජනයෙන් යුත් කණ්ඩායමක අදහස් ලබා ගැනීම. 


  • රෝගියාගේ ජිවිතයේ තීරණාත්මක මැදිහත් වීම වන වෛද්‍ය නොවන අනෙක් කණ්ඩායම් , හෙද සේවාව , පවුල් සෞඛ්‍ය සේවාව , ඖෂධවේදී , අනෙකුත් චිකිත්සක සේවාවන් වලට අවම වශයෙන් වසර හතරක උපාධිය හැදරීමට අවස්ථාව ලබා දීම සහ එම උපාධි , පුහුණු , සේවාවන් ට අනුව වැටුප්තල සකසා දීම .


  • මේ සේවාවන් වලට උපාධි ලබා දීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල , විවෘත විශ්ව විද්‍යාල පහසුකම් ඉහළ නැංවීම සහ , ජාත්‍ය්තනරව පිිළිගත් ප්‍රමිතියේ පුද්ගලික විශ්ව විද්‍යාල පහසුකම් ආරම්භ කිරීම . 
    • මෙහිිිදි කුමන විශ්ව විද්‍යාලයෙන් උපාධිය ගත්තත් , ජාතික මට්ටමේ එකම අවසන් විභාගයකින් සෞඛ්‍ය සේවයේ වෛද්‍ය , හෙද , ඖෂධවේදී , චිකිත්සක වැනි ඉහළ කී සේවාවන් වෙත බඳවා ගන්නවා නම් එය ගැටළුවක් වන්නේ නැහැ. මක් නිසාද එම ජාතික මට්ටමේ  පරික්ෂණය සමත් වීමට නම් අදාල පුහුණුව , දැනුම සම්පුර්ණ කර , එය සනාථ කළ යුතුමයි .  උසස් පෙළින් ඒ හතරම අරගෙන වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ගත් වෛද්‍යවරු එක්ක වගේම  , උසස් පෙළින් බී හතර අරගෙන විදේශ වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ගත් , විශේෂඥ වෛද්‍යවරුන් රැසක් සමඟ මගේ සේවා කාළය තුල කටයුතු කිරීමෙන් මේ නොවෙනස් පිළිබඳ වැටහීමත් ලැබුණා .


  • මේ වෘත්තීන් සඳහා මැරෙණා තුරු ලබා දෙන වෘත්තිය බලපත්‍රයක් වෙනුවට , දැනුම යාවත්කාළීන වීම , අළුත් පුහුණු ලබා ගැනිම වැනි විභාග , පරික්ෂණ ඔස්සේ නැවත අළුත් කළ යුතු වෘත්තිය බලපත්‍ර ලබා දීමේ ක්‍රමයක් හඳුන්වා දීම , 


  • තමන්ගේ සෞඛ්‍ය සේවකයාගෙන් (වෛද්‍යවරයා , හෙදිය , වෘත්තිය චිකිත්සක වරයා වැනි )  තමන්ට ලැබුණු සේවාවේ පල - අපල පිළීබඳව දැනුම් දිය හැකි  සහ ලැබෙන අදහස් , චෝදනා විග්‍රහකොට තීරණ ගත හැකි මධ්‍යගත ආයතනයක් පිහිටු වීමත් , එම ආයතනය වෙත එම අදහස් යොමු කිරීමට ප්‍රජාවට අවස්ථාව ලබා දීමත් . 


  • සෞඛ්‍ය පිළිබඳ තීන්දු තීරණ ගැනීමෙදි , දේශපාලනික පක්ෂපාතී භාවයට වඩා , දේශීය සහ විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් සේවාව පිළිබඳ දැනුමක් ඇති , හැම වෘත්තික කණ්ඩායමක්ම නියෝජනය වන නියෝජිත මඩුල්ලක් පවත්වා ගැනීම .


  • වෘත්තීය සමිති , තම වෘත්තීයේ සහ වෘත්තිකයන්ගේ තත්ත්වය ඉහළ නැංවීම වගේම , ඔවුන්ගෙන් ප්‍රජාවට ලැබෙන සේවාවේ ඵලදායි බව වැඩි කිරීමට කටයුතු කිරීම. විශේෂයෙන්ම ප්‍රජාවත් එක්ක වෘත්තිය සම්බන්ධතාවක්  පවත්වාගෙන යන ආකාරය , යහපත් සන්නිවේදනයක් පවත්වා ගන්නා ආකාරයවත් පුහුණු කිරීම , උනන්දු කිරීම.


  • ප්‍රජා සෞඛ්‍ය සේවාව ප්‍රළුල් කිරීම , ප්‍රජා සෞඛ්‍ය හෙද සේවාව , ප්‍රජා සෞඛ්‍ය මානසික / උපදේශන සේවා වැනි වෘත්තීන් රටට හඳුන්වා දීම 


  • අවසානය , එක වෘත්තියක අනෙක් වෘත්තියට බලපෑම් , අභීයෝග නොකර , සැමගේම ඵලදායි සේවාවන් වලට ගරු කරමින් සියළු වෘත්තියන්ට තම වෘත්තීන් , අදාල සීමාවන් තුල ගෞරවයක් සහිතව කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් ලබා දීම .

මේ දවස් වල ලංකාවේ පත්තර කියවත්දි දැකපු ප්‍රවෘත්ති නිසා , වගේම මමත් අවුරුදු දහතුනක් විතර ලංකාවේ සෞඛ්‍ය සේවාව තුල විවිධ වෘත්තිකයන් සමඟ වෘත්තිය සමිති සමඟ කටයුතු කළ නිසා , මේ මාතෘතාව ගැන ලියන්න හිතුනා මිසක කිසිම වෘත්තික කණ්ඩායමක් සමඟ වෛරී ආකල්පයකින් මෙය ලියැවුනා නොවෙයි මොකද පුද්ගලිකව මගේ සේවා කාළය තුල මනුස්සකම් පිරි , ඇත්තෙන්ම මහත්වරු කියන්නට පුළුවන් විිශේෂඥ වෛද්‍යවරු වගේම , උපාධි සහිත  සනීපාරක්ෂක කම්කරු මිත්‍රයන්  එක්කත් මට කටයුතු කරන්නට ලැබිල තිබෙනවා . ඒ නිසා ඒ අතරේ සියළුම වෘත්තික / සහායක කණ්ඩායම් මට හෘදයාංගමයි . ඉන් බොහොමයක් මෙ ලිපිය කියවන බවත් මම දන්නවා.  නමුත් උදහරණ ගනිත්දි හෙද සේවාව පිළිබඳ ගන්නට සිදුවුනේ එය මට වඩාත් දැනෙන නිසා . කියන්නනම් තවත් දේවල් බොහොමයි , ඒත් ඉතින් මේ කියන දේ නිසි තැන්වලට යොමු වේද කියන එක ප්‍රශ්නයක් , අඩුම තරමේ සිංහල බ්ලොග් කියවන කිහිප දෙනෙක් හරි කියවාවිනේ , ඒක සතුටක් .

මේ ලිපිය තුලට එක කළ යුතු අදහසක් වේනම් ඔබට අවස්ථාව තිබෙනවා ඒ වගේම යොමු කළ යුතු තැනකට යොමු කරනවා නම් ඊටත් අවස්ථාව . 

නැවත හමුවෙමු සුව සතුට සමඟින්!

16 comments:

  1. ඉතාම වටිනා ලිපියක්! ඔබ විසින් කල වටිනා යෝජනා මේ කපේදී මේ රටේ සෞඛ්‍ය සේවාවන් තුලට හඳුන්වාදිය හැකි වේයයි මම නම් හිතන්නෑ. එය සිදුකිරීමට අවශ්‍යවන, පිරිසගේ ආකල්පමය වෙනස්කම සිදුකිරීම අතිශයින්ම අපහසු කාර්යක් වේ යයි මොවුන්ගේ ක්‍රියාකලාපය දිහා බැලුවම පේනව(සියලු අයට අදාල නොවුනත් බහුතරයකට අදාලයයි සිතනවා).

    මේ දිනවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගෙ ක්‍රියාකලාපයන් ගැන ජාතික පුවත්පත් වල පලවන පුවත් බලද්දි මොවුන් මිනිස්සුද නැත්නම් මිනිස් නොවන තිරිසන් සත්ව කොට්ඨාශයක්දැයි ප්‍රශ්ණාර්ථයක් මට නම් පෞද්ගලිකව ඇතිවෙනව.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස මමත් පිළිගන්නවා , තවමත් මේ හුඟ දෙනෙක් ඉන්නේ ගෝත්‍රික ආකල්පවල . නමුත් මේ සිදුවන බොහේ වර්ජන , ඇති වීම වලක්වා ගත හැකි අවස්ථාවන් . නමුත් දේශපාලන අධිකාරිය තුල නිසි පිළිගත් ප්‍රතිපත්තියක් නැති නිසා මේ තුවාලය හැමදාමත් පාරනවා විතරයි . කවදාවත් සුව කරගන්නට උත්සාහයක් නැහැ . සමහර විට ඔවුන්ගේ පැවැත්මටත් මේ ප්‍රශ්න උදව්වක් වෙන්න ඇති .
      ස්තුතියි මිතුර !

      Delete
  2. kanishak කිවුව කතාව එක්ක මාත් එකඟයි.. අපේ රට හැමදාමත් දියුණු වෙමින් පවතින රටක්ම වෙයි.මං ජීවත්වෙන රටෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතාම ඉහළ තලයක තියෙනවා. රෝගියාට වැඩි පහසුවක් සපයන එක තමයි ඔවුන්ගේ මූලික අරමුණ.

    //සෞඛ්‍ය පිළිබඳ තීන්දු තීරණ ගැනීමෙදි , දේශපාලනික පක්ෂපාතී භාවයට වඩා , දේශීය සහ විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් සේවාව පිළිබඳ දැනුමක් ඇති , හැම වෘත්තික කණ්ඩායමක්ම නියෝජනය වන නියෝජිත මඩුල්ලක් පවත්වා ගැනීම .// මේ වගේ අදහස් නම් අපේ රටේ දාන එක හරිම අමාරු වෙයි .. ස්තුති ලිපියට

    ReplyDelete
    Replies
    1. රෝගියා මුලික වූ සෞඛ්‍ය සේවාවක අරමුණ එය තමයි අපුර්වි . නමුත් ඒ කටයුත්තේදි අදාල වෘත්තිකයන්ට තම රැකියාවල තෘප්තිමත් භාවයක් ඇතිව කරන්නට , පරිසරය ලබා දීම අදාල බලධාරින්ගේ වගකීම , නමුත් නිසි බලධාරියෙක් නැති අමාත්‍යංශයක් බවට පත්වෙමින් තිබෙන සෞඛ්‍යය , හරියට වලං කඩේට පැනපු ගොනා වගේ සියල්ල විනාසකරමින් යනවා , කුලප්පු වෙමින්. ඒ කුලප්පුවල සියළු දුක විඳින්නට වෙලා තිබෙන්නේ , ඔවුන් නඩත්තු කරන සාමාන්‍ය ජනතාවට වීමමයි කණගාටුව
      ස්තුතියි ඔබට

      Delete
  3. වටිනා ලිපියක් අයියේ. සෞඛ්‍ය සේවාව තුල වඩාත් වැදගත් පුද්ගලයා වන්නේ රෝගියා. අන් සියළු දෙනාගේ කාර්යය රෝගියා වෙනුවෙන් ඉටු කිරීමයි. නමුත් මේ කඹ ඇදිලි නිසා ඒ සේවාව අනිවාර්යයෙන්ම බිද වැටෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මල්ලී , මේක නිකං කඹ ඇදිල්ලක් නෙවි , ලෙඩාගේ බෙල්ලට තොණ්ඩුව දාල දෙපැත්තට අදින කඹ ඇදිල්ලක් , අනෙක එක කඹයක් නෙවි කඹ ගණනාවක් නොවැ .
      ස්තුතියි මලේ .

      Delete
  4. කට්ටියට කියවන්න දෙන්න වටිනා ලිපියක්. ලංකාවේ මොනම දේකටවත් ජාතික ප්‍රතිපත්තියක් නැතිකම තමා ලොකුම හේනේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වීරේ , ඇත්තෙන්ම රටක , ප්‍රධාන විෂයයන්ටවත් , දීර්ඝකාළීන අරමුණෟ ඇතිව රාජ්‍ය ප්‍රතිපත්තියක් නැතිවීමේ අවාසනාව අපි හැමෝම විඳිනවා , සෞඛ්‍යය විතරක් නොවෙයි , අධ්‍යාපනය ගැන වුනත් හිතල බැළුවම . මේ නිසා තමයි ආශ්චර්යයක් විය යුතු රටක් , “අයිස් චර්යාවක් “ පෙන්වන්නේ . ස්තුතියි ඔබට

      Delete
  5. ඉතාමත්ම වටිනවා ඇරෙන්න වෙන කියන්න කිසිම දෙයක් නෑ මේ අඩවියේ යන ලිපි ගැන. එපමණයි කීමට ඇත්තේ. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතිය මිතුර ! ඔබවන් , විවිධාකාර විෂයයන් පිළිබඳ දැනුවත් අයෙක් මේ ලිපි කියවන එකත් මට සතුටක් !

      Delete
  6. මේ තුන්ගොල්ලෝ අතර තියන ගෝරියට හේතුව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. තුන් ගොල්ලක් අතරේ විතරක් නොවෙයි විචාරක මහත්තයෝ , ඇතුලේ ඉන්න හැම කණ්ඩායමක් අතරේම වගෙ ගිණි පුළිඟු , වෙන්නේ සැරින් සැරේට ඇවිලෙන එක විතරයි , මේ දවස් ටිකේ මේ කට්ටිය , තව ටික දවසකින් තවත් පිරිසක් , වරද තිබෙන්නේ ගෝරිය කරන අයගෙම විතරක් නොවෙයි , ගෝරිය අවුලවන අයත් වගකියන්න ඕන.
      ස්තුතියි ඔබට !

      Delete
  7. මාධ්‍ය වලිනුත් මිනිස්සුත් ඔබේ සේවයේම ඉන්න මගේ නෝන කියන කතාත් ඇහුවම සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන්න තියෙන්නෙ පිස්සු පීකුදු කියල තමයි.
    http://www.w3lanka.com/2014/04/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම රාජ් , ඔබ ලියූ සටහන් වල මේ පටලැවිල්ලේ තවත් අවස්ථා සඳහන් තිබෙනවා.
      ස්තුතියි ඔබට.

      Delete
  8. කියන්න දෙයක් නෑ අගනා පැහැදිලි කිරීමක් ලංකාවෙ සෞඛ්‍ය සේවය, (ප්‍රවාහන ) දුම්රිය සේවය දෙදනික මිනිස් ජීවිතවල අගය කියාදෙන තීරණය කරන මාතෘකා. විශේෂයෙන් සෞඛ්‍ය සේවය අභ්‍යන්තර සේවයක් විදියට මීට වඩා මානව හැඟීමෙන් කටයුතු කරන ගැටලු අවම තැනක් විය යුතුයි. මේ ගැටලු අවම කර ගැනිමට කිසියම් හෝ බුද්ධි මන්ඩලයක සහාය ඇතිවලෝකයේ දියුනු රටවල ක්‍රමවේදයන්ට අනුගත විය යුතුයි කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. සිදුවිය යුතු දේ මෙය වුනත් , සිදුනොවෙන , සිදුවන්නට ඉඩක් නොදෙන කරුණත් මෙයම තමයි . ඒ නිසා
      මේ ප්‍රශ්න තවත් කාළයක් ඉදිරියට ගලාගෙන යාවි , 
      රටවැසියන් දුක් විඳීවි ,
      බැටකාවි ,
      කඳුළු හලාවි ,
      ලොක්කන් බැනුම් අහවි ,
      සති දෙකක් ගත වේවි ,
      සියල්ල අමතක වේවි , 
      මේ අපේ රටේ හැටි.කුමක් කරන්නද ?
      ස්තුතියි මිතුර ඔබේ අදහසට මේ සටහන තවත් අර්ථවත් කළාට .

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)