2014/04/30

160) වටේ නසන හිත සනසන ප්‍රීති කැසිල්ල

වැස්ස ළඟ අව්ව 
කාළෙකට පස්සේ ඇඟට පොඩි රස්නයක් දැනෙන දවස් ටිකක්. මෙතුවක් දවසක් කළබල නැතිව හිටි කුරුළු කිරිල්ලියන් දැන් සිංදු කියන්න පටන් අරන් . ආසාවට දකින්න නැතිව හිටි ලේනුන් ටික ආයෙත් ගස් වලින් බිමට බැහැල “බෝල් රූම් ඩාන්ස්“  දාන්නට පටන් අරගෙන , හැංගිලා හිටපු ඉර දැන්නම් වලාකුළු අස්සෙන් සැරින් සැරේ  එබිලා බලල හිනාවක් දානවා . පොළවත් ටික ටික උණුසුම් වීගෙන එන මේ වස්සාන කාළය හැම තැනම අළුත් වෙනසක් ගෙනත් .



“තාත්තේ , අද අපි යමුද බයික් පදින්න , “... පොඩ්ඩිගෙන් ඉල්ලීම්ක් ..ඉල්ලීම ගෙනාවේ පොඩ්ඩි උනාට මේ ඉල්ලීමේ මුල් නිර්මාණකරුවා කාමරේට වෙලා මුකුත් නොදන්න ගානට ඉන්න වග මම දන්නවා.

“හ්ම් , අක්කටත් කියන්න ලේස්ති වෙන්න කියලා , “ 
“එයා ලැහැස්ති වෙලා ඉවරයි , මා ජැකට් එක දාගෙන ඉන්නම් , ... තාත්තට උදව්වක් ඕනද බයික් ටික  එළියට දාගන්න “  

“නෑ නෑ මම ඒ ටික දාගන්නම ඔයා බොරු නොකර ගිහින් ඇඳ ගන්නකෝ ..“

කොහොම හරි අද හවස ඉතින් ඇළ අයින දිගෙ නටන්න තමා වෙන්නේ , කැමරාවත් එල්ලගත්තු මමත් නැග ගත්තා මගේ පාපැදියට ..
ඇළ පාර දිගේ පැදලා යනවා ..

“ඔක්කොම හරිද ? ...යමු එහෙම නම් .. මතකයිනේ ... කළබල වෙන්න එපා , දකුණු පැත්තෙන් පරිස්සමට යමු ... පොඩි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි එනව නම් අයින් කරල නවත්තගෙන ඉන්න . ලොකූ ඉස්සර වෙලා නංගිව මැදට ....“ උපදෙස් මාලාවම දිග හැරිය ..

දැන් මෙන්න තුන් දෙනා ඇළ පාර දිගේ සැරින් සැරේ එන හුළං කපා ගෙන ඉදිරියට යනවා . 

“ලොකූ ඉස්සරහ වංගුවේ අයිනට කරල නවත්ත ගන්න , ලස්සන ෆෝටෝ එකක් ගතහැකි වගේ “ 
වැස්සකට පෙරමං කියන කළු පාට වළාකුළු ටිකෙන් ටික එක් වෙන නිල් පාට අහස එක්ක අමුතු ලස්සනක් තියෙන නැතක් .

කස කසා නැටිල්ල
“මේක අස්සට එන්න එපා , දෙන්න ඔතන ඉන්න , “ මම කැමරාවත් අරගෙන පහලට ගියා . 
ලස්සන තැන වුනාට පිංතූරේ ගන්න එක නං ලේසි නැහැ , මොකද බොහොම උසට හැදුනු , පන් ගස් අස්සෙන් රිංගලා යන එක “කසන වැඩක්“ .. කමක් නෑ .. බලමු ..... ගත්තා පිංතූර දෙක තුනක් ...

“මේ තාත්තේ අන්න අර අස්සේ කුරුළු කූඩුවක් , ... ස් ස් සද්ද කරන්න එපා ..අර ..පැටවුත් එක්ක ..“ මෙන්න උඩට වෙලා ඉන්න කිව්ව අය මගේ අස්සේ ..

කොහොම හරි පිංතූර ටික ගහගෙන උඩට ආව කියමුකෝ ..හරි සනීපයි දැන් ..කසනවා ඇඟ පුරාම ..ඔක්කොටම වඩා පොඩ්ඩිගෙ උඩ පැනිල්ල ...... හිනාව නවත්ත ගන්න බැහැ කාටත් ...

කොහොම හරි කස කසා , කස කසා සයිකලුත් පැද්ද කියමුකෝ , ඊට පස්සේ තව සනීපයි , ඇයි දාඩිය දාල දැවිල්ල පටන් ගත්තම ..

මේ සිදුවීමත් එක්ක මට මතක් වුනා ලියන්න තව කැසිල්ලක් ගැන , ඒ තමයි රිංග්වර්ම් කියල හඳුන්වන කැසිල්ල ගැන . කසන්න කසන්න ආස හිතෙන , ඊට පස්සේ දැවිල්ලෙන් දුක් විඳවන මේ ප්‍රීති කසානා ගැනයි අද කතාව .

මේ කතාවෙම තව එකක් දන්නව ඇතිනේ අර උසස් පෙල පන්තියේ “ඇට සැකිල්ල“ ගැන උගන්වන්න ගිය ටීචර් නෝනට අකුරු මාරු වෙලා වෙච්ච ඇබැද්දිය , ඒ  වගේ ඇබැද්දි ගනනාවක් වගේම බොහෝ පිරිසක් විඳවන මේ කැසිල්ල , ඉකිළිය , කිහිල්ල වගේ තෙතමනය රැඳන හැංගිච්ච තැන් වල බහුලව ඇති වෙන ඒතැනින් නොනැවතී නියපොතු , යටි පතුල වගේ තැන්වලටත් පහර දෙන දිලීර රෝගයක් . තව විදියකින් කීවොත් “පුස් බැඳීමක්“ ..

එතකොට මුලින් කීවේ රිංග්වර්ම් Rigworm කියලා ? ඒ කියන්නේ මේක පණු රෝගයක් නොවෙයිද ? 
පොදුවේ මේ තත්ත්වයට රිංග්වර්ම කිව්වට ඇත්තටම මේක දිලීර රෝගයක් , රිංග් කියල කියන්නේ මේ “පුස් “ නිසා ඇතිවන කැසිල්ලත් එක්ක හමේ පාට වෙනස් වෙලා කැඩිලා සම  මතු පිට රවුම් හැඩයට කළාප හැදෙන නිසා . මේ තත්ත්වයට වෛද්‍යවිද්‍යාත්මකව කියන්නේ ඩර්මැටොෆයිටෝසිස් Dermatophytosis  කියලා . ලෙඩේ හදන අර පුස් වර්ගයට , කියන්නේ Dermatophytes එහෙම නැත්නම්  Tinea  කියල.

මේ ටීනියාල අපේ ඇඟේ විවිධ තැන්වල හැදෙන්න පැතිරෙන්න පුළුවන් .  විශේෂයෙන්ම පාසල් යන වයසේ , නැත්නම දවසේ වැඩි වෙලාවක් රැකියාවේ ඉන්න වයසේ හුඟ දෙනෙක් විඳවන “ඉකිළි “ කැසිල්ල , නැත්නම් කළව ප්‍රෙද්ශයේ ඉහළ ඇතිවන කැසිල්ල නම් කරන්නේ Tinea cruris කියලා . මේ කැසිල්ල ඔළුවේ , හිස් කබලේ ආවොත් , කෙස් ගස් හරිහ පහසුවෙන් ගැලවිලා ගිහින් “තට්ට් රවුම්“ හැදෙනවා , මේ ලෙඩේදි දෙන නම තමයි Tinea capitis . ඔය විදියට කකුලේ යටිපතුලේදි pedis , නියපොතු වලදි unguium හෝ onychomycosis මුහුණෙදි පුස් බැඳිලා රවුම් හැදුනොත් faciei ..ඔන්න ඔය වගේ නම් කෑල්ලක් අර ටීනියාට එකතු කළාම දොස්තර මහත්තය මේ ලෙඩේට කියන නමම හොයා ගන්න පුළුවන් . තව වර්ග ගනනාවක් තිබුණත් මේ හැම එකක් ගැනම පොදුවේ කතා කරන්න ඕන කාරණා ටික කතා කරළ ඉමුකෝ මුලින්ම .  නැහැ මුලින්ම අපි පිංතූර ටිකක් බලල ඉමු එතාකොට වැඩේ ලේසියි .

තට්ට රවුම් - Tinea capitis
කකුළ පතුලෙ රවුම් Tinea pedis
ඉකිළි රවුම් Tinea cruris
Tinea corporis ඇඟේ , කඳේ , පිටේ හැදෙන රවුම් 
දැන් මේ පිංතූර ටික දැක්කම මේ කියන ලෙඩේ ගැන පොඩ්ඩක් මතක් වෙන්න ඇති කියල හිතෙනවා . දන්නවද මේ පුස් කෑම හරිම ඉක්මණට බෝවෙන්න පුළුවන් ලෙඩක් , යාළුවගෙන් විතරක් නොවෙයි , ගෙදර ඉන්න පූසන් , බල්ලන් වගේ අයගෙනුත් මේ ලෙඩේ අපට එන්න පුළුවන් .

හරි කොහොම වුනත් මේ කැසිල්ල තමන්ට තිබෙන බව දැන ගත්තොත් ඉක්මණින්ම කරන්න ඕන දේ මොකක්ද දන්නවද ? .... ඔව් ඉක්මණින්ම කසන්න තමා වෙන්නෙ , හැබැයි ඊට පස්සේ දොස්තර මහත්තයට පෙන්නල බෙහෙත් ටිකක් ගන්න ඕන , විශේෂයෙන්ම මේ වෙලාවෙ දෙන ගාන ක්‍රීම් වර්ගය හරි විදියට ආලේප කරගන්න හැටි අහගෙන නිවැරදි උපදෙස් පිළිනොපැද්දොත් , ටික කළක් යත්දි කැසිල්ල වැඩිවෙලා , තුවාල මතුවෙලා කරදර ගොඩක් එන්න පුළුවන් . 

මොකද අපි කරන්න ඕන , මුලින්ම මේ ලෙඩෙන් පරිස්සම් වෙන්න නම් , ශාරීරික පවිත්‍රතාව හොඳින් පවත්වා ගන්න ඕන , මෙතනදි නාන ඇඟ හෝඳන එක ගැන විතරක් නොවෙයි කියන්නේ , ඊටපස්සේ හොඳට තෙත මාත්තු කරල වියළා ගන්න එක ගැනත් කියැවෙනවා. ඒ විතරද ඇඟ පිස්නා , පනාව වගේ දේවල් තවත් අයත් එක්ක බෙදා හදා ගන්නේ නැතිව පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි . මොකද මේ දිලීර වර්ගය බෝවෙන්නේ ස්පර්ශය මඟින් ප්‍රධානවම. ඊළඟ වැදගත් දේ තමන්ට මේ රෝග තත්ත්වය ඇත්නම් ඉක්මණින්ම නිසි ප්‍රතිකාර ගන්න එක. ප්‍රතිකාර ගන්න දවස් ටිකේ තමන්ගේ ඇඟළුම් , පිස්නා, ඇඳ රෙදි තවත් අය එක්ක හුවමාරු නොවෙන්න වෙනම තබා ගැනීම හුඟක් වැදගත් . ගෙදර සුරතලයට ඇති කරන සත්තු ගැනත් අවධානයෙන් ඉන්න , මේ වගේ සැකයක් ඇත්නම් ඉක්මණින් නිසි ෂැම්පු වර්ගයක් මඟින් ප්‍රතිකාරය පටන් ගන්න එක වැදගත් . 

මේ තත්ත්වයදැයි කියල සැක නම් ලැජ්ජ නොවී දොස්තර මහත්තයට කියන්න , සමහර හිතනවා ඉකිළි වල , සමහර විට වෘෂණ ආශ්‍රිතව මේ තත්ත්වය ඇතිවුනාම “මහ භයානක සමාජ රෝගයක් , කාටවත් කියන්න බැහැනේ කියල“ .. නැහැ කළබල වෙන්න එපා මේක එහෙම තත්ත්වයක් නොවයි , මේ තවත් අළුහම් වර්ගයක් විතරයි , අනෙක ලොකු පරික්ෂණ කරන්න වෙන එකකුත් නැහැ , මොකද අපේ වෛද‍්‍යවරුන්ට මේක බලපු ගමන් කියන්න පුළුවන් , හැබැයි ඕන නම් culture එකක් කරල වැඩි දුර හොයන්නත් පුළුවන්. 

හඳුනගත්තට පස්සේ ප්‍රතිකාරය විදියට ප්‍රතිදිලීරක ආලේපයක් anti fungal cream එකක් දේවි හිසේ නම් ගැටළුව ෂැම්පු වර්ගයකුත් එක්කම , අඩුම තරමේ සති දෙකක්  විතර දිගටම ආලේප කරන්න වෙනවා මෙය , සති හයක් විතර වෙනකම් වැඩි කරන්නත් පුළුවන් . ඊට අමතරව සමහර විට මුඛයෙන් ගන්නට ගිලින පෙති විදියට ඖෂධ දෙන්නත් පුළුවන් . මෙහෙම දුන්නොත් ඒ බෙහෙත පල - අපල ගැන හරියට අහගන්න , ඒ වගේම බෙහෙත ගන්න කාළෙතුල සමේ පාට වෙනස් වීමක් , කහ පාට ගතියක් , කෑම අප්පිරියාවක් , බඩේ අපහසුතාවක් ආවොත් සැළකිළිමත් වෙන්න , මොකද  හුඟක් ප්‍රති දිලීර පෙති වලින් අක්මාවට යම් තරමක ආපදාවක් ඇති කරන්න පුළුවන් , ඒ නිසා බෙහෙතත් එක්ක ඊට අදාල වෛද්‍ය උපදෙස් හරියට ඉල්ල ගන්න එකත් , ඒ උපදෙස් හරියටම පිළිපදින එකත් තවත් ආපදාවකට ලක්වීම වලක්වා ගන්නට මග.


එහෙම නම් මේ දවස් වල අවිවේකය අස්සේම කැසිල්ලක් ගැන කළ කතාව මෙතැනින් අවසන් කරන්නයි හදන්නේ . 

අවසානයේ පුංචි මතක් කිරීම් දෙකක් , මගේ මේ ලිපි වල කියැවෙන ,දඟකාරියන් දෙන්නගේ බ්ලොග් එක “පුංචි හිතට දැනෙන දේ“ , එයට අළුත් වෙබ් ලිපිනයක් ලැබිලා , ඒ www.cyberslk.net දැන් ඔබට ඔවුන් සමඟින් දොඩමළුවන්නට අළුත් ලිපිනය හරහාත් පුළුවන් , ඒ වගේම දෙන්නගේ යූටියුබ් චැනලය තුල වීඩියෝ නිර්මාණ කිහිපයකුත් දැක ගන්න පුළුවන් වේවි , ඒ https://www.youtube.com/user/TheRaindropschannel ලිංක් එක ඔස්සේ ගිහින් නැතහොත් මේ පිටුවේම තිබෙන “මගේ පැටවුන්ගේ ලෝකය “ ක්ලික් කිරීමෙන් . 

එහෙම නම් නැවතත් දවසක හමුවෙමු .

ආ ..අමතක වෙන්න ගියේ ,සොඳුරු සුව අසපුවේ ඊළඟට කතා කළ යුතු මාතෘකාව මොකක්ද කියල කියන්නට දැන් ඔබට පුළුවන් ඒ පහත පෝරමය මඟින් . ඔබ යෝජනා කරන මාතෘකාව ගැන සාමාන්‍ය ප්‍රජාවට දැන ගත යුතු මට්ටමේ දැනුමක් සරළ සිංහලෙන් ලබා දෙන්නට මා උත්සාහ කරන්නම් . එසේ නම් ඔබේ යෝජනා අපේකෂාවෙන් සමුගනිමි , සුව සතුට පිරි දිනයක් ඔබට පතමින්.








11 comments:

  1. සිංහලෙන් උදුගොව්වා කනවා කියන එකයි , පොතු කබරවලයි සම්බන්දයක් ඔය ලෙඩේට තියනවද , ප්‍රීති කසානා කියන්නේ ඔය ලේඩේම වර්ශන් එකක්ද

    ReplyDelete
    Replies
    1. අටම් මලේ , උඳුගොව්වා කෑම කියන්නෙ මේ වගේ පෙනුමක් ගෙනාවත් , ඒක ඇති කරන්නේ දිලිරයකින් වත් වෙනත් විසබීජයකින් වත් නොවෙයි , ඒතැනදි වෙන්නේ අපේ ඇඟෙන්ම “මේ කොණ්ඩ ගස් මට එපා කියල ගලවල දාන එක“ , ඒකට හේතුව විදියට සලකන්නේ ස්වයංප්‍රතිශක්තික ක්‍රියාවක් කියලයි දැනට හිතන්නේ .
      පොතුකබර කියන්නෙත් මේ මුලින් කී වර්ගයට අයිති රෝගයක් , හැබැයි මේ හමේ රෝග බොහොමයක් පෙනුමින් සමාන වගේ පේන නිසා ප්‍රජාව අතරේ තිබෙන්නෙ පටලැවුනු දැනුමක් .
      “ප්‍රීති කසානා“ කිියල ව්‍යවහාරයේ කියන්නෙ නම් ස්කේබීස් කියන තතත්වය , ඒක ඇති කරන්නේ මයිටාවෙක් , ඒ ගැන පොඩ්ඩක් ලියල තිබුණ “ෆෝන් මයිටාවන් ගැන ලියූ ලිපියේ“

      බොහොම ස්තුතියි ඔබට ඔබේ අදහසට

      Delete
  2. හි හි.. ප්‍රීති කසානා.... මරු නම.... අපේ මහත්තයත් පහුගිය ටිකේ ඇඟ පුරාම කස කස හිටිය දොස්තර ගාවට යන්නෙ නැතුව... ප්‍රීතියෙන් කස කස ඉඳලා බැරිම තැන ගිහින් බේත් අරං ආව... ඇලජික් එකක්ලු... දවස් දෙකෙන් කැසිල්ල ඉවරයි... සතියක් විතර හිටිය කස කස...

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු , කැසිල්ල කියන්නෙ හැංගිලා තියෙන වෙන ගැටළුවක් අපට දැනෙන හැටි , සමහර වෙලාවට ඉතා අනතුරුදායක රෝග තත්ත්වත් අපට මුලින්ම කියන්නේ කැසිල්ලක් විදියට . මේ ගැන තවත් විස්තර 108 වන ලිපියේ ලියුවා මතකයි ,
      ස්තුතියි ඔබටත්

      Delete
  3. හපොයි කැසිල්ලනං එපාවෙන වැඩක් තමයි.
    තමංගෙ ශාරීරික පවිත්‍රතාවය රැකගන්න එකනං කොයි අතිනුත් හොඳ වැඩක් නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම , ශාරිරික පවිත්‍රතාව කියන එක තමන්ගේ යහපත් සෞඛ්‍යයට මුලිකම දේ ,
      ස්තුතිය ඔබට ප්‍රසන්න

      Delete
  4. අපුරුම ආරම්භයකින් අගනා වටිනා උවදෙස් මාලවක් සහිතව හැමදාමත් වගේ වටිනම ලිපියක්. ස්තුතියි මහේෂ්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් , ඉඩ ලැබුණූ වෙලාවේ හැටියට පොඩි දෙයක් ලිවුව, අඩුම ගණනේ එක්කෙනකේ දෙන්නේක් හරි කියවාවිනේ හිතල , ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට

      Delete
  5. හොද මාතෘකාවක් , ඒ වගේම පටන් අරන් තියෙන විදිය හරිම ශෝක්.. අර අපේ මාතලන් දේශපාලනේ ගැන ලියනවා වගේ .. ගොඩක් අය ඉකිලි ආශ්‍රිතව ලෙඩක් හැදුනාම හන්ගන් ඉන්නවා බයට ලැජ්ජාවට, ඩොක්ටර් කෙනෙක් ලගට ගියානම් දවස් දෙකයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපුර්වි , ඔබ කියන කතාව හරි ‍් මේක හංගගෙන ඉන්න අවශ්‍ය තත්ත්වයක් නොවෙයි , ඉක්මණින් ප්‍රතිකාර කරගෙන සෞඛ්‍යසම්පන්න ජීවිතයකට නැවතත යාහැකි , යායුුතු තත්ත්වයක්

      Delete
  6. මේවගේ දේවල් ගැන අනිත් දනුවත් කරන එක දිගටම කරන්න. ස්තුතියි.

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)