2014/03/09

158) සැලෙන සිතුවම් - එමලිගේ තෑග්ග

වයස අවුරුදු හතට , අටක  විතර ලස්සන කෙළි පැටියෙක් , රෝස පාට මල් වැටිච්ච ගවුම් පොඩියක් ඇඳළ , කොන්ඩේ ලස්සනට ගොතල, රෝස පාට කටුවක් ගහල ,රෝස මලක් වගේ ....හැබැයි   ටිකක් බය වෙලා , කොණ්ඩ කරල් අස්සේ ඇඟිළි යවමින් අම්මගේ අස්සට තුරුල් වෙලා ඉන්නවා , තාත්තත් කොළ වගයක් එහෙට මෙහෙට පෙරළ පෙරළ මොනවදෝ හොයනවා.


“මේ වික්‍රමසුන්දර මහත්තය ?“... පුංචි පවුල හිට තැනට මමත් එකතු වුනා .
“ලොකු මහත්තයා ඔයාලට කතා කරන්න ඇති කියල හිතෙනවා , ?“ ...
“ඔව් , දැන් මේ ක්ලිනික් එකේදි බැලුව , තව විස්තර අහගන්න කීව “ . තාත්ත ටිකක් නුරුස්සන ගතියක් එක්ක කතා කළේ .
කතාවට එකපාරටම ඇතුළු වෙන එක ඒතරම්ම හොඳ නැහැ වගේ නිසා , ටිකක් ගම්පළාත ගැන කතා කළා , 
“ඇත්තට ? මහත්තයලත් හුංගමද ? .., අපි හාතගල ., පිරිවෙන දන්නවයැ ?“ .. වික්‍රමසුන්දර මහත්තයා කුතුහලයෙන් .
“ඔව් , මම පොඩි කාළේ හිටියේ හාතගල , එහෙම නම් අපේ අම්මල එහෙම දන්නවත් ඇති ..“...
මමත් , වික්‍රමසූන්දර පවුලත් ටිකක් විතර බැඳීමක වගේ දැනුන , දැන් හොඳවෙලාවට මගේ පොයින්ට් එකට එන්න .

“දරුවගේ කරපු රිපෝට්ස් තුනම ටිකක් හොඳමදි කියල කියන්න ඇතිනේ , ඒ දෙකකම ලියුකේමියාව කියන පිළිකා වර්ගයේ සෛල තියෙනව කියල හඳුනගෙන තියෙනවා , මහත්තයල .........ප්‍රයිවේට් ලැබ්  එකෙන් කළ රිපෝට් එකත් ඒ විදියමයි . ඒ නිසා අපේ ලොකු දොස්තරමහත්තයා කියන්නේ නම් ඉක්මණට බෙහෙත් පටන් ගන්න එක හොඳයි කියන එක “ . 

අම්ම කිසිම කතාවක් නැහැ , පොඩිකෙළිගේ ඔළුව අතගගා , කඳුළු පුරවපු ඇස්දෙනෙක් මා දිහා බලාන උන්න විතරයි . 
මේ විදියට පටන් ගන්න කතාවේ , එක තැනකදි ..
“...විතර යත්දි කොන්ඩේ ගැලවිලා යන්න පුළුවන් , ටික ටික , සති හයක් විතර වෙත්දි ඔක්කොම කොණ්ඩේ හැලෙන්න ඉඩ වැඩියි , ඒකට හේතුව මේ විදින බෙහෙත වැඩ කරන නිසා  .“
“අනේ ඒක ඇත්තටම වෙනවාද මහත්තයා ? “ මෙතුවක් වෙලා කතාබහක් නැතිව හිටි අම්මගෙන් ප්‍රශ්නයක් , කෙළි පොඩි පටන් ගත්ත අඬන්න .. 

 “ඔව් පැටියෝ කොණ්ඩෙ නම් යනවා , හැබැයි බෙහෙත් ඉවර වෙලා ටික දවසක් යත්දි ආයෙත් කොණ්ඩේ එනවා , දන්නවද සමහර අයට තිබුණ කොණ්ඩෙට වඩා ලස්සන , කොණ්ඩයක් ආව  , බොරුනෙවි මේ බලන්න “  අපෙන් ප්‍රතිකාර අරගෙන සුව වෙලා ගිය පැටවු කීපදෙනෙක්ගේ පිංතූර ටිකක් ඇයට පෙන්නුවෙන් ඇත්ත තත්ත්වය පෙන්වන්න .

මේ කතාව මේ විදියට පැය දෙකක් විතර ගියා , අවසානයේ දෙමවුපියෝ කැමති වුනා දරුවට ප්‍රතිකාරය ආරම්භ කරන්න .අත්සන තැබුණා පැටියගේ ජීවිතයේ ලොකු තීරණයකට .


එදා අපේ රාජකාරියේ කොටසක් 
“නිශාන්තයියා , මොකද අද අපට පුළුවන්ද කුමාරිට සීටි පටන් ගන්න ? මං දැන් අන්තිම සීටි එක දානගමන් , ඕනනම් මට ඒක ටිකක් පරක්කු කරන්න පුළුවන් තාම සේලයින් යන නිසා .“ කාමරේට ඇතුළු වුනු සොයුරු හෙදියක් අපේ කතාවට මැදිහත් වුනා අවසානයේ ..

“ඔව් , කළං අපට පුළුවන් පටන් ගන්න  , එහෙම නම් කුමාරි , ඔයාට අද මේ බෙහෙත  දෙන්නේ මෙන්න මේ කළං ඇන්ටි , ඔයාට මොනව හරි ඕන නං මේ ඇන්ටිට කියන්න , ..... මේ මතක ඇතිව කළං ඇන්ටිගෙන් බෝනික්කෙක් ඉල්ල ගන්න , එයාගාව බබාලට දෙන්න සෙල්ලම් බඩු ගොඩයි ...“ කඳුළු පිරිච්ච ඇස් දෙක මගේ දිහාවට යොමු කළා ඇය පුංචි හිනාවකුත් එක්කම

ප්‍රතිකාරය ඇරඹුනා, මාස කිහිපයක් ගියා , ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල , පිළිකා ඒකකය කියන තැනට සමුදීලා ඇය යන්න ගියා .. හැබැයි සතුටින් , සම්පුර්ණයෙන්ම සුවයක් ඇති නිරෝගී දරු පැටියෙක් විදියට .  
රටවල් අතර මාරුව වෙන්න සති කිහිපයකට ඉස්සර වෙලා නිවසට දුරකථන ඇමතුමක් !

“හලෝ .... මම කුමාරි මතකද වාට්ටුවේ බෙහෙත් ගත්තෙ , තංගල්ලෙ!  , වාට්ටුවේ ලොකු මිස්ට කතා කළාම කීව දැන් අංකලුයි ඇන්ටිය දැන් ඒකෙ වැඩ නැහැ කියල ...මං කතා කළේ ලොකු පණිවිඩයක් කියන්න , මම ශිෂ්‍යත්වේ පාස් අදයි ලකුණූ ආවේ . මං දැං ගොඩාක් ලොකුයි , උසයි , කොණ්ඩේ දිගයි , අංකල් තව දෙයක් දැන් අපට චූටි මල්ලියෙකුත් ඉන්නවා ........“ ....

කතාව බොහොම සුන්දර විදියට නිමාවුනා , 
-----------------------------------------------------

එද මේ කතාව මතක් කරන්නට හේතුවුනේ එක කාරණයක්  , ඒ තමයි පිළිකා ප්‍රතිකාරයේ එක් අතුරුපලයක් වන කෙස් ගැලවීයාමේ සීග්‍රතාව වැඩි වීම ගැන යමක් කියන්නට .  අපි මොනවිදියට පැහැදිලි කළත් හුඟක් රෝගීන්ට විශේෂයෙන්ම කාන්තා පාර්ශවයේ අයට , පොඩි පැටවුන්ට මේ ගැටළුව , බෙහෙත ගැන තීරණය වෙනස්කරන තරම් ප්‍රබල වුනු අවස්ථාත් නොතිබුණා නොවෙයි . 

දැන් මම මෙතැන කතා කරන්න යන්නේ නැහැ මෙයට හේතුව , මොකද දන්නවද මේ සිදුවීම් වලට හේතුව මීට ඉස්සර වෙලා කතා කරල තිබෙන නිසා . (මෙන්න මෙතන ක්ලික් කළාම ඒ ලිපි මාලාවට යන්න පුළුවන් )

හැබැයි මේ විදියට හිසකෙස් ගැලවිලා තට්ටේ පෑදුනාම විඳවන හැටි මතක් වෙත්දි “විග් එකකින් “ ලැබෙන තාවකාළික හෝ සුවය මිල කරන්නට බැරි තරම් , අපේ සල්ලි අතේ ඇති අය නම් වැඩි මිලට හොඳ විග් එකක් දාගෙන පෑදුනු තට්ටෙ වහගනිත්දි , ඒ වගෙ වියදමක් දරා ගන්න බැරි උදවිය ඔළුව වැහෙන්න රෙදි කෑල්ලක් ඔතාගෙන යන හැටි තවමත් මතකයි වගේ . 

 මේ වගේ  බලාපොරොත්තු නැති අවස්ථාවක මතුවෙන “තට්ටය ‘ නම් ලොකු වේදනාවක් ඇති කරන දෙයක් බව නොකියාම බැහැ. මේ වේදනාව ගැන මතක් වෙත්දි , යම් අයෙක්ට පුළුවන් නම් මේ අයට  “විග් එකක් “ හදල පරිත්‍යාග කරන්න , ඒකත් තාවකාළිකව හරි සතුටක් ගෙනදේවි ඔවුන්ට. 

(සමහර විට මෙය කියවන මේ අත්දැකීම ගැන කිසිම දෙයක් නොදත් කෙනෙක් හිතන්න පුළුවන් “මොන විහිළුවක් ද මේ “ කියල , . විහිළුවක් නොවෙයි , ඇත්තටම මේ සිදුවීමෙන් “විඳවන වේදනාව , විඳපු කෙනෙක් විතරක් නොවෙයි , ඒ අවස්ථාවන් ඇසින් දුටු අයෙක්ගේ වුනත් හිත රිදනෙවා මට හිතෙන විදියට . හැමදාම උදෙට වාට්ටුවේ රවුමක් යත්දි , කොණ්ඩේ පීරළ , පනාව වැහෙන්න තරම් ගැලවිලා ඇවිත් තිබෙන කෙස්ගස් ටික දිහා බලාගෙන හූල්ලන ඔවුන් දකිනවා නම් ඔබ .....)


මේ පරිත්‍යාගමය කටයුත්ත මුල්‍යමය වාසි බලාගෙන කරනවාට වඩා , පිනක් විදියට කරන්නට කැමති පිරිසක් එකතුවෙනවා නම් මොන තරම් සුන්දර නිර්මාණයක් කරන්නට පුළුවන් වේවිද ? මේ වන විටත් එවන් නිර්මාණයන් , පරිත්‍යාගයන් ලෙස කෙරෙනවාද මම දන්නේ නැහැ , හැබැයි 2011 වසර වන තුරුම මා සේවය කළ රෝහලේ රෝගීන් වෙත විවිධ පරිත්‍යාග , කෑම බීම , කොට්ට මෙට්ට ලැබුණත් , මෙවන් පරිත්‍යාගයක් නම් දුටුවේ නැහැ.

මේ රටවල නම් ඒ වෙනුවෙන් ස්වෙච්චාවෙන් විග් හදල දෙනවා , (http://www.acvf.ca/ )පරිත්‍යාග කරන කොණ්ඩා එකතු කරලා එක එක වයසට ගැලපෙන “විග්“ හදලා පිළිකා රෝහලේ ප්‍රතිකාර ගන්න රෝගීනට දරුවන්ට පරිත්‍යාග කරනවා . නැත්නම් ඉතාම සුළු මුදලකට ලබා දීල ඒ මුදල තවත් පුණ්‍ය කටයුත්තකට යොදවනවා. ඒ කටයුත්තට අවශ්‍ය ශ්‍රමදායකත්වය “ස්වෙච්ඡාවෙන්“ ලබා දෙන්නටත් මාස කිහිපයක් පොරොත්තු ලේඛණයක ඉන්න ඕන , ඒතරම්ම සංවිධානගත වෙලා කරන කර්තව්‍යයක්. 

මේ ලිපිය කියවන ඔබ , ඔබේ මිතුරන් , මිතුරියන් පිරිසකට පුළුවන්කමක් ඇත්නම් මෙවන් එකමුතු වීමක් කරන්නට  , මෙවන් නිර්මාණයන් කරන්නට , ඔබේ විවේකය “සුන්දර පරිත්‍යාගයක“ නිර්මාණකරුවෙක් වෙන්නට කොයි තරම් අපුරුද ? , නිසි අයුරින් කෙරෙනවා නම් , එයම ලොකු පිංකමක් වේවි . 

සොඳුරු සුව අසපුව තුල ලියැවෙන හැම  “කතාවකදිම“ රෝගීන් සහ පවුලේ අය වෙනුවෙන් යොදා ගත් නම් හැරෙන්නට අනෙක් සියළුම කාරණා සත්‍ය වගේම , මගේ වෘත්තීය ජීවිතය තුල ලද අත්දැකීම් බවත් කියන්නටම ඕන ,  

මේ බලන්න මේ රටවල පිළිකාරෝගීන් සඳහා සැකසෙන කොණ්ඩා මොස්තර  , 
http://www.acvf.ca/index.php/our-programs/angel-hair-for-kids/ 

මේ ලිපිය ලියන්නට හේතු වුනු සුන්දර වීඩියෝව . මොහොතක් වැය කළාට , මෙගාබයිට් කිහිපයක් වැය කළාට පාඩුවක් වෙන එකක් නැහැ , නරඹන්න .


16 comments:

  1. Replies
    1. ස්තුතියි ඔබට ! පැමිණියාට සොඳුරු සුව අසපුව වෙත

      Delete
  2. වීඩියෝ පටය බලපු ඕනෑම කෙනෙක්ගේ දෙනෙත් තෙත් කරනවා නිසැකයි . ඔය රෝගය නිසා කොන්ඩේ යන රෝගියෙක්ගේ මානසිකත්වය මම හොඳින්ම දන්නවා . අපේ රටේ මේ අයුරින් තමන්ගේ කොන්ඩේ පරිත්යාග කරනවා අසා නැති උනත් කියන්න සතුටුයි ඔබ රටේම වාසය කරන මගේ සොහොයුරියගේ දියණිය , ඇගේ දිග කොන්ඩේ වවන්නේ පිලිකා රෝගීන් වෙනුවෙන්ලු . කීප ආවස්ථාවක් ඇය මේ පරිත්යාගය කර තියෙනවා .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම්හානි , හරිම හුරුබුහුටි කෙළි පොඩ්ඩියෙක් නිසා වීඩියෝව බලන්න පටන් ගත්තත් , අන්තිමට එයින් කියවෙන දේ දැක්කම සතුටක් වගේම මේ වේදනාවන් දැකපු අතීතය මතක් වෙත්දි දුකකුත් ඇතිවුනා , ඒ නිසාමයි මේ කෙටි ලිපිය ලියැවුනේ . සතුටුයි වගේම අගය කරනවා ඔබේ සොයුරියගේ දියණිය කරන්නාවූ කාර්යය . ස්තුතියි ඔබට!

      Delete
  3. ඇත්තටම දුක හිතෙනවා මේ කතාව අහුවම මම දන්න නංගි කෙනෙකුත් හිටියා ඔය ලියුකේමියාවට බේත් කරන එයාගෙත් කොන්ඩේ අඩුයි

    ReplyDelete
    Replies
    1. ඔව් මිතුර , එි සිදුවිම මෙම රෝගීන් මානසිකව සෑහන බිඳවන සිදුවීමක් ,
      ස්තුතියි ඔබටත්

      Delete
  4. බොහොම දුක්බර උනත් විස්තරාත්මකව ලියවුනු මේ ලිපි අගෙයි... බ්ලොග් අඩවියේ පලවන ලිපි එකක් ගානේ කියෙව්වත් කමෙන්ට් කරන්න බැරි වුනේ ෆෝන් එකෙන් කියවපු නිසා. ඔබේ ලිපි හැමදාම වගේ අනර්ඝයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , ඔබේ අදහස සටහන් කළාට. වෛද්‍යවෘත්තියේ සිටින ඔබ වගේම හෙද වෘත්තියේ සිටි මමත් අපේ වෘත්තීය ජීවිත තුලදි අදහාගත නොහැකි බොහොම දුක්බර සිදුවීම් ගණනාවකට වගේම අදහා ගත නොහැකි වාසනාවන්ත සිදුවීම් ගණනාවක අත්දැකීම් ලබන බව දන්නේ සෞඛ්‍ය සේවයේ සිටින්නෙක්ම පමණයි .
      කොමෙන්ටුුවකින් සතුටක් ලැබුණත් , ඒ සතුට මතම යැපෙන්නට මම උත්සාහ කරන්නෙ නැහැ (මොකද මමත් බ්ලොග් කියෙව්වට කමෙන්ට් දමන්නේ බොහොම කළාතුරකින් :) )
      ස්තුතියි නැවතත්

      Delete
  5. වටිනා අදහසක් මහේෂ්..ස්තුතියි නොදුටු පැත්තක් හිතන්න සැලැස්සුවට...

    ReplyDelete
    Replies
    1. ඔව් රූ , මේ වේදනාව දකින්න නම් මෙවන් අවස්ථාවකට පත්වූවෙක් එක්ක ළඟින් කටයුතු කරන්නට වෙනවා . එසේ නොවෙ නම් මේක තවත් තට්ට්යක් විතරයි .

      ස්තුතියි රූ හැමදාමත් ඇවිත් ඔබේ අදහස් සටහන් කරනවාට.

      Delete
  6. Dear Doctor , liyukemiya rogaya suva kala hakida ?

    ReplyDelete
    Replies
    1. මුලින්ම මම වෛද්‍යවරයෙක් නොවන බව කියන්නට ඕන , “මා ගැන“ පිටුවෙන් මාකවුදැයි ඔබට හඳුනාගන්නට පුළුවන් වේවි :)
      දෙවැන්න , ලියුකේමියාව කියන්නෙ වර්ග ගණනාවක එකතුවක් , ඉන් සමහර වර්ග “සුව කරන්නට“ හෝ ප්‍රධනා අතුරු ආබාධ අවම වන ලෙස සම්පුර්ණයන් පාලනය කරන්නට පුළුවන් . විශේෂයෙන්ම ළමා හෝ ළඳරු වියේ සිටින්නෙක් Acute Leukemia වර්ගයේ සිටින බව හඳුනාගත්තොත් , නිවැරදි අවස්ථෘවේ , නිවැරදි ප්‍රතිකාර ආරම්භ කළහොත් ඉහත අකාරයේ සතුටුදායක ප්‍රතිපලයක් ලබා ගන්නට පුළුවන් . විශේෂයෙන්ම Acute Promylocytic Leukamia වර්ගය මේ අතරින් සාපේක්ෂව “සුව වීමේ “ ප්‍රවණතාව වැඩි අවස්ථාවක්.
      ස්තුතිය ඔබේ පැනයට ,

      Delete
  7. මේ වගේ කාරනා වෙනුවෙන් කොණ්ඩය පරිත්‍යාග කරන බව දන්නෙත් අදයි...ඔබගේ අදහස නම් ඉතාමත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , ඔව් මෙවන් පරිත්‍යාගයන් මඟින් අප හිතනවාටත් වඩා ලොකු උපකාරයක් කරන්නට පුළුවන් වේවි.

      Delete
  8. හිසකෙස් පරිත්‍යාග කරන්නේ කොහොමද කියල දැනගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මේ රටවල නම් ඒ වෙනුවෙන්ම ස්වෙච්ඡා සංවිධාන තිබෙනවා , නමුත් ලංකාවේ සේවය කරන දවස් වල මට එවන් ආයතනයක් ගැන දැන ගන්නට ලැබුණේ නැහැ , නමුත් තිබෙන්නට පුළුවන් , හැකි නම් මහරගම පිළීකා ආයතනයට කතා කර ඒ පිළීබඳව යමක් දැගන්නට පුළුවන්වේවි කියල හිතනවා , සමාවන්න මීට වඩා උපකාරයක් කරන්නට නොහැකි වීම පිළිබඳව

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)