2014/03/24

159) දඟ බබාට නොතලන්නයි හිමින් සැරේ ගොඩගන්නයි

“මට ඕනේ , මේකමයි ඕනේ “ ....
“පුතේ අපි වෙන දවසක ගනිමු අද මා ගාව මේව ගන්න සල්ලි නෑ “ ...
“නෑ ! .මට අද මේක ඕනමයි “ 
ගෙදරට ඕන  කරන අඩුම කුඩුම ටික ගන්න අතරේ අම්ම කෙනෙක්ගෙයි , පොඩි කොළු පැටියෙක්ගෙයි දෙබසක් කණට වැටුන . 
පොඩි එකා මොකක්දෝ පෙට්ටියක් උස්සෙගන , බදාගෙන ඒක ඉල්ලනව , පේන විදියට සෙල්ලම් බඩුවක් , ..
“මම කිව්වනේ ! අද බැහැ . , වෙන දවසක තමයි ගන්න පුළුවන් . ඔයාට එන්න බැරි නම් ඉන්න මම යනවා “  අම්ම පොඩි සැරක් පෙන්නල ටික දුරකට ගියා .

පොඩි එකාගේ ලොකු යුද්දේ !


එක යුද්දයයි , පොඩි එකා එතන තිබුණු ඔක්කොම සෙල්ලම් බඩු විසි කරනවා . විසි කරපු කාර් එකක් මගේ කණ ගාවින් ගිහින් ඉස්සරහ තිබුණු පෙට්ටියක වැදුන . .. තව ... අම්ම දුවල ගියා පොඩි එකාගාවට . 
පේන විදියට ටිකක් සැර කරනවා . ම්හ් ...පොඩි එකා පෙරළි පෙරළි අඬනවා , වටේම බඩු පොළොවෙ ගහනවා එතන යුද්දයක් . වටේ හිටපු අම්මල දෙන්නෙක් “යුද්දේ සාමදාන කරන්න ඇවිත් දරුණූ ප්‍රහාරයකට ලක්වෙනව“  බලාගෙන ඉන්නව ඇරෙන්න අපට කරන්න තරම් දෙයක් නැහැ . මොකද අම්ම , දරුවගේ තත්තවේ ගැන දැනුවත් වගේ. ටික වෙලාවක් ගියා , ආයතනයේ ආරක්ෂක අංශයේ නිළධාරිනියන් දෙදෙනෙක් අම්මගේ උදව්වට ආවත් වාහනේට යනකම්ම කොළුව අසාමාන්‍ය විදියට දැඟලුවේ. 

“මොකද තාත්තේ අර මල්ලිට වෙලා තියෙන්නෙ ? එයා නරක වචනත් කිව්වනේද ? , එතනින් යත්දි ඒ මල්ලි අපි දිහාත් සැරෙන් වගෙ බැළුවේ , “ මෙච්චර වෙලා අම්මගේ වටේ කරකැවෙමින් හිටපු , අපේ පොඩි කෙළී අහනව . 
“ඒ මල්ලිට ඔටිස්ටික් වෙන්න ඇති “ අක්කගෙන් උත්තරේ.
“වෙන්න බෑ , එයාට ඔටිස්ටික් වෙන්න බෑ , ඊට වැඩිය මොකක් හරි ප්‍රශ්නයක් . ඔටිස්ටික් අයට , හොදට මූණ දිහා බලල චුට්ටක් හිනා වෙලා , ආදරෙන් කීවම කියන දේ අහනව“ ඕටිසම් තත්ත්වය ඇති  මිතුරන්ට සාත්තු සප්පායම් කිරීම පිළිබඳව අවුරුදු දෙකක විතර පළපුරුද්දක් තිබෙන පොඩි නංගි , අක්කගේ කතාවට එකඟ නැහැ වගේ . (මේ පාසල් වල සුළු මට්ටමේ ඔටිසම් තත්ත්වය ඇති අය වෙන් කරන්නේ නැති තරම් , සාමාන්‍ය පාසල් පන්ති කාමර තුලම , විශේෂ සහායක ගුරුවරු මඟින් ඒ දරුවන් හැකි තරම් සාමාන්‍ය සමාජය සමඟ එක් කරන්නට හොඳ උත්සාහයක් ගන්නවා. )


මොඩ් නැති ODD බබා 

“අපි දන්නේ නැහැ පුතේ මොකක්ද කියල හරියටම , සමහර විට මල්ලිට ටිකක් වැඩි පුර තරහ ගියාද දන්නෙත් නැහැ , මොකද එහෙමත් වෙන්න පුළුවන්නේ ? හැබැයි වැඩි ටිකක් දුර ගිය නිසා පොඩි වෙනසක් නම් ඇති කියල හිතන්න පුළුවන් . ADHD වගේ වෙන්නත් පුළුවන් , නැත්නම් ඔටිසම් වලම අවස්ථාවක් වෙන්නත් පුළුවන් . හැබැයි ODD තියෙන බබාලට නම් ඔහොම දරුණුම තත්ත්වයේ Tempur tantrum (හුඟක් තරහ ගිහින් කළබල කරන ගතිය) එනවා .“

“ඔටිසම් ගැන හරි , A.D.H.D. ගැන පහුගිය දවසක කියල දුන්නා එතකොට මොකක්ද ODD කියන්නේ තාත්තේ ? ....“ ලොකු අක්කගෙන් ප්‍රශ්නයක් . 

“අයියෝ ඔයා ODD කියන එකවත් දන්නේ නැත්ද ?“ නංගි , අක්කට පොඩි හිනාවක් දාගනමන් අහනවා .

“මෙහෙමයි ODD කියල කිව්වට මේ ලෙඩේ , ඇත්තටම ලෙඩක් කියනවාට වඩා හොඳ අසාමාන්‍යතාවය කියන එක . ඉතින් මේ අසාමාන්‍යතාවයට කියන දිග නම තමයි Oppositional Defiant Disorder මේ ගැන තව විස්තර මම ගෙදර ගියාම කියන්නම්කෝ“ 

“මේ වගේ ලෙඩ හඳුනගන්න , වර්ග කරන්න ඒතරම් ලේසි නැහැ , බොහොම ඉවසීමෙන් , සැලකිල්ලෙන් ටික කාළයක් දරුවගේ චර්යාව ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන , එහෙම ඉඳිත්දි මේ කළබලකාර බව , ඉක්මණින්ම තරහ ගිහින් කළබල කරන ගතිය වැඩි නම් , නැත්නම් මාස හයක් විතර කාළෙක ඉඳළ එහෙම වෙන වාර ගණන වැඩි නම් , හැම තිස්සෙම තරහින් වගේ , පැටලෙන්න බලාගෙනම නම් ඉන්නෙ , සතුටක් ඇත්තෙම නැහැ වගේනම් පැටියගේ මුහුණේ ටිකක් විතර අවධානය වැඩියෙන් යොමු කරන එක හොඳයි වගේ . මේව විතරක් නොවෙයි පොඩි එකා දැන් කියන කිසිම දෙයක් අහන්නේ නැහැ , කිව්වොත් ඊට විරුද්ධ දේම තමයි කරන්නේ . හැම තිස්සේම ලොකු අයත් එක්කත් එකට එක තියාගෙන එන මේ දරුව හුඟක් ඉක්මණට කළබල වෙලා පාළනයක් නැතිව ආවේගශීලීව දඟළන්න පටන් ගනීවි . ගෙදර තව සහෝදරයෙක් , සහෝදරියෙක් ඉන්නවා නම් එයාට හැම තිස්සේම අරියාදුකම් කරමින් “කරදරකාරයෙක්“ වෙන්නමයි බලන්නේ . එයාට මොනවද ඕන , ඒක ඕනමයි , අම්ම තාත්ත මොනව කීවත් රණ්ඩු වෙලා තමන්ට ඕන දේම කරගන්න හදල බැරි වුනාම එතන යුද්දයක් . “ 


සාමාන්‍යය අසාමාන්‍යවීම

“හැබැයි මෙහෙමයි , හුඟක් පොඩි අය අතරේ මේ ලක්ෂණ එක දෙකක් සමහර වෙලාවට එන්න පුළුවන්. ඒක සාමාන්‍යයි , හැබැයි එක දිගටම මේ ලක්ෂණ වැඩි ගණනක් ඇති වෙනවා නම් , ඒ ලක්ෂණ පෙන්වන වාර ගණන දැන් වෙනදට වඩා වැඩි නම් , සම වයසේ තවත් දරුවන් පිරිසක් එක්ක සැසඳුවොත් මේ දරුවගේ වෙනසක් පේන්න තිබෙනවා නම්  , අන්න පොඩි “රතු ඉරක් “ ගහන්න ඕන තැනක් .“

“හුඟක් අවස්ථා වල මේ ලක්ෂණ හඳුගන්න පුළුවන් ඉස්කෝළෙ යන්න පටන් ගත්තම( අවුරුද  5-10 වගේ කාළේ)  . මොකද මෙයාලට යාළුවෝ හදාගන්න අමාරුයි , හැමෝටම සැර කරනවා , රණ්ඩු කරනවනේ , අනෙක සෙල්ලම් කරන්න ගියොත් හොරට හරි දිනන්න විතරයි ඕනේ , පැරදුනොත් ඔක්කොම ඉවරයි , ඉතින් පන්තියේ මිස්ගෙන් ගෙදරට පණිවිඩක් එන එක අහන්න දෙයක්ද? යාළුවෝ නැතිවෙන එක අහන්න දෙයක්ද ?  

“ඇයි මේ මේ විිදියට වෙන්නේ ? , අර ජාන වල ප්‍රශ්නයක්ද තාත්තේ ? “ 
“තවමත් හරියටම හේතුවක් හඳුනගෙන නැතත් , මොළයේ ඇතුලේ තිබෙන රසායනික වල වෙනසක් මේකට බලපාන්න පුළුවන් කියන මතයේ පර්යේෂකයෝ ඉන්නව. ඒ විතරක් නොවෙයි , ඒ දරුව ඉන්න පරිසරයේ , ගෙදර තිබෙන දරුවට කායිකව හරි මානසිකව හරි දැඩි වේදනාවක් දෙන දිගු කාළීන  ප්‍රශ්න ,අම්ම තාත්තගෙන් ලැබෙන ආදරය රැකවරණය අඩුවීම වගේම , දරුව පොඩි කාළෙ නොගැලපෙන ප්‍රමාණයට දඩුවම් දීම,  නොගැපෙන නීති රිති වලින් ගැට ගහල තියන්න හදන එකත් මේකට “විය හැකි “ අවදානමක් විදියට හඳුනගෙන තිබෙනවා. ඊට අමතරව දරුවගේ මානසික වර්ධනයේ අඩුවක් තිබේනම් එයත් මේකට තවත් හේතුවක් වෙන්න පුළුවන් .

කළ යුතුදේ කුමක්ද ? 

“හරි මෙහෙම ළමයෙක් හඳුනගත්තොත් , එයාට කොහොමද ප්‍රතිකාර කරන්නේ ? “

“මේ තත්ත්වයේදි බෙහෙත් වලින් ප්‍රතිකාර කිරීමට වඩා සිද්ද වෙන්නේ දෙමාපියන්ව දැනුවත් කිරීම , දෙමාපියන්ට උපදේශනය ලබා දීම තමයි මුලින්ම කෙරෙන්නේ . 

දරුවගේ වයසට , තත්ත්වයට ගැලපෙන ආකාරයට මේ ලක්ෂණ නැවත නැවත මතුවීම පාලනය කරගන්න විදිය මානසික වෛද්‍යවරයෙක් , නැත්නම් ළමා මනෝ වෛද්‍ය විශේෂඥයෙක් , එහෙම නැත්නම් ළමා මනෝ චිකිත්සකවරයෙක් මේ දෙමාපිය උපදේශනය කටයුත්ත ආරම්භ කරාවි . ඊට අමතරව පවුල් උපදේශනය වගේ උපදේශනමය හමුවීම් කිහිපයකටත් දෙමාපියන්ට සම්බන්ධ වෙන්නට වේවි . 

එතැනදි දරුවගේ ගැටළු වගේම මේ දරුවත් එක්ක වැඩ කරත්දි දෙමාපියන්ට එන ගැටළුත් කතා කරල , දෙපාර්ශවයටම හොඳ සැළසුමක් හදාගන්න පුළුවන් . විශේෂයෙන්ම දෙමාපියන්ගේ ආවේග පාළනය , මානසික ආතිතය තත්ත්වය පාළනය කර ගැනීම හුඟක් වැදගත් . ඒ විතරක් නොවෙයි දරුවට , වසයට ගැලපෙන උපදෙස් , නීති රීති පද්ධතියක් හදාගන්නත් වෙනවා . ඒ ගැන දරුවට ක්‍රමයෙන් , කළබල නැතිව කියල දෙන්නත් සිදුවෙනවා . 

විශේෂයෙන්ම දවසේ කටයුතු වල පිළීවෙල , පාසලේදී , තැනකට ගියාම කටයුතු කළ යුතු හැසිරිය යුතු ආකාරය බොහොම ආදරෙන් කියල දෙන එක දෙමාපියන්ගේ භාරදූර රාජකාරියක් මේ අවස්ථාවේ . ඒ එක්කම , මේ දෙ උපදෙස් පිළිනොගත්තොත් තමන්ට ලැබෙන “නරක ප්‍රතිපල“ ගැනත් කියල දෙන්න අවශ්‍යයි , මේ නරක ප්‍රතිපල කියන්නේ දරුවට “ගහන්න බණින්න“  කියන එක  නොවෙයි , යම් ආකාරයක දඬුවමක් . ඒක සමහර විට දරුව ආසම කරන කාටුන් එක බලන එක තාවකාළිකව තහනම් කරන එක,  එහෙම නැත්නම් එයා ආසම කරන සෙල්ලම් බඩුව යම් කාළ සීමාවකට ගන්න බැරි වෙන විදියට අයින් කරන එක , නැත්නම් .... ඔය විදියට දරුවගේ තත්ත්වය පරිසරය එක්ක ගැලපෙන නිතිරීති වගේම සීමාවන් ගැනත් ක්‍රමයෙන් දරුවව දැනුවත් කරන්න ඕන.


හැබැයි වැදගත්ම දේ මේ කටයුත්තේද දෙමාපියන් බොහොම ඉවසීමෙන් , දරුවට කතා කරන්න කාළය දෙමින් සෙමින් කළ යුතු වැඩක් . මොකද මේ විදියට වැඩේ පාළනය කරගන්න බැරි වුනොත් වෛද්‍යවරයාට සිදුවේවි , යම් ඖෂධ වර්ගයක් මඟින් දරුවගේ මේ කළබලකාරී බව අඩු කරන්නට . නමුත් එබඳු අවස්ථා ඉතාමත් විරළයි.

මේ ටික නොකළොත් ? ..

අහන්න දෙයක්ද ? මේ ළමයාගේ පාසල් වැඩකටයුතු  බිඳවැටෙනවා , යාළු මිතුරු කම් බිඳ වැටෙනවා , එයා හැමෝටම කරදරකාරයෙක් බවට පත්වෙනවා . ඒ විතරක් නොවෙයි මෙ මානසික තත්ත්වය නිසා මත්ද්‍රවය වලට ඇබ්බැහි වීම වගේම සමාජ විරෝදී අපරාධකරුවෙක් බිහිවෙන්නත් පුළුවන්  තත්ත්වය දිගින් දිගටම ගියොත් , නැතොත් ප්‍රබල මානසික රෝගයක් ඇති කෙනෙක් බවට පත්වෙන්නත් පුළුවන් මේ සුළු දේ නිසා.

දෙමාපියන්ට මෙන්න මේ ටික හුඟක් වැදගත් වේවි , 

1.දරුවගේ මේ කළබලකාරි බව පිළිබඳ ඉවසීමෙන් සහ දැනුවත්ව කටයුතු කරන්න , 

2.ඔබෙන් දරුවාට ලැබෙන ආදරය , උණුසුම අඩු බවක් වැටහේනම් වෙනදට වඩා දරුවත් එක්ක ආදරෙන් ඉන්න. ආදරය දෙන්න  ( තවත් දරුවෙක් පවුලට එකුවුනා නම් මේ අළුත් දරුවට වැඩි අවධානයක් යොමු වෙන නිසා, ලොකු දරුවට මේ වගේ තත්ත්වයක් තාවකාළිකව එන්න  පුළුවන් , එය ODD ම නොවනුනත් සැළකිල්ලෙන් ඉන්න එක වටිනවනේ)

3.දරුවට සවන් දෙන්න , කළබල වෙලාවක වුනත් දරුව කියන දේට , කෑගහන දේට , හඬමින් කියන දේට සවන් දෙන්න , සමහර විට මේ හැම දේටම හේතුව එ් “සවන්දීම“ මඟින් හඳුනාගන්න පුළුවන් වේවි 

4.දරුව කරන හොඳ වැඩකදි ප්‍රශංසාව කිරීම , සමහර විටක තෑග්ගත් දීම වගේ උපක්‍රමයකට යන්න.

5.හැකි හැම අවස්ථාවකම දරුවා , සමාජයත් එක්ක එකතු කරන්න , මිතුරන් එක්ක එක්වන්නට දිරිමත් කරන්න. පාසලේ ගුරුවරුන් සමඟින් දරුවගේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන්න .

6.හැම අවස්ථා වකදිම දරුවට උපදෙස් දීමෙදි , පැහැදිලිව , කළබල නැතිව ඒ උපදෙස දෙන්න . ඒ සමඟින්ම අදාල උපදෙස  ක්‍රියාත්මක නොකලොත් සිදුවන “අවාසිය“  ගැනත් කියල දෙන්න . 

7.කිසිම අවස්ථාවක දෝෂාරෝපණය කිරීම , කායික දඩුවම් කිරීම කරන්න එපා . 

8. දරුවාගේ ප්‍රගතිය ගැන හඳුනගන්න , සටහනක් තබා ගන්න , මුල් අවස්ථාව සහ දැන් තත්ත්වය පිළිබඳ අගයුමක් කරගන්න .මෙහි ප්‍රතිපල පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමඟත් සාකච්ඡා කරමින් ඉවසීමෙන් ඉදිරියට යන්න.

තව දුරටත් මේ ගැන දැන ගන්න කැමති ඔබට http://www.aacap.org/ වෙබ් අඩවිය මඟින් මීටත් වඩා විස්තර දැන ගන්නට පුළුවන් . 

නමුත් මේ ඔක්කෝම විස්තර කියවුවත් , ඔබේ දරුවගේ මේ කියන ලක්ෂණ වැඩි ගණනක් , දැනට මාස හයකට වඩා තිබෙනවා නම් ක්‍රියාත්මක වෙන්න. ඔබටම මේ ක්‍රියාත්මක වීම ආරම්භ කරන්න පුළුවන් , නමුත් හැකියාවක් ඇත්නම් රජයේ රෝහලේ මානසික සෞඛ්‍ය සායනයේ හෝ පෞද්ගලික රෝහලකදි ළමා මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා , ළමා රෝග විශේෂඥවරයා හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී උපදෙසක් ලබා ගන්න එක වැදගත් වේවි.

එහෙම නම් අදට සමුගන්නවා , නැවත හමුවෙන පැතුමින් .
ඔබට සුව සතුට පිරි දිනයක් .

ADHD  ගැන ලිපියට http://www.nursinglk.com/2011/07/27-adhd.html

ඔය ඔටිසම් ඔටිසම් කියල කිව්වට , ඒ ගැන කියවල නැත්නම් මෙන්න මේ ලිංක් එකෙන් ඒ ලිපි බලන්නත් පුළුවන් .
http://www.nursinglk.com/search/label/Autism%20Spectrum%20Disorders


Tempur tantrum අවස්ථාවට පත්වුනු දරුවෙක් 

14 comments:

  1. තවත් වටිනා ලිපියක්. මව්බිමේ නොසිටියත් ප්‍රජාව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබ දක්වන කැපවීම විශිෂ්ඨයි අයියේ. කාලෙකින් මේ පැත්තේ ආවෙ. සුබපැතුම්....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රදිප් මල්ලී , මේ මාතෘකාවෙදි ඔබේ දැනුමින් (උපදේශනය පිළිබඳ) මීට වඩා ප්‍රායෝගික සේවාවක් අපේ ජනතාවට කරන්නට පුළුවන් වන බව මට විශ්වාසයි .

      Delete
  2. මෙහෙම දරුවන් මාත් දැක තිබෙන වග මතක් වුනා මේ ලිපිය කියවද්දි. බොහොම අගනා සටහනක්. අගනා මෙහෙවරක්. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන අපි අතරේ 15-16%ක් විතර මේ වගේ දරුවන් ඉන්න පුළුවන් , නමුත් ඒ බව තේරුම් ගන්නේ , පිළිගන්නේ කීදෙනාද ,  කියන එක තමයි ගැටළුව .
      ස්තුතියි ඔබට

      Delete
  3. මෙය ඖෂධ දීමෙන් සුව කළ නොහැකි , මවුපිය වැඩිහිටි අවධානය හොඳින් එවැනි දරුවන් වෙත යොමු කර, බුද්ධියෙන් විසඳාගත යුතු තත්ත්වයක් . ඒ වගේම දෙමාපියන් අන් අයගේ විවේචන හා සෘණ බලපෑම්වලින් දරුවා ආරක්ෂා කරගැනීමට වග බලා ගත යුතුයි කියල හිතෙනවා .
    …හොඳ ලිපියක් .

    ReplyDelete
    Replies
    1. ඔව් , මෙම අසාමාන්‍යතා කාණ්ඩයේදීම දෙමාපියන්ට ඇති වගකිම , බර ඉහළයි ,
      ස්තුතියි ඔබට

      Delete
  4. Godak watina lipiyak aiye..
    Blog eka danuma aakarayak.

    Niyamai.. Hankawisiyakwath me dewal gana nodanna apiwa danuwath karanawata godak sthuthi !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අගය කිරීමට ,

      Delete
  5. හොද වටිනා ලිපියක්. හැමදාම වගේ ඔබ බෙදන දැනුම ඉතාමත්ව අගය කරනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ අගය කිරීමට !

      Delete
  6. කැනඩාවේ ඉගෙන ගන්න ඔබේ දරුවන් හරිම වාසනාවන්තයි කියල හිතෙනවා ඔවුනුත් පොඩි මානසික රෝග තිබෙන දරුවන්ව මනා අවබෝදයකින් බලාගන්නවා කියල ඇහුවහම. ලංකාවේ නම් ගුරුවරයා ළමයට දරාගත නොහැකිලෙස දඩුවම් කරණවා ඇරෙන්න කිසිම විසදුමක් දෙන්නේ නෑ. ඒවා ගැන දන්නෙත් නෑ. මගේ දරුවන් පාසල් යවන්න කලින් මමත් දරුවන්ට හොදට සලකන රටකට යන්න ගත්ත තීරණේ ඉතාම නිවරදියී කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන් මගේ ස්තුතිය. ඇත්තෙන්ම අපේ රටෙත් ළමා මානසික ගැටළු පිළිබඳට මීට වඩා අවධානය යොමු විය යුතු කාළය එළැඹිලා කියල දැන් සිදුවන දේ අනුව සිතෙනවා . එය එසේ වේ නම් !

      Delete
  7. හරිම වටිනා ලිපියක් .හුගක් ස්තුතියි .

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)