2014/02/19

156) සැබෑ වෙනවා නම් හීනයක් . l !

අද තවත් මරණයක් ! ... නැහැ , සිය දිවි නසා ගැනීමක් ,


ගැටේ කපන්නට 
“ දැන් හැමදාමත් වගේ මාධ්‍යවල සිය දිවි නසා ගැනීම් ගැන සඳහන් වෙනව. එක්කෝ විශ්ව විද්‍යාලයක සිසුවෙක් නවක වදයට මුහුණ දෙන්න බැරිව , නැත්නම් තව කෙනෙක් ඔළුවෙ කැක්කුමක් දරා ගන්න බැරිව , තව කෙනෙක් අහිමි වූ පෙමක් නිසා , තවත අයෙක් කෙනෙක්ගේ තර්ජනයක් නිසා .... තව කෙනෙක් ...තවමත් සොයා නොගත් හේතුවක් නිසා .....ඔය විදියට නානාප්‍රකාර හේතු ඔස්සේ , තම ජීවිතය නිමා කරගන්නා පිරිස , නිමා කරගන්නට තැත් දරන පිරිස ක්‍රමයෙන් වැඩිවන වගක් පෙනෙන්නට ඇත්තේ . මේ සඳහා විවිධාකාර හේතු දුන්නත් , මේ සියල්ල තුල ඇති එක සත්‍යයක් තිබෙනවා , මානසික තත්ත්වයේ බිඳ වැටීම , සහ ඒ අවස්ථාවේ ඒ බිඳ වැටීම හඳුනාගන්නට  , එයින් නැගිටින්නට අවශ්‍ය උපකාරය , සහය නොලැබීම කියන කාරණේ . 


කෙනක් සියදිවි නසා ගත්තාට පස්සේ , එය රසකරමින් “විකුණනවාට“ වඩා  වැදගත් , තවත් කෙනෙක් මේ තත්ත්වයට පත්නොවන තැනට කටයුතු , සැලසුම් සිදු කෙරෙනවා නම් . නමුත් අද ජනමාධ්‍ය බොහොමයක වගේම සමාජයේ හැසිරීමත් ඒ වගේද කියල ටිකක් හිතන්න ඕන ....

 “සොඳුරු සුව අසපුව“ තුල මේ පිළිබඳ මීට පෙර ලිපි කිහිපයක කතා කළ නිසා නැවතත් “සියදිවි නසා ගැනීම්‘‘ ගැන කතා කරන්නට නොවෙයි මේ සූදානම . නමුත් එය වලක්වා ගැනීමේ ප්‍රායෝගික සහ සක්‍රිය  ක්‍රියාදාමක අවශ්‍යතාව පිළිබඳව නැවත නැවතත් ඔබට මතක් කරන්නටයි මේ ලිපිය .

මීට  පෙර ලිපියක කතා කළ පරිදි (153) කළට පෙර පරව යන මල් කැකුළු රැක ගන්න ..) සිය දිවි නසා ගැනීම් බොහොමයක් , පෙර වලක්වා ගත හැකිව තිබෙනවා ඒ පිළිබඳව දැනුවත් , සහ අවබෝධයක් ඇති වටපිටාවක් අපට ඇත්නම් , මේ ලිපිය තුල කතා කරන්නට උත්සාහ කරන්නේ අන්න ඒ වටපිටාව සකසා ගන්නට , ගත හැකි උපක්‍රම කිහිපයක් .

මේ ක්‍රියාදාමයේදි , අපි කළ යුතු පියවර කිහිපයක් තිබෙනවා , ඒ 
1. දැනුවත් කිරීම
2.සම්පත් ගොඩනැංවීම
3.අගැයුම් සහ පර්යේෂණ පවත්වා ගැනීම

අපි මේ එකින් එක ටිකක් විස්තර එක්ක කතා කරමු , හැබැයි මම කතා කරන්නේ මගේ දැනුමේ ප්‍රමාණයට නිසා , ඔබ සැමගේ අදහස් උදහස් වල එකතු වුනොත් තමයි මෙහි නිසි රසය ලැබෙන්නේ . ඒ වගේම මෙහෙම ආරම්භ කෙරෙන කතා බහ නිකම්ම පල්හෑළි ගොඩක් නොවී , මෙතැනින් ඉදිරියට ගෙනයන්නට කටයුතු කෙරෙනවා නම් එය සතුටක් . එතැනදි , මේ ලිපි කියවන ඔබේ වගකීම ඉහළයි , විශේෂයෙන්ම මෙතැනදි ජනමාධ්‍යකරුවන්ට ලොකු වගකීමක් තිබෙනවා , ඒ මෙය උඩ යට යන මාතෘකාවක් නොකොට , දිගින් දිගටම ජනතාව අතරේ රැඳෙන , ඒ ඔස්සේ , ජනතාවට “ඕනෑ කරන“ මාතෘකාවක් බවට පත් කරන්නට. ඒ ඔස්සේ පවතින දේශපාලන ප්‍රවාහය තුලට “ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම“ කියන එක , ගැසට් පිටුවකට හිර නොකොට එහෙම නැත්නම් ප්‍රජා මානසික දිනය සැමරුම කියල “කිරිබත් කන“ උත්සව විතරක් නොවී  , ක්‍රියාකාරී සැලැස්මක් ඔස්සේ සිදුවන තවත් එක් අතවශ්‍ය සේවාවක තත්ත්වයට ගෙන එන්නට පුළුවන් ඔබට .

දැන් නැවතත් කතාවට . මේ කර්තව්‍ය ආරම්භ කරන්නට නම් කළ යුතුම දේ 

දැනුවත් කිරීම 

මේ යටතේ අපිට කරන්නට ලොකු දෙයක් තිබෙනවා , ඒ තමයි මානසික රෝග / මානසික  ගැටළු පිළිබඳව අද සමාජය තුල ඇති මතය වෙනස් කරන එක. ඔව් ඒක ඒ තරම් ලෙහෙසි , සරළ , කෙටි කළකින් කරන්න පුළුවන් දෙයක්ද කියන එක ප්‍රශ්නයක් , නමුත් කරන්න පුළුවන් . සියයට සියයක් නොවනත් වැඩි පිරිසක් තුලට මෙය ගෙන යන්න පුළුවන් . (ඔබට මතක නම් ලාදුරු ,ක්ෂය රෝගය වැනි තත්තව පිළිබඳව මීට වසර 10-15ක් තිස්සේ කෙරෙන දැනුවත් කිරීම් , අද එය බොහෝ සාර්ථක බවක් පෙන්වනවා ) මෙන්න මේ කටයුත්තෙදි ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය , පුවත්පත් , රූපවාහිනි , ගුවන් විදුලිය වැඩි බරක් ගන්නට වෙනවා. සියදිවි නසා ගැනීම් , ඊට හේතු කාරක වන මානසික තත්ත්වයන් පිළිබඳ නිරන්තර දැනුවත් කිරීම් කෙරෙනවා නම් , එවන් මානසික තත්ත්වයකට පත්වූවෙක් හදුනගන්න විදිය , ඒ අවස්ථාවේ කළ යුතු , කී යුතු දේ ගැන අවබෝධයක් දෙනවා නම් එයම ප්‍රමාණවත් ආරම්භයකට . 

මේ මුලික දැනුවක් කිරීමේ ස්ථරයට පසුව , සමාජයේ තෝරාගත් පිරිසක් වෙත ඉහත කී කරුණු පිළීබඳව , තරමක සිද්ධාන්තමය , සහ ප්‍රායෝගික දැනුමක් ලබා දිය යුතු වෙනවා . මෙතැනදි තෝරා ගත් පිරිසක් කියන්නේ ගමක තරුණ සමාජයක , ක්‍රීඩා සමාජයක , නැත්නම් ගමේ තිබෙන සණස , කාන්තා සමිති වගේ පොදු කණ්ඩායමක කිහිප දෙනෙක් වෙන්නට පුළුවන් , සමහර විට ගමේ ඉන්න විශ්‍රාමික ගුරු මහත්මයෙක් , මහත්මියක වෙන්න පුළුවන්  . මේ පුහුණුව ලැබූ “නිළධාරින්ට“ අදාල පරිසරය තුල ඇති , පොලිසිය , රෝහල වගේ රජයේ ආයතන ආදිය සමඟ , මේ සම්බන්ධව සෘජුව කටයුතු කිරිමට හැකියාවක් වගේම පිළිගැනීමක් ලබා දීමත් හුඟක් වැදගත් වේවි. 


lastrealindians.com
මේ කණ්ඩායමට අමතරව හැම පාසලකම ඉන්න  ගුරුවරයෙක් සහ ගුරුවරියකට සියදිවි නසා ගැනීම් / මානසික ගැටළු හඳුනාගැනීම සහ ඊට යෙදිය හැකි පිළියම් , උපදේශනය වැනි ටිකක් සංකීර්ණ , නමුත් අතවශ්‍ය දැනුමක් ලබා දී , ඔහුට ඇයට  “ පාසලේ යොවුන් මිතුරු උපදේශක “  තනතුරක වගකීමක් එක් කරන්නට පුළුවන් නම් , ඒ සමඟින් තම තනතුරේ උසස්වීමක් , නැත්නම් වැටුපේ යම් වර්ධකයක් ලබා දෙන්නටත් හැකියාවක් ඇත්නම් ඉහළ සාර්ථකත්වයක් ලබා ගන්නට පුළුවන් . 

මේ ආයතනික පුහුණූ කිරීම් , පාසල් වලට පමණක් සීමා නොවී , විශ්ව විද්‍යාල ඇතුළු සියළු පුහුණු/ අධ්‍යාපන ආයතන වල ක්‍රියාත්මක  කෙරෙන ලෙස කටයුතු යෙදීමක රජයේ මැදිහත් වීමක් සහිතව  කරන්නට පුළුවන් දෙයක් . 

මේ පියවරට ඉදිරියට යමින්  , පාසලෙන් රෝහලට යන්නට වෙනවා . දැන් රෝහල් සේවාව තුල , මානසික උපදේශනය පිළිබඳ නිසි වෘත්තීය දැනුමක් සහිත නිළධාරින් ඉන්නේ සීමිත පිරිසක් . ඊළඟ පියවර විය යුත්තේ , එම “උපදේශනය Counselling “ වෘත්තීමය මට්ටමින් ඉහළ නැංවීම ,  ඒ යටතේ ඒ පාඨමාලාවන් තව දුරටත් පුළුල් කිරීම , බඳවා ගන්නා පිරිස , සහ පුහුණූ ලැබූවන් වෙත රැකියා යොමු කිරීම් වලදි ඵලදායී ක්‍රමවේදයක් භාවිත කිරීම වැනි උපක්‍රමික සැලසුම් ඉදිරි පියවර ලෙස ගැනීම වැදගත් වේවි . මොකද තවමත් “පවුල් උපදේශනයක්“ ගන්නට නම් කොළඹටම යායුතු තත්ත්වයක් පවතින්නේ , එය වෙනස්විය යුතු තත්ත්වයක් . මේ උපදේශන සේවාවන් , රජයේ අධීක්ෂණය , ලිංයාපදිංචිය යටතේ නිසි සංවිධානාත්මක අයුරින් පවත්වාගෙන යනවා නම් මේ සිදුවන අවාසනාවන්ත තත්ත්වයන් බොහොමයක් මගහරවා ගත හැකිය තිබේ යන්න මගේ විශ්වාසය . 

නමුත් පිළිගත් මට්ටමේ වෘත්තිමය මනෝ උපදේශකයෙක් බිහි කරන්නට කාළයක් යනවා , ඒ සිද්ධාන්ත දැනුම වගේම පුහුණූ මනෝඋපදේශකයෙක් යටතේ ලබා ගන්නා ප්‍රායෝගික පුහුණූවත් මේ සඳහා අතවශ්‍ය සාධක නිසා , මේ නිසා , මෙම ඉහළ මට්ටමේ ක්‍රියාදාමය කෙරෙන අතර , රෝහල් සේවා වේ සිටින  , වෛද්‍ය විද්‍යාම , මනෝ විද්‍යාව පිළිබඳ මේ වන විටත් උගත් නිළධාරින් ( වෛද්‍ය , හෙද , චිකිත්සක සේවා ) කණ්ඩායමක වෙත පෙර කී විෂයයන් පිළිබඳ , සහ උපදේශනය පිළිබඳව මූලික අවබෝධයක් සහිත පුහුණුවක් ලබා දී , ඔවුන් පළාතේ  ප්‍රධාන මනෝ උපදේශකයෙක්ගේ අධීක්ෂණය යටතේ (කවුරුවත් ස්ට්‍රයික් කරන එකක් නැහැනේ ?) ගමේ , ප්‍රදේශයේ රෝහලේ “යොවුන් මිතුරු උපදේශන සායනයක්‘‘ ලෙස ගොනු කරවන්නට පුළුවන් නම් ,  රෝහලට එන මෙවන් ගැටළු ඇති අයෙක්ට සෘජුවම මෙම “මිතුරන්“ සමඟ තමන්ගේ ගැටළුව , මානසික තත්ත්වය පිළිබඳ, තම පෞද්ගලිකත්වය රැකෙන සේ කතා කරන්නට පුළුවන් පරිසරයක් තැනෙනවා නම් එය ඊළඟ පියවරක් වේවි සිදුවන අවාසනාවන්ත සිදුවීම් රැල්ල , සීමා කරන්නට. 

මේ දැනුවත් කිරීම් , ඒ ඔස්සේ තෝරා ගත් පිරිසක් වෙත කෙරෙන විශේෂ දැනුවත් කිරීම් ආදියේදි , ප්‍රෙද්ශයේ , පොලිසිය , ආගමික ආයතන , රාජ්‍ය ආයතන වල සෘජු දායකත්වය ලැබීම මඟින් මින් ලැබෙන පලදාව වැඩි කරගන්නට පුළුවන් බවයි මා විශ්වාස කරන්නේ .


2. සම්පත් ගොඩනැංවීම
මේ යටතේ අපට කතා කරන්නට වෙනව ප්‍රධාන අංග දෙකක් යටතෙ , ඒ මානව සම්පත් සහ භෞතික සම්පත් සංවර්ධනය , මෙයින් මානව සම්පත් ගැන යම් ප්‍රමාණයක් දැනටමත් කතා කළ නිසා ආයෙත් ඒ ගැන කතා කරන්නට යන්නේ නැහැ , තවත් තිබෙනවා ඔබටත් ඒ කාරුණු  එක් කරන්නට පුළුවන් .

භෞතික සම්පත් යටතේ , මෙවන් ගැටළු වලදී  අදාල පුද්ගලයාට , තමන්ගේ ගැටළුව කියා ගන්නට , විසඳුමක් ඉල්ලන්නට පහසුකම් ලබා දිය යුතු වේවි. මේ සඳහා ප්‍රදෙශයේ රෝහල , සායනය තුල “විශේෂීත සායනයක්“ පවත්වා ගන්නට හැකියාවක් පහසුකමක් ලබා දෙන්නට අදාල නිළධාරින් කටයුතු කළ යුතු වේවි. එතැන මෙවන් පුද්ගලයින්ට අවශ්‍ය උපදේශනය සැපයීම වගේම අවශ්‍ය වේනම් ඖෂධීය ප්‍රතිකාර ලබා දීම සදහාත් වෛද්‍යපහසුකම් සකසා තිබීම මෙම පියවර ඵලදායක කරන්නට සාධකයක්.


මෙය විදේශ රටක භාවිත කෙරෙන්නකි ...උදාහරණයක් සඳහා පමණි 
මේ යටතේදී නව තාක්ෂණය අපට ප්‍රෙයාජනයට ගැනීමේ හැකියාව ඉහළයි . මෙවන් ගැටළු සෘජුවම කතා කරන්නට හැකියාවක් වැනි දුරකථන සේවාවක් ලබා දීම , ඒ වෙනුවෙන් රටපුරාම භාවිත කළ හැකි එක් දුරකථන අංකයක් ලබා දීම සහ එය ප්‍රචලිත කිරීම බටහිර රටවල නම් නිසි ලෙස යොදා ගන්නා සේවාවක් . එවන් දුරකථන සේවාවක් ඔස්සේ , මෙවන් ගැටළු ඇති අයෙක්ට , තම පෞද්ගලිකත්ව ඉහළීන්ම රැක ගනිමින් , තමගේ ගැටළු නිදහසේ කියා ගන්නටත් , ඊට නිසි පිළිතුරක් , උපදෙසක් ලබා ගන්නටත් හැකියාව තිබෙනවා .මේ දුරකථන සේවාවට අමතරව , අන්තතර්ජාල භාවිතයෙන් චැට් සේවාවක්  , ස්කයිප් තාක්ෂණය , ෆේස්බුක් වැනි දේම යොදා ගනිමින් (මෙන්න ෆෙස්බුක් එකේ කෙරෙන හොඳවැඩ ෆේස්බුක් ඉන්නවා නම් ගිහින් බලන්න  https://www.facebook.com/800273TALK
)  , පිළිගත් උපදේශන සේවාවක සහය නොමිලේ ලබා ගන්නට සලස්වා දෙන්නට රජයට පුළුවන් නම් එය මුදල් විනාශ කිරීමක් නොවේවි (මේ එවන් ක්‍රියාත්මක වීමක් , http://www.suicidepreventionlifeline.org/ ) , නිරෝගිමත් හෙට දවසක් වෙනුවෙන් කරන ආයෝජනයක් එය .  එම පොදු දුරකථන අංකය නැත්නම් අනෙක් විධික්‍රම ප්‍රජාව තුලට ගෙනයාමෙදී ජනමාධ්‍ය වගේම ප්‍රවාහන සේවා වල සහයත් ලබා ගන්නට පුළුවන් , ඒ නිරන්තරයෙන් ඇස , කණ ගැටෙන ප්‍රචාරණ ක්‍රමවේදයක් මඟින්. අද සියදිවි නසාගැනීම් වලදි තාක්ෂණය භාවිතයත් හේතු වන නිසා , ඒ ඔස්සේම ඔවුන්ට උපකාර කරන්නට පුළුවන් නම් එය හොඳ උපක්‍රමයක් .




මේ ලිපිය ලියත්දි චූටි දුවගෙන් මට ලැබුණු තෑග්ගක් ...
මේ පාසල් වල හැම දරුවෙක්ටම මෙම දුරකථන අංක පිළිබඳ ,
උපදේශන සේවා පිළිබඳව දැනුවත් කෙරෙනවා  

මේ තාක්ෂණීක ක්‍රම ඔස්සේ සේවා ලබා දීම , රජයේ උපදේශන සේවාවක / සෞඛ්‍ය ආයතනයක මැදිහත් වීම මඟින් ලබා දීම තුල , සේවාවේ තත්ත්වය හොඳන් පවත්වා ගන්නට රැකුළක් වෙනවා.



3. අගැයම් සහ පර්යේෂණ 

මේ යටතේ දි , අප පෙර කළ කී සියළු සිදුවිම් ,ඒ කීවේ ගැටළු ඇති අව සමඟ සාකච්ඡා කිරීමේ සිට උපදේශනය ලබා දීම නැත්නම් ඖෂධ ප්‍රතිකාර ලබා දීම ඒඔස්සේ ලද පල - අපල සියල්ල යම් මධ්‍ය ආයතනයක් වෙත රැස් කරගැනීම් , අනාගත සැලසුම් වලදි වැදගත් . නිසි සැලසුමක් සහිතව මේ කටයුත්ත ක්‍රියාත්මක කෙරෙනවා නම් මේ අගැයුම් සහ පර්යේෂණ කටයුත්ත සාර්ථක කරගන්න පුළුවන් , විශේෂයෙන්ම අද , තාක්ෂණයෙ , ජංගම දුරකථනය වැනි දේ ජනතාව තුල පොදු භාණ්ඩයක් වන තරමට සරළ වෙලා පවතින කාළෙක මේ පියවර සාර්ථක කරගන්නට එතරම් අපහසු වෙන එකක් නැහැ .


මේ පියවර ටික ගැන මෙහෙම සරළව කතා කළාට , මෙය ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වීමක් වන තුරු ගැටළුවට නිසි පිළිතුරක් ලැබෙන ඉඩ අඩුයි ,  ඒ නිසා මෙවන් දේ ගැන රජයේ නිසි මැදිහත් වීම අතවශ්‍ය සාධකයක් , ඒ සඳහා රජය පෙළඹවීම ඔබ , අප සැමගේ කාර්යභාරයක් .

සාරාංශයක් විදියට කැටි කළොත් විය යුතුදේ ...

පොදු දැනුවත් කිරීම් , ගම් මට්ටමෙ කණ්ඩායම දැනුවත් කිරීම් , තෝරා ගත් සම්පත්දායකයින් නිර්මාණය කිරීම , පාසල් , අධ්‍යාපන ආයතන , වෘත්තීය ආයතන වල විශේෂිත දැනුමක් සහිත පහසුකම් ඇරඹීම , රෝහල් , සායන සහ ඊට අවශ්‍ය මානව , භෞතික සම්පත් ලබා දීම , මානසික ගැටළු පිළිබඳ කතා කරන්නට  , උපදෙස් ගන්නට පොදු දුරකථන සේවාවක් , වෙනත් අන්තර්ජාල සේවාවක් හඳුන්වා දීම , සහ මේ සියළු විමසුම් ,අගැයුම් කිරීම ...

වැදගත්ම දේ මේ ක්‍රියාවලිය , තනි ස්ථරයක් නොවී ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක කොටසක් ලෙස , කුමන දේශපාලන මතය බලයට ආවත් දිගු කාළීනනව ක්‍රියාත්මක කරන්නට හැකි නම් , එය අනාගතයට කරන ආයෝජනයක් බව කිව යුතුමයි 
.
.
.
.
.
.
.
“........ මහේෂ් ..... වෙලාව හරි ලොකුව බස් එකට එක්ක යන්න , .....
නෑහ් .. වෙලාව කීයද ? ....අටයි ...  
කළබලේට ඇඳුමක් දාගත්ත , රස්නේ පිටින්ම කිරි එකත් කටට දාගත්ත ...
හරි යං .....මම ස්නෝ ටික අයින් කරන්නම් ඔය සපත්තු දාගෙන එන්නකෝ ....

අද හොඳ දවසක් ... පහුගිය දවස් ටිකේ විනාඩි දහයක් පහලොවක් හිම සුද්ධ පවිත්‍ර කරන්න එපාය ...අද නම් පොඩි රස්නෙකුත් එක්ක ...

ම්.... ......එතකොට මොකක්ද අර මං ලිව්වේ  ... ...? ? ? ? ? ? ? ? ? 

දැන් නේ තේරුනේ .. මම අර ලියල තියෙන්නේ හීනෙන් ,දැකල තියෙන්නේ හීනයක් ,  ....අනේ මන්ද හීනෙන් උනත් ලියවුනු දේ කෙරෙනවා නම් හීනයක් නොවී ..කොයි තරම් සුන්දරද හෙට දවස ...


-----------------------------
පසුව එක් කළෙමි ...
(මේ පෝස්ට් එකට ලැබුණු කොමෙන්ට් ටිකට පිළිතුරු දෙත්දි මගේ ඥාති දියණියක සමඟ වුනු කතා බහකදි “සියදිවි නසා ගැනීම“ කොයිතරම් බෝවෙන රෝගයක්ද කියන හිතෙන තරමේ දෙයක් දැන ගන්නට ලැබුණේ .... ඒ තවත් තරුණ දරුවෙක්ගේ මරණයක් ගැන , අනේ මන්දා දැන් සියදිවි නසා ගැනීම බෝවන රෝගයක් වගේ තරුණ දරුවන්ගේ  ජීවිත වලට එබිකම් කරනව වගේ දැනෙනවා ) 

බෝවෙන අවාසනාවද ? ....



21 comments:

  1. හොඳ දැනුවත් කිරීමක්...වැඩි දෙනෙකු අතට පත්වෙන්න ඕනේ ලිපියක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , පුළුවන් කෙනෙක් මෙය තවත් කෙනෙකු අතට පත් කරන්නට උත්සාහ කළොත් එය උපකාරයක් ..මට නොවේ අපි හැමෝටම ....

      Delete
  2. ජනමාධ්‍යකරුවො වැඩිපුරම කරනවා පේන්නෙ අදාල සිද්දිය ඒ මේ අතට හරව හරවා අළුත් අළුත් විදියට එකම විස්තරේ පල කරන එක, මිනිස්සුන්ගෙ හිත් ඇදගන්නා මාතෘකාවලුත් එක්ක... ඒ වගේ නිව්ස් විකුණන්න ලේසි හින්දා වෙන්න ඇති...

    ඩිප්‍රෙෂන් වගේ මානසික රෝගවලට අද අපේ රටේ මොකක් හරි කවුන්සලිං ක්‍රමයක් තියෙනවද...? එහෙම අයට හදිසියකට කතා කරන්න පුළුවන් හොට්ලයින් එකක් වගේ දෙයක්...?

    ඔබගේ යෝජනා හරිම ප්‍රායෝගිකයි කියලයි මට හිතෙන්නෙ... ඒකට මොකක් හරි සංවිධානයක්වත් සහභාගි කරගෙන ප්‍රබල හඬක් නගන්න පුළුවන් නම් රජයෙත් ඇස් ඇරෙන්න එක්ක... මාධ්‍යවලට මේ වෙලාවෙ ඒ වෙනුවෙන් ලොකු වැඩක් කරන්න පුළුවන්, රටේම මේ ගැන අවධානය යොමු වෙලා තියෙන නිසා... අපේ රටේ මිනිස්සු මතෙන් ඈත් කරන්න සුමිත්‍රයෝ වගේ සංවිධාන, කාන්තාවන්ට පිහිට වෙන කාන්තා පිහිට වගේ සංවිධානත් තියෙනවා... ඒත් අපේ රටේ මිනිස්සු කොයි තරම් දුරට ඒවායින් ප්‍රයෝජන ගන්නවද කියන එක සැකයක්... ඒවා තියෙන්නෙත් කොළඹ විතරයි මං හිතන්නෙ...

    මේ ඕස්ට්‍රේලියාවෙ මේ ගැන තියෙන වෙබ් සයිට් එකක ලින්ක් එකක්...
    http://suicidepreventionaust.org/

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම හොඳට නරකට දෙකට .......ජනමාධ්‍යය කියල තමයි අද කියන්න වෙලා තියෙන්නේ. නමුත් එය නිවැරදි දෙසට හරවා ගත යත්තෙත් පාඨක අපමයි මට හිතේනනේ , 

      යම් තරමක පහසුකම් තිබෙනවා ප්‍රධාන රෝහල් වල මානසික සායන අනුබද්ධව නමුත් ඒවායේ ක්‍රියාත්මකබව සහ ඵලදායි බව ගැන ගැටළු නැත්තෙම නැහැ ,

      ඔව් ඔබ කියන කතාව හරි , තවමත් අපේ රටේ මිනිස්සු මේ දේවල් වලින් කොයිතරම් ප්‍රයෝජන ගන්නවද ? ඊට පෙළඹෙනවද කියන එක තමයි ප්‍රශ්නේ , ඒකට හේතුවත් මට හිතෙන්නේ මානසික සෞඛ්‍ය ගැන අපි හිතන ආකාරය වැරදියි , හිත්නනේම “පිස්සු“ කියන වචනේ ගැන විතරයි . ඒක වෙනස් කරන්න පුළුවන් මේ පියවර ඔස්සේ නිසි ලෙස යොමු වෙනවා නම් , කාළයක් යාවි , නමුත් කළ හැකියි .

      නැවතත් , ස්තුතිය ඔබට සරු අදහසක් එක් කළාට ....

      Delete
  3. ඔබට හැකිනම් මේ ලිපිය සති අන්ත පුවත්පතකට යොමුකරන්න. හැබැයි තමන්ගේ අම්මාගේ ඇඳිවත හදිසියේ ලෙහුනත් එකත් ප්‍රවෘත්තියක් කරගන්නා ජඩ මාධ්‍යවල නම් මේ ලිපිය පලකරන එකක් නැහැ.

    අපි හිතාගෙන ඉන්නවා අපේ ළමයි උගත් කියලා. වැරදිලා තියෙන්නේ අපිටමයි. උගත් කියන්නේ විභාග සමත්වීම නොව ලෝක විෂයය ගැන දැනුම කියන එක මුලින්ම උගන්වන්න ඕනේ දෙමවුපියන්ට.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේ මාතෘකාව ගැන පෙළඹවිමක් කළ යුතුම කාළයයි මේ මට හිතෙන විදියට . ඒ සඳහා ජනමාධ්‍ය වෙත බලපෑමක් කරන්නටත් සුදුසුම කාළය .

      ඇත්තෙන්ම ඔබ කියන දේ තමා විය යුත්තේ , උගත් කියන්නේ “ජීවත්වීමේ කුසලතාව“ වර්ධනය කර ගැනීමක් කියලයි මට හිතේන්නේ ... ස්තුතියි මිතුර ඔබට ...!

      Delete
  4. වටිනා ලිපියක්,ඔයා පබ්ලිෂ් කරපු වෙලේ කියවන්න ගත්තා ,ඔක්කොම කියෝලා ඉවර වුණාට පස්සේ කල්පනා කර කර හිටියා ටිකක් කොමෙන්ට් නොකර ඊට පස්සේ තෙහෙට්ටුවට නින්ද ගිහින් මේ නැගිට්ට ගමන් මයි , පල්හෑලි කියෝන සිංහල පාඨකයන්ට ඉතාම වටිනා දැනුම් ගොන්නක්.. මං කොපි කරන් කීප දෙනෙක්ට මේල් කළා ,, ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපුර්වි , හිතට ආපු දේ ලියාගෙන ගියා මිසක , වැඩි පිළිවෙලක් කරන්න වුනේ නැහැ , ඒත් මේ ඔස්සේ කෙනෙක් ක්‍රියාත්මක වෙන්නට උනන්දු වෙනවා නම් එයයි සතුට , 
      හැමදාමත් වගේ මේ පැත්තට ඇවිත් අදහසක් එක් කරනවාට , මේ අදහස් බෙදා ගන්න එක්වනවාට ස්තුතියි නැවතත්

      Delete
  5. මේ වගේ වටිනා ලිපි බ්ලොග් අතරම වැලලිලා යන එක ගැන තියෙන්නෙ දුකක් .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි , ඇත්තෙන්ම සමහර වෙලාවට මේවගේ දේ ලියල වැඩක් ඇත්ද ? කියල හිතෙන අවස්ථාත් නැතුව නොවෙයි , මීට වඩා හොඳයි “කුණුහරුප ටිකක් , හිස් කුණූ කන්දල් ටිකක්“ ලියල , “නියමයි“ , “මරු“ , “මෙන්න පෝස්ට් !“ වගේ කොමෙන්ට් ටිකක් අරගෙන “හිත පුරවා ගන්න “ එක කියල .එත් ඒ “පිරවීම“ මට දැනෙන්නෙ “හිස් බවක්“ ඒ නිසා මෙවන් දේත් ලියනවා , කැමැත්තෙක් කියවාවි , කැමැත්තෙක් බෙදා දේවි , ඒත් එකක් විශ්වාසයි ඔබවන් සහෘදයන් සිටිනතුරු “සොඳුරු සුව අසපුව“ ලිපි පෙළ තනි නැති බව .

      Delete
  6. බ්ලොග් ලියන අය එන්න Lanka Blogs සින්දිකෙටර්යට ලංකවේ වැඩිම ලිපි ගනනක් පල වෙන සින්ඩිකෙටරයට එන්න අමතක කරන්න එපා . http://lankablogs.com

    මේ Commnet එක මකන්න එපා puluvnm අපිට හෙල්ප් එකක් දීපන්

    ReplyDelete
    Replies
    1. ස්තුතිය මිත්‍රයා , සිංහල බ්ලොග් වෙනුවෙන් ඔබ වෙන වෙහෙස අගය කරමි .

      Delete
  7. පොදු ක්‍රම (මාධ්‍ය) මගින් මේ ආකාරයේ තොරතුරු ලබා නොදෙන එක තමයි ලංකාවෙනං වෙන්නෙ. ඒවයෙ පෙන්නන දේවල් වලින් තවත් මොලේ කචල් වෙන එක තමයි වෙන්නෙ. අනික එහෙම පෙන්නුවත් ඒක බලන්නෙ කී දෙනෙක්ද කියන එකත් ප්‍රශ්නයක්. මොකද මෙගා එකක් වගේ ඕක රසවත් නොවෙන නිසා.

    නියම ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න , ඇත්තෙන්ම මිනිස්සුන්ට ඒවයේ වටිනකම දැනුනොත් විතරයි බලන්නේ , අද වෙලා තියෙන්නෙ හිතේ තියෙන බර හෑල්ලු කරගැනීම මූලික අරමුණ නිසා , පෙන්නන “අඳෝනාවක්“ බලල , ඒකට හිනාවෙලා ,නැත්තං අඬලා නිදා ගන්න එක. ඒ නිසා කළ යුතු දේ මානසික සෞඛයේ වැදගත් කම ටිකෙන් ටික මිනිස්සු අතරට ගෙනියන එක . මතකද ලාදුරු ගැන , ක්ෂය රෝගේ ගැන ජනතාව අතර ගෙනා සීරූව ..අන්න ඒ වගේ මේකත් වැදගත් වෙන දවසක් ඒව් . ඒ දවස ඉක්මණට ගෙන්වා ගන්නයි දැන් අවශ්‍යතාවය.
      ස්තුතිය නැවතත් මිතුර

      Delete
    2. ලාදුරු ගැන ඉදිරිපත් කරපු හොඳම වැඩසටහන තමයි 'ඉර පායා' ටෙලි නාට්‍ය. ඒකෙ මිනිස්සුන්ට බලන්න පුලුවං කතාවක් වගේම ලාදුරු කියන්නෙ සනීප කරන්න පුලුවං රෝගයක්ය කියන පණිවිඩය හොඳින්ම මිනිස්සු අතරට ගෙන ගියා. ඇයි දැන් ඒ වගේ ඒව කරන්න බැරි කියන එකයි පුදුමෙ.

      Delete
    3. ඔව් ඔබ කියන දේ තමා මමත් අදහස් කළේ , එදා ඒ ටෙලි නාටකයට අපි තොයිතරම් ආදරය කළාද ? ඒ අතරේ අපිටත් නොදැනිම ලාදුරු කියන රෝගය ගැන දැනුවත් වෙන්නට පුළුවන් වුනා එදා. නමුත් අද “අඳෝනාවන් ,අවාසනාවන්“ පිරුණූ ටෙලි නාටක ප්‍රමාණය වැලුවම , ඒවම මේ සියදිවි නසා ගන්නට හේතු කාරක වෙනවද කියල හිතනවා . ( දැන් මේක මතක් වුනොත් අපේ දේශපාලනකරුවන් ටෙලි නාටකත් නවත්වයිද දන්නේ නෑ :)
      ස්තුතියි ඔබට

      Delete
  8. මම කාලෙකට පස්සෙ අපේ බ්ලොග් සහෘදයෙකු වූ සාබිත්ගෙ බ්ලොග් එකට ගියාට පස්සෙයි අද මේක දැක්කෙ... මේකෙ සඳහන් වෙනවා සාබිත් ගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ සිය දිවි නසා ගැනීම සම්බන්ධව ලියපු ලිපියක්... ඒකෙ සඳහන් කරල තියෙනවා මේ වගේ ඒවට සහය දක්වන ලංකාවෙ රාජ්‍ය නොවන ආයතනයක් ගැන... හැකි නම් කියවන්න...

    http://sabithl.blogspot.com.au/2013/09/suicide-hot-line.html#more

    ReplyDelete
    Replies
    1. මේකත් දැම්මා ඔන්න...

      http://cccfoundation.org.au/cccline/

      Delete
    2. බොහොම ස්තුතියි ඔබට , මේ සොයා දීම හුඟක් වටිනවා , විශේෂයෙන්ම මේ ලිපිය කියවන ශ්‍රී ලාංකික සැමට හුඟක් ප්‍රෙයා්ජනවත් වේවි කියල හිතනවා .
      මෙම 1333 අංකය ක්‍රියාත්මක සහ නිසි පහසුකම් සළසන තත්ත්වයේ අදට පවතීනම් කෙතරම් අගය කළ යුතු දෙයක්ද ? .. නමුත් මේ වගේ  වටිනා අංකයක්“ පිළිබඳව අපේ රටේ හුඟ දෙනෙක් නොදන්නා බවක් තමයි මටනම් හැඟුණේ.
      නැවතත් අතිශ්‍යයින් ස්තුති වන්ත වෙනවා ඔබට මියුරු .
      ඒ වගේම මේ කියවන , මේ කරුණ පිළිබඳ සංවේදී , සහ තවත් අයෙක්ට උපකාර කරන්නට තරම් හිත ඇති අයෙක් , මේ අංකයට අමතා , එය ක්‍රියාත්මක තත්තවයේ පවතීනම් එම ආයතනය මඟින් ලබා දෙන පහසුකම් සේවා වල වර්තමාන තත්තවය පිළිබඳව කොමෙන්ටුවක් ලෙස සඳහන් කළොත් එය මේ වටිනාකම තවත් ඉහළනංවාවි.
      ස්තුතියි මේ ලිපියට වටිනාකමක් දුන්නාට

      Delete
  9. මහේෂ්ගේ ලිපියේ මගේ සිත් ගත්තේම පර්යේෂණ සහ ඇගයීම් ගැන ඔබේ අදහසට..
    මානසික සෞඛ්‍යය වෙනුවෙන් අපි තවමත් අපට හරියන ක්‍රම වලට හැඩගැසිලා නැහැ..බටහිරින් පැමිණෙන ක්‍රම හැරුනාම..ඒත් අපේ සමාජයට අනුකූලව ප්‍රතිකාර ක්‍රම රෝග විනිශ්චයන් වෙනස් වෙනවා නම් වටිනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ... අපේ රටේ ඒතරම් අගය කරන්නේ නැති මාතෘකාවක් නොවැ අගැයුම් සහ පරියේෂණ .විශේෂයෙන්ම මේ විෂයෙදි අපේ රටට අදාල පර්යේෂණ සහ අගැයුම් ප්‍රමවේදයක් අව‍ශ්‍යම වෙනවා, හේතුව අපේ රටේ සංස්කෘතික , සමාජයීය සහ ආර්ථික හැසීරීම් බටහිර රටවලට වඩා වෙනස්කම් දක්වන නිසා .
      නැවතත් ස්තුතිය ඔබට හැමදාම ඇවිත් දිරි සරු අදහසක් දෙනවාට.

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)