2014/02/11

153) සිහිනයක් පමණක් නොවූ අතීතය ...


අද වෙනස්ම කතාවක් ....

කෙනෙක්ට අකුරක් , නිවැරදි යමක් උගන්වනවා කියන්නේ මුළු ආත්මයම සතුටින් පුරවන සුන්දර ආශ්වාදයක් , එයින් උගත් දරුවෙක් අපටත් ඉහළ තළයක ඉන්නවා දකින එක ඊටත් එහා ගිය කියා නිම කරන්නට බැරි සතුටක් ...මේ මට දැනෙන දේ ඔබටත් පොදු ඇතැයි මම හිතනවා ...

මේ ටික ලියන්න මතක් වුනේ ඊයේ මහ රෑ ෆේස්බුක් මාවත ඔස්සේ මා සොයා ආ , මගේ දරුවක් නිසා . මීට අවුරුදු විස්සකට විතර එහා දඟකාර හිනාවකින් හැම වෙලාවකම කම්මුල පුරවගෙන හිටි කොළු පැටියෙක් තවමත් ඒ හිනාව එහෙමමයි ...අද එයා ලොක්කෙක් ... දරු පවුලක් සමඟින් යහපත් ජීවිතයක් ගත කරනවා ..... මේ කොළුව මගේ ප්‍රොෆයිලය වෙත යොමු කරල තිබුණෙත් මගේම තවත් සිසු දැරිවියක් එයත් ලොකු ආයතනයක ලොක්කියෙක් :) ..සමහර විට දෙන්නම මේ ලිපිය බලාවිද දන්නේ නැහැ ... එහෙම වුනොත් එදා වගේම ගොඩාක් ආදරෙන් ස්තුති කරනවා ආයෙත් මාව මගේ සුන්දර අතීතයට අරන් ගියාට ...

මේ අතීත සැමරුමත් එක්ක මගේ මතකයට නැගුණු එක්තරා සිදුවීමක් , අද දවසේ කතා බහ වන දේකටත් සමාන්තර වගේ දැනුනු නිසා , මගේම වෙනත් බ්ලොග් සටහනකට ( කාළ වේලාව මද කම නිසා අළුත් ලිපියක් එක් නොකළ :) ...... )  ලියූ ලිපියක් ඒ ලෙසින්ම මෙහි සටහන් කරනවා ... ඒ සතුටට ඔබටත් එක්වන්නට ආරාධනා කරමින් ......
--------------------------------------------------
කාළය 2010 මැද ....
දීපය ... සිරි ලංකාව ..
වෙලාව 9.30ට විතර ඇති , දේශනය දෙන අතරේ මම නිකමට කාර්යාලය පැත්තට ආවා , මා දැක්ක ගමන් අපේ ලිපිකාර දියණිය මා ළගට ආව


“සර් , හරිම වැඩක් වුවානේ දැන් “ , මට කොල් එකක් ආව ……….(අපේ සිසුවියකගෙ නම) ගේ අයියගෙන් කියල , එයා කියනව නංගි අද Training එකට ආවද කියල බලන්නලු , ඒ ළමය ඊයේ Leave Form එකක් දීල නිවාඩු ගත්ත , මම ඒක කිව්වම එයා කියනව , නංගි අද Training එනව කියල ආව…දැන් එයා Town එකේ ඉන්නව දැක්ක තව කොල්ලෙක් එක්ක …බලන්න මිස් මේ ………ට“ එහෙම කියල call එක Cut කළා , සර් ෂූවර් එකටම මොකාක් හරි ප්‍රශ්නයක් ඇති “

අපේ ලිපිකරු දියණිය ඇස් ලොකු කරගෙන කියන ඒ කතාව මම නිසොල්මනේ අහගෙන හිටිය , මොකද මේ තරුණ දරුවන් එක්ක වෘත්තීය පුහුණු කටයුතු ආරම්භ කළ දා ඉදල මේ වගේ ප්‍රශ්න මගේ ගාවට ඇවිත් තියෙනව , අනෙක මේ එක්තරා වාහිනියක් හැමදාමත් අඳෝනා දි දී , සිය දිවි නසා ගන්න උපක්‍රම කියා දෙමින් ජනප්‍රිය වෙන්න උත්සාහ කළ කාළයක්. ...ඔබට මතක ඇති ...

“ඔව් , කොහොම වුනත් අපි ටිකක් කළබල නොවී ඉමු , මොකද ඒ ළමය නිවාඩු දාල ගිහින් තියෙන්නේ , අද එයා කරන පුද්ගලික කටයුතු වලට අත දාන්න අපට බැහැනේ ,“ මම ආයෙත් දේශනාගාරයට ආවා , ඒත් මගේ හිතේ පුංචි සැකයක් තිබුණා , ඒ දරුව යම් අනතුරකද කියල ….. දේශනය ආරම්භ කළා….





“ඔව් , අපි දැන් කතා කරන Chemothapy drugs ගනිත්දි , විවිධ අපහසුතා මතු වෙනවා , වමනය , හිසකේ ගැලවීයාම වැඩිවීම වගේ “ ……ට්‍රීං ට්‍රීං…..මගේ ජංගම දුරකථනය නාද වෙනවා …..මම ඉක්මණට ඇමතුමට සම්බන්ධ වුනා .


“සර් , මම ……… කතා කරන්නේ , අනේ සර් මට ලොකු කරදරයක්, මම අද මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක town ආව , එයාගේ Business එකකට බඩු වගයක් ගන්න , අනේ සර් මම නිවාඩු , ගෙදරින් පැනගන්න බැරි නිසා මම කියල ආවේ training එකට යනව කියල …..දැන් සර් ගෙවල් ගාව කෙනෙක් මාව දැකල අයියට කතා කරළ , දැන් ගෙදරින් මට කතා කරළ හොදටම බැන්න …..ගෙදර එන්නත් එපා කිව්ව , පොලිසිය අල්ල දෙනවා , ඕන නම් ……….ගෙ ගෙදර යනව කියල හොදටම කෑගැහුව …..අනේ සර් මම මොකද කරන්නේ ….ගෙදර ගියොත් අයිය මාව මරණව සර්….මට බොයි ෆ්‍රෙන්ඩ්ගේ ගෙදර යන්න බැහැනේ ………………………….“




එක හුස්මට දෝරෙ ගලා යන මේ වචන ටික මම අහගෙන හිටිය , මට උත්තරයක් දෙන්න ඉඩක් දෙන පාටක් නැහැ…….“හරි , දරුවෝ දැන් ඔයා කොහෙද ඉන්නේ ,“ “සර් මම දැන් ඉන්නේ ………..බැංකුවේ ……අද නම් මම ඉවරයි සර්…..මං මොකද්ද සර් කරන්නේ ..මගේ ඔළුපට පිස්සු වගේ …..මට දැන් මැරෙන්න වෙලා තියෙන්නේ ….“

මම කුමක් කළ යුතුද ? මේක මට අදාල ප්‍රශ්නයක් නොවෙයි එක් අතකින් මොකද මේ සිසුවිය අද පුහුණුවේ නැහැ , නිවාඩු අරගෙන , අනෙක් මේක පුද්ගලික ගැටලුවක් , එත් මම යමක් කළ යුතුයි …..නැතිනම් සමහර විටෙක මෙය ඇයගේ ජීවිතය පිළිබද තීරණාත්මක මොහොත වෙන්නත් පුලුවන්….විශේෂයෙන්ම අද තරුණ දරුවන්ගේ ජීවිත වල තිබෙන ආවේගකාරී බවත් එක්ක , අවදානමක සේයාවක් මතු වෙනවා වගේ දැනුන …

“හරි දරුවෝ , දැන් කළබල නැතිව අපේ Office එකට එන්න , මම lecture එකක ඉන්නේ , අපි මෙහෙදි ප්‍රශ්නේ ගැන කතා කරමු , අපිට ඔය ප්‍රශ්නේ විසද ගන්න පුලුවන්වේවි , හැබැයි ඔයාගේ යාලුවට කියන්න ආයතිනක නිති නිසා එයාට Office එකට එන්න බැරි බව , එයාට කළබල නැතිව ගෙදර යන්න කියන්න .....“


“හරි සර් , මම එන්නම් , “

මම දේශනය නැවත ආරම්ණ කළා….වෙලාව 12.20ට විතර දේශනය නිමා කරල ආව office එකට , මේ කෙල්ල ඇවිත් , කදුලු පිරිණු බියපත් මුහුණ , වේවලන දෑත , අවුල්වෙලා ගිය කෙස් රොද ඇගේ හිතේ තියෙන ගැටලුවේ තරම කියා පෑව ,
“දරුවො දැන් බය නැතිව ඉන්න . මොකද මෙතනට පොලිසිය ඇවිත් ඔයාව ගෙනියන්නේ නැහැනේ ….අනෙක පර්මිෂන් නැතිව මෙතැනට කාටවත් ඇවිත් කළබල කරන්නත් බැහැ ....අප තේ ටිකක් බීල කතා කරමු “

බිය පත් දෑසින් මා දිහා බැලූ ඇය , අපේ උපස්ථායක සේවකය ගෙනා තේ කෝප්පය බිවද ? ගිල දැම්මද කියල මට හිතුන ….

“ අනේ සර් , මට ගෙදරින් සලකන්නේ නැහැ , මට ආදරේ නැහැ …තාත්ත මා ගැන බලන්නේ වත් නැහැ ….අම්ම යකෙක් වගේ ,හැම තිස්සෙම බනිනවා, අනේ සර් මගේ ……….විතරයි මා ආදරේ …අපේ සම්බන්ධෙ ගැන ගෙදරින් දන්නවා , කැමති නැහ ඒකට…..එත් …….“

මේ වගේ ප්‍රකාශ අපිට හොදට හුරුයි , එත් ඇයට කතා කරන්න දෙන්න ඕන , “……… හරි දැන් ඔයා මොකද කරන්නේ …… “

“අනේ මන්ද සර් , ‘‘ ගෙදර යන්නත් බැහැ … මට යන්න තැනකුත් නැහැ , අයිය දැන් ඇවිත් මට ගහල මරල දායිද දන්නෑ , මේක තාත්ත දැන ගත්තම…… ඊට වැඩිය හොදයි සර් …., “ කෙල්ල බිම බලා ගත්ත……

“හරි අපිට වෙන උත්තරයක් හොයන්න පුලුවන්ද බලමු , ඔයාට මොනවද කරන්න ඕන “ ….

‘සර් මට මේ කෝස් එක හොදට කරගෙන හොද job එකක් හොය ගන්න එක සර් ,….ඊට පස්සේ තමයි මැරි කරොත් කරන්නේ ….මගේ බෝයි ෆ්‍රෙන්ඩ් තුත් ඒකට එකග වෙලා තමයි මේ බිස්නස් එක පටන් ගත්තේ …මොකද ඒ වෙනකොට ඒක වැඩි දියුණු කර ගන්න පුලුවන් කියලා , අද ආවත් සර් ඒකට පොඩි ලෝන් එකක් ගන්න බැංකුවත් එක්ක කතා කරගන්න..“

අපි කතා කළා , මට මතක විදියට පැය දෙකහමාරක් විතර ……පුලුවන් තරමට හිතට නිවැරදි උපදෙස් දුන්නා …..ඒ අතරේ මම දුරකතනයෙන් ඇගේ මවටත් සොහොයුරාටත් කතා කළා , මුලින්ම ටිකක් තද බවක් දැක්වුවත් කරුණු පැහැදිලි කරන කොට ඔවුන් ඉතාමත් සුහදශිලී වුනා …..

“දුවේ , අපි දැන් කොහේවත් නෙවි , ගෙදර යමු , මම වෙච්චදේ ගැන කතා කළා , අම්ම ටිකක් බනිවි , කමක් නැහැ ඒ අම්මනේ ඔයා දැන් වෙන කොහේ ගියත් ඒ ආරක්ෂාව ඔයාට නැහැ …..“ මේ වෙනකොට ඒ දියණියගේ කළබලකාරී බව තිගැස්ම අඩුවෙලා තිබුණා….

“හරි සර් …මම ගෙදර යන්නම් , …“

“ඔව් ගෙදර යන්න , ගෙදර ගිය ගමන් මුලින්ම කරන්න ඕන දේ තමයි මට කෝල් කරන එක , හරිද දුවේ……“

කෙළි පැටික්කි හා පැටියෙක් වගේ මා දිහා බැලුවා …..

වෙලාව 4ට විතර මගේ දේශන කටයුතු අවසන් කරල ගෙදර ඇවිත් මගේ පැටවුන් එක්ක ටිකක් කතා කරමින් හිටිය ,

“…ට්‍රීං ට්‍රීංට්‍රීං ට්‍රීං“

“ඔව් පුතා , “ මගේ හුරුපුරුදු ආමන්ත්‍රණය යොමු කළා ,

“සර් මම …. , මම දැන් ගෙදර ආව , අම්ම ටිකක් සැරට බැන්න , අයියනම් මූන බැලුවෙවත් නැහැ …….හිතුව තරම්ම කරදරයක් නැහැ සර් …. අනේ සර් ඒ ප්‍රශ්නේ වුන වෙලාවේ මට හිතුනේ මැරෙන්න , ඇයි සර් මට කවුරුවත් නැහැ වගේ දැනුනේ , ……. ආයෙත්නම් සර් ඒවගේ මෝඩ දෙයක් හිතන්නෙවත් නැහැ “ ……

“ආයෙ කාටද කතාව ……“ ඒ අම්මගේ කටහඩ වගේ

“මේ අපේ සර්ට , මෙන්න සර් අපේ අම්ම ඉන්නවා ,..“

“ඔව් මිස් …මම දුවට කිව්ව ගෙදර ගිය ගමන් මට කතා කරන්න කියලා …..“

“ආ කොච්චර දෙයක්ද මහත්තයෝ , තව ටිකෙන් අපේ එක්කෙනා ගෙන් මෙයාට…..දන්නවනේ සර් එයාගෙ හැටි…..“

මේ කතාව මෙහෙ ඉවර වුනා ..කෙල්ල හොඳට අදාල පාඨමාලාව සම්පුර්ණ කළා , ටික දවසක් යත්දි ඒ දෙමාපියන් අපේ පුහුණූ ආයතනයේ මිතුරන් පිරිසක් බවට පත්වුනා ......... 


අද ඇය රටේ ප්‍රධාන නගරයේ , ඉහළ පෙලේ ආයතනයක නිළධාරිනියක් .. දරුවන් දෙදෙනෙකුගේ මවක් ... එදා පෙම්වතා අද පෙම්බර සැමියා බවට පත්වෙලා ... සුන්දර අනාගතයක පිය නගමින් ඉන්නවා ... 

කතාව ඉවරයි ... ආයෙත් හමුවෙමු ..... 


මෙන්න මුල් ලිපිය http://nursinglanka.wordpress.com/

යන්න ඉස්සර වෙල , අපේ තරුණ කාළේ හැම තිස්සෙම කියැවුනු ගීතයක් අහගෙන බලාගෙනම යන්න..

6 comments:

  1. ගොඩක් හිතන්න ඉඩ තියපු කතාවක්. මේවගේ පවුල් වල අභ්‍යන්තර ගැටලු විඳන්න ඒවා විසඳගන්න උපකාර කරන්න සැලසුම් තිබෙනවා නම් මේ විදියට තරුණ ජීවිත අයාගේ ගිහින් අමාරුවේ වැටෙන්නෙ නෑ.සඛ යුත්තේ විදුම් ලබාදිමට වඩා විසඳුම් සොයා ගැන/ිමට උපකාර කිරිමයි. ඇත්තෙන්ම ඔබ එදා නොහිටියානම්

    ReplyDelete
    Replies
    1. ස්තුතිය මිතුර ! ...විශේෂයෙන්ම මේ වයස් වල දරුවන්ට ඇති වන සමහර ගැටළු වලට සාමප්‍රදායික උත්තර නොගැලබෙන අවස්ථා බොහොමයි , ඒ වගේම මා දුටු දෙයක් ඔවුන්ගේ ප්‍රශ්න කියා ගන්න විශ්වාසවන්ත කෙනෙක් නැති කම , මේ රටවල නම් අඩුම තරමේ kids help line . teen help line වගේ දුරකථන මාර්ගයෙන් හරි තම අදහස් කියා ගන්න නිසි උපදෙසක් ගන්න ක්‍රමයක් තිබෙනවා , ඒ අපේ රටේ තවමත් ඒ ගැන ක්‍රියාත්මක වන බවක් පේන්න නැහැ , මම නම් කියන්නේ හැම පාසලකම උපදේශණය පිළීබඳ උගත් , පිළිගන්නා පුහුණුවක් සහිත ,  ඒවගේම අද සමාජයේ ඇත්ත හරියට තේරුම් ගත්ත නිළධාරියෙක් සිටින්නට ඕන , “ශිෂ්‍ය උපදේෂණ සේවා“ වගේ බර නාමයක් නැතත් , ඒ කාරණේ ඉට කරන්නට ...
      නැවතත් ...ස්තුතිය ඔබට .

      Delete
  2. දරුවන්ට අවශ්‍යකරන්නේ කුමක්ද යන්න මැනවින් පැහැදිලි කරන කතාවක්. අර ෆේස්බුක් සිද්ධියක් නිසා සිය දිවි නසාගත් දැරිවියටත් ඔබවන් කෙනෙකු කලින් මුනගැසුණා නම් ඇයද අදත් ජීවතුන් අතර. ඒ ගැන බොරදියක ඉදුවරේ බෙන් ටෙනිසන් ලියලා තියනවා සුපිරියට

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේ වයසේ දරුවන්ට “කියාගන්න තියෙන ඒත් කියන්න කෙනෙක් නැති “ ප්‍රශ්න රාශියයි . ඒ ප්‍රශ්න වලට හරි උත්තර ලබා දෙන්න , නැත්න්ම එයාලටම හරි උත්තරය හොයා ගන්න හරි දිසාවට යොමු කරවන්නට කෙනෙක් ඉන්නවා නම් මේ වන විපත් රැසක් මග හරවා ගන්නට පුළුවන් බවයි මගේ අත්දැකීම අනුව කියන්න පුළුවන් නලින් ...
      ස්තුතිය මිතුර ඔබේ දිරි ගැන්වීමටත්

      Delete
  3. මේ කතාව කියවද්දිම මතක් වුනේ වෙනුෂා දැරිවියගේ කතාව...ඔබ වගේ කරුනු කාරනා තේරුම් ගන්න මට්ටමක අර ප්‍රින්සිපල් හිටියා නම් අදත් එයා ජීවතුන් අතර...තමන්ට ප්‍රශ්නයක් ආවාම කියන්නවත් කෙනෙක් නැති වුනාම ගොඩක් අසරන වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ලියන්නත ඒ සිදුවීම හේතුවක් වුනා , මේ තත්ත්වයේ ඉන්න මේ වයසේ දරුවක් මානසිකව අසරණ වීම , කායික අසරණවීමකට වඩා බරපතලයි . සිදුවීමට හේතු රැසක් තිබෙන්න පුළුවන් වුනත් , නැතත් එවන් සිදුවීම් වලදි එක වරදක් පොදුවේ සිදුවී තිබෙනවා , ඒ ඔහුට / ඇයට උපකාරයක් ලැබිය යුතු මොහොතේ එය නොලැබීම ... ස්තුතියි ඔබටත්

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)