2014/02/12

154) කළට පෙර පරව යන මල් කැකුළු රැක ගන්න ..

“අනේ මන්ද මලී ....එයා අපට කියන එකක්යැ .....“ ..... 
“ඔව් අනේ ... හරිම මූසලයි දවසම ... එල්ලගෙන ඉන්න හැටි .....“ .......
“ඔය ඔක්කොම අරය බලනකං විතරයි ....ඊට පස්සේ මෙන්න වෙන ලෝකෙක ... අර කොල්ල අල්ලගන්න කරන මායං අපි නොදන්නවයැ ....“ 

----------------------
‘‘මෙලෝ රහක් නෑ බං ඌ ... කරන දේකුත් නෑ , බස්ස වගේ බලාගෙන ඉන්නවා ...කොල්ලෙක්නේ ....සෙට් වෙයන්කෝ වැඩකට ..... කොහෙද ...ඌට කියන්න ගියාම ! ...“ 
“නෑ මචං , උගේ වෙනසක් තියෙනවා බං ... හෝම් වර්ක් කරගෙන තිබුණෙත් නෑ ...මං හිතන්නේ අපේ පිනාටත් අහුවෙලා දෙහි කැපුව ....මූ කියන එකක්ය .. ගල් ආඳනේ ...“ 


----------------------
“අනේ මට මැරෙන්න හිතයි චමරි ......ඇයි මට මේ හැමෝම රිද්දන්නේ ...මට කවුරුවත් නෑ මං කියන දේ අහන්න ...මං මොකටද අනේ ජීවත් වෙලා මෙහෙම කාටත් කරදරයක් විදියට ....“ 
“පිස්සුද බං උඹට ....ඔන්න  ඕක අතරැලදාල වරෙන් යන්න ......ඇයි උඹ එන්නැත්ද ? .... එහෙමං උඹ ඔහොමම හිටපං , මං යනවා .... බලපං දැනටමත් ලේට් ..“ 

----------------------
“මේ උඹට මං කියන්නේ  .. ඔය කොල්ල එක්ක යන්න දුන්නේ නැත්තං උඹ ගඟේ පනිනවයි කිව්වලුනේ අම්ම එක්ක  .. පැනපං .... කෑළි කැපුවත් උඹ දෙන්නේ නෑ ඔය දහදුරා එකෙක්ට ....‘‘

----------------------

“මධූ මට තේරෙන්නෙ නැහැ මොකක් කරන්නද කියල ? ... හැමදාමත් තාත්ත බීගෙන ඇවිත් අම්මට ගහනවා , අනේ මට ගහනවා වගේ මට දැනෙන්නේ මධූ ...මට දැන් ගෙදර ඉන්න එක තිත්ත වෙලා ... ඒත් ඉතින් මං කොහේ කියල යන්නද ? ..... එළියට බහින්න බැහැ විළිලැජ්ජාවේ ...තාත්තගේ වැඩ නිසා ....................අනේ මට දැන් මේ හැමදේම එපා වෙලා “ ....

මේ කියාගෙන ගියේ නවකතාවක පේලි කීපයක් නොවෙයි ..අපේ සමාජයේ , අපේ ඇස් කන් ඉදිරියේ සිදුවෙන දෙබස් කිහිපයක් ., සමහර විට ඔබටත් මේ දෙබස් අහන්නට , ඇහෙන්න ලැබිලා ඇති , නැත්නම් ඔබත් මේ දෙබසේ කොටස් කරුවෙක් වෙලා ඇති , කොහොම වුනත් අද කතා කරන්න හදන මාතෘකාවට මේ දෙබස් පාර කියාවි මෙන්න මේ විදියට ....

සියදිවි නසා ගැනීම් ............ එච්චර සුන්දර මාතෘකාවක් නොවෙයි නේ ...? ...බය  වෙන්න එපා , මම දැන් සියදිවි නසා ගැනීම ගැන මහා විශ්ලේෂණයක යෙදෙන්න උත්සාහ කරන්නේ නැහැ , මම කතා කරන්න හදන්නේ බොහොම පුංචි කාරණා කිහිපයක් .... ඒකත් සමස්ථ සියදිවි නසා ගැනීම් ගැන නොවෙයි , මේ මල් කැකුළු වගේ ඉන්න පොඩි පැටවු , පැටික්කියෝ , ඉලන්දාරි , ගැටිස්සියෝ හිටපු ගමන් තමන්ගේ ජීවිතේ විනාස කරගන්නා ක්‍රියාව ගැන .. ඒ කියන්නේ Teenage suicide ගැන .... 

දැන් ඔබ අහවි ටීනේජ් උනත් නාකි වෙලා කරගත්තත් එකම දේ නේද කියල .. ඔව් අවසානය එක වගේ , ඒත් ඒ අවස්ථාවට එන මාවත ටිකක් විතර වෙනස් වෙන්න පුළුවන් , ඒ නිසා තමයි ලෝකය පුරාම  teenage suicide කියන මාතෘකාව වෙනම කතා කරන්නට උත්සාහ කරන්නේ ..

මේ ලිපිය ලියත්දි මතක්වුනේ මීට කළකට පෙර එවන් අවාසනාවන්ත මරණයක් ගැන මෙහි ලියැවුනා ඒ අමන්දා ගැන .... මෙන්න ඒ ලිපියට මග ...http://www.nursinglk.com/2012/10/122.html

මුලින් අර ඕපදූප ටික ඇහුව වගේ මෙන්න මේ කතා ටිකත් අහමු බලන්න ...

“පොඩි ළමයින් සියදිවි නසා ගන්න හිතෙන්නේ නැහැ ... මොන බරක්ද අනේ එයාලට ....“ 

මේක ඇත්තක්ද කියල හිතන්න ඕන නැහැ , අද දවසේ අපට පෙනෙන දේ අනුව , ලෝකය පුරා ගත්තත් වයස අවුරුදු 10ත් 24ත් අතරේ සිදුවන මරණ වලින් තුන්වන තැන තිබෙන්නෙ සියදිවි නසා ගැනීම විදියට තමයි පොත පතේ සඳහන් වෙන්නේ . ඕනම වයසක කෙනෙක්ට මේ තත්ත්වය උදාවන්න පුළුවන් , අද සමාජයේ මතුවන සාධකත් එක්ක යෞව්වන වියේ සිදුවන සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාව වැඩි වෙන බවක් පෙනනවා . සංඛ්‍යා ලේඛණ කොහොම වෙතත් , හෘද රෝග ඒකකයේ සේවය කළ කාළ සීමාව තුල හමුවූ, සීනි එක්ක එක්තරා ඇට වර්ගයක් රසබලමින් ජීවිතේ පරදුවට තැබූ තරුණ දරුවන් පිරිස එන්න එන්නම වැඩි  වුනා මිසක අඩුවක් වුනේ නම් නැහැ . 

“ඔය කිව්වට කොල්ලෝ Suicide කරගන්නේ නැහැ ... ගනන් නොගන හිටපං බං “ ...

මේ පිළිබඳව පර්යේෂණ කළ අය හඳුනාගත් සංඛ්‍යාත්මක දත්ත අනුව සියදිවි නසා ගැනීමේ  ප්‍රවණතාව  පිරිමි දරුවන්  අතරෙ වැඩි බවත් සියදිවි නසා ගැනීමේ උත්සාහයන් අතරෙදි ගැහැණූ දරුවන් ඉදිරියෙන් ඉන්න බවක් කියැවෙනවා  . නමුත් මේ දෙගොල්ල අතරෙම සිය දිවි නසා ගැනීමේ අවදානම  ලොකු වෙනසක් තිබෙනව බව එයින් කියැවෙන්නෙ නැහැ   ඒ කියන්නේ පිරිමි දරුවනුත් සියදිවි නසා ගැනීමේ හෝ තැත් කිරීමේ ලොකු අවදානමක් තිබෙනවා .

“ඔය පෙති ගහල ඒකී කළේ තමන්ට ඕන වැඩේ කරගන්න  අම්මල බය කරපු එක , මම නං අපේ ළමයි ඔහොම කළොත් දෙන්නේම නැහැ එයාලට ඕන වැඩේ කරගන්න ... මොකද කවදාවත් මැරෙන එක ඔහොම බය කරකර ඉන්නේ නෑ  ...,“

හුඟක් අය හිතන දෙයක් තමයි සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමක් කියන්නේ , “බොරු මවා පෑමක්“ , “බොරු තරුජනයක්“ කියන එක , නමුත් මේ පිළිබඳ අධ්‍යයනය කළ මනෝවිශ්ලේශකයින් , මනෝවිද්‍යාඥයින් පවසන ආකාරයට සියදිවි නසා ගැනීමට තැත්කිරීමක් කියන්නේ  ඉදිරියේ විය හැකි “මහා අනතුරක පෙර නිමිත්තක් “ කියල , ඒ නිසා එවන් උත්සාහයක් දැරූවෙක් නිකංම  නොසලකා නොහැර නිසි , ඔහුගේ , නැත්නම් ඇයගේ මානසික තත්ත්වය හොයල බලන්න ( පිස්සුද කියල හොයන්න නොවෙයි ...) යොමු කරන එක වටිනවා , මෙතැනදි බොහෝ රජයේ රෝහල් වල තිබෙන මනෝ  විද්‍යා සායන , උපදේශන සායන හුඟක් වැදගත් .

“මලිතිගේ වැඩේ මැරෙන එක ගැන කියනව එක , ඊයේ කියනව සුරංගට මල් පොකුරක් යවන්න ඕනලු , එයාගේ අන්තිම වෙලාවට ඒකත් අරන් එන්න කියල ...අනේ මන්ද බං , ඒව අහං ඉඳත්දි මටත් පිස්සු වගේ “ 

සියදිවි නසා ගැනීම් කළ වැඩි පිරිසක් 80%ක්ම , තමන් ඒ අවාසනාවන්ත තත්ත්වයට පත්වෙන්න ඉස්සර වෙලා ඒ බව තමන්ගේ අවට ඉන්න අයට දැනෙන්න සලස්වනවා , ඒක හැසිරීමේ වෙනසක් , කතාබහේ වෙනසක් . , නැත්නම් මරණය ගැන , මැරෙන හැටි ගැන  වැඩි පුර කතා කරන්නට , ලියන්නට පටන් ගැනීමක් විදියට හරි , නැත්නම් තමන්ගේ අවසන් ගමන යන හැටි , එය තමන්ගේ පෙම්වතාට , නැත්තම් මිතුරියට අඟවන හැටි , කියන්න පුළුවන් . සමහර අය මේ වෙච්ච කතාවෙ වගේ සංඥා දෙන්නත් පුළුවන් , ඒ දැන්වීම් ඇතුලේ ඇත්තටම තියෙන්නේ “අනේ මට මැරෙන්න දෙන්න එපා , මාව බේර ගන්න “ කියන පණිවිඩේ , ඒත් ඒක ග්‍රහණය කර ගන්නේ අපි කීයෙන් කීදෙනාද ? ...

අපේ ළමයි ඕව කරගන්නේ නැහැ , එයාල හොඳට හැදිච්ච අය , අනෙක් ඕව කරගන්න පිස්සො නෙවි අපේ ළමයි “ 

මුලින්ම කියන්න ඕන මානසික අවපීඩනය කියන තත්ත්වය සියදිවි නසා ගැනීම් වල ප්‍රධාන හේතු සාධකයක් වුනත් ඒක  අපි හිතන “පිස්සුවක“ තරම් නොවෙන්නට පුළුවන් බව . අපි හමෝම යම්  අවස්ථාවක මානසික අවපීඩනයට ලක් වෙන්න පුළුවන් . ඒ සුළු මොහොත ඇති අවාසනාවට පාර කපන්නට . හැබැයි මානසික රෝග තත්ත්වයකින් පෙළෙන අයෙක් , නිරෝගී අයෙක්ට වඩා අවදානම් බවනම් කියන්න ඕන . හැබැයි අපේ රටවල වෙන්නේ යම් මානසික තත්ත්වයක් “සියදිවි නසා ගැනීමකට තැත් කළ අයෙක් “  සමාජය විසින්ම පිස්සෙක් බවට පත් කරන එක , ඒ හේතුව “මරණයට“ වගකිව යුතු අවස්ථාවක් ඇති කරන ඉඩ වැඩියි . 

“ඔය කෙල්ලගේ අම්මත් මලේ කෝච්චියට පැනලා , පේනනැත්ද කෙල්ලත් හරි සක්කරවට්ටමක් නේ ...එයත් කවද හරි අම්ම කර ගත්ත එකම කරගනිවි ඔය විදියට ගියොත් “ 

ඔව් , පවුලේ අයෙක් සියදිවි නසා ගැනීමක් කළොත් , පවුලේ අනෙක් අය වෙත එය ලොකු බලපෑමක් කරන බව හඳුනාගෙන තිබෙනවා . එය මානසික බලපෑමක් ලෙසින් වගේම සමාජයීය බලපෑමක් විදියටත් යොමු වෙන්න පුළුවන් . ප්‍රතිපලය පවුලේ අනෙක් අයත් යම් අවදානම් කාණ්ඩයක් බවට පත්වීම , ඒ නිසා හරිම වැදගත් මේ අය වෙත සමාජයෙන් ලැබෙන උපකාරය , විශේෂයෙන්ම ඇති වුනු මානසික පීඩනය අවම කරගෙන යහපත් මානසික තත්ත්වයකට එන්න උපකාර කිරීම , ඒ වගේම ඒ අයත් නිසි උපදේශන සහ  චිකිත්සාවක උපකාරය ලබා ගන්නට යොමු වෙනවා නම් හුඟක් වටිනවා .

“අනේ මාව බේර ගන්න දොස්තර මහත්තයා  , මට මැරෙන්න බෑ .. මං මහත්තයා බය කරන්න මෙහෙම කළේ මහත්තයෝ “ 
රෝහල සේවය කළ අයෙක්ට මේ වචන ඇහුනු වාර ගණන .... කොයිතරම්ද ? ... ඇඟපුළුස්ස ගෙන , නැත්නම් මොනවා හරි පෙති ජාතියක් අධි මාත්‍රාවක් අරගෙන , නැත්නම් මොනවා හරි ඇට ජාතියක් කාළ “මැරෙන්න ගිය“ අය , රෝහලට ගෙනාවම කියන්නේ මේ කතාව . හුඟක් වෙලාවට  ගෙදර වුනු අඬදඹරයක ප්‍රතිපලය , විදියට මහත්තයට තරවටු කරන්න , බය කරන්න  නෝනා මේ අවාසනාවන්ත තීරණය ගන්නවා , මේ සියදිවි නසා ගැනීමට තැත්කිරීමේ අවස්ථා වලින් 10-20% අතර ප්‍රමාණයක් ඇත්තටම ජීවිතේ අවසාන වීමකින් තමයි කෙළවර වන්නේ .  

“අද ඔය සිය දිවි නසා ගන්න  සිද්ධි වලට මාධ්‍යය වග කියන්න ඕන “ 

මේ කතාවේ ඇත්තක් තිබෙන බව අද මේ පිළිබඳ පර්යේෂ කරන්නන් සංඛ්‍යාත්මකවම පැහැදිලි කරනවා , සියදිවි නසා ගැනීම් ගැන , එය කළ ආකාරයන් ගැන , ඒ සිදුවීමට සමාජයේ ලැබුණු “තැන“  වගේ සාධක පතුරවන්නට මාධ්‍යය ලොකු බලපෑමක් කරන බව ඔවුන් පවසනවා , මේ අතරට අද අළුත් මාධ්‍යයක් එක් වෙලා ඒ සමාජ මාධ්‍ය පද්ධති  Social Media systems  ෆේස්බුක් මේ අතරේ ලොකුම වැරදිකාරයෙක් බවට පත්කරලා , ඊට අමතරව ට්වීටර් , සහ තවත් ඡායාරූප බෙදා හරින මාධ්‍යයනුත් මේ අවාසනාවන්ත සිදුවීමට කොටස් කරුවන් වෙමින් ඉන්නවා . විශේෂයෙන්ම Cyberbullying කියන සිදුවීම  එක්ක මුසුව .

කතාව ටිකක් දිගට ඇදුන වගේ ...කොහොම වුනත් අන්තිමට මේ ටිකත් කතා කරන්න ඕනමයි , 

අපි දැන් ටිකක් බලමු මේ සඳහා වන අවදානම් සාධක මොනවාදැයි ... බලල විතරක් මදි මේ දේවල හඳුනගන්න , හිතට ගන්න , ඔබ ළඟඉන්න මිතුරා , මිතුරිය , දුව පුතා මේ අවදානම් තත්ත්වයක ඉන්නවා නම් ඉන් මිදෙන්න උපකාර කරන්න එයයි මනුස්සකම ..

  • මීට පෙර සිය දිවි නසා ගැනීමකට උත්සාහ කර තිබීම 
  • පවුලේ කෙනෙක් මීට පෙර සියදිවි නසා ගැනීම හෝ උත්සාහ කර තිබීම 
  • උග්‍ර මානසික රෝග තත්වයකින් පෙළීම සහ නිසි ප්‍රතිකාර ලබා නොගැනීම
  • උග්‍ර කායික රෝගයකින් පෙළීම 
  • ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් දැඩි පීඩාවකට ලක්ව සිටීම 
  • දෙමාපියන් හෝ වෙනත්  විශ්වාසවන්ත වූ බැඳීමක බිඳ වැටීමක් සිදුවීම තිබීම 
ඔන්න ඔය වගේ සාධක වලින් පීඩා විඳින කෙනෙක් මේ අවදානමට ගොදුරු වීමට ඉඩ වැඩියි , දැන් අපි බලමු මේ අවස්ථාවේ දරුවක්ගේ , යෞව්වන දරුවගේ සිදුවන පෙර වෙනස්ම් මොනවද කියල ... පාසලේ වැඩ කටයුතු වල ඉක්මන් බිඳ වැටීමක්  දකින්න පුළුවන් වේවි . වෙනද හොඳට වැඩ කළ දරුවා දැන් ළකුණු වගේම පාඩමේදි අවධානය යොමු කිරීමත් අඩුයි , ඇඳුම් පැළඳුම් ගැන වුනත් තැකීමක් නැහැ , කිසිම වගකීමක් නැතිව වගේ තමා හැසිරෙන්නේ  , ඕන දෙයක් වුනාවේ කියලා . මුහුණූ වර බැලුවත් හිනාවක් නැති ,(  නැත්නම් මවා පෑ හිනාවක් දෙන , ) අඳුරු මුහුණූවරක් තියෙන්නේ . හුඟක් වෙලාවට යාළුවන්ගෙන් වෙන් වෙලා තනි  වෙන්න කැමති චරිතයක් . කතා කළොත් බිඳ වැටුනු කතා බහක් තමයි කෙරෙන්නේ , අවාසනාව , මරණය , කළකිරීම , තනිවීම , අඳුර ...වගේ චවන නැවත නැවත කතාවෙදි අහන්න පුළුවන් වේවි ......ඒ වගේම දෙබසේ ප්‍රාණවත් බවක් නැහැ ....කියන්නං වාලේ කියවනගෙන යන්නයි කැමැත්ත .සමහර විටෙක ටිකක් දරුණූ හැසිරීම් , කළබලකාරි බවක් පෙන්වන්නත් පුළුවන් , අතේ නහරයක් ගාව තලයකින් කපාගෙන තුවාල කරගෙන ඉන්නත් පුළුවන් . සමහර විට ඒ කර ගත් තුවාලය ගැන අනෙක් අයගේ අවධානය ගන්නට උපක්‍රම ගන්නත් පුළුවන් .....


මෙන්න මේ ලිංක් දිගේ ගිහින් මානසික රෝග / ගැටළු වල ලක්ෂණත් දැන ගෙන එන්න .



තව ලිස්ට් එකක් ලියන්න පුළුවන් වුනත් ....මෙන්න මේ වගේ අවදානම් සංඥා ඔබේ දරුවගෙන් , මිතුරගෙන් දකින්න ලැබෙනවා නම් .....
තනි කරන්න එපා ඔහුව , ඇයව , විශ්වාසයෙන්  කතා කරන්න ....හිතේ තියෙන  දේ කියාගෙන යන්න ඉඩ දෙන්න , නමුත් උපදෙස් දීමක් කරනවා නම් එය අතිශ්‍යය සැලකිල්ලෙන් කළ යුත්තක් ( ඔබ මේ පිළිබඳව නිසි දැනුමක් නැත්නම් උපදෙස් දෙනවාට වඩා තනි නොකර අහගෙන ඉන්න එක හුඟක් වටිනවා) ...ඒ ගලා යන කතාවේ අවදානම් සාධක හඳුනගන්න ... වැදගත්ම දේ සැක කළ යුතු  තැනක් ඇත්නම මඟ හරින්න එපා ... නිසි මගට යොමු කරවන්න , සමහර විට ඔබ මිතුරා නම් මේ තත්ත්වය ඔහුගේ දෙමාපියන්ට කියත්දි එය  නොපිළි ගන්න  පුළුවන් . ඒ අපේ රටේ වැඩිහිටි බහුතරයකගේ ආකෘතිය , නමුත් එවන් අවස්ථාවක අතනොහැර  සුදුසුම තැනට යොමු කරන්න ... 

දැන් ප්‍රශ්නේ කොහෙටද යොමු කරන්නේ  ,? .... පාසලේ උපදේශනය පිළිබඳ  නිළධාරිවරයෙක් ( උපදේශනය කියන්නේ නිකං කියවීමක් නොවෙන නිසා හැම කෙනෙක්ම උපදේශනය කරන අය විදියට සළකන්න අමාරුයි , ගුරුවරුනට මේ පිළීබඳ සිද්ධාන්ත දැනුමක් ලබා දුන්නත් , සමහර ගුරුවරුන්ට එය විෂය කරුණක් විතරයි , ප්‍රායෝගිකව භාවිත කරන්නට තේරුමක් නැහැ  , නැත්නම් අවශ්‍යකතාවයක් නැහැ .) ඉන්නවා නම් ඔහු / ඇය ළඟට මිතුරාත් එක්කම යන්න , නැත්නම් ඔබේ ප්‍රෙද්ශයේ යොවුන් මිතුරෝ වැනි ජාතික වශයෙන් පිළීගැනීමක් ඇති උපදේශන ආයනයක් ඇත්නම් , ඒ ස්ථානයකට යන්නට පුළුවන්. නැත්නම් ළඟම තිබෙන රජයේ රෝහලේ බාහිර රෝගී අංශයට  ඔබේ මිතුරා / දරුවා සමඟ ගිහින් ඔබේ වෛද්‍යවරයා එක්ක  කතා කරන එක හොඳයි  , එවිට ඔහු නිසි යොමු කිරීමක් කරාවි .........ඇත්ත ..... මේ පියවර ටිකක් විතර අපහසුතා සහිතයි ... අන්න ඒ නිසා තමයි මේ රටවල විශේෂිත දුරකථන අංකයක් දරුවන් වෙනුවෙන්ම වෙන් කරලා තිබෙන්නේ ... Kidshelp අංකය ඔස්සේ ඕනම දරුවෙක්ට තමන් මුහුණපාන කායික ,මානසික ගැටළු කියන්නට , උපදෙස් ගන්නට රජයෙන්ම සළසපු පහසුකමක් එය , අද අපේ රටේ ඕන තරම් ජංගම දුරකථන තිබෙන අවස්ථාවේ මෙවන් පොදු දුරකථන අංකයක් ඔස්සේ උපකාර සේවයක් අරඹනවා නම් සහ එය සමාජයට ළං කරනවා නම් “විය හැකි අවසානාවන්ත“ තත්ත්වයන් බොහොමයක් මඟ හරවා ගන්නට එයම රැකුළක් වේවි .

මෙයට අමතරව හැම පාසලකම මීට පෙර ලිපියක කීවාක් මෙන්  “යොවුන් ලබැදි  උපදේශන සේවාවක්  “ රජයේ මැදිහත් වීමෙන් ඇරඹෙනවා නම් එය හුඟක් වටිනාකමක් ඇති දෙයක් . එය සියදිවි නසා ගැනීම් වලට විතර නොවෙයි . තවත් වටිනාකම් ගණනාවක් ලබා දේවි .ඉන් එකක් ගැන මෙන්න මේ ලිපියේ සඳහන් ..http://www.nursinglk.com/2011/06/9th-discussion-teenage-pregnancy.html

අවසානයේ වැදගත්මදේ ..... යොවුන් සියදිවි නසා ගැනීමක් වුනාම , එය  කුණූ කරමින් කුණූ රසයක් විඳිනවා වෙනුවට , ඒ ඔස්සේ තවත් රසකතා මවමින් මිය ගිය කෙනාවෙත තවත් අගරු කරනවා වෙනුවට , මෙවන් අවාසනාවන්ත අවස්ථා වලක්වා ගැනීමක දෙමාපියන් , මිතුරන් , ගුරුවරුන් ...සහ පොදුවේ සමාජය ලෙස අපේ වගකීම නිසි ලෙස ඉටු කරනවාදැයි අපිම විමසා බලමු .


හරි මෙන්න දැන් ගෙදර වැඩ .... මේ ලිපිය ආයෙත් මුල ඉඳළ කියවල අර  දෙබස් ඇතුළෙ තිබෙන “අනතුරුදායක සාධක“ මොනවාදැයි හොයල බලන්න ....



එහෙම නම් අදට කතාව ඉවරයි , ආයෙත් හමුවෙමු , සතුටින් සෙනෙහසින් ...සුව සතුට පිරි දිනයක් පතමි ඔබ සැමට !
තවත් කියවන්න 
http://pradeepot.blogspot.ca/2013/09/suicide2.html
Centers for Disease Control and Prevention. "National Suicide Statistics at a Glance." (Jan. 14, 2011) CDC.gov.http://www.cdc.gov/violenceprevention/suicide/statistics/trends02.html
Centers for Disease Control and Prevention. "Peer Victimization Linked to Youth Suicide." (Jan. 14, 2011) CDC.gov.http://www.cdc.gov/injury/features/peer_victimization.html
Centers for Disease Control and Prevention. "Youth Suicide." (Jan. 18, 2011) CDC.gov.http://www.cdc.gov/ncipc/dvp/suicide/youthsuicide.htm
Centre for Suicide Prevention. "Music and Suicide." Sept. 1999. (Jan. 14, 2011) SuicideInfo.ca.http://www.suicideinfo.ca/csp/assets/alert37.pdf
KidsHealth. "Suicide." (Jan. 13, 2011) KidsHealth.org.http://kidshealth.org/teen/your_mind/mental_health/suicide.html#
National Institute of Mental Health. "Suicide in the U.S.: Statistics and Prevention." (Jan. 18, 2011) Nimh.nih.gov.http://www.nimh.nih.gov/health/publications/suicide-in-the-us-statistics-and-prevention/index.shtml#children
Neinstein, Lawrence. "Adolescent Health Care: A Practical Guide." Nov. 16, 2007. Lippincott Williams & Wilkins



12 comments:

  1. බොහොම වැදගත් ලිපියක් මහේෂ්. මගේ අදහස වෙන්නෙත් ළමයින් සඳහා වන උපදේශන සේවාවන් සහ ප්‍රශ්නයකදී උදව් ලබාගැනීම පහසු කරන ක්‍රමවේදයක් (helplines වැනි ) තමයි මෙයට හොඳම විසඳුම කියලා. ඒ වගේම තනි පුද්ගලයන් වශයෙන් අපට අපේ හිත මිතුරන් නෑදෑ අසල්වැසියන් ගැන සොයා බැලීමට ඇති සමාජ වගකීම මතක් කිරීම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතරු ! විය යුත්තේ සමප්‍රදාය හිස මත තබාගෙන ඒ බර අනාගත පරපුරට වේදනාවක් ලෙසින් ලබා දීම නොවෙයි , අද ප්‍රවණතාව හඳුනාගෙන ගැටළුවක් මතුවේ නම් ඊට නිසි පිළීයම් යෙදීමයි මට හිතෙන්නේ .
      නැවතත් ස්තුතියි ඔබට  , ඔබේ අදහස් මට හුඟක් වටිනවා .

      Delete
  2. ඉතාම හොඳ ලිපියක් .දෙයක් වුනහම ඒ ගැන කතාකරනවට වඩා අපි හැමෝම මේ දේවල් ගැන අවබෝධයෙන් ඉන්න එකයි වැදගත්. ඔය කියන යොවුන් වියේදී අපි හිතුවෙත් මලත් මොකද කියලයි. නමුත් වැඩිහිටි වියේදී ඕක වෙනස් වෙන්නේ '' අපි මළොත් ළමයින්ට යන කල මොකක්ද '' කියල සිය පාරක් හිතෙන නිසා . යොවුන් වියේ ළමුන් ගැන මිට වඩා සැලකිලිමත් වෙන්න ඕන ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බින්දි ඔබ කියනවාක් මෙන් “මේ දේවල් ගැන අවබෝධයෙන් ඉන්න “ එක තමයි වැදගත් , මොකද හුඟක් වෙලාවට මෙවන් අවාසනාවන්ත සිදුවිම් වල පෙර ඡායා අපේ ඇස් ඉදිරිපිට මැවුනත් , එය තේරුම් ගන්න , අබවබෝධ කරගන්න අපි සංවේදී නැහැ , නැත්නම් අවබෝධයක් නැහැ ...
      අනෙක් වැඩිහිටි වුනාම හිතෙන විදිය නම් 100%ක් ඇත්ත ..... ඒ නිසාමයි අපේ ජීවිත තව තවත් සැලසුම්ගත වෙන්නේ ...
      ස්තුතියි ඔබට බින්දි , ඔබේ පැමිණීම වගේම අදහසත් මට දිරියක් !

      Delete
  3. වටිනා ලිපියක්. අයෙත් කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔව් මිතුර , ඉඩක් ලැබෙන වෙලාවක හිමින් සැරේ කියවන්න , මේ ඕපදූප අතරේ තව ජීවිතයක පැවැත්ම ගැන රහසේ ලියැවුනු කතා හඳුනගන්න පුළුවන් වේවි ඔබට එවිට .
      ස්තුතියි පැමිණීයාට , ඒ වගේම අදහසක් සටහන් කළාට

      Delete
  4. ඔන්න මං වත්පොතෙත් මේකට ලින්කුවක් දැම්ම... මහේශ්.. ඔබ කරන මේ සේවය ඉතාම වැදගත්. මෙන්න පහක්..හෙහ්..හෙහ්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිතුර බෙදා හදා ගෙන සතුටුවනවාට , ඔබේ අගය කිරීම වගේම , ඔබ ලියු අකුරක් පවා මට හුඟක් වටිනවා .... නැවතත් ස්තුතිය ඔබට

      Delete
  5. මහේෂ්,
    මේ ගැන කතා කරපු එක ගැන ස්තුතියි..ඒත් අපේ රටේ මානසික රෝග ගැන තියන ආකල්පය නිසා මේ ගොඩක් දේවල් ප්‍රායෝගික නැහැ. මානසික වෛද්‍යවරුත් ඒ වෙනුවෙන් විශේෂ දෙයක් කරන පාටක් මට නම් පේන්නේ නැහැ.
    බටහිර චිත්‍රපට වල පෙන්නනවා වගේ උපදේශන (counseling) සායන තැන් ලංකාවේ තියනවද? මානසික වෛද්‍යවරුත් චැනල් කලාම අනිත් වෛද්‍යවරු වගේම රෝග ලක්ෂණ අහලා බෙහෙත් ලියලා දෙන්න තමයි බලන්නේ. ඒත් හදිසියක් නැතිව ගතකරන කාලයට මුදල් අයකරන තැන් ලංකාවේ තියනවා නම් සමහර ඛේදවාචක ලේසියෙන් අවම කරගන්න පුළුවන්.

    හැකි නම් ලංකාවේ එවැනි තැන් ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න. (ප්‍රචාරණය සාරධර්ම වලට පටහැණි කියලා නම් සඳහන් නොකර ඉන්න එපා. සොඳුරු සුව අසපුවේ අවසාන බලාපොරොත්තුව නිරෝගී ජීවිතයක් නිසා)

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔබට බොහොම ස්තුතියි නැවතත් සොදුරු සුව අසපුවට පැමිණිම වෙනුවෙන් ,

      නමුත් “ මේ බොහොමයක් ප්‍රායෝගික නැහැ “ කියන තැන මට ගැටළුවක් තිබෙනවා , ඔව් ඔබ කියන විදියට තවමත් අපේ රටේ මානසික රෝග / ගැටළු ගැන ඇත්තේ අඩු , සහ වැරදි අවබෝධයක් , නමුත් දැන් තරමක් දුරට මේ තත්ත්වයන් පිළිබඳව දැනුවත්වන්නට කැමැත්ක් දක්වන බවක් දැනෙනවා . නමුත් මට දැනෙන දේ නම් , අපි මේ තත්ත්වයන් නිසි ලෙස ප්‍රායෝගික කර ගන්නට උපක්‍රම ගන්නේ නැහැ , ඊට උනන්දු වෙන්නේ නැහැ , අඩුම තරමේ රටේ ජනමාධ්‍ය කිහිපයකින් වත් මේ උපක්‍රම , මානසික රෝගයක ඇති ඇත්ත කතාව පිළිබඳව දැනුවත් කෙරෙනවා නම් යහපතක් වේවි . ( නමුත් අද ඒ වෙනුවට වෙමින් තිබෙන්නේ මෙවන් මරණයන් විකුණාගෙන කෑම නොවැ ) ,

      ප්‍රායෝගිකව මා කළ සහ මා ලද අත්දැකීම් අනුව , වසර පහක් වගේ පොඩි කාළ සීමාවක් තුල යම් සරළ දැනුවත් කිරීමක් මඟින් , මෙවන් අවාසනාවන්ත තත්ත්වයන් පෙර තියා හඳුනාගන්නට (අනුනට පමණක් නොවේ තමන්ට අදාලව පවා ) හැකියාව තිබෙන තරුණ දරු පිරිසක් හදාගන්නට පුළුවන් . නමුත් එය ව්‍යාප්ත කළ හැකියි බොහොම සරළ දායකත්වයන් මඟින් . විශේෂයෙන්ම , ලංකාවේ පාසල් පද්ධතිය තුලට මේ දැනුම විෂය බාහිර ක්‍රියාකාරකමක් , සම්මන්ත්‍රණ මාලාවක් ලෙස ලබා දෙන්නට පුළුවන් නම් එයත් ඇති ඇරඹුමකට .

      ඇත්ත , අද පෞද්ගලික රෝහල් වල දී නම් මානසික රෝග ප්‍රතිකාරයේදිත් එසේ සිදුවන අවස්ථා තිබෙනවා , නමුත් ඒසේ නොවන ඉතා දක්ෂ , උපදේශන හැකියාවක් ඇති මනෝ වෛද්‍යවරුන් ඉන්නවා , මනෝවෛද්‍ය රූමි රූබන් ඒ අතරින් ඉදිරියට එන වෛද්‍යවරයෙක් , ඊට අමතරව ලංකාවේ ප්‍රධාන රෝහල් වල මානසික සායන සමඟ ඒකාබද්ධව , ළමා , තරුණ , යොවුන් මානසික ගැටළු වල ට උපදේශන ලබා දෙන සායන තිබෙනවා , මා සේවය කළ කරාපිටිය රෝහලේ එවන් සායනයක් සාර්ථකව පැවතුනා මා රෝහල් සේවයෙන් සමුගන්නා කාළයේ ( 2011) ,
      මීට අමතරව කොළඹ පාර්ක් රෝහල, නාවින්න මෙඩිකෙයා රෝහල මතකයේ විදියට .

      කාන්තාවන් සඳහාම වන “කාන්තා පිහිට“ සංවිධානය කාන්තාවන්ට අදාල ගැටළු වලදි උපදේශනය සපයන ආයතනයක් .(කාන්තා පිහිට ලිපිනය වන්නේ අංක 122, කොටා පාර, බොරැල්ලයි) ,

      තවත් මෙවන් ආයතන ගැන දැන ගන්නට පුළුවන් අපේ “ප්‍රදීප්ගේ පිටුව“ ලියන ප්‍රදීප් මල්ලිව සම්බන්ධ කරගත්තාම .

      මෙයට අමතර ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානයත් සියදිවි නසා ගැනීම් වල්කවා ගැනීම සඳහා දැනුවත් කිරීම උපදේශන සේවා ලබා දීම කෙරෙනවා , මෙන්න මේ ප්‍රෙද්ශවල එම ආයතන තිබෙනවා .මහනුවර: බණ්ඩාරවෙල: පානදුර: මාතලේ: මාවනැල්ල: මිගමුව: පඬුවස්නුවර: කුරුණෑගල: කොහුවල: හෙට්ටිපොල: ලුණුගම්වෙහෙර
      ඔවුන්ට අමතනවා නම් දුරකථන අංක: 0112682535 .

      නැවතත් ස්තුතිය ඔබට සරු අදහසක් එක් කළාට රූ ..

      Delete
  6. අහම්බෙන් ආවෙ අයියේ. මේ ටිකේ බ්ලොග් කියවෙනවා අඩුයි. තොරතුරු ගොඩක් එකතැන් කරලා. ස්තුතියි මගේ පෝස්ට් එකත් මේකට සම්බන්ධ කලාට.

    ප්‍රදීප් ගුණරත්න (බ්ලොගර් වලට ලොග් වෙන්න බෑ. මොකක් හරි අවුලක්)

    ReplyDelete
  7. ස්තුතියි මලේ වැඩ රාජකාරි අතරේ මේ පැත්තට ඇවිත් ගියාට , මේ ගැන ඔබේ ලිපිය එක් නොකළ‍ා නම් එය ලොකු අඩුවක් ලෙසයි මට දැනුනේ .

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)