2014/02/10

152) බටේ නොදා ඇටේ ගිලින අපේ කාළේ තාක්ෂණේ ...

පිංතූරය ගත්තේ fastercure.org වෙතින්
“කෝ බලන්න සඳුනි ..ඔයාගේ අත චූට්ටක් මෙහාට දෙන්නකෝ ........“ .....
“ අනේ මාමී අදත් මගේ ලේ ගන්නවද ? ..... ලොකු සර් කීවනේ අද ගෙදර යන්න පුළුවන් කියල ...“ ..


“ඔව් පැටික්කියේ .... ඔයාට අද ගෙදර යන්න පුළුවන්  , හැබැයි මේ ලේ රිපෝර්ට් එක හොඳවුනොත් තමා ....ලොකු සරුයි අපි හැමෝමයි හිතනවා ඔයාගේ මේ රිපෝර්ට් එක හොඳවේවි කියල ...ඒ නිසා මට අදත් ඔයාගේ ලේ චුට්ටක් ගන්න වෙනවා පැටියෝ ..... ...... එහෙම නම් මං මේ සමනල පැටියට කියන්නද ඔයාට චුට්ටක් විදින්න කියලා ? ......“ 
චුටි පැටික්කි ඔළු වැනුව මගේ ඇස් දෙක දිහා බලාගෙන .... “අත හොලවන්න එපා සඳූ ......මං එකපාරටම ගන්නම්කෝ ......“ 
ඇස්  පිය කෙළවරේ පුංචි කඳුළු බිංදුවක් හිරකර ගෙන කෙළි පැටික්කි හිටිය මා දිහා බලාන  ......
 ..... පුංචි අත්පොඩිත්තේ සම සිදුරු කරගෙන ගිහින් ලේ නහරයට සිරින්ජයේ  කටුවේ තුඩ ඇතුවෙන විදිය මගේ හදවතට දැනෙත්දිම විඳගෙන හිටිය මමත් .....ඒ අපේ රාජකාරියේ කොටසක් නිසා , වගේම කෙළි පොඩිත්ති සනීප කරගන්න ඕනම කරන පරික්ෂණයක් නිසාමත්.........
“හරි ... ඔන්න මම ඔයාගේ ලේ සාම්පලේ ගත්ත ... ගොඩාක් රිදුනද සඳූ ....?....“ , පොඩි එකී මුහුණ පැත්තකට ඇළ කරලා අහිසංක හිනාවක් පෑව ...
...... “දැන් ඔයාට යන්න වෙනවා .................................. ටීවී කාමරේටත් .... එක්ස්රේ එකකුත් ගන්න තියෙනවා යන්න ඉස්සර වෙලා ..... කැමතිද ? .....“
“ආ....ඒකට නම් මං ආසයි .....ඒ කාමරේ හරි සීතලයි ....අදත් මගේ පපුව පොටෝ  කරන්නද මාමේ යන්නේ ? ...“ 

.....
මේ විදියට මේ කතා බහ පෙළින් පෙළ ඉදිරියට ගියා ... සඳූ එදා ටිකට් කපාගෙන යන්න ගියා ....මේ චක්කරේ මාස හය හතක් සිදුවුනා , සඳූ “අපේ සඳූ “ වුනා අන්තිමට ...... ඒ කීවේ පිළිකා ඒකකයේ සේවය කළ විශේෂඥ වෛද්‍යනිළධාරිතුමාගේ ( අද මහරගම පිළිකා ආයතනයේ සේවය කරන මනුස්සකම පිරිච්ච “ලොකු මහත්තයෙක්“ ) ඉඳළ , වැසිකිළි පවිත්‍රතා කටයුතු කළ සහෝදර සේවකයා දක්වාම ..අපි හමෝගෙම “අපේ සඳූ “ වුනා ඇය .........ඒත් ....
.....
.............
.....................................

අපි ඒ ගැන කතා නොකර ඉමු .... 


කතාව මෙතැනින් නිමා වුනත් “අපේ සඳූගේ‘‘  දිලිසෙන තරු ඇස්දෙක , හිනාවෙන කොට වල ගැහෙන චූටි කම්මුල් පොඩිති .... වාට්ටුවේ වැඩකරත්දි දුවගෙන ඇවිත් ඇඟේ එල්ලෙත්දි දැනෙන උණුහුම තාමත් අපි කාගෙත් හිත්වල තියෙනවා ...... . .. මේ සිදුවීම වෙලා අදට අවුරුදු දහයකට විතර , හැමදාමත් අපි මුහුණ දුන් සංවේදී අත්දැකීම් වලින් එකක් විතරයි මේ .... මේ කතාව දිගේ ආවේ වෙනත් නැතකට ...ඒ රෝග නිර්ණක පරික්ෂණ .....

ටෙස්ට් කරන ටෙස්ට් ..!

අපි දන්න විදියටම මෙහෙම කියමු , බ්ලඩ් ටෙස්ට් , එක්ස්රේ , ස්කෑනින් ..බයොප්සි කියන ඒවා.තව ........ ඔව් ඊසීජී වගේ  ...ඊට  අමතරව ... තව තව වර්ග ගණනාවක පරික්ෂණ , වාර්තා අවශ්‍ය වෙනවා රෝග තත්ත්වයන් නිර්ණය කිරීමේදි , අගැයුම් කිරිමෙදි ... මේ ලිපිය ඇතුලේ මේ සියළු පරික්ෂණ ගැන කතා කරන්න යන්නේ නැහැ මම ,  නමුත් මේ පරික්ෂණ නාමාවලිය ඇතුලේ සමහර පරික්ෂණ ඒ තරම් වේදනාකාරී නැහැ .. උදාහරණයක් කිව්වොත් Chest Xray එකක් .. “අපේ සඳු කියන විදියට පපුව පොටෝ කරන එක“ .... වේදනාකාරි බවක් නැහැ . හැබැයි අස්ථී බිඳීමක් වගේ දෙයක් හඳුනගන්න එක්සේ එකක් ගනිත්දි නම් පොඩ්ඩක් විතර වේදනාකාරී වෙන්න පුළුවන් .. ස්කෑනින් පරික්ෂණ බොහොමයක් පොදුවේ අපහසුකාරී නැහැ කියන්න පුළුවන් . හැබැයි එය කරන තැන , අතිරේක සාධක අනුව මේ කතාව පොඩ්ඩක් විතර වෙනස් වෙන්න පුළුවන් , ඒත් මම මේ කියන්නේ පොදු අදහස ... එතකොට බ්ලඩ් ටෙස්ට් ... පොඩ්ඩක් විතර වේදනාකාරියි ... කොඳුඇට පෙළ අතරින් කටුවක් යවල මස්තිෂ්ක සුෂුම්නා තරළය ගන්න එක තව පොඩ්ඩක් විතර අපහසුකාරි වෙන්න පුළුවන් .... ඔය විදියට කියාගෙන යත්දි එනවා පරික්ෂණ කාණ්ඩයක් “එන්ඩොස්කොපි “ කියන .... 

මේකෙදි වෙන්නේ මොකක්ද කියල නමෙන්ම හොයා ගන්න පුළුවන් . එන්ඩො කියන්නේ “ඇතුල“ ... ස්කොපි කියන්නේ “පියවි ඇහෙන් බලනවා “ කියන එක .... එතකොට මේ පරික්ෂණ වලදි වෙන්නේ මොකක්ද කියල හිතා ගන්න පුළුවන් නේ ... ( විශේෂයෙන්ම කියන්න ඕන , මේ පරික්ෂණ වලදි දැනෙන , ලැබෙන අපහසුතාව , වේදනාව කියන චවනය එකිනෙකාට ප්‍රමාණයෙන් වෙනස් වෙන්න පුළුවන් , ඒ වගේම අද වෛද්‍ය තාක්ෂණය දියුණුයි මේ අපහසුතා සෑහෙන තරමකින් අවම කරන්නට , ඒ විතරක්ද ? .... ලෙඩේට කෙරෙන්න  ඕන පරික්ෂණයක් නම් ලැබෙන අපහසුතාව යටපත් කරගෙන පරික්ෂණය කරගන්න එක තමන්ගේ ශරීර සෞඛ්‍යයට තමා වැදගත් ) 

ඔව් ... මේ එන්ඩොස්කොපි පරික්ෂණයෙදි කැමරාවක් සහ තවත් ආම්පන්න කිහිපයක් සහිත බටයක් ඇඟ ඇතුලට යවලා , ඇතුලේ තිබෙන තත්ත්වය වෛද්‍යවරයා විසින් පියවි ඇහෙන් සජීවීව බලනවා ..එහෙම කිව්වට අද මේ තාක්ෂණය පරිගණක තාක්ෂණය එක්ක තදින් බැදුනු , බොහොම ඉහළ මට්ටමේ රෝග නිර්ණක පරික්ෂණ ක්‍රමයක් . සමහර විට අහලත් ඇති  O.G.D , Colonoscopy , වගේ පරික්ෂණ ගැන කතා වෙනවා .


www.cancercare.ns.ca
 මේ අතරින් Colonoscopy කියන්නේ බහුලව සිදුවන එන්ඩොස්කොපි පරික්ෂණ වර්ගයක් , මහාන්ත්‍රයේ අභ්‍යන්තරය ගැන සොයා බලන මේ පරික්ෂණය ටිකක් විතර අපහසුතා සහිත පරික්ෂණයක් කියන එක සාධාරණයි . හේතුව මේ වෙනුවෙන් දින කිහිපයක් විතර සූදානම් වෙන්න වෙනවා , ඊළඟට විශේෂීත පරික්ෂණාගාරයක් ඇතුලේ කාළෙ ගත කරන්න වෙනවා , තව ..... වේදනාව , අපහසුතා පාළනය කරන්න විශේෂීත ඖෂධ දේහ ගත කරගන්නට වෙනවා ......ගුද මාර්ගය ඔස්සේ අදාල උපකරණය මහාන්ත්‍රය තුලට ඇතුළු කරත්දි යම් අපහසතාවයක් දැනෙනවා , ඒ විතරද මේ මොනව කළත් පරික්ෂණයට පස්සේ හරි ටිකක් හරි වේදනාවක් ඇතිවෙනවා . .....මේ කියාගෙන ගියේ රෝගියෙක්ට ඇත්තටම සිදුවන දේ ,  .... (දැන් ඉතින් මේ ටික කියවපු ගමන් තමන්ට මේ පරික්ෂණය කරගන්න තියෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න එපා , වෛද්‍යවරයා මෙය නියම කරන්නේ ඒ පරික්ෂණය අතවශ්‍යම තත්ත්වයක් පවතීනම්)

ඔය කීව ටික ගැන ටිකක් හරි හිතා ගන්න පුළුවන් මේ වීඩියෝව බැළුවොත් .



දැන් කියන්න යන්නේ මේ කතා කළ Colonoscopy කරන අළුත්ම විදියක් ගැන . මේ ක්‍රමයේ මුලිකම වාසිය තමයි දේහය තුලට කැමරාවක් සහිත බටයක් ඇතුළු කරනවා වෙනුවට , බෙහෙත් කරළක් බොනවා වගේ කැමරාවක් සහිත කැප්සූලයක් බොන්නට සැලැස්වීම . ඒ කීවේ දැන් කැමරාව , පොඩි බෙහෙත් කරලක් වගේ බොන්න පුළුවන් . ඊට පස්සේ කැමරාව සහිත කරල කටේ ඉඳන් බඩ ඇතුල දිගෙ ගිහින් ඉන් ඉවත් වීම දක්වා ගමන් මගේ සියළුම  දර්ශණ , සුක්ෂණ විදියට වීඩියෝගත වෙලා , එළීයේ තිබෙන දර්ශන පද්ධතියකට එනවා  . දැන් ඉතින් අදාල වෛද්‍යවරයාට තිබෙන්නේ මේ වීඩියෝ රූප රාමු නිරික්ෂණය කරමින් පවතින රෝග තත්ත්වය හඳුනා ගැනීම . 


ගිලින කැමරාව 

මේ තාක්ෂණය නම් කෙරෙන්නෙ Capsule Endoscopy විදියට , දැනට කාළයක් තිස්සේ විවිධ රටවල මේ ක්‍රමය පැවතුනත් , අමෙරිකානු FDA ( U.S. Food and Drug Administration) ආයතනය විසින්  මෙම පරික්ෂණය ක්‍රමය පිළිගන්නා ක්‍රමයක් ලෙස අනුමත කළේ මීට දවස් කිහිපයකට ඉස්සර වෙලා. ඒ නිසාම දැන් වැඩි වැඩියෙන් මේ Capsule Endoscopy තාක්ෂණය ගැන කතා කරන්න පටන් අරගෙන . 

දැන් ඉතින් මේ අළුත් තාක්ෂණය හොඳටම හොඳද ? .... මෙහෙමයි ... මේ   තාක්ෂණය නිසා මෙතෙක් Colonoscopy  , ඇතුළුව ප්‍රධාන වශයෙන් ආහාර මාර්ග නාලය ආශ්‍රිතව කෙරෙන Endoscopy පරික්ෂණය සරළව සහ පහසුවෙන් කළ හැකි තත්ත්වයක් ඇති වෙනවා . නමුත් මේ උපක්‍රමයේ අඩුපාඩුවකුත් තිබෙනවා , ඒ තමයි අළුත් කැප්සූලයට පුළුවන් බඩ ඇතුලේ පොටෝ ගහන්න විතරයි , අර බටේ දාන ක්‍රෙම්දි නම් බඩ ඇතුල බලන ගමන් , වෙනසක් තිබුණොත් පටක කෑල්ලක් කපල එළියට ගන්න එහෙමත් පුළුවන්.  විශේෂයෙන්ම වැඩි දුර පරික්ෂණ වලදි මේ පටක කෑල්ලක් එළියට අරගෙන කරන  Biopsy පරික්ෂණය වැදගත් . 

ඒ නිසා මේ අළුත් වෛද්‍ය තාක්ෂණය ගැන මත වාද බිහි වෙමින් පවතිනවා , නමුත් Capsule Endoscopy  මඟින් අදාල පරික්ෂණ කරගත් බොහෝ රෝගීන් නම් ඒ ගැන කතා කරන්නේ බොහොම ඉහළ මට්ටමින් . හේතුව ඔවුන් මෙමඟින් ලැබෙන නිදහස් බව . ඒ වගේම අපහසුතා ගැටළු ඉතාමත් අඩුවීම . 

කෙසේ නමුත් මේ තාක්ෂණේ තවත් ඉදිරියට ගිහින් බංඩිය ඇතුලට පුංචි රෝබෝවෙක් ඉන්න කැපුසූලයක ගිලින කාළෙකුත් ළඟදි ඒවි කියල බලාපොරොත්තුවක්  තිබෙනව . එහෙම වුනොත් නම් අර බට , කැමරා තිබෙන එන්ඩොස්කොපි සෙට් එක අයින් කරල “රොබෝ කැප්සූලයක“ කටේ දාගෙන ලෙඩේ හොයා ගන්න පුළුවන් වේවි ....කාළයක් යාවි .. සමහර විට එහෙම වේවි ...




මම දන්න තරමින් තවම අපේ රටේ මේ අළුත් ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නැහැ , එහෙම ක්‍රියාත්මක වන බවක් දන්නා අයෙක් වේ නම් ඒ ගැන සටහනක් තබාවි කියල බලාපොරොත්තු වෙනවා .  මේ ප්‍රෙද්ශයේ රෝහලක නම් මේ තාක්ෂණය මීට වසර කිහිපයක සිට සාර්ථක විදියට ක්‍රියාත්මක වෙනවා . රෝගීන්ගේ ප්‍රතිචාරත් හුඟක් ඉහළයි , දැනට නැතත් තව අවුරුදු දෙක තුනක් යත්දි අපේ රටෙත් මේ පරික්ෂණය සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් ..අන්න එදා වෙනකම් ඉන්නේ නැතිව “සොඳුරු සුව අසපුව “ බලපු ඔබ දැනටමත් ටිකක් හරි මේ ගැන දැනුවත් වුනා නම් ........ඒ තමයි සතුට .....

සමුගන්නම් සුව සතුට පතමින් ..

ඉදිරි සතියේ එන වැලන්ටයින් දිනේට අපේ පොඩි එවුන් නම් වැඩ ගොඩයි , ඉස්කෝලෙ ඔක්කොම යාළුවන්ට කාඩ් හදනවා , පිංතූර හදනවා ..හරිම සුන්දර දවසක් ඒ දිනය ..... ඒ දිනයම අසුන්දර කරගන්න පිරිසකුත් ඉන්න නිසා මීට පෙර කෙටි සටහන් දෙකකින් පුංචි කතා දෙකක් ඔබට ඉදිරිපත් කළා ....  බැලුවේ නැත්නම් මෙන්න මේ ලිංක් වලින් ගිහින් ඒ ටික බලලම එන්නකෝ ...


සීමා නැති වුනු වැලන්ටයින්ලා ...http://www.nursinglk.com/2014/02/blog-post.html






12 comments:

  1. ඉතාමත් වටිනවා සහෝ මේ වගේ ලිපි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර ! .. ඔබේ දිරි ගැන්ව්ම් මට සතුටක් !

      Delete
  2. ඔය ‍කරල කටිං ගිහිල්ල අනික් පැත්තෙන් එන්න කොච්චර වෙලාවක් යනවද?
    කොහොම උනත් නියම විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් පැය 4-6ක් අතරේ මේ සියල්ල අවසාන වෙලා කැමරව සහිත කැප්සූලය ඉවත් වෙලා යනවා .. ඉතාමත් කළාතුරකින් එය ගුද මාර්ගයේ රැඳෙන්න අවදානමක් තිබුණත් ,එයටත් සරළ ප්‍රතිකාරයකින් පිළිතුරු ගන්නට පුළුවන්.
      ස්තුතියි මිතුර!

      Delete
  3. වෛද්‍ය තාක්ෂණික කටයිතු දියුණුවෙන්නේ අපිට හිතන්නවත් බැරි තරම් වේගයෙන් බව පැහැදිලිව පෙනෙනවා. බොහෝවිට රොබෝ වරුන් ශල්‍ය කාර්ම කරන තත්වයට ඉදිරි සියවස තුල දියුනුවෙතැයි මමනම් විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අද දවසේ රොබෝ තාක්ෂණය සමහර ශල්‍යකර්ම සඳහා යොදා ගන්නවා , (මෙම රටවල ) නමුත් යම් වෛද්‍ය අධීක්ෂණයක් යටතේ ....ඇත්තෙන්ම ඔබ කියනවා වගේ සම්පුර්ණ රොබෝ අධීක්ෂණය යටතේම එමම තත්ත්වයත් හෙට දවසේ සිදු වේවි ..
      ස්තුතියි ඔබට , ඔබේ පැමිණීම සතුටක් !

      Delete
  4. හොඳ විස්තරයක්..මේ වගේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එකම වටිනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , ඔබේ පැමිණිමම මට හුඟක් වටිනවා

      Delete
  5. තාක්ෂණය එන්න එන්න දියුණු වෙන කොට ලැබෙන පහසුකම් තමයි. ස්තුතියි, අමාරුවෙන් වුනත් කාලය සොයාගෙන සිංහලෙන් මෙවැනි දේ සටහන් කර තැබීම පිලිබඳව.

    ReplyDelete
  6. ඒ වගේම ඔබටත් ස්තුතියි ඉඩ ලැබෙන හැම විටම මේ සටහනට පැමිණ දිරි ගන්වනවාට ...

    ReplyDelete
  7. ලගදී අපේ නෑ කෙනෙක්ට ආහාර පද්දතියේ පිලිකා,අය තත්වයක් පටන් ගැනීමේදි අහු වෙලා එය අයින් කලා,අහු උනෙත් ඇපෙන්ඩිටයිස් සැත්කමක් කරනකොට අහම්බෙන් අර වැඩෙන ගෙඩියත් අහු වෙලා,පස්සෙ ඉතාලියෙදි අනික් ප්‍රතිකාර පටන් ගත්තා,ලංකාවෙදි කේමියෝ 6 නියම කලත් ඉතාලියෙදි එහෙම කරන්න උවමනා නෑ කියන එක රෝහලින් කිවුවෙ,අදටත් ප්‍රතිකාර,නිරන්තර පරීක්ශන යනවා,එයාගෙ සීටී ස්කෑන් පරීක්ශනයකට මමත් ගියා දවසක්,යම් දියරයක් බොන්න දීලා තමා ස්කෑන් යන්ත්‍රයට ඇතුල් කලේ,ඉතාමත් අපහසුවක් දැනුනා කිවුවා ඒක කරනකොට,ඒ වගේම අර දියරයත් ශරීරය පුරා ගමන් කරනවා හොදට දැනුනා කිවුවා,,සාමාන්ය ස්කෑන් යන්ත්‍රයක් එක්ක මේකෙ වෙනස මොකද්ද?
    මට දැන ගන්න ඕනා හර්නියා රෝගය සම්බන්ධ ලිපියක් තියනවද,,මම හෙවුවා අහු උනේ න්

    ReplyDelete
    Replies
    1. ඔබ කියන විදියට මේ බේරියම් ටෙස්ට් එකක් වගෙයි කරලා තිබෙන්නෙ , මෙහිදි සිදුවන්නේ ඒක්ස් කිරණ වලට ප්‍රතිරෝධී බේරියම් දියරය බොන්නට දී සාමාන්‍ය ක්‍රමයේම එක්ස්රේ හෝ ස්කෑනින් එකක් කිරීම , එවිට ලැබෙන ඡායාරූපයේ පැහැදිලි බව වැඩියි , විශේෂයෙන්ම පිළිකාමය යෝ තුවාල , පටකවල වෙනස්වීම් පිළිබඳව මුලික අවබෝධයක් ලබා ගැනීමටයි මෙය කරන්නේ .
      හර්නියා වර්ග ගණනාවක් තිබෙනව , නමුත් තවමත් එකක් ගැනවත් ලිපියක් එක් වෙලා නැති වග දැනුයි මටත් මතක් වුනේ :) ඉඩක් ලැබුණ විට එයත් එක් කරන්නම් ඔබේ මතක් කිරීම නිසාම ...
      ස්තුතිය ඔබට

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)