2014/01/17

151) නින්ද නොයන සියුමැලී ..කැන්දාගෙන කම්මැලී

අද කතා කරන්න යන මාතෘකාව ටිකක් සංකීර්ණයි , මට ඔබට විතරක් නොවෙයි මේ පිළිබඳව පර්යේෂණ කරන වෛද්‍ය පර්යේෂකයන්ට පවා තවමත් හරි හැටියටම කියා ගන්න අමාරු රෝග තත්ත්වයක් , ඇත්තම කීවොත් ලෙඩ මල්ලක් (syndrome) තමයි මේ “සුවිශේෂී කම්මැලිකම“ ...තද කම්මැලි කමක් , එදිනෙදා කරන්න ඕන වැඩ ටිකවත් කරගෙන යන්න බැරි තරම් , මහන්සි , වැටුනු තැනින් නැගිට ගන්න බැරි , ඇඟ පත තලල දාල වගේ රිදෙන මේ “භයානක ලෙඩේ“  කොයි තරම් භයානකද කියනවා නම් , ලෙඩේට නම් ගොඩයි , Myelgic Encephalomyelitis , Chronic Fatigue Immune Disfunction Syndrom  , Chronig Fatigue Syndrome ...ඔය වගේ එකිනෙකට ආසන්න නම් ගණනාවකට හිමිකම් කියන මේ අසාමාන්‍යතාවය ගැනයි අද කතා කරන්නේ .

ඔය නම වැලම කියවන්න බැරි නිසා මෙතැනින් එහාට පොදුවේ CFS කියන වචනේ තමා පාවිච්චි කරන්නේ , .....

හරි “කම්මැලි“ හිතෙන්න ඉස්සර වෙලා බලමු මේ ලෙඩේ රෝග ලක්ෂණ මොනවද කියලා , ...හැබැයි ඔන්න කළබල වෙනව එහෙම නෙවි , මොකද මේ හුඟක් ලක්ෂණ ඔටබත් මටත්  ඇති , හැබැයි ඒකෙ තේරුම ඒ හැමෝම CFS ලෙඩ්ඩු කියන එකම නොවෙයි , නමුත් මේ ලක්ෂණ , දිගු කාළීනව තිබෙනවා නම් ඒ කීවේ මාස හයක් හෝ ඊට වැඩි කාළයක් එක දිගටම තිබෙනවා නම් ටිකක් හොයල බලන එක හොඳයි , මොකද මේ තමයි අද ලෝකේ පුරාම හඳුනගනිමින් තිබෙන , සංඛ්‍යාත්මකව වර්ධනය වන , ඒ වගේම හඳුනානොගත් සෑහෙන පිරිසක් “විඳවන“ එක්තරා විදියක “සැඟවුනු අනතුරක්“ වගේ රෝග තතත්වයක් සංඛ්‍යාත්මකව 1000කට කිහිපදෙනෙක් මේ තත්ත්වයෙන් පෙළෙනවා , ඒ අතරින් කාන්තාවන් වඩාත් අවදානම් කණ්ඩායමේ බව හඳුනාගෙන තිබෙනවා  . මෙන්න මේ ලක්ෂණ ටික බලන්න...

  • “කියා ගන්න බැරි තරමට“  ......තෙහෙට්ටු බව ,
    • හරිහැටි හේතුවක් කියා ගන්න බැරි , ටික දවසක් තිස්සේ තිබෙන , අඩු වැඩි වෙන , එත් සම්පුර්ණයෙන් සුව නොවුනු තෙහෙට්ටුවක් මේක , සමහර විට , ගෙදර දොරේ , නැත්නම් කාර්යාලයේ කරන සාමාන්‍ය වැඩ කටයුත්තක් වත් කරගන්න අමාරු තරමේ “අසනීප ගතියක් ,ඇඟපතේ රිදුමක් “  වුනත් , “අනේ මන්ද හැම තිස්සේම ඇඟපත තලල දාල නිකං උණ හෙම්බිරිස්සාව වගේ “  කියනවා මිසක වෙන කියන්න හේතුවක් නැති තරම් .


  • මන්ද නාව කල්පනාව ......
    • ඔය ...දැන්ම කළබල වෙලා .....පොඩ්ඩක් ඉන්න මේකත් බලන්න ... , මේ CFS වල තවත් ප්‍රධාන අවස්ථාවක තමයි , මතකයේ ප්‍රශ්න , ඒ කියන්නේ කල්පනාව අඩුවෙලා වගේ . පොඩි පොඩි අමතක වීම් ,කතා කරගෙන යත්දි ඊළඟ වචනේ අමතක වෙලා යනවා වගේ , ඩ්‍රයිව් කරනවා නම් සැරින් සැරේ තමන් යන පාර ගැන අවධානය නැතිව යනව වගේ දැනෙන එක , ඒ විතරක් නෙවි සමහර විට , බඩු ගන්න කඩේට ගියාම , කඩේට ආවේ මොකටද කියල පවා අමතක වෙන තරමේ ,දැනෙන අමතක වීම් තත්ත්වයක් පවතිනවා නම්, 


  • නින්ද නේන රෑ  .....
    • ඊළඟ ප්‍රධාන ලක්ෂණයක් තමයි නින්ද අඩුවීම , එහෙම නැත්නම් සාමාන්‍ය නිදි රටාව වෙනස්වීම , එක්කෝ නින්ද යන්නේ නැහැ , සමහර විට රෑ මැද යාමේ නින්දට ගියත් ටික වෙලාවකින් ඇහැරෙනවා ආයේ නිදා ගන්න බරි විදියටම , කොහොම හරි නිදා ගත්තත් උදේට දැනෙන්නේ “සනීපෙට නින්දගියේ නැති බවක්“ , මේක එක දවසක් නෙවි , එක දිගට සිදු වෙන්න පටන් ගන්නවා විශේෂ සිදුවීමක් නැතිව ( ඒ කිවේ රාජකාරියේ ස්වභාවයෙන් , නිදා ගන්නා ස්ථානයේ වෙනසක් නැත්නම් වෙනත් රෝග තත්ත්වයක් , වගේ සාධකයක් නැතිව)


  •  අඩු නැති කැක්කුම් ...
    • ඔය මුලින් කී ප්‍රධාන ලක්ෂණ එක්ක මෙන්න මේ වගේ කැක්කුම් එහෙමත් තිබෙනවා නම් , තිබුණ නම් මාස හයක් විතර ......පරිස්සමින් ...  මොනවගේ කැක්කුම්ද ? ....ඔළුවේ කැක්කුම් , කිසිම හේතුවක් හිතා ගන්න බරි දිගටම තිබෙන හිස රුදාවක් , බෙල්ල හරවත්දි රිදෙන , බෙල්ල දෙපැත්ත අල්ලත්දි රිදෙන අපහසුතාවක් , අතපයේ මස්පිඬු වල වේදනාවක් , විශේෂත්වය මේ වේදනාව දරා ගෙන ඉන්න බැරි තරමේ එකක් නොවීම , තද වේදනාවක් නොවෙයි , ඒත් නිරන්තරයෙන්ම තිබෙන වේදනාවක් , 

  • පුර්ණ කාළීන හෙම්බිරිස්සාවක් ! ....
    • අනෙක් ප්‍රශ්නේ මේ කාළෙ පුරාවටම නිකං උණ හෙම්බිරිස්සාව වගේ , උගුර රිදෙනවා , නාහේ තදවෙලා වගේ , අතපය , හන්දි වල කැක්කුම් , නිකං උණ හැදිලා වගේ .....

ඔය කියාගෙන ගියේ CFS වල තිබෙන්නට පුළුවන් සහ බහුලවම දකින්නට ලැබෙන ලක්ෂණ කිහිපයක් , විශේෂත්වය මේ ලක්ෂණ වලට අදාලව ඔබේ වෛද්‍යවරයා හමුවෙලා ප්‍රතිකාර ගත්තත් සුවයක් නැහැ , අනෙක “හැමදාම එක එක ටෙස්ට් කරනවා විතරයි , ලෙඩේ සනීප වෙන්නේ නැහැ “ කියන උත්තරේ තමයි අවසානය වෙන්නේ , ඒකියන්නේ මේ CFS එකපාරට හඳුනගන්න ටිකක් අමාරුයි , හුඟක් වෙලාවට සිදු වෙන්නේ මේ CFS වෙනුවට වෙනත් රෝග තත්ත්වයක් හඳුනාගෙන , නැත්නම් “මේක වෙන්න ඇති යැයි සැක කරමින්“ ප්‍රතිකාර කෙරෙන එක . ඒ නිසා මේ වැලටම වැටෙන තවත් ලක්ෂණ ටිකක් හඳුන ගනිමුකෝ .මොකද ලක්ෂණ ගැන ටිකක් වැඩිපුර දැනගෙන ඉන්න එක යම් විදියක ආරක්ෂාවක් ....කොහොම වුනත් .......................... කතාව මේ විදියට කියන්න ගියොත් කියවන ඔබටත් “කම්මැලි ලෙඩේ හැදෙන්න පුළුවන් නිසා“ .....අදට නවතිනවා , කතාව ඉතිරිටික කියන්න ආයෙත් මේ ලිපියේ ඊළඟ කොටසින් හමුවෙන අදහසින් , 

අදට සමුගන්නවා , සුව සතුට පිරි දිනයක් පතමින් ...


පසු සටහන ,
පසුගිය දිනවල මේ ප්‍රෙද්ශයට බලපෑ “සුන්දර ස්වභාවික ආපදා අවස්ථා“ පිළිබඳව , සිරි ලංකාවේ ජනමාධ්‍ය තුලින් දැන ගෙන , අප පිළිබඳව විමසූ මිතුරනි ඔබ හැමට ස්තුතියි , 
එමෙන්ම පසුගිය කාළ සීමාව තුල අළුත් “ලෙඩ ලිපියක්“ එක් කරන්නට නොහැකි වුනත් , සොඳුරු සුව අසපුව අමතක නොකළ ඔබටත් ස්තුතියි ..


-------දෙවන කොටස -----------
අපි ඊයේ දවසේදි කතා කළේ Chronic Fatigue Syndrome කියන රෝග තත්ත්වය ගැන. විශේෂයෙන්ම රෝගයේ (සංධාවයේ) මුලික සහ බහුලව දැකිය හැකි ලක්ෂණ හතරක් ගැන තමයි පෙර ලිපියේ වැඩිපුරම කතා කළේ . මේ ලිපියෙත් ආරම්භය ඊටම සම්බන්ධ කරන්නටයි වෙන්නෙ , විශේෂයෙන්ම , මේ රෝග තත්ත්වය තහවුරු කරගැනීමෙදි , රෝග ඉතිහාසය , පවතින සහ පැවතුනු රෝග තත්ත්වය , අසාමාන්‍ය තත්ත්වයන් පිළිබඳව වටහා ගැනීමක් කළ යුතු වෙනවා , ඒ සඳහාත් මේ රෝග ලක්ෂණ අධ්‍යයනය වැදගත් වේවි. 


මේක මානසික ලෙඩක්ද ?


මුලින්ම පුද්ගලයාගේ මානසික තත්ත්වය සහ චර්යාත්මක වෙනස්වීම ගැන කතා කරමු , ප්‍රධාන වශයෙන්ම CFS රෝග තත්ත්වය සහ මානසික අවපීඩනය ( අපි මේ ගැන කතා කළා 33 වන ලිපියෙදි http://www.nursinglk.com/2011/07/33-depression_17.html)  අතරේ ලොකු සබඳකමක් ඇති බවට මේ පිළිබඳ පර්යේණ පැවැත්වූ කණ්ඩායම් විශ්වාස කළා , අසූගණන් වලට පෙර මෙම තත්ත්ව දෙකම එකට සම්බන්ධයි කියන තරමටම ඒ පිළිගැනීම වෛද්‍ය ක්ෂේත්‍රය තුල තිබුණා , නමුත් ඉන් පසුව කළ පර්යේෂණ සහ හඳුනා ගැනීම් නිසා , මේ තත්ත්ව දෙක අතර තිබුණ බැඳීම ටිකක් විතර දුරස් වෙලා , CFS සහ වෛරස් අතර බැඳීමක් ඇති වෙලා අද වෙනකොට. මානසික අවපීඩනය විතර නොවෙයි , CFG තත්ත්වයත් සමඟ අධික කාංසා තත්ත්වයක් සහ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමේ අපහසුතාවයක් පවතින්නට පුළුවන් . නමුත් මෙය කිසිම විටෙක මානසික රෝගයක් ලෙස හදුන්වන්නේ නැහැ ...

අර ලක්ෂණත් මේ ලක්ෂණත් හැර ????

මේ අමතර ලක්ෂණ වලටත් අමතරව , කල් පවතින කැස්ස , පපුවේ කැක්කුම් වරින් වර ඇතිවීම , සමහර විට පපුව ගැහෙන කම්පනය පිටතට දැනෙන තරමේ අවසථාවන් ( Palpitation)  ඇති වෙන්න පුළුවන් . ඒ එක්කම පෙර නොතිබුණු , නමුත් දැන් ටික කළක සිට වරින් වර ඇති වන බඩේ අමාරු , මළ පහ රටාව වෙනස්වීම ,  ඒ එක්කම වගේ මාස කිහිපයක් තුල දැනෙන තරමේ බර අඩු වීමක් වෙන්නත් පුළුවන් . 

දැන් ඉතින් මේ ලක්ෂණ වැල දැක්කම මොකද හිතෙන්නේ ..... :)

ඇයි අනේ මෙහෙම කම්මැලිකමක් ?

දැන් අපි ටිකක් කතා කරමු , ඇයි මෙහෙම වෙන්නේ කියලා , නැත්නම් මේ රෝග තත්ත්වය හැදෙන්නට හේතුව මොකක්ද කියලා , 
ඔන්න මුලින්ම කියන්න ඕන මේ රෝග තත්ත්වය , නැත්නම් රෝග සංකීර්ණය පිළීබඳව තවමත් පර්යේෂණ සිදුවෙමින් පවතිනවා , ඒ නිසා මේ කතා කළ තොරතුරු හෙට දවසේ වෙනස් වෙන්න පුළුවන් . ..නමුත් අද දවස වෙත්දි පවතින අළුත්ම සොයා ගැනීම් අනුව අපි ටිකක් කතා කරමු ...


කම්මැලි Y රස ....

ඉස්සර මානසික සහ මොළය ආශ්‍රිත සාධක මුලින් හිටියත් අද , මුලින්ම ඉන්නේ වයිරස , මේ වන විට කළ පර්යේෂණ රැසකදි හඳුනාගෙන තිබෙනවා වයිරස වල බලපෑම නිසා මේ තත්ත්වය ඇති වන්නට වැඩි ඉඩක් ඇති බව . ඒ වයිරස අතරේ , පුංචි පැටවුන්ට අවුරුදු දෙක තුන විතර වයසෙදි උණත් එක්ක ඇඟ පුරා පුංචි රතුපාට බිබිළි  හදන  HHV-6 කියන වයිරසය ප්‍රධාන තැනක් ගන්නවා( මේ කියන්නේ  Journal of Medical Virology   පොතට අනුව සහ 2013 දකුණූ ෆලොරිඩා විශ්ව විද්‍යාලයේ කළ පර්යේෂණ වලට අනුව  ). පොඩි වුනාට මේ වයිරස ලොකු වැඩක් තමයි කරන්නේ , මොකක්ද දන්නවද , මුලින්ම පැටිය පුංචි කාළෙ “උණක් , බිබිළි හදල“ , පෙන්වනවා “මෙන්න මම ඔයාගේ ඇඟට ඇතුළු වුනා “ කියලා , හැබැයි ඊට ටික දවසකට පස්සේ මෙන්න මෙයා “හැංගිමුත්තං කරනවා “ .. ඒ කීවේ දරු පැටියගේ සෛල ඇතුලේ හැංගිලා හොරෙන් ඉන්නවා , පැටියාගේ කෙළ එක්ක තව කෙනෙක්ගේ ඇඟට පනින්නත් මෙයාලට පුළුවන් . ලොකුම දේ මේක නොවෙයි , මෙයාලට පුළුවන් මේ විදියට අවුරුදු 30-40 ක් වෙනකම්ම මේ හැංගිමුත්තං සෙල්ලම කරන්න , ඔන්න 30-40 වුනු ගමන් හැංගිලා හිටපු මෙයාලා වැඩ පටන් ගන්නවා , ආයෙත් සමහර විට උණක් , නැත්නම් බඩේ අමාරුවක් විදියට හැංගිලා හිටි තැනින් එළීයට ඇවිත් ඊට ටික දවසකට පස්සේ අර දරුපැටියාට ....නැහැ අද නම් තරුණයට , CFS තත්ත්වය ඇති කරනවා . ඔන්න ඔය නිසාම CFG වලට තව පෙළපත් නාමයකුත් සමහර අවස්ථා වල ලබා දෙනවා , ඒ Post Viral Fatigue Syndrome කියලත් , (දැනට සොයාගෙන තිබෙන දත්ත අනුව බ්‍රිතාන්‍යය , අමෙරිකාව වගේ රටවල 0.8% විතර මේ වයිරසය තමන්ගේ දේහය තුල දරාගෙන නිරෝගීව ඉන්නවා) . 

මෙයට අමතරව ජානමය බැඳීමක් , ඒ කියන්නේ පරිම්පරාවෙන් ඉස්සරහට ගමන් කිරිමේ හැකියාවක් තිබෙන්නට ඉඩ ඇති බවත් විශේෂයෙන්ම මුලින් කියපු වයිරස වල බලපෑම නිසාම මේ ජානමය ලෙස සාධකය ඇතිවන බවයි පර්යේෂකයින් පහදන්නේ . 

තවත් හේතු සාධක තියෙනවද කියල දැන් අහවි ඔබ ..ඔව් , අධික මානසික ආතතිය , ළමා අවධීයේ ඇතිවූ වේදනාබර මානසික රිදවීම් , පීඩනයන් , ඒ විතරක් නොවෙයි වෙනත් රෝග නිසා පුද්ගලයාගේ ප්‍රතිශක්තිය දුර්වල වෙලා තිබීම ...........ඔය වගේ හේතු සාධක වැලක් කියන්න පුළුවන් වේවි ..ඒත් ලිව්වට ඔය ඔක්කොම කියවන්න ගියොත් .... ?????? 

හරි ඔය ඔක්කොම අතරැල දාල දැන් අපි බලමු ලෙඩේ හොයා ගන්නේ කොහොමද , බෙහෙත් තියෙනවද කියලා , මොකද අඩු ගණනනේ ඒකවත් හිතට සැනසිල්ලක් ගේනව නම් නේද ? ... (මොකද මේ රෝග ලක්ෂණ ලයිස්තුව කියවපු හුඟක් අය , දැන් ටිකක් විතර බය වෙලා ඇති) ....

අල්ලගන්න  හැටි ...

එතැනත් පරහක් .....මොකද මේ CFS නිශ්චිතවම හඳුනගන්න , ලේ පරික්ෂණ හෝ වෙනත් සම්මත පරික්ෂණයක් තවම නැහැ , නමුත් වර්තමාන පරික්ෂණ එක්ක , DNA ආශ්‍රිත පරික්ෂණයකින් ස්ථීරවම ලෙඩේ මේකයි කියල කියන්න පුළුවන් වේවි වගේ ..ඒත් තවම එවන් පරික්ෂණයක් පර්යේෂණාගාර තත්ත්ව වලින් පිටත සිදුවන්නේ නැහැ , ඒ නිසා සාමාන්‍ය දේහ පරික්ෂාව , පොදු රුධීර පරික්ෂාවන් , ආශ්‍රිත සහ අදාල වේයැයි සැක කෙරෙන රෝග තත්ත්ව වලට අදාල පරික්ෂණ කරන්නට වෛද්‍යවරයා ඔබව යොමු කරාවි. හැබැයි වැදගත්ම දේ ඔබ වෛද්‍යවරයාට පවසන ඔබේ ආමරුකම් , පසුගිය කාළෙ තුල වුනු කායික , මානසික වෙනස්වීම් වගේ Past medical history එක .. හැබැයි වැදගත්ම කරුණ , එකවතාවකින්ම මේ රෝග තත්ත්වය Chronic Fatigue Syndrome කියල හඳුනගන්න පුළුවන් වේවි කියන එක සැක සහිතයි , සමහර විට වාර කිහිපයක් ප්‍රතිකාර ගන්නට වේව , ....ඔන්න කොහොම හරි ......

ලෙඩේ හඳුනගත්ත කියමු ඊළඟට ......

ඊළඟට ප්‍රතිකාර , මෙතැනදි ඖෂධ විතරක් නොවෙයි , මනෝ-චර්යාත්මක ප්‍රතිකාර (Cognitive-behavioral therapy)වගේ ටිකක් සංකීර්ණ ප්‍රතිකාර මාලාවකට සම්බන්ධ වෙන්න සිදුවෙනවා .  ඊට අමතරව , තමන්ගේ දවසේ වැඩ කටයුතු සැලසුම් කර ගැනීම , නින්ද , කාළය වගේම ආවේග කළමණාකරනය , ව්‍යායාම වගේ ඖෂධ නොවන  උපදේශනමය චිකිත්සාවකට ලක්වන්නටත් සිදුවේවි . හැබැයි ඒ මුල් ප්‍රතිකාරයේ තත්ත්වයත් එක්ක , නිසි ලෙසින් ප්‍රතිකාර සහ පසුඇගැයුම් වලට යොමු වුනොත් නැවතත් සාමාන්‍ය ජීවිතයට  එන්නට  හැකියාව ලැබෙනව , නමුත් ඒ සඳහා ගතවන කාළය කෙනෙක්ගෙන් තවත් අයෙකුට වෙනස්වෙනවා . ඒ වගේම CFS සම්පුර්ණයෙන්ම සුව වනවා කියනවාට වඩා , හොඳින් පාළනය වනවා කියන එක නිවැරදියි දැනට , මොකද මේ ප්‍රතිකාර සියල්ලේම අරමුණ , නැවතත් “කම්මැලිකම“ ලෙඩක් විදියට මතු නොකර යටපත් කර තබා ගැනීම , නමුත් ප්‍රතිකාරය තුල දි වුනත් නැවත රෝග තත්ත්වය මතු වීමක් වන්නට පුළුවන් . මේ කාරනේ නිසාම තමයි CFS තත්ත්වයෙන් පෙළෙන කෙනෙක් ඉක්මණ් ප්‍රතිකාරයකට ලක්වීම සහ , විශේෂයෙන්ම නිසි පසු අගැයම් වලට ලක්වීම වැදගත් . 


දැන්නම්  යන්න වෙලාව හරි ....

එහෙම නම් අද කතාව නිමා කරන්න දැන් කාළෙ හරි ....මේ ලිපිය තුලින් මට අවශ්‍ය වුනේ අප අතරේ පැවතිය හැකි , තවත් රෝග තත්ත්වයක් ගැන සාමාන්‍ය අවබෝධයක් සිංහල බ්ලොග් කියවන ඔබට ලබා දෙන්නට පමණයි. විෂයක් විදියට උගත් කරුණූ වලට අමතරව යාවත්කාළීන තොරතුරු රැසක් නැවත අධ්‍යයනය කරමින් මේ සටහන ලියන්නට උත්සාහ කළ නිසා , යම් තැනක කියවත්දි ටිකක් නීරස වෙන්නට ඇති . ඒත් පුංචි දැනුමක් හරි ඔබට ලැබුණ නම් ඒ මට සතුටක් .. 



යන්න ඉස්සර වෙලා , මේ රෝග තත්ත්වයේ උග්‍ර අවස්ථාවේ කෙනෙක්ගෙ ජීවිතය ගැන දැකගන්න අවස්ථාව .. 


2 comments:

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)