2013/10/23

149) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 4

සිව්වන ලිපිය , අද මුලින්ම කතා කරන්න වෙනවා පහුගිය ලිපියටම අදාලව කරුණු කිහිපයක් , ඒතමයි පිළිකාවක් හඳුනාගන්න කෙරෙන පරික්ෂණ ගැන . අපි පහුගිය ලිපිය පුරාම කතා කළේ , පිළීකාවක් හඳුනාගැනීම සහ වර්ගීකරණය කියන කටයුත්තෙදි ඉහළම කාර්යයක් කරන , බයොප්සි ගැන , ඒ වගේම ඒ පරික්ෂණ ක්‍රියාවලියේදි වෛද්‍යවරුන් , විශේෂඥ වෛද්‍යවරුන් ඊට දායක වන අකාරය.

අද එතැන් සිට කතා කරමු , 


පිළිකාවක් හඳුනාගැනීමේදී , මූර්තන පරික්ෂණ (Imagine tests)  ඊළඟ වැදගත්ම , සහ වැඩිම කාර්යය කරනව කියල හිතන්න පුළුවන්. ටිකක් බර සිංහල වචනයක් තිබුණට මේව අපි දන්න , එක්ස්රේ , සීටි ස්කෑන් වගේ , ඇඟඇතුලේ පිංතූරයක් ලබා ගන්න පුළුවන් පරික්ෂණ.  ඒ අතරින් අපි දන්න , ඕන තරම් අහල තිබෙන එක්සේත් ඇඟ ඇතුලේ තිබෙන පිළීකාමය හෝ නොවන ගෙඩි ,Tumours හඳුනාගන්න හුඟක් උදව් වෙනවා ,  මේ අතරින් මට නම් වැඩියෙන්ම මතක් වෙන්නේ “පෙනහළු පිළිකාව“ සහ එහි පැතිරීම් හඳුනගන්න , ලබා ගත්ත එක්ස්රේ එක අපි හැමෝටම විස්තර කරල දීල , විශේෂ වෛද්‍යවරයා තමන්ගේ ඇඳ ගාවින් නික්ම ගියාට පස්සේ අපි වැටෙන ලොකුම අමාරුව ...


 “ මහත්තය , මොකද ලොකු මහත්තය කීවේ ...ලොකු මහත්තයාගේ මූණේ තිබුණ හිනාවේ හැටියට නම් ....කැන්සර් එක අඩුවෙලා නේද මහත්තයා ...? අර ලප පෙන්නුවේ මේ සෙම නේද මහත්තයා , මට හරියට කැස්ස ...සෙම වැඩියි ....“ මේ වදන ටික මේ විදියටම කියපු කීදෙනෙක් නම් හමුවෙලා ඇත්ද අපට ? ....  

තද කරලා ගහන ෆොටෝ ..

එක්ස්රේ වලින්ම පිළිකා , එහෙම නැත්නම් සැක සහිත ගැටිති හඳුනගන්න හොඳම අවස්ථාවක් තමා මැමෝග්‍රෆි Mamography  කියල කියන්නෙ , පියයුරු පිළිකා හෝ සැක සහිත වර්ධනයන් සොයා ගන්න තිබෙන හොඳම ක්‍රමයක් තමා මේ , පියයුර මත දැඩි තෙරපීමක් කරමින් ලබා ගන්න මේ එක්ස්රේ පිටපත තුල අසාමාන්‍ය වර්ධනයන් සටහන් වෙන් කරල හඳුනගන්න හැකියාව තිබෙනවා , Diagnostic Radiologist ට , ඔහු ලබා දෙන වාර්තාවත් එක්ක , පවතින තත්ත්වය පිළිකාමය ද නැත්ද කියන තීරණය ගන්නට ඔබේ වෛද්‍යවරයාට පුළුවන් , මේ විදියට සැක කළත් , හරියටම පිළිකාවක් නම් ඒ ගැන අතිශ්‍යයම නිවැරදි විස්තර ලබා ගන්න පුළුවන් පෙර ලිපියෙ කීව බයොප්සි ක්‍රමයත් මෙයට එක් කළාම තමා.
හොඳම එක                     , නරක නැති ගැටේ ,                      නරක ගැටේ 

තවත් එකක්  , සමහර අහල ඇති , මොකක්දෝ දියරයක් බොන්න දීල , එහෙම නැත්නම් ගුද මාර්ගයෙන් බෙහෙතක් ඇතුළු කරලා එක්සේ ගන්න අවස්ථාවක් , මේ දියරය විනිවිද ගෙන යන්න බැහැ එක්සේ වලට , ඒ නිසා , මේ බොන , නැත්නම් ඇතුළු කරන දියරය රැඳෙන විදිය එක්ස් රේ එකේ සටහන් වුනාම ඒ අනුව රෝග තත්ත්වය ගැන අවබෝධ කරගත හැකි ක්‍රමය තමා බේරියම් එක්ස්රේ , Barium Enema කියන්නේ . මේ උපක්‍රමයත් Cancer Screening වලදි බහුලව යොදා ගන්නවා.


මෙන්න සැකකරුවෙක් !
මේ එක්ස් රේ විදියට නම් කරන තාක්ෂණයේම දිගුවක් වුනු CT scan  , Cancer screening වලදි වැඩියෙන්ම යොදා ගන්නවා , දේහය තුල බොහොම පැහැදිලිව  ත්‍රිමාණව ගන්න පුළුවන් නිසා වගේම , අවශ්‍ය පටක වලට ගැඹූරට යමින් වෙනස්කම් පැහැදිලිව හඳුනගන්නත් පුළුවන් නිසා Computed Tomography Scanning හුඟක් ජනප්‍රියයි . 

තාක්ෂණය අතින් වෙනස් වුනත් , ලැබෙන දේ අනුව හුඟක් සමාන කම් තිබෙන ඉහත කී වෛද්‍ය තාක්ෂණයේම නිවුන් තාක්ෂණය MRI , ඇත්තම නම  Magnetic Resonance Image , මේ අවස්ථාවෙදි කිසිදු එක්ස් කිරණ භාවිතයක් නැති නිසා හුඟක්ම ආරක්ෂීත ක්‍රමයක් විදියට තමයි මෙය හදුන්වා දෙන්නෙම , ඒ වගේම ඉහත ක්‍රමයෙදි වගේම , ඇඟේ ඇතුළට ගමන් කරවමින් ත්‍රිමාණ , රූප ලබා ගන්න පුළුවන් , CT scan වලට වඩා තවත් සියුම් විදියට , දේහ අභ්‍යන්තරයේ තිබෙන වෙනස්කම් පෙන්වා දෙන්නට මේ MRI තාක්ෂණයට පුළුවන්.

හැබැයි ඉතින් අද ඔය දෙන්නම  , ඒ කීවේ සීටි සහ එම් ආර් අයි , දෙන්නම පරද්දන්න පුළුවන් තාක්ෂණයක් තිබෙනවා , ඒ තමයි PET  Scan - Positron Emision Tomography . අතිශ්‍ය සුක්ෂම විදියට දේහ අභ්‍යන්තරය ගැන , වෙනස්කම ගැන අපට පෙන්වන මේ තාක්ෂණය අද දවසේ ලංකාවේ රෝහල් වල තිබෙනවද කියල මම දන්නේ නැහැ , ඒත් 2010 විතර අපේ සමහර රෝගීන් සිංගප්පුරුවේ රෝහලකින් මේ පරික්ෂණ කරගත්බව මතකයේ තිබෙනවා .


මේවාට අමතරව අපි මීට පෙර විස්තර කළ , දේහ කුහරය තුලට කැමරාවක් සහ ආම්පන්න කිහිපයක් ඇතුළු කරලා , කරන නිරික්ෂණය , නැත්නම් එන්ඩොස්කොපි පරික්ෂණයත් මේ අරමුණ වෙනුවෙන් යොදා ගන්නා අවස්ථා තිබෙනවා .

ලේ බලා සාත්තර කියනු ලැබේ ..

මේ කියැවුනු ක්‍රම වලට අමතරව , පිළිකා හඳුනා ගැනීමෙදි ලේ මඟින් සමහර වර්ග සොයා ගන්නට පුළුවන් කමක් තිබෙනවා . හැබැයි මේ විදියට ලේ පරික්ෂණ මඟින් , පිළිකාවක පිළිබඳ සේයාවක් ඇත්දැයි හඳුනා ගන්නට පුළුවන් කම තිබෙන්නෙ , මෙන්න මේ පිළිකා වර්ග වලද විතරයි . ඒ අතරින් ලේ පිළිකාව , නැත්නම් ලියුකේමියාව මුලින්ම ,  WBD/DC කියන බොහොම අවස්ථාවල කරන ලේ පරික්ෂාව , හෝ Blood Picture නමින් හඳුන්වන ලේ සෛල දිහා අන්වීක්ෂයෙන් බලලා , ඒ හැඩ හුරුව ගැන ගන්න වාර්තාව මෙතැනදි ප්‍රමුඛයි . 

මේ වගේම , ලේ වල තිබෙන Tumor Markers කියල , පිළිකා හෝ අසාමාන්‍ය සෛල වලර්ධනය වීමකදි වැඩිපුර “එරෙන“ විශේෂ ප්‍රෝටිනයක් අනුව රෝගියාට , ගර්භාෂ පිළිකාවක් , ආහාර මාර්ගයේ පිළිකාවක් එහෙම නැත්නම් පුර්ස්ථ ග්‍රන්ථි වල පිළිකාවක් ඇත්ද කියල හඳුන ගන්නට අදාල වෛද්‍යවරයාට පුළුවන් කම තිබෙනවා .

මේ වෙනකම් අපි කතා කළේ , පිළිකාවක් හෝ සැක කළ හැකි අවස්ථාවක හඳුනා ගන්නට යොදා ගන්නා තාක්ෂණයන් කිහිපයක් ගැන ,හුඟක් වෙලාවට මේ වගේ ක්‍රම කිහිපයක එකතුවකින් තමා හරියටම පිළිකාවක්ද කියන බැරෑරුම් තීරණය විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක එකතුවෙන් ලබා දෙන්නේ . එහෙම නැතිව , ලෙඩා දැක්ක ගමන් මේකයි පිළිකාව කියල කියන්න බැහැ , ඒ කටයුත්ත ඒතරම්ම සුක්ෂමව කෙරෙන්නට ඕන , හේතුව මේ තීරණේ දෙන්න වෙන්නේ , ඇහැට නොපෙනෙන , පුංචිම පුංචි සෛලයක වෙනස්වීම හඳුනාගෙන නිසා .

එතැනින්ම තේරෙනවා ඇති “පිළිකාවක් , හරියට තක්සේරු කරන එකම සුළුපටු කටයුත්තක් නොවන වග“  , ඒ වගේම කියන්න ඕන , මේ දියුණූ රටවල තාක්ෂණයන් එක්ක සසඳත්දි , අපේ රටේ ප්‍රමාණයට ඉහළ අගයීමක් ලබා දෙන්න පුළුවන් තාක්ෂණයක් අපේ රෝහල් වල තිබෙනවා , ඊටත් වඩා , රෝගය මෙය නම් , ඊට ප්‍රතිකාර කිරීමේ දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් වලින් නම් , මේ රටවල වෛද්‍යවරුනට වඩා බොහොම ඉහළ තළයක , අපේ රටේ වෛද්‍යවරු ඉන්නවා , රජයේ පිළිකා ප්‍රතිකාර ඒකක වල සේවය කරන අපේ  පුහුණූ හෙද නිලධාරින්ගේ අත්දැකීම්  සහ හැකියාවට සසඳන්න මේ රටවල සියළු තාක්ෂණීක පහසුකම් එක්ක හෙද නිළධාරියෙක්ට පුළුවන් වේද සැකයි , 

ඇත්ත , ඇඳන් මදි , පහසුකම් මදි , 

කොහොමද කෑම ......... වි.......යි 
කොහොමද වැසිකිළී ........වි ......යි 

ඇත්ත , ... සමහර විට ප්‍රයිවෙට් හොස්පිටල් තරම් Customer friendly නැතිව ඇති , ඒත් රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම ගැන හිතුවොත් , තවමත් හොඳ රජයේ පිළිකා ඒකක තමයි මට හිතෙන්නේ , ඒත් අතේ මිටේ සල්ලි තිබෙනව නම් මේ වෙනුවෙන්ම පහසුකම් සලසන පෞද්ගලික රෝහල් තිබෙනවා , එතැනදි විශේෂයෙන්ම දැන ගත යුතු දේ තමයි පෞද්ගලික රෝහලක නම් , පිළිකා ප්‍රතිකාර සඳහා වෙනම පහසුකම් තිබේද , පුහුණු කාර්ය මණ්ඩලයක් ඉඳීද යන්න , එහෙම නැත්නම්  දොස්තර මහත්තය මොන හොඳ බෙහෙත ලියල ගියත් , නියම තැනට , නියම වේගයෙන් , නියම සාන්ද්‍රණයෙන් හරි විදියට බෙහෙත ශරීරගත නොකළොත් ප්‍රතිකාරයේ ඵලදායක බව අඩුවෙනවා , අන්න ඒ නිසා , ප්‍රතිකාර ගන්න ඉස්සර වෙලා මේ ගැනත් ටිකක් හොයල බලන්න ..




තවෙකෙක් වෙනුවෙන් , තම ජීවිතය අවදානමට තිබන Cancer Nurse

Nearly 17% of nurses who work in outpatient chemotherapy infusion centers reported being exposed on their skin or eyes to the toxic drugs they deliver, according to a new study from the University of Michigan Comprehensive Cancer Center.
පිංතූර කතාව http://uofmhealthblogs.org වෙතින්

එහෙම නම් අදට වෙලාව හරි සමුගන්න ...මේ අපි කතා කරගෙන යන්නේ පිළිකා සහ ඊට අදාල ප්‍රතිකාර කෙරෙන ආකාරය , ඒ ඔස්සේ නැවත නැවතත් මතක් කරන්නේ , පිළිකාවක් කියන්නේ , කල් පහුකළ හැකි , අත්හදා බැලීම් කරමින් කාළය කා දැමිය හැකි , එහෙම නැත්නම් ,  අදෘශ්‍යමාන බලවේගයක උපකාරයකම පමණක් ලබා ගත හැකි , යුතු අවස්ථාවක් නොවේ , එය බොහොම වේගයෙන් මුල් අදිනවා , ලොකු වෙනවා , ඒ කියන්නේ ජීවිතේ ගිල ගන්නවා , කළ යුත්තේ ඊට ඉක්මණින් පහරදී විනාශ කිරීම හෝ මැඩ පැවැත්වීමමයි , 

සමුගන්නවා අදට , පතමින් ඔබට සුව සතුට පිරි දිනයක් ! ආයුබෝ ..ආවඩා ...


මේ ලිපි වැලේ අනේක් ලිපි .

පළමු ලිපිය http://www.nursinglk.com/2013/10/146-1-cancer-cancer-treatments-and.html
දෙවන ලිපිය http://www.nursinglk.com/2013/10/147-2.html
තෙවන ලිපිය http://www.nursinglk.com/2013/10/148-3.html
සිව්වන ලිපිය ....ඒකනේ මේ කියවන්නේ .......:)

6 comments:

  1. දැන්..දැන් ලංකාවෙ ගැහැණුන්ට පියයුරු පිලිකා වැඩිපුරහැදෙන බව අහන්ට ලැබෙනව...පොදුවේ..අපි ගන්න විෂ ආහාර වර්ග/රටාව වෙන්න පුලුවනි.ඒත් පරම්පරාවට යන එකක් කියනවනෙ.

    අපේ හාමිනේ දෙවෙනි දුව ලැබෙන්න හිටි වෙලාවෙ ගර්භාශෙ..වායු ගෙඩියක් තිබිල..අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකට අහු වෙලා..පිලිකා සෛලදකියල බලන්න ලේ පරීක්ෂාවක් කලා..කොළඹ ඩර්ඩන්ස් එකෙන්..එහේ විතරයි බලන්න පුලුවන් කීවෙ.මීට අවු.4කට කලින්. මම ලේ වතුර වෙලාහිටියෙ.අනික රතුපාටින් ලියල තිබුනෙ වැඩි ලෙවල් කියල...ඒත් ඒ ගර්භණී නිසා කියලයි කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් පියයුරු පිළීකාව ආරෙන් යන ඉඩක් තිබෙනවා , ඒ වගේම ඔබ කියන කරුණුත් ඊට අදාල වෙන්න පුළුවන්. ගර්භාෂයේ , ඩිම්බ කෝෂ වල Cyst ලෙස හැඳින්වෙන ගෙඩි වැනි ව්‍යුහ තිබෙන්නට පුළුවන් , සමහර විට ඒවායින් කරදරයක් නැතත් , වෙනත් අපහසුතා ඇති කරවන්නට ඉඩ තිබෙනවා . විශේෂයෙන්ම ආර්තව රටාව , ඒ සමඟ ඇති වන වේදනාව අධික වීම වැනි දේ ඒ අතර වෙන්න පුළුවන් .
      ස්තුතියි ඔබට ඔබ ලද අත්දැකීම් බෙදාගත්තාට .

      Delete
  2. මම වැඩ කල ආයතනයක නිළධාරිනියක් මිය ගියා පියයුරු පිළිකාවකින් . සැත්කමකින් එක පියයුරක් ඉවත් කලත් ඇයට අවුරුදු 2කට වඩා ජීවත් වෙන්න බැරි උනා . මෙයට හේතුව කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. විය හැකි හේතු ගණනාවක් තිබෙනවා ,  සමහර විට මේ ශල්‍යකර්මය කෙරෙන විටත් පිළීකාවේ ද්වීතීක අවස්ථාවන් දේහයේ වෙනත් තැනකට පැතිරිලා තිබුණා වෙන්නත් පුළුවන් , විශේෂයෙන්ම අදාල පැත්තේ වසා ගැටිති වලට පිළිකා සෛල ඉක්මණින් රිංගල තිබෙන්නට ඉඩ තිබෙනවා , පිළීකා ශල්‍යෙවෙද්‍යවරයෙක් Onco-Surgeon කෙනෙක් මේ ශල්‍යකර්මය කළා නම් මේ විදියට පිළීකාවේ සෛල සැඟවිය හැකි අනෙක් ස්ථානත් ඉවත් කරනවා , ඒ වගේම බොහෝ අවස්ථාවල ශල්‍යකර්මය සමඟින් ඖෂධ ප්‍රතිකාරත් ලබා ගත යුතු වෙනවා , විවිධ හේතු නිසා සමහරුන් පිළීකානාශක ඖෂධ ප්‍රතිකාරය මඟ හරින්නට පෙළඹෙන , පොළඹවන අවස්ථා අප දැක තිබෙනවා , එවන් අවස්ථාවකදිත් ශල්‍යකර්මයේ උපරිම ප්‍රතිපලය නොලැබෙන්නට ඉඩක් තිබෙනවා.

      සමහර විට මේ පිළිකාවට අදාල බවක් නැතිව වෙනත් රෝග තත්ත්වයක් ඇයට බලපෑවා වෙන්න්ත් ඉඩක් තිබෙනවා , 

      කෙසේ වෙතත් , මුල් අවස්ථාවේ ශල්‍යකර්මය කළා නම් , පිළිකාවක ගැටළු නැතිව සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට පුළුවන් බොහෝ විට , නමුත් ශල්‍යකර්මයට අදාලව යම් යම් අපහසුතා විය හැකි වුනත් ඒවා මඟහරවා ගත හැකි ව්‍යායාම ක්‍රම රෝහලේදිම උගන්වනවා )

      ස්තුතියි ගිම්හානි අදත් සොඳුරු සුව අසපුව සමඟින් එක්වුනාට

      Delete
  3. CT ස්කෑන් ඕනවට වඩා කරන්න හොද නෑ කියනවා නේද?

    ReplyDelete
    Replies
    1. සීටී ස්කෑනින් කියන්නේත් , එක්ස්රේ වලම ඊට වඩා සංකීර්ණ  තවත් ආකාරයක් , මේ කිරණ අනවශ්‍ය ප්‍රමාණයක් දේහය හරහා ගමන් කිරීම හානි කර විය හැකි බව දැනට හඳුනාගෙන තිබෙනවා , ඒ නිසා තමයි මේ පරික්ෂණ , විශේෂයෙන් CT scan ...අතවශ්‍යම අවස්ථාවක පමණක් කරන්නෙ , නමුත් එම් ආර් අයි වල එබඳ ගැටළුවක් ඇත්තේ නැහැ .
      ස්තුතියි ඔබට

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)