2013/10/21

148) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 3


මේ මාතෘකාව ඔස්සේ දිවෙන , තෙවන ලිපිය . මේ ලිපියෙදි අපි කතා කරන්න උත්සාහ කරන්නේ , පිළිකාවක් යන තත්ත්වය , තහවුරු කරගන්නේ කොහොමද ? කියන කරුණ ..ඒ කීවේ පිළිකාවක් තහවුරු කිරිමට කෙරෙන පිරික්ෂණ කිහිපයක් ගැන , 

මේ ගැන කියත්දි මතක්වුනේ , ඒ දවස් වල අපේ රෝගීන්ගේ නෑදෑ මිත්‍රයෝ කියපු සමහර කතා ..

“ඔය මුකුත් ටෙස්ට් නෑ , මූණ දිහා බලල ලෙඩේ කියනවා “ 


“මම ඇස්දෙකට දැක්ක මහත්තයා , බිම බඩගාගෙන වගේ ආව ලෙඩාට  මොකක්ද දුමක් ඇල්ලුවා , උරන්න කීව්වා ...මෙයාට තියෙන්නේ බඩේ පිළීකාවක් , හොඳ කරන්න පුළුවන් ....ඇතුළට ගන්න කීව්වා , මෙන්න හවස් වරුවේ ලෙඩා හොඳට ඇවිද ගෙන ගියා .... “


ඔය වගේ නානාප්‍රකාර ක්‍රම වලින් පිළිකාව මොකක්ද ? හොඳ කරන්න පුළුවන්ද ? වගේ බොහොම වැදගත් තොරතුරු කියන්න පුළුවන් අය ඉන්නවා කියල තමයි ඒ නෑදෑයින් කීවේ , මේ අය තවමත් ‘‘ප්‍රතිකාර කරනවා ඇති “ , එහෙම අය ගැන මේ කියවන ඔබ දන්නවත් ඇති , ඒ කෙසේ වෙතත් ඇත්තටම පිළිකාවක් හඳුනගන්නේ කොහොමද කියන කරුණ දැනගත්තම ඔබට තීරණයක් කරගන්න පුළුවන් වේවි , එය මොන තරම් සංකීර්ණ කටයුත්තක්ද කියන එක , හේතුව මේ රෝගියාගෙ ඉදිරි ජීවිතය රඳා පවතින ප්‍රධාන සාධකයක් වන්නට පුළුවන් මේ හඳුනා ගැනීමේ පරික්ෂණය ...

අපි දැන් දන්නවානේ  , පිළිකාවක් කියන්නේ එක්තරා විදියක වෙනස් සෛල එකතුවක් කියල , මේ වෙනස් බව කියන්නේ කාරණා බොහොමයක් නිසා , සෛලයේ හැඩය , බෙදෙන විදිය ,බෙදෙන  වේගය , සෛලයේ කරන කාර්යන්, ඔය වගේ සාධක ගණනාවක් වෙනස් වෙනවා පිළිකාවක් බවට පත්වෙත්දි .. අන්න ඒ “අසාමාන්‍ය වෙනස් වීම‘‘  හඳුනාගැනීම මඟින් තමා , අදාල සෛලය පිළීකා සෛලයක්ද කියන දේ තීරණය වෙන්නේ . 

ඇස් දෙකෙන් බලන්න ..

හඳුනාගැනීමේ පරික්ෂණ අතරේ ඉහළීන්ම ඉන්නේ Biopsy - බයොප්සි කියන පරික්ෂණ වර්ගය . මේ පරික්ෂණයෙදි කෙරෙන්නේ මොකක්ද කියන ඇහැව්වොත් , කෙටියෙන්ම කියන්න පුළුවන් දේ තමා , වෙනස්වීම වෙච්ච සෛල , නැත්නම් සෛල කිහිපයක් අන්වීක්ෂයක් මඟින් බලල , සාමාන්‍ය සෛලයකට වඩා , ඒ සෛල වල ඇති වී ඇති ව්‍යුහමය වෙනස් වීම අනුව , පිළීකා වර්ගය , එහි මට්ටම වගේ තොරතුරු ලබා දෙන පරික්ෂණයක් බව .  

මේ විදියට සෛල දිහා අන්වීක්ෂයෙන් බලලා , ඒ හැඩහුරුව , වෙනස්වීම හඳුනගෙන එය පිළිකාවක්ද , එහෙම නම් එහි වර්ගය , තත්ත්වය වගේ විස්තර ලබා දෙන විශේෂඥ වෛද්‍යවරයා හඳුන්වන්නේ Pathologist කියන විශේෂ පදයෙන් , මේ පැතලොජිස්ට් ලබා දෙන Pathology  report නැත්නම් Biopsy report එක අනුව තමයි මේ පුද්ගලයාට පිළිකාවක් ඇත්ද ? නැත්ද කියන එක වගේම තිබේ නම් ඒ පිළිකාවේ තත්ත්වය මොනවගේද කියන දත්තයන් ඔබේ වෛද්‍යවරයා ලබා ගන්නේ .  

හොඳ කරන්න හොඳම කෙනා ...

තත්ත්වය පිළිකාවක් බව නැත්නම් Malignent බව සටහන් වෙලා තිබුනොත් අදාල වෛද්‍යවරයාගේ වගකීම තමා රෝගියා , පිළිකා ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කරන එක Medical Oncologist , Radiation Oncologist නැන්නම් Surgical Oncologist කියන විශේෂ නම් වලින් හඳුන්වන වෛද්‍යවරයෙක් වෙත රෝගියාව යොමු කෙරෙනවා . 

මේ “විශේෂ නම්“ ගැනත් මේ ලිපියෙදිම පොඩ්ඩක් කතා කරන්න හිතුනේ වෛද්‍යවරයෙක් වෙත යොමු වීමේ අපේ ක්‍රමය ගැන දන්න නිසා.  අපේ රටේ බොහෝ රෝගීන් , වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්නේ , එක්කෝ හිතවත්කම නිසා , නැත්නම් ළඟපාත හිතවත් අය “ඒ දොස්තර මහත්තය හොඳයි“ කියන නිසා , එහෙම නැත්නම් ප්‍රයිවෙට් හොස්පිටල් එකේ චැනල් සෙන්ටර් එකේ එන්න “නෝන“ කියන විදියට ... 
මේ විදියට නිසි තැනට යොමු නොවී , පිළිකා ශල්‍ය වෛද්‍ය වෛද්‍ය විශේෂඥයෙක් ලවා ශල්‍ය කර්මයක් මඟින් ඉවත් කළ යුතු පිළිකාවන් , සාමාන්‍ය ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් මඟින් කරවා ගෙන ජීවිතේ අවදානම් තත්ත්වයට පත් කරගත් රෝගීන් සෑහෙන පිරිසක් අපට හමුවෙලා තිබෙනවා . 

...... කතාව පොඩ්ඩක් විතර මාතෘකාවෙන් පිට පැන්න වගේ ...කමක් නෑ ..මේ ටිකත් දැන ගන්න එක වටිනවා නේ ...

ඔව් දැන් අපි පොඩ්ඩක් විතර කතා කරමු මේ බපොස්පි පරික්ෂණේ ගැන ...


බය නැති බය ඔප්සි 

අපි කීවනේ මේ පරික්ෂණයෙදි වෙන්නේ “පිළිකාවක්දෝ “  කියල සැක කරන කොටසින් ගන්න සෛල , නැත්නම් පටක කෑල්ලක් අන්වීක්ෂයෙන් බලල වෙනසකම් හඳුනගන්න එක කියලා , හැබැයි පරික්ෂණය සඳහා සෛල / පටක ගන්න විදියත් එක්ක බයොප්සි පරික්ෂණේ ආකාර කිහිපයකින් නම් කරනවා , 

FNAC එහෙම නැත්නම් FNAB කියල රෝහල් පරිසරයෙදි කතා කරන Fine Needle Aspiration Cytology / Biopsy කියන පරික්ෂණය මේ කියන හුඟක් අය දන්නවා ඇති ,  ඔය පියයුරු වල ගැට , නැත්නම් උගුරේ තයිරොයිඩ් ඉදිමීමක් වගේ වෙලා වෛද්‍යවරයා හමුවෙන්න ගිය වෙලාවක මේ ගැන කියල ඇති  . මේ පරික්ෂණය එක්තරා විදියකින් බොහොම සරළයි , වෛද්‍යවරයාට පුළුවන් නම් මේ “සැකකාර ගැටිත්ත“ තුලට සිහින් ඉන්ජෙක්ෂන් කටුවක් යවල , ඒ ගැටිත්තෙන් සෛල ටිකක් ඇදල ගන්න , ....අන්න ඒ විදියට ගැටිත්තෙන් ඇදල ගත්ත සෛල ටික අන්වීක්ෂයකින් බලල , ලබා ගන්න වාර්තාව තමයි FNAC / FNAB  report එක විදියට නැවතත් ඔබේ වෛද්‍යවරයා අතට ලැබෙන්නේ .

කෙරෙන විදිය මෙන්න මෙහෙමයි , 

ගැටිත්ත තුලට කටුවක් ඇතුළු කරලා , එයින් ලේ ටිකක් , ඇත්තටම සෛල ටිකක්  ඇදල අර ගන්නවා



ඊළඟට ඒ උරා ගත්ත සෛල ටික , වීදුරු කදාවක , තුනී වීදුරු තට්ටුවක අතුරනවා
දැන් , ඒ සෛල තට්ටුව අතුරපු වීදුරු කදාව , අන්වීක්ෂකය තියලා , ඒ තුලින් සෛල නිරීක්ෂණය කරනවා , මේ නිරීක්ෂණයෙදි තමා සෛල වල වෙනස් කම් හඳුනගෙන , එය පිළිකාවක සෛල ද නැත්ද කියල මුලින්ම තීරණය කරන්නෙ
පිළිකා සෛල තිබුණා නම් මෙන්න මේ විදියට , සාමාන්‍ය සෛල ගොඩ අස්සේ ඉන්න පිළිකා සෛල හඳුන ගන්නට , මේ පිළීබඳව විශේෂඥ පුහුණුවක් තිබෙන නිළධාරියාට පුළුවන්
අන්තිමට , Pathologist  විසින් , අදාල නිරීක්ෂණ අනුව , නිරික්ෂණය කළ සෛල / පටක පිළිකාවකද නැත්ද , පිළිකාවක් නම් වර්ගය , ස්වභාවය ඔය වගේ කාරණා ප්‍රමාණයක් එක්ක Biopsy report එක නිකුත් කරනවා , 


ඔන්න ඔය විදියේ සංකීර්ණ ක්‍රියාදාමයකින් පස්සේ තමයි පිළිකාවක හඳුනාගැනෙන්නේ . ඇත්තම කීවොත් ඒ අතරින් මේ අපි කතා කළේ බයොප්සි පරික්ෂණය ගැන විතරයි , ඒකෙත් බයොප්සිය , නැත්නම් සෛල ටික  , පටක කෑල්ල ගන්න විදිය අනුව තව වර්ග තියෙනවා , මේ කතා කළ FNAB කෙරන විදියටමයි , Bone Marrow Biopsy  කියන , විශේෂයෙන්ම රැධීරය ආශ්‍රිත පිළිකා තහවුරු කරගන්න පරික්ෂණය කෙරෙන්නේ , වෙනස එතැනදි කටුව ඇතුළු කරන්නේ අස්ථියට මැද තිබෙන ඇට මිදුළු කුහරය ඇතුලට ....


අල්ලන්නට බැරි වෙන තැන 

අතට අහුවෙන්නේ නැති , ගැඹුරක තියෙන ගෙඩියක , ගැටයක බයොප්සියක් ගනිත්දි , එය අතට දැනෙන්නේ, පේන්නේ නැති නිසා අමතර කෙනෙක් උදව් කරගන්න වෙනවා හරියටම අදාල තැනට මේ සෛල උරා ගන්න කටුව ඇතුළු කරන්නට , මේ සඳහා , Ultra sound හෝ X කිරණ , වැනි දෙයක් උදව් කරගන්නට පුළුවන් . ඒ අවස්ථාවේ මෙම පරික්ෂණය නම් කරන්නේ , Image Guided Biopsy එකක් විදියට ,

මේ කෙරෙන්නේ ඒ විදියේ , Ultra Sound Guided Biopsy  ගැනීමක් 


ඔය වගේම , සෛල උරල ගන්නේ නැතිව , ගැටිත්ත , නැත්නම් පිළිකාවක් ද කියල සැක කරන කොටස පුංචි ශල්‍ය කැපුමක් කරල , බොහොම පුංචි පටක  කෑල්ලක අරගෙන , ඒක අන්වීක්ෂයට දාල අර මුලින් කීව වගේ නිරික්ෂණය කරන අවස්ථාත් තිබෙනවා  , එයට කියන්නෙ Surgical Biopsy කියන නම , ඒ ගැන පිංතූර දාන්න යන්නේ නැහැ මම , මොකද කෙනෙකුට ඒ පිංතූර ටිකක් අප්‍රසන්න වෙන්න පුළුවන් නිසා .

ඔය අතරේ තවත් බයොප්සි ගන්න ක්‍රම රැසක් තිබෙනවා , ඒ අතරේ , ඔබ අහල තියෙනවද එන්ඩොස්කොපි කියන පරික්ෂණය , අහල නැත්නම් මෙන්න මෙහෙම ඒ ගැන කෙටියෙන් කියන්න පුළුවන් , අපේ ඇඟ ඇතුලට බටයක් , නැත්නම් කැමරාවක් සහිත බටයක්  දාල , ඇඟ ඇතුල , එහි තත්ත්වය කැමරාවක් තුලින් , නැත්නම් පියවි ඇහෙන් බලන්නට පුළුවන් පරික්ෂණයක් තමයි එන්ඩොස්කොපි කියන්නේ ...වර්ග ගනනාවක් තිබෙනවා , හැබැයි ඒ හැම පරික්ෂණයකම වගේ නම අවසන් වෙන්නේ ......ස්කෝපි කියන කෑල්ලෙන් , මහ බඩ වැල බලන කොලනො-ස්කොපි , ශ්වාසනාල බලන බ්රොන්කො-ස්කොපි  ඔය වගේ ... ඔය කැමරා බටේට අමතරව , තව අඩු කතුරු කිහිපයක් අදාල උපකරණයත් එක්ක ඇතුලට යනවා , අපි මෙහෙම හිතමු , මහබඩ වැල බලන්න කොලනොස්කොපියක් කරනවා , වෛද්‍යවරයා දකිනවා , බඩවැඩේ සැක කටයුතු ගෙඩියක් තිබෙනවා , දැන් මේ සැකය දුරු කරගන්නේ කොහොමද ? ....වෛද්‍යවරයා අදාල උපකරණයේ තිබෙන කැපුම් තලයක් සහ අඬු උදව් කරගෙන අර සැක කාර ගැටයෙන් පොඩි කෑල්ලක් කපල ගන්නවා , ඔන්න ඔය විදියට අරගෙන බයොප්සියක් කළොත් කියන්නේ Endoscopic Biopsy  කියලා ....

එහෙම නම් අදට ඇති කියල හිතෙනව , මොකද මේව ටිකක් Boring කතා වෙන්න පුළුවන් නේ .. හැබැයි මේ දේවල් ගැනත් ටිකක් හරි දැනගෙන ඉන්න එක , අපේ ආරක්ෂාවට වැදගත් වේවි .  ඒ වගේම මේ ලිපියෙදි වගේම , ඉදිරි ලිපියෙදි කතා කරන අනෙක් පරික්ෂණ අනුව ඔබටම වටහා ගන්න පුළුවන් වේවි , පිළිකාවක් කියල තහවුරු කිරීමම කොයිතරම් සංකීර්ණ  , විද්‍යාත්මක , සහ විශේෂඥ දැනුමක් අවශ්‍ය කාරණයක්දි කියන එක , ඒක නිකම් දුමක් ගහල , මූන බලල කරන්න පුළුවන් දෙයක්ද කියන එක ඔබටම හිතන්න ඉඩ තියලා අදට සමුගන්නවා , සැමට සුව සතුට පිරි දිනයක් පතමින් .


මේ ලිපි මාලාවේ පෙර ලිපි වලට යන්න කැමති නම්


පළමු ලිපියට මෙතැනින් යන්න පුළුවන් 
http://www.nursinglk.com/2013/10/146-1-cancer-cancer-treatments-and.html

දෙවන ලිපියට http://www.nursinglk.com/2013/10/147-2.html

10 comments:

  1. කමෙන්ට් නොදැම්මාට මාතලන්ගේ සින්ඩිය තුලින් ඇවිත් කියවනවා. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , ඔව් කොමෙන්ට් නොදැම්මත් යම් පිරිසක් මේ ලිපි කියවන බව දන්නවා , කෙසේ වෙතත් , නැවතත් ඔබට ස්තුතියි

      Delete
  2. meka liyapu 1ka godak hodai...mage ammath nathi une cancer 1kin..

    ReplyDelete
    Replies
    1. මුලින්ම මගේ කණගාටුව ඔබේ මව වෙනුවෙන් ! , නිවන්සුව පතනවා එතුමියට .
      ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන් ස්තුතියි ඔබට .

      Delete
  3. ඊයේ ඇවිත් කියවලා ගියා කමෙන්ට් එකක් නොදැම්මාට . වටිනා ලිපි පෙලක් . ඔබ වැනි කෙනෙක් මගේ පියා මිය යන්නට පෙර හඳුනාගන්න ලැබුනානම් කියා සිතුනා මේ ලිපි පෙල කියෙව්වාම .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි, කොමෙන්ට් නොදැම්මත් , මේ සටහන් කියවන යම් පිරිසක් ඉන්න බව දැනෙන නිසාමයි තවත් ලිපි ලියන්නට පෙළඹෙන්නෙ , පිළිකාව අද විකුණන විදිය දිහා බලාගෙන හිටියම , මේ තරමින්වත් යමක් ප්‍රජාව අතරට යායුතුයි කියල හිතුන නිසාමයි මේ වැල් ලිපිය ලියන්නේ.

      Delete
  4. මෙවැනි ලිපි වලින් අපිව දැනුවත් කරන ඔබට පින්...!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට බෙහොම ස්තුතියි මල්ලී ,

      Delete
  5. ඔව්වා පස්සේ තාම මිනිස්සු දුහනවා , අසරණ උනහම විචාර බුද්ධිය මොට වෙනවා . පිදුරු ගහෙත් එල්ලිලා ගොඩ වෙන්ඩයි බලන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මිත්‍රයා , මේ වචනේ අහපු ගමන් මිනිස්සු වැටිලා ඉවරයි , ඒ වෙලාවට ඔබ කියනව වගේ පිදුරු ගහේ හරි එල්ලෙන්න බලනවා , අවාසනාව , මේ වෙලාවට තුත්තිරි ගස් , “මහ කඹ“ කියල විකුණන බිස්නස්කාරයෝ අද වැහි වැහැලා , මේ උත්සාහය මේ පිදුරු ගස් , තුත්තිරි ගස් , සහ කඹ ගැන දන්න තරමින් කියල දෙන එක , එතකොට කැමැති අය මේ ඕන එකක එල්ලේවි නොවැ , 
      ස්තුතියි මිතුර!

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)