2013/06/09

134) හිස රිද්දන ගත වට්ටන බෙරි ගෙඩිය

පහුගිය සතිය තුල බටහිර සංගීත රසික රසිකාවියන් තුල යම් කම්පනයක් ඇති කළ සිදුවීමක් වුනා , ඒ දක්ෂ ගායකයෙක් ලෙසින් ඉදිරියට එන , බෘනෝ මාස්ගෙ Bruno Mars මව හදිසියේ මිය යාම , වයස අවුරුදු 55 ක්වූ ඇය මිය ගියේ මොළයේ නහරයක වූ පිපිරීමකින් . 


මේ කාරණේ සම්බන්ධව අපේ ගෙදරත් ටිකක් කතා වුනේ , බෘනෝගේ ගීත වලට රිසි කිහිපදෙනෙක්ම ඉන්න නිසා ඇත්තම කීවොත් හතර දෙනාම රසිකයෝ  .  කෙසේ වෙතත් මේ කතා බහෙන් ටික දවසකට පස්සේ සොඳුරු සුව අසපුවට ලියන්නට යමක් හොයත්දි , මනෝජට මතක් වුනේ මේ “ඇනියුරිසම් “ ගැන ලීවේ නැහැනේදි කියන එක .. .ඒ නිසාම අද ලියන්නට හදන්නේ අප සියයකින් දෙදෙනෙක්ම නොදැන් විඳවන තවත් සැඟවුනු මාරයෙක්ගේ කතාවක් . ඒ Cerebral Aneurysm  කියන තත්ත්වය . ........................... ඊට ඉස්සර වෙලා බෘනෝ පුංචි කාළේ තමන්ගේ අම්ම වෙනුවෙන් කළ මේ ගීය අහලම ඉන්නකෝ . 



ලෙඩේ ට ඉස්සර වෙලා අපි ටිකක් කතා කරමු ලේ නහර ගැන , විශේෂයෙන්ම ලේ නහර හැදිල තිබෙන විදිය ගැන , මොකද ඒ කාරණා නොදැන එකපාරටම ලෙඩේ ගැන කියවන එක ඒ තරම් රසවත් වන්නේ නැහැ . 

අපේ ඇඟ පුරා තිබෙන හැම තැනකම තිබෙන සෛල වෙතට කෑම බීම , ඔක්සිජන් වගේ දේ අරගෙන යන්නේ ඒ වගේම , සෛල වල නිපදවෙන අපද්‍රව්‍ය , කාබන් ඩයෝක්සයිඩ් වගේ දේ නැවත පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට ගෙන යාම වගේ දේ කරන්නේ ලේ ඔස්සේ . හරියට පාරෙ යන ලොරි වගේ තමා , මේ ලොරි ටික අරගනෙ යන්න , හොඳහැටි අතු බෙදිච්ච , හැම තැනකටම යාහැකි මාර්ග පද්ධතියක් තියෙන්න එපායැ , අන්න ඒ මාර්ග පද්ධතිය තමා , රැධීර වාහිනි පද්ධතිය කියන්නේ , තව විදියකින් කීවොත් ලේ නහර . 

මේ ප්‍රධාන ලේ නහර වර්ග දෙකක් අපි නම් කරනවා ධමනි ( Artery) සහ ශිරා (Vein)  නමින් . ධමනි හදවතේ ඉඳන් ඉවතට , වෙනත් අවයව වෙත ලේ ගෙනයත්දි , ශිරා කරන්නේ ඒ අවයව වලින් ඉවත් වන ලේ නැවත හදවත දිසාවට ගේන එක.  මේ මොන පැත්තට ගියත් කොයි පාරත් තාර දාල වගේ ...මේ ප්‍රධාන රුධිර වාහිනී වල ව්‍යුහය , සැකැස්ම බොහෝ දුරට සමානයි . ප්‍රධාන ස්ථර තුනකින් හැදිල තිබෙන මේ රැධීර වාහිනියේ මැද ස්ථරය තමා ලේ නහර ඇතුලේ ඇති පීඩනය වැඩියෙන්ම දරා ගන්නේ , ඒ නිසාම , ලේ පොම්පෙන් (හෘදයෙන්) එන පීඩනයට සෘජුවම යටත්වන ධමනියේ තිබෙන ලේ වල පීඩනය වැඩි නිසා (ශීරා තුල ලේ වලට සාපේකෂව) ධමනි වල මේ මැද බිත්තිය ඝණකමින් වැඩියි , ඊට සාපේකෂව ශීරා වල මැද බිත්තිය ඝණකමින් අඩුයි . 


Aneurysm වර්ග කිහිපයක් 
කොහොම වුනත් සාමාන්‍යෙයන් , මේ නහර වල බිත්තිය ශක්තිමත් , ඇතුලේ තිබෙන පීඩනය දරා ගන්නට . හැබැයි අපි හිතමු යම් හේතුවක් නිසා ලේ නහර වල බිත්තියේ ඝණකම , ශක්තිමත් බව මදි වුනා කියල ඇතුලේ පීඩනය දරා ගන්නට , දැන් මොකද වෙන්නේ , හරියට .......මතකද අපි පුංචි කාළේ බැළුන් පුම්බත්දි , සමහර බැළුන් වලින් නියමිත හැඩේට අමතරව වෙන නෙරුම් එළියට එනවා , එහෙම නැත්නම් ඔය බයිසිකල් ටියුබ් බලට පැච් දාන්න ගිය වෙලාවට දැකල ඇති , ටියුබ් එක එළියට අරගෙන , තදට හුළං ගහත්දි , ටියුබ් එකේ දුර්වල වෙච්ච තැන් වලින් එළීයට ගෙඩි වගේ නෙරා එනවා ....ඔන්න ඔය කාරණේම සිද්ද වෙනවා අපි මේ කියන ලේ නහර වලත් , ඒ කියන්නේ යම් හේතුවක් නිසා ලේ නහර වල බිත්තිය තුනී වුනොත් , දුර්වල වුනොත් , ඇතුලේ තිබෙන පීඩනය නිසා අර දුර්වල වූ තැනින් එළීයට “මල්ලක්“ නෙරා එනවා , මෙන්න මේ විදියට ලේ නහරයේ හැඩය වෙනස් කරමින් නෙරා එන මල්ල තමයි අපේ අද මාතෘකාව ලබා දෙන්නෙ  , තව විදියකින් කීවොත් Aneurism කියන්නේ මේ මළු වලට .

හරි දැන් මෙහෙම ,“ මළු “  හැදුනයි කියමුකෝ , එකෙන් අපට මොකද වෙන කරදරේ. ? .....ඇත්ත මෙහෙම මල්ලක් හැදුන පමණින්ම “ලෙඩෙක්“ විදියට හැදින්වෙන්නේ නැහැ , හේතුව මේ “ඇනියුරිසම් මල්ල“ හැදුන ගමන්ම හදුනගන්න අවස්ථා බොහොම විරළයි , හේතුව මේ බොහොමයක් ඇනියුරිසම්  එකවරටම “ලෙඩ දෙන්නේ “ , එහෙම නැත්නම් “ලෙඩක් කියල හදුන්ගන්න තරම් ලොකු රෝග ලක්ෂණ “ නොදෙන නිසා . තව විදියකින් කීවොත් ..................මේ කියවන ඔබ , මා තුලත් මේ කියන “ ඇනියුරිස්ම් ලේ මළු “ නැතැයි කියන්නම බැහැ , හේතුව ලෝක ජනගහනයෙන් 2% ක් .... පනහකින් එක් අයෙක් තුල මේ “මළු“  සැඟවිලා තිබෙනවා . වාසනාවකින් හරි මුලින් හඳුනාගැනීමක් නොවුනොත් , ඒ අප තුල හැඟවිලා ඉන්න අපේ “මාරයා“ වෙන්නත් ඉඩ තිබනවා. විශේෂයෙන්ම මේ මල්ල තිබෙන්නේ අපේ ප්‍රධාන ධමනියක් වල සංස්ථානික ධමනිය හරි (aortic), මොළයේ ධමනියක හරි නම් මේ සැගවුනු අවදානම ගැන තවත් කියන්න ඕන නැහැනේ .  ඒ නිසාම තමයි මෙයට Silent Killer කෙනෙක් විදියට නම් කරන්නේ . ( මේ අපි කීවේ ලේ නහර ගැන විතරනේ , හැබැයි දරුණූ හෘදයාබාධයකට (Myocardial Infarction එකකට පස්සේ , හෘදයේ බිත්තියම දුර්වල වෙලා Cardiac Aneurysm හැදෙන්න පුළුවන් , ඒ තතත්වයේදි ඇති අවදානම ඉහළයි) 

මේ තතත්වයේ අවදානම වගේම මේ මළු හැදෙන්නට පුළුවන් තැන අනුවත් වර්ග බොහොමයක් තිබෙනවා , උදාහරණයක් විදියට , Aortic aneurysm (මහාධමනියේ  හැදෙන) සහ Cerebral aneurysm මොළය තුල ධමනිය වල ) මුලිකව වර්ග  කරන්නට පුළුවන් . තවත් වර්ග ගණනාවක් තිබුණත් , අපේ මාතෘකාව ඔස්සේ පැහැදිලි කිරීමේ පහසුවට මේ ලිපිය Cerebral Aneurysm කියන අවස්ථාව ගැන විතරක් කතා කරන්නයි සැළසුම. 


අපි හැමෝම දන්නවනේ මොළය කියන්නේ අපේ ජීවය පවත්වා ගන්නට ලොකුම වැඩ කොටසක් කරන , සංකීර්ණ ව්‍යුහයක් බව , ඒ සංකීර්ණ බව නිසාම මොළය තුල රැධීරය ගමන් කිරීමේ පද්ධතියත් සෑහෙන සංකීර්ණ රැධීරවාහිනී ජාලයක් මඟින් සිදුවන්නේ  , ඒ තරම් සංකීර්ණ වන්නට ප්‍රධාන හේතුව වෙන්නේ , මොළයේ සෛල වලට ලේ නැතිව ( ඔක්සිජන් නැතිව ) විනාඩි තුනකට වඩා හොඳින් ඉන්න බැරි නිසා , අනෙක මේ විදියට මොළයේ සෛල මිය ගියොත් ආයෙත් ඒ වුනු අඩුපාඩුව පුරවන්නට අළුත් සෛල නිපදවන්නට අපේ ඇඟට බැහැ (දේහයේ අනෙක් පටක වලට නම් ඒ හැකියාව තිබෙනවා)  , ඒ නිසා මොළයේ සෛල සෑහෙන පරිස්සම් කරන්න ඕන නිසාම , ප්‍රධාන ධමනි , අතුරු ශාඛා ගණනාවක් ඔස්සේ අතු බෙදෙමින් , මොළය පුරා ලේ සැපයීම කරනවා . 

හොඳියි දැන් ඉතින් අපට වෙලාව අපේ ප්‍රධාන මාතෘකාවට ඇතුළු වෙන්නට ...දැන් අපි හිතමු යම් හේතුවක් නිසා මේ මොළයේ ලේ නහරයක බිත්තිය දුර්වල වෙලා එතැනින් පෙර කී විදියට “මල්ලක‘‘ නෙරා ආව කියල ... මොනවද එන්න පුළුවන් රෝග ලක්ෂණ ....

මේක ටිකක් සංකීර්ණයි , හේතුව සමහර විට ලක්ෂණ කිසිවක් මතු නොවීමේ සිට , මල්ල නිසා ඇති වන තෙරපීම මත ඇතිවන රෝග ලක්ෂණ ( උදාහරණයක් , අපි හිතමු මේ මල්ල නිසා ඇහැට සම්බන්ධ ස්නායුවක් තෙරපුනා කියල ..එතැනදි ලෙඩේ මතුවෙන්නේ ඇහැට සම්බන්ධ ලක්ෂණ එක්ක ) , ඒ වගේම මේ මල්ල නිසා මොළයේ ලේ ගමනාගමනයට සිදුවන බාධාවන් අනුව ඇතිවන රෝග ලක්ෂණ ..අවසාන සහ දරුණූම අවස්ථාව විදියට , මේ මල්ල ටිකෙන් ටික ඉදිමිලා පිපිරීමක් වුන ගමන් ඇතිවන Ruptured aneurym තිව්‍ර ලක්ෂණ කියන ප්‍රධාන අවස්ථා තුල විහිදෙන රෝග ලක්ෂණ ගණනාවක් ඇති වන්නට පුළුවන්.

නමුත් පොදු රෝග ලක්ෂණ කිහිපයක් සටහන් කරන්නේ සාමාන්‍ය දැන ගැනීමක් විදියට සහ අවශ්‍ය වුවොත් වැඩිදුර සොයා බැලීමක් කිරීමට පොඩි පණිවිඩයක් එයින් දිය හැකි නිසා , ඒත් හොඳට මතක ලබා ගත යුතු දෙයක් වන්නේ මේ එක් රෝග ලක්ෂණයක් දුටු පමණින් “මට මොලේ නහරයක ගෙඩියක්“ කියල හිතාගෙන කළබල නොවිය යුතු බව , ඒ ප්‍රධාන හේතු දෙකක් නිසා , එකක් වැඩි අවස්ථාවකම ඇනියුරිස්ම් වලින් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ . නැත්නම් සැඟවිලා තිබෙන්නේ , අනෙක ඔබේ රෝග ලක්ෂණ අනුව සීටි ස්කෑනින් , MRI වගේ පහසුකම් මඟින් මේ Cerebral aneurysm හඳුනා ගැනීමේ පහසුකම අද ලංකාවේ රජයේ රෝහල් බොහොමයක තිබෙනවා . ඒ නිසා සැකයක් ඇත්නම් විය යුත්තේ නිසි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක වෙත යොමු වීම , හැබැයි මුලින්ම ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා කතා බහ කරන එක වටිනවා , මොකද ඔහු තමා ඔබේ රෝග ලක්ෂණ වල ඉතිහාසය හොඳින්ම දන්නේ , මේ තත්ත්වය තහවුරු කරගැනීමෙදි රෝග ලක්ෂණ ඉතිහාසය හරිම වැදගත් .

ප්‍රධාන රෝග ලක්ෂණයක් විය හැක්කේ හිසේ කැක්කුම , විශේෂයෙන්ම ස්ථානික හිසේ රැදාවක් ,  තවත් විදියකින් කීවොත් ඔළුවේ එක තැනක වැඩියෙන් ඇතිවන තද හිසේ කැක්කුමක්  ,මේ තත්ත්වයෙන් පෙළෙන රෝගීන් කියන විදියට ඒ වේදනාන ,  ඔළුවේ එක තැනක් උඩ බරක් තිබ්බ වගේ ඇණයකින් අනිනව වගේ  සමහර විට ඔළුව ඇතුලෙන් මිරිකනව වගේ කියල විස්තර කරන කැක්කුමක් එන්න පුළුවන් , ඒ වගේම මේක සති ගණනක් මාස ගණනක් පුරා අඩු වැඩිවෙමින් තිබෙන්න පුළුවන් . මේ හිසේ කැක්කුමත් එක්ක වමනේ එන්නට වගේ ගතියක් ඔක්කාර බවක් එනවා නම් ටිකක් සැළකිලිමත් වෙන්නට ඕන ( හැබැයි මිග්‍රේන් තත්ත්වයේදි මේ ලක්ෂණ එනවා) 

 හැබැයි මේ මල්ල පිපිරීමක් වුනාම නම් අතිශ්‍යය තද ඉවසිය නොහැකි වේදනාවක් තමා ඇති වන්නේ , මෙවන් තත්ත්වයක නම් කිසිසේත්ම  “පෙත්තක් ගහල“ අමතක කරල දාල ඉන්න එපා , ඉක්මණීන්ම ළඟම තිබෙන ප්‍රධාන රෝහලකට යායුතු තත්ත්වයක් මේ , (මේකෙන්ම පෙන්වානේ රෝග ලක්ෂණ වල තිබෙන සංකිර්ණ බව , ඔළුවෙ කැක්කුම් නම් කොයි තරම් හැදෙනවද අපට  , ඉතින් කොහොම කියන්නද මේ Cerebral aneurysm කියල) 

මේ ඔළුවේ කැක්කුමත් එක්ක පෙනීමේ වෙනසක් , ඒ කීවේ හොඳට තිබුණූ පෙනීම එකපාරට බොඳ වෙලා යන බවක් , නැත්නම් එක දෙක වෙලා පේන ගතියක් ඇති වෙන්නත් පුළුවන් . සමහර විට මේ පෙනීමේ වෙනස විතරක් (ඔළුවේ කැක්කුමක් නැතිව) ඇති වන්න්ටත් පුළුවන් . විශේෂයෙන්ම කෙටි කාළ සීමාවක් තුල මේ ඇහේ වෙනස ඇතුවෙනවා වගේ දැනෙනවා නම්පොඩි සැකයක් ! ..ඒ එක්කම ඇහැ ඇතුලෙන් එන තද කැක්කුමක් මතු වෙන්නත් ඉඩ තිබෙනවා.

මල්ල නිසා සිදුවන ස්නායු තෙරපීමේ ප්‍රථිපලයක් විදියට සමහර විට දිව සෙලවීමේ අපහසුතාවක් , කතා කරත්දි ගොත ගැසෙන ගතියක් , නැත්නම් කියා ගන්න ඕන චවන එළීයට නොඑන ගතියක් දැනෙන්න පුළුවන් .  මේ එක්කම හෝ වෙනම , කම්මුල් දිගේ හිරියක් දුවනවා වගේ දැනෙන්නට හෝ , හිනා වෙත්දි කම්මුලේ පැත්තක් බර වෙලා වගේ දැනෙන්න පුළුවන් . කොටින්ම කීවොත් මුහුණේ , නැත්නම් අතක පයක අසාමාන්‍ය අප්‍රාණික , දුර්වල , හිරිවැටුන බවක් දැනෙන්ට ඉඩ තිබෙනවා

මෙච්චර වෙලා කීවේ ඇනියුරිස්ම් එකක් මොළය ආශ්‍රිතව තිබෙනම් මතු විය හැකි රෝග ලක්ෂණ කිහිපයක් විතරයි , ඒවත් රෝග ගණනාවකට පොදු , මිග්‍රේන් වගේ තත්ත්ව වලත් එන ලක්ෂණ . දැන් මම කියන්න හදන්නේ මේ Cerebral aneurysm එකක් පිපිරීමක් වුනොත් මතුවෙන ලක්ෂණ , හොඳට මතකයේ ලබා ගත යුතුදේ , මේ ලක්ෂණ තීව්‍ර වගේම ඉක්මණ් ප්‍රතිකාරයකට යොමු විය යුතු තත්ත්වයක් ,

ප්‍රධානම ලක්ෂණේ, මෙතෙක් තමන්ට දැනුනු උග්‍රතම හිසේ කැක්කුම ක්ෂණයකින් ඇති වීම , මේ හිසේ කැක්කුමත් එක්ක වමනය යාමක් වීමේ ඉඩ හුඟක් වැඩියි , මේ වමනය එක තැනකට වැටෙනවාට වඩා රෝගියාගෙන් ටිකක් ඈතට විදින Projectile vomiting ආකරයේ වමනය දැමීමක් වෙන්නට ඉඩ වැඩියි . මේ හිසේ කැක්කුමත් එක්ක , බෙල්ල පිටුපස ගැට ගහනවා වගේ , නැත්නම් හිර කරලා වගේ දැනෙන තද වේදනාවක් මතු වෙන්නට පුළුවන් . ඔළුවේ කැක්කුමත් එක්ක බෙල්ල එහා මෙහා කරන්නට බැරි මේ “හිර කරන වේදනාව“ නිසා රෝගියා තවත් අපහසුතාවකට පත්වීම දකින්න පුළුවන් . මේ වේදනාවත් එක්ක ඇසේ පෙනීම බොඳ වෙලා යනව වගේ දැනෙන්න පුළුවන් , එළීය බලන්න බැරි නිසාම මේ අවස්ථවෙදි රෝගියාගේ ඇස් වැසෙන ගතියක් ඇති වෙනවා , සමහර විට ඇස් වැහුනාට ඇස් දෙක එක සමානව පිය නොවී තිබෙන්නට පුළුවන් . මේ එක්කම කතා කරන ස්වභාවය , රටාව වෙනස්වීම , ගොත ගැසීම , කතා කරන්නට බැරි බවක් දැනෙන්නට පුළුවන් . තවත් ටික වෙලාවක් යත්දි කල්පනාව අඩුවෙන , කලන්තේ වගේ තත්ත්වයක් වෙන්නට ඉඩ වැඩියි , සමහර විට අපස්මාරය වගේ ගැස්මක් මේ වෙලාවෙම මතුවෙන්න පුළුවන් . මේ වගේ ලක්ෂණ මතු වනොත් බලාගෙන ඉන්න එපා , අත්බෙහෙත් , ගොඩ වෙදකම් වලට යන්න ඉස්සර ඉක්මණින්ම රජයේ ප්‍රධාන රෝහලට රෝගියාව ගෙනියන්න , පුළුවන් කමක් තිබෙනවා නම් ගිලන් රථයක් ගෙන්වාගෙනම රෝහලකට ගෙනියන්න පුළුවන් නම් හුඟක් වටිනවා , මොකද මේ වෙලාවේ වටින්නේ කාළය , ඉක්මණින් රෝගියාට නිසි ප්‍රතිකාරය ලබා නොදුන්නොත් ප්‍රථිපලය අවාසනාවන්ත එකක් වන්නට පුළුවන් . ඒ සමහර විට අංශභාගය Cerebral Stroke , සිට මරණය දක්වා ගිය තත්ත්යක් වන්නට පුළුවන් .

දැන් මේ එක දිගට කියාගෙන ගියේ Cerebral aneurysm එකක් පිපිරීමක් වුන කෙනෙක්ට ඇතිවන ලක්ෂණ සහ ඇති වන තත්ත්වය , මේ ටික ලියාගෙන ගියේ එකවේගෙකට , (සමහර විට අකුරු ව්‍යාකරණ වරදින්න )ඇති , මොකද මේ තත්ත්වයට පත්වුනු රෝගීන් කිහිප දෙනෙක් මගේ වෘත්තීය කාළයේ ස්නායු ශල්‍ය ඒකකය තුල සේවය කරත්දි  හමුවෙලා තිබෙන නිසා සහ ඔවුන් ඒ අවස්ථාවේ සිටි තත්ත්වය තවමත් ඇඟට දැනෙනවා වගේ මතක නිසා. 

දැන් මේ ටික කියෙව්ව ගමන් අහන ප්‍රශ්නය දන්න නිසාම ඊට ඉස්සර වෙලා කියන්නම් , කොහොමද මේක හැදෙන්නේ , කාටද හැදෙන්නේ ? ....ඕකනේ ප්‍රශ්නේ ...කොහොමද හැදෙන්නේ කියන එකට උත්තරේ ලේ නහර වල බිත්තියේ සිදුවන තුනීවීමක් නැත්නම් දුර්වල වීමක් සහ ඒ මග ඇතිවන පීඩනය දරා ගැනීමට අපහසුවීමක් නිසා තමයි මේ ඇති වන්නේ , රුධිරවාහිනි වල ශක්තිමත් බව අඩු කරවන කොළෙසටරෝල් තැන්පත් වීම , දුම්පානය වැනි දේ නිසා සිදුවන දුර්වල වීම් , උපතින්ම ඇති වූ නහර වල දුර්වලතා වගේම කාළයක් තිස්සේ පාලනය නොකළ අධීරුධීර පීඩනය පැවතීම , හිසට සිදුවූ අනතුරු , වගේ සාධයක් මේ දුර්වල කිරීමට හේතු වෙනවා . ඒ වගේම මේ ලෙඩෙත් එක්ක “ආරය“ ජානමය  , සම්බන්ධකමක් පෙන්වන බව පර්යේෂකයන් පවසනවා . වකුගඩු ආශ්‍රිතව ඇතිවන පොලිසිස්ටික් කිඩ්නි කියන තත්ත්වය ඇති අය අතරේ සෙරෙබ්‍රල් ඇනියුරිසම් අවදානම වැඩියි .  අනුපාතයක් ලෙසින් ගත්තොත් කාන්තාවන් සහ පිරිමි අතර 3:2 තත්ත්වයක් තමයි සංඛ්‍යා ලේඛණ අනුව හදුනාගෙන තිබෙන්නේ. Cerebral aneurysm rupture තත්ත්වය ඇති වෙලා තිබෙන රෝගීන්ගේ වැඩි පිරිස අවුරුදු 40ට වැඩි අය අතර . 

මේ තතත්වය පෙර හදුනාගන්නට පුළුවන්ද ? ...උත්තරේ ඔව් ..ඒත් පෙර හඳනාගැනීමකට පොළඹවන කාරනා ඇති වන්න එපායැ , ඒ වගේම ඒ කාරණා ගැන නිසි සැක කිරීම් ඔස්සේ පරික්ෂණ කෙරෙන්නත් එපායැ , එහෙම වුනොත් , රෝග ලක්ෂණ , ඉතිහාසය ඔස්සේ ගන්නා තොරතුරු අනුව CT scaning , MRI scaning වලින් මුලික හඳුනා ගැනීමක් කරන්නට පුළුවන් . තවත් සංකීර්ණ පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වුනොත් CTA , MRA කියන ඩයි වර්ගයක් මොළයේ ලේ නහර තුලට ඇතුළු කරලා ගන්න ස්කෑනින් ක්‍රම මඟින් එය කරගන්නට පුළුවන් . 

හොඳයි මේ විදියට හඳුනා ගත්තොත් ප්‍රථිකාර තිබෙනවාද ? ..ඔව් මුලිකවම රුධීර පිඩනය පාළනය , මතුවී ඇති මල්ල පිපිරීම යාම වැලැක්වීම සහ තව දුරටත් මතුවීම අවහිර කිරීමත් , කරන්නට පුළුවන් , ඒ සඳහා CLipping හෙවත් ශල්‍යකර්මයක් මඟින් ලේ නහරයේ මල්ල ඇති තැන හඳුනාගෙන , ඒ මල්ලලේ බෙල්ල හිර වන විදියට දාන ක්ලිප් එකක් මඟින් මල්ල තවත් ලොකු වීම සහ පුපුරයාමේ අවදානම පාලනය කරන්නට පුළුවන් . සමහර විට තිබෙන ලේ මල්ල වෙත එන පීඩනය අඩු කරමින් පුපුරායාමේ අවදානම අඩු කරන්නට , මේ කරදරය වුනු ලේ නහරය “බයිපාස්“ කරමින් වෙනතකට හරවා යවන්න පුළුන් . හරියට , අර පිකටින් වලට පාර වහල තදබද වුනු වෙලාවට වෙනද නොයන හොර පාරවල් වලින් හරි ගිහින් හිර වෙච්ච තැනින් පැන ගන්නවාවගේ , මේ පීඩනය වැඩිවුනු , මල්ලක් හැදුනු ලේ නහරයට වෙනත් නැතකින් ගත් නහරයක් බද්ධ කරමින් පීඩනය වෙනතකට හරවන්නට  ස්නායු ශල්‍ය වෛද්‍යවරයා කටයුතු කරනවා . තවත් ක්‍රමයකදි මේ ලේ නහරයේ ඇතිවු මල්ල පිරවීමක් කරවමින් තවත් ලේ ඇතුලුවීම සහ පිපිරීමේ අවදානම අඩු කරනවා .මේ coiling එකක් කෙරෙන විදිය දැන් බලාගන්න පුළුවන් .


ඉතින් කියන්න තියෙන්නේ මේ වගේ තවත් දියුණූ ක්‍රම දැන් තිබෙනවා , නමුත් අමාරුම දේ නිසි අවස්ථාවේ ප්‍රථිකාරයට යොමු වීම සහ අනතුර සිදුවන්නට පෙර හඳුනාගැනීම කියන කාරණේ. කෙසේ වෙතත් රෝගය ගැන දැන ගැනීමත් තමන් අවදානම් කණ්ඩායමේද කියල දැන ගැනීමත්  , සුදුසුකම් ලත් වෛද්‍යවරයෙන් ඔස්සේ නිසි පරික්ෂණ සහ ප්‍රතිකාර වලට යොමු වීමත් හරිම වැදගත් . ( විශේෂයෙන් , තමන්ගේ මවට පියාට හෝ සහෝදරියකට හෝ සහෝදරයෙක්ට ,  තව විදියකින් කිවොත් පළමු මට්ටමේ ඥාතීත්වයක් ඇති කෙනෙක්ට මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා නම් ) . 

සටහන නිමා කරන්නට ඉස්සර වෙලා වැදගත් තවත් දෙයක් කියන්නට ඕන , ඒ තමයි කෙනෙක් Cerebral aneurysm තත්තවයෙන් පෙළෙන බව හඳුනා ගත්තනම් , හිතන්න එපා එතැනින් ජීවිතේම ඉවරයි කියලා , නිසි ප්‍රතිකාර සහ නිසි පසුඅගැයුම් සිදුකරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට පුළුවන් . විවාහ වන්නට , දරුවන් හදන්නට , රාජකාරයට යන්නට පුළුවන් . වැදගත්ම දේ ඔබ දැන් එක් අතකින් ආරක්ෂීතයි ,ඇයි ? ...ඔබ , ඔබේ වෛද්‍යවරයා දන්නවා තිබෙන තත්ත්වය , සහ විය හැකි අවදානම පාළනය කරමින් සිටින්නේ , එත් රෝග තත්ත්වය හඳනානොගත් අනේක් අය ,“   අපි නිරෝගීයි“  කියාගෙන නැටුවත් කවුද දන්නේ මොළය කිට්ටුව “බෙරි ගෙඩි“ තිබෙනවාදැයි , තව විදියකින් කීවොත් වැඩියෙන්ම ඇතිවන බෙරි ඇනියුරිස්ම් Berry Aneurysm නොතිබේයැයි කියන්නට පුළුවන් ද ? ...ඒකයි මේ බෙරි ගෙඩිය ..නිහඩ මාරයෙක් ලෙස නම් කෙරෙන්නෙ ..

අවසානයේ ...අද කතා කළ බෙරිගෙඩියේ අවදානම නෝනා මහත්තුරුන්ට වැඩියැයි කීවත් එය මහත්වරුන්ටත් අදාලයි , විශේෂයෙන්ම මහත්තයා දුම්බොනවා නම් , (නෝනත් මහත්තයාගේ දුම්බොන්වා නම්) අධීරුධීර පීඩනය තතත්වයෙන් පෙළෙනවා නම් , නැත්නම් ඊට ආසන්න තත්ත්වයක ඉන්නවා නම් , පවුලේ යහපත වෙනුවෙන්වත් ඔය දුම පිඹින එක ගැන ටිකක් හිතන්න . පර්යේෂකයින් කියන විදියටම කීවොත් “smoking may cause the brain's blood vessels to develop multiple aneurysms, or weak spots. These weak spots can rupture and cause bleeding that can lead to stroke, disability, and death“... හිතන්න පනස් දෙනෙක්ගෙන් එක් අයෙක් මේ අනතුර තුල දැන හෝ නොදැන ඉන්නා බව ...

ඉතින් අදට කතාව ඇති කියල හිතෙනවා , හැමදාමත් වගේ අදත් කතා කළේ රෝග තත්ත්වය ගැන “සාමාන්‍ය ජනතාව “ දැන ගත යුතු තරමේ විස්තර ටිකක් විතරයි , නමුත් මීට වඩා යමක් දැන ගත යුතු වේනම් පහත තිබෙන කොමෙන්ට් තීරුව ඒ වෙනුවෙන් විවෘතයි. 

එසේ නම් සමුගනිමි සුව සතුට පිරි දිනයක් පතමින් .අවසානයේ දැන්වීමක් ....

මේ ලෙඩ රෝග සහ සෞඛ්‍යය පිළිබඳ දැනුම වටින්නේ “බදාගන්නවාට වඩා බෙදා ගැනීමට “ ඒ නිසා මේක කියවන , කියවූ ඔබ යමක් දැන ගත්තා නම් එය තවත් කෙනෙකුට දෙන්න මොකද මේ පුංචි බ්ලොග් සටහනකින් දහස් ගණනකට දැනුම දෙන්නට බැරිවේවි , ( විශේෂයෙන්ම ලොකු පිරිසක් නොඑන මෙවන් සටහන් වලදි  )  නමුත් දැන ගත්දේ බෙදා ගත්තොත් එය සමාජ සත්කාරයක් .... .ඒ “සොඳුරු සුව අසපුවේ“ කාරුණීක ඉල්ලීමක් , 

තවත් මේ ගැන දැනගන්න http://youtu.be/s32_RM2947k

මෙයට ආසන්නම මිග්‍රේන් තත්ත්වය ගැන ලියැවුනු ලිපියට  http://www.nursinglk.com/2011/12/69.html

5 comments:

  1. වැදගත් ලිපියක්. අපිත් ඔය ගණන් ගන්නැතිව හිටියට මොන මොන ගෙඩි ඇතුලෙ තියෙනවද දන්නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න , ඇත්තෙන්ම මේ නිසාමයි ලෙඩ රෝග ගැනත් පොඩ්ඩක් හරි දැනගෙන ඉන්න එක වටින්නේග
      ඔබේ පැමිණීම සතුටක් !

      Delete
  2. බොහොම පින් මේ දැනුවත් කිරීම ගැන. මගේ පියා මියගියෙත් මයොකාඩියල් ඉන්ෆාක්ෂන් තත්වය නිසා. මෙවැනි ලිපි කියවීමෙන් පසක් වන්නේ අනිත්‍යය දුක්ඛය අනාත්මය නොවේද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  3. හොඳ දැනුවත් කීරීමක්. කවුද දන්නේ අපේ මොන මොනවා තියනවද කියලා.

    ReplyDelete
  4. ස්තුතියි මහේෂ්..දැනුවත් කිරීම ගැන..

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)