2013/01/29

129) සැඟවුනු කතා කියන “හිර වුනු අත“

“වැඩේ කියන්නේ , මේ අත... මීට වැඩිය හරවන්න බැහැ ....නිදාගන්න ගියාම නම් .....ඉතින් කියල වැඩක් නැහැ ...මොකද මම පුරුදු වෙලා ඉන්නේ මේ පැත්තට හැරිලා නිදාගන්නමනේ ....“ ...
හොඳට හරිබරි ගැහිලා පුටුවේ වාඩි වෙන්න හිතා උන්නත්  අමාරුවෙන් වගේ ඈදි ගත්ත මගේ මිත්‍රය කීව ..

. ..අපි වෙනුවෙන් දවසම ගෙවල , සෑහෙන මහන්සියක් වෙලා ආ  මේ මිත්‍රය කීදේ ගණන් නොගෙන ඉන්නම බැහැ ,
“කොච්චර කාළයක් ඔය කැක්කුම තිබුණද ....?“...
“දැන් මාස ගාණක් තිස්සේ ...අඩුවෙනවා ..කාළෙකට අත හොල්ලන්ම බැහැ වගේ ..අඩුවෙලා තිබුණේ ...අද ආයෙත් වැඩියි වගේ “ ...
‘‘අද ඉතින් දවසම ඩ්‍රයිව් කළානේ ...ඒකත් එක්ක කැක්කුම වැඩි වෙන්න ඇති ...“ ...

මේ විදියට පටන් ගත්තු කතාව ටික වෙලාවක් ඇදිල ගියා ...ඒ අතරේ තව තව රසකතාත් එහා මෙහා මාරු වුනා ...කොහොම හරි උදේ පාන්දර පටන් ගත්ත කටයුත්ත නිමා කරලා  අපේ හෘදයාංගම මිතුරගේ නිවසින් සමුගන්නකොට රෑ දොළහත් පහුවෙලා ... 

“තාත්ති ...අපි අයිසේජ් බැලුව ...“ ..
“හ්ම් ..ත්‍රීඩී ...ඒ වුනාට මෙයා ටිකක් බලවෙලා හිටිය ....“  දවසේ වෙහෙස නිවන පොඩ්ඩො දෙන්නගේ කතාව පටන් ගත්තු නිසා ගෙදර ඇවිත් අලුත් පොස්ට් එකක් ලියන්න හිටියත් ඒක කරගන්න බැරිවුනා ...අද ටිකක් විවේක නිසා එදා කතාව ගැන අද ලියන්නයි හදන්නේ ...

එදා කතාව ගැන කීවට මිත්‍රය කීව රෝග ලක්ෂණ බොහොමයක් තිබෙන රෝග තත්ත්වයක් ගැන සමහර විට ඔහුට තිබෙන්නෙත් අපි මේ කියන්න හදන , Adhesive Capsulitis කියන තත්ත්වය වෙන්න ඇති කියලයි හිතුනේ ..ඒත් රෝග විනිශ්චයක් දෙන්න ඕනේ වෛද්‍යවරයා ..ඒත් අපි බොහෝ අය අතරේ තියෙන , ඒත් වැඩිපුර ගණන් නොගෙන “විඳවන“ මෙම තත්ත්වය ගැන දැන ගන්න එක හොඳයි කියල හිතෙන්නේ , මේ ගැටළුවේ වේදනාවට වඩා , සැඟවුනු වෙනත් දෙයක් තියෙන්න පුළුවන් නිසා ...කෙසේ වෙතත් එහෙම නම් අද අපේ කතාවේ මාතෘකාව Adhesive capsulitis ....

“ලොකු නමක් ආවට මේක අපි හැමෝම දන්න දෙයක් ...මේක අතේ කැක්කුමක් ...අතේ ඉහළ ..උරහිස හරියට වෙන්න ඇතිවෙන කාළයක් තිස්සේ වද දෙන , ඒ විතරක් නොවෙයි අපේ වැඩකටයුතු වලටත් බාධා කරන මේ රෝග තත්ත්වය පොදුවේ හඳුන්වන්නේ Frozen shoulder කියල ...දැන් ඔබ සමහර විට මේ නම අහල ඇති ...කෙසේ වෙතත් අපි අද මේ ගැන ටිකක් කතා කරල දැනගනිමු මොකක්ද මේ “ෆ්‍රෝසන් ෂෝල්ඩර්“ කියන්නේ කියලා ..

මුලින්ම අපි ටිකක් මේ ආපදාවට ගොදුරු වෙන , උරහිස් සන්ධියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය ගැන පොඩ්ඩක්  කතා කරල ඉමු . මොකද මේ කරුණූ නොදැන ලෙඩේ ගැන කතා කරන එක ඒ තරම්ම ප්‍රෙයාජනයක් නැති නිසා ..



මේ රූප සටහනේ තියෙන්නේ අපේ උරහිස් සන්දියේ දල සටහනක් ...Humerus  කියල නම් කරල තියෙන්නේ අපේ අතේ ඉහළ බාහුව හදන අස්ථිය ...පොඩ්ඩක් බලන්න ඒ අස්ථීයේ ඉහළම කෙළවර ...හොඳට රවුම් වෙලා බෝලයක් වගේ ...ඒ එක්කම බලන්න ඒ කෙළවර Glenoid නමින් තියෙන පොඩි කුහරයක් ඇතුලට රිංගල තමයි තියෙන්නේ .ඒ කීවේ අපේ උරපතු ඇටය Scapula ගේ කුහරයක් ඇතුලට රිංගල තමයි අත සවි වෙලා තියෙන්නේ ..ඒ නිසා තමයි අතට හැකියාව ලැබිල තියෙන්නේ බොහොම නිදහසේ වටේට කරකවන්න , පැත්තෙන් පැත්තට චලනය කරන්න ...ඒ වගේ සෑහෙන පරාසයක චලන කරන්නට පුළුවන් වෙලා තියෙන්නේ ...හැබැයි ඉතින් ඇත්තටම මෙතන තියෙන්නේ මේ “ඇට කෑළි“ ටික විතරක් නොවෙයි ..මේ අස්ථි එකිනෙකට සම්බන්ධ කරන Ligament නම් පටි , තව ..මෙතනට පේෂි සම්බන්ධ කරන Tendon පටි , පේෂි , තව ....මේ අත හරවත්දි තවත් මෘදු බව ලබා දෙන කාටිලෙජ , මේ ඔක්කොම පරිස්සමින් වට කරගෙන ඉන්න capsule පොත්තක් ...ඔය වගේ සෑහෙන ජීව පටක වල එකතුවක් තමයි මේ උරහිස් සන්දිය ...ඉතින් මේ කොතනක හරි ප්‍රදාහයක් , තුවාලයක් , ගැටළුවක් ආවොත් අත චලනය කරත්දි වේදනාවක් , අපහසුකාවයක් එනවා . අන්න ඒ විදියට සේ සන්ධීයේ තියෙන කැප්සූලයේ ඇතිවන ප්‍රදාහයක් තමයි අද අපේ මාතෘකා වන රෝගයට හේතුව ..
දැන් මේ කැප්සූලය ඉදිමිලා , රතුවෙලා රිදෙන්න ගත්තම , ඒ කියන්නේ Inflammation  එකක් ඇති වුනාම ඊට ඇතුලින් තියෙන මුලින්කී Tendons, Ligaments  හරියට වැඩ කරන්නේ නැහැ .මේ විදියට වරින් වර කැප්සුලයට කරදර වෙනකොට එයා , වෙනද වගේ මෘදු නැති , තද , රළු ස්වභාවයක් ගන්නවා ..අන්න ඒ නිසා තමයි අපිට දැන් අත , වෙනද වගේ ලේසියෙන් හරවන්න  හොළවන්න බැරි .., වේදනාව ., උරහිස තව වෙලා වගේ , කැක්කුමයි , බරක් උස්සන්න තියා කොන්ඩේ පීර ගන්න , ඇඳුමක් ඇඳ ගන්නවත් අත උස්සන්න බැහැ .ඒ කියන්නේ දැන් Adhesive capsulitis කියන තත්ත්වය අපව ගොදුරු කරගෙන අවසානයි ...

දැන් අපි දැන ගන්නම ඕන දේ ...ඒ කිවේ කොහොමද මේ රෝගය අපට ඇති වන්නේ කියන එක ..ප්‍රධානම දේ , මීට පෙර උරහිසට වූ අනතුරක් වෙන්න පුළුවන් ...සමහර විට බරක් උස්සන්න ගිහින් ඇති වුනු අසමබරතාවය නිසා , එහෙම නැත්නම් ඉහළකින් වැටිලා , අනතුරක් නිසා සන්ධියට වුනු ආපදාවක අතුරු ප්‍රථිපලයක් වෙන්නටත් ඉඩ තිබෙනවා . හුගක් පොදු අවස්ථාව මෙය වුනත් මේ තරම් පහසුවෙන් නොකිය වෙන තවත් හේතු ගණනාවක් තියෙන්න පුළුවන් ,එයින් වැදගත්ම අවස්ථා කිහිපය සටහන් කරන්නේ අවදානම සහ අවධානය පිණිසමයි ..

ඔබ දියවැඩියාව තිබෙනවා නම් , එහෙම නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථීයේ ආබාධ තත්ත්වයක් ඇත්නම් ...සමහර  විට තවම හඳුනාගෙන නොතිබුණත් ....මේ අයට Frozen shoulder තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩියි ....ඒ වගේම හෘදයාබාධ , ආතරයිටිස් , ඒ විතරක් නොවෙයි පාකින්සන් රෝගයේ සැඟවුනු ලක්ෂණයක් විදියටත් Frozen shoulder ඇති වෙන්නට ඉඩ තිබෙනවා . මේ විතරක් නොවෙයි ඔබේ බෙල්ල ආශ්‍රිතව පිහිටන කොඳු ඇට වල (Cervical vertebra ) ඇතිවන වෙනස්වීම නිසා , එය Frozen shoulder විදියට දැනෙන්නත් පුළුවන් , මේ තත්ත්වය සමහර විට ජීවිත අවදානම් අවස්ථාවක් වෙන්නත් පුළුවන් ...අන්න ඒ නිසා තමයි අද පෝස්ට් එකේ මාතෘකාව වුනේ .. සැඟවුනු කතා කියන “හිර වුනු අත“ ....ඒ නිසා Frozen shoulder වේදනාව විතරක්ම නොවෙයි , ඒ පිටුපස සැඟවුනු තව කතා ගණනාවක් තියෙන්න පුළුවන් .. ඒ නිසා , අර ඩොල් පෙත්ත ගහ ගහ ඉන්නේ නැතිව ඇත්තම තත්ත්වය හොයා ගන්න එක් තමා වැදගත් ..

දැන් මේ වගේ ලක්ෂණ එක්ක ඔබේ වෛද්‍යවරයා ගාවට ගියාම , ඔබ කියන දේ , අත හරවන විදියට ,වේදනාව පැවතුනු කාළය , ස්වභාවය , වේදනාව වැඩි වන විදිය .... ඒ චලන සීමාව වගේම සාමාන්‍ය දේහ පරික්ෂාව එක්ක ඔබේ රෝග ඉතිහාසය ගැනත් කතා කරන්න වේවි . මේ තොරතුරුත් එක්ක වෛද්‍යවරයාට පුළුවන් මේ Frozen shoulder දැන සැක කරන අවස්ථාවකට එන්න . නමුත් එක්ස් රේ කිහිපයකින් ඔහුට මේ තත්ත්වය ගැන නිගමනයකට එන්න පුළුවන් , සමහර විට MRI පරික්ෂණ කරන්න කියන්නත් පුළුවන් . ඒත් එහෙම වෙන්නෙ සීමිත අවස්ථාවක ...

මේ විදියට රෝග තත්ත්වය හඳුනාගත්තම මුළින්ම ඔබේ වේදනාව සහ සන්ධීයේ ප්‍රදාහය අඩු කරන්නට Anti Inflammatory බෙහෙත් පෙති පටන් ගනීවි , සමහර විට සන්ධිය වටා මෘදුව ආලේප කරන්න සුදුසු ප්‍රතිප්‍රදාහික වර්ගයේ ක්‍රීම් වර්ගයක් නියම කරන්නත් පුළුවන් . මේ එක්කම රෝග තත්ත්වයට සම්බන්ධ අතුරු ගැටළු ඇත්නම් ඒවටත් ප්‍රතිකාර කරාවි . වැදගත්ම දේ , මේක ඔළුවේ කැක්කුමක් වගේ දවසින් හොඳ වේවි කියල හිතන්න අමාරුයි , ටික කළක් යනවා  ඒ වෙනුවෙන් ඔබේ කැපවීම අවශ්‍යයි , ප්‍රතිකාරය නියමිත කාළ සීමාවට ගත්තම වේදනාව සෑහෙන දුරට අඩුවුනත් , වෙනද වගේ තවමත් අද නිදහසේ චලනය කරන්න බැරි ගතියක් දැනේවි , මේක සාමාන්‍යයි , ඒත් මේ පෙති වලින් වේදනාව අඩු නොවනවා නම් , ස්ටිරොයිඩ් ඉන්ජෙක්ෂන් එකක් නියම කරන්න ඉඩ තියෙනවා , හැබැයි ඒක විදින්නේ ඔබ සන්ධීය ඇතුලට . මේ ප්‍රතිකාර දෙකම එකතු වුනාම , ඔය තියෙන තද වේදනාව අඩුවෙලා යාවි ..ඒ කියන්නේ දැන් හොඳටම හොඳයිදි ? .....නැහැ ...තව වැඩි තියෙනවා ..

දැන් ඔබව රෝහලේ Physiotherapist වෙත යොමු කරන්න කාළය , එතැනදි විශේෂ ව්‍යායාම කරනවා වගේම නිවසේදි , රාජකාරි කාළය තුල වරින් වර කරන්නට ඕන සරළ ව්‍යායාම කිහිපයකුත් කියල දෙනවා .මේ සියල්ල ගැන ඔබේ නිසි අවධානය යොමු වුනොත් , අඩුම තරමේ මාස 10-12කදි වත් මේ රෝගයෙන් ගැළවෙන්න පුළුවන් .....ඔව් මාස 10-12ක් ...ප්‍රතිකාරෙ හරියට නොකෙරුණොත් මේ වේදනාවත් එක්ක අඩුම තරමේ අවුරුදු දෙක තුනක්වත් ඉන්න ලැහැස්ති වෙන්න වේවි ...හිතල බලන්න ...අවුරුදු දෙක තුනක් ..වේදනාව විතරද ? ....එදිනෙදා කරන කටයුතු , රැකියාවේ කටයුතු හරියට කරගන්න බැරිව ....! ඒ නිසා හොඳම දේ මේ තත්ත්වයට නිසි අවස්ථාවේ නිසි ප්‍රතිකාරය ගන්න එක ...ඒ කීවේ මේ වේදනාවට ප්‍රතිකාර නොගත්තත් , ටික කළකින් අඩු වේවි ..නැහැ සැඟවේවි ..ආයෙත් මතුවෙන අවදානමත් එක්ක ..

කොහොම වුනත් බොහොම සිමිත රෝගීන් සංඛ්‍යාවකගේ Frozen shoulder  තත්ත්වය මේ ප්‍රතිකාර මාළාවෙන් සුව නොවී දිගින් දිගටම වද දෙන්න පුළුවන් ..එහෙම වුනොත් තමයි ඒ සන්ධීය ශල්‍යකර්මයක් මඟින් නිවැරදි කරළා , අර මුළින් කී කැපුසූල් එකේ නරක් වෙච්ච තැන් අයින් කරලා දාන්න වෙන්නේ ..දැන් නම් මේක කරන්නේ  තාක්ෂණිකව බොහොම දියුණූ වෛද්‍ය උපකරණයකින් , Arthroscopy  කියන උපකරණය උදව්වේන් කරන මේ Arthroscopic surgery තත්ත්වයට පෙර ලෙඩේ හොඳ කරගන්න පුළුවන් නම් තමා හොඳ ....

එහෙම නම් අද අප කතා කළේ කාළයක් තිස්සේ අපට වද දෙන්නට පුළුවන් රෝග තත්ත්වයක් ගැන , ඒ වගේම ඒ අස්සේ සැඟවිලා එන්න පුළුවන් වෙනත් අවදානම් පවතින බව ...කෙසේ වෙතත් මේ රෝග තත්ත්ව ගැන දැන ගෙන සිටීම වටිනවා , මොකද එතකොට අපිට පුළුවන් , මේ ගැටළුව ප්‍රතිකාර ගත යුතු එකක්ද නැත්ද කියන එක ගැනවත් අදහසක් ගන්න ...

ගම්පහදී සෙට් වෙන්න, ෆෝම් එක පුරවන්නඑහෙම නම් ..., සිංහල බ්ලොග් අවකාශයේ මිතුරන් සංවිධානය කළ “ගම්පහ ගේට්ටුව“ ගැන රසකතා බලන්න විතරයි වෙලා තියෙන්නේ , ලංකාවට ආ කාළෙකවත් කොහොම හරි ඊළඟ “ගේට්ටුවකට“ එන්න හිතේ තියාගෙන  අදට සමුගන්නවා සොඳුරු සුව අසපුවෙන් ..ඔබ සැමට සුව සතුට පිරි දිනයක් ...

7 comments:

  1. මේ රෝගී තත්වයෙන් පීඩා විඳින අය දැකලා තියනවා . සමහරුන් කොන්ඩේ පීරගන්න බැරුව . අනපු බත් කට මුවට ලං කර ගන්න බැරිව ඉන්නව දැකලා තියනවා . මහ කරදර කාරී රෝගයක් .
    …වෙනද වගේම් හොඳ ලිපියක් .

    ReplyDelete
  2. ම්ම්ම්... මං මේ කල්පනා කළේ අපි නොදන්න කොච්චර ලෙඩ තියෙනවද කියලා.. අනිත් එක මේ වගේ ඒවා ගනං ගන්නෙත් නෑ නේ...

    මං මේ දොස්තරලත් එක්ක හරිම ප්‍රශ්නයක් තියෙනවා.. බේතක් ගන්න ගියාම රෝග ලක්ෂණ ටික අහලා බේත් ටිකක් ලියලා දෙනවා.. පොඩ්ඩක්වත් මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියන්නේ නෑ.. උණ වගේ දෙයක් නම් අපි දන්නවනේ.. ඒත් මේ වගේ දෙයක් තේරෙන්නෙම නෑ නේ... ඉතිං බේත් ගත්ත කෙනෙක්වත් තව කෙනෙක් මෙහෙම රෝග ලක්ෂණයක් කියනවා නම් ගිහින් බේතක් ගනිං කියලා කියන්න දන්නේ නෑ...

    මගේ මේ වම් අතේ සුලැගිල්ලේ උඩම හරිය හිරි වැටිලා මාස තුනක් විතර තිස්සේ.. ටයිප් කරන්නත් බෑ.. එක පාරක් ගියාම බේතක් ලියලා දීලා හරි ගියේ නැත්තම් ආයිත් එන්න කිව්වා.. දෙවනි පාර විටමින් එකක් ලියලා දුන්නා මාසයක් බීලා බලමු කියලා.. එහෙමත් හරි ගියේ නැත්තම් ස්නායු සම්බන්ධ දොස්තර කෙනෙක්ට පෙන්නමු කිව්වා.. මං තාම දන්නේ නෑ මොකද වෙලා තියෙන්නේ කියලා.. ඇයි විටමින් දුන්නේ කියලා... ඇහුවම කිව්වෙත් නෑ නේ අප්පා...

    ReplyDelete
  3. Frozen Shoulder කියන්නේ රෝග ලක්ෂනයක් නිසා මේ කියපු ලෙඩ වලට අනුව වේදනාව එන තැන වෙනස් වෙනවද මහේෂ්?

    ස්තුතියි ලිපියට වෙනදා වගේම..

    ReplyDelete
  4. මටත් නින්දෙදි තනි ඇලයට හැරිලා නිදාගන්නපුරුද්දක් තියෙනවා. ඒ නිසාම දැන් දැන් නින්දෙදි අත හිරිවැටිමක් සිදුවෙනවා. පුරුද්ද කියන්නේ අනෙක් ඇලයට හැරුණත් නිතරම හුරු පැත්තට හැරෙනවා ඉබේටම.

    මේ අගනා විස්තරයට ස්තූතියි.

    ReplyDelete
  5. හැදිලා හොඳවෙලා තියනවා. මට බලපෑවේ ලේ වල සීනි මට්ටම තමයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  6. Very informative article. I too have that pain from time to time.Thank you for your explanation.Waiting to read more.

    ReplyDelete
  7. ඇත්තටම බලන් ගියාම අපි හැම කෙනෙක්ම කුමක් හෝ රොගාබාධයකින් පෙලෙනවා. ඒත් නිසි වෙලාවට නියම ප්‍රතිකාර නොකර ඒවෙනුවට තාවකාලික පිලියම් යොදා සනිප කර ගන්නවා. මේ වැනි නිවැරදි අවබෝධයක් ඇතිනම් අඩුම තරමේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා මේ තත්වය කතාබහ කරගෙනම නියම ප්‍රතිකාරයක් ගන්න පුළුවන්.
    ස්තූතියි මහේෂ්..

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)