2012/11/11

125) මුලින් රිදවනා.. පසුව සැප දෙනා.. ඇතුලට දානා කූර දනීදෝ..

“ලොකූ කන්නේ දැවිල්ල එක්ක නේ ....එහෙනම් උම්බලකඩ සම්බෝල තියෙනවා , සැර කට්ට සම්බෝලයක් තියෙනවා ..මොනවද ඕන ...?“....
“මට නං ඕන කට්ට සම්බල් ..ෂා ..රසායි........“ ...
ලොකු කෙලී පිට්ටු උඩටම කට්ට සම්බල් ගුලියක් දාගෙන නිදහසේ කන්න හිතාගෙනද කොහෙද එයාගෙ  මේසෙට ගියා ...
පොඩ්ඩි නම් හොරෙන් හොරෙන් අම්මගෙ අස්සෙන් ගිහින් පැණි බෝතලේ උස්සගෙන ...(මේ දෙන්නගේ වැඩ දැකල ඇතිනේ මෙතැනින්)
“ආ ..මෙයා ඉතින් තාත්තගෙම දුව නේ ..... එහෙමනං තාත්තටත් ඕකෙන්ම පැණී ටිකක් දාල තියන්න ...දෙන්නම ඉතින් එක ජාතියේ කූඹිනේ ....“ ....

අද උදේට උණු උණු පිට්ටු රස ලැබෙන බව මම දැනගෙන හිටියත් අම්මල දූල කුස්සිය පැත්තේ කසු කුසු ගාන අතරෙ හැමදාම වගේ නොවුනත් අද සෙනසුරාදාව නිසා පරක්කු වෙලා නැගිටල අන්තර්ජාලේ පුරා ඇවිදින්නට පටන් ගත්ත ...මුහුණූ පොත , ලංකාවේ පත්තර ටික , ඊළඟට Weather network  එක , ඊළඟට මේ පැත්තේ පත්තර ටික ...හැමදාමත් වගේ අවුස්සමින් බලන්නට පටන් ගත්තේ ..අද බොහොම නිදහස් ..කවුරුත් ගෙදර ......

“බීප් බීප් බී .....බීප් බීප් බී...බීප් බීප් බී“ ....ස්කයිප් පැත්තෙන් කවුදෝ එනවා .....

සඳරුවන් ! .....මගේ ජීවිතේ බොහොම සුන්දරම අවධීයක් ගත කළ ජාතික ආධුනිකත්ව සහ තාක්ෂණ පුහුණු කිරීමේ අමාත්‍යංශය අනුබද්ධ , ගාල්ල සමුපකාර හෙද විදුහල එක්ක ළඟින්ම කටයුතු කළ මිතුරෙක් .., බොහොම කැපවිමක් ඇති තාක්ෂණ නිළධාරියෙක් .....ඒ දවස් වල නම් හැමදාම හම්බවෙලා පොඩි “කයියක් “ දැම්මත් දැන් ඉතින “ස්කයිප් කයියක්“ තමා දාන්නේ ...

“ඉතින් සඳරු....කොහොමද ....“....
“වරදක් නෑ ...අපි නම් මේ දවස් වල බිසි ..ඒක නෙවි ....මිස්ට මහේෂ් ....මෙන්න ඔයාගේ ළමයි දෙන්නෙක් ඉන්නවා කතා කරන්න ....බලන්න කවුද කියලා ...“ 
...
පරිගණකේ තිරේ මත බොඳවෙච්ච රුවක් පෙනනවා ...එච්චර පැහැදිලි නැහැ ..ඒ අස්සෙන් කිචි කිචියකුත් ඇහෙනවා ....

“මේ තිෂාණි නේද ......ඔය අස්සෙ ඉන්නේ මාධවී නේද ...? .....ඒ පැත්තෙන් එන පිංතූරේ පැහැදිලි නැතත් “මගේ දරුවො“  මට හඳුනගන්න පුළුවන් ..අවුරුදු ගණනාවක් මේ පැටවුන්ට “හෙදකමේ රසය“ කියාදෙන්නට උත්සාහ කළ මට , අද මේ දරුවන් හුඟක් ඈතින් හිටියත් මගේ හදවගේ මේ පැටවු , පැටික්කියෝ හැමදාමත් රැඳිල ඉන්නවා ....(මෙන්න අපි එදා ඔවුන්ගෙන් සමුගන්නදා කළ සටහන ..).

“ඔව් සර් අපි දෙන්න තමා ....ඉතින් කොහොමද ....කෝ නංගිල දෙන්න .....මිස් ඉන්නවද ....“ ප්‍රශ්න වැලක් ...
මෙහෙම පටන් ගත්ත කතාව පැයක් පුරා ඇදුන කියල මතක් වුනේ නැති තරම් ...අපි හතර දෙනාටම හරිම සතුටුයි ...ඒ අපි හතර දෙනාම මේ ආයතනයට , මේ පැටවුන්ට ගොඩාක් ආදරේ කළ නිසා වෙන්න ඇති ...
කළ කතා බහේ ඔක්කොම මොකටද ? ...ඒත් වැදගත් තැනක් අහුවුනා ...
“සර් , තමිඳුගේ කකුල දැන් ටිකක් හොඳයි , ඒත් එයාට පින් දාල , ...ප්ලේට් එකකුත් දාල ..දැන් ඇවිදිල කොට ටිකක් රිදෙනවා ..අනේ ...ඒක් හරියයිද සර් ...., “ ..


තිෂාණි මාස කිහිපයකට ඉස්සර විවාපත් වුනේ තමිඳු එක්ක ...යෞව්වනයේ සුන්දර ආදරය , නිසිපල නෙලා ගන්නට සමත් වුනු මේ “පැටව් දෙන්න“  සතුටින් යුග දිවිය ගත කරමින් උන්නා ..ඒත් අවාසනාව අප ගාවට මොන මොහොතේ ඒද කියල කියන්න බැහැනේ ...පහුගිය දවසක තිෂාණි ඩියුටි දාල එන ගමන් තමිඳුගේ බයික් එක හැප්පුනා ...ඒ දරුවගේ කකලේ පහල තියෙන අස්ථී දෙකම දරුණූ විදියට කැඩිලා බිඳිලා ගියා ...වේදනාව , එක්ක තව කරදර ගොඩක් ..ඉස්පිරිතාලේ ඉන්න , බෙහෙත් දාගන්න ...එක එක පරික්ෂණ වලට යන්න ..මේ අළුත බැඳපු කෙල්ලටයි , කොළු පැටියටයි කරදර ගොඩයි ...ඒත් අද වෛද්‍ය තාක්ෂණයේ පිහිටෙන් සියල්ල යහපත් තත්ත්වෙට ඇවිත් , අද ඇයවගේම ඔහුත් රැකියාවට යනවා ...ඒත් ප්‍රතිකාරය විදියට අස්ථී වලට සම්බන්ධ කළ ලෝහමය පතුරු සහ ඇණ නිසා තවම පොඩි පොඩි අමාරුකම් තියනව බව ගමයි ඇය කියන්නේ ....කෙල්ල අඬනවා ...ඇත්ත ..මේ කෙල්ලට ඒක දරාගන්න බැරි තරම් දුකක් ....

ඒ කතාවට උත්තර දීල , පුළුවන් තරමින් හිත හදල , තේරුම් බේරුම් කරල දුන්නත් , මේ අස්ථි බිඳිම් ආශ්‍රිතව කෙරෙන ප්‍රතිකාර වල භාවිත කෙරෙන නව වෛද්‍ය විද්‍යාත්මක තාක්ෂණ ක්‍රම ගැන හුඟ දෙනෙක්ට තවම හරි අවබෝධයක් නැති නිසා ඒ ගැන ටිකක් කතා කරන්නයි අද හිතුවේ ...

ඔබ දන්නව ඇති රිය අනතුරකින් හරි නැත්නම් වෙනත් අනතුරකින් හරි අස්ථී බිඳීමක් වුනොත් රෝහලේ දී මොකද කෙරෙන්නේ ...
හිත රිඳවන ඇන්ටෙනා ....
‘‘ප්ලාස්ටර් බදාමේ දාවි ...නැත්නම් ඇන්ටෙනාවක් දාවි ...එහෙම නැත්නං ඉතින් ඇණ දාල ප්ලේට් එකක්දාවි ...“ පොදුවේ මේ ගැන ඇහැව්වොත් හුඟ දෙනෙක් දෙන උත්තරේ මේක ...ඔව් සාමාන්‍ය ව්‍යවහාරයේ මේ විදියට කීවත් අපි වෛද්‍ය විද්‍යාත්මකව නම් මේ ටික කියන්නේ “ Plast Of Paris  cast , External fixation , Internal fixation “ කියන විදියට ..හැබැයි මේවායේ තවත් අතුරු ක්‍රම ගණනාවක් තිබෙනවා , අපි ඉතින් ඔය ඔක්කොම කතා කරන්නේ නැහැ ..මූලිකව දැන ගන්නට ඕන කරුණු කාරණා ටිකක් මෙතැනින් එහාට කතා කරන්නයි හදන්නේ ..


ඇටේ කොටස් 
ප්‍රතිකාරේ ගැන කතා කරන්නට ඉස්සර වෙලා අස්ථීය සහ අස්ථී බිඳිමක් ගැන ටිකක් කතා කරල ඉමු ..බොහොම තද , දැඩි දෙයක් වගේ අපේ අතට දැනුනට මේ ඇට , නැත්නම් අස්ථි කියන්නේත් “සජීවී පටකයක්“ ...ඒ කීවේ අස්ථි ඇතුලට ගියාම ඒ ඇතුලේ පණ තියෙන සෛල රාශියක් එකට එකතු වෙලා වැඩ කරනවා ..සමහරු ලේ වලින් කැල්සියම් , පොස්ෆේට් වගේ දේවල් අරගෙන ඇවිත් අස්ථීය ඇතුලේ ගොඩ ගහනවා ..තැන තැන මේ විදියට ගොඩ ගහන අයට අපි කියන්නේ ඔස්ටියෝබ්ලාස්ට් කියල ..


අස්ථියක ඇතුලත
තව සෛල කණ්ඩායමක් ඉන්නව අස්ථිය සම්බන්ධ රූපලාවණ්‍ය කටයුතු භාරව , එයාල තමයි ඔස්ටියෝක්ලාස්ට් .මෙයාලගේ රාජකාරිය අස්ථීයේ ලස්සනට මැදල , පිහිදල , හැඩට තියා ගන්න එක ..අර මුලින් කට්ටිය තැන තැන දාල යන කැල්සියම්  ගොඩවල් “ඇටේට“ ගැලපෙන විදියට ‘යතුගාල“ , මේකප් දාල වැඩක් නැති ටික අයින් කරල දාන්නෙත් මෙයාලා ...මේ සෛල කාණ්ඩ දෙක ප්‍රධානියෝ වුනත් , තවත් සෛල ගණනාවක් අස්ථීයේ කටයුතු වලද උදව් වෙනවා . ඒ වෙනුවෙන්ම සැකසුනු , ලේ නහර , ස්නායු අස්ථිය තුල වගේම ඒ ආශ්‍රිතවත් ගමන් කරනවා ..කෙටියෙන් කීවොත් අස්ථිය කියන්නේ අපේ ඇස් , කන වගේම “පණ තියෙන“ තැනක් ..එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන “පද්ධතියක්“ ...

දැන් අස්ථීයක් බිඳුනම මොකද වෙන්නේ ..? ..අස්ථීයක් බිඳුනම මේ අපි කතා කළ පද්ධතියම බිඳ වැටෙනවා , එකිනෙකට සම්බන්ධ වෙලා කටයුතු කළ කට්ටියගේ වැඩ ටිකක් අඩාල වෙනවා ..හැබැයි , කොහොම හරි අපි කැඩිච්ච ඇට කැළි එකිනෙක ලං කරල තිබ්බොත් හිමින් සැරේ අර ‘වැඩ කාරයෝ“ ආයේ එකතු වෙලා කැඩිච්ච තැන හා කරල අස්ථී බිඳීම සුවපත් කරනවා ....ප්‍රථිකාරයේද ප්‍රධානව සිදුවන්නේ මේකයි , තවත් විස්තර කළොත් ප්‍රතිකාරයේ මුලික අරමුණූ වෙන්නේ , අස්ථීයේ වෙන්වුනු මුහුණත් පුළුවන් තරම් නැවත ලං කරලා , ස්ථාවරව , නොසෙල්වී තියා ගන්න එකත් , ඒ තුවාල ඇතුලට විෂබීජ ඇතුළු නොවන විදියට ආරක්ෂා කරගන්න එකත් ( වැරදිලාවත් මේ අස්ථී ඇතුලට විෂබීජයක් ඇතුළු වුනොත් සෑහෙන කරදරයකට වැටෙනවා ..ඒ ගැන මීට පෙර ලිපියකදි කතා කළා මතකයි) , අවශ්‍ය පෝෂණය ළබා දෙන එකත් , වේදනාව පාලනය කරගන්න එකත් තමයි , මේ ටික හරියට කෙරුණොත් “ස්වභාවික ක්‍රියාවලියක් “ විදියට නැවතත් අස්ථීය හාවෙනවා , මේ සඳහා ගත වන කාළය නම් වයස , රෝග තත්ත්ව , අස්ථියේ ස්වභාවය අනුව එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් .



jarit_orthosurgical.jpg
වඩු වැඩට නොවෙයි ...ඇට වැඩට 
දැන් අපි කතා කරන්නට හදන “පින් සහ ප්ලේට්“ ප්‍රධානව වැදගත් වෙන්නේ මේ සුව වීමේ ක්‍රියාවලියේ “අස්ථීයේ වෙන්වුනු මුහුණත් පුළුවන් තරම් නැවත ලං කරලා , අස්ථීයේ නියම හැඩරුවට සකසලා , ස්ථාවරව , නොසෙල්වී තියා ගන්න එකට“ , මේ සඳහා ශල්‍ය ප්‍රතිකාර විදියට ගන්නා ආකාර දෙකක් තිබෙනවා ඒ තමයි External fixation (ඔය කතා බහේදි කියන්නේ ඇන්ටනාවක් දාල කියල“ ...සහ Internal fixation (කතාබහට කියන්නේ නම් පින් දාල කියල) ...අපි දැන් කතා කරන්න හදන්නේ මේ කටයුත්තේ හැඩරැව ගැනයි ..

මුලින්ම කියන්නට ඕන දෙයක් තියෙනවා , මෙතනින් එහාට කතා කරන දේවල් ජීව විද්‍යාවද , වඩු කර්මාන්තයද කියල සැක හිතෙන තරම් , අස්ථී බිඳිම් නිවැරදි කරන්නට කරන ශල්‍යකර්මයකදි භාවිත කෙරෙන උපකරණ වෙන ශල්‍යකර්ම වලට වඩා ටිකක් වෙනස් , ඒ අතරේ අඬු , මිටි , ඉස්කුරුප්පු නියන් , කියත් , දඬු අඬු වගේ ඒවත් තියෙනවා .. ඒ විතරක් නෙවි ඉස්කුරුප්පු ඇණ , තහඩු , ලෝහමය බෝල , පතුරු ඔය වගේ ..ඇත්තටම orthopedic operation theater එකක් වැඩ කරත්දි අත්දකින්නට ලැබෙන්නේ වෙනස්ම අත්දැකීම් ගනනාවක් ..

මොනවද මේ විදියට පාවිච්චි කරන විශේෂීත ඇණ , තහඩු ....මුලින්ම කතා කරමු ඇන්ටෙනාව ගැන ..ඒ තමයි එක්ටර්නල් ෆික්සේටර් ...මේකෙදි කරන්නේ බිඳිනු අස්ථීය හරහා යන විදියට සම්බන්ධ කළ ලෝහමය රාමුවකින් එම බිඳීනු තැන පිහිටීම නිවැරදි කරල ස්ථාවරව තියා ගන්න එක , සමහර විට බිඳුනු අස්ථි මුහුණත් අතර පතරතය අඩුවන්නට යම් පීඩනයක් , යෙදීමටත් මෙය යොදා ගන්නවා , ඒ වගේම පිටතින් තිබෙන ඉස්කුරුප්පුව පාව්චිච කරමින් අවශ්‍ය තරමට නැවත තද කරමින් , හෝ බුරුල් කරමින් සුව වීමේ කාර්යයට සහය වන්නට මේ පද්ධතිය උදව් වෙනවා . ඒත් පොඩි ප්‍රශ්න කිහිපයක් නැතිවා නොවේ , මේ ලෝහ රාමුව අස්ථිය විඳල හයි කරල තිබෙන නිසාත් , එහි කොටස් සම හරහා බාහිරට ඇවිත් තිබෙන නිසාත් , හොඳට පරිස්සම් කර නොගත්තොත් විෂබීජ වලින් ආසාදනය වීමට පොඩි අවදානමක් තිබෙනවා , ඒ නිසා EF එකක් external fixation එකක් දාල තිබේනම් එහි බාහිරින් ඇති ලෝහමය කූරු මතුවූ තුවාල බොහොම පිරිසිදු ක්‍රම යොදා ගනිමින් පිරිසිදුව පවත්ව ගන්නට ඕන , ඒ නිසා රෝහලකදි විෂබීජ රහිත ලෙස පිරිසිදු කළ උපකරණ මඟින් එම තුවාල පිරිසිදු කරගෙන බෙහෙත් දාගන්න පුළුවන් නම් තමා හොඳ . 
පරිස්සම් කර ගන්න ඕන සිදුරු ..
වැදගත්ම දේ විෂබීජ රහිත උපකරණ භාවිත කරමින් ..(autoclaved instrument හරිම වැදගත් ) ඒ නිසා මේ තුවාල වලට බෙහෙත් දා ගැනීම ගෙදරදි කරගන්න , එහෙම නැත්නම් ගෙවල් ගාව ඉන්න “ඉස්පිරිතාලේ වැඩ කරන කෙනාට කියල “ කරව ගන්න යන්න එපා .ඒකට ඔබට නියම කළ සායනයටම යන්න , එය සෑහෙන දුරට ආරක්ෂීතයි , ඔව් ටිකක් කරදර තමයි ඒත් ආරක්ෂාව හරිම වැදගත් , මොකද මේ වෙලාවේ අස්ථීය ඇතුලට විෂබීජයක් ගියොත් ඒක සමහර විට මුළු ජීවිතේම වෙනස් කරන සාධකයක් වේවි Osteomyelitis කියන රෝගය හදමින් . 

මේ ලෝහමය රාමුව නිසා ටිකක් කරදරයි වගේම පොඩි කැක්කුමක් තියෙන්න පුළුවන් , විශේෂයෙන්ම ටික දවසක් යනකම් , කොහොමත් යම් කාළ සීමාවට පස්සේ (කාළ සීමාව අස්ථි බිඳිම අනුව වෙනස් වෙනවා) මේ රාමුව අයින් කරල දාන නිසා , ඒ දවස් ටිකේ විතරක් දුෂ්කර ක්‍රියාවක් කරන්නට වෙනවා.

ඊළඟට අපි කතා කරමු Internal fixation එහෙම නැත්නම් එළියට මතු නොවෙන විදියට අස්ථි හයි කරන හැටි ....මේ සඳහා ඇණ(Pin) , ඉස්කුරුප්පු ඇණ (Screw) වගේම ලෝහමය දඬුත් (Rod) යොදා ගන්නව . මීට අමතරව ඔය ඇණ , ඉස්කුරුප්පු වල උදව්වෙන් ටයිටේනියම් වගේ ලෝහ වල හදපු Plate එකකින් අර කැඩිච්ච තැව හාකරල තබා ගන්නත් පුළුවන් , මීට අමතරව කම්බිත් පාවිච්චි කරන්නට සිදුවෙන අවස්ථා තිබෙනවා . වැදගත්ම දේ , මේ සියලු උපකරණ හදල තියෙන්නේ මළ නොකන  ඒ වගේම සැහැල්ලු සහ ශක්තිමත් ලෝහ භාවිත කරමින් , ඒ ටයිටේනියම් හෝ කොබොල්ට් මිශ්‍ර කළ ලෙසින් වන්නට පුළුවන් , අනෙක් දේ මෙම උපකරණ අස්ථීයට ඇතුළු කරන්නේ , සම්බන්ධ කරන්නේ විසබීජ රහිත , ශල්‍යාගාරයක් තුල ඒ නිසා මේ උපකරණත් 
එක්ක ඇඟ ඇතුලට විෂබීජ ඇතුළු වන්නට ඇති අවදානම ඉතාම අඩුයි , නිසි පහසුකම් යටතේ නිවැරදිව කෙරෙනවා නම් ඒ අවදානම බිංදුවයි කියන්න පුළුවන් ඒ නිසා එහෙම බයක් ඇති කරගන්නට ඕන නැහැ . ඊළඟට මේ “ලෝහ කෑළි“ අපේ ඇඟේ අනෙක් පටක වලට හානියක් කරන්නේ නැහැ , අසාත්මික වන්නට හැකියාවත් අඩුයි (ඒත් මේව කෘතිම උපකරණ නිසා දේහයට යම් කරදර විමේ , වෙනත් රෝගයක් ඇති කිරීමේ  ඉතාම සුළු ඉඩක් තිබුණත් , ඒ අවදානම ඉතාමත් සිමිත බවයි පර්යේෂකයන් පවසන්නේ , අපි දන්නවනේ අපි ගන්න ඕනම බෙහෙතක යම් කිසි අතුරුආබාධයක් ඇති වන්නට පුළුවන්  )  , ඒ නිසා මේ උපකරණ ඇතුළු කළා කියල වෙනත්  ආපදාවක් සඳහා ඉඩක් නැහැ කියල කියන්න පුළුවන් , (හැබැයි ඉතින් M.R.I එකක් කරගන්න ගියොත් මේ ගැන කියන්නට ඕන   , එහම  නැත්නම් ගුවන්තොටුපල වගේ තැනකදි පොඩි අපහසුතා ඒවි  අර ආරක්ෂක උපකරණ හරහා යත්දි ..මොකද සමහර වෙලාවට මේ උපකරණ නිසා ඒ ආරක්ෂක උපකරණ වල එලාර්ම් එක වදිනවා)  ,කොහොම වුනත් මේ External fixation නම් සති කිහිපයකින් ඉවත් කරනවා , ඒත් Internal fixation ඉවත් කරන්න හෝ , ප්‍රතිකාරය අනුව ජීවිත කාළයටම ඒකත් එක්ක ජීවත් වෙන්නත් ඉඩ තිබෙනවා .


කොහොම වුනත් මේ ඕනම ප්‍රතිකාරයක යම් අහිතකර ප්‍රතිපල ලැබෙන්නට ඉඩක් තිබෙනවා , දැන් අපි බලන්න හදන්නේ අන්න ඒ විය හැකි , සීමිත ඉඩක් ඇති අනපේක්ෂිත දේ මොනවද කියන එක , මේ අතරින් ප්‍රධානම දේ තමා ආසාදන , Infections මේ සඳහා රෝගියාගේ පෞද්ගලික පවිත්‍රතාව වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ ප්‍රතිකාර කටයුත්තෙදි කටයුතු කරන ආකාරයත් , යොදාගන්නා උපකරණ වල පිරිසිදු බවත් මුලික වැදගත් කමක් දරනවා , ඒ වගේම රෝගියාගේ පෝෂණ තත්ත්වය වගේම මානසික තත්ත්වයත් මේ අපදා සීමා කරගන්නට උදව්වෙනවා . ඊළඟට මේ බිඳිම ආශ්‍රිතව නැවත ලේ වහනය වීම වන්නට සහ ලේ කැටිති ඇති වන්නට ඉඩ තිබෙනවා , මේ අවස්ථා වලදි ස්ථානිකව , ඒ කිව්වේ ඒ තැන ඇති වන තද වේදනාව වගේම මද උණ ගතියක් , තුවාලය ආශ්‍රිතව සමේ පාටේ වෙනසක් , කෑම අරුචියක් වගේ ලක්ෂණත් අමතරව එන්න පුළුවන් . කොහොම වුනත් මේ අවස්ථා දෙකම බොහෝ විට ඔබ රෝහල් පරිසරයේ ඉන්න දවස් වලම හඳුගන්න පුළුවන් නිසා ලොකු කරදරයක් නැතිව ඊටත් ප්‍රතිකාර ගන්නට පුළුවන් . 

මෙන්න මේ අය වෙන අයට වඩා ටිකක් පරිස්සම් වෙන්න ඕන , ඒතමයි දියවැඩියාවෙන් පෙළෙන අය , හෘදයාබාධ වල ලක්වූ ඊට ප්‍රතිකාර ලබන අය , මීට පෙර ලේ කැටි ගැසීම සම්බන්ධ ගැටළු තිබුණු අය ...ඒ වගේම ඔබ දුම්බිමට ඇබ්බැහි වෙලා නම් ඒ කියන්නේ ඔබත් අවදානමක් අරගන්නවා , 

දැන් කොහොමද මේ ප්‍රතිකාරයත් එක්ක පරිස්සම් වෙන්න ඕන කියල බලමු , ප්‍රතිකාරයෙන් පස්සේ ඔබ දින කිහිපයක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධික්ෂණය යටතේ රෝහලේ රඳවා ගන්නවා , ඒ දින හතක් දහයක් වගේ කාළ සීමාවකට , වෙනත් ප්‍රශ්නයක් නො ආවොත් ගෙදර යන්න පුළුවන් (ඒත් ඔය ඇන්ටෙනාවත් එක්ක ගෙදර යන්න ටිකක් ලියකියවිලි වැඩටිකක් කරන්න වේවි , මොකද ඔය උපකරණය මිලෙන් වැඩියි, ඒ වගේම එය නැවත පාවිච්චි කරන්නට පුළුවන් , ඒ නිසාම External fixation එකක් එක්ක ගෙදර යන්න ඉස්සර වෙලා රෝහලේ නිති රිති අනුව සාමාන්‍ය ලියකියවිලි වලට අමතරව තවත් දේ , නැවත ලබා ගන්නා මුදල් තැන්පතුවක් , නැත්නම් යම් කිසි විදියට ඇපවිම කරන්නට වේවි . පෞද්ගලික රෝහලක නම් මෙහෙම අවශ්‍ය වෙන එකක් නැහැ . (මම ඒ ගැන නම් දන්නේ නැහැ) . රෝහලේ ඉන්න දවස් ටිකේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ උපදෙස් අනුව ඉන්න එක හරිම වැදගත් , නියමිත කාළ සීමාවට පස්සේ ඇඳෙන් බහින එක , අතපය වලට ව්‍යායාම කරන එක ,  ( අකමැතිම දේ ..වේදනාව ඇති බව ඇත්ත , නමුත් ඒ විදියට ඇඳෙන් බැහැල ඇවිදීම නොකලොත් තවත් කරදරයක් මතු වෙන්න ඉඩ තිබෙනවා )  , බෙහෙත් ටික හරියට ගන්න එක වැදගත් .බොහාම විට , ගැඹුරු ශ්වසන ව්‍යායාමත් කරවාවි , ඒ වගේ දේවල් හිතෙන්නේ මොන විහිළුවක්ද මේ ? කියල ..( මොකද , අමාරුව කකුලේ තියෙත්දි හුස්ම ව්‍යායාම මොකටෙයි නේද ...ඒ ගැන දැන ගන්න මෙතැනින් එන්න ) 

දැන් ඔබ මේ ප්‍රතිකාරයෙන් පස්සේ නිවසට යන දවසට රෝහලෙන් ලොකු “නීති මාලාවක්“ ...නැහැ ..ඇත්තටම උපදෙස් මාලාවක් දේවි , නාන්න ඕන විදිය , දවස් කීයකට වතාවක්ද , සබන් ගාන්න හොඳද නැත්ද , තුවාලෙට බෙහෙත් දාගන්න ඕන කොහොමද , කෙහෙන්ද ? ..කෑ නොකෑ යුතු දේ මොනවද ? ....මේ වගේ ලොකු විස්තරයක් දේවි ..නොදෙනවා නම් ඔබේ අයිතිය ඒ තොරතුරු විමසා දැනගෙනම ගෙදරට යාම ...

කෙසේ වුවත් සියල්ල යහපත්ව සිදුවුනත් මෙන්න මේ වගේ ලක්ෂණ ඇති වේදැයි අවධානේන ඉන්න , ඉඳළම මදි , වෙනස්කමක් හඳුනගත්තොත් ඉක්මණින්ම ඔබේ ප්‍රතිකාරය සම්බන්ධ රෝහලට , සායනයට නැත්නම් වෛද්‍යවරයා හමුවන්නට ඕනේ ..මොනවද මේ අවදානම් ලක්ෂණ ..

අදාල තුවාලය අවට කැක්කුම හුඟක් වැඩිවෙනවා නම් , ඒ එක්කම ගැහිල උණ ගැනෙන තත්ත්වයක් ඇති වුනොත් ..ඒ කියන්නේ ආසාදයක පෙරනිමිති ..මේක බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නෙවි ...ඒ වගේම තුවාලයෙන් ලේ වහනය විමක් (වැඩිවීමක්) සිදුවනවා නම් , නැත්නම් ප්‍රතිකාරට අදාල අත නැත්නම් කකුලේ හිරිවැටීමක් , පණ නැති ගතියක් දැනෙන්න පටන් ගත්තොත් , දෙන බෙහෙත් වලින් වේදනාව අඩුවෙන්නේ නැත්නම් , නැත්නම් වේදනාව වැඩිවෙනවා වගේ දැනෙනවා නම් ...ඉක්මණින් ඔබේ වෛද්‍යවරයා හමුවීම වැදගත් . මේ වගේ ලක්ෂණ එක්ක , හෝ නැතිව මුත්‍රා දැවිල්ල , මුත්‍රා එක්ක ලේ පිටවීමක් , එහෙම නැත්නම් හුස්ම ගැනීමට අමාරු ගතියක් , “පපුවේ සෙම එකතු වෙලා“ වගේ , නැත්නම් මහන්සිය වැඩිබවක් දැනෙනවා නම් මේව ප්‍රතිකාරයෙන් පස්සේ ඇති වන්නට පුළුවන් ද්වීතික ගැටළු වෙන්නට පුළුවන් . මේ හැම දෙයක් ගැනම දැන ගෙන නිසි අවධානයෙන් , උපදෙස් අනුව කටයුතු කළොත් ලොකු කරදරයක් නැතිව ඔබේ අස්ථි බිඳීම සුව කරගන්නට පුළුවන් . 

කොහොම වුනත් මේ අය ආයෙත් “ඇට කඩා ගන්නේ නැතිව “ ඉන්න බැලුවොත් හොඳයි , මොකද ඊළඟ වතාවේ තවත් ටිකක් කරදර වැඩි වෙන්න පුළුවන් නිසා . ඒ වගේම රෝහලෙන් ලබා දෙන උපදෙස් , කෑම බීම , ශ්වසන ව්‍යායාම වගේම ගත යුතු ඖෂධ සහ ඒවා ගන්නට ඕන කාළ සීමාව ගැනත් නිසි අවධානය යොමු කරන්නට ඕන . මොකද නොසැලකිලිමත් වුනොත් ජීවිතේම වෙනස් කරන්න , සමහර විට බොහොම අවාසනාවන්ත තත්ත්ව වලට මුහුණ දෙන්නට වෙන්නත් ඉඩ තිබෙනවා . විශේෂයෙන්ම ව්‍යායාම ගැන කතා කරන්නටම ඕන , රෝහලේදි භෞත චිකිත්සකවරයා හඳුන්වාදෙන ව්‍යායාම හරියට ඉගෙන ගන්න , ඔබට අපහසුනම් පවුලේ කෙනෙක් එක්ක ඒ වැඩසටහනට එන්න , එතැනදි ඔබට කළ යුතු ව්‍යායාම ගැන ඔබේ පවුලේ සාමාජිකයාටත් දැනුවත් කරාවි . දැන් ඉතින් “කැක්කුමයි“ කිය කියා ඉන්නේ නැතිය ඒ කී දේවල් ටික කරන්න ...ඉවසන්න ...සමහර විට මාස කිහිපයක් , තරමක වේදනාවක් වගේ පොඩි අපහසුතා තිබෙන්නට පුළුවන් , 

එහෙම නම් “ඇට කඩා ගත්තම“ වෙනදේ ගැන තමයි අද කතා කළේ ...හැබැයි මෙහෙම ඇණ , පතුරු නොදා සුව කරගන්නට පුළුවන් සරළ අස්ථී බිඳීම් තිබෙනවා , ඒ නිසා ඇටයක් කැඩුන ගමන් බය වෙන්න එපා ඇණ ගහවිද කියල ...ඒ එක ක්‍රමයක් විතරයි ...

අද කතා කළා ප්‍රමාණවත් කියල හිතෙනවා , දැන් ඉතින් මේ කතාවට මුල පුරා දුන්නු මගේ සිසු දරුවට ඉක්මණ් සුවය පතනවා , ඒ වගේම යුග ජීවිතේ මුල් දවස් වලම මේ වගේ ප්‍රශ්නයක් මතු වුනාම ,එන මානසික , සමාජයීය , ගැටළු වලට නිසි ලෙස ශක්තිමත්ව මුහුණ දුන්නු දියණියටත් සුබ පතනවා , දුවේ ...ජීවිතේ කියන්නේ අත්දැකීම් ලැබෙන තරමට සම්පුර්ණ වෙන , ශත්කිමත් වෙන දෙයක් කියල  ඔයාලට කීව මතකයේ ඇතැයි සිතනවා තවමත් ... 

මේ කියවන ඔබ සැමගේ සිතේ නැගෙන ආශීර්වාදයත් මගේ මේ කතාවේ “නව යුවල “ වෙත ලැබෙන බව මට විශ්වාසයි ...


.....මේ කතාව ඇත්ත වුනත් යෙදූ සමහර නම් වල වෙනසක් ඇති ....

නවීනතම ක්‍රමයට මේ ප්‍රතිකාරය කෙරෙන අයුරු බලන්න ..




ඕන කරන ඇණ , මුරිච්චි හොයා ගන්න මෙතැනින් 




18 comments:

  1. ඇට කඩා ගන්න තමයි අකමැතිම දේ..ඒ එක්ක විඳින්න වෙන වේදනාව සහ අපහසුකම් ගැන මතක් වෙනකොටම ඕනිවටත් වඩා පරිස්සමින් වැඩකරන්න පුරුදු වෙලා තියෙන්නෙ මන් නම්...එහෙන් මෙහෙන් කියවලා තේරුම් අරන් තිබ්බ පැත්තක පූර්ණ දැනුමක් ආවා හැමදාම වගේ මේ ලිපියෙනුත් ...

    ReplyDelete
  2. රටක් වටින ලිපි පෙලක්,පින්සිද්ද වෙච්චාවේ

    ReplyDelete
  3. නියම ලිපියක්.
    මං හිතාගෙන හිටියෙ අර ඇන්ටනාව පිටිං දාන එකක් විතරයි කියලයි.

    ReplyDelete
  4. කැඩුම් බිඳුම් වලට පුදුමාකාර විදියට බය කෙනෙක් මමත්... හැබැයි ගොඩක් වෙලාවට කරන්නේම සිංහල බේත් තමයි.. පොඩි කාලේ නම් ඒවට හරි ගියාට දැන් නම් හරි යන්නේ නැ කියලා හිතෙනවා... මේ අතක් කඩාගෙන විදින දුකේ හැටියට පරිස්සම තමා කොකටත් හොඳ....

    ReplyDelete
  5. ඉතා වැද්ගත් ලිපියක්, මගේ නෑදෑ වෙන අයකු ගේ සිදුවුන අස්ථි බිදීමක් නිසා මෙවැනි පතුරක් පාදයට ඇතුල් කරලා තියනවා. නමුත් ඒ දිනවලම සිදුවුන ආසාදනයක් නිසා දැනට අවුරුදු පහක් පමන වන තුවාලයක් ඉතිරී වී තිබෙනවා. ඒ තුවාලය පෑන් තුඩක් විතර සිදුරක් , හැබැයි අස්ථිය වෙනක්ම්ම තියනවා. නිරන්තරයෙන් සැරව ගලාගෙන එනවා. කොපමණ ප්‍රතිකාර් කලත් සුව වුනේ නෑ. දැන් හැමදාම තුවාලය සුද්ද කර බෙටඩීන් දානවා. ගොවියෙක් වන් ඔහු මෙයින් සෑහෙන්න විදවනවා.

    ReplyDelete
  6. අම්මෝ...
    අතක් පයක් කඩා ගන්නවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙවෙයිනේ. කොච්චර දිග උනත් ලිපියම කියෙව්වා. ගොඩක් වටිනවා...

    ReplyDelete
  7. ගොඩාක් වටින ලිපියක්
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  8. හැමදාමත් වගේ හරබර කරුණු ගොඩාක් සහිත ලිපියක්. සංකීරණ දෙයක් ඉතාම සරලව විස්තර කරන්න අයියාගේ හැකියාව නම් අනගියි. ඇණ මුරිච්චි කිව්වාම අපට උගන්නපු orthopedic surgeon කෙනෙක් කියපු කතාවක් මතක් වුණා. " මේක යකඩ පට්ටලේ වැඩ කරනවා වගේ එකක්. ඒක නිසා ඔය වැඩ කරන්න ඔතෑනි ගෑනු ළමයි ඉන්නවා නම් මේකෙන් Postgraduate කරන්න හිතන්න එපා" කියල තමා එදා සර් කිව්වේ. ගැහැණු orthopedic surgeon ලා ඉතාම අඩු මේ හින්දාම වෙන්න ඇති.

    ReplyDelete
  9. ආතරයිටීස් නිසාත් සමහර අයට ප්ලේට් දානවා නේද?

    ReplyDelete
  10. @ සුදු මහත්තයා,
    ස්තුතියි ඔබට සුදු මහත්තයා...

    @ මමත් විදින්න අකමැතිම දේ තමයි ඒ ..හේතුව වේදනාවට වැඩිය එකතැනට වෙලා ඉන්න එක තරම් අමාරු වැඩක් මට නැති නිසාද මන්ද ? ..
    කෙසේ වෙතත් බොහොම ස්තුතියි ඔබේ අදහස එක්කළාට..

    @ අටම්පහුර,
    ඔබේ සටහනින් මමත් පුදුම සතුටක් ලබනවා ..ස්තුතියි ඔබටත් ..

    @ Praසන්ன,
    ස්තුතියි Praසන්ன ...ඔබේ පැමීනීම සතුටක් මට ...

    @ හිරු ,
    අස්ථීය සංකීර්ණව බිඳී නැති අවස්ථාවක හදිසි ප්‍රතිකාර වලින් පස්සේ සිංහල බෙහෙත් කර ගන්න අය මමත් දන්නවා , ඇත්තෙන්ම එහි සාර්ථකත්වයක් තිබෙනවා , අවශ්‍යතාවය භග්නය නිශ්චලව තැබීම සහ වේදනාව අඩු කිරීම නේ ..කෙසේ වෙතත් තුවාල පවතින අවස්ථාවක නම් නිසි ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් බෙහෙත් නොදැම්මොත් සමහර විට ජීවිතේම දුකට වැටෙන්නත් පුළුවන් ..
    ස්තුතියි හිරු,

    @ මුදියන්සේ,
    ඔය තමයි ලොකුම අනතුර ..තවමත් සුව නොවීතිබෙන්නට හේතුව සොයාගෙන ඇතැයි සිතනවා . කෙසේ වෙතත් “බහු ඖෂධ ප්‍රතිරෝධී “ M.R.S.A වගේ විෂබීජයකින් ආ ආසාදනයක් නම් වැඩේ සෑහෙන දුර දිග යන්නට පුළුවන් ..දන්න කෙනෙක් නම් ඒ තත්ත්වය නම් ඉක්මණින්ම ප්‍රෙද්ශයේ තිබෙන පහසුකම් ඇති ප්‍රධාන රෝහලකට රැගෙන යාමයි සුදුසුම ,
    ස්තුතියි මුදියන්සේ ..ඔබේ පැමීණීම මට සතුටක් ...

    @ priyantha ,
    ඇත්තෙන්ම priyantha මහත්මයා ...මේ වගේ මාතෘකා උඩින් පල්ලෙන් ලියන්න හිත දෙන්නෙම නැහැ , ඒ එකක් එහෙම ලිව්වොත් සමහර විට නියම ප්‍රතිපලේ නොලැබෙන්න පුළුවන් , සමහර විට අපේකෂා නොකළ අයුරින් කියවන්නා මෙය තේරුම් ගන්නත් පුළුවන් ..කළබලකාරි ජිවිතේ එක්ක මේ වගේ දිගු ලිපියක් කියවන්නට කාළය වැය කරන අපේ සියළු හිතමිතුරන්ට ස්තුති වන්ත වන්නට ඕන ... වෙසෙසින්ම ඔබට මගේ ස්තුතිය ..

    @ Gayani Wedage,
    ස්තුතියි Gayani Wedage , ඔබේ පිටුවත් හරිම වටිනවා ..

    @ තොටියා,
    ස්තුතියි තොටියා මල්ලියේ ... ...ඔව් , දන්න දේ අනෙක් අයට තේරුම් ගත හැකියි හිතෙන තරමට සරළව දෙන්නයි උත්සාහය , ඉතින් වෛද්‍යවරයෙක් වුවත් , තවත් බ්ලොග් සහෘදයෙක් ලෙස ඔබ කරන මේ අගය කිරීම මම සතුටින් භාර ගන්නවා ,

    කතාව නම් ඇත්ත ...Orthopedic theater එක නියම කම්මලක් තමා ... අනෙක ඒ ශල්‍යකර්මය කරන්නට මොළය විතරක් නොවෙයි ඇඟ පතත් සෑහෙන වෙහෙසන්න වෙනවා නේද ? ...

    @ මඩිස්සලේ නිශාන් ,
    ඔව් නිශාන්  ආත්‍රරයිටිස් වල සමහර වර්ග වල දි ඒවා යොදා ගනිමින් ප්‍රතිකාර කරනවා . ..
    ස්තුතියි

    ReplyDelete
  11. හරිම වටින ලිපියක්..නොදන්නා කරුනු විස්තරාත්මකව දැනගත්තා.
    ජය වේවා ඔබට..!

    ReplyDelete
  12. අගනා වටිනා ලිපියක් සහෝදරයා. මේ තොරතුරු හැම දෙනකුටම වටිනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  13. mr nishantha ඔයාගේ මෙම ලිපිය අද තමයි keyewuwe.Ada Smajayt Godaka Watinawa: Ada Kale Wena Anathuru Heteyat.Mr Nishanthata Godaka Ithuthi.

    ReplyDelete
  14. අගනා වටිනා ලිපියක්

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)