2012/10/12

122) අමන්දා වින්දා ..ආදරේ නැති හින්දා (වැඩිහිටියන්ට විශේෂයි)


ඊයේ පෝස්ට් එක ලියත්දි “දැන් පෙන්වනවා ඇගේ කඳුළු කතාව“  කියන මාතෘකාව දැම්මේ අදාල චිත්‍රපටයේ සාරාංශයක් විදියට ..ඒත් එය ඇත්තම සිදුවීමක් ලෙසින් නැවත සිදුවේයැයි හිතකවත් තිබුණේ නැහැ ..ඇත්ත ..එවන් දේ ඕන තම් වෙනවා ඇති , ඒත් අප ඒ ගැන නොදන්නවා ඇති , නැත්නම් ඒ ගැන අපේ සංවේදීබවක් නැතිව ඇති ..කෙසේ වෙතත් අද උදේ කැනඩාව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් පුවතක් පැතිර ගියා , සියළුම රූපවාහිනී නාලිකා වගේම , මුද්‍රිත මාධ්‍ය පුරාත් පැතිර ගිය මේ පුවත් මොකක්ද ? ....



ඒ තමයි වයස අවුරුදු 15ක දැරියක් සිය දිවි නසාගෙන ....හතේ පන්තියේ අධ්‍යාපනය හැදැරූ දියණියක් ..අද කාළේ ඇහෙන දේවල් වල හැටියට මේක මොකක්ද කියල ඔබ අසන්න බැරි නැහැ ...ඔව් ...ඒක ඇත්ත , අද කාළේ වෙන දේවල් හැටියට .......ඒත් මේ මරණය සුවිශේෂී මරණයක්....ඒ....මෙතෙක් කල් පොතේ මාතෘකාවක් විතරක් වෙලා තිබුණු එක්තරා “තත්ත්වයක්“ ගැන ලෝකයේම ඇස් අරවන්නට මේ මරණය දායක වුනා ....ඇත්තටම ඇය ඒ වෙනුවෙන් මිල කරන්න බැරි සම්පතක් ලොවට එක් කරලා තමයි ලොවෙන් සමුගත්තේ ...මේ ලිපියේ එක්තරා තැනක ඒ “සම්පත“ ඔබට බලා ගන්නට පුළුවන් ... ඊට ඉස්සර වෙලා අපි පොඩ්ඩක් මේ කතාව ගැන කතා කරමු ..

Cover Photo
මොකක්ද මේ කතාව ...අමන්දා ....ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක් ...මේ වයසේ දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට , පිරිසක් අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට , ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා ...මෙතැනදි ඇයට “පිහිටට එන්නේ “ අන්තර්ජාලය සහ සමාජ වෙබ් අඩවි ...ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුවෙනවා , හැඟුමන් හුවමාරු කරගනිමින් සිටියා ..යෞව්වනය ....නැවුම් හැඟුමන් උතුරා යන , යව්වනය ...මේ බැඳීම් තව තවත් ලෙංගතුව රඳවන්නට ඇයට බලකළා ...ඇය අන්තර්ජාලය ඔස්සේ පැමිණි සෙනෙහසට , මිත්‍රත්වය වැළඳ ගත්තා ....ඒත් ...


ඒත් ...ඩිජිටල් මඟ ඔස්සේ පැමිණි , එක්තරා විකෘති මානසිකත්වයක් ඇති තවත් දරුවෙක් ඇගේ සේයාරුවක් ගත්තේ වෙබ්කැම් එක ඔස්සේ ...මේ දැරිවිගේ “තුණු සපුවේ “ සේයාරුවක් ගත් ඔහු ඉන් පසු කළේ ඇයට බලපෑම් කිරීම ...ඇගේ සේයාරුව ප්‍රසිද්ධ කරන බවට තර්ජනනය කරමින් කළ බලපෑම අවසානයේ ඇයට දැන ගන්නට ලැබෙනවා ඇගේ ඒ සේයාරුව ප්‍රෙද්ශය පුරා , ඇගේ පාසල් මිතුරන් අතරේ පවා බෙදා හැර ඇති බව ....මේ දැනගත් තැන පටන් ඇය කියන පරිදි ඇයට මානසික අවපීඩනයක් ඇතිවී තිබෙනවා ...


මේ අවාසනාවන්ත සිදුවීමේ ඊළඟ පියවර ඇය පාසලේ මිතුරන් අතරින් කොන්වීම ...ඇයට කවුරුවත් නැහැ ..අනෙක් මිතුරු මිතුරියන් සිනාවෙන් , සතුටින් , කෙළි දෙලෙන් ගත කරත්දි අය තනිවෙනවා ...තනියම කොනකට වෙලා ඉන්න ඇය , පාසලේ සතුටුම වෙලාව , ...විවේකය ...ඒත් ඇයට සතුටක් නැහැ , ඇය තනියම තමන්ගේ කෑම වේල කත්දි අනෙක් හැමෝම සතුටින් සිනාවෙන කන බොන හැටි අය දකිනවා ....මිතුරන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා ..මේ වෙනස හඳුනාගන්නා දෙමාපියන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා ..ඒත් එය එතැනින් සීමා වී තිබූ බවක් මටනම් දැනෙනවා ...ඇය සිතින් විඳවනවා ..“මට කවුරුත් නැහැ ..මාව කොන්කරලා ...“ ...මේ විඳවීමට ඇය පිළිතුරක් සොයනවා ...මත්පැන් සහ මත් දියර ඇයට පිළිතුරක් සේ පෙනෙනවා ..ඔව් ...ඇය ඒ පිහිට පතන්නේ “වෙන කරන්න දෙයක් , කියන්න කෙනෙක් නැති තැන “ ....ඒත් විඳිවීමේ නිමාවක් නැහැ ...තව තවත් වැඩිවනවා මිසක ....ඇය හඩනවා ...හැමෝගෙම උපහාසයට , රිදවීම් වලට කොන්කිරීමට ලක්වෙන ඇය ....පාසලින් තවත් පාසලකට මාරුවෙමින් මේ විඳවීමෙන් මිදෙන්නට උත්සාහ කරනවා ...


ඔය අතරේ තමන්ට නොලැබෙන ආදරය ලැබුණායැයි දැනුන ඔහුගෙන් අතවරයට ලක්වෙනවා ...අවසානයේ ඔහු තමන්ගේ කාරිය කරගෙන ඇයව ප්‍රතික්ෂේප කරනවා ...ඒ පමණක් නොවෙයි ඔහුගේ ආදරවන්තිය ඇතුළු පාසලේ මිතුරන්ගේ උපහාසයට , රිදවීම් පලට ඇය ආයෙත් ලක්වෙනවා ...අළුත් පාසලත් ඇයට අපායක් වෙනවා ...“මම ලෝකයට විහිළුක් වෙලා ...මට රිද්දන්නම , මගේ පස්සෙන්ම මේ රිදවුම් එනවා “ අයට සිතෙනවා ....ඇයට පෙනෙන උත්තරය පිළිගන්නට ඇය සූදානම් ...යම් උපක්‍රම ගනිමින් ඇය සිය දිවි නසා ගන්නට තැත් දරනවා ...ඒත් ඒ තැත් වරදින ඇයට ඊට පස්සේ සිදුවන්නේ නැවතත් ..පෙරටත් වඩා රිදවුම් , විඳවුම් විඳින්නට .......ඇය මට රිදවන්නේ මේ ලෝකයම ..මම සිතින් දැන් මැරිලා ...මට මැරෙන්න ඕන ...“ ඇගේ තීරණය ...දෙවරක් ඒ තැත වරදින ඇයට තුන්වන වාරයේදී ඇය “බලාපොරොත්තු වූ “ මිදීම ලැබෙනවා ..ඒ ඊයේ ...බදාදා ..ඇය ලොවින් සමුගන්නවා ..ඒ තවත් සියදිවි නසා ගැනීමක් ලොවට එක් කරලා ....අද ඇය මෙලොව නැහැ 



.............................................. ඒත් අදට මාසයකට පමණ පෙර ඇය ලොවට ඊට වඩා වැදගත් දෙයක් එක් කළා ...ඇය තමන් විඳිවූ විඳවීම් , කඳුළු කතාව ...ඇත්ත කතාව ..වීඩියෝවක් බවට පත්කරලා තිබුණා ...මෙතැනින් පස්සේ ඔබ දකින්නේ ඒ වීඩියෝව ...බලන්න ..කළබල නැතිව බලන්න ...විනාඩි අටක් පුරා දිවයන මේ වීඩියෝව පුළුවන් නම් දෙවරක් බලන්න ....මුල් වර ඇය ලියා පෙන්වන කාරණා ටික කියවන්න ...දෙවන වර ඇගේ මුහුණේ, කටේ , දෙතොල්වල වන වේදනාබර හැඟුම් දකින්න ...එය පාඩමක් ..අමන්දා ලොවට දුන් පාඩම ඔබ හඳුනගන්න...ලෝකය අපායක් වූ ඒ සුරංගනාවියට ඇහුම්කන් දෙන්න .....ඔබේ මිතුරා ...දරුවා ...ඔබ වටා ඇති සමාජය ගැන හිතන්න ...මොහොතකට නවතිමි ...මනසින් වගේම මසැසින් ඒ වීඩියෝ ඔබ නිරාවරණය කරමින්....




..........දැන් ඔබේ සිතේ වගේම දෑසේත් කඳුළු ඇති ...සමහර විට ඔබ කියාවි ..“ඕක ඉතින් ඔය රට වල හැටිනේ ..කිසිම සාරධර්මයක් , හැදියාවක් නැති මිනිස්සුනේ .....අනෙක ළමයි දෙමාපියෝ කිසිම බැඳිමක් නැහැ ...නිකං රොබෝල වගේ ..තව එකක් ...ඔය වගේ දේවල් ඔය ඉස්කෝලවල ඕන තරම් වෙන්නේ ...අපේ ළමයි නම් ඒවයින් තව හැදෙනවා ..ඔය වගේ මෝඩ වැඩ කරන්න යන්නේ නැහැ ...අනෙක මොන තරම් සුළු දෙයක්ද....තව එකක් ඔය වගේ දේකට මත්පැන් ගන්නවද ? ....අනෙක කොයි තරම් වැරදිද අර විදියට පිරිමි ළමයෙක් එක්ක හිටපු එක ...අපේ ළමයි නම් එහෙම නෑ ...අපි කිව්වොත් තමයි ..! ...අනෙක මං කියන්නේ .........“ .....ඔව් මම මෙතැනින් එහාට ඒ ගැන මුකුත්ම කියන්න යන්නේ නැහැ ....ඒ ඔබට ආයෙත් සමබර සිතින් හිතන්නට ඉඩ දීලා ..


ඒත් එක ප්‍රශ්නයක් අහන්නම් ..මේ සිද්ධිය අපේ රටේ වෙන්න බැරිද....වෙලා නැත්ද ? .....මේ විදෙස් රටවල් ගැන අපි හිතන සමහර දේ ඇත්ත නොවෙන්න පුළුවන් ...ඒ වගේම මේ කියන බොහෝ දේ දැන් අපේ රටටත් ආදේශ කරගන්න පුළුවන් වට පිටාවක් නැහැයි කියල කියන්න පුළුවන්ද ....මම නම් හිතන්නේ නැහැ ..විශේෂයෙන්ම පරිගණකය , ජංගම දුරකථනය , වාහනය ...මේ රටේ සුවිශේෂී , ඒ වගේම මවාපෑම් කරන දේවල් නොවෙයි ..සාමාන්‍ය දේවල් ...ඒත් තවමත් අපේ රටේ මේ බොහෝමයක් “තත්ත්වෙ පෙන්වන , පුරාජේරුවට“ සාධක දෙන දේවල් ...එවන් පරිසරයක මීටත් වඩා දෙයක් නොවුනොත් තමයි පුදුමේ ...


ඔය පාසල් ගේට්ටුව ගාවට වෙලා ඉන්න දවස්වල , අම්මල ගහන කයිවාරු ....‘අනේ ඔව් අනේ ....දෙකේ පන්තියේ කියල නෑ ..අපේ දුවට හොඳට කොම්පියුටර් පුළුවන් ..අපෙන් අහන්න දෙයක් නෑ ..එයාට ඉන්ටරනෙට් එකේ ඕන දෙයක් පුළුවන්...දවසෙම එතන නේ ....මටත් ඉතින් ගෙදර වැඩක් කරගන්න ලේසි නිසා ...ඒකත් හොඳයි නේද අනේ ..“ මෙහෙම කියන අම්ම කෙනෙක් තවත් අම්ම කෙනෙක්ගේ පිටට තට්ටුවක් දාත්දි වත් තමන්ගේ හිතට තට්ටුවක් නොදාන එක ගැන මට එදත් දැනුනේ පුදුමයක් ...



වරද තාක්ෂණේද ? ...නැහැ ..එය භාවිත වන විදියේ , දෙමාපියන් විදියට තමන්ගේ දරුවාව අධීක්ෂණය කරන ආකාරයේ තමයි මම දකින වැරැද්ද තිබුණේ ...ඒ වගේම අද තරුණ සමාජය “Sex වෙනුවෙන්ම ජීවත් වෙන“  තත්ත්වවයට අන්දමන්ද වෙලා ...එය ජීවත් වෙත්දි ලබා ගන්නා දේ අතරේ එය එකක් පමණක් ලෙස දකින්නට දෑස් අඳවෙලා ...නැහැ ..අඳ කරලා ..ඒ අද හොඳම බිස්නස් එක වෙලා තියෙන “ලිංගිකත්වය“ ඔස්සේ ...මම මේ ගැන ගොඩක් දුර කතා කරන්න යන්නේ නැහැ ...අමන්දා උත්සාහ කළේ ඇයට වුනු දේ නැවත තවත් දරුවෙක් වෙත සිදු නොවීම වෙන්නට ඇති ...ඒ නිසා අපි ඇගේ කතාවෙන් ගත යුතු වැදගත් මාතෘකාව Bullying ගැන කතා කරමු ...



මොකක්ද මේ බුලියිං ..කෙනෙක් දැනුවත්ව තවත් අයෙක් වෙත  අයුතු බලපෑමක් , රිදවීමක් , අපහසුතාවයට පත්කිරීමක් , බිය ගැන්වීමක් , තර්ජනයක් කරනවා නම්  විශේෂයෙන්ම නිරත්නරව මේ තත්ත්වය සිදුවනවා නම් , එය Bullying කියල හඳුන්වන්න පුළුවන් ...ශබ්දකෝෂයේ විදියටම මේ අර්ථදැක්වීම වෙනස් වෙන්න පුළුවන් ..ඒත් ප්‍රායෝගිකව මෙයයි දිය හැකි පිළිතුර ....


මොනවිදියටද මේ බුලියිං වෙන්න පුළුවන් ..


වාචිකව ....Verbal bullying .... සිත් රිඳවිම් වෙන විදියේ නම්පට බැඳීම් , පිරිසක් අතරේ අපහාසයට ලක් කිරීම් , එවන් ඕපාදූප පැතිරීම් , සංකෘතික , භාෂා හෝ ආගමික සාධක මත වාචිකව රිදවිම් ඇති කිරීම් ..ලිංගිකත්වයට හෝ ඊට අදාල වන කටයුතු , පිළිබඳව පවසමින් , උසුළු විසුළු කිරිම් වගේ කාරණා වලින් මේ Bullying සිදුවන්නට පුළුවන් ...



අනෙක් ක්‍රමය නම් ටිකක් පහසුවෙන් හඳුනගන්න පුළුවන් ..ඒ තමයි කායිකව Physically සිදුකෙරෙන Bullying ...පහරදීම් , අනෙක් පුද්ගලයාට අයිති දේවල් කඩා බිඳ දැමීම් , අනවශ්‍ය ලෙසින් අනෙකාගේ ඇඟ , විශේෂයෙන්ම ලිංගිකව වැදගත්වන හෝ , සංස්කෘතිමය වශයෙන් සඟවා සිටින ප්‍රෙද්ශ ස්පර්ශ කිරීම , තුවාල කිරීම වගේ දේවල් ....


දැන් පොඩ්ඩක් හිතන්න ...අපේ කාළෙත් ඕව වෙන්න ඇති ...ඒත් එදා අපට තිබුණ නිදහසක් ...හිතේ දුකක් තිබුණනම් හිතේ හැටියට අඬන්නවත් නිදහසක් අපිට තිබුණා ...අම්ම ගාවට තුරුළු වෙලා , තාත්තගේ දෑතට තද වෙලා හිතේ දුක පිටාර ගලල යනකම් හඬන්න අපට කාළෙ තිබුණ ...ඒත් අද ....හැමෝම කොටු වෙලා ...කාළයට විතරක් නොවෙයි , සීමාවටත් කොටු වෙලා ...ප්‍රතිපලේ හිතේ තියෙන දුක බෙදා ගන්න , හඳුනාගන්න කෙනෙක් නැහැ ...අනෙක එදා නම් උදේ පාන්දර ගහගත්තත් , ඉන්ටවල් එකේදි සෙල්ලම් කරන්න ගියාම ඔක්කොම අමතකයි ...ඒත් අද ...උදේ පන්තියෙදි ගහගත්තනම් ..හවස බස් හෝල්ට් එකේ දී “ගැන්සියක්“ දාල ගස්සවන්න නේ හදන්නේ ...ඔන්න ඔය වෙනස හඳුනගන්න ..“අපේ පුතා , අපේ දුව ඔහොම නැහැ ..කියල හදිසි තීරණ ගන්නේ නැතිව ටිකක් හොයල බලන්න ..එකක් ඔහු ඇය මේවන අවාසනාවන්ත තත්ත්වයකින් විඳවනවා දැයි සොයල බලන්න ..අනෙක ඔහු නැත්නම් ඇය , වෙනත් අයට වේදනාවන් දෙන්නෙක් දැයි සොයල බලන්න ..මේ සිදුවීම් දෙකටම උත්තර සොයා නොගත්තොත් හෙට දවස අනතුරේ ....


කියන්න ගිය දේ අමතක වුනා ...හරි අපි කතා කළේ මේ Bullying වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් ...ඊට පස්සේ ...සමාජමය වශයෙන් සිදුවන අවස්ථාව ..එතැනදි අයෙක් කණ්ඩායමෙන් අයින්කර තැබීම , කොන් කිරීම , ඒ අය ගැන “මඩ ප්‍රචාර“ පැතිරවීම වගේ සාධක අයිති වෙන්නේ මේ වර්ගයට ....



ඔන්න දැන් අළුත්ම දේ ... Cyber bullying ....අන්තර්ජාලය , නැත්නම් ජංගම දුරකථන , විශේෂයෙන්ම කෙටි පණිවිඩ වැනි දෑ මඟින් කෙනෙක්ගේ සිත් රිඳවිම් කිරීමට කරන ඕනම දෙයක් මීට අයිතියි ...අපහාසාත්මක කෙටි පණිවිඩ නැත්නම් , එවන් පිංතූර ..නැත්නම් ලිංගික කාරණා වැනි සංවේදී සිදුවීම් අන්තර්ජාලය පුරා පතුරවමින් කරන “අස්වාභාවික වින්දනයන්“ ලබා ගැනීම් ..වැනි දෑ මීට අයත් ..ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ කෙරෙන ලිංගික අඩන්තේට්ටම් , බලපෑම් වගේම එබඳු කොමෙන්ට් පවා මේ වර්ගයට ගොනු කරලයි තිබෙන්නේ ...



මේ තැනදි මට කියන්න හිතෙන වැදගත් දෙයක් තිබෙනවා ...දරුවන්ට පරිඝණකය , අන්තර්ජාලය එපාද .....නැහැ ..මගේ මතය නම් අද දරුවාට ඉන් ලබා ගත හැකි දේ අපමණයි ..විෂය දැනුම වගේම  විෂයබාහිර දැනුමත් උපරිමයි ...අද දවසේ ලෝකේ පුරාම වන දේ එසැනින් දැන ගන්න ඒ තරම් වේගවත් මාධ්‍යයක් නැති තරම් ...ඒ විදියටම දරුවෙක් වැරදි දේට හසුකරගන්නටත් ඊට වඩා දෙයක් නැති තරම් ...Social networks , web  chatting මිතුරු සබැදියාවන් තබා ගන්නට වැදගත් වගේම දරුවා නපුරට ගෙනියන්නටත් දායක වෙනවා ....



මොකද කරන්නට ඕන ...දරුවාට පරිගණකය , අන්තර්ජාලය ගැන දැනුමක් දෙන්න භාවිත කරන්නට අවස්ථාව දෙන්න ..හැබැයි තනිම තීරණ ගන්නට නිසි වසය එනතුරු , දරුවාට පරිගණකයත් එක්ක , අන්තර්ජාලයත් එක්ක “තනිවන්නට දෙන්න එපා“  ....ඔව් ඔබේ දරුව විශ්වාසයි ඔබට ..ඒත් කුතුහලය , යොවුන්විය , ලිංගික අශාව කියන පද එක්ක “ඔබේ විශ්වාසවන්තම“ දරුව අන්ධවෙන්න පුළුවන් ....ඒ නිසා දරුවා , පරිගණකයත් , අන්තර්ජාලයත් එක්ක , දරුවගේ කාමරේ තනිවෙන්න දෙනවාට වඩා හොඳයි , දෙමාපියන් , අනෙක් සහෝදර සහෝදරියන් ඉන්න පොදු තැනක පරිගණකය තියන්න ...ඔබ මවක පියෙකු නම් ඔබත් පරිගණකය , අන්තර්ජාලය ගැන පොඩි හරි දැනුමක් ගන්න බලන්න ...නැතත් ඔබේ දෑස දරුවා වෙත යොමුව තිබෙන බව , ඒ “රැකවරණය“  හැම විට තිබෙන බව දරුවාට හැඟෙන්නට සලස්වන්න...


පුළුවන් නම් නිසි වසය වන තුරු අන්තර්ජාල භාවිත කරන පරිගණකය වෙත යම් ආරක්ෂක මෘදුකාංගයක් භාවිත කරන්න ...මම නම් මගේ දරුවන්ගේ පරිගණකය වෙත බාවිත කරල තියෙන්නේ K9 web protection කියන මෘදුකාංගය (එය නොමිලේ ලබා ගන්න පුළුවන් , මෙතැනින්) ..එය සෑහෙන හොඳ ආරක්ෂාවක් ලබා දෙනවා ,100%කම නොවුනත් ....අනෙක වරින්වර ඔබේ දරුවාගේ ක්‍රියාකාරකම් ගැන සොයල බලන්න ...පාසලට යන්න , ගුරුතුමා එක්ක කතා කරන්න ...මිතුරු දෙමාපියන් එක්ක කතා කරන්න ....දරුවගේ යාළුවෝ එක්ක කතා කරන්න ..ළං වෙන්න , ඔබේ ඇස්බැල්ම ඔවුන් වෙත නිතර ඇති බව හඟවන්න ...


කෝච්චියක් වගේ වුනා ...හිත එන ඔක්කොම  Edit කරන්නෙම නැතිව ලියා ගෙන ගියේ ...මොකද මමත් තාත්ත කෙනෙක් නිසා  මේ වේදනාවම මටත් හැඟෙන නිසා ...මම හිතනව ඔබටත් මේ අනතුර , වේදනාව හැඟේවි ..ඒකට ඔබ තාත්ත කෙනෙක් වෙන්නටම ඕන නැහැ ...“මනුස්සයෙක් වුනාම“ ඇති ...

(ඒ නිසා මේ ලිපියට ඌණ පුරණයන් සපයන්නට ඔබට පුළුවන් ..කොමෙන්ට් එකක් විදියට ඔබේ සරු අදහසත් මේකට එක් කළොත් කවද හරි ..කාට හරි වැදගත් වෙන්නට පුළුවන් )

ඔබේ දරුවා මේ තත්ත්වයට ගොදුරු වනවා දැයි හඳුනාගන්න පොඩි උපක්‍රම ටිකක් කියන්නම් ...මොකද මුලින්ම හඳුනගත්තොත්  ලොකු කරදරයක් නැතිව ගොඩදාගන්න පුළුවන් නිසා ...

අසාමාන්‍ය ලෙස ලැජ්ජාශීලි වෙනවා නම් , හැමදාමත් වගේ ඔළුවෙ කැක්කුම් , බඩේ කැක්කුම් ගැන පැමිණිලි කරනවා නම් , වෙනද වගේ හිතේ සතුටක් පෙන්වන්නේ නැත්නම් , ගෙදර ආවත් පැත්තකට වෙල කල්පනාවෙම ඉන්නවා නම් , නැත්නම් ආ ගමන් ඇඳට දුවනවා , රෑ නින්දට ගියත් මහ රෑ වෙනකම් නින්දක් නැතිව ඉන්නවා නම් , රෑට හීනෙන් බය වෙනවා නම්  ....ටිකක් හොයල බලන්න ...දැන් මේ වැලේ එකක්  දැක්ක ගමන් කුලප්පු වෙන්න නොවෙයි කීවේ ..මේ අවස්ථා ගැන ටිකක් සංවේදී වෙන්න කියල විතරයි ...මීට අමතරව අපි 33 වන ලිපියෙදි කතා කළ ආකාරයේ හෝ මීට පෙර ලිපියේ චිත්‍රපටය තුල දකින්නට වන අකාරයේ Mood changes දකින්නට ලැබුණොත් ..ඕක ඉතින් කොළු කාළෙ හැටි කියල ගණන් නොගෙන ඉන්න එපා ....
විශේෂයෙන්ම අද හඳුනාගෙන තිබෙනවා පාසල් දරුවන් අතරේ මේ තත්ත්වය උග්‍රවන්නට රූපවාහිනී චිත්‍රපට ලොකු බලපෑමක් කරල තිබෙන බව ...පැටවුන්ගේ සිත් ඇතුලට “කෘර හැඟිම්“ ඇතුළු කරවන්නට සමත් රූපවාහිනී වැඩසටහන් විතරක් නොවෙයි පරිගණක ක්‍රීඩාත් ඕන තරම් ...පොඩ්ඩක් බලන්න ඔබ ඔය අරන් දීලා තියෙන ගේම් එකත් එවැනිම දෙයක්ද කියල .

එසේ නම් ලියන්නට බලාපොරොත්තු නොවනු කාරණයක් ගැන පැය දෙකක් ඇතුලතදි එක හුස්මට වගේ “මාගලක්“ අතුරගෙන ගියා ..බ්ලොග් ලියන්නේ අපේ හිතත් නිදහස් කරගන්න කියන එක ඔප්පු කරමින් , මෙතෙක් වෙලා හිතේ තද කරගෙන හිටි කාරණා ටික කියැවුනා කියල හිතෙනවා ..දැන් හිත නිදහස් ..ඒත් මේ වීඩියෝව ආයෙත් බලත්දි ..මේ කෙල්ල මොනතරම් විඳවන්න ඇත්ද කියන එක දැනෙත්දි සිතට දැනෙන්නේ හරිම දුකක් ....කෙසේ වෙතත් මේ වරදින් අපට යම් පාඩමක් ගත හැකි නම් එය ඇගේ බලාපොරොත්තුව වෙන්නට ඇති ...අවසානයේ ඇයට “සුව නින්දක්“ පතමින් අද සටහන නිමා කරනවා ....ඊළඟට සතියේ මැද දවසක චිත්තරපටියක් බලමු ...ඒත් පොඩ්ඩක් හිත ගැස්සෙනවා ඊළඟ චිත්තරපටියට පස්සේ මොනව වේද කියල ..

එහෙම නම් සමුගන්නම් ..ඔබට හිතන්න යමක් ඉතිරි කරමින් ..

මේ අමන්දා වෙනුවෙන් තැනූ ෆේස්බුක් ගෘප් එක...https://www.facebook.com/groups/539353779414959/

මේ අද CBC ප්‍රවෘත්ති සේවාව එය පිළිබඳ කළ කතාබහ 



46 comments:


  1. හැමදාමත් වගේ නියම පොස්ට් එකක්..
    පරිගණකය පොඩි ළමයෙකුට තනියම පරිහරණය කරන්න දෙන්න නරකයි , දෙනවා නම් කරන්නේ මොනවද කියල දෙමවුපියෝ නිතර හොයල බලන්න ඕන, තවම ළමයෙකුට ඕක අත්යවශ්‍යම දෙයක් නෙමෙයිනේ..අනික අපේ දරුවා අපිට ෂුවර් කියල නිකම් හිටියොත් සොරිම තමයි.හැම නිතරම සොයා බලන්න අම්ම තාත්තට මොන තරම් රාජකාරි තිබුනත්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී , ඔබේ අදහස ඇත්ත ..දරුවා කෙරෙහි අවධානය හරිම වැදගත් ...
      ඒ වගේම ස්තුතියි මේ ලිපිය තවත් පිරිසක් අතරට යවන්නට දායකවුනාටත්....

      Delete
  2. මෙතනදි කියන්න ඕන ටික ඔබ පැහැදිලිව කියල තියන නිසා නැවත කියන්න ඕනෙ නැහැ කියා සිතනවා . ඔබට මේ සිද්ධිය තදින් සිතට දැනෙන්නට ඇති දිනිති හා මිතිලි දියනියන් නිසා . තමන්ගේ දරුවන් ගැන ඉතාමත් කල්පනාකාරී විය යුතු කාලයක් මේක . වීඩියෝ පටයත් බැලුවා . හරිම කනගාටුදායකයි .පිපෙන්න පලමුව පරවුන මලක් වගේ .
    …කෙසේ උනත් සියළුම දෙනාට හොඳ පාඩමක් මේක . අර නිශාන්ත කියල තියෙනව වගේ තමන්ගේ දරුව ගැන ලොකු විශ්වාසයක් තබන්න හොඳ නැති බව මාත් සිතනවා , ඔවුත් තාම වැඩිහිටියන් නොවන නිසා රැවටීම් වලට අසු කරගන්නට ලේසි .
    …බොහොම වටින පෝස්ට් එකක් .

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නා වාගේ මට මේ සිදුවීම හුඟක් තදින් සිතට දැනුනා .. ඒ මටත් දූල දෙන්නෙක්ම ඉන්න නිසා .. ඒ වගේම මේ ලිපියෙන් ඒ දෙන්නත් යමක් ගත්ත බව මට හැඟෙනවා ...එයම මට සතුටක් ...

      ස්තුතියි ඔබට හැමදාමත් ඇවිත් දිරි ගන්වනවාට ..

      Delete
  3. හ්ම්... ලංකාවෙ වැඩිහිටියන්ට හිතන්න යමක්.. අන්තර්ජාලය භාවිතා කරන දරුවන් ගැන අවධානයෙන් සිටිය යුතුමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලයාන් ,ඔබ කියන දේට මම එකඟයි ...ස්තුතියි

      Delete
  4. මේ සිද්ධිය මාත් මොකක් හරි විදේශීය නාලිකාවක දැක්කා.... ඒ වගේම Bulling කියන වැරැද්ද නිසා මේ අවුරුද්ද මුල ඉඳලා ළමයි කීප දෙනෙක්ගේම දිවි නසා ගැනීම් ගැන ලොකු කතා බහක් ඇති වෙලා තිබුනා... Web cam එකකින් Gay පිරිමි ළමයෙක්ගේ හැසිරීම් විඩියෝ කරපු සිද්ධියත් මේ වගේ... ඇත්තටම මම හිතන්නේ ඒ රටවල මේ වගේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ ලමයින්ට සිරි දඬුවම් දෙන්න නීති හදාගෙන යනවා... ලංකාවේ නවකවදයත් මෙන්න මේ කැටගරියට තමයි අයිති වෙන්නේ.. මේක අලුත් දෙයක් නෙවෙයි....

    Internet, Video games, action films වගේ දේවල් වලින් ළමා මනසට සිද්ධ වෙන හානි ගැන කතා කරනකොට අම්මලා තාත්තලා ඒවා ගනන් ගන්‌ෙන් නෑ තාමත්...

    “ අපේ ළමයට කොම්පියුටර් එකක් , වීඩියෝ ගේම් එකක් සෙල්ලම් කරන්න නොදුන්නොත් ඒ ළමයා අනිත් ළමයි එක්ක කොන් වෙයි නේද....“ කියලා අහන්න ඉක්මණ් වෙන දෙමවුපියෝ මේවායින් ළමයින්ට වෙන හානි ගැන කියද්දි කියනනේ....“ අපි නම් හොඳට ඇහැ ගහගෙන ඉන්නේ අපේ ළමයි ගැන... අපේ ළමයි ඕවගේ දෙවල් කරන්නේ නෑ ...“ කියලා....

    ඇත්තටම ෆේස්බුක්, ටිවිටර්, ඉන්ටර්නෙටි කියන්නේ මගේ අදහසේ හැටියට අවුරදු 16ට අඩු ළමයින්ට අවශ්‍යම නැති දෙයක්.... එහෙම පාවිච්චි කරනවා නම් දෙමවුපියෝ ළඟ ඉන්න වෙලාවල විතරක් ඉඩ දෙන්න පුළුවන් නම් හොඳයි....

    බොහොමයක් දෙමවුපියන්ට කම්පියුටර් ගැන අවබෝධයක් නෑ... ඉතිං ළමයි තමන්ට කැමති දේ කරගන්නවා අම්මලව ගොනාට අන්දලා.... ( මාත් එහෙම කලා... ඒකයි මේ කිව්වේ...ඒත් ඉතිං මට නම් හිතින් දාගත්ත නීති රීති ගොඩක් තිබුණ නිසා ප්‍රශ්න ඇති උනේ නෑ... )

    වෙබ් කැම් එක පාවිච්චි කරන්න නම් අඩුම ගානේ අවුරුදු 18ක් වත් වෙන්න ඕනෙ දරුවෙක්ට... දැන් කියයි ඔහොම නීති දාලා නම් දරුවෝ හදන්න බෑ මේකාලේ කියලා....

    ඔය ඔක්කොටම වැඩිය... දෙමවුපියෝ දරුවන්ට කිට්ටු වෙන්න ඕනේ .... තමන්ගේ දරුවට යාලුවෙක් වගේ.. ඕනේ ප්‍රශ්නයක් අම්මලට බය නැතුව කියන්න පුරුදු කරවන එකයි වැදගත්ම... ඔය ෆො‌ටෝ ප්‍රශ්න වලදි උනත් අවරදු 18ට අඩු දරුවෙක් කලබල වෙනවා වැඩියි.... අපේ සාමාජයේ තියෙන නිතී රීති, බාධක, පවුල් සම්බන්ධකම් වල බලපෑම තාමත් දරුවන්ට තියෙන නිසා බය වෙලා තවත් ප්‍රශ්න ඇති කරගන්න ඉඩකඩ වැඩියි... නමුත් අම්මට තාත්තට බැරි නම් අයියට අක්කට හරි කියන්න පොලඹවන්න පුළුවන් නම් මේ ප්‍රශ්‌ෙන් දුරයන්න කලින් විසඳ ගන්න පුළුවන් කියලා මම හිතන්නේ...

    මේවා මෙහෙම කිව්වත් හැම දෙමවුපියන්ම හිතනනේ තමන්ගේ දරුවා හොදයි, තමන්ගේ දරුවා අනිත් දරුවො වගේ වැරදි කරන්නේ නෑ කියලා.... ඉතිං වැරැද්දක් කළත් ඒක හංගන්න උත්සාහ කරනවා ඇරෙන්න වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරවනවා අඩුයි..... එකයි ඔය Bulling වගේ දේවල් පොඩි කාලෙදිම නවත්තගන්න බැරි වෙන්නේ.... තමන්ගේ දරුවා මානසික ආතතියෙන් පෙළෙනවා කියලා ඩොක්ට කෙනෙක් හරි ටීචර් කෙනෙක් හරි කිව්වම...“ ඒ කියන්නේ මගේ ළමයට පිස්සුද, එහෙම නැත්තම් මන්ද මානසික ළමයෙක් කියලාද...“ කියලා ඒ ටීචර්ට හරි ඩොක්ටට හරි බනින සමාජයක් තාම ලංකාවේ තියෙන්නේ..... අඩුම ගානේ මනෝ වෛද්‍යවරෙයෙක් ළඟට යන්න පුදුමාකාර මැලි කමක් දක්වන්නේ....
    එහෙම එකේ ඉතිං මේ වගේ සංකීර්ණ තත්ව තේරුම් ගන්න තව කල්පයක් විතර යයි.. හැබැයි තාක්ෂණේ මේ රටට එන්න එච්චර කල් යන්‌නේ නෑ.... අන්න ඒකයි මේකේ තියෙන භයානක කම....

    ඒ ඉතිං මට ‌තේරුන හැටියට..... ඇත්තටම මේවා බ්ලොග් වලින් නෙවෙයි කතා කරන්න ඕනේ.. ඒත් කතා කරන්න ඕනේ මාධ්‍ය වලට ඊට වඩා ලොකු වැඩ තියෙනවා නේ.... එක එක එක්කෙනාට කඩේ යෑමට..... හැම තැනම තියෙන කුනු ගොඩවල් ගැන ප්‍රධාන ප්‍රවෘත්ති වලින් වාර්තා කරන්න... රියැලිටි ෂෝ කරන්න.... එක එකාට බැන ගන්න..... ඒවා කොච්චර වැදගත් ද මේවට වඩා.... හි හි....

    ReplyDelete
    Replies
    1. හිරු ..ඔබේ විස්තරාත්මක අදහස , මේ වෙනුවෙන් ඔබේ සිතේ නැඟුණු කණගාටුව , සංවේදි බව කියාපානව කියල මට සිතෙනවා ...ඇත්ත ... මේ කරුණූ ජනමාධ්‍ය මඟින් “අඳෝනාවක්“ නොකර ..දැනුවත් කිරීමේ අරමුණෙන් ප්‍රචාරය කළ යුතු , පතුරවා හැරිය යුතුයි කියලයි මම හිතන්නේ ...ලෝකයේ ප්‍රධාන මාධ්‍ය ආයතන ..cnn , aBC , CBC වගේ ආයතන නම් මේ ගැන විශේෂ වැඩසටහන් ඉදිරිපත් කරමින් මහජනතාවගේ අදහස් යෝජනා ලබා ගත්තා ..ඉන් සමහරක රටේ දේශපාලන ප්‍රධානීනුත් , නීතිවේදීනුත් සහභාගී වුනා ...ඔවුන්ගේ අරමුණ වුනේ මෙවන් අවදානම් හඳුනාගැනීම සහ ඊට ගත යුතු උපක්‍රම , විසඳුම් නිර්මාණය කිරීම ..

      කෙසේ වෙතත් ඔබ ලබා දුන් ප්‍රතිචාරයට මගේ ස්තුතිය ...

      Delete
  5. කියන්න දෙයක් හිතාගන්න බෑ.. වැදගත් දෙයක් මේ කතාකරලා තියෙන්නේ ඒත් මේක සයිබරයෙන් ඔබ්බට ගිහින් කතාවෙන්න ඕන මාතෘකාවක් ඒක නොවෙන්නේ ඇයිද කියන එකයි තාමත් තියෙන ප්‍රස්නේ.ලංකාවේ මේ දේවල් නොවෙනවා කියන්න කොහොමත් බෑ..

    ReplyDelete
    Replies
    1. “මේක සයිබරයෙන් ඔබ්බට ගිහින් කතාවෙන්න ඕන“ මෙන්න මේකයි වෙන්න ඕන ...තවත් එක් අඳෝනාවක් නොකර මෙයින් අපේ රටට ගත හැකි පාඩම් කියා දෙන්නට මෙය මේක සයිබරයෙන් ඔබ්බට යායුතුමයි කියලයි මටත් හිතෙන්නේ ...
      ස්තුතියි ඔබේ පැමිණීම සතුටක්

      Delete
  6. ඇත්තටම මේ රතු එලිය දැල්වුවාට ඔබට ස්තුතියි.අන්තර්ජාලය ඔස්සේ මෙවැනි ව්‍යසන පැමිනීම වැලැක්විය නොහැක්කක්. ඒත් අප අවදියෙන් සිටිය යුතුයි.

    …ඇත්තටම අමැන්ඩාගේ කතාව මගේ හිත කම්පනයට පත් කල පුවතක්.

    R.I.P Amanda Tood!

    ReplyDelete
    Replies
    1. හැම තැනම යම් අවදානමක් පවතිනවා ..ඒ අවදානම ගැන අවධානය යොමු කිරිමයි ඔබ කියන ලෙසටම වැදගත් .....ස්තුතියි ඔබටත්

      Delete
  7. හිරු කියනවා වගේ බොහොමයක් දෙමවුපියන්ට පරිගණක ගැන කිසිම අවබෝධයක් නැහැ. සමහරු හිතන්නේ පරගනකය කියන්නේ විදුලියෙන් ක්‍රියාකරන යතුරු ලියනයක් කියලා, සමහරු හිතන්නේ ගණන හදන මැෂිමක් කියලා, ඔය විදිහට පින්තුර බලන, චිත්‍රපටි බලන, සින්දු අහන, මැෂිමක් කියලා හිතන මැදි වියේ ඉන්න විධායක ශ්‍රේණිවල අයත් මට හමුවෙලා තියනවා. තම විදුහලේ පරිගණක විද්‍යාගාරයක් තිබියදී අතින් ලියලා විදුහලේ කාල සටහන හදන විදුහල්පතිවරු ඉන්නවා.තමන්ගේ මෙස්සයේ සිට විදුහලේම කාලසටහන් ගුරුවරුන්ගේ කටයුතු ප්‍රගතිය බැලිය හැකි ජාලයක් යන්න ඔවුන්ට අමු කුණුහරපයක් හෝ හිරිහැරය. කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ වරයාට පරිගණක කටයුතු ගැන උපදෙස් (නියෝග වගේ) දෙන්නේ පරිගණක ක්‍රියාකාරිනිය.

    දැන් කාලේ ළමයෙකුට පා පැදියක් අරන්දීම කොතරම් භයානකද? පාරේ අවිනීත රියදුරන් කොපමණද? අනිත් කොල්ලන් විසින් බයිසිකල් සර්කස් පෙන්නනකොට අපේ කොල්ලා ඒවා නොකර ඉඳීද? අපි කොලු කාලයේ බයිසිකලයෙන් වැටුනත් තුවාල වුනා මිසක් මැරුනේ නැහැ. හේතුව ඒ කාලේ පාර ආරක්ෂා සහිත වීම සහ අපි වැටුනේ සාධාරණ හේතු නිසා වීමයි.

    මමත් ඉස්කෝලේ යනකාලේ බුලියින් වලට අහු වෙලා තියනවා. ගහගෙන, බැනලා, අන්දලා, දෙමවුපියන්ට කියලා, ගුරුවරුන්ට කියලා ඒවා ඒ කාලයේදීම සමතයකට පත්වුනා. ඒවා අබියෝග ලෙස ගෙන ජීවිත අත්දැකීම් බවට පත්කරගෙන හිත ශක්තිමත් කරගත්තා.

    මේ කතාකරන්නේ අතීත කාමය ගැන නෙවෙයි. නමුත් අද තාක්ෂනය, ජීවන රටාව, තිබෙන නානාප්‍රකාර මෙවලම් නිසා, ජීවිතය පහසු කරගන්නවාට වඩා අපහසු කරගෙනයි තියෙන්නේ. ඉස්සර වැඩිහිටි පන්ති තිබුනා වගේ අනිවාර්ය වැඩිහිටි පන්ති තියන්න ඕනේ. ඉස්කෝලේ ලඟට වෙලා පාසල් වෑන් රියදුරන් එක්ක හුරතල් වන අම්මලාට සහ ඒ රියදුරන්ට අනිවාර්ය පන්ති ඒ පාසලේම තියන්න ඕනේ. නැත්නම් අම්මත් දුවත් එකම මාතෘ වාට්ටුවේ දරු ප්‍රසුතියට නැවතීම අපේ රටේ සාමාන්‍ය සිදුවීමක් වෙයි වැඩිකල් නොගිහින්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව “මසුරං“ ....තවත් කියන්න දෙයක් ඉතිරි කරලා නැහැ ....
      ස්තුතියි සරු අදහසක් දක්වන්නට එක්වූවාට ..

      Delete
  8. වීඩියෝ එකත් බැලුව..අනේ දෙවියනේ කියල තමා කියවෙන්නේ..ඔබ ලියා තියෙන ලිපිය ඇත්තටම වැදගත් පණිවිඩයක්.කියවනකොටම හිතුවා අනිත් අයටත් දකින්න සලස්වන්නම ඕන කියල මේ ලිපිය.ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු ...මේ අවදානම අප වටේත් තියෙන නිසා ඒ ගැන තවෙකෙක් දැනුවත් කළ හැකි නම් එයම පිනක් ...

      Delete
  9. කියන්න දෙයක් නෑ සහෝ.......
    වීඩියො එක දැක්කම නම් ඇඬෙනව.....මේක බුකියෙ බෙදා ගන්නම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතිය මිතුර ...පුළුවන් තරම් බෙදා දෙන්න ...එය තවෙකෙකුට කරන ලොකු සේවයක් වේවි ...

      Delete
  10. අපේ හැමදෙනාටමත් වැදගත් ලිපියක්..
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  11. මේ ගැන කතා කරපු එක ගැන වටිනවා මහේෂ්..
    වැඩිහිටියන්ට පුළුවන් නම් මේ Cyber bullying ගැන කියලා දෙන්න ඒවායෙදි ක්‍රියා කරන හැටි කියලා දෙන්න පුළුවන් නම් අමන්දාට වුනා වගේ ශෝකාන්ත අඩු කරගන්න පුළුවන් වේවි..

    ReplyDelete
    Replies
    1. ඔව් ..ඒ වරද නිසා තමයි මේ පුංචි සුරංගනාවිය මිනිස් ලොවින් මිදී ගීයේ ...
      ස්තුතියි රූ

      Delete
  12. මේක අද සමාජෙ තියන දරුණු තත්ත්වයක් මචං.බූට් එකක් වැදුනම හරි ඇනයක් උනාම හරි කෙල්ලෙක් ගෙ ෆේක් අකවුන්ට් එකක් ගහලා ඒකිව සමාජෙන් කපලා දාන්න හදන එවුනුත් මෙතන ප්‍රශ්නයක්.ඒ වගේම සමාජ සංස්කෘතියට හරස්ව කෙල්ලො හඩන සංස්කෘතිය ගැනත් ප්‍රශ්නයක් තියනවා.ඔය රට රට වල් වල ලිංග භේදයට වලංගු වෙන විදිහට එස්කෝල හැදුවම වෙන මූළික ප්‍රශ්නයක් තමයි ඕක.මගේ මේ අදහස එක්ක කට්ටිය කොච්චර දුරට එකඟ වෙයිද දන්නෙ නෑ? එතනදි ඇතිවන තත්වෙ අවසන බලපෑමක් යටතෙ තමයි කෙල්ලෙක් හෝ කොල්ලෙක් තමන් කවදාවත් නුදුටු කෙනෙක් මත විශ්වාසය තියන්නෙ .ඒක මේ වගේ බරපතල තැනකට යන එක ඒ වෙලාවෙ ඒ කෙනාගෙ මානසිකත්වෙ අනූව වෙන්න බැරි දෙයක් නෙමෙයි.
    අද අම්මලා තාත්තලා තමන්ගෙ දූ දරුවන් ඕනවට වඩා පරිස්සම් කරන්න යාමෙනුත් වෙන්නෙ මේක.නමුත් ගැටළුව තියෙන්නෙ අද කාලෙ මවු පියන් තම දූ දරුවන් කරන කිසි දෙයක් ගැන වැඩි සොයා බැලීමක් සිදු නොකිරීමයි.නැත්තම් මේ වගේ අපරාධවෙන්නෙ නෑ නෙ

    ReplyDelete
    Replies
    1. “නමුත් ගැටළුව තියෙන්නෙ අද කාලෙ මවු පියන් තම දූ දරුවන් කරන කිසි දෙයක් ගැන වැඩි සොයා බැලීමක් සිදු නොකිරීමයි.“ මෙන්න මෙතැනයි වරද මට දැනෙන විදියට ..

      මොකද මේ රටවල ලිංගභේදය අනුව පොදු පාසල් නැති තරම් ..සියළුම පාසල් මිශ්‍ර ..ඒ වගේම ලිංගිකත්වය ගැන පවා විවෘතව කතා කෙරෙන දැනුවත් කෙරෙන රටක් කැනඩාව ...ඔබ කියන කරුණ නිවැරදියි , ඒ නිසා ලංකාවෙ මේ අනතුර මෙවන් රටවලටත් වඩා වැඩියි කියලයි මට හිතෙන්නෙ ..තරමක් හරි පාලයක් පවතින්නේ තවත් සුළු දෙමාපියන් පිරිසක් හරි තම දරුවන් අසල සිටින නිසා ..

      ස්තුතියි ඔබට

      Delete
  13. ගොඩ විය අදත් ඔබේ ගිමන්හලට.වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට ...ඔබේ පැමිණිම මෙන්ම ඔබ සටහන් කළ අකුරත් මට හුඟක් වටිනවා ..

      Delete
  14. බොහොම වටින ලිපියක්, අපිත් පොඩි කාලෙ බුලි වුනා.. ප්‍රමාණයෙන් කුඩා ළමයෙක් වුන මම හැමදාම බුලි වුනා.. ඒ වුනාට මගේ මිතුරන් සීමාව ඉක්මවා ගියෙත් නෑ.. එහෙම කෙනෙක් ගියා නම් තවත් කෙනෙක් එයට විරුද්ධ වෙලා නවත්වනවා. නමුත් දැන් සමාජය ඊට වඩා වෙනස්... මිනිහෙක් වාහනයක හැපුනාම ඒ මනුස්සයට උදවු කරන්නෙ නැතිව ඒක වීඩියෝ කර කර ඉන්න සමාජයක් අද තියෙන්නෙ.. ඒ නිසා අර ඉස්සර තිබුණ සාරධර්ම ගැන බලාපොරොත්තු වෙන්න බැහැ...
    ඉතින් තාක්‍ෂණය තමයි මේකට වැරදිකාරයා.. දැලිපිහියෙන් රැවුල කපන්න පුළුවන් වගේම බෙල්ල කපන්නත් පුළුවන්.. පාවිච්චි කරන කෙනා පාවිච්චි කරන විදිය අනුව තමයි හැම දේම වෙනස් වෙන්නෙ. මේ නිසා තමයි අපි දෙමාපියන්ව දැනුවත් කරන්න ඕන තමන්ගෙ දරුවා ගැන අවධානයෙන් ඉන්න කියලා.. මම මේ ලඟදි ලිපියෙන් කිවුවා වගේම ආහාර පැත්තෙන් වගේම අන් සෑම දේකින්ම.. නමුත් දෙමාපියො නොනවතින තරඟයක දුවනවා.. ඔවුන් හැරිලා බලනවිට තමන්ගෙ දරුවො තමන් දාලා ගොඩක් දුර ගිහින්...
    කාටද මේක පාලනය කරන්න පුළුවන් ? අපිටම නේද ?

    ඇල්කෙමියා

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔබේ අදහස නිවැරදියි ....අද වෙලා තියෙන්නේ “අර දැලි පිහියෙන් බෙලි කපන එක“ හරිම සුන්දර , රසවත් දෙයක් විදියට පුංචි එවුන්ගේ හිත ඇතුලට රිංගවන පරිසරයක්නේ ...
      ස්තුතියි , ඔබේ බ්ලොග් සටහනේ වටිනාකමත් ඉහළයි ..

      Delete
  15. මේවගේ සිදුවීම් අන්තර්ජාලය පුරා නිරන්තයෙන් සිදුවෙනවා. අප කල යුත්තේ දරුවන්ට අවශ්‍ය නිදහස ලබාදී ඒ නිදහස අපේ ඇස්මානයෙන් රඳවා තබා ඔවුන් දෙස විපරමින් සිටීමයි.
    එක අතකින් මේවා ළුයසන වුවත් වෙන කළ යුතු දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , කළ යුතු දේ එය තමයි ...
      ඔබේ පැමිණීම සතුටක්

      Delete
  16. I have nobody
    I need someone.
    That is the truth....

    ReplyDelete
    Replies
    1. මේ ටික ලියත්දි ඈ මොන තරම් හිතෙන් විඳෙව්වද කින එක , ඒ විඩියෝව බලත්දි දැනෙනවා ..

      ස්තුතියි මේ වෙනුවෙන් සංවේදී වුනාට

      Delete
  17. අමන්දගෙ කතාව ඇතුලෙ ඛේදවාචක කීපයක් ගැනම කියවෙනව.
    දෙමව්පියො දික්කසාද වීම නිසා දරුවො කොච්චර අසරණ වෙනවද කියන එක,
    සල්ලි පස්සෙ දුවන සමාජ ක්‍රමේ නිසා දෙමව්පියො දරුවන්ගෙන් කොච්චර ඈත් වෙලාද කියන එක,
    මිනිස්සු තාක්ෂණේ පාවිච්චි කරන්නෙ කොච්චර වගකීම් රහිත විදිහටද කියන එක...
    මේ ඔක්කොටම වඩා හිතට දුක මිනිස්සු මනුස්සකමින් කොච්චර පිරිහිලාද කියල දැක්කම. "පවුකාරයාට ගල්ගැසීම" කියන්නෙ ම්ලේච්ඡ වැඩක් කියල මිනිස්සු තේරුං ගන්නෙ නෑ. මනුස්සයෙක්ගෙ තුවාලෙක රිදෙනම තැනට පැන පැන ඇඟිල්ලෙන් අනින්න තරං මිනිස්සු අමනුස්ස වෙලා...

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව ඇත්ත ...මේ තමයි අනතුර ....මේ ගැන ටිකක් හරි අවධානය යොමු කරවන්නට පුළුවන් වෙනවා නම් ලොකු දෙයක් ..
      ස්තුතියි

      Delete
  18. ස්තුතියි , ඔබේ බ්ලොග් සටහනේ වටිනාකමත් ඉහළයි .
    ගැටළුව තියෙන්නෙ අද කාලෙ මවු පියන් තම දූ දරුවන් කරන කිසි දෙයක් ගැන වැඩි සොයා බැලීමක් සිදු නොකිරීමයි.“ මෙන්න මෙතැනයි වරද මට දැනෙන විදියට ..

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට මම ඉහළින්ම එකඟයි ....
      ස්තුතියි ඔබට

      Delete
  19. මම මේ පෝස්ට් එක බුක්මාක් එකක් තියාගත්තා අවශ්‍ය වුණොත් කෙනෙක් යහමගට ගන්න... ලංකාවේත් ඔය වගේ තිරිසන් වැඩ කරන බොහොමයක් අය ඉන්නවා... මෙතනට ‍එහෙම අයව යොමු කරවලා ඒ අයගෙන් එකෙක් හොඳ මගට ගත්තොත් ඒකම ලොකු දෙයක්... ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. ඔව් , මල්ලී , කරන්න පුළුවන් නම් ලොකු දෙයක් එය ...එහෙම වුනොත් තවත් එක් “විඳවීමක්“ වත් නවත්වා ගන්න පුළුවන් වේවි ..
      ස්තුතියි

      Delete
  20. Thank's Brother Good job .all so thank's to Hiru ,Mahesh ,Wicharaka

    ReplyDelete
  21. wedagath lipiyak.
    hoda blog 1k.
    digatama liyanna Suba pethum!!

    ReplyDelete
  22. දුවගේ පෝස්ට් එකට කලින් මහේෂ් මහත්තයාගේ මේ ලිපිය කියවලා ඉන්න එර්ක වටිනවා කියලා හිතුනා. ගොඩක් වටින විස්තර ටිකක් සදහන් කරලා තියෙනවා. ඒ වගේම තව කාරණයක් සඳහන් කරන්න වටිනවා.

    ආදරේ කරන දෙන්නෙක් අතර සිදුවන ක්‍රියාකරකමුත් වීඩියෝ කරන එකට ඉඩ දිය යුතු නෑ. මොකද අන්තිමේදි ඒ වීඩියෝ හෝ ෆොටෝස් මතු වන්නේ අන්තර්ජාලයෙන්. ඒ වගේම ඒ දේවල් අදාල කෙනාගේ චරිතයට හානියක් ඇති කරන්න උනත් පාවිච්චි කරන්න පුලුවන්.

    මුලින්ම මේ දේවල් වීඩියෝ කරන්නේ තමන්ට නැවත නැවතත් බලන්න කියලා. නමුත් බැරිම වෙලාවක වත් ගෑනු ලමයා තරහා වෙච්ච දාට මේ වීඩියෝ ටික අන්තර්ජාලයට මුදා හරිනවා. ඒක නින්දිතම වැඩක්. ගෑනු ළමයිනුත් තමන්ගේ ආදරවන්තයානේ කිය කියා ඉන්නේ නැතුව මේ දේවල් වලට ඉඩ දීමෙන් වැලකී ඉන්නවා නම් හොදයි.

    මොකද ගොඩක් වෙලාවට ආදරේට කියලා කරන දේවල් තමයි හරහට හිටින්නේ. ගෑනු ළමයි වගේම පිරිමි ළමයා උනත් දැනගන්න ඕන සැබෑ ආදරේ කියන්නේ දාලා ගියාට පස්සේ මේ වගේ පහත් දේවල් කරන එක නෙමෙයි කියලා.

    අවසන් වශයෙන් කියන්න ඕන මේ දේවල් වලට කැමති ගෑනු පිරිමි දෙපාර්ශවයක් ඇති. මම කතා කරන්නේ ඒ අය ගැන නෙමේ. කැමති අය කොහොම හිටියත් අපට මොකෝ.

    මේ ලිපිය කියවද්දි මගේ හිතට ආපු අදහස් ටික ඔහේ ටයිප් කලා මිසක්කා ගැලපීමක් කලේ නෑ. මම හරි හෝ වැරදි වෙන්න පුලුවන්. ඒක මහේෂ් මහත්තයා හෝ පාථක පිරිස මා නිවැරදි කරත්වා.

    ReplyDelete
  23. ඇත්තටම මාත් අමන්ද ගැන Facebook වලින් ටික දවසකට කලින් දැනගත්තෙ. එ video එක දැක්කම මටත් ගොඩක් දුක හිතුන. එ වෙලවෙ මගෙ හිතට ඉස්සර්ලම හිතුනෙ මෙ වගෙ දෙයක් මගෙ පෙම්වතියට සිදු නොවෙන්න වගබලගන්න ඔන කියලයි. ඇත්තටම අමන්ද අපට දීල ගිය පනිවිඩෙ ගොඩක් වටිනව මෙ කතාව අහුවාම මගෙ පෙම්වතියගැන මට තිබුනු ආදරෙ වැඩි උනා එ වගෙම දොස්තර මහෙෂ් නිශාන්ත මහතාගේ අනිත් ලිපිත් මට ගොඩක් වටිනා කරුනු රාශියක් දැනගන්න උදව් උනා. මේවගෙ සිදුවීම් ගොඩක් අය එ වෙලවට දැක්කහම සංවේගය පලකරල නිකන් ඉන්නව එත් මෙවගෙ දෙයක් තමන්ගෙ ලඟ ඉන්න කෙනෙකුට වෙයි කියල හිතන්නෑ. මේ ලිපිය සිංහලෙන් තියෙන නිස හැමොටම වගෙ සිදුවීම් තෙරුම් ගන්න පුලුවන් විදියට ඉදිරිපත් කරපු එකට දොස්තර මහෙෂ් නිශාන්ත මහතාට ස්තූති වන්ත වෙනව මෙ වගෙ දැනුම බෙදා දෙන ක්‍රියාවන් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ස්තූතියි.

    ReplyDelete
  24. Me case eka dana gaththe me lipiya qyeuwata passe.... Thanks a lot....

    ReplyDelete
  25. E video eka baluwama godak dukai......hama dema kiyanna puluwn hodama yaluwo godak inna eka godak wadagath..... Amanda ta ehma htya nm me wge dyk wena ekak na..

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)