2012/09/23

119) මරණයේ වේදනා බිඳලනා මේ පිනා ...-එන්ඩොෆින්

කාළයක් තිස්සේ ලියන්න ඕන කියලා හිතාගෙන හිටියත් ...මේ කතා කරන්න යන මාතෘකාවේ ගැටළුකාරි බව සහ , කෙතරම් ප්‍රායෝගිකව වැදගත්වේද කියන දේ ගැන කුකුසක් තිබුණු නිසා මෙතෙක් නොලියා සිටියත් ,අපේ  චතුර විජේකෝන් මහත්මයගේ “ හද පතුල“  බ්ලොග් එකේ මෙවර ලිපියත් එක්ක නැවතත් මරණයේ හැඩ රුව ගැන යමක් ලියන්නට හිතුනා ..ඒ සිතුවිල්ලටම දිරි දෙමින් මගේ අධ්‍යයන කටයුතු වලත් මේ දවස් වල මාතෘකාව Thanatology ... සිංහලෙන් කීවොත් “මරණය අධ්‍යයනය“ .. ඔන්න ඔය හේතු නිසාම අද “සොඳුරු සුව අසපුවේ“ මාතෘකාව “මරණයේ සැබෑ ස්වරුපය කෙසේ වේද “ යන්නයි ...
හැබැයි ඉතින් මේ මාතෘකාව වෛද්‍ය විද්‍යාත්මක , ආගමික , සමාජ විද්‍යාත්මක වගේ පැති ගණනාවකින් බලන්නට පුළුවන් වගේම , විවිධ මත පළ වන්නටත් පුළුවන් ...ඒ වගේම “මරණයේ ස්වභාවය “ ගැන මම කතා කරන්න යන්නේ ,
 මම යන්තමට දන්න සෞඛ්‍ය විද්‍යානුකූල කරුණු පමණයි ...මේ ගැන බුදු දහමට අදාලව  කරුණු   “විඩාබර මනසට අදිටනේ මග සොයා “ බ්ලොග් සටහන මඟින් දහම් රස බෙදා දෙන පූජ්‍ය මැදිරිගිරියේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ විසින් වදාරන්නට ඉඩ හසර වේවි ( අන්තර්ජාලය , ෆේස්බුක් පිටු යොදා ගනිමින් , අනිසි ලෙස යොදා ගනිමින් ,  බුදු දහමේ ගෞරවනීය බව කෙළෙසන්නට තැත් දරණ , සිවුරු පෙරවා ගත් “පැවිද්දන්“ යැයි කියා ගන්නා පිරිසක් අතරේ , අන්තර්ජාලය යහපතට යොදා ගන්නා මෙම ස්වාමීන් වහන්සේ අපේ සිතු දහම් රසින් පුරවා ලන්නට ගන්නා උත්සාහ පින් පෙරදැරිව ඔබ සැමත් රස විඳිනු ඇතැයි සිතනවා ...)

එහෙම නම් අපි දැන් කතාව පටන් ගනිමුකෝ ....කොහෙන්ද පටන් ගන්නේ ...??? ඒකත් මාර ප්‍රශ්නයක් ....! 

අපි මෙහෙම අහමු .. ඔබ මරණයට බය ද ? .......

“ මම නම් මරණයට බය නැහැ , ..“ .., 
“අනේ මම නම් මැරෙන්න හරි බයයි ..“ ....
“මැරෙන වෙලාවට ඒක වේවි ...ඕව ගැන කතා කරල වැඩක් ඇතෑ “ ..
“අනේ මන්ද ... “ ...

ඔය වගේ එක් එක උත්තර මේ ප්‍රශ්නේට ලැබේවි ..කවුරු කොයි විදියට කීවත් අපි කවුරුත් තුල “මේ මරණයේ අද්භුත බවක් “ .....එහි සැබෑ ස්වරූපය කෙසේ වේදැයි යන්න පිළිබඳ කුකුසක් රැදිල තිබෙනවා . දහමේ මේ ගැන විස්තර කෙරුණත් , අපි හැම කෙනෙක්ගෙම හිතේ “ මරණය ගැන නොකියවෙන යමක් “ තිබෙනවා ....“මැරෙන කොට වේදනාවක් දැනේවිද ? , තනියම මැරෙන්නට වේද , මැරුණට පස්සේ මොකක් වේද ? ...“ ඔය විදියේ නානාප්‍රකාර ප්‍රශ්න අපේ හිත්වල පිරිල තියෙන බව හඳුනගන්නත් ටිකක් විවේක පාඩුවේ හිතන්න එපායැ.



“මරණය “ ගැන , එහි ස්වභාවය ගැන බුදු දහම ඇතුළු ආගමික සහ දර්ශන වල බොහෝ පැහැදිලි කිරිම් කර තිබුණත් , පර්යේෂකයන් තවමත් ඔවුන්ගේ කුතුහලය , ලොවේ ඇති කුතුහලය නිසාවෙන්ම , මරණය ගැන විවිධ පර්යේෂණ කරනවා . මරණාසන්න මොහොතේ ඇතිවන හැඟීම් , මරණය ආසන්නයට ගිය , නැවතත් සුවපත් වූ හෘද රෝගීන් , ශල්‍ය රෝගීන් යොදා ගනිමින් තවමත් මේ පර්යේෂණ කෙරෙනවා . Near death experiences හෝ  Astral body  වැනි නම් වලින් හඳුන්වා ගනිමින් ඔවුන් කරන්නේත් “මරණය ගැන ඇති කුකුස සංසිදවා ගන්නට උත්සාහ ගැනිමමයි“ ...


එහෙම නම් අපි කතා කරමු , මරණය සිදුවන හැටි ...මේ මාතෘකාවේ තිබෙන සංකීර්ණ කම නිසාම , වියපත් වූවෙක්ගේ මරණය සිදුවන ආකාරය ගැන විතරක් කතා කරන්නට සිතා ගත්තා , මොකද එතකොට අපිට පුළුවන් පියවරෙන් පියවර මරණයට ළඟා වෙන විදිය හදුනගන්න ....


මුලින්ම “මොකක්ද මරණය කියල කියන්නේ “ ...? ඔය ප්‍රශ්නේට උත්තර ගණනාවක් ආවත් , දේහයේ ජීව ක්‍රියා සියල්ල ස්ථිරවම නතර වීම , මරණය කියල තමයි විස්තර කෙරෙන්නේ. මෙතැන ජීව ක්‍රියා කියන්නේ , ලේ ගමනාගමනය , ආශ්වාස ප්‍රාශ්වාසය , බහිස්‍රාවය වගේ සියලු කාරණා ....නමුත් Death කියන පදයේ විග්‍රහයේම තවමත් ප්‍රශ්න නැතුවා නොවේ ...ඒ නිසාම අද Death කියන එකේ අවස්ථා දෙකක් විග්‍රහ කෙරෙනවා , ඒ Clinical death සහ Biological death කියන අවස්ථා දෙක ....



මොකක්ද මේ දෙක .....Clinical death කියල විස්තර කෙරෙන්නේ “හදවත නතර වීම“ ...ඒ කියන්නේ හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වීම. හෘදයේ සාමාන්‍ය කටයුතු කෙරෙන්නේ , එහිම නිපදවෙන පොඩි කරන්ට් එකක් උදව්වෙන් , යම් හේතුවක් නිසා ඒ කරන්ට් එක හැදෙ නඑක නැවතිලා , හදවතේ ක්‍රියාකාරීතවය නැවතුත තැන සිදු වෙන මරණය Clinical death  එකක් ..එතකොට තමයි හොස්පිටල් එකේදි නම් E.C.G.  එකේ තිබුණූ රැළි නැති වෙලා , ඉරක් වගේ දිගට යන්න පටන් ගන්නේ ...ඇත්තටම දැකල නැතත් ඔය Film වල ඕන තරම් දැකල ඇති නේ ..


නැතත් මේ වීඩියෝව බලාගෙන ඉන්න ...ඔය දඟලන ඉරෙන් පෙන්වන්නේ අර හෘදයේ සිදුවන කරන්ට් එක වෙනස් වෙන හැටි ...ඒ කියන්නේ , තව විදියකින් කීවොත් හදවත ගැහෙන හැටි .....
ටිකක් බලාගෙන ඉන්න , මුලින්ම ටිකක් අඩුවේගෙන් පොඩි රිද්මයක් එක්ක ගැහිලි , වේගේ අඩුවේගෙන ගිහින් එකපාරට බොහොම වේගෙන් ගැහෙන්න ගන්න හැටි ....ඒ අවසන් කළබලෙන් පස්සේ ටිකක් කල්පනාවෙන් බලාගෙන හිටියොත් මේ පුද්ගලයගේ හදවතේ මරණය , නැත්නම් Clinical death එක සිදුවන අවස්ථාව ඔබටම හඳුනගන්න පුළුවන් ... ඔබ මේ පිළිබඳව දැනුමක් ඇති කෙනෙක් නම් , සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් කෙනෙක් නම් මේ ඊ.සී.ජී සටහන දිහා බලාගෙන ඉඳිත්දි තමන්ගේ ඇඟේ ‘‘ලේ කළබල වෙන හැටි “ දැනේවි ....නැතත් දෙතුන් වාරයක් බලන කොට ඒ වෙනස දැනේවි ..මොකද අපි හැමෝම මරණය යම් ආකාරයක වේදනාවක් ලෙස දකින නිසා ..






ඔව් ..ඒ සිද්ධ වෙන්නේ සායනික මරණය ....දැන් ඒත් ජීව විද්‍යාත්මකව තවමත් මේ පුද්ගලයා “මැරිලා නැහැ“ කියන්න පුළුවන්. මොකද තවදුටත් ටික වෙලාවක් ඔහුගේ මොළය ක්‍රියාත්මකයි , අනෙක් ඉන්ද්‍රියයන් වැඩ කරගෙන යනවා , හමේ අළුත් සෛල හැදෙනවා  . ඒ වගේම මේ හදවත නතර වීමට බලපෑ හේතුව මත , නිසි පරිදි C.P.R. (හෘද් සම්බාහනය සහ කෘතිම ශ්වසනය - Cardio Pulmonary Resuscitation ) ලබා දුන්න නම් , නැවතත් මේ පුද්ගලයාට ජීවිතය ලබා දෙන්නත් මේ අවස්ථාවේ පුළුවන් ..




නමුත් ....මේ “හදවත නතර වූ මෘත දේහය“ දැඩි සීතලට ලක් නොකළොත් ...තවත් විනාඩි 4ත් 10ක් අතර කාළෙදි සියළුම වැදගත් ජීව ක්‍රියාවන් නතර වෙලා , විශේෂයෙන්ම මොළය සම්පුර්ණයෙන්ම අක්‍රිය වෙලා සම්පුර්ණ මරණයක් ..නැත්නම් Biological death තත්ත්වයට පත්වෙනවා . මෙන්න මේක වෙන්න ඉස්සර වෙලා අවයව ප්‍රදානය කිරිමක් කරන්නට අවස්ථාව තිබෙනවා .. Organ donation ...අදාල පුද්ගලයා කැමැත්ත දී ඇත්නම් හරි ළඟම ඥාතීන්ගේ කැමැත්ත ඇත්නම් ....



ඇත්තටම Biological death කියන්නේ මොළයේ පටක සම්පුර්ණයෙන්ම මිය ගිය අවස්ථාව කියන එක බොහෝ දුරට නිවැරදි බව තමයි අදට පිළිගන්නා මතය ..මොකද මේ විදියට Brain death වුනාට පස්සේ නැවත “පණ ගන්වන්නට හැකියාවක් “ නැහැ ...හැබැයි අර මුලින් කී හදවත නතර වෙලා මුල් විනාඩි 4-6 තුලදි මොළයට යම් අනතුරක් වුනත් , කෙසේ හෝ නැවත පණගන්වා ගන්නට පුළුවන් වුනොත් , “ජීවත් වන්නට හැකියාවක් තිබෙනවා“ ...හැබැයි  විනාඩි 6න් පස්සේ නම් මොළයේ පටක හුඟක් විනාශ වෙන නිසා , මොන ක්‍රමයෙන් ජීවිතේ නැවත ගත්තත් , සෑහෙන ගැටළු එක්ක . ඒ කියන්නේ අංශභාගේ වගේ පැත්තක් පණ නැතිව , නැත්නම් , මතකය නැතිව , මානසික දුබලතා සහිතව තමයි ඉන්නට වෙන්නෙ .විනාඩි දහයකට පස්සේ ...ඒ කිව්වේ හදවත , ශ්වසනය නතර වෙලා විනාඩු 10ක් වෙත්දි මොළයේ සියළුම සෛල මිය ගිහින් , ඒවා නැවත පණ ගන්නට බැහැ ..ඒ කියන්නේ දැන් සියල්ල අවසන් ....දැන් මේ පුද්ගලයා , biological death තත්ත්වයට පත්වෙලා අවසන් ..දැන් මේ පුද්ගලයාගේ අවයව , විශේෂයෙන්ම වැදගත් ජීව ඉන්ද්‍රියයන් බොහොමයක් අක්‍රිය වෙලා අවසන් ...ඒ කියන්නේ Organ donation එකක් කරන්නත් අමාරුයි ...නමුත් සමේ සෛල , සමහර පේෂි සෛල තවමත් ...කව ටික වෙලාවක් පණ තිබෙනවා ...

(හැබැයි ....Clinical death එකක් වුනු ගමන් මෘත දේහය Freeze කරන්නට පුළුවන් වුනොත් Biological death එක ප්‍රමාද කරන්න පුළුවන් ..දැනටත් Organ donation වලදි මේ ක්‍රමය යොදා ගන්නවා ) 

Organ donation ගැන දැන ගන්න කැමති නම් මේ වීඩියෝව ටිකක් බලන්නකෝ ..


හරි ....කතාව ටිකක් ඈතට ගියා වගේ ...අපි මෙච්චර වෙලා කතා කළේ Death කියන්නේ මොකක්ද කියන එකත් ....Death එකේ අවස්ථා දෙකක් වන Clinical death and Biological death ... ගැනයි ....අපි දැන් මුලින් කී විදියට වියපත් කෙනෙක් ගේ මරණය සිදුවන විදිය විස්තරාත්මකව කතා කරමු .....හැබැයි කතාව ටිකක් දුර යන්න පුළුවන් නිසා ...ඒ ගැන හිත හදාගෙනම වැඩේට බහිමු ...

අපි දන්නව වියපත් විමත් එක්ක අපේ ඇඟේ හැම පද්ධතියක්ම ටික ටික දුබල වෙනවා ...ඇස් පෙනීම , කන් ඇසීමේ සිට ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය , තුවාල වුනු පටක සුව විම වගේ අපට නොදැනෙන ජීව ක්‍රියාපවා ක්‍රමයෙන් දුර්වල වෙනවා ....ස්නායු වල හැකියාවන් දුර්වල වෙන නිසා , උණුසුම , සීතල වගේ සංවේදන අඩු වෙත්දි ....පෙනීම ඇසීම , රස දැනිමත් අඩු වෙනවා ...ඒ එක්කම වියපත් කෙනා යම් දේකට ප්‍රතිචාර දක්වන ඉක්මණ් බවත් අඩු වෙනවා ...ඒ නිසා තමයි වියපත් අය අනතුරු වලට ඉක්මණින් ගොදුරු වෙන්නේ ...

ලේ නහර වල  , ලේ යාම දැන් ටිකක් දුර්වලයි , හේතු කිහියක් නිසා , ඒකක් නහර ඇතුලේ , තෙල් , කොලෙස්ටරෝල් තැන්පක් වෙලා , ලේ ගෙනියන්න තියෙන ඉඩ අඩු වෙලා ...අනෙක තරුණ කාළේ “ඉලාස්ටික් වගේ“ තිබුණු නහර දැන් දරදඬු වෙලා ...නිකං වේලිච්ච බට වගේ ...ඉතින් ඒ ලේ නහර වල යන ලේ වලට තෙරපුමක් ...තල්ලුවක් දෙන්නට බැරි තරම් ...තව දෙයක් ...මෙතුවක් ....බොහොම දහිරියෙන් ලේ පොම්ප කළ හදවත දැන් දුබලයි ..වෙනද වගේ එකපාරට ලොකු ලේ ප්‍රමාණයක් හදවතෙන් බට වලට තල්ලු කරල දාන්න බැහැ ..එය වගේ හේතු නිසා හදවත වගේම ලේ නහර පද්ධතියත් වියපත් ..මේ නිසාම ඇඟේ ඈත අවයව , පටක ..සෛල වෙතට ඕන තරම් කෑම බීම , ඕන වෙලාවටම ලැබෙන්නේ නැහැ ...ඒ නිසා තමයි මේ අය ඉක්මණින් මහන්සි වෙන්නේ ...අතපය හිරි වැටෙන්නේ ...අතේ පයේ නිතරම රුදාවන් ඇති වෙන්නෙ ..වේදනාවන් ඇති වෙන්නේ ...

ශ්වසන පද්ධතිය ගත්තොත් දැන් වෙනද තරම් ගැඹුරු හුස්ම ගන්න අමාරුයි ..බොහොම හෙමින් තමයි හුස්ම ගන්න පුළුවන් .ඒ නිසාම ..ඒ වගේම මේ එක්ක ඇති වන ශ්වසන ආසාදනත් එක්ක ලේ වලට ඇතුලු වන ඔක්සිජන් ප්‍රමාණය ටික ටික අඩු වෙනවා ...ඔය කාළයක් තිස්සේ විඳිවන කැක්කුම් , අපහසුතා වලට හේතුවක් මේ ...

ආහාර ජීරණ පද්ධතිය ගත්තත් , දිරවීමේ වේගය අඩුවෙලා යනවා .ආහාර ජීරණයට අවශ්‍ය සමහර යුෂ , දියර වර්ග ස්‍රාවය වීම අඩුවීමත් එක්ක .පොඩි කෑමක් ගත්තත් ඒක දිරවන්න වැඩි වෙලාවක් යන නිසා දවසේ වැඩි වෙලාවක් ආයෙ කෑමක් නොකා වුනත් ඉන්න පුළුවන් ...අනෙක දැන් හුස්ම ගන්න අමාරු නිසා බඩ පිරෙන්න කෑමක් ගන්නම බැහැ ...මේ වෙනස්කම් එක්ක මේ වියපත් පුද්ගලයා තුල මෙතෙක් තිබු ආහාර රුචිය අඩු වෙනවා , ඇඟත් කෙට්ටු වෙන්නට පටන් ගන්නවා ...මේ පද්ධතියෙම තව දරුණූ දෙයක් වෙන්න පුළුවන් ..ඒ තමයි අපි හැමෝගෙම වගේ ආමාශයේ ඇතිවන පුංචි තුවාල , අපි කියන්නේ ගැස්ට්‍රික් අල්සර් කියලා ...අන්න ඒවා සුව නොවී ටිකෙන් ටික ගැඹුට යාමේ අවදානමක් තිබෙනවා ... ප්‍රධාන හේතුව මේ අයගේ ආමාශයේ ඇතුලු ස්ථර වල ඉන්න සෛල වල , පැටවු දමමින් අර තුවාල සුව කරන්නට වෙහෙසෙන එක අඩු වීම ...වියපත් වීමත් එක්ක සිදුවන මේ තුවාල සුව නොවීම ටිකෙන් ටික ගැඹුරට ගිහින් ආමාශයේ තිබෙන ප්‍රධාන ලේ නහර පවා තුවාල කරන්නට ඉඩ තිබෙනවා ...මෙන්න මේ විදියට ලේ නහරයක් , විශේෂයෙන්ම ආමාශය ආසන්නයෙන් යන ධමණියක් සිදුරු වුනොත් මොකද වෙන්නේ ....ලේ නහරේ දිගේ එන ලේ ආමාශය තුලට වැක්කෙරෙන්න පටන් ගන්නවා ...නවතින්නේ නැහැ ..හේතුව මේ අයගේ ලේ කැටි ගැසිමේ ක්‍රියාවත් දුර්වලයි ...(මේ කතා කරන්නේ බොහොමයක් වියපත් වූවන් මිය යන ක්‍රමය ..මෙසේ නොවුනත් , හෘදය දුර්වල වීම නිසාම මේ ලක්ෂණ පටන් ගන්නත් පුළුවන් .)

දැන් මොකද වෙන්නේ ..ටිකෙන් ටික ආමාශය තුලට ලේ පිරෙත්දි ...ලේ නහර වල ගමන් කළ යුතු , අනෙක් අවයව වෙත යා යුතු ලේ පරිමාව අඩු වෙනවා ..එතාකෙට අනෙක් අවයව තමන්ගේ රාජකාරි නවත්වන්නට පටන් ගන්නවා ..අත පය සීතල වෙනවා ..සුදුමැළි වෙනවා ..හදවත වේගයෙන් ගැහෙමින් වැඩි පුර ලේ අරගෙන යන්න උත්සහා කරනවා ..ඒත් ඒ ගැහෙන වාර ගනන වැඩි වුනත් ..බට ඇතුලේ යන්න තරම් ලේ නැති නිසා හදවතේ උතසාහය සාර්ථක වෙන්නේ නැහැ දැන් දැන් මොළයට ලැබෙන ලේ ප්‍රමාණය අඩු වෙනවා ..මොළයේ සෛල වලට කෑම බිම අඩු වෙනකොට ඒ සෛල වල ක්‍රියාකාරකම් අඩු වෙනවා ..කල්පනාව අඩු වෙනවා ..අපි දන්නවනේ මොළයේ යම් යම් කොටස් විවිධ සංවේදන , චලන පාළනය කරන්නට සූදානම් වෙලා ඉන්නේ ..ඒත් ඒ තැන් වලට නිසි තරම් ලේ නොලැබෙන කොට නිසි සංවේදන හඳුනාගැනීමක් වෙන්නේ නැහැ .

මේ විදියට ලේ අඩු වීම තව දුරටත් වෙත්දි හදවතේ පේෂි වලට එන ලේ ප්‍රමාණයත් අඩු වෙනවා ...( සාමාන්‍යෙයන් හදවත , මොළය වගේ වැදගත් අවයව වලට එන ලේ සැපයුම අඩු වෙන්නේ අන්තිමට ..මොකද ලේ අඩු වුනු ගමන්ම අපේ ඇඟ කරන්නේ ...අත පය... වගේ ඒ තරම් වැදගත් නැති තැන් වලට යන ලේ නවත් වල ඒ ටිකත් හදවත, මොළය වගේ තැන් වලට එවන්න උත්සාහ කරන නිසා ) 

මේ විදියට හදවතේ පේෂි වලට ලේ සැපයීම අඩුවීම කියන්නේ හෘද අකරණියක් වීමේ මුල් අවස්ථාව ..ඒ කියන්නේ දැන් හදවත මිය යන්නට පටන් ගනීවි ...මේ එක්කම වකුගඩු වල ක්‍රියාකාරීත්වය නවතිත්දි මුත්‍රා නිපදවීම නවතිනව ....ප්‍රතිපලේ ලේ වලින් ඉවත් විය යුතු අපද්‍රව්‍යත් දිගින් දිගටම ලේ වල එකතු වෙනවා .,මේ නිසාම මොළය ඇතුලේ . ස්නායු ඇතුලේ තේරුමක් නැති “පණිවිඩ“ යන්නට පටන් ගන්නවා . ඒ නිසා තමයි සමහර විට මිය යන්නට මොහොතකට ඉස්සර වෙල ඇඟ ටිකක් ගැස්සෙනන පටන් ගන්නේ ...

 ඒ එක්කම ශ්වසනය හුඟක් දුර්වල වෙනවා ...අක්‍රමවත් අඩු වැඩි වන රටාවකට හුස්ම ගන්න පිටකරන මොහු ටික වෙලාවක් හුස්ම ගන්නේ නැතිව ඉන්නත් පුළුවන් ...ඇත්තටම මැරුණ වගේම ...ආයෙත් ටික වෙලාවකින් ගැඹූරු හුස්මක් අරගෙන පිට කරන්න පුළුවන් ..මේ ශ්වසන රටාව අපි වෛද්‍ය විද්‍යාවෙදි නම් කරන්නේ Cheyne stroke respiration කියලා .

මේ බලන්න Cheyne stroke රටාව ..


Tunnel view 
 ..මේ සියල්ලත් එක්කම මොළයේ ක්‍රියාකාරීත්වය තව තවත් අඩු වෙනවා ..දැන් දැන් මේ පුද්ගලයාට බාහිර පරිසරයේ දේ ඇහුනත් ..වෙනත් සංවේදන අඩු වෙනවා .. ඒ ස්නායු වල සහ මොළයේ අදාල සංවේදන වලට නියමිත සෛල මියයාමත් එක්ක ..දැන් මතකයට අදාල ප්‍රෙද්ශයේ සෛලත් මියෙන්නට පටන් ගන්නවා ...දැන් ඒ සෛල වල ක්‍රියාකාරිත්වය අඩපණ වීමත් එක්ක මේ පුද්ගලයාට විවිධ දේ “පෙනෙන්නට “ වගේ දැනෙනවා ...ඇත්තටම පෙනෙනවා කීවත් මේ පුද්ගලයාගේ ඇසට නොවෙයි පෙනෙන්නේ ... මොළයේ සෛල වැරදි සංඥාවන් දෙනවා එලෙස ...දැන් ටිකනේ ටික එකනෙකට බැඳි තිබු මොළයේ බිලියන ගණනක් සෛල වෙන්වෙන්නට පටන් ගන්නවා ..දැන් අනෙක් සංවේදන නැතිව යනවා වගේම අර පෙනුනු , ඇහුදු දේවල් පවා මොහුට නැතිව යනවා ..සමහර විට සුදු පාට එළියක් ..කළු පාට වට රවුමක් එක්ක පේන්න පුළුවන් ...ටිකනේ ටික කළුපාට වට රවුම ලොකු වෙමින් සුදු පාට රවුම අඩු වෙනවා වගේ පේනේවි Tunnel view  ...ඒ සිදුවෙන්නේ මොළයේ තිබෙන “පෙනීමට සංවේදී වන කළාපයේ සෛල ක්‍රමයෙන් මියයාම “ .

..මේ විදියට මොළයේ සෛල මිය යමින් ගැළවෙත්දි අළුත් රසායනිකයක් මුදා හැරෙනවා ..එයාගෙ නම එන්ඩොර්ෆින් ...පුදුම රසායනිකයක් ...ඒ රසායනිකය ඇඟපුරාම විහිදෙත්දි ... තිබුණූ වේදනාවන් සියල්ල නැතිවෙලා ...නොදැනුනු සැහැල්ලුවක් දැනෙන්නට පටන් ගන්නවා ..ඒ එක්කම මුළු ගතටම සුව බර නිදි මතක් ...(මේ එන්ඩොර්ෆින් කියන්නේ .....බෙහෙතක් විදියටබොහොම ප්‍රබල වේදනානාශකයවක් විදියට පාවිච්චි කරන මෝර්ෆීන්වල ක්‍රියාවටම සමාන රසායනිකයක් ...දැන් ඉතින් හරියට  මොර්ෆින් විද්ද වගේ තමා ...මෙන්න මේ අවසන් “සුවයත් “ එක්ක මේ පුද්ගලයාගේ clinical death සහ Biological death කියන සිදුවීම් ආරම්භ වෙනවා ...

මේ නිසා අද මරණය පිළිබඳ පර්යේෂණ කරන පර්යේෂකයන් හඳුනාගෙන තිබෙනවා සාමාන්‍ය මරණයක් ...වියපත් වීමත් එක්ක වන මරණයකදි අදාල පුද්ගලයාට වේදනාවක් නොදැනෙන බවත් ..බොහොම  සුවබර ..සැහැල්ලු අවස්ථාවක් ලෙස එය ලැබෙන බවත් ..නමුත් රෝගී තත්ත්වයකින් හෝ අනතුරකින් වන මරණයක් නම් ...මුල් අවස්ථාව වේදනාකාරී වුනත් ..ඇත්තටම “මරණය“  සිදුවන සීමාව මේ ලෙසින්ම සිදුවිය හැකි බවය පවසන්නේ ...

තවත් විනාඩි දහයක් යත්දි සමහර පේෂි සෛල , සහ සමේ සෛල ටිකක් හැරෙන්න , මේ පුද්ගලයාගේ බොහොමයක් සෛල මිය ගිහින් ...නැවත ජීවය ගන්නට බැරි විදියටම ...ඔන්න ඔහොම තමයි අපේ අවසන් මොහොත වේවි කියල දැනට විදාඥයන් විස්තර කරන්නේ ...හැබැයි මේ කරුණූ විවිධ දර්ශන , මත වාද එක්ක වෙනස් වෙන්න පුළුවන් . ඒත් මම ඒ ගැන කතා කරන්නට යන්නේ නැහැ ..මම උත්සාහ කළේ Thanatology   විෂය තුලද “මරණයේ ක්‍රියාවලිය ..Dying process  හඳුනාගන්න විදිය ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්නට පමණයි ...

දැන් ඉතින් මෙතැනින් එහාට බොහොම රසවත් මාතෘකා කිහිපයක් කතා කරන්නට පුළුවන් ..ඒ තමයි Near death experiences , Life after death ...කර්මය හා පුනර්භවය....මේ මාතෘකා ගැනත් අපේ බ්ලොග් අවකාශෙ ඉන්න ඔබ කවුරුන් හෝ ලියාවි කියල හිතනවා ...

අවසානයේ පින් අනුමොදනාවක් කරනනට තිබෙනවා ..මේ මාතෘකාවට අපි හැමෝම යොමු වුනේ , අපෙන් වෙන්ව ගිය බ්ලොග් මිතුරකුගේ සටහනක් නිසාවෙන් .. ඒ තමයි “තම තම නැණ පමණ “ සටහන ලියු කුමුදු පින්තු මහතාගේ අභාවය .. ඉතින් “සොඳුරු සුව අසපුවේ “ වු මේ සටහනින් ඔබ යම් දැනුමක් , සතුටක් ලැබුවේද ..ඒය පිනක් වී මෙතුමන්ටම හිමිවේවායි මගේ පැතුමයි ..







20 comments:

  1. අර ලින්ක් එකෙන් හාමුදුරුවන්ගේ බ්ලොග් එකට යන්න බැහැ. ලිපිනය දෙන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබතුමාට ...මට ලිංක් එක එක් කරන්න අමතක වෙලා ...බ්ලොග් එකේ උඩින්ම තියෙන පිංතූරය ක්ලික් කරලා යන්නත් පුළුවන් ...දැන් නම් ලිංක් එක add කළා ..
      කෙසේ වෙතත් මෙන්න ලිංක් එක ..
      http://adhitanemaga.blogspot.ca/

      ස්තුතියි

      Delete
  2. Replies
    1. ඔබේ පැමිණීමත් සතුටක් මල්ලී ...ස්තුතියි ඔබටත්

      Delete
  3. මේ ලිපිය නිසා ගොඩක් දේවල් හිතන්න යොමු උනා.. ස්තූතියි :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලයාන් ...ජීවිතේ ඇත්ත තත්ත්වය ගැන ටික ටික අවබෝධ වෙනකොට එක්තරා විදියක සැහැල්ලුවක්ම දැනේවි ..ස්තුතියි ඔබේ අදහසට ..

      Delete
  4. මරණය.. වචනේ කියද්දි පවා හද ගැස්ම ටිකක් වෙනස් වෙනවනේ....

    අපි මරණය වේදනාවක් කියලා හිතන්නේ අපිට තියෙන බැදීම් නිසයි කියලා මම හිතන්නේ... අපි දාලා යන අය ගැන හිතන නිසා.... කරගන්න බැරි උන වැඩ ගැන හිතන නිසා...

    ෆිල්ම් වල එහෙම ස්වාභාවිකව මැරෙන්න ලං වෙච්ච කෙනෙක් වටේ වට වෙලා යන්න එපා කිය කිය අඬද්දි මට තරහක් දැනෙනවා...
    ඒකෙත් වෙන්නේ මැරෙන්න යන කෙනාට තවත් දුකක් දීම විතරයි... බුදු දහමට අනුවත් මම ඒක එහෙමයි කියලා හිතෙනවා... බැදීම් අතෑරලා යන්න ශක්තියක් දෙන එක මිසක් ඇඬීම නොකල යුතු දෙයක් කියලා.. හැබැයි ඉතිං අකල් මරණයකදි නම් මේ තත්වය වෙනස් වෙනවා...
    මේ කියලා තියෙන විදියම තමයි ඉතිං....

    ReplyDelete
    Replies
    1. “අපි මරණය වේදනාවක් කියලා හිතන්නේ අපිට තියෙන බැදීම් නිසයි“ ඔව් ..ඔබේ අදහස මම ඉහළින්ම පිළිගන්නවා ...ඒ වගේම බොහොම ස්තුතියි ඔබේ සරු අදහස් එක් කළාට

      Delete
  5. ගොඩක් ස්තුතියි මහේෂ් වෙනදා වගේම..

    ReplyDelete
    Replies
    1. ඔබටත් තුති හැමදාමත් ඇවිත් දිරි ගන්වනවාට ...ඔව් වැන්නවුන්ගේ දිරි ගැන්වීම් නොවන්නට “සොඳුරු සුව අසපුව “ මෙතරම් දුර නොඑන්නට ඇති ..

      Delete
  6. මේක කියෙව්වට පස්සෙ බණක් ඇහැව්ව වගේ හිතට සැනසිල්ලයි.

    තමනුත් කවද හරි මැරෙනව කියල දැනගෙන ජීවත් වෙන මිනිස්සු ගොඩක් ඉන්නවනං ලෝකෙ සුන්දර, ආලවට්ටං අඩු තැනක් වේවි...

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටත් බොහොම පිං ...ඔබේ කතාව නම් නියම ඇත්ත කතාව ...

      Delete
  7. මේ ලිපිය කියවන්න පටන් ගත් වෙලාවෙ සිටම මට මතක් උනේ මගේ දයාබර පියණන්ව . ඔහු රොගීව සිටි කාලයේ සිට ඔහුව රැක බලාගත් අයුරුත් , ඔබ කිව් ආකාරයෙන් ඔහු අවසානෙට ලඟ වුන අයුරුත් . මිය යන මොහොතෙත් ඔහු ලඟම සිටි නිසා ඔබ කිව් ආකාරෙට සුව බර නින්දකට වැටුන වගේ ඔහු මිය ගියා .
    …මේ ලිපිය සියලු දෙනාම කියවිය යුතු වැදගත් ලිපියක් .
    …බොහොම ස්තූතියි ඔබ මේ කරන මෙහෙයට. බොහොම පිං .

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේ මාතෘකාව ගැන ලියන්න හිත් දුන්නේත් , විෂයට වැඩිය , මේ අවස්ථාවට පත්වන රෝගීන් ගණනාවකගෙම සහ මගේම අම්මගෙත් තාත්තගෙත් මරණය වන අවස්ථාවේ ඔබ කියන විදියටම මගේ ඇස් ඉස්සරහ , විඳවූ ඒ හැගීම් සමුදායමයි ..ඇත්තෙන්ම හදාරන්නට වටින , විමසන්න වටින හොඳ මාතෘකාවක් ...දැනුමටත් ...ඊටත් වඩා මරණයේ නියම රඟ දැනගන්නටත් වටිනා නිසා ..දැන ගත්දෙයින් යම් තරමක් , තේරුම් ගන්න පුළුවන් තරමට සටහන් කළා පමණයි ..
      ඔබතුමියටත් බොහොම පිං , හැමදාමත් දිරි දෙන්නට අදහසක් එක් කරනවාට ..

      Delete
  8. මේක කියෙව්වට පස්සෙයි මට හිතුණේ මිනිස්සු මරණාසන්න අවස්ථාවන් වල සුදු ආලෝකමත් උමගක් පෙනුනා, දිව්‍ය ලෝකෙට යන පාර පෙනුනා වගේ දේවල් කියන්නෙ මේ නිසාද කියල. හිතන්න ගොඩක් දේවල් ඉතිරි කළ ලිපියක් අයියෙ. ස්තූතියි.

    තම තම නැණ පමණ ලියූ කුමුදු මහතාට නිවන් සැප ලැබේවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය දිව්‍ය ලෝක කතාවට ප්‍රධාන හේතුව මෙය වෙන්න පුළුවන් බවයි මුලිකම මතය , ඒ වගේම මොළයේ සංවේදක කළාපයේ සෛල දුර්වල වීමත් එක්ක , බුද්ධිය මතකය වැනි දේට අදාල වූ සෛල වල තනි ක්‍රියාකාරිත්වය නිසා මතුවන hallucination වෙන්නත් පුළුවන් බවයි කියැවෙන්නේ ..

      ස්තුතියි නැගෙණියනි පැමිණියාට , කියෙව්වා , දිරිගැන්වූවාට ...

      Delete
  9. ගොඩක් සුතුතියි, පිං.
    වැදගත් කරුනු ගොඩක් දැනගත්ත තවත් කෙනෙකුට බයක් නැතුව පහදල දෙන්න පුළුවන් විදියට තේරුම් කරලම ලිපිය ලියල තියෙනව. තමන් ඉගෙන ගත්තු දේ මේ විදියට පැහැදිලිව කියල දෙන ඔබතුමාට දිඝායු!!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි ..මේ දිරි ගැන්වීම් නොලැබෙන්නට “සොඳුරු සුව අසපුවක්“ නොපවතින්නටත් ඉඩ තිබුනා ...

      Delete
  10. උඩින් කමෙන්ට් කරලා තියෙන ''හිරු'' කිව්වා වගේ මටත් හරි කේන්තියි මැරෙන්න ඔන්න මෙන්න කෙනෙක් ලගට වෙලා ''දාල යන්නෙපා'' කියල අඩන එක ,, මොන තරම් මෝඩ වැරදි වැඩක් ද එක, මැරෙන කෙනාට ඇත්තටම ආදරේ නම් කරන්න ඕන ඔහුගේ හෝ අයගේ හිත පුළුවන් තරම් හදන එක. ජිවත් ව ඉන්න කාලේ කරපු පිනක් දහමක් මතක් කරලා මරණින් මතු ආත්මය හොද එකක් කරන එකයි.
    කොහොම උනත් හැමදා වගේම අදත් කියවන්න ආස හිතෙන ලිපියක්,, ඔබට පින් මේ වෙන මහන්සියට ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත ..මේ පුද්ගලයගේ අවසානය තෙක්ම ශ්‍රවණය ක්‍රියාත්මකයි ..මේ කියන දේ ඇසෙන්නට පුළුවන් ඉඩ වැඩිි , ඒත් ප්‍රතිචාර දෙන්නට බැරිව තව තවත් හිතේ දුක වැඩි නොකර ඉන්නවා නම් තමා වඩාත් හොඳ ...
      ඔබේ පැමිණිම සතුටක් ...

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)