2012/09/09

117) කන්දෙ ගෙදර හැංගිලා පටල කඩන්නා ..O.M ...

මේ දවස් ටිකේ මේ පැත්තට මද වැසි , අදත් උදේ පාන්දර පොඩි පොදක් ගිහින් දවල් වෙත්දි ටිකක් තව වැස්සක් වැටෙන්න වගේ හදන්නේ . මෙතුවක් තිබුණූ තද රස්නේ නම් දැන් ඉතින් අඩු වෙලා , ඒත් උදේ පාන්දර මේ “චුරු චුරු වැස්සේ“ ගමනක් යන එක කොයි තරම් සුන්දරද ? ...උදේ පාන්දර පහට විතර ...සීතලේ ....මිදුමේ ...ඒ මදිවට පාර පේන්නෙත් නැති තරමට වැස්සේ ....




මුල් අකුරු හුරු කළ මගේ මුල් පාසල - (සුනාමියට පෙර)
අදත් උදේ පාන්දරම මේ සුන්දර ගමන ගිහින් , ගෙදර එත්දි , මගේ මතකෙට ආවේ , මගේ පාසල් කාළේ ..ඒ කීවේ මගේ ප්‍රාථමික පාසල් කාළේ . අහංගම ධර්මාරාම විද්‍යාලය කියන , මුහුද අයිනට වෙන්න තිබුණු ඒ පුංචි පාසල අදටත් මගේ හිතේ ඇඳිල තියෙනවා , 2004 සුනාමියෙන් එය ගසා ගෙන නොයන්නට , තවමත් දරුවන් සියගනනකට සෙවන දෙන පුංචි , ඒත් හරිම ලස්සන පාසලක් ...

මගේ පාසල් කාළයයි , අද වැස්සයි ගැන කතා කරන්නේ මොකදැයි කියල දැන් බලාවි ..මේකයි හේතුව , ඒ දවස් වල මගේ පන්තියේ හිටපු මිත්‍රයන්ගෙන් එක් අයෙක් අද ලියන්න හදන මාතෘකාවට බැඳුනු නිසා , අපි ඇත්ත නම  නොකිය , ඊට වඩා ප්‍රසිද්ධ නම කියන්නම් කෝ ....“වඩු පැට්ට....“ ..ඒ දවස් වල ඉතින් “ වඩු පැට්ට “ කිව්වොත් නොදන්න කෙනෙක් නැති තරම් , දැනගත් විදියට , මගේ මිත්‍රයගේ තාත්ත ‘වඩු කාර්මියෙක්“ ...ඉතින් එයාගේ පැටියා “වඩු පැටියා “ වෙන්න ඇති , ඊට පස්සේ අදරේට “වඩු පැට්ට “ වෙන්න ඇති නේ ....දැන් ඔන්න මටත් කියන්න එපා මේ දවස් වල සිංහල බ්ලොග් පරිශ්‍රයේ සිද්ධ වෙන “හෙල පද බෙදිලි “ වගේ වැඩක් කළා කියල ...(ඒ ගැන නම් , ඒ කීවේ සිංහල පද විවිධාකාර විකාරරූපි ලෙසින් විග්‍රහ කරනමින් කරන , විකෘති රස වින්දනය බෝවෙන ලෙඩක් වගේම බෝවන බවක් දැනෙනවා )


පිට්ටනියේ මායිම ...සතුටේ මායිම නොවු
දැන් “අපේ වඩු පැට්ටගේ“ කතා වස්තුව ......ඒ දවස් වල මගේ මේ මිත්‍රය හරි ප්‍රසිද්ධයි ඉස්කෝලේ පුරාවටම , මොකද හැමදාමත් වගේ මොකක් හරි ලෙඩක් දාගෙන තමයි ගෙදර යන්නේ , මෙයාට ලෙඩ දාන්න වැරදි කාරය තමයි , අපේ ඉස්කෝලේ පිට්ටනිය කෙළවරේ තිබුණූ , බොහොම නිසල , මුහුදු තීරය , කිලෝ මිටරයක් විතර මූද පැත්තට පයින් ඇවිද ගෙන යන්න පුළුවන් මේ කොරල් පරේ දිගේ කාටත් හොරෙන් ඇවිදගෙන යන්න , හොඳ තැනක් බලල ඇඟ ටිකක් තෙමා ගන්න නොහිතෙන්නෙ මොන කොළු පැටියටද .....? ..

ඔන්න දැන් තමයි “වඩු පැට්ට“ ගෙ කතා වස්තුවේ හොඳට ටික ...මෙයා තවත් විදියකින් හරි විශේෂයි , ඒ තමයි මාසේ පුරාවට හැම දවසකම වගේ “හොටු පෙරාගෙන “ තමයි ඉන්නේ , කමිසේ අත දෙකේ ලොකු ලාංඡන දෙකක් තියෙනවා , හරියට හමුදා නිලධාරියෙක්ගේ වගේ .. මොනවද දන්වද ? ...හොටු පිහිදාගෙන ...ඒ මදිවට හැමදාමත් කනේ පුළුන් ගුලි දෙකක් වරදින්නේ නැහැ . ඒ නැති දවසට , කනෙනුත් “හොටු “ එනව කියල තමයි අපි ඒ දවස්වල කීවේ , ඇත්තටමට ඒ ආවේ සැරව කියල දැන ගත්තේ කාලෙකට පස්සේ  ...

දැන් තමයි අපි දන්නේ මේ කනේ පුළුන් ගහගෙන හිටියේ ඇයි කියල ...අද මේ මිත්‍රය , නාවික හමුදාවේ (හෝ ගුවන් හමුදාවේ ) ඉහළ නිලධාරියෙක් බව කාළෙකට ඉස්සර දැන ගන්නට ලැබුණා . නමුත් පහේ පන්තියෙන් වෙනත් පාසලකට ආවට පස්සේ දෑහින් දැක ගන්නට නොලැබුණූ මගේ මේ මිත්‍රය සමහර විට සිංහල බ්ලොග් අවකාශය තුල රැඳෙනවාදැයි දන්නේ නැහැ , එහෙම වුනොත් , මේ කතාව කියෙව්වොත් , මට කතා කරාවි කියල හිතාගෙන ඉන්නව ,

ඒ තමයි “වඩු පැට්ටගේ කතා වස්තුවේ“ අතීත කතාව , ඔන්න දැන් වර්තමාන කතන්දරේ , අතීත කතාව වැදගත් නොවුනත් මේ වර්තමාන කතාව ඔබට වැදගත් වෙන්න පුළුවන් නිසා , ඉඩක් ඇතොත් කියවල බලන්න ,


අපි මේ කතා කළ කනෙන් සැරව එන ලෙඩේ වෛද්‍ය විද්‍යාත්මක නම තමයි “Otitis media" , මෙතන oto කියන්නේ කනට ...අපි දන්නවනේ itis කියන්නේ , ප්‍රදාහයට කියල (මේ පද පෙරළි ගැන මීට ඉස්සර කතා කරල තිබෙනවා ) ..media කියන්නේ මැද කියන තේරුම ..ඉතින් අපිට දැන් පුළුවන් මෙයාගේ සිංහල නම හදන්න ...ඒ තමයි මැද කණ ප්‍රදාහය ....Otitis media ..

දැන් ඉතින් ප්‍රදාහේ ගැන කතා කරන්න ඉස්සර වෙලා , කන ගැන දැන ගන්න එපායැ . ඔව් ඔබ දන්නව ඇති දැනටමත් , ඒත් කමක් නැහැ ආයෙත් ටිකක් මතක් කරගනිමු ....

අපි දැනටම දන්නවා , මිනිස් කනේ ප්‍රධාන කොටස් තුනක් තිබෙන බව , ඒ බාහිර කන , මැද කන සහ අභ්‍යන්තර කන නමින් හඳුන්වන . මෙයින් බාහිර කන ගැන අපිට හොඳ අවධානෙන් ඉන්නේ , ඒ කන් පෙත්ත (පිනා .....Pinna)  , සහ බාහිර ශ්‍රවණ නාලය කියන කොටස් ගැන ..සමහර විට ඒ අවධානය වැරදි විදියට යොදාගෙන , කන ඇතුලට කම්බි කුරු , කොන්ඩ කටු එහෙම දාල වැඩ වරද්ද ගන්න අයත් අපි අතරේ නැතුවාම නොවෙයි කෙසේ වෙතත් එතැනින් එහාට තිබෙන ගැන අපි ඒ තරම් අවධානයක් නැහැ ...



මේ ..... ඇහුනද ...
එතනින් එහාට තිබෙන Ear drum කියන තුනී පටලයත් , ඊට ඇතුලෙන් තිබෙන අපේ ඇඟේ පුංචිම අස්ථි තුනත් ශ්‍රවණය කිරිමේදි ලොකුම කටයුත්තක් කරනවා , එළියෙන් එන සද්දේ කනේ ear drum එකේ වැදිලා හෙලවුනාම , ඒ එක්ක ඉන්න පුංචි අස්ථීකා තුන පැද්දිලා , හරියට ඝන්ටාරෙ වදිනව වගේ ගිහින් වදිනව ඇතුලු කනේ තියෙන සංවේදක මල්ලට ....එයා තමයි ඒ වැදිල්ල ශබ්දයක් කියන පණිවිඩේ මොලේට අරන් යන්නේ  , ඉතින් මේ කම්පන , පැද්දිලි වෙන මැද කන්  කුහරය තුල වායු පීඩනය එළීයේ වායු පීඩනයට සමාන කරගන්න වෙහෙසෙන , Eustachin tube (යුස්ටේකියන් ටියුබ් එක ) පහලට ඇවිත් අපේ උගුරට තමයි ඇරෙන්නේ ....මතකයිනේ කන් අගුලු වැටුනම ( ඒ කියන්නේ , මේ මැද කනේ පීඩනයයි , එළියේ පීඩනයයි අසමාන වුනාම ) , කට කෙළ ටිකක් ගිල්ලම ,  ආයෙත් අගුල් ඇරෙන්නේ මේ විදියට දෙපැත්තේ පීඩනය සමාන වන නිසා .... පොඩි කාළේ මේ බටේ ටිකක් කෙළින් දික් අතට තිබුණත් අපි ලොකු වෙන කොට ඔය කියන බටේ ටිකක් ඇල අතට පිහිටන්න පටන් ගන්නවා ....

මේ මැද කනෙන් ඇතුලට තියෙන කොටස තමයි කනේ Sensors පිහිටල තිබෙන්නේ .ඔය රූපේ දඟර ගැහිච්ච පද්ධතියක් තියෙන්නේ , cochlear , semi circular canals කියල , ඔය දෙන්නටම පොදුවෙ කොක්ලියර් කියලත් කියනවා  , ඒ තමයි “ සෙන්සර් මල්ල “ , ඒ සෙන්සර් මල්ලට එන පණිවිඩේ මොළයට ගනියන ශ්‍රවණ ස්නායුව තියෙන්නේත් ඔය හරියෙම තමයි  ....තව දෙයක් ඔය මැද කනත් මොළයත් අතර තියෙන්නේ බොහොම පොඩි දුරක් , ඒ කීවේ , මැද කනේ ඉන්න විසබීජයකට වැඩි කරදරයක් නැතිව මොලයට යන්න පුළුවන් ..


කන්දෙ ගෙදර 
අපට ශබ්ද ඇසීමට විතරක් නෙවි , අපේ ඇඟේ සමබරතාවය රැක ගන්නට , ඉන්න විදිය මොළයට තේරුම් ගන්නට (ඒ කිව්වේ හාන්සි වෙලාද , වාඩි වෙලාද ..වගේ පිහිටීම් ) ...වගේම රූප සොබාව ගැන හිතුවත් කන කරන දේ ඉහලයි , ඒත් මේ මෙච්චර උදව් කරන කන ගැන නොසැලකිළිමත් වුනොත් , ඔබට මරණයට ගෙනියන්න වුනත් හැකියාවක් තිබෙන බොහොම පුංචි තැනක් නොවැ මේක ...

කන් පෙත්තේ තියෙන කාටිලේජ් එක වගේම කතාවත් elastic වුනාද මන්ද ? ...ඒත් ඉතින් කියන්න තියෙන දේ කියන්නම එපායැ , නේද ? ....



පිනා(pinna)  එක්ක හිනාව 
හරි දැන් අපි දැනගත්තනේ අද කතාවට ඕන කරන     “කන්දේ ගෙදර “ගැන ...ඔව් මේකත් ගෙයක් තමයි වීදුරු ජනෙල් දාල(Ear drum ) වහලට කොන්ක්‍රීට් දාපු (හිස් කබලේ අස්ථිය) , මේ ගෙදර දොර (Eustachian tube) හැම තිස්සේම ඇරල තමයි තියෙන්නේ ..කන්දක් නැගල වගේ එන්න ඕන නිසාත් එන පාර ලිස්සන සුළු නිසාත් ඒපාරේ මුර බටයෝ ඉන්න නිසාත්  , පාරෙ (උගුරේ ) ඉඳළ ගෙදරට (මැද කනට)  එන්න ටිකක් විතර අමාරුයි .. ඒත් ඉතින් බඩගාගෙන හරි එන්න පුළුවන් අයත් ඉන්නවනේ .. අපි එයාලට කියන්නේ Virus සහ  Bacteria කියල ..දැන් අපි කතා කරන්න යන්නේ අන්න ඒ විදියට මැද කන පැත්තට “බඩ ගාගෙන ඇවිත් වින කරන “ අයත් , ඒ විදයට කරන කදරද ගැනත් තමයි ..

මේ මැද කනේ ආසාදනයට ප්‍රධාන ඉලක්කය පොඩි දරුවන් ,( අවුරුදු හතට අඩු දරුවන් වඩාත් ) වුනත් , වැඩිහිට ඔබටත් මේ අවදානම තිබෙනවා . ටිකක් විතර අඩුවුනත් , විවිධ අසාත්මකතා තිබෙන , ඒ වගේම දිගින් දිගටම කනේ ආසාදන ඇතවන තරුණ වැඩිහිටි ඕනම අයෙකුට , ඕනම අවස්ථාවක මේ OM ඇතිවන්නට පුළුවන් .



සැරව පිරුණු මැද කන (දකුණු පැත්තේ)
අපි දැන් බලමු කොහොමද මේ ලෙඩේ වැටෙන්නේ කියලා ....කෙටියෙන්ම කීවොත් යම් රෝග කාරක විෂබීජයක් ...ඒක වයිරසයක් හරි බැක්ටීරියාවක් හරි වෙන්න පුළුවන් (බොහොම හදිසියෙන් දිලිරත් මේ වැඩේ කරන්න පුළුවන්) ...මේ ජීවියා “මැද කන ගෙදරට“ රිංගගත්තොත් ....එක ඇතුලේ එයාට හොදට ජීවත් වෙන්න පරිසරය , තෙතමනය , උණුසුම , කැම බීම හැංගිලා ඉන්න හොඳ අඳුරු පරිසරය තිබෙන නිසා , මොකද වෙන්නේ රිංගගත්ත කෙනා ඒ ඇතුලේ පැටවු දමමින් පවුල ලොකු කරගන්න හදනවා ..ඊළඟට මොකද වෙන්නේ මේ අය මැද කනේ තිබෙන පටල , පටක තුවාල කරන්න පටන් ගන්නවා , ඒකත් ඒක්ක තමයි itis නැත්නම් ප්‍රදාහය ඇති වන්නේ ...දන්නවනේ ප්‍රදාහයක් ඇති වුනාම , ඉදිමිලා , රතු වෙලා , රත්වෙලා එතන පොඩි යුද්දයක් ඇති වෙනවා , කවුරු එක්කද ? ...අපේ සුදු රුධීරාණූ හමුදාවත් එක්ක ...ඒ විදියට යුද්ද කරත්දි මැද කණ ඇතුලේ සැරව එකතු වෙනවා (මොනවද මේ සැරව කියන්නේ ..අර යුද්දෙදි මැරෙන සුදු රුධීරාණූ හමුදාවයි , රෝග කාරකයන්ගේ මැරුණු කොටස් සහ , කන ඇතුලේ තියෙන , සහ මේ දවස් වල වැඩි වුනු ප්‍රෝටීනමය ආරක්ෂක දියර කිහිපයක් තමයි  සැරව විදියට එකතු වෙන්නේ ) 

දැන් ඉතින් මෙතුවක් වෙලා කන ඇතුලේ විතරක් තිබුණු අමාරුව ,කැක්කුම , දැන් ඇඟේම ලෙඩක් බවට පත් වෙනවා , ඔන්න දැන් තද උණ ක් ගන්නවා ,කන්නත් බැහැ වගේ , අප්පිරියයි , බඩේ අමාරුවක් වගේ දැනෙනවා , ඔළුවත් එක්කම කකියත්දි , කන අල්ලන්නවත් බැහැ රිදෙනවා , කන ඇහෙන එකත් අඩුයි වගේ , කන් අගුලු වැටිලා , කොච්චර කට ඇරල අගුළු ඇර ගන්න බැලුවත් හරි යන්නේ නැහැ , ඒ තියා දැන් වෙනද වගේ කට අරින්නත් බැහැ , හරිම වේදනාවයි ..... මුල් දවස් ටිකේ මේ කන ඇතුලේ රිදිල්ල , කන ඇතුලේ කැසිල්ලක් විදියට දැනෙන්නත් පුළුවන් . මේ අමාරුකම් එක්ක ලෙඩේ තිබෙන කෙනා ටිකක් නුරුස්සන ගතියකින් තමයි ඉන්නේ , වෙනදට වැඩිය ටිකක් තරහ ගියොත් බලන්න ,“ කන වණ “ වෙලාද කියල  :) තව ටික දවසක් මේ විදියට ගියොත් කණෙන් සැරව වැක්කෙරෙන්නත් පටන් ගන්නවා  , දැන් නම් වැඩේ ටිකක් දුර දිග ගිහින් ...

මේ වෙනකම් ඉන්න එපා ...කන අතුලේ කැක්කුමක් , ඒ එක්කම ඔළුවේ කැක්කුමක් වගේ දැනෙනවා නම් , (මීට පෙර කනේ ප්‍රදාහයන් ඇතිවෙලා තිබේනම් ) පරක්කු කරන්නේ නැතිව ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙන්න ..ඕකට ඉතින් දවස් ගානක් පෝලිමේ ඉඳළා ලොකු දොස්තර මහත්තයම චැනල් කරන්න ඕන නැහැ , ඔබේ පවුලේ වෛද්‍යවරයා , නැත්නම් ඔබේ රෝහලේ බාහිර රෝගී අංශයේ දොස්තර මහත්තයා , නැත්නම් ගමේ ඉස්පිරිතාලේ ඩී.එම්.ඕ .මහත්තයා ගාවට ගියත් ඇති , මොකද ඔබේ රෝග ලක්ෂණ එක්ක ඔහු කණ ඇතුල බලල Otoscopy (චුට්ටක් විතර රිදෙනවා තමයි , ඒත් බොහොම පොඩි වෙලාවට විතරයි ) ඔහුට පුළුවනි මේ තත්ත්වය තහවුරු කරගන්න . , ඒ විදියට තහවුරු කරගත්තට පස්සේ රෝග කාරකයා අනුව යම් ඇන්ටිබයෝටික් වර්ගයක්  බොන්නට දේවි , සමහර විට කණට බිංදු විදියට දාන්න දෙන්නත් පුළුවන් . නාහෙට දාන්න කියලත් බිංදු වගයක් දෙන්න පුළුවන් , එහෙම වුනොත් බය වෙන්න එපා , කනේ අමාරුවට දොස්තර මහත්තය නාහෙට බෙහෙත් දුන්නේ වැරදිලාද කියල ...නැහැ , නාහේ ඇතුලේ හොටු තද වෙලා වගේ නම් ඒ සෙම බුරුල් වෙලා යෑමත් මෙතනදි වැදගත් ඒකයි නාහෙටත් බෙහෙත් දාන්න දෙන්නේ . වේදනානාශක වර්ගයක් දෙනවාමයි , මොකද , මේ තමයි පොඩ්ඩෙකුට නම් වැඩිම වේදනාවක් දෙන ලෙඩේ ..ලොක්කෙකුට වුනත් ඒ වගේ තමයි .. 

හැබැයි වැඩේ ටිකක් විතර නරක තත්ත්වේ නම් ඔබට රෝහල් ගත කරන්නත් කටයුතු කරලා දේවි ,බය වෙන්න එපා දරුණූ ප්‍රතිකාරයකට නෙවි , බොහෝ විට මේ තත්ත්වයේදි බොන බෙහෙත් වලින් රෝග කාරකයා මරන්න බැරිනම් , ඊළඟට කෙරෙන්නේ I.V විදියට , නැත්නම් ලේ නහර තුලට අදාල ඖෂධ ඇතුළු කිරීම , අන්න ඒ විදියට I.V  antibiotics දෙන්නත් , සමහර විට මැද කන ඇතුලේ සැරව එකතු වෙලා තද වෙලා නම් , කන් බෙරප පුපුරල යන්න ඉස්සර , කන් බෙරය මත පුංචි සිදුරක් හදල(Myringotomy)  , ඒ තුලින් අර සැරව ටික වෑස්සෙන්න සලස්වන ශල්‍යකර්මය කරන්නටත් වෙන්න පුළුවන් .

ඇයි මෙච්චර පොඩි ලෙඩක් ගැන මේ තරම් කලබල වෙන්නේ කියල ඔබට හිතෙන්න පුළුවන් ..මේකයි හේතුව , අපි මුලදි කීව වගේ කන ආශ්‍රිතව අපේ වැදගත්ම අවයව ගණනාවක් තියෙනවා , මොළය ඉන් ප්‍රධානයි , ඊට අමතරව කන ඇතුලෙම ගත්තතත් ශ්‍රවණය , අපේ ඇඟේ සමබරතාවය වගේ දේවල අපිට දන්වන කොටස් තියෙන්නේත් මෙහිමයි .ඉතින් කනේ ආසාදය නොසලකා හැරලා , රෝග කාරකයන්ට දිනන්න දුන්නොත් මොකද වෙන්න පුළුවන් ...අපි ටිකක් හිතල බලමු ...පළමුවන දේ කණ ඇසීම දුර්වල වෙන්න , නැත්නම් නැති වෙලාම යන්නත් පුළුවන් . මොකද කනේ පටලය Ear drum - Tympanic membrain එක ඉරිලා කැඩිල ගියාමත් , ඒ වගේම අපි මුලින් කී , අර කෑලි තුනට හරියට පැද්දෙන්න බැරිවීමත් එක්ක ඇහෙන එකේ යම් යම් අඩුපාඩු වෙන්න පුළුවන් . 

ඊළඟට මේ විදියටම දිගින් දිගටම කනෙන් සැරව වැක්කරමින් ඉන්න වෙන CMOS -Chronic suppurative otitis media (පරිගණක වල CMOS නෙවි ..) කියන තත්ත්වය ඇති වෙන්නටත් පුළුවන් ...ඒ එක්කම මේ විෂබීජ ඇතුලු කනට ඇතුල වෙලා අපි මුලින් කී සංවේදක මල්ල ප්‍රදාහයට , කරදරයට පත්කරන්න පුළුවන් . එතකොට ඉතින් හැමදාමත් “කරකැවි කැවි “ , පාවි පාවී ඉන්න පුළුවන් , ඒ කියන්නේ දැන් ඉතින් අපේ සමබරතාවය තියා ගන්න අමාරුයි  , ඇවිදින කොට විසි වෙන්න වගේ හදනවා , කරකැවෙනවා , පොතක් බලන්න වත් බැහැ ඇසුත් එක්කම කරකැවිල්ල , මේ තත්ත්වෙට ආවොත් නම් විශේෂඥ වෛද්‍ය උපදෙස් ගන්නම වෙනවා වගේම කාළයක ප්‍රතිකාර ගන්නත් වේවි . 


ඊළඟට .....රෝග කාරකයා ළඟ තියෙන අස්ථි ඇතුලට ගිහින් පදිංචි වුනොත් Mastoditis කියන කාළයක් තිස්සේ වද විඳින්න වෙන ලෙඩේ හදා ගන්නත් පුළුවන් , ඔය කන පිටිපස්ස අතගාන කොට අහුවෙන නෙරුමක් වගේ තියෙන අස්ථීය තමයි Mastoid bone එක ..එයා ප්‍රදාහයට පත්වීම තමයි ඔය ලෙඩේ ..ඇටේ පොඩි වුනාට ලෙඩේ දරුණුයි ...


ඊළඟට ආසන්නයේ තියෙන ස්නායු වලට පහර දෙන්නත් පුළුවන් , සමහර විට ඒ , මූණේ පැත්තක් එල්ල ගෙන ඉන්න වෙන , Facial nerve paresis තත්ත්වයත් , වැඩේ තවත් දුර ගියාම මොළය ඇතුලේ සැරව ගෙඩි හදන්නත් පුළුවන් Intracranial absess ..ඒ තත්තවේ ගැන කියන්න ඕන නැහැනේ ...සමහර විට මරණීය විය හැකි තත්ත්වයක් .


දැක්කනේ ..වැඩේ ලේසි නෑ ...හොඳම දේ තමයි නිසි අවස්ථා වෙදි නිසි ප්‍රතිකාර ගන්න එක . ඒ වගේම තමන්  , තමන්ගේ දරුවා මේ ලෙඩේට අවදානම් කාණ්ඩයේ නම් අදාල අවදානම් වලින් පරිස්සම් කරගන්න එක . ප්‍රධාන අනතුරුදායක සාධක විදියට හඳුනගන්න පුළුවන් දේවල් තමයි 


වරින්වර ඇතිවන හෙම්බිරිසාව වගේ නාසය , උගුර ආශ්‍රිත ප්‍රදාහ (Upper respiratory Tract infections) , විශේෂයෙන්ම දුවිලි , දුම වගේ දේවල වලට හුඟක් අසාත්මිකතා Allergies තිබෙන අය වඩාත් අවදානම් . විශේෂයෙන්ම සිගරට් දුම(තමන් බොන හෝ අනුන් බීලා එළියට දාපු දුමත් )  මේ තත්ත්වය උග්‍ර කරවන්නට පුළුවන් . ඒ වගේම තමන්ගේ පුද්ගලික පවිත්‍රතාව  , විශේෂයෙන්ම නිවැරදිව අත් සේදිම වැනි උපක්‍රම මඟින් මේ තත්ත්වයන් පැතිරිම අඩු කරගන්න පුළුවන් . (හරියට අත සෝදන්නේ මෙහෙමයි )

අනෙක් අවදානම තමයි අර යුස්ටේකියන් බටේ පිහිටීමේ වෙනස් වීම් , පොඩ්ඩන්ගේ නම් ඉතින් උපතින්ම තියෙන්නේ ටිකක් දික් සිරස්ව වගේ නිසා ලොකු අවදානමක් එයාලට තිබෙනවා . නමුත් වැඩිහිටියන්ගෙත් , මේ විදියට බටේ ඇද වීම් , ඉදිමීම් වගේ දෙවල් වගේම සෙම වගේ දේවල් හිරවෙලා , එහෙම නැත්නම් කිට්ටුව තියෙන වසා ගැටිති (කුද්දැටි) ඉදිමිලා , එහෙමත් නැත්නම් උපතින්ම ආපු විකෘතිතාවයක් නිසා  බටේ අවහිරතා ඇතිවීමත් මේ ලෙඩේ කැන්ද ගන්න හේතුවක් ..


පෝෂණය පැත්තෙන් බැලුවොත් මුල් මාස පහේ මවු කිරි බී දරුවන්ට OM ඇති වීමේ අවදානම අඩුයි කියල පර්යේෂකයෝ කියනවා . ( විශේෂයෙන්ම බෝතලෙන් බීමෙදි කිරි යුස්ටේකියන් බටේ ඇතුලට යාමේ හැකියාවක් තිබෙන නිසා ... බෝතල් කිරි බොන දරුවට කන් ආසාදන ඇතිවීමේ ඉඩ වැඩියි ) , මවගෙන් ලැබෙන ප්‍රතිශක්තියත් , පියයුරෙන් කිරි ගලා ඒමේ වේගය දරුවාට ගැලපෙන ප්‍රමාණයේ වීමත් මීට හේතු බව ඔවුන් සඳහන් කරනවා . ඒ වගේම විටමින් ඒ , සින්ක් සහ ලේ වල යකඩ අඩු වීමත් Upper respiratory Tract infections එක්ක මේ තත්ත්වය ඇති කිරීමට හේතුවක් බව ඔවුන්ගේ ප්‍රකාශන වල සඳහන් . ඒ නිසා හොඳ කොළ එළවළු එක්ක සමබල ආහාර වේලක් ගන්න එකත් වැදගත් වෙන්න පුළුවන් .



audiometry පරික්ෂණ කරන විදිය 

වැදගත්ම දේ ...මේ රෝග තත්ත්වයට ප්‍රතාකාර සමඟ ලැබෙන වෛද්‍ය උපදෙස් ඒ විදියටම පිළිපැදීම හරිම වැදගත් ..අදාල තත්ත්වට තුඩු දුන් සාධකයත් එක්ක වෙනස් උපදෙස් ලැබෙන්න පුළුවන් , මොකද මේ තතත්වය නැවත නැවත ඇති වීමේ අවදානම අඩු කරගන්නම ඕන . නැතිවුනොත් වැඩේ කරදරයි . 


ප්‍රතිකාරය ගැන කීවොත් , දී ඇති ඖෂධ නියමිත කාළය තුල , නිවැරදි විදියට පාවිච්චි කිරීම වගේම (එහෙම නොකළොත් වෙන දේ දැන ගන්න මෙතැනට යන්න , සායන වලට යොමු වෙමින් පසු අගැයුම් කර ගැනීමත් වැදගත් , සමහර විට වරින්වර ඔබේ ශ්‍රවණ හැකියාවන් හඳුනාගන්නට , Audiometry  වගේ පරික්ෂණත් එහිදි කරන්නට පුළුවන් .


එහෙම නම් අපේ වඩු පැට්ටගේ කතා වස්තුව නිමා කරන්නයි යන්නේ ....මෙතෙක් වෙලා සාවධානව හරි ...උඩින් පල්ලෙන් හරි කියවපු හමෝටම ස්තුතියි ...හැබැයි අර උඩින් පල්ලෙන් කියවපු අය , විවේක වෙලාවක ඇවිත් ආයෙත් හරියට කියවන්න ...නැත්නම් ඉතින් උඩින් පටන් ඇරන්න ජීවිතේම පල්ල යන්න පුළුවන් තරම් දරුණූ ලෙඩක් නිසා මෙය....


පැමිණි කියැවූ ඔබ සැමටම තුති , ඔබේ අදහස් එක් කරමින් මේ නිරාමිස සතුට  විඳන්නට දිරි ගන්නවන ඔබ බොහොම පින් ....ඒ වගේම මේ කරුණූ බෙදා හදා ගනිමින් ඒ නිරාමිස සතුට විඳන්නට ඔබත් එක්වන්න 


ආයේ දවසක එන්නම් තවත් ලෙඩක් දාන්නම .....


මේ වීඩියෝ ටිකත් පුළුවන් නම් බලන්න ..




Myringotomy කරලා කන් බෙරයේ සිදුරක් හදන හැටි බලන්න මෙතන ක්ලික් කරන්න ....


18 comments:

  1. අපූරු ලිපියක්!
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට ...පැමිණ දිරි ගැන්වූවාට

      Delete
  2. මමත් ශ්‍රව්‍යාබාධිතයෙක් ඒක වුනේ මෙහෙමයි

    ReplyDelete
    Replies
    1. අදයි ඔබේ ලිපි කියැවූයේ ...හරිම සංවේදී සිදුවිම් පෙළකට ඔබ මුහුණ දී තිබුණේ ..අපියි ඒ කාළේ මේවගේම නොවුනත් , ඊට ආසන්න අත්දැකීම් වලට මුහුණ දුන්න ..දේශපාලනය පැත්තෙන් ඒ කාළේ ප්‍රමාණවත් දැනුමක් තිබුනෙ නැතත් සිදුවන දේ අසාධාරණය අපිට හොඳින් දැනුන , ඒ වගේම අපිත් ඒ කාළේ විවිධාකර විඳිවිම් වලට ලක්වුනා .

      කේසේ වෙතත් , ඔබ ඒ අත්දැකීම් අපි අතර බෙදාගන්නට තරම් එක්තරා අතකින් වාසනාවන්ත වුනා ..ඒත් කොයිතරම් වටින තරුණ ජීවිත අකාළේ ගිනිදැල්වලට ගොදුරු වුනාද , ඒ සමය නම් අපේ ජීවිත වල කිසිදා අමතක නොවන අවාසනාවන්තම කාළ පරිච්ඡේදයක් ...

      ස්තුතියි ඔබේ පැමිණීමනම් සතුටක්

      Delete
  3. වෙනදාවගේම හැමදාටම හැමෝටම වැදගත්වෙන ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු ජෝන් ..ඔබේ අදහස මට දිරියක්

      Delete
  4. මම කුඩා කාලයේ කන පැසවීම සහ කනේ කැක්කුමෙන් අනන්ත අප්‍රමාන දුක වින්දා. රෑ එළිවනතුරු බිම පෙරළෙමින් කෑ ගසමින් වේදනාවෙන් වියරු වැටුනා. ඒ කාලයේදී (1950 - 60 දශක) අපේ අම්ම කලේ අත් බෙහෙත්. එක එක තෙල් වර්ග යන්තම් රත් කර කනට දැමීම වගේ දේවල්. නමුත් කවදාවත් හොඳවුනේ නැහැ. නොදැනුවත්කමින් තවන් හානියක් සිදුවුනා. ඒ මගේ කනේ සැරව පිරිසිදු කිරීමට අම්මා හයිඩ්‍රජන් පරොක්සයිඩ් භාවිත කිරීමයි. අදටත් මගේ කන ඇසීමේ සුළු අඩුවක් තයනවා. කන පැසවීම නම් 1990 දශකය වන තුරුම තිබුනා අවුරුද්දකට එක් වරක්වත්. සුදුසුකම්ලත් වයිද්ය වරුන්ගේ ප්‍රතිකාර නිසා සුවය ලැබුනා.

    ඔබේ මේ දැනුවත් කිරීම බොහෝ දෙනෙකුට මේ ගැන හොඳ අවබෝධයක් ලබාදෙනු ඇති. ඒ ගැන බොහොම පින්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබතුමන්ටත් බොහොම පින් , පැමිණ දිරිගන් වනවාට

      Delete
  5. හැමදාම වගේ වටින ලිපියක්.

    ReplyDelete
  6. ටිකක් පරක්කු උනේ ඉඩින් පල්ලෙන් බලන්න අකමැති නිසා . තව වෙනතුරුනම් කණේ අමාරුනම් හැදිල නෑ .
    …දැනුවත් කලාට ස්තූතියි . හැමදාමත් කියනව වගේ අනගි ලිපියක් .

    ReplyDelete
    Replies
    1. ඔබතුමියටත් බොහොම ස්තුතියි ,

      Delete
  7. පොඩ්ඩො අතර නම් මේ ලෙඩේ හරිම ජනප්‍රියයි..මටත් මතකයි මම ඉස්කෝලෙ යන කාලෙ හැමදාම හෙම්බිරිස්සාව..
    එපා වෙනවා..

    ලොකු අයටත් මේ ලෙඩේ හැදෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩි දරුවන් අතර තමයි මේ තත්ත්වය බහුලවම දකින්නට පුළුවන් .

      ස්තුතිය රූ ...

      Delete
  8. ගොඩක්ම වැදගත් ලිපියක්. බාහිර කණ ආසාදනය වීම ගැනත් යමක් ලියන්න බැරි වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉදිරි ලිපියකදි ඒ ගැනත් කතා කරන්නම් , ඔබේ පැමිණීම සතුටක් ..

      Delete
  9. වටින ලිපියක් අයිය. ඔයා මේ තරම් ඉවසිල්ලෙන්, මේ තරම් විස්තර ඇතුව මේ විදියට ලියන්නෙ කොහොමද කියලයි මම හැමදාම හිතන්නෙ. ඔයාගේ මේ ලිපි හැම එකක්ම හරවත්, ඒ නිසා මේ බ්ලොග් එකෙන් වෙන්නෙ ලොකු සේවයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නැගෙණිනි ..ඔබේ පැමිණිම වගේද ඔබේ අදහස් දැක්වීමත් මට සතුටක් , මට දිරියක් ...

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)