2012/08/19

114) හදවත රිද්දන හිත හිරිවට්ටන රෑ වැඩ මුරය

 වේගෙන් ආපු කාර් එක ගෙදර දොරකඩ ගාවට නැවැත්තුවේ ටයරයන් හඬවමන් ඒ එක්කම මතු වුන දුවිලි වලාව අස්සෙන් කවුදෝ දුව ගෙන එන බවක් ඉස්කොලෙ නෝනට පෙනුන . ඉස්කෝලෙ නෝන නැගිටල ඉස්තෝප්පුවේ ඉස්සරහට ආවේ මොකක්ද කළබලේ කියල දැන ගන්න වගේ .. ඉස්කෝලේ මහත්තය නම් අත පය දිග ඇරලා හාන්සි පුටුවේ නිදි ...



“ඉස්කෝලේ නෝන ! .... සුමිත් ඉන්නවද ? .....“ කළබලෙන් ආව රංජි පුතා ඇහැව්ව . , “ අනේ පුතේ ඊයෙ නයිට් ඩියුටි කරලා ඔන්න දැං නිදි , තවම උදේට කෑවෙවත් නැහැ ......ඇයි පුතේ කළබලෙන් වගේ ....“

“නෑ  ..අපේ යාළුවෙක් එක්සිඩන්ට් වෙලා දැන් හොස්පිටල් එකට ඇඩ්මිට් කළා ..මං එතන ඉඳල එන ගමන් , එතනට සුමිත් හිටියනං වටිනවා , මොකද එයා හොස්පිටල් එකේ ගොඩාක් අය අඳුනනවා , ...ඒකයි මං ආවේ ...මං කාමරේට ගියාට කමක්නෑ ..?“ 

ඉස්කෝලෙ නෝන උත්තර දෙන්නත් ඉස්සර වෙලා රංජි , සුමිත්ගේ කාමරේට රිංගලා ඉවරයි ..

විනාඩි දෙකක විතර කසුකුසුවකින් පස්සේ යාළුවො දෙන්න මෙන්න ගෙයින් එළියටත් බැහැලා ..

“අම්මේ මං හොස්පිටල් එකට යනවා , යාළුවෙක්ට කරදරයක්ලු ....“ සුමිත් අතින් කොන්ඩෙ හදන ගමන් කිව්වත් ඉස්කෝලෙ නෝන නෙවි උත්තරයක් දුන්නේ . 

කඹ දාල නවත්තන වයසක්යැ ...ඒත් මේ තරං නයිට් ෂිෆ්ට් එක කරන එක හොද නැති එකේ , ලැබුනු වෙලාවෙ වත් නිදාගන්න නොදීපු රංජිත් කොළුව ගැන ඉස්කෝලෙ නෝනට පොඩි තරහක් ඇති නොවුනාම නොවුනත් ....“ඒකත් මගෙන් ඉගෙන ගත් එකානේ “ ...කියල හිත හදාගන්න තරම් තෙත හිතක ඇයට තිබුණා ...

මෙයින් පටන් ගන්නා අද මගේ කතාව තවත් අපි නොදකින සහ සමහර විට දැනගත්තත් අපි නොසලකා හරින තවත් එක් අනතුරක් ගැන . ඒතමයි Circardian rhythm disorder කියන රෝග කාණ්ඩය ...

“මෙහෙම ලෙඩක් අපි අහල නැහැනේ ... ෂුවර් එකටම ඕක ලංකාවේ නැති එකක් වෙන්න ඕන ....ඒ නිසා මේක අපිට වැඩක් නැහැ ....“ ඔබට මෙහෙම හිතුන නම් ......ඒකත් වැරදි නැහැ ..මොකද මේ නම අපිට නුහුරුයි , නියුමෝනියාව , ඩයබිටික් කීවොත් ඉතින් නෑදෑයෝ වගේ දන්නවනේ ...ඒත් ඒ වගේම අනතුරක් කරන Circardian Rhythm Disorder ගැන තව ටිකක් කියවගෙන යත්දි ඔබත් පපුව නොඅල්ල ගත්තොත් තමයි පුදුමේ ..
ඒවගේම මේ රෝග කාණ්ඩයට නිසි සිංහල චවනයක් මගේ මතකෙට එන්නේ නැහැ , දන්න කෙනෙක් ඉන්නව නම් ඒක එකතු කරන්න අවස්ථාවක් තිබෙනවා . ඒත් නම කුමක් වුවත් , කරන දේ ගැන හොයන්න බාසාවේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ .. ඒ නිසා අපි දැන් තවත් දිග් ගැස්සේන කතා නැතිව  , හිත ගැස්සෙන කතාවට අඩිය තියමු ..

මේ අරුම පුදුම ඒ වගේම අපිත් එක්කම ඉන්න ඉඩ ඇති මේ ලෙඩේ ගැන කතා කරන්න ඉස්සර වෙලා මේ නමේ මුල් කෑල්ල ගැන කතා කරල ඉමු . එතාකොට අපිට පුළුවන් මේ ලෙඩේ කොයිතරම් අපිට ලැදි ද කියල හිතා ගන්න. ඒ වගේම දැනටමත් අපි අනතුර ගාගෙනද කියලත් හිතෙන්න පුළුවන් . 

Circardian rhythm , මේ මොකක්ද ? ....අපි දන්නවනේ අපිට දවසේ යම් පිළිවෙලක් , රටාවක් ඇඟට දැනෙන බව . උදේ එළිය වැටුනම වත් ඇහැරෙන්න , දවසේ වැඩ පටන් ගන්න , දවල් වෙත්ද කෑම එක ගැන හිතන්න ...ඔය අතරේ “පොඩි බඩගිණි“ දැනෙන්න ...රෑවෙන කොට නිදි මත එන්න ..ඔය වගේ අපිට නොතේරුණු යම් රටාවක් අපේ ඇඟේ තිබෙනවා . හිතල බලන්න , ඔරලෝසුව නැතත් අපිට පුළුවන් දවල් දොළහමාර එක විතර වෙලා ඇති කියල ඇඟට දැනෛන හැටියෙන් කියන්න , දැන් රෑ දහය විතර ඇති කියල කියන්න පුළුවන් ඇඟට ඔරලෝසුව නොබල වුනත් .....ඒ කියන්නේ ඇඟට දැනෙන යම් වෙලාවක් තිබෙනවා ...රටාවක් තිබෙනවා .අන්න ඒ රටාව තමයි අපි දැන් Circardian rhythm කියල කියන්නේ ....අපි ඒකට සිංහලෙන් ජෛව ඔරලෝසුව කියලත් ඉංගිරිසියෙන් Biological clock කියලත් කියනවා. එයා තමයි අපේ මේ අගට දැනෙන රටාව පාළනය කරන්නෙත් . ඇත්තටම කීවොත් මොළයේ හයිපොතැලමස් කියල කොටසේ ඉන්න suprachiasmatic nucleus කෙටියෙන් කියන්නේ S.C.N කියන ස්නායුමය ඒකකයෙන් තමයි මේ ජෛව ඔරලෝසුවත් , ඒ ඔස්සේ අපි මේ කතා කරන Circardian Rhythm එකත් පවත්වා ගෙන යන්නේ ....

එතකොට මේක ලෙඩක් වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නේ දැන් ඔබට ඒවි ..හරිම සරළයි ...මේ ජෛව රිද්මය බිදෙන යම් සිදුවීමක් වේද , එතැනට මේ ලෙඩේ නම ඈදන්න පුළුවන් . කෙටියෙන් මෙහෙම කියමු , අපිට රෑ දහය විතර වෙත්දි නිදිමත එනවා ...ඔව් ඔව් ...මේ ඔයා ගැන නෙවි කියන්නේ ...අපි දන්නව ඔයා නම් අට වෙනකොටම නිදි කියලා .......ඔව් රෑ දහය වෙත්දි මේ දැනෙන නිදි මතේ දි අපි සාමාන්‍යෙයන් මොකද කරන්නේ ...වෙන මොනවද ...නින්දට යනව මිසක ! .... හිතන්නකෝ මේ නිදිමත අපිට දැනුන වෙලාවේ ...වෙන වැඩක් කරමින් හිටියා කියල ...දැන් හිටගෙන නිදි ! ..නැත්නම් වැඩේ කර කර නිදි ...ඔය මළ ගෙවල් වල රෑ ගත කරපු , සර්වරාත්‍රික පිරිත් පිංකම් වලට සහභාගි වෙච්ච , ඒත් පිරිත් අහගෙන ඉඳිත්දිම නින්ද ගිය අයත මේක කියවනවා ඇතිනේ ...ඔව් ඒ දැනෙන නිදි මතට අපි අනුගත නොවුනොත් ..කොහොම හරි නිදිවරාගෙන රෑ ගත කළොත් කොහොමද උදේට දැනෙන “සනීපේ“ .....දැන් ඉතින් වැටිනු ගමන් නින්දයාවි ...එක දිගට පැය දහක් වුනත් ...උදේ පාන්දර වැඩට යන්නත් තිබුණ නම් බස් එකේ “පොල්ලේ එල්ලිලා වවුල් නින්දෙන්ම වැඩටත් යාවි ..“ ....ඒත් මේ දවසේ අපිට දැනෙනවා ඇඟට වෙහෙසක් , ඇඟ පත රිදෙනවා වගේ ... මෙන්න මේ Circardian rhythm disorder ගේ එක් අවස්ථාවක් ....

ඉතින් මේ Circardian rhythm disorder එක ඇති වෙන්න වැඩියෙන්ම අවදානම් මොනවගේ අයද ? ...ඔව් රෑට නිදි වරණ අය ඉන් ප්‍රමුඛයි ....විශේෂයෙන්ම රාත්‍රී සේවා මුර වල යෙදෙන අය night shifts , ඒ වගේම සමහර ඖෂධ ගන්නා අය , සමහර විට ගර්භනී හෝ කාලීන රෝග තත්ත්වයකින් පෙළෙන කෙනෙකුත් යම් කාළයකට මේ රෝග කාණ්ඩයට ගොදුරු වෙන්න පුළුවන් . නමුත් මෙයින් වැදගත්ම පාර්ශවය , නැත්නම් වැඩිම අවදානමක් ගන්නේ රාත්‍රී සේවා මුර වල වැඩි පුර යෙදෙන සේවකයින් . මේ අයට බලපාන රෝග තත්ත්වය Shift work sleep disorder කියල නම් කරන්නට තරම් මෙය ගැටළුවක් බව අපි හිතන්නටත් නැතිව ඇති . ඔව් ඊට අමතරව සාමාන්‍ය වෙලාවට නින්ද නොයන , ඒ වගේම සාමාන්‍ය පිබිදෙන වෙලාවටත් තද නින්දේ රැඳෙන අයත් අයිති වෙන්නේ (ඒ ලෙඩ වල නම් නිකමට කියන්නම් , හැබැයි මේ ටික කියවල කලන්නේ දාන්න එපා .. නිදා ගත්තට නම් කමක් නෑ...Advance sleep phase syndrome , Delayed sleep phase syndrome ) , ඔය ගුවන් ගමන් වල එහෙම යෙදුනු අයට මතක ඇති පැය හතරක පහක පොඩි ගමනක් යෙදුනා වුනත් , ගමනෙන් පස්සේ අසාමාන්‍ය මහන්සියක් දැනෙනවා , ගෙනා බෑග් ටික එහෙට මෙහෙට දාල දවසක් විතර සැපට හොඳට නිදා ගත්තු අය මේක කියවනව ඇති . අපි ඒ තත්ත්වය නම් කරන්නේ Rapid time zone change syndrome කියල ඕක නොදන්නවට ජෙට් ලැග් එක් කිව්වොත් කව්රුත් දන්නව ...

ඕන්න ඉතින් මේකේ පුරාණේ විස්තර කළා ..එහෙම නම් දැන් අපි එමුකෝ හොඳ හොඳ සෙල්ලං බලන්න ...එළීවෙන ජාමෙටලුනේ හොඳහොඳ සෙල්ලං .....

වසර ගණානවක් පුරා කළ එක්තරා පර්යේෂණයක ප්‍රතිපල පහුගිය ජුනි මාසේ විතර එළි දැක්වුනා . එහි මෙන්න මෙහෙම කියැවෙනවා . “Shift work is associated with vascular events, which may have implications for public policy and occupational medicine.“ මොකක්ද මේ vascular events කියල කියන්නේ , මේ පර්යේෂකයින් කියන විදියටම කීවොත් රුධිර වාහිනි ආශ්‍රිත ආබාධ , රෝග , අනතුරු තමයි ඒ ..ඒ කිව්වේ    ලේ නහර දුර්වල වෙලා හෘදයාබාධ සහ මරණීය විය හැකි හෘද අකරණිය වීම්  , ඒ වගේම අපි හාර්ට් ඇටෑක් කියල නම් කරන මයෝකාර්ඩියල් ඉන්ෆාක්ෂන් කියන තත්ත්වය  , මොළයට බලපෑම් ඇත කරමින් අංශභාගය  වැනි අවාසනාවන්ත තත්ත්ව ඇති කරන්නට මේ ජෛව ඔරලෝසුවේ රටාව බිඳ වැටීම Circardian rhythm disorder හේතු වන ඔබ ඔවුන් සොයාගෙන තිබෙනවා .


ඊට අමතරව අසාමාන්‍ය ලෙස අධීකව නින්දයාම , සමාජ සබඳතා බිඳ වැටීම වගේම මානසික අවපීඩනය depression වැනි තත්ත්වත් මේ රටාවේ අක්‍රමවත් වීම නිසා ඇති වන්නට පුළුවන් . ඒ වගේම දියවැඩියාව , ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා අවදානම වැඩි කරන්නටත් මේ Circardian Rhythm disorder හෙවත් ජෛව රටාව බිඳ වැටීම හේතු වන්නට පුළුවන් බව පර්යේෂකයන් අනතුරු හඟවනවා .

දැන් ඉතින් මොකදෑ කරන්නේ “ ....නයිට් ෂිෆ්ට් කරන්න නම් බෑ බෑ බෑ ......“ කළබල කරන්න නම් එපා ..මොනව කරන්නද සමහර විට ඒක අපේ රැකියාවේ කොටසක් වෙන්න ඇති , නැත්නම් කළ යුතුම නිදි වැරුමක් වෙන්න ඇති , මේ පෝස්ට් එක් කියවූ පමණින් නයිට් ෂිෆ්ට් තියෙන රස්සාවෙන් අස්වෙන්න හදන්න එපා ....කළ යුතු දේ කුමක් දැයි තේරුම් ගන්න ...යම් හේතුවක් නිසා ඔබත් ඔබේ සාමාන්‍ය ජෛව රටාවට කන්නට බොන්නට නිදා ගන්නට අවස්ථාව් නොලැබෙන කෙනෙක් නම් ඔබට යම් අවදානමක් එනම් , හෘදයාබාධ , දියවැඩියාව , රුධිර වාහිනිමය රෝග සඳහා අවදානමක් තිබෙන බව හඳුනාගන්න ...ඒ නිසා අදාල ලෙඩ රෝග වලට සාධක වෙන වෙනත් පුරුදු , චර්යාවන් ඇත්නම් ඉන් ඉවත් වන්න . මොකද දැන්ටමත් රස්සාව නිසා අවදානමක් අරන් තියෙන එකේ අයින් කරන්න පුළුවන් අවදානම් ඉවත් කිරීමයි නුවණට හුරු ..

ඒ වගේම ඔබ කරන රැකියාව නිසා ඔබේ ජෛව ඔරලෝසුව , නැත්නම් සාමාන්‍ය ජීවන රිද්මය බිඳ වැටෙනවා නම් අනෙක් කටයුතු ඊට ගැලපෙන පරිසි සකසා ගන්නට උත්සාහ ගන්න ...නයිට් ෂිෆ්ට් එක කරල ගෙදර ආවම කෝපි එකක් බිලා නින්ද එළවල දාල දවල් වරුවෙත් වැඩ කරනවාට වඩා හොද ...සේවා මුරයෙන් පස්සේ නියමිත් වෙලාවක් සුව පහසුවෙන් එක දිගට නිදා ගන්න එක , පොඩි පොඩි නින්දවල් නොදා (NO naps) , ඒ වගේම මේ ජීව රිද්මය බිදෙන සේවා මුර වල දිගුකාළීනව එක දිගට නැතිව වරින් වර සාමාන්‍ය සේවා මුර වලටත් මාරු වෙන්න බලන්න ...

මේ එක්කම ඔබේ පෝෂණ මට්ටම වගේම ව්‍යයාම , සමාජ සම්බන්දතා . මානසික විවේකය වැනි සාධක වෙතත් ඔබේ අවදානය යොමු වෙන්නට ඕන , ඒ සියල්ල සමබර කරගන්න පුළුවන් වුනොත් night shift එකකින් දෙකකින් වෙන හානිය අවම කරගන්නට පුළුවන්. 

කෙසේ වෙතත් .............ඔබ රැකියාව හෝ යම් සාධකයක් නිසා සාමාන්‍ය නිදි රටාව බිඳ වැටුන කෙනෙක් නම් , එ කිව්වේ , රෑට හරියට නිදා ගන්න නොලැබි , දවල්ට සැරින් සැරේ නින්ද යන නිදා ගන්න . , දවසම “බෙරි වෙලා“ ගිය ගතියක් දැනෙනවා නම් , පොඩ්ඩක් හොයල බලන්න හේතුව මොකක්ද කියල ....පුළුවන් නම් ඒකට ගැලපෙන වෙනසක් කරගන්න ...ඒත් ඔබට කරදරයක් වන තරමටම මේ නින්දයාමේ රටාව , දවසේ ජෛ රිද්මය වෙනස් වෙලා වගේ දැනෙනවා නම් ....වඩාත් සුදුසුයි ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා මේ ගැන කතා කරන එක . එවිට ඔබ ඔහුගෙන් ප්‍රතිකාර ගත යුතු මට්ටමේ නම් ඖෂධීය ප්‍රතිකාර වගේම ඔබේ චර්යාව තුල විය යුතු වෙනස්කම් ගැනත් කතා කරාවි . අවශ්‍ය නම් ඔබට ඊට වඩා වැඩි දුර ප්‍රතිකාර සඳහා යොමු කරන්නටත් ඉඩ තිබෙනවා . එවිට Melatonin වැනි ඖෂධීය ප්‍රතිකාරත් , Relaxation therapy . Bright light therapy වැනි චිකිත්සීය ක්‍රමත් යොදාගන්නට පුළුවන් . 

කොහොම හරි ඔබ මේ අවදානම ගැන දැන ගත්තනේ ..දැන් ඉතිං පරිස්සම වැඩ ටික කරගෙන යන එකයි ඇත්තේ ...ඕං ආයෙ කිව්වා , හෙට උදේම ගිහින් ලොක්කත් එක්ක කෑගහගන්නව එහෙම නෙවි “නයිට් ෂිෆ්ට් එපෝ “ කියලා .......

අනේ මන්ද මං හිත කළබල කළාද මන්ද ....ඒත් ඉතින් මේව්ව නොකියත් බැහැනේ .....කෝකටත් ආයෙත් මේක කියවල බලලම ටිකක් නිදාගන්නකෝ ....

නිදාගන්න ඉස්සර වෙලා Australian Broadcasting Corporation එකේ මේ නිවුස් එකත් බලලම යන්නකෝ ..



සුව සතුට පිරි දිනයක් ...

22 comments:

  1. හිතුවට වැඩිය කතාව බරපතලයි වගේ..බලාගෙන ගිහාම ෂිෆ්ට් කරන එකත් ලේසි නෑනේ..
    කොහොම වුනත් අර කිරා බුදිද බං සින්දුව මතක් වුනා..:)

    ඔබගේ මහන්සියට ගොඩක් ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අපි නොහිතන , ඒත් නරක විපාක දෙන තවත් එක් අනතුරක් තමයි මේ . ස්තුතියි ඔබේ පැමිණීමට

      Delete
  2. මටනම් හරිම අමාරු වැඩක් මේ නිදි මරන එකනම් . නිදි මැරුවොත් අනිවාර්යෙන් පසුදා හොදට නිදා ගන්නවා .

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි නිදි වරණ එක කයට වගේම මනසටත් හොඳ මදි ..ස්තුතියි ගිම්හානි

      Delete
  3. මගේ මාමා කෙනෙක් ඉන්නවා සිකුරිටි වැඩ කරන එයා නයිට් කරන්නේ.මේ ලිපිය මිනිහට පෙන්වන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔව් ලිපිය පෙන්වන්න ..හැබැයි ඉතින් රස්සාවට යන්නේම නෑ කියයිද දන්නෙත් නෑ :)

      Delete
  4. මේ නිසා ඇතිවන රෝග අවදානම් ගැන නම් දැනගත්තෙ අද.. :) වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලයාන් ඔබටත් ...

      Delete
  5. හෆොයි... මම ඊයෙ උදේ 10.30 ඉඳන් අද දවල් 12 වෙනකම් දීර්ඝ shift එකක් කරලයි ඉන්නෙ. ඒත් තාම නිදා ගන්න ගියේ නෑ.. දැන් ඉතින් ඉස්සරහට E.U එකේ shift duty වැටෙනකොට Shift work sleep disorder එක මටත් ඒවිද දන්නේ නෑ..
    වැඩිය කථා නොකෙරෙන මාතෘකාවක් ගැන ලියපු වටිනා ලිපියක්...!!

    ReplyDelete
    Replies
    1. රෝහල් සේවාවේ ඉන්න අපි බොහොමයක් මුහුණ දෙන අනතුරක් නිසා , කරන්න උත්සාහ කරමු වෙන අනතුරෙන් තරමකට හෝ ගැලවෙන්න ..
      ස්තුතියි ඔබටත් ...

      Delete
  6. ආයෙත් නම් රෑට නිදිමරන්නේ නැහැ නැහැමයි.මට මේ ලිපිය ගොඩක් වැදගත් උනා.බොහොමත්ම ස්තුතියි සහෝ ඔබට!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට යම් ප්‍රයෝජනයක් වුනා නම් එය සතුටක් ...

      Delete
  7. මේ ලිපියනම් ඉතාමත්ම වැදගත් මොකද මගේ ජීවන චර්යාවට අදාල වන නිසා. පුරුද්දට වාගෙ හැමදාම නින්දට යන්නේ මැදියම ආසන්නයේ. ඒ නිදි වැරීම අගුණයි කියල අදයි දැනගත්තේ

    ReplyDelete
    Replies
    1. ඔව් අපි හුඟක් අයගේ පුරුද්දක් ඒක , ඒත් නිසි විවේකයවත් ලබා ගන්නට උත්සාහ කරනවා නම් විය හැකි අනතුර යම් තරමකින් වලක්වා ගන්නට පුළුවන් වේවි .
      ස්තුතියි

      Delete
  8. අපෙත් යාලුවෙක් ඉන්නවා ඌට ගාමන්ට් එකේ තියෙන්නේ රෑ වැඩමයි. ගෙදර ඇවිත් මරලා දැම්මා වගේ නිදි. ආයි හවසට වැඩට යනවා. අනික ඌ දැක්කාමත් පේන්නේ කුඩුකාරයෙක් වගේ. හැම තිස්සේම අසනීපත් වෙනවා. පහුගිය සැරේක ඌට ඩෙංගුත් හැදිලා හරි අමාරුවෙන් ගොඩ ආවේ...

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිණීම සතුටක් ...මේ අනතුර ගැන වගේම පරිස්සම් වෙන්න ඕන විදිය ගැනත් යාළුවා දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි නේද ? :)

      Delete
    2. @ මහේෂ් නිශාන්ත

      අපි ම්නිහට හොඳින් වගේම නරකිනුත් කියලා තියෙන්නේ. ඒත් අහන්නේ නැති එකයි අවුල :(

      Delete
  9. රැයක් නිදිමැරුවොත් මට නං දවසක් හිතේ හැටියට නිදාගන්න ඕනි. නින්දෙ අවශ්‍යතාව ගොඩක්ම දැනෙන්නෙ පරිගණකයක් ඉස්සරහ රැයක් නිදිමරන්න උනාම.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ පැමිනිම සතුටක් ...

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ගොඩක් හොද බොලොග් එකක් අයියා අද තමයි මම දැක්කේ බොහොම ස්තුතී අයියා මේ උපදෙස් වලට
    දිගටම කරගෙන යමු
    බුදුසරනයි...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිරි ගැන්වීමට ...

      Delete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)