2012/07/09

109) හිත රිදවන , ගත නොරිදන ,කළුවර දෙන “සුදූ“

“තාත්තේ අපි ඩයිව් කරමුද බලන්න , ...චූටි ඔයා ඔය ලයින් එකෙන් එහාට යන්න , තාත්තියි මායි ඩයිව් කරන්න හදන්නේ ....! “ ....ලොකුගේ හදිස්සියක් “කෙල්සෝ විලේ“  පතුල බලන්නට , පොඩ්ඩිව යාළුවො කට්ටියත් එක්ක වැල්ලෙන් ඉන්නවල , ආයෙත් ආව ලොකුත් එක්ක කිමිදිලා වැව් පතුල බලන්න ....“හරි ..එකායි දෙකායි ...තුනායි ...“ 
වෙනද පුරුද්දටම මාත් පැනල ටිකක් කිමිදුනා ...මොන ! “ ...


“අපෝ තාත්තේ , මුකුත් පේන්නේ නැහැනේ ...කළුවරයි , මඩ වෙලා වගේ නේද ? ....“ 

ඔව් අද ලොකු සෙනඟක් නාන , විනෝද වෙන මේ කෙල්සෝ වෙරළ තීරය( මේ වැවක් වුනත් , නම් කරන්නේ නම් Kelso beach කියන නමින්) ගිණිගහන අව්වෙන් පිච්චුනත් , වතුර ඇතුලෙ නම් ...මහා කළුවරක් විතරයි ...යාන්තමට බොඳ වෙච්ච රූපයක් වගේ ලොකුව නම් පේනවා , වෙන කිසි දෙයක් , මෙච්චර කට්ට අව්වක් තිබුලා වැවේ පතුල වත් නොපෙනෙන තරමේ අඳුරු පැහැයක් වතුරෙ තිබුණෙ , උඩට ඇවිත් හුස්මක් ගත්ත මට මතක් වුනේ ගාල්ලෙදි හික්කඩුවෙදි මුහුදෙ නාපු හැටි , නිල් කැටේට වතුර තියෙන ඒ හරියේ කිමිදුනා කියල වෙනසකට තියෙන්නේ හුස්ම ගන්න වෙනසයි , පීනන වෙනසයි විතරයි , මොකද පතුලට කිමිදුනා කියල දකින්න තියෙන දර්ශණ වල අලංකාරය නම් කියලා නිම කරන්න බැහැ , ලස්සන මාළු , කොරල් , ඒ විතරද එක එක වර්ගයේ පාසි වර්ග මුහුදු පතුට ගෙනාවේ පුදුම අලංකාරයක් , ඒත් ඒ “වාසනාව“ නම් මෙහෙදි ලැබෙන එකක් නැහැ වගේ , මොකද දැන් ඉන්න හරියේ ඉඳලා මුහුදකට යන්න කිලෝමීටර් දාහක් විතර යන්න වෙනවා , ඒ කීවේ මුහදේ නාන්න නම් පැය එකොළහක් විතර හයිවේ එකේ යන්න වෙනවා , දැනට හීනයක් වෙච්ච “මුහුදු වතුර“ හිතේ තියාගෙන , එද දවසම හිල්ටන් ඇල්ල පැත්තෙයි හෝල්ටන් කැලෙයි ඇවිදල ගෙදර ආව
 , 

මේ වගේ දේවල් එක්කම , පොඩ්ඩන්ගේ නිවාඩුවත් එක්ක මේ දවස් ටික වෙනදාට වඩා කාර්ය බහුල වුනා , ඒ නිසාම සොඳුරු සුව අසපුව හැමෝටම විවෘත කරල තිබුණත් අළුතින් යමක් එක් කරන්නට වෙලාවක් ලැබුණෙ නැති තරම් , ඒත් ලද සුළු මොහොත අළුත් ලිපියකට යොදා ගන්නට අදනම් ඉඩක් ලැබුණා , අද ලිපියට මුල් පද සොයාදුන්නේ අර කිමිදිල්ලෙන් , ඒ කිව්වේ , අපිට වතුර ඇතුලෙදි යාන්තමට බොඳ වෙලා වගේ පෙනුනේ වතුරෙ තිබුණු කැළඹුණ ගතිය නිසානේ , ඒත් සාමාන්‍ය ගොඩබිමේදිත් එහෙම වෙන්න පුළුවන් පිරිසක් ඉන්නවා , ඒ කිව්වේ , කොච්චර හොඳට එළිය තිබුණත් , බොඳු වුනු , අපැහැදිලිව ලොව දකින පිරිසක් , තේරුණෙ නැත්ද මන්දා , මේ කියන්නේ එක්තරා ලෙඩක් ගැන , ඒ ලෙඩේදි පෙනීම දුර්වල වෙනවා , .....මොකක් ගැනද මේ කියන්නේ ....! “

ඔව් ඔබ හිතුව හරි , ඇසේ සුද ගැන තමයි අද අපේ කතාව ,
එහෙම නම් අපි කැටරැක්ට්  , cataract ගැන කතාව පටන් ගන්නට මුලින්ම හැමදාමත් වගේ ලෙඩේට අදාල කොටස් ගැන ටිකක් කතා කරල ඉදිමු.

 අපි දන්නවනේ ඇහැ වැඩ කරන්නේ කැමරාවක් වගේ , ඒ කිව්වේ කැමරාවේ aperture වගේ ක්‍රියාත්මක වන ඇහේ Pupil එක ඇතුලෙන් ගමන් කරන ආලෝක කිරණ , ඊට ඇතුලින් තියෙන Lens එකෙන් ගිහින් ඒ කිරණ හැරලා ආපු දේ රූපයක් ,    , ප්‍රතිබිම්භයක් වගේ  Retinaව කියන තිරය මත වැටෙනවා , දැන් මොකද වෙන්නේ , රෙටිනාවේ තියෙන ස්නායු සෛල තන්ගේ ඇඟට වැටුනු “රූපේ“ ගැන පණිවිඩයක් මොළයට යවනවා , දැන් මොළය ඒ ඒ කිරණ වල වර්ණ , කම්පනය ආදිය හඳුනගෙන , ඒ එක්කම පරණ මතකයන් එහෙමත් අවුස්සල කියනවා “මේ දැක්කේ ......“  මොකක්ද කියන එක ..ඔය විදියට තමයි අපිට යමක් පේන්නේ..ඒ කියන්නේ අපිට යමක් පේන්න නම් , ඒ පේන දේ ඉඳළ ඇහට ආලෝක කිරණ එන්න ඕන , ඊට පස්සේ ඒ කිරණ ඇහැ මැදින් ගිහින් කාචය මඟින් හැඩ ගැහිලා පිළිබිඹුවක් image විදියට රෙටිනාවට වැටෙන්න ඕන  ,එයින් පස්සේ ඒ image එක ගැන පණිවිඩයක් මොළයට යන්නට ඕන , අන්තිමට මොළය මේ එන පණිවිඩය විග්‍රහ කරල තමයි දැක්කේ මොකක්ද කියල අපිට “පෙන්වන්නේ“ ....ලොකු කතාවක් , ඒත් එක දෙයක් කියන්න පුළුවන් සාරාංශයක් විදියට , අපිට යමක් පැහැදිලිව පේන්න නම් පියවර කිහිපයක pathway එකක් තියෙන්නේ , ඉන් එකක හරි වෙනසක් ගැටළුවක් ආවොත් “පෙනීම“ කියන සම්පුර්ණ ක්‍රියාවම දුර්වල වෙනවා . 

Comparison of clear and cataract lenses
උඩ ඉන්නේ සාමාන්‍ය ලෙන්ස් එකක්
යටින් ඉන්නේ කැටරැක්ට් නිසා අඳුරු වුනු එකක්
මේකේ කොටසක් කපල තියෙන්නේ ඇතුලේ තතත්වෙත් තේරුම් ගන්න
අපි මේ කතා කරන කැටරැක්ට වලදිත් වෙන්නේ , ඇහැ ඇතුලෙ තියෙන කාචයේ “විනිවිද යාමේ හැකියාව“ අඩුවෙන එක . තව විදියකින් කිව්වොත් , මේ ලෙඩේදි ඇහේ කාචේ ඇතුළෙ වළාකුළු වගේ , නැත්නම් දුමක් වගේ පිරෙනවා , ඒකට හේතුවනම් කාචයේ ඇතුලේ තියෙන ප්‍රෝටීන වල වෙනසක් . කොහොම හරි කාචය ඇතුලෙ දුමක් වගේ පිරුණම අර අපි කීව ආලෝක කිරණ වලට , කාචය හරහා නිදහසේ යන්න බැහැ , ඉතින් ප්‍රතිපලේ තමයි රෙටිනාව මතට අපැහැදිලි පිංතූරයක් ලැබීම ...දැන් මොකද වෙන්නේ , “හරියට පේන්නේ නැහැ , බොඳවෙලා වගේ ....“ ඔන්න දැන් ඉතින් ඇහේ සුද කියන තතත්වෙට ඇවිත් .

බොඳ වීම 
දැන් ඉතින් මේ ජාතක කතාව නෙවිනේ ලෙඩා කියන්නේ , ඇත්තටම කැටරැක්ට් ඇතිවුනු කෙනෙක්  කොහොමද මුලින්ම දැන් ගන්නේ තමන්ට ඇහේ සුද මතුවෙනව කියන එක , මුලින්ම කියන හොඳ සාක්ෂියක් තමයි බොඳ වෙලා පේනව කියන එක , ඒක සමහර විට ඔක්කොම බොඳ වෙලා වගේ  නැත්නම් කළුවර වෙලා වගේ කියන්නත් පුළුවන් , නැත්නම් පත්තරේ සමහර තැන් බොඳ වෙලා කියවන්න බැහැ කියල කියන්නත් පුළුවන් , මේක ඇහැ ඇතුලේ සුද මතුවීම පටන් ගත් තැනත් එක්ක වෙනස් වෙන්න පුළුවන් , සාමාන්‍යෙයන් වයස්ගත විමත් එක්ක ඇති වන ඇහේ සුදේදි නම් ඔක්කොම බොඳ වෙලා වගේ කියන එක තමයි පොදු , 
මෙහෙම පේන්නත් පුළුවන්
ඒත් දියවැඩියාව කාළයක් තිස්සේ තිබිම නිසා ( විශේෂයෙන්ම පාළනයක් නැතිව ) ඇති වන ඇසේ සුදේ දි නම් මේ බොඳ විම ටිකෙන් ටික තමයි හඳුනගන්න පුළුවන් , මේ අය කියන්න පුළුවන් ඇහේ මොකක් හරි පැටලැවිලා වගේ කියල , මොකද ඒ අවස්ථාවේ සුද ඇතිවීම කාචයේ වෙනත් පැත්තක ඉඳල වෙන්න පුළුවන් , මේ අයට රාත්‍රියට එහෙම නැත්නම් සවස් කාළයට අඳුරු වීමත් එක්ක පේන්නෙම නැති තරම් , නැත්නම් යාන්තමට එළියක් විතරක් පේන්න පුළුවන් . වැඩේ කියන්නේ මෙච්චර දෙයක් වුනත් පොඩ්ඩක්වත් ඇහැ රිදෙන්නේ නැහැ , ඒනිසාම “ගනන් නොගෙන ඉන්නත් හිතෙනවා .“

ඒ එක්කම කියන්න ඕන , මේ සුද එන්න වයසට යන්නම ඕන නැහැ , ඇහැට වුනු අනතුරක් , තුවාලයක් නිසාත් ඇහේ සුද මතුවෙන්න පුළුවන් , ඒ විතරක් නොවෙයි , අපි මීට පෙර “නයන නිවන තිත් කොමාව“ ලිපියෙදි කතා කළා වගේ Glaucoma නිසාත් ඇසේ සුද ඇති කරවනවා , තවත් දෙයක් ඇසට අහිතකර විකිරණ වැදුනත් ඒකත් හේතුවක් , දැඩි හිරු රැසේ තියෙන අහිතකර UV කිරණ පවා මීට හේතු වෙන්න පුළුවන් , ඒ නිසා “ඇස් දෙක උස්සන උඩු කිරණේ) ලිපියෙදි කතා කළා වගේ ඒ අවස්ථාවලදි ඇහේ ආරක්ෂාව ගැනත් හිතන එක හොඳයි . 
ඒ විතරක් නොවෙයි සමහර විට අළුත උපදින දරුවගේ ඇහේත් සුද මතුවෙලා congenital cataract තියෙන්න පුළුවන් , 

සුදු බබාටත් ඇහේ සුද 
දැන් ඉතින් රෝග ලක්ෂණේ දැන ගත්තනේ , මේ ලක්ෂණ තිබේනවා නම් වැඩිය පරක්කු නොකර අක්ෂී වෛද්‍යවරයෙක් හමුවෙලා ඇස් පරික්ෂා කරගන්න එක තමයි හොඳම , මොකද සමහර කැටරැක්ට් වර්ග වලදි මාසයක් වගේ සුළු කාළයද සම්පුර්ණ පෙනීමම නැති වෙලා යන්න පුළුවන්  , එය ලොකු අනතුරක් . ඒ නිසා මේ අවස්ථාවේ ප්‍රමාද නොවීම වැදගත් . එතැනදි ඔබේ අක්ෂි වෛද්‍යවරයා , ටිකක් ඈතින් තියපු අකුරු තියෙන පෝස්ටරයක් Snellen chart පේන්වල ඒකේ තියෙන අකුරු , නැත්නම් ඉලක්කම් කියවන්න කියාවි , ඒ කිසිවක් පේන්නේ නැත්නම් , ඔහු තමන්ගේ අත ඔබේ ඇස් ඉදිරියෙන් එහා මෙහා චලනය කරලා ඒ ගැන ඔබට පේනවද කියන එක තහවුරු කරගන්නවා ,
ඇහැ කියවන චාර්ට් එක 
 ඊට පස්සේ ඇසට බෙහෙත් බින්දු කිහිපයක් දාල ටික වෙලාවක් ඉන්න කියල , යම් උපකරනයක් මඟින් ඇසේ ඇතුලේ තත්ත්වය ගැන පරික්ෂා කරනව , බය වෙන්න එපා මේක ලොකු වේදනාවක් එන පරික්ෂනයක් නෙවි , ඒත් ඇහේ දෙයක් නිසා තත්තපර කිහිපයක පොඩි අපහසුතාවයක් වේවි , නමුත් ඒ අවසානයේ ඔබේ ඇහේ සුද මතුවෙලාද , ශල්‍යකරමයක් කරන්න ඕනද කියන තොරතුරු වෛද්‍යවරයා ඔබට පවසනවා . දැන් තීරණය කරන්න පුළුවන් ඇසේ ශල්‍යකර්මය කරගෙන නැවත පෙනීම ගන්නවාද , නැත්නම් ඔය විදියටම ගිහින් නොපෙනීයාම දක්වාම ඔන්න ඔහේ ඉන්නවාද කියන එක. 

මේ ඇසේ සුද සඳහා කරන ශල්‍යකරමය නම් රජයේ රෝහල් වල බොහොම සුලභව සිදුවන operation එකක් , බොහොම වෙලාවට එක දවසෙන්ම කරගෙන ගෙදර යන්නත් පුළුවන් . හැබැයි සති කිහිපයක් දෙන උපදෙස් වලට අනුකූලව ඉන්න වෙනවා . මොකද එහෙම නැති වුනොත් නැති කරදර ඇති කරගත්ත වෙන්නත් පුළුවන් . මේ ශල්‍ය කර්මයේදි , අර මීදුම වගේ එක්වෙච්ච සාමාන්‍ය ඇස් කාචයේ කොටස් ඉවත් කරල , ඒ වෙනුවට ප්ලාස්ටික් වලින් තනපු කෘතිම කාචයක් එතැන රඳවනවා , සමහර විට ඔබට මේ කාචය මුදල් දී පෞද්ගලික ආයතනයකින් මිලට ගන්නට වේවි , කොහොම වුනත් සියයට අනූවකට වඩා පිරිසකට මේ ප්‍රතිකාරයෙන් සම්පුර්ණ සුවය ලැබෙනවා  ,  ඒ කියන්නේ ආයෙත් ලෝකය බලන්න පුළුවන් වෙනවා . හැබැයි ඇස්දෙකේම සුද මතුවෙලා තිබුණත් , කිසිම වෙලාවක මේ ඇස්දෙකේම ශල්‍යකර්ම එක අවස්ථාවක කරන්නේ නැහැ .දැන් නම් ලේසර් කිරණ උදව්වෙනුත් මේ වගේ ශල්‍යකර්ම ඉතා පහසුවට කෙරෙනවා , 

හැබැයි මේ නරක්වුනු කාචය මෙලෙසින් ඉවත් කිරීම හැරෙන්නට , එය දිය කරන්නට යැයි කියා ඇසට විවිධ දියර වර්ග දමන්නට ගිහින් ඇස් කුණු කරගත්තු රෝගීන් අපිට හමුවෙලා තිබෙනවා , ඒ බොහෝ අවස්ථාවල නැවත පෙනීම ගන්නට බැරි තැනටම වැඩ කෙරිලා , ඒක අවාසනාවක් , මොකද ශල්‍යකර්මයකින් හොඳින්ම නිවැරදි කරගන්නට මඟ තිබෙත්දි එවැනි දේ කරගන්නේ අවාසනාවටම තමයි . 

ආයෙත් හිනා වෙන්න 
කොහොමද මේ කරදරෙන් වලකින්නේ කියල ඇහැවුවොත් දෙන්න තියෙන උත්තරේ තමයි , වයස් ගත වීමත් එක්ක එන සුදට නම් කරන්න වෙන දෙයක් නැහැ , එයට මුල් අවස්ථාවෙම හඳුන ගෙන ප්‍රතිකාර ගන්න ඕන , හැබැයි දියවැඩියාව , ග්ලුකෝමාව වැනි රෝග නිසි ලෙසින් පාලනය කරගැනීම මඟින් මේ අනතුර අඩු කරගන්නට පුළුවන් , තව දෙයක් , ඔය උරන සිගරට් එකේ දුම , ඔබට කතාවක් කියනවා , ඒ තමයි මේ බොන සිගරට් එක නිසා දවසක මේ දුම වගේ ඇහේ සුදක් ඇති කරවන බව . ඒ කිව්වේ දුම්පානය මඟින් ඇසේ සුද අවදානම ඉහළ නංවනවා කියල අද සොයාගෙන තිබෙනවා. එතැනදි අක්‍රිය දුම්පානයත් අදාලයි. ඒ වගේම කොළ එළවලු , අළුත් පළතුරු වැනි antioxidant අඩංගු ආහාර , කෑම වේලට එක්කර ගැනීම මඟින් මේ ඇසේ සුද අවදානම අඩු කරගන්නට පුළුවන් බව පර්යේෂකයින් පවසනවා .

එහෙම නම් අසට මේ කතාව මෙතැනින් නිම කරනවා , ආයෙත් ඉඩ ලද විගස තවත් ලෙඩක් දාන්නට බලාපොරොත්තුවෙන් සමුගන්නවා. 

සුව සතුට පිරි දිනයක් වේවා ඔබට ..



14 comments:

  1. බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීමට...

    ReplyDelete
  2. ඔන්න ඒකත් දැනගත්තා. තාම ඇහැ හොඳට වැඩ.

    ReplyDelete
  3. බොහොම ස්තුතියි දැනුවත් කිරීමට.
    මටත් ප්‍රශ්නයක් තියනව,සුදු හෝ ලාපැහැති පසුබිමක් දිහා බලද්දි කලුපාට අපැහැදිලි ලප කීපයක් පේනව. මේක මොන වගේ ප්‍රශ්නයක්ද?

    ReplyDelete
  4. ගොඩක් වයසක අය ඔය ලෙඩෙන් දුක් විදිනවා මම දැකලා තියෙනවා.අපිත් දැන්ම ඉඳං පරිස්සම් වෙන්න ඕන.

    ReplyDelete
  5. ස්තුතියි මහේෂ්..මේ ගැන ගොඩක් විස්තර හෙව්වා අපේ මාමාට මේ ඔපරේශන් එක කරන්න කලින්..
    ඔපරේශන් එකට පස්සෙ ඇහැට දාන්න තියන බෙහෙත් ගැනත් ටිකක් විස්තර ලියනවාද?

    ReplyDelete
  6. බස්රේඩියෝ බ්ලෝග සතියේ දායකත්වයට ඔබට ස්තූතියි!!

    ReplyDelete
  7. බොහෝම ස්තුතියි ලිපියට .

    ReplyDelete
  8. Glucoma කියන්නේ මේකදමද ?

    ReplyDelete
  9. ස්තූතියි ඇසේ සුද මතුවන හැටි කියලා ඒක වලක්වාගන්නා හැටිත් කයලා දුන්නාට

    ReplyDelete
  10. -තරුවා ,
    ස්තුතියි ඔබේ පැමිණීම සතුටක් ..

    -Hasitha ,
    දැන ගැනීම ඔබට වැදගත් , මට සතුටක් ..

    -Anonymous ,
    ඔබේ වයස , වෙනත් දත්තයන් කිසිවක් නැතිව කිසිවක් කියන්නට අමාරුයි , අනෙක රෝග විනිශ්චයක් දීමට මට නීතිමය වගකීමක් නැහැ , කෙසේ වෙතත් , ඔය තත්ත්වය දිගින් දිගටම ඇති වෙනවා නම් , මිග්‍රෙන් වැනි තත්ත්වයක් නිසා වන්නත් පුළුවන් , නැත්නම් අසේ හෝ ස්නායුමය ගැටළුවක් වන්නටත් ඉඩ තිබෙනවා , වඩාත් සුදුසු අක්ෂී වෛද්‍යවැයෙක් හමුවෙලා අදාල පරීක්ෂණ මඟින් නිසි තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීම , මෙකද නොසලකා හැරීම තවත් කරදරයක් ඇති කරවන්නට ඉඩ තිබෙනවා . ස්තුතියි ඔබේ පැමිණීමට , ඒත් පිළිතුර සෑහීමට පත්නොවන්නක් නම් සමාවන්න .

    -මඩිස්සලේ නිශාන්,
    ඔව් එය වැදගත් . ස්තුතියි

    -රූ.... ,
    ස්තුතියි ඔබේ පැමිණීමට , ඉදිරි දිනකදි ඒ ගැනත් ලියන්නම් ..

    -asuwe kalliya ,
    ස්තුතියි, ඔබ සැමගේ සත්කාර්යය ඉහළින්ම සාර්ථක වෙන්නට පතනව , ඒත් මට ලැබෙන විවේකයත් එක්ක දිනපතා ලිපි එක් කරනවා කියන එක “හීනයක් වගේ“ ..අපි උත්සාහ කරමු , කෙසේ වෙතත් ඔබ කරනා කටයුත්ත නම් අගය කළ යුතුමැයි ...

    -Loku John ,
    ඔබේ පැමිණිම සතුටක් Loku John

    -sAm (සෑම්),
    ස්තුතියි sAm (සෑම්) , අපි “නයන නිවන තිත් කොමාව“ ලිපියෙදි ග්ලුකෝමා ගැන කතා කළා , ඉඩක් ලද විටක ඇවිත් බලන්න ,

    -king Ramsis ,
    ස්තුතියි ඔබට .

    -දයානන්ද රත්නායක ,
    ඔබේ පැමිණිමම මට සතුටක් .ස්තුතියි

    ReplyDelete
  11. ගොඩක් දවසකින් ලිපි කියවන්න ලැබුනේ. නැවතත් සියලු ලිපි කියවනවා. වැදගත් ලිපිය පල කලාට බොහොම ස්තුතියි. මාගේ ඇසුත් අක්ෂිදාන සංගමය හරහා වෙනත් කෙනෙක්ට ලබාදීමට දායක වෙලා තියෙන්නේ. (මළ පසු මේ කුණු කය කුමට )

    ReplyDelete
  12. ඔබතුමා නිර්මාණාත්මක මාතෘකාවත් සමඟ රෝගයත් පලකරනවනම් ලිපිමල්ලෙලෙන් පහසුවෙන් අවශ්ය ලිපිය තොරගන්න පුලුවන්.

    ReplyDelete
  13. -Kavindi,
    ඇත්තෙන්ම අගය කරන්නට ඕන ඔබේ කාරුණිකත්වය , ඔව් එය තවත් කෙනෙකුට දෑස පාදන්න උදව්වේවි .ස්තුතියි

    -Anonymous,
    ඔබේ යෝජනාව අගය කරමි , ඉදරියේදී ලිපි මල්ල තුලට එම වෙනස්කම එක් කරන්නම් , එමෙන්ම ලේබල් මගින් සහ “සොයන්න“ තීරුව මඟින් දැනට එම පහසුකම ලබා ගත හැකි වේවි ...ස්තුතියි ඔබට ..

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)