2012/04/09

92) නොදොඩා මුවින් හමුවී දෙනෙතින්...

  
නිවාඩුව ..උණුසුම සහ සතුට...

Easter weekend එකත් එක්කම මේ දවස් ටික ගත වෙනවා. හරිම සුන්දරයි , මෙතෙක් තිබුණු සීතල දුරු වෙලා , ටික ටික රස්නේ එනවා ..ගස් කොළ වල දළු දාල ...සමහර ගත් මල් වලින් පිරිල ..හැම තැනම අමුතු පණක් ඇවිත් වගේ දැනෙනවා . දවස් තුනක විතර නිවාඩුවකුත් ...

උදේ වරුවම Aquitaine lake park එක පැත්තේ දඟළල ..ගෙදර එනකොට හවස හතට විතර ඇති ...ඒ වුනාට ඉතින් ලංකාවේ දි මද්දහනේ තියෙන අව්ව වගේ ....තාමත් රාත්‍රියට මුල පුරලවත් නැහැ .. ගෙදර ඇවිත් නාල කියල ..පත්තර ටිකත් බලල සිංදුවක් අහන්න හිතුන ..(මොකද අද උදේ බස් රේඩියෝ අහන්න වුනෙත් නැහැ හරියට ...මොකද ටිකක් අහනකොට පොඩ්ඩො කට්ටියම දුවන්න පටන් ගත්තා Park යන්න.)...


මගේ සිංදු ගබඩාව ඇද්දා , .....හැමදාම අහපු සිංදු වගේ ...යන්න ඕන හොඳ වෙබ් සයිට් එකකට ...ලස්සන සිංදුවක් අහුවුනා ....දයාරත්න පෙරේරා ගායනා කරන ගීතයක් ...“නොදොඩා මුවින් ....හමුවී දෙනෙතින්“ .

නොදොඩා මුවින් ..හමුවී දෙනෙතින් 
මඟ හැර යන්නෙ ඇයි මේ ලෙසින්
ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන්
මා ළඟ ඉන්න සෙවණක් ලෙසින්

සිතුවිල්ලෙන් පවා හැම උදයේ හවා
ඔබ හමුවේද ගත ගිම් නිවේ
මඟ තොට මෙසේ දුටුවෙද මෙසේ
යන්නේද හිතකින් නොවේ

කඳුළැල්ලෙන් තෙමා මා අඳුරේ දමා
මුව ගොළු වේද හැමදා ඔබේ
සිහිනෙන් නොවේ හැබැහින්ම වේ
පැතුවේ මා ඔබෙ ආදරේ


මේ අස්සේ මගේ Seagate ගබඩාව අස්සට වැදිල පරණ ෆොටෝ ටිකකුත් බැලුව..ඉස්කෝලේ කාළේ ....ඒ කාළේ දාපු සෙල්ලං , කරපු කියුං ඔක්කොම මතක් වෙන “කාළයේ නැවතුම් පල“ තමයි ඒ Photo ටික ...ටිකක් අරන් දැම්ම facebook එක පැත්තට , මොකද මගේ පාසල් මිතුරන් ගණනාවක් ආයෙත් හමුවුනේ ඒ පැත්තෙන් නේ ...

මේ ඔක්කොම අතරේ අළුත් පෝස්ට් එකකට කොක්කක් දාගන්න බලන් ඉන්න මට හොඳ “කෑල්ලක්“ අහුවුනා ..
“නොදොඩා මුවින් ..(හමුවී දෙනෙතින්) ..මග හැර යන්නේ ඇයි මේ ලෙසින්“ ..

හැමාමත් වගේ “බයිල“ ගහනව නේ ...? .....මොනවා කරන්නද ...ඒ මගේ හැටි ...හැබැයි මම හිතනවා මේ “බයිලා “ කියවන්න කම්මැළි හිතුනත් එයින් කාගේවත් හිත රිදෙන එකක් නැහැ කියළා ...ඒ ව‍ගේම විශේෂයෙන්ම මතක් කරනවා අර කවුදෝ නිර්නාමික මහත්මයෙක් http://www.sahithya.lk/archives/913 තුල අදාල විනිශ්චය වෙත චෝදනා කරල (නමුත් එතැන සඳහන් කරල තිබෙන අනෙක් බ්ලොග් අඩවිය මමත් ඉතාමත් ඉහළින් අගය කරන , මීටත් වඩා වෙහෙසවීමක් තුලින්  කරන ලිපි මාලාවක් ) තිබුණ වගේ මම මේ කිසිම ලිපියකින් “අස්වාභාවික කුතුහලයන් .....විශේෂයෙන්ම ලිංගික පිණවීම් කරන්න නම් උත්සාහ කරල නැහැ ., හැබැයි මාතෘකාව විතරක් කියවල පැනල ගිය , හිතේ යම් අස්වාභාවික විකෘති අදහස් ඇත්තෙක්ට නම් එහෙම දැනෙන්න පුළුවන් ..මොකද මට එහෙම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ ..මට සොඳුරු සුව අසපුව හරහා ඕන වුනේ ..මා දැනගත් යම් දෙයක් ප්‍රජාව වෙත යොමු කිරීම විතරයි ...ඇත්තටම ආරම්භයේදි නම් මට ඕන උනේ මගේ පුහුණූ ආයතනයෙන් ඉවත් වුනාට පස්සේ , මගෙන් ඉගෙන ගනිමින් සිටි දරුවන් වෙත තව දුරටත් ඈත ඉඳන් හරි මේ කරුණූ උගන්වන්නයි ....ඒ ගැන මගේ පිළිගැනීමේ  ලිපිය කියවන ඔබට වැටහේවි ..“ ... ඒ හැර කිසිම ‘සම්මාන හෝ වාසියක් පිළිබඳ අපේකෂාවක්  මට තිබුණෙත් , ඉදිරියට ඇත්තෙත් නැහැ ...මට ඇති සතුට ඔබ මෙය කියවීමම විතරයි, මට ලැබුණු එකම වාසිය “හොඳ , මනුස්සකම් ඇති මිතුරු පිරිසක් මේ මගින් හමුවීම විතරයි “ .... .comment කළත් නොකළත් ඒ සතුටේ වෙනසක් නැහැ ..හැබැයි අදහසක් ලීවොත් එය අගය කරනවා ...මොකද බ්ලොග් ලියන අපි හැමෝම වගේ මමත් කැමතියි ඔබත් එක්ක දොඩමළු වෙන්න ...

සමාවෙන්න නොවැදගත් දෙයක් ලීවාට ..අපි දැන් ඉක්මණට අපේ මාතෘකාවට එමු ... හිත රිදුන නම් මේන්න මේ සිංදුව බලන්නකෝ ...


හරි අපේ මාතෘකාව “නොදොඩා මුවින් ...“ ....

මට මගේ පාසල් කාළය මතක් වුනා වගේම ඔබට මතකද ඔබේ පාසල් කාළයත් ..විශේෂයෙන්ම ප්‍රාථමික පන්ති ...මට මතකයි මගේ සමහර මිතුරියන් පන්තියෙදි කිසි කතාවක් නැතිව “ගුල්ල“ වගේ ලැජ්ජාවේ ඉන්නවා ...වැඩ කතා බහක් නැහැ , අහන දේකට උත්තර දෙන්නෙත් නැහැ ...මුල්ලකට වෙලා ඉන්නවා ..හැබැයි සෙල්ලම් කරන්න පිට්ටනියට බැස්සම නම් හොඳ වැඩකාරයෝ ..ඔක්කෝම පරාදයි ....මෙන්න මේ වගේ තත්ත්වයක් ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ ..විශේෂයෙන්ම කියන්න ඕන මේක ප්‍රතිකාර කළ යුතු , සහයෝගය දිය යුතු තත්ත්වයක් වුනත් , මේ පිළිබඳ අපේ අවධානය කෙසේ දැයි ඔබටම වටහා ගන්නට  පුළුවන් අවසානයේදි ..

මොකක්ද මේ තත්ත්වය ..අපි මේ වෛද්‍ය විද්‍යාත්මක පදයෙන්ම නම් කළොත් Selective Mutism ....සිංහල පදයක් ඇත්දැයි මම හරියටම දන්නේ නැහැ ..ඒත් අපිට කියන්න පුළුවන් ..“වරණීය ගොළුවීම“ කියලා....මොකක්ද අප්පේ මේ ....

වැඩි වශයෙන්ම කුඩා දරුවන් තුල හඳුනාගත හැකි මේ තත්ත්වයේදි වෙන්නේ ..දරුවාට නුහුරු , නැත්නම් අකමැති පරිසරයකදි එතෙක් හොඳින් කතාබහ කළ දරුවා ..“ගොළු වීම“ ..ඒ එක්කම මෙතෙක් නොවූ ලැජ්ජාශීලී බවක් දැක්වීම ..කෙටායෙන්ම කිව්වොත් මේ “නුහුරු පරිසරයෙදි“ දරුවා සම්පුරුණයෙන්ම අක්‍රිය චරිතයක් බවට පත්වීම ...ඉස්කෝලෙදි නම් වැඩි කෑ ගහන්නේ නැතැ , “හරිම තැන්පත්“ හොඳ ළමයා ...හැබැයි ගෙදර ආවම chatter box එකත් එයාමයි ...මේන්න මේ අසාමාන්‍ය තත්ත්වය තමයි SM කියන්නේ ....දැන් කියන්න එපා ..අපෝ ඔය ඉතින් පොඩි එකා ලැජ්ජාව නිසා නේ කියලා ...ඔව් මේ තත්ත්වය හරිම පැටලිලි සහගත තත්ත්වයක් ..හැබැයි ඒ “ලැජ්ජාව නිසා“ ඇති වන තත්ත්වයක් නෙවි ..අනෙක මේ SM නිසා දරුවන් විශාල ප්‍රමාණයක් “හිතින් දුක් විඳින්නන් බවට  පත් වෙලා“ ...ඉතින් අපි මේ ගැන තව ටිකක් කතා කරමුද ?

ලැජ්ජයි කටයි ..වහයි ???
අපි දන්නවනේ අපි හැමෝටම හුරුපුරුදු පරිසරයක් තියෙනවා ...ඒක ගෙදර ..නැත්නම් රාජකාරි කරන තැන ...මග තොට ..වෙන්න පුළුවන් .ඉතින් යම් අවස්ථාවක අපේ මේ Comfort zone එකෙන් බැහැරට යන්න උනොත් හිතේ පොඩි තිගැස්මක් , නුහුරු බවක් ..සමහර විට නුහුරු අහේතුක බියක් ඒ කිව්වේ Anxiety ගතියක් දැනෙන්න පුළුවන් .පොඩ්ඩක මතක් කරගන්නකෝ අපි interview එකකට එහෙම ගිය අවස්ථාව ..ටිකක් පොඩි ගැස්මක් ඇතිවෙනවා ..ඒත්  ටික වෙලාවකින් ඒ බව අඩු වෙනවා ..හැබැයි අපි මේ කතා කරන තත්ත්වයේ ඉන්න දරුවට මේ නුහුරු පරිසරයෙදි කිසිවක් කියාගන්නට බැරිව යනවා ..ඔව් එයාට කතා කරන්න පුළුවන් , ඒත් දැන් වචන එන්නේ නැහැ . වචනයක් වත් පිට වෙන්නේ නැහැ ...දැන් එයා ගොලුවෙක් ..ඒ විතරක් නොවෙයි , දැන් මේ දරුව ටිකක් කොන්වෙලා , අයිනට වෙලා , කාගෙවත් මුහුණ බලන්නේ නැතිව ඉන්නවා ..“හරි ලැජ්ජකාරියක් වගේ“ . මේ තත්ත්වය මාස දෙකකට වඩා තිබෙනවා නම් ටිකක්  හොයල බලන්න  ...ඔන්න ඔය තත්ත්වය ගැන ඔබේ දරුවත් , නැත්නම් දන්න හදුනන කෙනෙක් කියනවා වෙන්නත් පුළුවන් . මේක Social anxiety කියන මානසික තත්ත්වයේ තවත් එක අවස්ථාවක් ..ඕන්න ඉතින් ..මම මෙතැන මානසික තත්ත්වය කිව් ගමන් බය වෙන්න එපා , මෙන්න “පිස්සුවක්“ කියල ...නැහැ ..මේක පිස්සුවක් නොවේ ..හැබැයි හඳුනාගත යුතු , සහයෝගය සහ ප්‍රතිකාරයක් ලැබිය යුතු “මානසික තත්ත්වයක්“ ...

අපි මේ ලක්ෂණ ටික නැවතත් ටිකක් පිළීවෙලකට මතක් කරගනිමුද ? ..මොකද එතකොට ලේසියි මේ වෙනස හඳුන ගන්න ..
කියන්න තියෙනවා ..චවන නෑනේ ...?
හුරු පරිසරයෙන් පිටතදි “අතිශ්‍යය ලැජ්ජාශීලී චර්යාවක් “ තිබෙනවා , ඒ වගේම හරිම බියකින් ඉන්නවා වගේ තමා වැඩ කරන්නේ ...කිසි කෙනෙක් එක්ක කතා නැහැ ..කතා කළත් වචනයයි දෙකයි , ඒකත් ගොතගහනවා ...කතා කරනකොට ගැහෙනවා ..අනෙක් කෙනාගේ මුහුණු බලාගෙන කතා කරන්නේ නම් නැහැ , බිම බලා ගෙන තමයි ...තමන්ට කරගන්න ඕන දෙයක් තිබුණොත් අතින් හරි , ඔළුව වනල හරි කියාවි , එච්චරයි , මේ දරුවගේ මුහුණ බැළුවත් , අනෙක් දරුවන්ගේ වගේ ප්‍ර බෝධමත් බවක් සතුටක් නැහැ , ඇත්තටම moods නැති , හැඟීම් නැති මුහුණක් තමයි තියෙන්නේ ...සමහර වෙලාවට දෙයක් කිව්වත් නැහුණු ගානට ඉන්න “දරදඬු කෙනෙක් “ වගේ වෙන්නත් පුළුවන් .. හැබැයි හරියට දුක හිතෙනවා .අනෙක් ළමයින්ට වඩා හරිම sensitive , වෙන යාළුවෙක්ගේ කරදරයක් උනොත් එයාට වෙන යාළුවන්ට වඩා දුකයි ...ඒත් කියන්නේ නැහැ , හිතින් විඳිනවා .මේ නිසාම මෙයාට ගොඩාක් යාළුවො නැහැ ..අනෙක පන්තියේ අනිත් ළමයි කළබල ගෝසා කරනවාට කැමැති නැහැ , පැත්තකට වෙලා නිශ්ෂබ්දව ඉන්නවා ...ඒ නිසා ටීචර්ගේ “හොඳ , අහිංසක දරුවා “ වෙන්නත් හරිම ලේසියි ..ඒ විතරක් නොවෙයි පන්තියේ ලියන , ගණන් හදන වගේ වැඩ වලට හරි දක්ෂයි ...වෙන දරුවන්ටත් වඩා දක්ෂයි ..ඔය නිසා ඉතින් “ටීචර්ගේ හොඳ ළමයා" විදියට මේ අසාමාන්‍ය තත්ත්වය හැංගිලා තියෙන්න පුළුවන් .

ලෙඩේ හොඳම ලක්ෂණේ දැන් ....ඔය කියපු විදියට ඉස්කෝළෙදි කතා කරන්නේ නැතිව , “ගුල්ලා වගේ“ හිටපු කෙනා ගෙදරට ආගමන් ....සම්පුර්ණ වෙනස් ..කියවනවා , දඟළනවා , හිනාවෙනවා ......කිසිම වෙනසක් නැති අනෙක් දරුවෝ වගේමයි ... දැන් ඉතින් මේක කියවන අම්මලා ,තාත්තලා , පුංචිලා , බාප්පලා ...හිතන්න පුළුවන් “ඔය ඉතින් පොඩි එකා ඉස්කෝලෙ ගිය ගමන් නිසා , බයට වෙන්න ඇති කියලා ....“ ඔව් දරුව පාසලට ඇතුලත් කළ ගමන්ම මේ වෙනස වුනා කියල කළබල වෙන්න එපා ...ඒක සාමාන්‍ය දෙයක් ..හැබැයි මේ “ඉස්කෝලෙදි කතා නොකරන“ සහ ගෙදරදි කතා කරන චරිතය මාස දෙකකට වඩා තිබුණොත් නිකං බලන් ඉන්න එපා ..යන්න ඔබේ දරුවගේ පාසලේ ගුරුතුමිය හමුවෙලා තවත් දරුව ගැන තොරතුරු දැනගන්න ..එයාගේ යාළුවෝ එක්කත් ටිකක් කතා කරල බලන්න ...ඊට පස්සේ පුළුවන් නම් ප්‍රෙද්ශයේ රෝහලේ “ළමා මානසික සායනයක්“ තිබේනම් එතැනට ගිහින් ඔබේ දරුවගේ වෙනස ගැන වෛද්‍යවරයෙක් සමඟ කතා කරන්න ..විශේෂයෙන්ම මේ සායන වල ඉන්න වෛද්‍යවරු ඉතාමත් හිතවත් , විශේෂයෙන් දරුවන්ගේ යාළුවන් වගේ කටයුතු කරන පිරිසක් ..එහෙම පහසුකමක් නැත්නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා උපසෙක් ගන්න , බොහෝ දුරට මේ තත්ත්වයමැයි හඳුනාගත්තොත් ඔබත් දරුවාත් විශේෂඥ ළමා මනෝ වෛ්‍යෛවරයෙක්ට යොමු කරාවි , මොකද මේකට බෙහෙත් පෙති , ඉන්ජෙක්ෂන් දෙනවාට වඩා වෙනස් ක්‍රම තමයි ප්‍රතිකාරය විදියට තෝරාග්නනේ ..අපි ඒක නම් කරන්නේ Behavioral therapy  කියලා ..එය විශේෂඥ මනෝ වෛද්‍ය අධීක්ෂණයක් යටතේ අදාල චිකිත්සකවරයෙක්ගෙන් ආරම්භ විය යුත්තක් , ඉන් පස්සේ දරුවාගේ මවට , නැත්නම් පියාටත් කියල දේවි ඉදිරි ප්‍රතිකාර කෙරෙන විදිය , මෙහිදි දරුවා ක්‍රමයෙන් මේ නුහුරු පරිසරයන් දරාගන්න හුරු කිරිමත් , ඒ තැන්වලදි හැසිරය යුතු , කතා කළයුතු ආකාරය ගැන චර්යාත්මකව හදුන්වා දීමත් , ඉතා උග්‍ර අවස්ථාවක විතරක් සරළ ඖෂධ කිහිපයක් භාවිත කිරීමත් වෙන්න පුළුවන් . මේ වෙනුවෙන්  ඔබෙත් සක්‍රියදායකත්වය ලැබුනොත්  මේ දරුව “සාමාන්‍ය දරුවෙක් විදියට “ හෙටට මුහුණ දේවි ..

වැදගත්ම දේ “දරුව ඉස්කෝලෙදි " කතා කරන්නේ නැහැ කියල , බලෙන් කතා කරවන්න , දඬුවම් දෙන්න යන්න නම් එපා ..මේ කියවන ඔබ පාසල් ගුරුවරියක් නම් , මේ ඔබ ඉතා සංවේදීම , දැඩි අධීක්ෂණයෙන් කටයුතු කළ යුතු දරුවෙක් ..ඔබ සැමගේ දායකත්වය මේ දරුවාට ඕනමයි ..මොකද මේකට හේතුව , තනි හේතුවක් නොවෙයි ..බහු සාධක තත්ත්වයක් , ඒ කිව්වේ ජානමය යම් බලපෑමක් තිබුණත් දරුවාට ලැබෙන අත්දැකීම් , රිදවීම් , වගේම සමාජය පිළිබඳ “බිය ඇති කරවන“ සිදුවීම් මනසට ඇතුළු වී ඇති කරන “අද්භූත හොල්මන්“ මේ දරුවට වරණිය ගොළුවීමක් ඇති කරවන බව අද පර්යේෂණ වලින් හඳුනාගෙන තිබෙනවා . 

මෙන්න බලන්න SM තත්ත්වයෙන් පෙළුනු ...දරුවෙක්ගේ කතාව මෙතැනින් බලන්න ...http://youtu.be/9shoWJgl_9A  

මේ තියෙන්නේ මෙම තත්ත්වය ගැන ABC ආයතනය කළ වැඩසටහනක් ..http://youtu.be/IuN1iPiWP7o

මේ ඔක්කොම දැන හඳුගෙන  හුඟදෙනෙක්ට පටලැවෙන SM  වලින් අපේ දරුවන් රැක ගන්න ට ඔබට පුළුවන් ...
තව එකක් මේ හැමැතැනම “දරුව“ සහ පාසල කියන පද යෙදුවේ බහුලවම මෙය දකින්න පුළුවන් කණ්ඩායම සහ පරිසරය නිසා මතකේ තබා ගන්න මේ තත්ත්වය වැඩිහිට අය අතරෙත් තිබෙන්න පුළුවන් ..එහෙම අවස්ථාවට “පාසල“ කියන තැනට සුදුසු වචනේ දාගෙන ආයෙත් මේක කියවන්නකෝ ....

එහෙනම් ගිහින් එන්නම් ...“නොදොඩා මුවින් ..හමුවී දෙනෙතින්...‘‘ මේ සිංදුව නිසා...ආයෙත් පාසල් කාලෙ මතක් වුනා ..ඉස්කෝළෙ ඇරුණට පස්සේ “ඔක්කොම‘ යනකං මේ වගේ පොඩි සිංදු කෑල්ලක් මුමුණමින් ගේට්ටුව ගාවට වෙලා බලාගෙන උන්නු හැටි මතක් වෙනවා , ඒ set එකේම තවත් හොඳ මිත්‍රෙයක් ඊයේ කතා කළා අවුරුදු දොළහකට පස්සේ ..ඩුබායි දේසේ සිට...

එහෙනම් හැමෝටම සුබ දවසක් ....

4 comments:

  1. අලුත්ම දෙයක්. ස්තුතියි බෙදාගත්තට දැනුම.

    ප.ලි.
    අර "ලිංගික පිනවීම" කතාව, ඒකට හිනාවෙලා නිකං ඉන්නව ඇරෙන්න වෙන යමක් කරන්න ඕනෙ නෑ අයියා

    ReplyDelete
  2. මම නම් හිතුවෙම නෑ SM වලට ප්‍රතිකාර කරන්න ඕන කියලා..අම්මලා කතාවටත් කියන්නෙ ඔව්වා ලොකුවුනාම ඇරිලා යයි කියලා..

    ප/ලි
    ලෝකයේ සෑම දෙනාම එකිනෙකාට වෙනස් වගේ බ්ලොග් අවකාශයෙත් එකිනෙකා සිතන පතන විදිහ වෙනස්..ඒ නිසා මේ වගේ දේවල් ඔබට ඉදිරියට යෑමට ශක්තියක් කරගන්න..

    ReplyDelete
  3. අපේ පංතියෙත් හිටියා ඔයින් කෙනෙක්. අපි ඇත්තටම හිතාගෙන හිටියෙ ගොලුයි කියලා. එයා නං කොහොමත් කතා කරන්නෙ නෑ. දවසක් හවසක අපේ පංති භාර ටීචර් කඩේට යද්දි එයත් කඩේලු. -----

    එක්කො මම සිද්ධිය මෙතන කියන්නෙ නෑ. මගේ බ්ලොග් එකේ කතාවක් හැටියට‍ම දානවා. හෙහ් හෙ... මහේෂ් අයියට ස්තුති කරන ගමන්.....

    ReplyDelete
  4. -ඕනයා,
    ස්තුතියි මල්ලි ,

    ඔව් මටත් ඒක දැක්කම හිනාගියා . .ඒත් එහෙම දේවලුත් තියෙන බව දැන ගන්න එපායැ නේද ?

    -රූ.... ,
    ප්‍රතිකාර නොගත්තොත් දරුවා තරුණ වියේදිත් “පසුගාමී චරිතයක්“ වන්නට ඉඩ වැඩියි ..
    ඔව් රූ.... , ඒ ගැන නිකමට ලිව්වේ මෙහෙම සිදුවීම්තුත් වෙන බව දැන ගන්න විතරයි ... ස්තුතියි

    -බුද්ධි ,
    එහෙනම් තව හොඳ කතාවක් අහගන්න පුළුවන් වේවි වගේ ...ස්තුතියි මල්ලි ..

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)