2012/03/28

90) සන්තෝසෙට කෙට්ටු වෙන්නෙ ඉඟ සුඟ නැති , චංචලා

බයිසිකලෙත් අමුනං යන අපේ බස්..
“තාත්තේ බස් එකක් තියෙනවා හතරයි තිස්පහට...., ...දැන් හතරයි විසි පහයි  ...යන්න පුළුවන් ........මාත් එන්නද රිස්වි අංකල්ගේ ගෙදර යන්න ...මට  අක්කිත් එක්ක කතා කරල එන්නත් පුළුවන් නේ ...“ ගෙදර ඇවිත් කෑම කන අතරේ , ලොක්කි Google map එක බලාගෙන bus route හොයනවා , මොකද තව ටිකකින් මම යන්න ඕන අපේ මිත්‍රයෙක්ගේ ගෙදර , ඔවුන් අද රෑට කිලෝ මීටර් හාරදාහක් විතර දුර ගෙවාගෙන වෙනත් පළාතකට යන්න යනවා පදිංචියට , Alberta කියන කැනඩාවේ ඉහළ , සීතල ප්‍රෙද්ශයට . ඉතින් අපේ මිත්‍රයෝ ටික ඔක්කොම තව ටිකකින් ඒ Apartment එකට එන්න කතා කර ගත්තා , ටිකක් උදව් කරන්න , මොකද  රටේ එක පළාතක ඉඳළ තවත් පළාතකට move වෙනවා කියන්නේ යුද්දයක් තමයි . මේ වෙලාව වෙනද වගේ විවෙක් පාඩුවේ කතා බහ කරන්න තරම් හොද වෙලාවක් නොවෙන නිසා ලොකුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නම වෙනවා...“ අද බැහැ දූ , දැන් එතන කතා කර කර ඉන්න වෙලාවක් නැහැ , මායි , ඩොනවන් අංකලුයි , අපි කට්ටියම බඩු ටික අස්කරල දීලා ඉක්මණට එනවා , එයාල හෙට උදේ පාන්දරින්ම යන්න ඕනනේ ...“


මේං අපේ ටිකට් එක ..

හරියටම හතරයි තිස් තිස්තුනයි , කෑම ටික හනි හනිකට බඩට දාගෙන පැනගත්ත ගෙයින් එළියට , මොකද බස් එක අල්ල ගත්තෙ නැත්නම් තව පැය බාගයක් ඉන්න වෙනවා , මේ පළාතේ public transport නම් ලංකාවේ තරම් “හොඳ නැත්ද මන්ද“ ...මොකද ලංකාවේදි නම් ඉතින් විනාඩි පහෙන් පහට රේස් යන්න බස් තියෙනවනේ . අනෙක ඉතින් අත දැම්මම ඕන තැනක නවත්ත ගන්නත් පුළුවන් ...මෙතැන නම් ඒවා බැහැ , වෙලාවට Bus stop එකේ නොහිටියොත් බස් එක ගියා , ආයෙ මගදි අතවැනුවොත් , ඩ්‍රැයිවර් මහත්තයත් අත වනාගෙනම යන්න යනවා , ආයෙ මග නැවතිල්ලක් නැහැ.  හරියට වෙලාවට බස් එක ආව , මාත් මගේ ළඟ තිබුණු ටිකට් එක , රියදුරු මහත්තයගේ ටිකට් යන්තරේට ඇතුළු කළා ...මගේ pass එක ලැබුන (මේ බස් වල කොන්දොස්තර මහත්තයෙක් නැති නිසා හරිම ලේසියි , ඉතිරි සල්ලි ප්‍රශ්නත් නෑ) ..දැන් ඉතින් හොඳ සැපට වාඩි වෙලා , යන්නයි තියෙන්නේ ,

බස් එක ඇතුලෙ ඉතින් බල බල යන්න දේවල් නම් බෝමයි ...කෝකටත් කියල අළුතින් එක් කරල තියෙන notice ටික දිහා නිකමට බැලුව. එකතැනක Weight loss clinic එකක් ගැන ..තව තැනක ගමන් ගන්නා අයගේ අයිතිවාසිකම් , වගකීම් සහ ආරක්ෂාව ගැන , තව තැනක ...ඔය වගේ Notice ගණනාවක් ..ඔය අතරේ මගේ ඇහැ ගියා ටිකක් වෙනස් එකකට ..එහි කියැවුනේ දරුවන් පස් දෙනෙක් ගෙන එක් අයෙක් යම් මානසික ගැටළුවකින් පීඩා විඳන බවත් , තමන්ගේ දරුවා එවැනි ලක්ෂණ පෙන්වනවා නම් යායුතු සායනයක් ගැනත් ..ඔය ටික කියවගෙන යනකොට දන්නෙම නැතිව බහින්න ඕන තැනටත් ඇවිත් .

වැඩේ හිතුවට වඩා ටිකක් බැරෑරුම් උනා ...මොකද ඒ ගෙදර පොඩිඩෝ තුන් දෙනෙක් , ඒ අයත් පරිස්සම් කරගෙන , බඩු ටික අස්කරල දෙන එක ලේසි උනේ නැහැ , කොහොම හරි අපි ඔක්කොම එකතු වෙලා රෑ අට විතර වෙනකොට වැඩේ ඉවර කරල දුන්නා , අපි කාටත් හිතට දුකයි ,මොකද බොහොම හිත හොඳ මනුස්සයෙක් මේ අපෙන් ඈත්වෙලා යන්න හදන්නේ , එයාලගේ චාරිත්‍රෙ හැටියට සුබ පතල , අපි කට්ටිය ආයෙත් ගෙවල බලා ආව ...දැන් ඉතින් නාල කියල , රෑ කෑමත් ගත්තට පස්සේ “ලියන්න දෙයක්“ තියෙනවා ... මේක ලියන්න තවත් හේතුකාරකයකුත් මතකෙට ආවා, ඒ අපේ “එක මල්ලි කෙනෙක්“ පහුගිය දවසක එක්තරා ඖෂධයක් ගැන Gtalk මගින් අහපු ප්‍රශ්නාවලියක් , තමන්ගේ මිත්‍රෙයක් ගන්න බෙහෙතක් ගැන ඇති වුනු කුතුහලය සංසිඳවා ගන්නට හොඳ ප්‍රශ්නාවලියක් මේ මල්ලි මගෙන් ඇහැව්වා , අන්න ඒ බෙහෙතත් මේ ලියන්න හදන ලිපියට සම්බන්ධයි , ඉතින් මේ ඔක්කොම එකතු කරල අද ලියන්න හදන්නේ ........................ඉඟ සුඟ නටනා , කුස ගිණි නිවනා .චංචලා ගැන ...දැන් බලයි මොකද මේ ගෑනු ළමෝ ගැන ලියන්නේ කියලා ..නැහැ ..ලතින් භාෂාවෙන් චංචල කියන එකට Nervosa කියලයි කියන්නේ ....බඩගින්න නැතිවීම ..නැත්නම් කෑම රැචිය නැතිවීමට කියන්නේ Anaroxia කියල ..එහෙනම් අපේ කතාවේ විද්‍යාත්මක නාමයි Aneroxia nervosa .....මේකට සුද්ධ සිංහල නමක් දන්නේ නම් නැහැ , දන්නා කෙනෙක් ඉන්නවා නම් එය එකතු කළොත් හැමෝටම වටිනවා ...

කෑම එපා කෑම එපා .......
දැන් කතාව මේකයි ...මේක කියවන පිරිමි දරුවෝ කී දෙනෙක් හිතාගෙන ඇත්ද “මම කෙට්ටුයි අනේ , මහත් වෙන්නේ නැහැනේ ...කොච්චර කෑවත් මෙච්චරයි ...“ ඕක කියන කොට අනෙත් යාළුවෝ හොඳ හොඳ හේතු කියනවනේ ..? ...ඒ සමහර හේතු වලට නම් පදනමක් නැතත් යොවුන් වියේ තරුණ දරුවන්ට එන ප්‍රශ්නයක් තමයි ඔය , ඉතින් ඇඟ හදාගන්න කියලා එක එක දේ කරන්න හිත දෙනවා , මේ තත්ත්වය දන්නා නිසාම සමහර වෙළඳ ප්‍රචාරණයන් මේ ප්‍රශ්නය ගැන කතා කරනවා ...මෙන්න මේ පිටි බිව්වොත් ලස්සන වෙනවා , මහත් වෙනවා ...මස් පිඬු පිම්බෙනවා ...ඔය වගේ කතා , වෙළඳ දැන්වීම් එමටයි ..දැන් දැන් මේකට බෙහෙත් යැයි කියා ගන්නා “පෙති ජාතිත්“ විකිණෙන බව දැනගන්නට තියෙනවා ...හැබැයි මේ බොහොමයක් “මහත්වෙන බෙහෙත්“ යැයි කියා ගන්නා හොර ‍බෙහෙත් ගත්තොත් ටික දවසක් මහත් වෙලා වගේ “ඉදිමිලා“ ඉන්න පුළුවන් වේවි ...ඒත් ඒකේ පල විපාක හරිම හානි කරයි ...දියවැඩියාව , ඇස් අන්ධවීම වගේ දරුණු ආපදා ඇති කරන්නට පුළුවන් මේ “හොර බෙහෙත“ නිසා ...අනේ අහුවෙන්න එපා  ...ඔබේ මිතුරාට අහුවෙන්න දෙන්නත් එපා ...ඔබේ වයසට හරියන “ඇඟ නැත“යි හිතෙනවානම් , ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා උපදෙසක් ගන්න  ඔහු පෝෂණය , ව්‍යායාම , මුසු කරල “හොඳ බෙහෙතක් “ දේවි ....හැකියාවක්  තිබේනම් පළාතේ , නැත්නම් රෝහලේ “පෝෂණවේදියා“ හමුවන්න ...ඒකත් හොඳ මාර්ගයක් වේවි ඔබේ ප්‍රශ්නයට ...

රෑ (නෑ) කෑම 
ඔය එක පැත්තක් .......මේ අතරේ අපේ ගෑණු දරුවෝ “තමන් මහත වැඩියි“ කියාගෙන අඬන වැළපෙන අවස්ථා එමටයි ...ගෙදර ඉන්නකොට හැම තිස්සෙම කණමේ ගැන හරියට හිතනවා ..බය වෙන්න එපා තවම අපි කියන ලෙඩේ නෙවි ..හැබැයි මේ තත්ත්වය දුර දිග ගිහින් තමන්ගේ බර වැඩිවේ කියන බයෙන් කෑම ප්‍රතික්ෂේප කරමින් , සාමාන්‍ය නිරෝගී දේහ බර වත් පවත්වා නොගන්නා තත්ත්වයට ආවම , අසාමාන්‍ය ලෙසින් කෙට්ටු වෙලා , ඇඟේ සාමාන්‍ය ස්වරුපය පවා වෙනස් වෙන තරමට දරුණු වුනානම් එය අපි මේ කතා කරන තත්ත්වයටම පැමිණි ඇත්දැයි සැක කරන්නට පුළුවන් ...එහෙමනම් අද අපේ කතාවේ වැඩි බර කාන්තා පාර්ශවයට ...හේතුව මේ Anorexia nervosa කියන තත්ත්වය වැඩියෙන්ම ඇතිවන්නේ කාන්තාවන්ට නිසා.

මේක ඇත්තටම Emotional eating disorder එකක් නැත්නම් චිත්තවේගීයව , මානසිකවම ඇතිවන ආහාර ගැනීමේ අසාමාන්‍යතාවයක් විදියටයි පොතපතේ විස්තර වෙන්නේ ..ඇත්තටම මේක තමන් තරබාරුවෙලා , විකෘති දේහයක් ඇතිවෙලා , රෑප සොබාව නැතිවෙලා යාවි කියන “අහේතුක බය“ , තදින්ම මනසට කාවැදීම නිසා ඇති වන තත්ත්වයක් ...මේ අය මේ බය නිසා හැම තිස්සේම ඉන්නේ දුකෙන් , හරිම නොසන්සුන් , කෑම ගැන නම් කතා කරන්න එපා ...Body shape එකමයි හිතේ ...යාළුවෝ , ගෙදර අය කොච්චර කිව්වත් “ඔයා හොඳටම කෙට්ටුවෙලා“ කියලා ..මේ කෙල්ලට ඒත් මදි ...එයා සතුටු වෙන්නේ “තවත් කෙට්ටු වුනාම“ ..ඔන්න ඔය විදියට කන්නේ බොන්නේ නැතිව ඉඳළ එහෙම නැත්නම් කාපු දේවල් (කාටත් හොරා ) වමනේ දාමින් එළියට දාල ඇඟට ආහාරයක් නොගෙන “සන්තෝසෙට කෙට්ටු වෙන එක“ තමයි මේ ලෙඩේ ..ප්‍රශ්නේ වෙන්නේ මෙයාගේ මේ “සන්තෝසෙට කෙට්ටු වීම“ සීමාවක් නැති තරමටම ගිහින් .....සන්තෝසේ ....ජිවිත හානියක් තරමටම පෙරළෙන්න පුළුවන් නිසා ...දොස්තර මහත්තය ගාවට ගියත් “මට ලෙඩක් නැහැ ඩෝකටර් ...මං ඉතින් ඩයට් කරන නිසා කන්නේ ටිකයි“ ...ඔන්න උත්තරේ ...කොයිතරම් උපදෙස් දුන්නත් වැඩක් නැහැ මොකද මෙයාට තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හිතනවාට වඩා කෙට්ටු වීමේ ප්‍රීතිය වටිනවා දැන් ඉතින් එක්කො කෑම ප්‍රතික්ෂේප කරමින් Restrict type Anorexia nervosa හදා ගන්නවා , නැත්නම් බල කරන නිසා පොඩ්ඩක් කාළ ...ඊළඟට හොරෙන්ම “බාත්රූම් එකට ගිහින්“ උගුරට ඇඟිල්ල දාල වමනේ කරල ..අර කාපු ටික එළියට දාගන්න පෙළඹෙන Purging type Anorexia nervosa තත්ත්වයට පත්වෙනවා ඇයත් නොදැනම...

දැන් ඉතින් මේක කියවන වයස විස්සේ විසි පහේ දූලා ...මේක ගෙදර අයට නොපෙනෙන්න හංගගෙන කියවන්න ඕන නැහැ ..ඔය වයසට තමන්ගේ රෑප සොබාව ගැන හිතන එක , ඒ වෙනුවෙන් කටයුතු කරන එක සාමාන්‍යයි , අපි මේ කතා කරන්නේ නිරෝගී තත්ත්වයටත් වඩා තමන්ගේ බර “අසාමාන්‍ය විදියට බර අඩු කරගන්න යන , එහෙම හිතෙන , එහෙම වෙනකොට සන්තෝෂ වෙන ලෙඩක් ගැන ..

ඇට මතු කරවන ඇට බෝල තුන
මේකට හරියටම හේතුව මේකයි කියල නොකිව්වත් , සමාජයීය වශයෙන් ඇතිවන පිඩනයන් සහ බලපෑම් බොහෝ දුරට හේතු වන බව කියැවෙනවා , මෙතැනදි මාධ්‍යය , තමන්ගේ මිතුරු සමාජය , පෙම්වතා වැනි අයගෙන් දැනුවත්ව හෝ නොදැන්වත්ම වන බලපෑම් ඉහළයි . ඒ වගේම ජානමය බලපැම් මත සහ හෝමෝනමය හෝ වෙනත් රෝග තත්ත්ව වල (විශේෂයෙන්ම මොළය සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත) බලපෑම නිසාත් මේ වගේ තත්ත්වයන් ඇතිවෙන්නට පුළුවන් , ඒ වගේම සමහර විට වෙනත් මානසික රෝගී හෝ ගැටළුකාරී තත්ත්ව නිසාත් මේ අනතුරට පත්වෙන්නට පුළුවන් .

කතාව දිග වැඩිද මන්ද ...? අපි දැන් එමුකෝ රෝග ලක්ෂණ වලට ....ටිකක් පරිස්සමින් කියවන්න , ඔයාට මේ ලක්ෂණ නැතිව ඇති ඒත් ඔබේ මිතුරියට මේ ලක්ෂණ වගේ ඇත්නම් ටිකක් උදව් වෙන එකහොඳයි ...
ඉඟ සුඟ ගත හැක ....?????
ප්‍රධානම ලක්ෂණේ වයසට , උසට හරියන දේහ පෙනුමට වඩා හුඟාක් කෙට්ටුයි , අපි සාමාන්‍යෙයන් දන්නවනේ මේ වයසට , මේ උසට මේ වගේ බරක් , ඇඟක් තියෙන්න ඕන කියලා (මේක හරියටම මැන ගන්න නම් BMI අගය ගැන අවබෝධයක් ඕන ..මේ ගැන අපි මුල් කාළෙම ලිපියක කතා කළා .....ඒක නැතත් සාමාන්‍ය අවබෝධයක් අපිට තියෙනවනේ)  ....මේ තත්ත්වයට පත්වුනු කෙනා ඒ තියෙන්න ඕන දේහ ප්‍රමාණය , බර ට වඩා 15%-20%ක් විතර නැත්නම් ඊටත් වඩා බර අඩුයි . අනික් ලස්සනම ලක්ෂණේ ..මේ වෙනස අපි දැක්කට අපි කළබල උනාට එයාට කිසිම ගණනක් නැහැ ..එයාට ඕන තවත් කෙට්ටුවෙන්න , කෑම රැචියක් අඩුයි , තෙල් කෑම පිටි සීනි තියෙන කෑම වර්ග කන්න අසාමාන්‍ය “බයක්“ ...කාපු ගමන්ම bath room එකට දුවන්නයි කැමැත්ත ඇගේ ආර්ථව ක්‍රියාවත් පිළිවෙලකට නැහැ අක්‍රමවත් , හැම තිස්සෙම “නොරිස්සන සුළු mood එකකින් ඉන්නේ , නැත්නම් කණ්නාඩිය ඉස්සරහ ..සමහර විට අසාමාන්‍ය විදියට ව්‍යායාම කරනව වෙන්නත් ඇති .හම දිහා බැළුවොත් මැළවුනු වියැළුනු ස්වභාවයක් තිබෙන්නේ , දත් කැක්කුම , අත පයේ කැක්කුම කියන්නත් පුළුවන් හැම තිස්සේම වගේ ...මේක උග්‍ර අතට පත්වුනාම කල්පනාවත් වෙනස් වෙනව ...කෙළින් ඉන්නම බැරි තත්ත්වයට එන්නත් තවත් දුර ගියොත් මරණයට පත් වෙන්නටත් පුළුවන් .මොකද මේක මුළු ඇඟටම බලපානවා , ඒ නිසා ඒ හැම තැනම ලෙඩ ඇතවෙන්න පුළුවන් . දැන් ඉතින් ඔය ඔක්කොම රෝග ලක්ෂණ ලියන්න ගියොත් ....??
 ඒ නිසා මේක රෝග ලක්ෂණ ගණනාවක මිශ්‍රණයක් වෙමින් “සින්ඩ්‍රෝම්“ තත්ත්වයක් විදියටත් අද වෛද්‍ය ක්ෂේත්‍රය තුල හදුන්වා දෙනවා.



හැඩ බලන්න ...
තමන්ට මෙහෙම හිතනවානම් , තමන්ගේ යාළුව මේ තත්ත්වයට පත්වෙමින් යනවා වගේ දැනෙනවා නම් හොඳම දේ ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙසක් ගන්න එක . රෝග තත්ත්වය පිළිබඳව පරික්ෂා කිරීමෙන් පස්සේ , වෙනත් රෝග තත්ත්ව ගැනත් සොයාබලල , රෝගය මෙය නම් , මේ තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදි වෛද්‍යවරයා පියවර තුනක් යටතේ ප්‍රතිකාර කරන්නට පෙළඹෙනවා. ඒ පවතින අනතුරුදායක තත්ත්වයෙන් මුදවා ගැනීමට ඖෂධීය ප්‍රතිකාර , ඒ යටතේ විවිධ විටමින් වර්ග , ඛණිජ ලවන අඩංගු ඖෂධ ඒ වගේම මානසික නොසන්සුන් තත්ත්වය පාළානය කරන්නට ප්‍රති අවපීඩක (Anti depressant) , Mood stabilizer (මේක කියවනවා නම් අර ඖෂධය ගැන ප්‍රශ්නේ අහපු මල්ලී ...මෙන්න මෙතැනදි තමයි ඔබ අහපු xxxxxxpine ඖෂධය භාවිත කෙරෙන්නේ)  වගේ ඖෂධ ලබා දෙනවා . දෙවැන්න පෝෂණය තත්ත්වයෙන් ඉක්මණින් ඉහළ නංවන්නට අවශ්‍ය කරන ආහාර වර්ග ,  පෝෂණ පාන වර්ග නියම කරාවි , ඒ පිළිබඳ උපදේශනයකුත් ලබා දේවි .ඔබේ පෝෂණවේදියා සමඟින් එක්වෙලා පවතින අනතුරෙන් මිදෙන්නට අවශ්‍ය පෝෂණ සැළසුමක් Nutritional plan හදල දෙන්නත් පුළුවන් . ඒ වගේම පවුලේ සම ආසන්නතම හිතවතුන්ටත් දැනුවත් කෙරෙන උපදෙස් ටිකක් දේවි .

ප්‍රතිකාර සමඟින් ළබැදියන්ගේ ආදරය සෙනෙහසත් , නිවැරදි සාත්තුවත් ලැබුනොත් ඇය ඉක්මණින් තවත් සාමාන්‍ය පුද්ගලයෙක් බවට පත්වේවි ..හැබැයි මතක තියා ගන්න , ආයෙත් ඇයට ඇඟේ බර ගැන , ඇඟේ හැඩ ගැන වැරදි අදහසත් ඇති නොවෙන තත්ත්වයක් ලබා දෙන්නට . නැත්නම් ආයෙත් “සන්තෝසෙට කෙට්ටු වෙන්න පටන් ගන්න පුළුවන්“ ......

දැන් උදේ දෙකට කිට්ටුයි ..මගේ මිත්‍රය තව ටිකකින් අළුත් පළාතකට යන්නට පිට වේවි ...වෙහෙසකර ගමනක ආරම්භය ...මට නම් වෙහෙසකර දවසක නිමාව ...එහෙම නම් අපි යන්නම් නිදා ගන්න ..හැමෝටම සුවබර දිනයක් වේවා ...

22 comments:

  1. ඔබගේ මේ ලිපිය දුටවම මට මතක් උනේ අපේ අල්ලපු ගෙදර ගෑණු ලමය. ඇයට තවත් කෙට්ටු වෙන්න ඉඩක් නෑ . හේතුව තමයි නැටුම් පංතියකට යෑම . තවත් කෙට්ටු වෙන්න ඕනලු .
    …නොදන්නා කම නිසා විහින් ලෙඩ වෙන්න හදන බවක් පේනවා .

    …හොඳ ලිපියක් වෙනද වගේම .

    ReplyDelete
  2. කැනඩාවෙ ගෙදරින් තවත් ගෙදරකට යනකොට පාවිච්චි කරපු බඩු ඔක්කොම විසිකරලා යන කතාව ඇත්තද?

    ReplyDelete
  3. මේ ගැන තිවුන චිත්‍රපටියක් බැලුවා මතකයි කාලෙකට කලින්..
    මහත ගැන නම් කියන්න තියෙන්නෙ ගොඩක් අයට නොතේරුනත් ඒක ලොකු ප්‍රශ්නයක්..ඉතින් ඔබතුමාම ලිපිපෙලක් ලියුවොත් නරකද Aneroxia නැතිව මහත අඩුකරගන්න විදි ගැන..:)

    ReplyDelete
  4. හොද ලිපියක්.. මට තියෙන්නේ ඕකේ අනිත් පැත්තගග කොච්චර කෑවත් පොඩ්ඩක්වත් මහත් වෙන් නෑ මහේෂ් අයියේ..

    ReplyDelete
  5. මට මතක් උනේම සේරසිංහ දොස්තර මහත්තයගෙ ඌරු පෙත්ත. ඕලෙවල් කරන කාලෙ අපිත් එක්ක හිටපු සාරිපොටවල් වගේ කොල්ලො මාස දෙකට තුනට ඇග හදාගත්ත රම්බෝල වගේ ඒ පෙත්තට පින්සිද්ද වෙන්න

    ReplyDelete
  6. -සල්මන් ඛාන්,
    ඔව් ඔබ තමයි එක ...සාදරයෙන් පිළිගන්නවා සොඳුරු සුව අසපුව වෙත ...ඔබේ පැමිණිම සතුටක් ..

    -Gimhani ,
    ඔව් Gimhani , ඔබ කියන කාණ්ඩයේ මේ තත්ත්වය බහුලව තිබෙන්න පුළුවන් , හේතුව අපි කතා කළ Social influences... ස්තුතියි පැමිණියාට .

    -හරී ,
    ඒ කතාව ටිකක් හරි , මොකද ගෙදර බඩු ටික transport කරන්න , බඩු වලට වඩා වියදම යන්න ඉඩ තියෙනවා . නමුත් මගේ මිත්‍රයට නම් Transport ප්‍රශ්නයක් තිබුණෙ නැති තරම් ...ස්තුතියි හරී .

    -රූ.... ,
    අනිවාර්යයෙන්ම , ඉදිරි ලිපියකදි ඒ ගැන කතා කරමු , ස්තුතියි සරු අදහසක් එක් කළාට ..

    -Mr.Sithi,
    ඕක ඔය කාළෙට එන පොදු ප්‍රශ්නයක් නමුත් BMI අනුව හොඳ මට්ටමක ඉන්නවා නම් බය වෙන්න එපා ..ආහාර සහ ව්‍යායාම නිසි ලෙසින් ගෙන ඇග සෞඛ්‍ය සම්පන්න තත්ත්වයකට ගේනන පුළුවන්. ස්තුතියි Mr.Sithi මල්ලියේ .

    -ඕනයා ,
    ඕන් ඔය වගේ පෙති බොහොමයක තියෙන්නේ ,Steroid කාණ්ඩයේ ඖෂධ , ඒ නිසා ඉදිමිමක් එක්ක , “තාවකාළික මහතක් “ පෙන්නුවාට අතුරු ආබාධ ඇති වෙන්නට ඉඩ වැඩියි . ස්තුතියි මල්ලි ...

    ReplyDelete
  7. -මඩිස්සලේ නිශාන් ,
    ස්තුතියි මඩිස්සලේ නිශාන් ...

    ReplyDelete
  8. කෙට්ටු වෙන්න නොකා ඉන්න එක ඕස්ට්‍රේලියාවෙත් සෑහෙන ප්‍රශ්නයක්.විශේෂෙන් ගෑනු ළමෝ අතර. ලංකාවෙ තියෙනවනම් ඔය ප්‍රශ්නෙ ඇත්තෙ බොහෝ දුරට හොඳට කන්න බොන්න තියෙන තැන් වල වෙන්න ඕනෙ.

    ReplyDelete
  9. Oba thumage site ekata ahamben paminiyath dan ida labena hama welawakama paminenawa....oba thumage hama lipiyakma ithama wathinawaa.....karyabahula rakiyawaka niyathu oba thuma me karana sewayata godak pin....Budu Saranai

    ReplyDelete
  10. -Observer ,
    ඔව් , මේ තත්ත්වය වඩාත් බහුල ගැහැණු දරුවන් අතරයි. ලංකාව ගැන නම් කියපු කතාව නම් ඇත්ත ‍තමයි .මොකද අපේ ඇමතිතුමාල කියනවා වගේ 2500න් ජීවත් වෙත්දි මෙහෙම වෙන්න නොවුනොත් තමා පුදුමේ . ස්තුතියි ඔබතුමාගේ පැමිණිමට ..

    -wasana,
    Sthuthiyi wasana

    ReplyDelete
  11. නියමයි!!! වටින පහයි!!

    ReplyDelete
  12. අපිනම් ඉතින් කෙට්ටුත් නැහැ මහතාත් නැහැ :)

    ReplyDelete
  13. -අඩවි රජා ,
    ස්තුතියි අඩවි රජා ....

    -වර්ණා ,
    කොයිතරම් දෙයක්ද නිරෝගී සිරුරක් තිබීමම ..
    ස්තුතියි.

    ReplyDelete
  14. ඔවු ස්ටෙරොයිඩ් එකක් තමයි දීල තිබ්බෙ . . . සෑහෙන සෙට් එකක් පසුකාලීනව ලෙඩ උනා

    ReplyDelete
  15. වටින ලිපියක්..මේක නේද බුලීමියා රෝගි තත්වය..?

    ReplyDelete
  16. -පුංචි කුමාරිහාමි ,
    ස්තුතියි පුංචි කුමාරිහාමි ..නැහැ ඒත් මේවගේමයි ..හැබැයි මීට විරුද්ධ තත්ත්වය ....අපි ගැනත් කතා කරමු ඉදිරියෙදි...

    ReplyDelete
  17. මම මෙ පැත්තට ආවෙ අද .නොදන්න දේවල් දැනගන්න වටිනා කියන තැනක්. ඉඩක් ලැබුනොත් අපේ පැත්තෙත් එන්න.

    ReplyDelete
  18. ඔහ් ගොඩ කාලෙකින් සුව අසපුව පැත්තේ ආවේ. මට නම් ඉතින් මේ ලිපිය එච්චර වැදගත් නැහැ කියන්න පුළුවන්. ඒත් ලිපියේ උඩින්ම තියන වචන කිහිපයකට මගේ හිත ගියා.

    “මේක කියවන පිරිමි දරුවෝ කී දෙනෙක් හිතාගෙන ඇත්ද “මම කෙට්ටුයි අනේ , මහත් වෙන්නේ නැහැනේ ...කොච්චර කෑවත් මෙච්චරයි ...“ ඕක කියන කොට අනෙත් යාළුවෝ හොඳ හොඳ හේතු කියනවනේ ..? ...ඒ සමහර හේතු වලට නම් පදනමක් නැතත් යොවුන් වියේ තරුණ දරුවන්ට එන ප්‍රශ්නයක් තමයි ඔය , ඉතින් ඇඟ හදාගන්න කියලා එක එක දේ කරන්න හිත දෙනවා “

    ඹන්න ඔය කියන අවුල මටත් තියනවා. මමත් (පවුලේ)වෛද්‍යවරයට මගේ ඔය කියන ප්‍රශ්නේ යොමු කලා. ඔහු ඊට පස්සේ මගේ බර මැනලා කිව්වා අවුලක් නැහැ කියලා.(මට නම් දැනුනේ ඔහු ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවේ වැහැ කියලා) මොකද මගේ බර කිලෝ50යි උස අඩි 5 අඟල්8ක් තියනවා. එතකොට BMI වැලුයි එක 18.7ක් ගන්නවා. මම දන්න හැටියට ඒක එච්චර හොඳ අගයක් නෙමෙයි. වෛද්‍යවරයා මට කන්න පුළුවන් වෙන්න කියලා බෙහෙතක් දුන්නා(සිරප්) නමුත් මගේ ආහාර ගැනීමේ කිසි අවුලක් නැහැ. මොකද සරලව කිව්වොත් මම හොඳට කනවා බොනවා. ඉතින් මගේ මේ සිරුරේ කෙට්ටුබව මටත් පොඩි අවුලක් ඹබතුමා මොකද මේ ගැන දරන අදහස...?

    ReplyDelete
  19. දැන් තමා සුව විමසුම් පැත්ත දැක්කේ මම දැක්කා ඒකෙත් මගේම බර තියන උස තියන සහෝදරයෙක් මේ ප්‍රශ්නේ ගැන අහලා තියනවා. ඔහුට ලැබුණු පිළිතුරුත් කියෙව්වා.
    මම හිතනවා. මට දෙන්න තියෙන්නෙත් එම පිළිතුරමයි කියලා බොහොම ස්තුතියි!

    ReplyDelete
  20. -ලිලංක රවිනාත් ,
    ස්තුතියි ලිලංක රවිනාත් ඔබේ පැනයටත් , ඒ වගේම සුව විමසුමේ අරමුණු ඉටු කරන්නට එක්වුනාටත් .....

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)