2011/08/09

44) කණෙන් ඇතුළුවී මොළයෙන් පිටවන ආදරණීය භූතයා

මාර හිනාව......


අද උදේ මනෝජව duty දාන්න ගියේ අද මොනවා ගැන ලියමුද කියල හිත හිත , මොකද ඊයේ ලියන්න හිටියත් ටිකක් rest එකේ හිටිය , මොකද ඔක්කෝම ගෙදර හිටිය දවසක් නේ , මේ යන එන අතරේ හැමදාමත් දකින සිදුවීමක් අදත් දැක්ක , සේවා මුරය නිමා වුනු , සේවා මුරය වෙනුවෙන් යන රෝහල් සේවකයින් , නිලධාරින් බොහොමයක් අපි මේ යන පාරෙදි මුණ ගැහෙනවා , ඒ බොහෝ දෙනෙක් uniform ගතියක් තියෙනවා , ඒ කිව්වේ නිල ඇඳුමින් කියන එක නෙවි , uni+form එක වගේ දකින්න පුළුවන් , ඒ අය බොහෝ දෙනෙක් පාරේ යන්නේ එක කනක් වහගෙන , මොකකින්ද ? Mobile phone එකෙන් , මම දකින් විදියට රෝහලේ සිට ගෙදරට හරි බෝඩිමට හරි quarters වලට යනකම්ම හරි මේ phone එක කනෙන් ගැලවෙන්නේ නැහැ වගේ , මේ අතර විශේෂයි  ලාබාල තරුණ නිලධාරිනියන් ,  


මෙන්න ඒ පුංචි කෙල්ල....

මෙන්න film එක ..
අද මේ පිළිබඳව ලියන්න හිතාගෙන ගෙදරට ආවම මතක් වුනේ ඊයේ නැරඹූ ලස්සන film එක ගැන , TRUST , Owen Keener ගේ හරිම ලස්සන , සංවේදී චිත්‍රපටියක් ,තමන්ගේ ජංගම දුරකථනයත් , උපන් දිනයට ලැබෙන laptop පරිගණකයත් එක්ක ජිවිතේ ගෙවන අවුරුදු 14ක යෞව්වනියක් , ජංගම දුරකථනයෙන් හඳුනාගන්නා “නොහදුනන මිතුරකු“ සමඟ සිදුවන “ආදර බැඳීමකින්“ ,ඇය , ඇගේ මිතුරු අපරාධකාරයා විසින් දූෂණයට ලක්වීමත් , එ තුලින් ඇයට ඇති වන මානසික සහ සමාජයීය ගැටළුත් , ආදරණීය පවුලක , බැඳිම් ගැනත් කතා කරන ඇත්තටම ලස්සන film  එකක් , එතනදිත් මේ කෙල්ල හැම තිස්සේම phone එකේ , මට හිතෙනව අද දවසේ තරුණ දරුවන් ඉන්න හැම දෙමාපියෙක්ම බලන්න ඕන film එකක් කියලා , අද දවසේ විය හැකි දෙයක් ගැන කතා කරනවා එහි , ඔය සිදුවිම් දෙකම අරගෙන අපි අද කතා කරමු , ජංගම දුරකථන වැරදි අයුරින් භාවිතයේ අනතුර ගැන .

ඇතුවත් බැරි නැතුවත් බැරි ...
මේ ගැන කතා කරන්නට තවත් වැදගත් සාධකයක් පහුගිය මැයි මාසේ එළදැක්වුනා ,  ඒ ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ඒජන්සිය International Agency for Research on Cancer තමන්ගේ අළුත්ම වාර්තාව තුල ජංගම දුරකථන වැනි උපාංග වලට අධිකව නිරාවරණය වීම මගින් මොළයේ පිළිකා ඇති වීමේ අවදානමක් පවතින බව පර්යේෂණාත්මක ප්‍රතිපල ඇසුරින්ම එළි දැක්වීම , ඒ අනුව යමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව නිල ප්‍රකාශයක් කළා , රටවල දහ හතරක ,  විද්‍යාඥයෝ , පර්යේෂකයෝ එක් වෙලා කළ මේ පර්යේෂණ වාර්තාව නිසාවත් අපි මේ ගැන ටිකක් කතා කළොත් හොඳයි නේද, මොකද මේ වෙනකොට ලංකාවේ ජංගම දුරකථන පාරිභෝගිකයෝ මිලියන 16කට වැඩිය ඉන්නවා , එයින් වැඩිම පිරිසක් වයස 16-35 අතරේ බවත් ශ්‍රි ලංකාවේ ප්‍රධාන පර්යේෂණ ආයතනයකින් සිදු කළ වාර්තාවක සඳහන් වෙනවා ,කොහොමද මේ හැමෝම නිසි ලෙසට තමන්නේ දුරකථනය පාවිච්චි නොකළොත් වෙන්න පුළුවන් දේ , 

මම මෙතැනදි ජංගම දුරකථන හෝ එබඳු උපකරණ ගැන සම්පුරුණ තාක්ෂණීක වග ගොත  ගැඹුරින් කතා කරන්නට යන්නේ නැහැ , මම මෙතැනදි මූලිකව යොමු වෙන්නේ , එම උපකරණ මඟින් නිකුත් වන radiofrequency electromagnetic fields - RF.EMF ගැන විතරයි , මොකද එය තමයි මේ අනතුරේ ප්‍රධාන සාධකය , මේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර මගින් නිපදවන්නේ ජංගම දුරකථනයෙන් විතරක් නොවෙයි , ස්වභාවිකව අපි හමෝම යම් තරමක චුම්බක ක්ෂේත්‍රයක ගිලිල තමයි ඉන්නේ , දන්නවනේ පොළොවෙ තියෙන magnetic field එක ගැන . අපිට උතුර-දකුණ මාරු නොවන්නේ මේ නිසානේ ,( එත් දවසක උතුර දකුණ මාරුවේද මන්ද , එහෙම කිව්වේ “සත් සමුදුරේ“ තිබුණු සටහනක අනාගතයේ විය හැකි යැයි අනුමාන කරන සිදුවීමක් ගැන තිබුණ, ගිහින් බලන්නකො මෙතැනින්) , ඊට අමතරව විවිධ විද්‍යුත් උපකරණ මගිනුත් මේ වගේ magnetic fields නිපදවෙනවා , නමුත් ජංගම දුරකථනයෙන් නිකුත් වන මේ “පොඩි-දරුණු“ විද්‍යුත් චුම්බක ක්ෂත්‍රෙයන් අපට අනතුර වන්නේ , එය නිපදවන ස්ථානය සහ අපේ ඇඟ අතර පවතින ඉතා අඩු දුර නිසයි , තව විදියකින් කිව්වොත් ජංගම දුරකථනේ  උනත් ඈතින් තියාගෙන පාවිච්චි කරන්න  පුළුවන් නම් තමන්ගේ ඇඟට වන හානිය අඩුයි , 

වෙනස .....බලන්න ....අහන්න ...
විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මෙමගින් අනතුර ඇති කිරීමක හේතු සාධක වන කරුණු කිහිපයක් තියෙනවා  , ඒ උපකරණයෙයන් නිපදවෙන RF-EMF වල තීව්‍රතාවය , එතැනදි ටිකක් සුභ ආරංචියක් තියෙනවා ඒ පරණ ජංගම දුරකථන වලට වඩා නවීනතම දුරකථන වලින් නිපදවෙන RF-EMF ප්‍රමාණය ඉතා අඩුයිලු (හැබැයි මෙතැනදි ඔබ ගන්නා දුරකථනයේ quality එක බලපානවා ) , ඒ වගේම G.S.M ෆෝන්  එකකට වඩා , 3G ෆෝන් එකකින් පිටවන එම ප්‍රමාණයත් අඩු  බව සොයාගෙන තිබෙනවා , 

අපට වෙච්චදේ ....දෙයියෝ ...
ඒ වගේම එම RF-EMF අපේ ඇඟට , පටක වලට ඇතුළු වීමේ හැකියාවත් ඊට බලපානවා , ඒකට කියන්නේ specific RF energy absorption-rate (SAR) , මේ මත සෘජු වම වලපාන සාධකය තමයි අපි මීට පෙර කතා කළ උපකරණය සහ ඇඟ අතර දුර , ඒ වගේම උපකරණය ළං වන ප්‍රෙද්ශයේ තිබෙන දේහ පටක වල ස්වභාවය , උදාහරණයක් විදියට කිව්වොත් ඇට මිදුළු වල මෙම උරා ගැනීමේ හැකියාව ඉහළයි , විශේෂයෙන්ම දරුවෙක්ගේ ඇට මිදුළු වලට මේ අහිතකර බලපෑම උරා ගැනීමේ හැකියාව වැඩිහිටියෙක්ට සාපේක්ෂව දහ ගුණයකින් විතර වැඩි බව මෙම පර්යේෂකයො පවසනවා , දැන් ඔබේ දරුවාත් mobile එකේ එල්ලිලාම නම් ඉන්නේ , ඕක යාළුවොත් එක්ක ආඩම්බරේට කිය කියා ඉන්නේ නැතිව දරුවට hand free set එකක් වත් අරන් දෙන්න , මොකද අනතුර අඩු කරගන්නවන් එපායැ .(එමඟින් මොළයට වන හානිය 10%ට වඩා අඩු කරගන්න පුළුවන් ) , ඒ වුනාට hand free එක දැම්මම ඇඟේ අනෙක් තැන් වලට විය හැකි හානිය වැඩි වෙනවා , මොකද  එතකොට phone එක කනට ලං නොකළාට , ඒක ළඟම නේ ඉන්නේ ,

තුන් දෙනාම හොඳ වුනොත් හොඳා.....
අනෙක් සාධකය තමයි ඔබේ දුරකථනයේ signal strength එක , තව විදියකින් කිව්වොත් ඔබේ දුරකථනය සහ ඊට අදාල සම්ප්‍රේෂණ කුළුන අතර දුර වැඩිනම් ඔබේ දුරකථනයට වැඩි පුර මහන්සි වෙලා , වැඩි ශක්තියක් පිට කරන්න වෙනවා කුළුණ අල්ල ගන්න  , එවිට ඔබේ ශරීරයට ඇතුළු වන බලපෑමත් වැඩි වෙනවා , එහෙම නම් හොඳම දේ තමයි හොඳ සම්ප්‍රෙෂණ පහසුකමක් සපයන network එකක් තෝර ගන්න එක , නැත්නම් rates අඩු වුනත් සිග්නල් අඩු network එකක් තෝර ගත්තොත් වෙනනේ අපේ ජිවත් විමේ rate එකත් අඩු වෙන එක .

ඊළග දේ ෆෝන් එක පාවිච්චි කරන කාළ සීමාව , විශේෂයෙන්ම මේ කියන අනතුරු හුඟක් වැඩි ජංගම දුරකථනය කනේම තියාගෙන ඉන්න අයට , ඔවුන් කියන විදියටම අවුරුද්දකට පැය 1640ක් හෝ වැඩි කාළ සීමාවක්(greater than or equal to 1640 hours per year) mobile එක අනාරක්ෂිතව භාවිත කළානම් අවදානම් තත්ත්වයක් බව මතක තියා ගන්න , ඒ වගේම ජංගම දුරකථනයන් අවුරුදු 10කි හෝ ඊට වඩා වැඩි කාළයක් භාවිත කළා නම් ටිකක් පරිස්සම් වෙන්න Past studies have also shown an increased risk of tumours on the same side as cell phone use in heavy users who used cell phones for 10 years or longer

තාමත් අපි මේ විය හැකි හානිය කිව්වේ නැහැනේ , පර්යේෂකයන් කියන විදියට ප්‍රධානව මොළයේ Glioma කියන පිළිකාමය විය හැකි ගෙඩි , ඊට අමතරව ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා වර්ග කිහිපයක් (Acoustic neuroma) ඇති වීමේ අවදානමත් මෙමගින් වැඩි වෙනවා , 

මේ වැඩෙත් බබා(ට) හොඳ නැහැ ...
දැන් ඔන්න මේක කියවපු ගමන් Mobile phone එක විසිකරල දාන්න එපා , මොකද අද තියෙන සමාජ රටාවත් එක්ක එය අතශ්‍යවශ්‍ය උපකරණයක් , කරන්න ඕන දේ තමයි එය සීමාවක් ඇතිව , ආරක්ෂාවක් ඇතිව පාවිච්චි කරන එක , 

දැන් අපි බලමු මේ අනතුරෙන් ගැලවෙන්නේ කොහොමද කියලා , මුලින්ම කියන්න ඕන , “හොඳ ෆෝන් එකක් , හොඳ නෙට්වර්ක් එකක්“ පාවිච්චි කරන්න , මම මේ බිස්නස් කරනවා නම් නෙවෙයි , අනෙක හොඳ ෆෝන් එකක් කිව්වේ ජංගම දුරකථන නිශ්පාදනය සහ ආශ්‍රිත පර්යේෂණ පිළිබඳ පර්යේෂණ ලොව පිළිගත් ආයතනයක නිශ්පාදනයක් තෝරා ගන්න , මිල ටිකක් වැඩි වෙන්න පුළුවන් , හැබැයි ඔය මිල හුඟක් වැඩි වෙන්නේ එහි තියෙන පහසුකම් මත , ඒ නිසා තමන්ට අවශ්‍ය මූලික පහසුකම් පමණක් තියෙන “හොඳ ෆෝන් එකක් “ තෝර ගන්න කිව්වට මාත් එක්ක තරහ වෙන්න එපා , ඒ වගේම “හොඳට සිග්නල් තියෙන“ නෙට්වර්ක් එකක් තෝර ගන්න , ඒත් අපේ රටේ සමහර ඈත ප්‍රදේශ වලදි මෙය ගැටළුවක් තමයි , නමුත් එය ඉක්මණින් නිවැරදි වේවි , 

අනෙක් වැදගත්ම දේ තමයි ෆෝන් එක මිලදී ගත් ගමන් “වැඩේ “ පටන් ගන්නේ නැතිව , නිශ්පාදකයා  විසින් ලබා දී ඇති උපදෙස් පත්‍රිකාව කියවන්න , එහි SAR අගයන් ගැන හඳුනගන්න මේ අගය SAR (Specific Absorption Rate) අඩු ෆෝන් එකක් තෝර ගන්න පුළුවන් නම් හොඳයි  , ආරක්ෂක පියවර ගැන කියවන්න ,ඒක ෆෝන් එකට වගේම ඇඟටත් හොඳයි ,

අනෙක් පුළුවන් නම් call කරනවාට වඩා හොඳයි text එහෙම නැත්නම් SMS කරන එක , එකතොට අපේ ඇඟෙන් ඈත තියෙන නිසා විය හැකි හානිය අඩුයි ඒවගේම එහිදි නිපදවෙන , අනෙක් වටපිටා යහපත් නම් ඕක කනේ තියන් ඉන්නවට වඩා හොඳයි Speaker - on කරලා , කතා බහ කරගෙන යන්න , වට පිටාව ගැන හිතන්න කිව්වේ ඔබේ ආරක්ෂාවට වගේම අනෙක් අයටත් බාධාවක් නොවන විදියට එය භාවිත කරන්න.ඒ වගේම wired hand set එකක් තිබේනම් එය භාවිත කරන්න , දැන් ඉතින් hand set එක දාගෙන ෆෝන් එක පපුව උඩ තියාගෙන ඇඳ උඩට වෙලා කතාව පටන් ගත්තොත් ඉතින් මං මේ දැං කියපුදේ වැඩක් වෙන්නේ නැහැ හොඳද ?.

පරිස්සම් වෙන්න හොඳ තව උපදෙස් ටිකක් දෙන්නම් ,


  • ඔබේ ජංගම දුරකථනය පපුව , බෙල්ල , බඩ  හෝ ලිංගික අවයව ආසන්නයේ  ආශ්‍රිතව රඳවන්න එපා , 
  • ඔබේ සංවාදය හැකි තරම් සීමා කරන්න. කතාව දිගුවන තරමට අපි දෙන්නාටම හානිකර බව වටහා ගන්න.
  • විනාඩි දෙකකට වඩා කතාව වැඩි වෙනවා නම් දුරකථනය අනෙක් කනට ගන්න , (එකම පැත්තේ තියාගෙන දිගු වෙලාවක් එය භාවිත කළාම හානිය වැඩියි)
  • දුරකථයේ signal දුර්වල අවස්ථාවන් වලදී ගන්නා ඇමතුම් ප්‍රමාණය අතිශ්‍යයින් සීමා කරන්න .
  • ඔබේ ප්‍රතිශක්තිය දුර්වල නම් , කාළින රෝග වලින් පෙලෙනවානම් , ගර්භනීනම් හෝ කුඩා දරුවෙක් නම් ජංගම දුරකථනය භාවිතය සීමා කරන්න ,  .
  • ඔබේ ඇමතුම අනෙක් පුද්ගලයා විසින් ලබා ගන්නා තුරු දුරකථනය ‘කණට‘ ලං නොකරන්න ( එයා කෝල් එක ගන්නකං , දැන් තියෙන සිංදු අහ අහ ඉන්න නම් එපා ,) මොකද මේ වෙලාවට තමයි ඔබේ දුරකථනය වැඩිම සක්‍රිය තත්ත්වයට පත්වෙන්නේ 
  • ඔබ නිදා ගන්න විට එයත් ඔයාගෙම  ඇඳේ තියා ගන්න එපා .(මේ එයා කිව්වේ Mobile phone එක ..! )

2006 කළ තවත් පර්යේෂණයකින් තව අනතුරක් පෙන්වා දෙනවා ඒ තමයි දිගු කාළීනව ජංගම දුරකථන භාවිත කරන පිරිමින්ගේ ප්‍රජනක ශක්තිය  ,  ඒ කිව්වේ ඔවුන්ගේ Sperm count වගේම එම ශුක්‍රාණූ වල සක්‍රිය බව අඩුවෙනවා , එතකොට මොකද වෙන්නේ කියල විස්තර කරන්නම ඕන නැහැනේ , එහෙනම් අදට මම යනවා ,ආයෙත් දවසක් එනවා .

මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයට මෙතැනින් යන්න පුළුවන්
මේ ගැන විඩියෝ එකක් බලන්නකෝ මෙතැනින් ගිහින් 



36 comments:

  1. මම දැක තියනවා ඇතම් අය මුලු දවසෙම phone එකේ. ඒ මදිවට නිදාගන්න ගියාමත් පපුව උඩ තියාගෙන කතාව. සමහර phones තියනවා පොඩ්ඩක් කතා කරනකොටම කන රිදෙන්න ගන්නවා. මේවනම් හොදම නැතුව ඇති..

    හොද උපදෙස් ටිකක්..

    ReplyDelete
  2. කාලීන ලිපියක්..!!
    මට මේ ගැන පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා අහල දැන ගන්න.

    1. යම් phone එකක SAR අගය සොයා ගන්නේ කොහොමද?
    මට තියෙනව Apple iPhone4 සහ Nokia 1112 වර්ගයේ phone දෙකක්. ඒ එකකවත් user guide පරීක්ෂා කලාට SAR අගය ගැන සඳහනක් හොයා ගන්න බැරි උනා.

    2. ජංගම දුරකතනයට අමතරව, Earphone, Headset, Pocket Radio වැනි උපකරණ වලින් ජනිත වන චුම්භක ක්ෂේත්‍රය නිසා මොළයට හානි සිදුවන්න පුළුවන්ද?

    ReplyDelete
  3. Gimhani
    ඔව් , ඔබ කියන ආකාරයේ තරුණ පිරිසක් අද බිහිවෙමින් පවතින්නේ ඔවුන්ට mobile එක නැතිව කිසිම වැඩක් කරග්න බැහැ වගේ , මේ විදියට ගියොත තව අවුරුදු 10කින් විතර මොනවා වෙයිද හිතාගන්නත් බැහැ
    ස්තුතියි ඔබට

    ReplyDelete
  4. පැණියා ,
    මේ සඳහා හොඳම දේ manufactures instruction booklet , නමුත් එය නැතිනම් අදාල නිශ්පාදකයාගේ web site එකෙන් එය හොය ගන්න පුළුවන් ,
    උදා:Nokia 1112ගැන හොයාගන්න http://sar.nokia.com/sar/index.jsp යන්න.

    Apple iPhone4 (මෙයාලේ s.A.R.අගය ටිකක් වැඩි බව දැක්වෙනවා , පරිස්සමින් භාවිත කරන්න--http://www.pcmag.com/article2/0,2817,2365650,00.asp

    ReplyDelete
  5. පැණියා ,
    B.T. උපක්‍රමය සහිත headset වලිනුත් යම් තරමක හානියක් විය හැකි අතර Laptop , note book computers භාවිතයේදීත් එම හානිය විය හැකි බව පර්යේෂකයෝ විශ්වාස කරනවා , නමුත් ඒ ගැන ප්‍රතිපලදායක පිළිගත් පර්යේෂනයක් සිදුවී නැහැ

    ReplyDelete
  6. මේ ලිපිය මට පීඩීඑෆ් විදිහට එන නිසා ඒක අපේ කැම්පස් එකේ අය අතරේ යවන්න පුලුවන්. මොකද ගොඩක් අය දවසේ වැඩි කාලයක් ෆෝන් එක කනේ තියාගෙන ඉන්නවා.

    ඒකේ ආදිනව ගන එයාලව දැනුවත් කරන්න මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.ඔය ලැප්ටොප් ඔඩොක්කුවේ තියාගෙන හිටියාම පිරිමි අයගෙත් මදසරු බාවය ඇතිවෙනවා කියලා කියන්නේ ඇත්තක්ද අයියා ?

    ප.ලි. - මේ ලිපියේ පීඩීෆ් කොපිය යාලුවන් අතරේ මේල් කලාට කමක් නැද්ද කියලා දනගන්න කැමතියි.

    ReplyDelete
  7. මේ ලිපිය නම් ගොඩක් කාලීනයි..ඒ වගේම වටිනා තොරතුරු ගොඩක් තියෙනවා.අපේ කට්ටිය කොයි වෙලාවේ බැලුවත් කන අල්ලාගෙන නේ ඉන්නේ...

    ReplyDelete
  8. වටිනා , කාලීන ලිපියක්.. මම කීප දෙනෙකුටම ලින්ක් එක යැව්ව කියවන්න කියල..ඒ ගොල්ලො ෆෝන් වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ.. මේ ෆිල්ම් එකත් හොයා ගෙන බලන්න ඕනි

    ReplyDelete
  9. මධුරංග මල්ලී,
    බෙහොම ස්තුතියි ,ඔව් අපි පුළුවන් තරම් අපේ මිනිසුන් දැනුවත් කරමු , එය හරිම සතුටක් ,
    ඔව් ජංගම දුරකථන විතරක් නොවෙයි ලැප්ටොප් භාවිතය මඟිනුත් (වැඩි කාළසීමාවක් , නිවැරදි නොවන ආකාරයෙන්) භාවිත කිරීම මඟින් ශ්‍රක්‍රාණූවල සචලතාවය අඩුවන බව සොයාගෙන තිබෙනවා , එය මද සරුභාවයට ප්‍රධාන හේතුවක් ,

    P.D.F.ආකාරයෙන් එන සටහන ඔබේ මිතුරන් අතරේ බෙදා දෙන්නට පුළුවන් නම , එය මගේ අරමුණත් සාක්ෂාත් කිරීමක් , කිසිම ගැටළුවක් නැහැ , බෙදා දෙන්න ,
    ස්තුතියි

    ReplyDelete
  10. ChammA ,

    ඔව් ඇත්තෙන්ම , ඒ නිසා දුම්වැටියෙන් වන අනතුරට වඩා අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවේයැයි විද්‍යාඥයින් අනාවැකි පලකරනවා ,

    ReplyDelete
  11. Weni ,
    බොහොම ස්තුතියි , පුළුවන් තරම් පිරිස දැනුවත් කරමු , නැත්නම් අනාගතේ මොන දේ වේද හිතාගන්නත් බැහැ වගේ ,

    ReplyDelete
  12. ගොඩක් හොඳ ලිපියක් හැමදාම වගේ...අපි හැමෝම ඔය කියන අමුතු යාළුවා භාවිතා කරනවනේ..ගොඩක් ස්තුතියි ඔබට..ගොඩක් පිං.:)

    ReplyDelete
  13. ආගන්තුකයා,
    බොහොම ස්තුතියි ඔබට .

    ReplyDelete
  14. වැදගත් ලිපියක්...
    කරන රස්සාවෙ හැටියට ෆෝන් එක වැඩිවෙලාවක් කනේ තියන් තමයි ඉන්න වෙන්නෙ... හෙඩ්සෙට් එක පාවිච්චි කරන්න පුළුවන් වෙලාවල පාවිච්චි කලත් හැම තිස්සෙම ඒක කරන්න බැරි එක තමයි ප්‍රශ්නෙ...

    ReplyDelete
  15. සාතන්
    බොහොම ස්තුතියි , පුළුවන් නම් උත්සාහ කරන්න , මොකද ජීවිතේ අපේනේ ...

    ReplyDelete
  16. හොඳ ලිපියක්... ඒ වගේම මගේ නොවෙන අපේ වැඩක් ගැන පොඩි ඇඩ් එකක් දාන්න අවසර ඉල්ලා සිටිනවා...

    මේ සෙට් ඩිකෝ නිර්මාණය කළ ධනික සොහොයුරාගේ ජීව විද්‍යාත්මක විකි පිටුව. මම වැඩි විස්තර කියන්නේ නෑ. ගිහින් බලන්න. පුළුවන් නම් දායක වෙන්න. මෙතනින් යන්න .

    ReplyDelete
  17. ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නැහැනෙ . මමත් මේක මුණු පොතෙන් වත් බෙදා දෙන්න ඕන . ස්තුතියි මහේෂ්

    ReplyDelete
  18. ලෙඩ රෝග වලට අමතරව මොබයිල් ෆෝන් මනුස්සයට තිබුන නිදහස තවත් නැතිකළා කියලයි මන් හිතන්නේ. ඒ මදිවට තවත් අය උඩ රඳා පැවැත්මත් වැඩි කළා. ඔය මොබයිල් පෝන් නැති කාලේ මං වැඩ කල ආයතනයේ අපි නිවාඩු දිනවල රාත්‍රී කාලයේ එහෙම විශේෂ අවස්ථාවල් වලදී අපේ උසස් නිලදාරින්ට කතා කරන්න ගියේ නැහැ තීරණ ගන්න. ඒ අය ගෙදර නැත්නම් අපි තීරණය ගත්ත.. මං ඒ තැනට යනකොට මොබයිල් පොන් ඇවිත්. ඉතින් මොන පොඩි දෙකට උනත් මට අමතල ඇඟ බේරගන්න ක්‍රමයක් ඇති උනා. ප්‍රතිපලය තනියම තීරණයක් ගන්න අකමැති නොහැකි කළමනාකරුවන් බිහිවීමයි..

    ReplyDelete
  19. චතුරංග පෙරේරා.
    බොහොම ස්තුතියි චතුරංග අපි ඒ සමඟත් යමක් කරන්නට පුළුවන්දැයි බලමු .
    ස්තුතියි යොමු කළාට

    ReplyDelete
  20. Bindi,
    බොහොම ස්තුතියි බින්දි , මේ යථාර්ථය ගැන අපි පුළුවන් තරම් පිරිස දැනුවත් කරමු ,

    ReplyDelete
  21. සරත් ලංකාප්‍රිය ,
    ඇත්තෙන් සරත් මම 100% එකඟයි ඔබ සමඟ , මමත් ඔය කරදරෙන් විදෙව්වා කාළයක් , පැය 24ටම නිවාඩුවක් නැතිව ,
    බොහොම ස්තුතියි

    ReplyDelete
  22. මටත් එපාම කරපු වැඩක් තමයි ඔය මොබයිල් ෆෝන් පාවිච්චිය . . . . පුලුවං කමක් තියනව නං විසි කරල දානව . . . . ඒත් කරුමෙක මහත කියන්නෙ ෆෝන් එකක් නෙමේ . . . . තුනක්ම පාවිච්චි කරන්න වෙලා තියෙන්නෙ . . . . .

    ReplyDelete
  23. ඕනයා,
    හැබැයි ඕනයා මලයෝ ඕව පරිස්සමින් පාවිච්චි කරන්න “ඕනා“ ....
    බොහොම ස්තුතියි ....

    ReplyDelete
  24. ප්‍රනීත් මදුරංගAugust 11, 2011 at 2:04 PM

    මම මැදපෙරදිග රටක සේවය කරනවා,, මම මෙහෙ තනියම නිසා මගේ තනියම මම පුදුම විදියට අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා... මුනුපොත.යුටියුබ්, ෆිල්ම්ස්,ලංකාවේ නිව්ස්..මේවා තමා මගේ ජීවිතේ දැන්... තනියම නිසා වෙන කරන්න දේකුත් නෑ..මගේ ලැප් එක බඩ උඩ තියාගෙන ඇඳේ හාන්සිවෙලා තමා මම නෙට් එකට එන්නේ.. ඒ විදියට මම හුරු වෙලා දැන්... එත් දැන් මේ කතාව ඇහුවම ඇඟ හීතල වුනා.. මම දැන් එක දිගට අව්රුද්දක් විතරම මේ විදියටමයි නෙට් අවේ....මේකෙන් මට බලපෑමක් වෙයිද?මම කිව්වේ මදසරු බවක් ඇතිවෙයිද?

    ReplyDelete
  25. ප්‍රනීත් මදුරංග,
    මෙහෙමයි , Laptop එකෙනුත් RF.EMF නිකුත් වෙනවා එයිව් හානියක් වීමට අවසථාව තිබෙනවා, අවුරුද්දක් වැනි කාළයකදී එවැනි ලොකු ආපදාවක් වේ යැයි හිතන්න අමාරුයි , කෙසේ වෙතත් අද ඉඳළම ක්‍රෙම් වෙනස් කරන්න , දැන දැන අමාරුවේ වැටෙන්න ඕන නැහැනේ ,
    ඒ වගේම මේ තොරතුර ඔබේ අවට මිතුරන් එක්කත් බෙදා ගන්න , නැත්නම් ප්‍රයෝජනය අඩුයි . මොකද මේ අනතුර දුම් බිම වගේමයි , අනෙක් අය වැරදියට කළොත් තමන්ටත් අනතුරක්
    බොහොම ස්තුතියි

    ReplyDelete
  26. දැනුයි ලිපිය සම්පූර්ණෙන් කියවන්න ලැබුනේ.මමත් යාලුවන් අතරේ බෙදා දුන්න,වැදගත් කරුණු බොහොමයක් අඩංගු පෝස්ටුවක්.ඉස්සර මමත් ෆෝන් එක කනේ ගහගන ඉන්නවා,අවසානේ කන රත් වෙනකම්ම කතාකරනව.දැන් නම් ගොඩක්ම සීමා කරලා තියෙන්නේ.ගොඩක් අය මේ දේවල් දන්නෙ නෑ.ස්තූතියි දැනුවත් කිරීමට.

    ReplyDelete
  27. නදී ,
    බොහොම ස්තුතියි නදී , දැනුවත් වීම සහ නිවැරදි වීම මගින් බොහොමයක් රෝග වලක්වා ගන්න පුළුවන් , අපි කළ යුතු එය නේද ?

    ReplyDelete
  28. ලිපිය දැක්කෙ දැනුයි-බලපු ගමන් ඇග සීත්ල උනා
    මහත්තයො මට ඔනෙ ඔයාගෙන් උපදේශයක්....? මම ඉන්නෙ විදේශයක ,දවසකට අවම වශයෙන් 15-17 hrs වැඩ කරනව එයින් 10hrs විතර මගෙ කන් දෙකේම mobile දෙකක් ඊට අමතරව මගෙ වටෙට lap 2ක් සහnormala comp.2 කකුත් එක්ක දවසකට ඇමතුම් 15000 පමන නිකුත්කරන gate -vay නම් උපකරන දෙකකුත් තියනව මෙ සියල්ල සමග මම ඉන්නෙ අඩි 12*10 room එකක .දැනට වසර එකහමාරක විතර ඉදල මම ඉන්නෙ මෙක ඇතුලෙ දවසම .නිවාඩු නැහැ.ඔයකියන ඔය තරන්ග ඉතා ඉහල ඝනත්වයකින් මෙතන ඇති. මට කියනවද මෙවාඉන් යම් පමනකට වත් ආවරනය වෙන්න පුලුවන් ඇදුමක් වගේ දෙයක් තියනවද කියල..වසර දෙකකට වඩා රස්සවක් නැතුව ststion - bus halt වල කල්ගෙවල බොහොම අමරුවෙන් තමයි මෙක හොයාගත්තෙ අයිතිවාසිකම් ඉල්ලුවොත් ආයිමත් මහපාරෙ. ඒනිසා මගෙ ආරක්ශාව සලස ගන්න උපදේශයක් දෙන්න ගොඩක් පින්

    ReplyDelete
  29. janaka,
    පිළිතුරු දෙන්නට ප්‍රමාද වුනාට සමාවෙන්න .

    ඇත්තටම මේ උපකරණ ගොන්න ගැන හිතුවම අනතුරක් වේවිද කියල බයක් හිතෙන එක සාධාරණයි , ඒත් පුළුවන් නම් කියවන බලන්න ඔය උපකරණ වල විස්තර අඩංගු booklets , ඒවායේ S.A.R අගය ගැන සොයාබලන්න .අදාල ප්‍රමිතියන්ට අනුකූලව පාවිච්චි කරනවා නම් අනතුර අඩුයි.
    ඒ වගේම විටමින් C සහ ප්‍රෝටින් සහිත ආහාර මගින් යම් ජෛව ආරක්ෂාවක් සැපයෙන බව හදුනාගෙන තිබෙනවා .

    ඔව් විවිධ phone shield systems වෙළඳපලේ තිබෙනවා , ටිකක් හොයල බලන්න .

    කොහොම වුනත් හොඳට මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරලා පුළුවන් ඉක්මනට උසස්වීමක් අරගෙන යන්න බලන්න.

    කොහොම වුනත් කළබල නොවී , පරිස්සම් වන ක්‍රම ගැන දැනගනිමු නේද ?
    ස්තුතියි

    ReplyDelete
  30. trust ෆිල්මි එක මාත් බැලුවා.. අපේ අප්පචිචි වගේ එකේ ගැනු ළමයගේ තාත්තත්.. මගේ ඇසු වලටත් කදුළු ආවා.. මොබයිල් ෆෝන් වගේම ලැප් එකත් වාතයක්.. එත් එකෙන් තමා හැමදේම කරගන්න වෙලා තියෙන්නේ.. තාක්ෂණයත් වෙලාවකට මහ කරැමයක්
    රශ්මි

    ReplyDelete
  31. රශ්මි ,
    ඇත්තෙන්ම ඔබ හරි , කළ යුත්තේ තාක්ෂණයේ සීමා මායිම් දැන එය භාවිත කිරීමයි , ඒවාට ඇබ්බැහිවිම නොවෙයි .
    ස්තුතියි

    ReplyDelete
  32. ඔබගේ පිලිතුරට ගොඩාක් ස්තුතියි.ඔබ සදහන් කල කරුනු ගැන ඉක්මනටම හොයා බලන්නම්.
    ඔබට ගොඩාක් පිං
    ජනක.

    ReplyDelete
  33. ඔබ සදහන් කරන සෞඛ්‍ය අවදානම ගැන තොරතුරු 100% නිවැරදි උනත් ඊට එරෙහිව ගත යුතු තාක්ෂණික පියවරයන්ගේ හරි සහ වැරදි කාරණාත් මිශ්‍රව තිබෙනවා...
    නමුත් මා මෙම මාතෘකාව ගැන මෙතෙක් කියවූ හොදම මග පෙන්වීම විදියට දකිනවා...
    ඕනෑම දෙයක් ඕනවට වඩා භාවිත කිරීම හානිකර බව තමා සරලව කියන්න තියෙන්නෙ. iarc ආයතනය කියන විදියට වසරකට පැය 1640 ක් කියන්නෙ දිනකට පැය 4.5ක කෝල් ගැනීමක්. මෙහෙම කෝල් ගන්නවනම් පිලිකා විතරක් නෙමෙයි වෙනවෙන ලෙඩත් හැදේවි!
    තවත් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ අවදානම භාවිත කරන කාල සීමාවට සමානුපාතික නැහැ. ඒ කියන්නෙ දිනකට පැය 4.5ක් භාවිතයෙදී අවදානම 40% නම් පැය2.25 භාවිතයේදී අවදානම 20% ක් නෙමෙයි!!! ඊට වඩා අති විශාල ලෙස අඩුයි (මේ ගැන සංඛ්‍යාෙල්ඛන නම් මා සතුව නැහැ - එසේ වීමට බලපාන හේතුව කොමෙන්ට් එකකින් විස්තර කරන්න අමාරුයි)
    අවසාන වශයෙන් තව හිතන්න යමක් එක් කරන්නම්,
    සෑම පැය බාගෙකටම වතාවක් හිරු එලියට නිරාවරණය වීම නිසා ඇතිවන පිලිකා වලින් කෙනෙක් මිය යන බව ඔබ දන්නවා ද? ඉතිං ෆෝන් වල විකිරණ අවදානමට වඩා අපි අවදානය යොමු කරන්න ඕන දේවල් කොච්චර නම් මේ ලෝකෙ තියනවාද?
    මම ටෙක්නිකල් හංදියේ ඇත්ත නැත්ත ලිපි පෙලින් උත්සාහ කරන්නෙ මේ කාරණය තේරුම් කරල දෙන්න

    ReplyDelete
  34. -ටෙක්නිකල් හංදිය ,
    ස්තුතියි , මේ පිළිබඳ තාක්ෂණික කරුණූ ගැන දැන ගන්නට අපි ඔබේ සටහන ඇවිත් බලන්නම්.

    නමුත් ඔබේ //සෑම පැය බාගෙකටම වතාවක් හිරු එලියට නිරාවරණය වීම නිසා ඇතිවන පිලිකා වලින් කෙනෙක් මිය යන බව ඔබ දන්නවා ද?// කරුණ පිළිබඳ පිළිගත හැකි සාක්ෂියක් හෝ පර්යේෂණ වාර්තාවක් තිබේනම් කරුණා කර මාවෙත ලැබෙන්නට සලස්වන්න , එය උදව්වක් ..

    ReplyDelete
  35. @මහේෂ් නිශාන්ත
    http://www.who.int/mediacentre/factsheets/fs305/en/index.html
    මේ අනුව වසරකට මරණ 60000 ක් සමේ පිලිකා වලින් සිදුවී තිබෙනවා මින් අවම වශයෙන් 50% ක් වත් සූර්යයාගෙන් නිකුත් වන UV විකිරණයන්ට ලක් වීමෙන්
    ඒ කියන්නෙ,
    60000/(24*365)න් 50% = පැයට මරණ 3.42
    ඒ කියන්නෙ සෑම විනාඩි 17.5 කට වරක්!
    මේ අලුත් සංඛ්‍යාෙල්ඛන වලට අනුව!

    ReplyDelete
  36. -ටෙක්නිකල් හංදිය,
    ස්තුතියි ඔබට ...

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)