2011/07/30

39) උකුළු මුකුළු දාල ගන්න රිදෙන උළුක්කු ..

ඊයේ 29දා මගේ ජීවිතයේ තවත් එක්තරා විශේෂ දිනයක් , ඒ මගේ සිසු කණ්ඩායමක් එක්ක විනෝද චාරිකාවකට යන අවසන් දිනය , මේ සඳහා වසරට නියමිත තවත් ඉදිරියේ වුනත් මේ දරුවන්ගේ ඉල්ලීම නිසා මගේ විදේශ ගමනට ඉස්සර වෙලා මේ චාරිකාව හදිසියේ සුදානම් කරල තිබුණ , මේ නිසයි ඊයේ මගේ ලිපිවලට යොමු කරන අදහස් වලට ප්‍රතිචාර දක්වන්නට ප්‍රමාද වේය කියල මම කීවේ ,


උදේ පාන්දරම මම ගියා , ඒ වෙනකොට සියල්ල සූදානම් , විශේෂයෙන්ම අපේ ඉංග්‍රීසි ගුරුතුමා , සුජීව මහත්තයා හරිම ලස්සනට වැඩ කටයුතු සියල්ල සංවිධානය කරල තිබුණ , (වෙනදට නම් මේ මුළු බරම මම අදින්න එපායැ , අද මම හරිම නිදහස් , )

හරියටම 4.45 ට ගමන ආරම්භ කළා , දැන් ඔන්න අපි යනවා රත්නපුරේ බලා .. කවුරු කවුරුත් ඉතින් චාරිකාවේ විනෝදය ගන්න සුදානම , අපිත් ගිහින් අත්පොළසමක් හෙම දීලා උනන්දු කළා , අපේ උත්තේජනයත් එක්ක මෙන්න මුළු බස් එකම නටනවා , ඇත්තටම බස් එකත් නැටුවා , අපරාදේ ෂීට් ටික , කිසි කෙනෙක් ෂීට් වල නැහැවගේ  , හැමෝම සිංදු යනවා ,නටනවා , හරිම සුන්දරයි , යොවුන් ජවයේ සොඳුරුතම නිමේෂයක් , කිසි මහන්සියක් නැහැ , ඇත්තෙන්ම මේ තමයි යෞව්වනයේ සොඳුරුම රිද්මය මට හිතුනා, හැමෝගෙම හිත් සතුටින් පිරිල ,

දැන් වලස්මුල්ල මිද්දෙනිය පහු කරගෙන බස් එක ඇදෙනවා , ඇදෙනවා කිව්වට පියාඹනවා වගේ , රියදුරු මහත්තයත් තරුණ කොළු ගැටයෙක් , ඒ නිසාද මන්ද ටිකක් වේගයත් වැඩියි වගේ .ඒ ගැන කිසිම හැඟීමක් නැති අපේ කට්ටිය එක රැල්ලට නැටුමේ  ගැයුමේ ,

“මන්ද නාව කාරනාව..යන්න අපේ වන්දනාව ....මට හරි..පා.......,“
දකුණූ කකුළ පෙරට තබා පැන්න නේද ....හරකා!
“ ................“ බ්‍රාස්..........................., “ මුළු බස් එකම පැද්දිලා විසිවුනා වගේ වුනා , “මොන ...............“ ඉස්සරහම දොර ගාව හිටගෙන හිටිය බස් එකේ උදව්කාර මහත්තයගෙන් ටිකක් සැර වචන ටිකක් පිටවුනා, හිතාගන්න බැහැ මොකක්ද වුනේ , ...අනේ අපේ පැටවු ටික බස් එක ඇතුලේ තැන තැන වැටිලා , හුඟදෙනෙක් බස් එක මැද එකගොඩේ වැටිල , පෙරළිලා .....

.“මොකක්ද වුනේ , ............“ සුජීව මහත්තයට කෑගැහුනා ....
“හරකෙක් පැන්න මහත්තය , මොනව කරන්නද මං බ්රේක් ගැහැවා , නැත්නම් ඌත් ඉවරයි , ගමනත් ඉවරයි ,..“ රියදුරු මහත්තය කියනවා ..

“හ්ම් ..මොනවා කරන්නද ,කෝ මොකද අපේ කට්ටියට ....“
මෙන්න කවුරුත් හිනා වෙනවා , කිසි ගානක් නැහැ , බස් එක ආයෙ පණ ගන්වන්නත් කළිත් පටන් අරගෙන නැටිල්ල ....

දවල් කෑම කාපු තැන ලස්සන ...! 
දවල්ට කෑමට ලස්සන තැනක නැවැත්තුවා , අපි කවුරුත් හිටියේ හොඳට බඩගිනි දැනිලා , කවුරුත් කළබලෙන් වගේ බස් එකෙන් බැහැ ගත්තා , ඒත් තුන් දෙනෙක් තාම බස් එකේ , ...“මොකද දරුවෝ බඩගිණි නැද්ද ..එන්න ඉක්මනට  අපි කෑම කාළ යමු , නැත්නම් පරක්කු වෙයි නේ , ....“
“සර් මේ වත්සරණීගේ කකුලට මොකක්ද වෙලා , ටිකක් ඇවිදින්න අමාරුයි වගේ , අපි බස් එකේ ඉඳගෙනම කන්නද ?....“ ....
ගිහින් බලන කොට කකුලේ විළුඹ ටිකක් ඉදිමිලා , මට නම් හිතෙන්නේ Sprain එකක් වගේ , “ මොකද වුනේ ? “
“ස්ර් අර බස් එක ලොකු බ්රේක් පාරක් ගැහුවේ , ඒ වෙලාවේ වත්සරණී කරකැවිලා ගියා , අපි නට නටනේ හිටියේ “ යළුවෝ දෙන්න විස්තරේ කියනවා , කොහොම හරි මේ දරුවගේ කකුළේ Sprain එකක් වෙලා තිබුණා , ඒත් අර මුලින් කී යොවුන් ජවය නිසා ගන්න අරගෙන නැහැ , දිගටම නට නට ඇවිල්ලා , දැන් ටිකක් ඉදිමිලා , අපේ චමින් දරුවා පොඩි ප්‍රතිකාරයක් දීලා බැන්ඩේජ් එකක් එහෙම දැම්ම , ටිකක් වෙලා කෙඳිරි ගගා හිටපු කෙල්ල මෙන්න ආයෙත් නටනවා සිංදු කියනවා ...මොනවා කියන්නද ? මේ සොඳුරු යව්වනයේ ජවය නොවැ ...

මගේ පෙර කතාව ටිකක් දිග වැඩිද මන්ද ? ඒත් වෙච්චදේ කියන්න එපායැ නේද ? මොකද ඔය හැමෝමත් මගේ පවුලේ වගේමයි මට දැනෙන්නේ , ඉතින් ඒකයි මේ හැම කතාවක්ම ඔයාලත් එක්ක කියන්නේ ,

අපි දැන් කතා කරන්න පටන්ගන්නේ  Sprains කියන තත්ත්වයත් Stains කියන හදිසි අනතුරත් ගැන , හැබැයි සමහර විට මේ වෙනකොටත් ඔබ දන්නව ඇති , අපි ඔය සාමාන්‍යෙයන් කියන්නේ “උළුක්කු  වුනා  , එහෙම නැත්නම් කකුළ පෙරළුනා කියල , ඔන්න ඔය තත්ත්වයන් තමයි අපේ අද මාතෘකාව ,

බොන්න තේ එකක් ...
මුලින්ම හැමදාම වගේ ඇවිත් වාඩි වෙන්නකො අපේ ජීව විද්‍යාව පන්තියන් ටිකකට , මොකද චුට්ටක් අපි මේ ජීව විද්‍යාත්මක කරුනු ගැන කතා කරලම වැඩේ පටන් ගනිමු , දැන් කියවල කියවල මහන්සිනම් තේ ටිකක් බීලම කතාවට එමුකෝ ...

මෙන්න ටෙන්ඩන් එකක්..
ඔයාල දන්නවනේ අපේ මේ ඇඟ හැදිල තියෙන්නේ සැකිල්ලක් මත කියල , අපි කියන්නේ ඇට සැකිල්ල , Skeletal system කියලත් කියනවා , හරියට අර වෙසක් කූඩුවක් වගේ තමයි , උණ පතුරු වගේ ඇට කෑළි එකට එක ගැට ගහලා (හැබැයි නුල් වලින් නෙවි Ligament වලින්, ඒකේ වටේට් සව්කොළ ..නැහැ ..පේෂී ,වෙනත් පටක අලවල (ඒත් පාප්ප වලින් නෙවි Tendon වලින්) , හැඩ ගන්වල තමයි අපෙ ශරීරය හැදිලා තියෙන්නේ , තව කතා බොහොමයි ,ඒත් මේ වෙලාවේ අපිට ඕන මේ කෝටු කෑලි (bones)ටිකයි , නුල් කැළියි(ligaments) , සව්කොළයි(muscles), පාප්ප(tendon)  ටිකයි විතරයි,

මේ ලිගමන්ට්
තවත් විස්තර කළොත් අපේ අස්ථි එකිනෙකට ගැට ගහලා තියාගන්න තද ශක්තිමත් පටකයක් වන ligament වල   ඉරීමක් හරි තද ඇදීමක් හරි වුනොත් , (ඒ කිව්වේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා තද ඇදීමක් , ) ඇති වන වේදනාකාරී තත්ත්වය තමයි Sprain කියල කියන්නේ  මේකට නිවැරදි සිංහල වචනේ මධුර ශබ්දකොෂයට අනුව නම් ,“ඇමැට්ටිය “sprain is a stretching or tearing of ligaments


එතකොට Strain කියන්නේ මොකක්ද ? ඕව් , අපි කතා කළානේ පාප්පයක් ගැන , ඒ කිවවේ අර පේෂී , අස්ථියට තියල අලවල , ගැටගහන පටකයක් ගැන , tendon කියල කිව්වේ අන්න ඒ පටකය , එහි සිදුවන ඉරීමක් හරි වැඩි ඇදිමක් හරි (ඒ එක්කම එම පේෂියේ සිදුවන ඉරීම) තමයි මේ Strain කියල කියන්නේ , සිංහල පදය “උළුක්කුව“strain is a stretching or tearing of muscle or tendon


මෙන්න හීල් හයිකරන ඒවා  
ඇයි මෙහෙම වෙන්නේ කියල ඇහුවොත් ඔබ මගෙන් අහවි “අපොයි ඕකවත් දන්නැද්ද  “  කියලා ..ඔව් හදිසියේ සිදුවන පටකයට අනපේක්ෂිත පීඩනයක් දැරීමට සිදුවන ඇඹරිමකින් , නැවීමකින් ඇදීමකින් මේ වේදනාකාරී අවස්ථාව ඇති වෙන්න පුළුවන් , හැබැයි දිගු කාළීනව සිදුවන වැරදි චර්යාවන් නිසාත් , ඒ කිව්වේ මේ කතා කළ tendon සහ ligament වලට වැඩි බරක් දෙන වැරදි චර්යාවන් නිසාත් මේ තත්ත්වය ඇති වන්නට පුළුවන් , හොඳම උදාහරණයට නොගැලපෙන ප්‍රමාණයේ අඩි උස සපත්තු පැලඳීම ගන්න පුළුවන්(මෙතැනට ඇවිත් බලන්න සපත්තු)  , ඒ එක්කම වැඩි බරක් වැරදි ආකාරයට එසවීම , වැරදි විදියට දේහ ඉරියච් positions and postures  පවත්වාගැනීමත් හේතු ,.

දැන් අපි බලමු මෙහෙම වුනොත් මොනවද ඇති වන ලක්ෂණ කියලා , ආයේ ඉතින් කියන්න දෙයක්ද , මුල්ම දේ තමයි වේදනාව, ඒ හරිය අල්ලන්න බැරි තරම් වේදනාවයි  , ඒ එක්කම උළුක්කු වෙච්ච හරිය ඉදිමෙන්න පටන් ගන්නවා , සමහර විට එවෙලේම වෙන්නත් පුළුවන් , සමහර අවස්ථාවල පැය කිහිපයක් ගියාම තමයි ඉදිමුමක් අඳුන ගන්න පුළුවන් වෙන්නේ , මේ එක්කම මේ කරදරය වෙච්ච හරියේ ගැටයක් වගේ අහුවෙන්නත් පුළුවන් , මොකද තුවාල වෙච්ච පේෂීය වේදනාවට ඇකිලීමක් වගේ spasm වෙනවා , අනෙක් ලක්ෂණය ඉතින් දන්නවනේ , මෙහෙම වුනාට පස්සේ ඒ කකුළ , නැතනම් ඒ ප්‍රදේශයේ චලන හැකියාව අඩු වෙනවා , වෙනද වගේ ඇවිදින්න බැහැ , ඒකනේ අපේ වත්සරණී දුව කොර ගහ ගහ යන්නේ ,

දැන් ඉතින් මොකදෑ කොරන්නේ , ?  මෙහෙම දෙයක් වුණු ගමන් ඉස්පිරිතාලෙට , තාලෙට කොරගහ ගහ එන්න එපා , පොඩි අත්බෙහෙත් තියෙනවානේ , ඇත්තටම මොකක්ද කරන්න ඕන ,
“හාල් බඳින්න ඕන “.....
දැන් කට්ටියම මගෙන් අහවි “ මොකක් , හාල් බඳින්න ...? “

කකුලට නිවාඩුවක් ...දෙන්න 
“නැහැ මම එහෙම කිව්වේ මේ සඳහා කරන මුලික ප්‍රතිකාරය මතක තියා ගන්න , ඒ කිව්වේ Rest( විවේකය ලබා දීම ) ,Ice(අයිස් තැබීම) ,Compression (පීඩන වෙළුමක් යෙදීම) , Elevate(ඔසවා තැබීම) කියන වචන හතර එකතු වුනාම එන R.I.C.E. (rice කියන්නේ හාල් නේද ?) යන පදය මතක තියා ගන්නයි ,

කරන්න ඕන මේකයි මුලින්ම අනතුරට ලක්වුනු තැනට විවේකයක් දෙන්න , නවන , නැවෙන  තැනක් නම් ඒ චලනයන් සීමා කරවන්න , බර දරන තැනක් නම් පුළුවන් තරම් එතැනට එන බර අඩු කරගන්න උපක්‍රම ගන්න ,

ඊට පස්සේ පුළුවන් නම් ඒ ප්‍රදේශයට ice කැට ටිකක් තියන්න , ඔය සෙලෝෆේන් බෑග් එකක් ඇතුලට අයිස් කැට ටිකක් දාල අර උළුක්කු වූ තැනට උඩින් ටික වෙලාවක් තියාගෙන ඉන්න , එතකොට ඉදිමෙන එක වගේම අර පේෂිය ගැටයක් වගේ තද වෙන එකත් අඩුවෙනවා , ඒ වගේම ඇතුලට පොඩි හරි ලේ ගැලීමක් තිබුණොත් ඒකත් අඩු වෙනවා ,


බැන්ඩේජ් එකක් දාගන්න ..
දැන් මේ අනතුර වුන හරියට තරමක පීඩනයක් එන විදියට බැන්ඩේජ් එකකින් හරි රෙදි පටියකින් හරි ඔතන්න , මතක තියා ගන්න දැන් අපිට ඕන මේ තැනට ටිකක් තද පීඩනයක් ඇති කරන්න විතරයි , නැතුව හොඳටම තද කරල ගැට ගහල ඒ හරියට එන ලේ සැපයුම සම්පුර්ණයෙන්ම නවත්වල ලෙඩේ තවත් වැඩි කරන්න නොවයිනේ , ඒ නිසා මේ වියට වෙළුමක් යොදන්න දන්න කෙනෙක් ඉන්නවනම් එයාගේ උදව්වක් ගන්න , නැත්නම් වැඩේ ලෙඩේ වෙයි , කැමති නම් මේ වෙළු දාන්න ඉස්සර වෙලා , වේදනානාශක බාම් හරි ක්‍රීම් වර්ගයක් හරි තිබේනම් ඒ හරියේ ගාල ටිකක් අතගාන්න , හැබැයි හුඟක් තදින් අතගාන්න යන්න එපා , එකක් වේදනා වැඩි වෙනවා , අනෙක් ඇතුලට යම් තරමක හරි ලේ ගැලීමක් තිබේ නම් වැඩි වෙන්නත් ඉඩ තිබෙන නිසා , කොහාම වුනත් මේ විදියට බැන්ඩේජ් එකක් දැම්මට පස්සේ ඊට පහල ප්‍ර දේශයේ ලේ ගමනාගමනය සාමාන්‍ය විදියට වෙනවාද කියල බලන්න , pulse (නාඩි) අල්ලන්න දන්වනම් ටිකක් බලන්න pulse වල ස්වභාවය , වේගය  කොහොමද කියලා , නැත්නම් අඩුම තරමේ එම ප්‍රදේශයේ හමේ පාට වෙනස් වීමක් , ඒ කිව්වේ අඳුරු පැහැයක් අතිවෙනවාද , ඒ හරියේ සීතලක් වගේ ඇති වෙනවාද බලන්න , මේ එම ප්‍රදේශයට රැධිර සැපයීම අඩුවන බව  පෙන්වන ලක්ෂණ.


දැන් ඔබ සාමාන්‍යයෙන් භාවිත කරන වේදනානාශක පෙති වර්ගයක සාමාන්‍ය මාත්‍රාව (උදාහරණයක් විදියට Paracetamol පෙති උපරිමව දෙකක් හෝ බරට අනුව ) ගන්න , හැබැයි වේදනාව වැඩියි කියල වැඩි පුර පෙති ගන්නවත් , ඉක්මණින් නැවත ඊළඟ පෙති වාරය ගන්නවත් එපා  , මේ ගැන කියවන්න 

දැන් ඉතින් rest තමයි
හැබැයි හොඳින් මතක තියා ගන්න , අස්ථී බිඳිමක් ඇතැයි කියල හිතෙන විදියේ තත්ත්වයක් නම් , දැනෙනවනම් , වේදනාව දිගින් දිගටම වැඩි වෙනවා නම් , ඒ හරියේ පාට වෙනසක් උණූසුමේ වෙනසක් ටිකෙන් ටික වෙනවා වගේ දැනෙනවනම් වඩාත් හොඳයි වෛද්‍ය ප්‍රතිකාරයකට යොමු වෙන එක , එහෙම වුනොත් සාමාන්‍ය පරීක්ෂණයකට අමතරව xray  වගේ පරීක්ෂණත් කරල , ඖෂධීය  ප්‍රතිකාර වගේම සමහර අවස්ථාවලදි ශල්‍යකර්මයක් වුනත් කරන්නට අවස්ථාවක් තියෙනවා , ඒ වගේම සුව වනතුරු P.O.P
(plaster of paris ) cast එකක් දාල ඇඳ විවේකය bed rest කරන්නත් , අත්වාරු වැනි උපකරණයක් භාවිත කරන්නත් (බය වෙන්න එපා ටික දවසකට) වෙන්න පුළුවන් ,

කොහොම වුනත් ලොකු කරදරයක් නොවී අපි චාරිකාව ගිහින් ආයෙත් ගාල්ල එනකොට රෑ දෙකයි , බස් එකෙන් බහින්න ටික වෙලාවට ඉස්සර වෙලා දුවෙක් මා ගාවට ඇවිත් පිටු දෙසීයෙ විතර මොනිටර් පොතක් දුන්න ,
“මොකක්ද දුවේ මේ ?....“ මම ඇහැව ....
“සර්ට ලියපු කවි ටිකක් , අපි සර් ආයෙ දකින්න ලැබෙන එකක් නැහැනේ ...ඒකයි අදම ගෙනාවේ ...“ කෙළි පැටික්කි අඩ අඩ කීවා ....“දුවේ , මම ආයේ උගන්වන්න නාවත් ඔයාලත් එක්ක ඉන්නව හැමදාම , අනෙක් skype වලින් හරිම සතියකට දවසක් ඔයාලට කතා කරන්නම්කෝ , පුළුවන් වුනොත් අපි ඒ විදියට lecture කිහිපයකුත් කරන්නම්කෝ ....නේද සුජීව මහත්තයෝ ..“ මේ සිද්ධිය දිහා බලාන හිටිය  , මේ ආයතනයේ මට තිබූ බර කරට ගත්ත අපේ අළුත් සම්බන්ධීකරණ නිලධාරි , ඒ වගේම ඉංග්‍රීසි ගුරුතුමා සුජීව මහත්තය දිහා බලාගෙන මම ඇහැව්ව , ඔව් කියන්නට හිස වැනුවත් “ඒත් සර් ....සර් නැහැනේ අපිට .......“ මේ කෙළි පැටික්කි කියනවා ...
“ඇත්තටම මේ ආදරණීය , අහිංසක පුංචි පැටවු ටික දාල වෙන රටකට යන්නේ කොහොමද? කියල හිතුනු අනන්තවාර ගනනට තවත් එක් වාරයක් එකතු වුනා “ ඒත් මට එය කරන්නම වෙනවා , එහෙම නම් අද ලිපිය නිමා කරන්නම් , ඒ ලස්සන පද වැලකින් , අර කෙළි පැටික්කි දිපු පොතේ අන්තිම කවිය , ඇත්තටම මගේ හිත සසල කළ මේ පද වැල ගැන ටිකක් හිතන්න , පුංචි දරුවන්ගේ ලෝකය කොයිතරම් අවංක , පිරිසිදු සහ ඒ   ප්‍රාර්ථනා කෙතරම්ම අහිංසකද කියලා ...
එන්න තාත්තේ ...එක්පාරක්වත් 
පැටවුන්ගේ නෙත් මානයට ....
ඇවිත් ඉස්සර වගේ ...
හිනාවෙලා කියන්න අපට ...
දරුවනේ , මම යන්නේ නැහැ කියල ....“


12 comments:

  1. මා හටත් මෙහෙම දෙයක් වෙලා තියනවා. කාර්යාලයේ පියගැට පෙලින් වැටිලා.. ඒ නිසා මේ වේදනාව දන්නවා හොදින්.
    ඔබතුම විදේශ ගත වෙන්නද යන්නේ?? සොදුරුසුව අසපුවට මොකද වෙන්නේ.. ඒකනම් නවත්වන්න එපා. අපි හැමෝටම හරිම පාඩුවක්.. ඔබ අපිට මහගු සේවයක් කරන්නේ..

    ReplyDelete
  2. Gimhani ,
    බොහොම ස්තුතියි පැමිණියාට , ඔව් එබඳු යම් අරමුණක සිටිනවා , ඒත් මේ සොඳුරු සුව අසපුව නවත්වන්නට කිසිම අදහසක් නැහැ , මොකද දැන් මෙය මගේ ජීවිතේ එක් කොටසක් වගේ
    ස්තුතියි -

    ReplyDelete
  3. උලුක්කු වීම් වලින් විල්ලුඹ උලුක්කු වෙන එක තරම් අමාරු වැඩක් නෑ. ඒ තරමට ඒවා රිදෙනව. ගොඩක් වටින ලිපියක්.
    අපේ මල්ලිත් මට ඔතන හැදිලා තියෙන විදිහ ගැන විස්තර කලා. මතක හිටියේ නෑ ඒවා. මේ ටික කියෙව්වම ආයෙමත් ඒ මතකය අලුත් උනා.

    ReplyDelete
  4. හෆොයි අයිය ලංකාවෙන් යනවද . . . ??? කවදද යන්නෙ ??

    ReplyDelete
  5. මධුරංග,
    ස්තුතියි පැමිණියාට,

    ReplyDelete
  6. ඕනයා,
    ස්තුතියි පැමිණියාට , ඔව් මල්ලී , සමහර විට තව සති දෙකක් -මාස දෙකක් වගේ කාළසීමාවක් ඇතුලත , ඒත් මම හැමදාමත් සොඳුරු සුව අසපුවෙන් ඔබ සැම හමුවට එනවා ....

    ReplyDelete
  7. මම ඊමේල්- ශ්‍රීලංකා මගින් ඔබගේ ලිපි බැලුවත් කොමෙන්ටුවක් දාන්නේ අදයි.
    මම් කෙටියන්ම කියන්නම්.., මේ වෙනලක් කියවපු සිය ගණනක් බ්ලොග් අතරින් හොඳම බ්ලොග් එක!. දිගුකල් යෙහෙන් වැජඹේවා......

    ReplyDelete
  8. ස්තුතියි චන්දික , ඔබේ දිරි ගැන්වීම තවත් ලිපියකට ඇරඹුමක්

    ReplyDelete
  9. මම දන්නවා තාත්තේ අපේ චාරිකාව ගැන සොදුරැ අසපුවට කියන බව. ඇත්තටම ඔබට ගොඩාක් පින් අපේ පුංචි හිතට සතුටක් දුන්නට. ඔබ අපේ හිත හදන්න මොන තරම් උත්සහ කරත් අපට ඔබේ අඩුව දැනෙනවා.ඒ ඔබ වගේ වෙන්න කාටවත්ම බැරි නිසා.අනේ පියාණනි අපි ඔබට බරක් වුනාද? අපෙන් නිදහස් වුනා කියලා හිතට දැනෙන්න දෙන්න එපා ඔබ අපට හැමදාමත් ඕනා.ඔබේ පිය සෙනෙහස තමයි අපේ ශක්තිය.

    ReplyDelete
  10. nadeesha ,
    ඇත්තෙන්ම මමත් හරිම සතුටු වුනා මගේ පුංචි පැටවුන්ගේ සතුට දැකළා , එත් උත්සාහ ගන්න , ඔබට පුළුවන් ඔබේ සියළු මිතුරු මිතුරියන් එක්ක ඉදිරියට එන්න , ජීවිතය දිනන්නට , ඒ සඳහා ප්‍රමාණවත් මූලික අවබෝධයක් , සැලසුමක් දැන් ඔබ සැම සතුයි , මා ඔබ සැමට මාස 4ක් වැනි ඉති සුළු කළක් යම් දෙයක් උගන්වන්නට උත්සාහ කළා පමණයි , ඒත් ඉදිරියට ඊට වඩා බොහෝ දැනුම හුරුව සහ ආකල්පමය අත්දැකීම් වෙනස් කම් කර ගන්නට තිබෙනවා , දිරියෙන් ඉදිරියට යන්න , මම හැමදාමත් ඔයාලා හමෝම එක්ක රැඳිලා ඉන්නවා ,
    ----නැහැ දුවේ බරක් වුනා කිව්වේ , වෙනත් අවස්ථාවක මෙවැනි කටයුත්තක් කරත්දි ලොකු වෙහෙසක් , වගකීමක් මට දරන්න වුනත් මෙවර මම සහභාගී වුනේ බාහිර පුද්ගලයෙක් ලෙසින් නිසා ඒ තරම් බරක් , වෙහෙසක් දරන්නට මට වුනේ නැහැ කියන එකයි ...ස්තුතියි දුවේ ,අදහස් දැක්වූවාට

    ReplyDelete
  11. ස්‌තූතී..
    ඔය කියන උලුක්‌කුව මට හොදට මතකයි අමතක වෙන්නෙනැ..විලුබ උලුක්‌කුවුනම.දෙනෙන වෙදනාව..නමුත් විද්‍යාත්මකව වෙටහුනේ අද.
    මගෙ තාත්තා ඔබ කියූ අත් බෙහෙත් කරල මාව මගෙ අයියව සුව කරල තියෙනව.මොකද අපි පාසැලේ පා පන්දු කන්ඩයමේ සෙල්ලම් කාරන කලේ..
    ඒ වගේම මගෙ අයියගේ අතේ අස්‌ති බින්දුන දවසෙත් රොහලට ගෙනියන්න කලින් මගෙයි මල්ලි ගෙයි ලී අඩි කෝදු තියල අතට වෙලුම් දාල තම අරන් ගියේ.තත්තාට එ ගෙන සමන්‍ය දෙනිමක්‌ තිබුන

    කොහොම නමුත් ඔබ පිට රටකට ගියත් සොදුරු අසපුවට ලියන්න අමතකකරන්න එප..හා හා පුරා කියල කියවන්න ගත්ත බ්ලොග් එක බොහොම රසවත් දෙනුම් සම්බාරයක්‌ මේ කෙටි දින තුලදී ඔබෙන් ලබා ගත්තේ...
    ඔබට ජය !
    ස්‌තූතී

    ReplyDelete
  12. සොදුරු මිනිසා,
    ඔබට ස්තුතියි ...

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)