2011/06/11

12th Discussion - ඔබේ සුරතලාගෙන් ඔබට මරණය ???



තවත් බ්ලොග් සටහනක් ලියන්නට සිතුවත් දින දෙකක් පුරා එය ප්‍රමාද වුනේ සටහනක් ලියන්නට තරම් හිතේ විවේකයක් නොවූ නිසා , මන්ද බ්ලොග් සටහනක් ලියනවා කියන එකත් “භාවනාවක්“ වගේ තමා මට දැනෙන්නේ

පසුගිය දින දෙක පුරාම සිතේ වේදනාවක් පිරිල තිබුන , රාජකාරිමය වශයෙන් කලුදු , වේදනාව , මරණය වගේ සංවේදී සිදුවිම් එක්ක වැඩි පුර ගත කළත් මේ දින දෙක පුරා අපේ ඒ සංවේදී බව තවත් තියුණු කළ සිදුවීමක් වුණා ...අද මගේ මතෘකාව වශයෙන් එය ගන්නට තිරණය කළේ “විය යුත්තක් ලෙස “ මට හැගුණ නිසයි ,

“අනේ මගේ පොඩි හාමුදුරුවො මට බේරළ දෙන්න මහත්තයෝ....මගේ අහිංසක පුංචි හාමුදුරුවෝ .....කාටවත් වරදක් නැ .....හැමෝටම .....සතා සීපාවට පවා ආදරේ කළා ....අනේ....වෙසක් පෝය දවසේ මහා පිංකම් කළා .......සතුන් මරණින් මුදා ගත්ත මගේ පුංචි හාමුදුරුවො..“

සෞඛ්‍ය සේවකයින්  හැටියට මරණය ගැන ශෝකාලාපයන් අපට හොදට හුරුයි , අපි ඒ වෙලාට ඔවුන්ට සංවේදී වුනත් , ඒ සිත් තරමක හෝ සුවපත් කරන්නට අපි යොදා ගත්තේ දහම් කරුණක් ... ඒත් මේ සිදුවිම වෙනත් ....මෙතැනදි මේ මරණයේ දොරකඩ ගාව සිටින්නේ “පුංචි සාමනේර නමක්“ ....සිවුරු පොට හදාගෙන හරිම කාරුණික විදියට ඇදේ සැතපිල ඉන්න මේ පොඩි හාමුදුරුවො ගාව මහමෙරක් නාය යනව වගේ දෝරෙ ගලායන කදුලු අතරින් වරින් වර අපට දිහා බලා ගෙන එළෙසින් කෙදිරි ගාන්නේ , මේ හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවෝ..

අපේ කදුලකදි දහම් කරුණකින් අපේ හිත සහසන “ලොකු හාමුදුරුවො“ කෙනෙක් , පෘතග්ජන මිනිසෙක් විදියට මේ තරම් වේදනාවක් විදින්නේ ඇයි කියල ඔබ විමසාවි .... “පුංචි හාමුදුරුවන්ට ජලභීතිකාව “ ........

තව දිනකින් දෙකකින් මේ පුංචි ස්වාමින් වහන්සේ අප අතරින් ‍වෙන් වෙලා යන එක නවත්වන්නට දැන් කිසිවකුටත් බැහැ ...මොකද රෝගයේ උපරිම රෝග ලක්ෂණ මතු වෙලා .හුස්ම ගන්න අමාරුයි , පේෂි ගැස්මන් ඇති වෙනවා ... ඒත් හොද සිහියෙන් වැඩ සිටිනවා .....

“මහත්තයෝ , බැළලියෙක් , බැල්ලියෙක් පැටවු දැම්මොත් අපේ අය මොකද කරන්නේ .....රෑ වෙන්න පැටවු ටික පන්සලේ .... අන්තිමට පන්සල බලු , බලල් පැටවුන්ගේ අනාතා මඩම වගේ ...මේ පුංචි හාමුදුරුවො මේ තරම් විදවන්නේ , අපේ මිනිස්සුම කරපු දේට නේද ?“ හාමුදුරුවන්ට උපස්ථාන කරන්නට ස්වෙච්ඡාවෙන් ආ ගමේ වැඩිහිටියෙක් තරමක ආවේගකාරීව හඩ අවදිකළා....


කෙසේ හෝ ඉතාමත් සංවේදී පැය 18ක් විතර ගත වෙලා ගියා ..... “මරණ ලියාපදිංචි කිරිමේ ලේඛණයට තවත් අනුයාත අංකයක් ලබා දෙමින් “ මෙම  සිදුවීම ඊයේ රාත්‍රියෙදි  නිමා වුනා ...ලෝකයට අධ්‍යාත්මික වශයෙනුත් සේවයක් කළ හැකි වටින ජීවිතයක් නිමා වුනා . පුංචි හාමුදුරුවො අපවත් වුනා ...... අද හෝ හෙට ඒ පුංචි හාමුදුරුවන්ගේ ආදාහනය පැවැත්වේවි ...තවත් ජීවිතයක නිමාවක් ....නොවිය යුතු මරණයක් සිදුවුනා ..... ගුරු හාමුදුරුකෙනෙක්ද  “ආදරණීය පියෙක්ද “ කියන තරමටම තම පොඩි හාමුදුරුවො රැක බලාගත්ත ලොකු හාමුදුරුවො කදුලු පිරුණු නෙතින් හිස් අවකාශය දිහාවට ඇස් යොමා ගෙන.....

සුරතල් ඒත්, වෛරස් ගබඩාවක් ද? 
ආයතනික නීති , රීතී මාලාවන්ට අනුකූලව මෙම කතාව මේ වගේ මාධ්‍යයක ඉදිරිපත් කිරීම “වැරදි “ වුවත් මෙවන් තවත් වැරැද්දක් නොවන්නට , ඔබ හැම දැනුවත් කිරීමේ “පිරිසුදු අදහසින්“ සහ   අදාල බලධාරින් මෙය කියවන්නේ නම් ඔවුන් මට සමාව දෙනු ඇතැයි විශ්වාසයෙන්...මේ නිමිත්තට මෙසේ යොමු වෙනවා....

අද අපේ රටේ වාර්ෂිකව 50-75ක් පමණ ජලභීතිකා  රෝගයෙන් මියයනවා ..මොකද මෙම රෝගය වැළදුනොත් මරණය 100%ක්ම විශ්වාසයි , (Rabies is 100% fatal acute encephalomyelitis )

.....දැන් අපි බලමු කොහොමද මේ රෝගය  ඇති වන්නේ සහ වැලකෙන්නේ කියන එකත් වලක්වා ගැනීමට ගත යුතු පියවර ගැනත් .....

කොහොමද “ජලභිතිකාව හෙවත් Rabies“  වැලදෙන්නේ ?... ප්‍රධානතම ක්‍රමය Rabies virus අඩංගු කෙළ තුවාලයක් හෝ හමේ සීරුමක් ඔස්සේ තවෙකෙක්ගේ දේහය තුලට ඇතුලුවීම .. මේ බර වචන ගොඩක් කිව්වට අපට මෙහෙම කියතෑකි , ....ජලභිතිකාව වැලදුනු රෝගී බල්ලෙක් , බළලෙක් අපව හැපුවොත්  , සීරුවොත් ඒ විතරක් නොවෙයි , අපව ලෙව කෑවත් මෙම රෝගය අපටත් වැලදෙන්න ඉඩක් තියෙනවා .......මම මෙතැනදී “රෝගී සතෙක්“ කීවත් , සතාට රෝග ලක්ෂණ ඇතිවන්න දින 14 ක සිට මේ වයිරස් මෙම සතාගේ කෙළ වල තියන්න පුලුවන් ....ඒත් මිනිසාගෙන් මිනිසාට සෘජුව මේ රෝගය බෝවන බව තවම සොයාගෙන නැහැ ....යම් “විය හැකියාවක් තිබුනත්“  ඒ වෙනත් වෛද්‍යවිද්‍යාත්මක කටයුත්තකදී  (Corneal transplant ).

Cross-sectional diagram of the rabies virion
ලස්සන මලක්දී ..නෑ මාරාන්තික වෛරසයක්
ඇත්තටම බල්ලන්ගෙන් බළලුන්ගෙන් විතරද මෙය බෝවන්නේ ? .... මේක අපිට හුග වෙලාවකට ප්‍රශ්නයක් වෙනවා 

මේ රේබීස් වෛරස හරි කැමතියි උණුසුම් ලේ වලට , ඉතින් උණුසුම් ලේ ඇති , ක්ෂීරපායී ඕනැම ජීවියෙක් තුල මෙම වයිරසය වර්ධනය වන්න පුලුවන් , බල්ලා ,බළලා ප්‍රධාන තැන හිටියත් ...වවුලා , ලේනා වගේ සතුනුත් රෝග වාහකයින් ලෙස පැවතිය හැකියි ,......

වයිරසය ඇග ඇතුලෙදි කරන දේ මොකක්ද කියල බලමු , තුවාලය වූ තැන පේෂීයේ ඇතුලට යන වයිරසය එහි වර්ධනය වෙලා ටිකෙන් ටික ස්නායු වලට හානි කරන්න පටන් ගන්නවා , පැය ගණකට හෝ දින කිහිපයකට පසුව මොලය තුලට ඇතුලු වන මෙම වයිරසය , එහි පටක වල ප්‍රදාහයක් ඇති කරනවා , එය තමයි මරණිය ජලභිතිකාවේ උග්‍රතම අවස්ථාව ....

සතෙක් කාල කොච්චර කාළයකින්ද රෝගය මතු වෙන්නේ ? ...මාස 3-4 ක් දක්වා වුනත් වෙන්න පුලුවන් ..එත් සාමාන්‍යයෙන් දින 3-4කින් මූලික රෝග ලක්ෂණ මතු වෙනවා . ඒ නිසා අනතුර , සපා කෑම සිදු වෙලා හැකි තරම් ඉක්මණින් මුලික ප්‍රතිකාරත් , නිසි වෛද්‍ය ප්‍රතිකාරත් ගන්න ඕන , 

දැන් අපි බලමු , මොනවද මේ මූලික ප්‍රතිකාර කියල , ඒ කියන්නේ සතා කාපු ගමන් , එහෙම නැත්නම් සතාගේ කෙල ගැවුනු ගමන් අපි ප්‍රථමාධාර වශයෙන් කළ යුතු කියලා , පළමුවෙන්ම තුවාල වූ හෝ කෙල ගෑවුනු තැන පුලුවන් තරම් ඉක්මණින් ගලා යන ජලයෙන් සෝදා හරින්න , අඩුම තරමේ විනාඩි 10ක් වත් සෝදා හරින්න .... ඔබට සොයා ගත හැකි නම් බෙටාඩින් හෝ සර්ජිකල් ස්පිරිට් ද්‍රාවණයකින් සෝදා හරින්න . දැන් තුවාලය ආවරණය කරගෙන පුලුවන් තරම් ඉක්මණින් “රජයේ රෝහලකට “ යන්න , ඒ වගේම අනතුර කළ සතා පිළිබදව සොය බලන්නත් අවශ්‍ය කටයුතු යොදනවා නම් හොදයි , මොකද සමහර විට පිළිබද දින 10ක් විතර “සොයා බලන්නට “ උපදෙස් දෙන අවස්ථාවලුත් තියෙනවා ....

එන්නත්  නොකළොත් මේ දෙන්නම ඔබට අවදානමක්!
විශේෂයෙන්ම මෙම තුවාලය හෝ අනතුර වුනේ දේහයේ මෙම ප්‍රදේශවලට නම් ඉතා අවදානම් , මුහුණ , හිස , පපුව , අත් ඇගිලි , පා ඇගිලි හෝ ලිංගික පෙදෙස ...ඒ වගේම ඇස , නාසය හෝ තුවාලයක් වගේ තැනක් ලෙවකැමත් අතිශ්‍ය අවදානම් අවස්ථා විදියටයි සැලකෙන්නේ , මෙම ස්ථාන වලින් දේහ ගත වන වයිරසය ඉක්මණින් රෝගියා මරණය කරා ගෙන යන්න ඉඩතියෙනවා , ඒ නිසා නිසි ප්‍රථමාධාර වගේම නිසි වෛද්‍ය උපදෙස්ද ලබා ගැනීම වැදගත් ....ඔවුන්ට රජයේ රෝහලකදී Rabies immunoglobulin  කියන විශේෂ එන්නත ලබා දෙනවා සාමාන්‍ය එන්නතට පෙර .....

දැන් මම රේබීස් වල රෝග ලක්ෂණ කියන්නම් ....ඒත් ඒ ගැන කියද්දි බය වෙන්න එපා , ඒත් ටිකක් අවදානය යොමු කරන්න ,  මද උණ , ඇග පතේ වේදනාව , කොන්දෙ කැක්කුම , ඔලුවෙ කැක්කුම වගේ සාමාන්‍ය ලක්ෂණ එක්ක , ආලෝකය දිහා බලන්න බැරිකමක් , බඩේ අමාරුවක් හෝ සොටු දියර ගැලීමක් වගේ වෙන්නත් පුලුවන් , ඔයාලට මේ ලක්ෂණ ටික කියව ගෙන යද්දි තෙරුම් ගන්න පුලුවන් මෙම තත්තවය හරියටම හදුනා ගැනීම කොයි තරම් ගැටලුකාරීද කියල මොකද මේ බොහොමයක් ලක්ෂණ සාමාන්‍ය උණ හෙම්බිරිසාවටත් තියෙනව නේද ? නමුත් රෝහලේදී වෛද්‍යවරයෙක්ට රෝගය විනිශ්චය කිරීමට භාවිත කරන    තවත් වැදගත් ලක්ෂණ සොයා ගන්නට පුලුවන් .



මෙම අනතුරින් වලකින්න අපි මොනවද කරන්න ඔනෑ ,මුලින්ම කියන්න මෙහෙම දෙයක් , ඒ තමයි සම්පූර්ණ බලු ගහණයෙන් 75% එන්නත් කළ හැකි වුනොත් ලංකාවෙන් Rabies දුරු කරන්න පුලුවන් කියල විශ්වාස කරනවා ,  එහෙම නම් අපි එතැනින් පටන් ගනිමු . රෝගය වලක්වා ගැනීමේ එන්නත මෙම සතුන් වෙල බලා දීම ඒ , විශේෂයෙන්ම නිවසක ඇති කරන සතුන්ට එම නිවැසියන්ගේ මැදිහත් වීම මගිනුත් අයාලේ යන සතුන් වෙත යම් රාජ්‍ය හෝ වෙනත් සංවිධානයක් මාර්ගයෙනුත් මෙම එන්නත ලබා දීම වැදගත් ...විශේෂයෙන්ම නිවැසියන් තම බල්ලා හෝ බලලා එන්නත් කරවිමත් අදාල එන්නත් වාර්තා පොත නිසි පරිදි පවත්වා ගැනීමත් වැදගත්....ඒ වගේම ප්‍රජාව අතරේ මතයක් ඇති කළ යුතු වෙනවා එන්නත් නොකළ සතෙක් නිවසේ ඇති නොකළ යුතුය යන මතය .....

ඊට අමතරව අයාලයේ යන සුනඛයන් ප්‍රමාණය පාලනය කිරීම වැදගත් ....ඒ සදහා සතුන් සදහා වද සැත්කම් නොමිලේම සිදු කරන ආයතන ගනණාවක් තිබෙනවා , ඔවුන් මගින් සතුන්ට අදාල සැත්කම සිදු කිරීම මගින් බෝවිමේ වේගය පාලනය කළ හැකි වෙනවා ...ඒ වගේම “පොදු ස්ථාන , පන්සල් වගේ පැටවුන් ගෙනත් දැමීමේ උපක්‍රමයත් වැලැක්විය යුතුයි , මොකද එතැනදි එක රැස් වන සුනඛ හෝ බළල් ගහණය තුලින් කෙනෙක් තුලට මෙම වයිරසය ඇතුලු වුනොත් එය මහා විනාශයක මුල වෙන්නත් පුලුවන් ...මොකද එයින් දින කිහිපයකට පස්සේ එම ස්ථානයෙන් එළියට එන්නේ “එක් පිස්සු බල්ලෙක්“ විතරක් නොවෙයි ....පිස්සු බලු රෑනක් වෙන්න පුලුවන් ....අද මේ සිදුවිමට අදාල විහාරස්ථානය තුල සසහ අවට සිටින සියලු බල්ලන් සහ බළලුන් එක් රැස් කරල දින කිහිපයක් කොටු කර තබා ගනිමින් නිරීක්ෂණය කිරීමට අදාල බලධාරින් දැන් කටයුතු කරමින් ඉන්නවා .....මෙය එක්තරා අවදානමක් බව නැවත කියන්න ඕන නැහැනේද ? 

  
තවත් වැදගත් දෙයක් දැනුවත් වීම සහ දැනුවත් කිරීම , රෝගය ගැන , ප්‍රථමාධාර සහ නිසි වෛද්‍ය ප්‍රතිකාරය ලබා ගැනීම ( විශේෂයෙන්ම මෙහිදි වරින් වර දින කිහිපයක් පුරා එන්නත් ලබා දෙනවා , එම සියලුම එන්නත් නියමිත දින වලදි ලබා ගැනීම හරිම වැදගත් , එත් අපේ බොහොමයක් කරන්නේ මොකද පලමු එන්නත  අරගෙන දෙවෙනි එන්නත ගන්නට එන්නේ නැහැ ....තමා ම අවදානමකට ලක් වෙනවා ...) ගැන වගේම මෙම රෝගයට ගොදුරු වූ සතෙක් හදුනා ගන්නා විදියක් දැන ගැනීම වැදගත් , මොකද සමහර විට “පිස්සු බල්ල“ කිව්වට එක් අවස්ථාවකදි එම සතා වෙනදා වඩා නපුරු බවින් අඩු පැත්තකට වෙලා ඉන්න බවකුත් දක්වන්න ඉඩ  තියෙනවා , 



විටෙක දරුණු පිස්සු බල්ලෙක් ලෙසින්
“ මේ පුංචි හාමුදුරුවො මේ තරම් විදවන්නේ , අපේ මිනිස්සුම කරපු දේට නේද ? “ අර වැඩිහිටි මහත්මයා මගෙන් ඇසූ පැනය දැන් මගේ මනසේ නැවත ප්‍රතිරාව දෙනවා ...“මේ පුංචි හාමුදුරුවො අකාලෙ අපවත් වුනේ ......................... ? “ 

මට මෙහෙම හිතෙනවා “අපේ සමාජයේ මිනිසුන්ට තමන් කරන එක් වරදක් ගැන නැවත හිතන්නට , සමාජයේ කතා බවක් විය යුත්තක් ගැන සිතන්නට පොළඹ වන්නට මේ අහිංසක පුංචි හාමුදුරුවො තමන්ගේ ජීවිතය පුද කරාද කියල ....

“ මට ටිකක් අමාරුයි වගේ .... අනේ ලොකු හාමුදුරුවනේ මගේ අත අල්ලගෙන ඉන්න .....“ පුංචි හාමුදුරුවො අන්තිමට කිව්ව ඒ වචන ටික මගේ නෙතට දැනුත් කදුලක් එක් කරා 

අද සවස ආදාහනය උත්සවය තිබෙන බව  ආරංචි වුනා .... මුලු ගමම හඩනවා , දහම් පාසලේ  , පෙර පාසලේ  තිබුනු සොදුරු බව නැතිව ගිහින් කදුල මුසු බියපත් බවක් දැනෙනවා වගේ මට හිතෙනවා ,...... 

දැන් වෙලාව සවස 3ට විතර ඇති ......මේ සටහන නිමා කරන්නම් ....පුංචි හාමුදුරුවන්ගේ ආදාහන උත්සවයට යන්න මගේ පැටවු දෙන්නත් බිරිදත් සූදානම් වෙලා ....... ආයෙත් මෙවන් අවාසනාවන්ත සිදුවිමක් පිළිබද සටහනක් නොතබන්නට උත්සාහ කරමින් මම යන්නම් ....ආයෙත් ඉක්මණින්ම එනවා ඔබ හමුවට තවත් ප්‍රයෝජනවත් විය හැකි ලිපියකින් .


මෙම ලිපිය පිළිබද ඔබේ අදහස් යෝජනා මෙන්ම චෝදනාද මම ගරු පෙරදැරිම අපේක්ෂා කරමි , එය තවත් ලිපියක් ලියන්නට , ඔබෙන් ලැබෙන අමිල නොමසුරු දායකත්වයයි........


7 comments:

  1. ඉතා වැදගත් ලිපියක්.. මගෙත් හිතේ තිබ්බ ප්‍රස්ග්න ගොඩකට පිලිතුරු ලැබුනා.. ඉස්සරහටත් අපිව දැනුවත් කරන්න.. පොඩි හාමුදුරුවන්ට නිවන් සුව අත් වේවා!

    ReplyDelete
  2. වැදගත්ම ලිපියක්.... අපේ අය සුරතල් සතුන් ඇති කරන්නේත් මේ පිළිබඳව ලොකු අවබෝධයක් නැතුව.

    සතුන්ගේ සුරතලය නිසා ඇතිවන ප්‍රීතිය වගේම අවධානම ගැන සිතීමත් ඇත්තටම වැදගත්...

    ReplyDelete
  3. @චතු , @අභිත
    ගොඩාක් ස්තුතියි ඔබේ අදහසට ....

    ReplyDelete
  4. මා දන්නා කෙනෙකුත් මෙ රෝගයෙන් මිය ගියා.
    දැනුවත් කලාට ස්තුති.

    ReplyDelete
  5. ස්තුතියි , මේ අනතුරු ගැන ඔබේ මිතුරු මිතුරියන්ද දැනුවත් කළ හැකි වේනම් , ඔබ අපේ සමාජයට තවත් අමිල යුතුකමක් කළා වැනිය .....

    ReplyDelete
  6. පත්තරේක කියෙව්ව කාන්තාවකට මේ ලෙඩේ හැදුන හැටි, බයිසිකලේ යනකොට සැමියගේ බයිසිකලයට බල්ලෙක් පැනල සරම ඉරිල, මේ කාන්තාව සැමියගේ ඉරුනු සරම මහල නූල කටින් කඩල, සරමෙ තිබුණු විෂ බීජ ශරීර ගතවෙලා ඇය මිය ගියා.

    ඒ එක්කම තවත් කරුණක් තමයි කැලේ ඉන්න මුගටියො. රිලවි දඩුලේනු වගේ සත්තු මේ විෂබීජ ඇතුල් වුණාම වෙනදා නැති හිලෑකමත් පෙන්නනවලූ. ඉතින් කැලේ ඉන්න ක්ෂීරපායි සතුත් එක්ක ඇගැලුමට යනඑක එතරම් සුදුසු නෑ...

    ReplyDelete
  7. @ලිහිණි , හරිම වැදගත් සිදුවීමක් ඔබගෙන් දැන ගත්තේ ....ස්තුතියි මේ තොරතුරත් අපි හැමෝම බෙදා ගනිමු ...මෙයයි විය යුතු ...

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)