2011/06/09

11th Discussion - ළමා තරබාරුව Childhood Obesity

අද බ්‍රහස්පතින්දා , දූලා දෙන්නා පාසලට ගෙනියන්න යතුරු පැදියට ගොඩවුනත් ලට්ට ලොට්ට ගොඩක් , බෑග් දෙකටයි වතුර බෝතල් දෙකටයි අමතරව මල් පැල , තවත් මොනවාදෝ බඩු ගොඩකුත් එක්ක ව්‍යායාම වලට ගන්න පැදුරකුත් , ....බඩු ටිකත් එල්ලගෙන දූලා දෙන්නත් නංවාගෙන පරිස්සමින් අපි යනවා ඉස්කොලෙට ...එයත්දි පුංචි පුංචි සුන්දර සිදුවීම් ගොඩයි , ...... දෙන්නක් එක්ක මොකක්දෝ කසු කුසුවකුත් එක් හිනා වෙනවා ... හිනා වෙනවා ,.... “මොකද මේ දගලන්නේ ..... “ ඩිංගක් තරවටු ස්වරයෙන් ඇහුව ....“නැ තාත්තේ ..අර බලන්න අර ත්‍රීවීල් එකේ ඉන්න අයියට බැහැ ගන්න බැරුව දගලන හැටි ...., අම්මෝ මහත! .....“ ලොකු දුව තමයි උත්තර බදින්නේ ....

ඇත්තමයි ...ඉස්සරහ තියෙන ප්‍රධාන ආපන ශාලාවක් ළග පාසල් ළමුන් ගෙන යන ත්‍රීවීල් රථයක .... “පුංචි පුතෙක්“ , පුංචි කිව්වට පහේ පන්තියේ විතර හැබැයි හරීම තරබාරු පුතෙක් , ආපනශාලාවට යන්න ත්‍රීවීල් එකෙන් බැහැ ගන්න බැරුව දගලනවා ... දැක්කම සතුටකට වඩා මට ඇති වුනේ දුකක් , ඇයි මේ පුංචි කාළෙම මේ වගේ තරබාරු උනොත් මේ දරුවගේ අනාගතේ මොනවගේ වෙයිද කියලා ....
ඒ එක්කම හිතුනා මගේ “සොදුරු සුව අසපුවේදී“ මේ ගැන කතා කරන එක වැදගත් වේවි කියල , මොකද අද මෙම ගැටලුව මීට වසර 30කට සාපේක්ෂව බැලුවොත් තුන් ගුණයකින් වැඩිවෙලා .... 



අපි කතා කරමු “ළමා තරබාරුව හෙවත් Childhood Obesity ගැන මොකද මෙතෙක් මේ ප්‍රශ්නය තිබුණේ අමෙරිකාව වගේ රටවලට , එත් දැන් දැන් මේක අපේ රටෙත් ප්‍රශ්නයක් වීගෙන එනව වගේ දැනෙනවා.




මොකක්ද මේ Childhood obesity කියන්නේ , දළ වශයෙන් ගත්තොත් , දරුවෙක්ගෙ වයසට සාපේක්ෂව තිබිය යුතු බරක් තියෙනවා ,දරුවා කුඩා කාළෙදි සායනයෙදි කිරල බලනව , ඒ විදියටම දරුවෙක් වයසින් වැඩි වීමෙදිත් මේ වයසට , විශේෂයෙන්ම උසට සාපේක්ෂ බර නිසි ලෙස පවත්වා ගත්තොත් මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ , මේකට අලුතින් ඉගෙන නොගත්තත් අපි දන්නව සාමාන්‍යයෙන්  ක්‍රියාශීලි පාසල් දරුවන්ගේ ඇග පත සාමාන්‍ය ප්‍රමාණයක තිබෙනව , ටිකක් කෙට්ටු වුනත් උදරයෙන් , පිටෙන් “මස් වැදලි එල්ලා වැටෙන “ තරමේ මහතක් දකින්න ලැබෙන්නේ නැහැ , නමුත් මේ තත්ත්වයට ගොදුරු වූ ( දෙමාපියන් විසින් ගොදුරු කළ ) දරුවන් මීට හාත්පසින්ම වෙනස් , උදරයෙන් , ඉනෙන් එල්ලා වැටෙන තරමේ “මස් වැදලි ..හරියටම කිව්වොත් තෙල් කුට්ටි ) වලින් පිරිණු මේ දරුවන් තම පාසල් කටයුතු කර ගන්නේ පවා හරිම අපහසුවෙන් , වේගයෙන් දුවන්න , සෙල්ලම් කරන්න තබා බිමට වැටුනු තමන්ගේ පෑන පැන්සල වත් නැමිල ගන්න බැරි තරමේ අවාසනාවන්ත තත්ත්වයක් , ඒ විතරද වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් අධිරුධිර පීඩනය , හෘදයාබාධ පමණක් නොවෙයි අඩු වයසින්ම දියවැඩියාව වගේ තත්ත්වයනු ඇති කර තත්ත්වයක් මේ,

අපි දැන් බලමු ඇත්තටම මේකට හේතුව මොකක්ද කියල ? මේ සදහා මූලික හා ප්‍රධාන හේතුව වන්නේ  දේහයේ  අවශ්‍යතාවයට වඩා කැලරි ප්‍රමාණයක් දේහ ගත වීම , සරළ කිව්වොත් ස්වභාවික සහ ක්‍රියාකාරීත්වයට අදාල තරමට දේහයට අවශ්‍ය ප්‍රමාණයට වඩා කෑම බිම , විශේෂයෙන් තෙල් සහ සීනි අධික කෑම බීම ගැනීම තමයි මූලිකම හේතුව , නමුත් මෙයට තවත් හේතු බලපානව , ඒ ජානමය ඒ කියන්නේ මවගෙන් හෝ පියාගෙන් ලැබෙන පරම්පාරානුගත ලක්ෂණ , ඒත් පර්යේෂණ වලින් සොයාගෙන තියෙනව ඊට වඩා බලපාන්නේ “පාරිසරික සහ චර්යාත්මක හේතු“ කියල , මම ඒකයි මුලින්ම කිව්වේ “දෙමාපියන් විසින් ගොදුරු කළ “කියලා , ඇයි ? ....මේ දරුවන්ගේ ආහාර පිළිබද පළමු වගකීම ගන්නේ දෙමාපියන් , දැන් මොකද වෙලා තියෙන්නේ ...අපි හරිම කළබලේක ජීවත් වෙන්නේ .....දරුවට පාසලට යන්න සූදානම් කරන උදේට කන්න දෙන්න බතක් එළවලුවක් පිලියෙළ කරන දෙනවනම්  කොයි තරම් වටිනවද ? 

ඒත් බොහොමයක් දරුවන් පිළිබද දෙමාපියන් කියන්නේ “අපේ ළමයිඋදේට කන්නෑ..අනේ ,ඉතින් canteen  එකෙන් මොනවහරි කන්න කියනවා ! , “  දැන් මොකද සිදු වෙන්නේ දරුවා කැන්ටිමෙන් තෙල් රස සීනි , පිටි මිශ්‍ර ආහාරයක් රස බලනවා , ඒ විතරද දරුවාට “ආදරේට“ චොකලට් , විවධ කෙටි කෑම වර්ග ...., පුංචි එකාගේ බඩ ගෙඩිය “කැලරි වලින්“ අනවශ්‍ය තරමට පිරෙනව , ආදරේට තවතවත් මේ කෑමම කවනව , මොකද මේ රසට හුරු වුනාම දරුවාත් කරදර කරමින් ඉල්ලන්නේ “මේ රසම“ තමයි , අවසානයේ දරුවා අසාමාන්‍ය තරබාරු දරුවෙක් බවට පත්වෙන එක නවත්තගන්න බැහැ , තවත් හේතුවක් මෙහෙම “කැලරි ගිලින “ දරුවට අවශ්‍ය තරම් ශරීර ශක්තිය වෙහෙසීමට අවස්ථාවක් තියෙනවද ? පාසලේ කටයුතු අවසන් වුන ගමන් ටියුෂන් එකට , එතැනින් නයිට් ක්ලාස් එකට ගෙදර එනකොට රෑ වෙලා, ආවත් එක්කෝ රූපවාහිනිය ඉදිරියේ නැතිනම් Computer game එකේ , මේ හැම තැනකදිම දරුවගේ මොළය වෙහෙසුනත් අර වැඩි පුර ගත්ත කැළරි ටික ඉවත් කරන්න තරමේ ක්‍රියාශීලී බවක් ඇති වෙන්නේ නැහැ .....අවසානය , ළමා තරබාරුව එතැනින් දියවැඩියාව  , හෘදයාබාධ වගේ “බෝනොවන රෝග“ ඇතිවීම , එතැනින් සමාජයට වැඩක් කළ යුතු පුරවැසියෙක් වෙනුවට රටට බරක් වෙන “රෝගී වැඩිහිටියෙක් “ බිහිවෙනවා ,
මේ පිළිබද රජයේ , විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය හරහා චක්‍ර ලේඛනමය මැදිහත් වීමක් වුනත් තමගේ දරුවගේ අනාගත නීරෝගී බවේ වගකීම , පියෙක් හැටියට , මවක් හැටියට ඔබම ගන්නා තුරු මේ ගැටලුව දිනෙන් දින උග්‍රවෙමින් ඉදිරියට යාවි , 

අපි කළ යුත්තේ කුමක්ද , 
මේ ලොවේ  සුන්දරතම  ආදරය නොවේද  ....
  1. ඔබේ  දරුවා වෙනුවෙන් මෙම සෞඛ්‍ය ගැටලුව ගැන දැනුවත් වන්න ,
  2. ඔබේ සම මිත්‍රයින් ප්‍රජාව මේ පිළිබද දැනුවත් කරන්න,
  3. ඔබේ දරුවාගේ උස සහ බර පිළිබද විමසිලිමත් වන්න , 
    • ඒ සදහා B.M.I. යන දර්ශකය  භාවිත කරන අතර දරුවන් සදහා වූ එම දර්ශකය පිළිබද තොරතුරු මෙම සබැදියෙන් ඔබට ලබා ගත හැකි වේවි,
  4. දරුවාගේ ආහාරයේදී එළවලු හෝ කෙදි සහිත ආහාර , අලුත් මාලු , කඩල වැනි දෑ සහිත ආහාර වේලක් දෙන්න , මව්වරුනි , විශේෂයෙන් පාසල් යාමට පෙර දරුවාට ඔබ ගෙදර පිසූ “එළවලුවක් බත කටක් “ උදෑසන ආහාරය ලෙස ගැනීමට හුරු කරවන්න , ක්ෂණික ආහාරයෙන් හැකි තරම් දරුවා ඈත් කරන්න , ඒ වෙනුවට අපේ රටේ වැවෙන කෙසෙල් ගෙඩියක් අඹ ගෙඩියක් වගේ පළතුරක් ගැනීමටයොමු කරන්න ,  
  5. පාසල් කාළයෙන් පසුව හෝ දරුවාට කය වෙහෙසන ක්‍රියාකාරකම් කරන්නට “නිදහස“ ලබා දෙන්න..
  6. දරුවාට “මාධ්‍ය රූප වලින් පෙන්වන කෑම ආදරය නොව“  “ඔබේම උණුසුම් ආදරය “ දෙන්න , මක් නිසාද යත්   “මටත් වඩා කල් මගේ දරුවා නීරෝගීව හා සතුටින් සිටීවා“  යන කාටවත් නොකියන , දරුවා වෙනුවෙන් හැම දෙමාපියෙක්ම කරන අමිළ පැතුම නිසාවෙන් 
ලාංකිය අපට හොද ආහාර වේලක්  

මේ දරුවා නිරෝගී දරුවෙක් කිරීමේ වගකීම .......??????????

එසේ නම් අදට ලිපිය නිමා කරනවා , තවත් දිනකදි ඔබට වැදගත් වේයැයි සිතන ලිපියකින් හමුවනු අපේක්ෂාවෙන් ,....

මෙම ලිපිය පිළිබද හෝ මෙම බ්ලොග් අඩවිය පිළිබද 
ඔබේ යෝජනා මෙන්ම චෝදනාද ගෞරවයෙන් බලාපොරොත්තු වන්නේ 
එමගින් මා ලබන සතුට , 
තවතවත් මෙවැනි දේ සෙවීමටත් ලිවීමටත් පෙළඹවීමක් කරන හෙයිනි .



9 comments:

  1. ළමයින්ට කඩෙන් කෑම කන්න වෙන එකට තව හේතුවක් විදියට මම නම් දකින්නෙ ඔවුන් යන පාසලට තියෙන දුර වැඩි කම. ඒ නිසා ගෙදරින් කෑම හදන්න පරක්කු වෙන නිසා ළමය කඩෙන් කන්න පුරුදු වෙනව.

    හැබැයි මට නම් ඉස්කෝලෙට තිබුනෙ විනාඩි දහයක විතර ඇවිදගෙන යන දුර නිසා හැම දාම අම්ම හදල දෙන උණූ උණු බත් කාල තමයි ඉස්කෝලෙ ඇවිදගෙන ගියේ.

    සමහර විට ඔය කොළඹ පැත්තෙ ජනප්‍රිය පාසල් වලට යන වැඩි හරියක් ළමයින්ට තියෙන ගැටළුවක් තමයි ඕක. එන්නෙ දුර ඉදගෙන, උදේට ගෙදරින් කාල එන්න වෙලාවක් නැහැ ඉතින් සරලම ක්‍රමේ කඩෙන් කෑම.

    ReplyDelete
  2. ස්තුතියි ඔබේ අදහසට , ඇත්ත ; ඔබ ඉදිරිපත් කරන දේ එක් ගැටලුවක් , විශේෂයෙන්ම ප්‍රධාන පාසල් ආශ්‍රිතව , මමත් දන්න සමහර දරුවො පාසලට එන්නේ උදේ 5 විතර ඉදල , ඒත් මේ ප්‍රශ්නයට හේතුව දවසේ ලැබෙන ආහාර වේල්හි , අවශ්‍යතාව ඉක්මවා පවතින කැලරි ප්‍රමාණය , සහ එය වැය කිරීමට දරුවාට නොහැකිවීම ,

    ReplyDelete
  3. ස්තූතියි
    තවත් වටිනා බ්ලොගයක්.
    ළමා තරබාරුව කියෙව්වා.
    දිගටම කියවන්නම්.
    ඡය!!

    ReplyDelete
  4. ස්තුතියි ඔබට , ඉදිරියේදිත් මේවගේ තවත් ලිපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා,

    ReplyDelete
  5. වටිනා බ්ලොග් එකක් තවම ලිපි කිහිපයයි කියවන්න ලැබුනේ

    ReplyDelete
  6. ස්තුතියි ඔබට , යම් අපේ දැනුමින් යමක් කරමු නේද ?

    ReplyDelete
  7. මෙවැනිම ආහාර රටාවකට හුරුවූ මාගේ යෙහලියකට අවුරුදු නවයක පුතෙක් ඉන්නවා.කියන්නත් දුකයි
    පුතාට දැන් කොලොස්ටරෝල්.කොල්ලට දැන් කන්න දෙන්නෙ
    වයස 60 කෙනෙකුට දෙන ඩයට්.ඒත් ඒකා මට කිව්වා
    කැන්ටිමෙන් කනවලු අම්මට හොරෙන්..

    ReplyDelete
  8. බොහොම වැදගත් දේ ලියැවුනු බ්ලොග් සටහනක් .. මීට කලිනුත් ඒවා වගේ මතකයි ඒත් අදහසක් දුන්නේ නැද්ද කොහෙද ? දිගම ලියන්න මහත්තයෝ ! මේක වෙනස් බ්ලොග් සටහනක් මම මේකට ඉහටත් උඩින්ම කැමතියි ...

    මමනම් උපතින්ම කෙට්ටු කොල්ලෙක් මම කොයිතරම් කෑවත් මහත නෑ . ඉතින් මම විඳින නිදහසනම් නිමක් නෑ

    ReplyDelete
  9. බොහොම ස්තුතියි ඔබට , ඇත්තටම “තරබාරුව“ අනතුරුදායකයි , අපි අපේ දේහ පුමාණය, උසට සරිලන බරක් පවත්වා ගැනීමයි වැදගත් ...බයවෙන්න එපා ඔබේ වයස 35-40 අතර වෙනකොට බර තව වැඩිවෙයි ...

    ReplyDelete

ඔබේ අදහස් දැක්වීම , තවත් ලිපියක් ලිවීමට මා යොමු කරයි ....

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , දින 30කට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)